Monday, May 23, 2011

While Living | ජිවත් වෙ‍නකොට....!


ගෙවා මහ දුර
අතර මඟ හමුවී
වෙන් වෙවී..
යළි යළිත්
ළං වෙවී..

ඈත තරු පොකුරු
චක්‍රාවාට මැද
රස්තියාදු වී
ආයෙමත්
දූවිලි පිරුණු
දාඩිය දාන
ලස්සන කොළඹ
අවලස්සන මිනිස්සු මැද
හමු වෙවී..

පොත් අස්සේ
චිත්‍රපටි ‍මැද්දේ
හෝල්වල
වේදිකා මැද
අපිට නැති
අපේ නොවන
අපිට දැනෙන
විඳීම් හොය හොය
සංගීත තනු අස්සෙන්
ආයෙමත්
හමු වෙවී..

අරක්කු කොක්ටේල්
බයිට් සිගරට්
කෑම බීම
සබ්මැරීන් ලයිම් ජූස්
රෙසිපි අස්සේ
සුවඳ ගහන
අළුත් රස හොය හොය
රස්තියාදු වෙන
ආයෙමත් ටිකකින්
අඩු සීනී ප්ලේන් ටී එකෙන්
තොල් දෙක පුච්චගෙන
ස්ට්‍රෙස් රිමූව් කිය කිය
ආතල් එකේ
දුමක් දාගෙන
හමු වෙවී..

අත් අල්ලන්
අහක බලාගෙන
රවාගෙන ඔරෝගෙන
බදාගෙන ඉඹගෙන
ජිවිතේ උගන්නන
ඉගෙනගන්න
කතාකරන
වාද කරන
රණ්ඩු වෙන
ඈත් නොවී ඈත් වෙලා
ආයෙමත් ළං වෙලා

ජිවත් වෙනකොට
හමු උනු
මචං උඹට "සුභ උපන් දිනයක්! "
23-05-2011

Monday, May 9, 2011

පාර දිගේ 1

පහුගිය ටිකේ ඒකාකාරී වෙලා කම්මැලි වෙලා එකතැනම පල් වෙන්න පටන් අරන් එපා වෙලා ති‍බුන ජිවිතේ දැන් මේ ටිකේ නම්... හම්මෝ හරියට නිදාගන්න බැරි තරමට බිසී වෙලා. බිසී කිව්වට ඉතිං වැඩ හින්දම බිසී නෙවෙයි. මේ නිවාඩුවකට මෙහේ ආව ගෙම්බෙක් හින්දා අහිංසක මං හෙන බිසී වෙලා.. ඇයි ඉතිං කට්ටිය වැකේෂන් ආවට අපේ රස්සාවල් වලදි වැකේෂන් තියා වීක් එන්ඩ් එකක් වත් අපිට නැහැනේ.. ඒ උනාට ඉතිං අපි නැති උනාට ඔෆිස් වහන්නේ නැති නිසා රාජකාරියයි දේවකාරියයි අනිත් කාරීයි සේරම පුළු පුළුවන් හැටියෙන් හැන්ඩල් කරගන්න තමයි ට්‍රයි කරන්නේ.

හි හී... බ්ලොග් වල බයිලා ගහනවා කියලා දැන් ඉතිං මට බැනුම් අහන්න වෙයි. ඒ නිසා වැල් බයිලා නතර කරලා ටොපික් එක බේස් කරගෙන ලියන්නයි දැන් මම හදන්නේ...! හොදට හුස්මක් උඩට පහළට ගත්තා.. එක.. දෙක තුන...
..........
....

මීට අවුරුදු දෙක තුනකට වගේ ඉස්සෙල්ලා අයි ෆෝන් මාර්කට් එකට ආව අළුතම වගේ අතේ සතේ නැති උනත් අයි ෆෝන් එකක් ගන්න මටත් පොඩි හීනයක් තිබුනා.. ඉතිං හැබැහින් බැරි නම් හීනෙන්වත් නොලැබුනත් කිසි කමක් නැති උනත් ආතල් එකට වගේ ස්ටේටස් මැසේජ් එකක "අනේ මටත් අයි ෆෝන් එකක්" කියලා මම දාලා තිබුන කාලෙක එක සැරේම කවුදෝ පොප් අප් වෙලා හේයි ඔයා අයි ෆෝන් එකකට කැමති ද කියලා කතාව පටන් ගත්තා.. අපරාදේ මගේ පුරුවේ (අ)කුසල කර්මයකට වගේ මාත් ඉතිං මොනාදෝ කිව්වා.. ඒයින් පස්සේ ටික ටික කතාව ඇදි ඇදී ගියා.. තාම ඇදෙනවා... කන් පිරෙනකම් අහලා අහලා ඇති වෙලා එපා වෙලා වමනෙත් ගිහින් එතනින් එහාටත් තව ටිකක් අපේ කතාව ඇදෙන.. ඒ කතාවේ කෙලවරේ හිටි ගෙම්බි මේ ටිකේ ලංකාවට ඇවිත් හින්දයි ආයෙමත් මේ හැටි බිසී වෙලා විකාර වෙලා ඉන්නේ. අපේ ගොඩක් යාළුවන්ට මේ වෙනකොට ගොඩක් කාර්ය බහුල හින්දා මං වගේ ඉබ්බෙක් තමයි ඒ ගෙම්බිට තනියට නොතනියට ඉන්නේ. ඉතිං අපි අඹ කවි විචාර දේශණ නාට්‍ය ප්‍රසංග අරවා මේවා අස්සේ එහේ මෙහේ පොඩි පොඩි සංචාර ටිකකුත් කරගෙන දෙයියනේ කියලා ඉන්නවා ඉතිං......
.......

අපි පාර දිගේ ගිය ගමන් කතාවේ මුල්ම පිටුව වෙන් වෙන්නේ හිනිදුමට‍

මම මීට කලින් හිනිදුම ගැන අහලා තිබුනේ නෑ. අහලා තිබුනත් මතක තිබුනේ නෑ.. කොහොමත් ඉතිං වෙලාවකට මට මම ඉන්න තැනත් අමතක වෙන එකේ ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. අපේ ගමනට හිටියේ රථාචාර්ය වරයා සමඟම සියළු පිරිස හතර දෙනයි. ඉතිං මතක ඇති විදියට අපි ගමන පිටත් උනේ උදේ හතට පමණ. හිනිදුම කල්වාරි කඳු මුදුනත් පල්ලියත් වන්දනාව හා නැරඹීම තමයි අපේ අරමුණ උනේ. ගාළු පාර දිගේ අපේ ගමනේ මුල්ම නැවතුම උනේ බොහෝම කාලෙකට කලින් ඉදන් මාත් මගේ මිතුරියත් දැන හඳුනාගැනීමට පෙර සිට පොදුවේ කැමත්තෙන් සිටි සැෆ්රන් හට්! ගාළුපාරේ කොළඹ සිට ගමන් ගන්නා අයෙකුට පානදුර නගරය පසු කොට ගමන් ගන්නා විටයි තල්පිටිය ප්‍රදේශයේදියි දකුණු පසින් පිහිටි මෙම ආහාර අලෙවි සැල මුන ගැසෙන්නේ. බුෆේ ක්‍රමයට ආහාර ලබාගත හැකි මෙහි උදේ දිවා රාත්‍රී ඕනෑම අවස්ථාවක ආහාර ලබාගන්න පුළුවන්. එහිදි උදෑසන ආහාර ගත් අපි නැවත ගමන් ඇරඹුවේ හිනිදුම දක්වායි.. කළුතර බෝධියට පඬුරු පුදා අප ගාල්ල බලා පිටත් උනා..

අන්න එතනදි තමයි වැඩේ.!

හයියෝ ගාල්ල නගරයේ මෙරීන් වෝක් එක මුල සිට අග වෙන තුරු ප්ලේන් ටී සෙවූ අපට එම අදහස අතැර තැඹිලි ගෙඩියකින් තෘප්තිමත් වීමට සිදු උනා. හයියෝ ප්ලේන් ටී නැති ගාල්ල!!!

ගාල්ලේ ඉදන් අපි මඟ අසාගෙන දුර ගෙවාගෙන හති දමාගෙන හිනිඳුමට ලං උනා..

.........

ඒ යන මාර්ගයේ ඇති තේ රබර් පාම් වතු එහි ස්වභාවික සශ්‍රීකත්වය අපූරුවට නිහඬව පෙන්වා දුන්නා. අපි පල්ලියට යන දිනට පෙරදිනයි එහි මහා පුජා සතිය අවසන්ව තිබුනේ. ඉතිං තැන තැන ඉදිව තිබු කඩ ලෑලි ගැලවෙමින් පවතිද්දි අපි දිවා ආහාරයටත් ගමන් වෙහෙස නිවා ගැන්මටත් එහි තිබු එකම ස්ථානය වූ හිනිඳුම තානායමට ඇතුළු උනා. තානායමකටත් වඩා නිවසක සිරිගත් එහිදි අපි මොහොතක් ගමන් වෙහෙස නිවා ගත්තා. (සමහරු පලා පිඟන් දෙක දෙක කාපු එක වෙනම කතාවක් )

එයින් පසු අපේ ගමන් මගෙහි මුළික අරමුණ වු කල්වාරි පල්ලියට යෑමට අප පිටත් වූවා.. එහි කල්වාරි කඳුමුදුනටම ගමන් කල හැකිමුත් කාල වේලාව හා ගමන් වෙහෙස වැනි කාරණා සලකා බලා අප පල්ලියේ වටපිටාවේ ගතකිරීමෙන් සෑහීමකට පත් උනා. ඒ අසළින්ම ගලා ගිය දිය දහරත් දුෂණය අවම වූ ස්භාවිකත්වයත් නෙතු සීමාවේ පැවති කඳුමුඳුනුත් එක්ව සෑදූ චමත්කාරය හිත තුල දරාගෙන අපි නැවත කොළඹ බලා පැමිණියා..

එයින් අරැඹි අපේ සංචාරයේ තවත් දවසක් මට ෆ්‍රී උනු වෙලාවක!

Saturday, April 16, 2011

සත් වෙනි දිනයේදී

හම්අම්මේ..!! දැන් ඉතිං අවුරුද්දත් අදින් ඉවරයි.. හෙට ඉදන් ආයෙමත් සුපුරුදු මහමඟ ගෙවෙන රාජකාරී ජිවිතේට යන්න කලින් අළුත් අවුරුද්දට බ්ලොග් එකත් එක්ක වැඩ ඇල්ලුවොත් හොඳයි කියලා හිතුනා. ඒත් ඉතිං අතිශය සාමාන්‍යකරණය වෙච්ච ජීවිතයක් ඇතුලේ හැම වෙලේම ලියන්න තරම් වන මාතෘකා හොයා ගන්න එක ඇත්තටම ටිකක් අමාරු වෙලා දැන්.. ඒත් ඉතිං පුරුද්දට වගේ මොනා හරි නොලියා හිටියොත් එකත් හිතට එකතරා විදියක බරක්. ඉතිං නිකං ඉන්න එකේ පහුගිය ටිකේ කියෙව්ව පොතක් ගැන ලිව්වොත් හොඳයි කියලා හිතුනා.. එකක් කිව්වට මේ ලිපිය ඉවර වෙද්දි 3 in 1 වෙලා තියේවි බොහෝ විට.

පාවුලෝ කොයියෝ

සාහිත්‍යකරණයට පළමුව අධ්‍යකෂක වරයෙක් රංගන ශිල්පියෙකු හා ගීත රචකයෙකු ලෙස කටයුතු කල කොයියෝ 1947 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ හීදි උපත ලද්දෙක්. ඔහුගේ මුල්ම කෘතීන් ලෙස සැලකෙන්නේ The Alchemist හා The Pilgrimage යන කෘතීනුයි. මෙයින් The Alchemist විචාරයකයන් විසින් සැලකනු ලබන්නේ "පාඨකයාගේ පර්යායලෝකය සදහට වෙනස් කළ හැකි ‍කෘතියක්" ලෙසටයි. එලෙසම මෙය බ්‍රසීලයේ පමණක් නොව ලොව වටාම ඉහලම අලෙවියක් ඇති ‍කෘතියක් බවටද එම කෘතිය පත් වූවා.

මීට අමතරව ඔහුගේ By the River Piedra I Sat Down and Wept (1994), Veronika Decides to Die (1998), හා The Devil and Miss Prym (2000) ඔහුගේ ඉමහත් ජනාදාරයට පත් ‍කෘතීන් අතර කිහිපයක්. මෙම නිර්මාණ තුනටම පොදුවූ එක් කාරණයක් නිසා පසු කලෙක දී එනම් 2004 වසරෙදී කොයියෝ විසින්ම And on the Seventh Day යනුවෙන් ‍ඉහත වෙළුම් තුනම එක් කෘතියක් ලෙස එළිදැක්වූවා. එහි නමෙහිම සඳහන් වන අකාරයට මෙම නිර්මාණ තුනම දිවෙන්නේ සත් දිනක් තුලයි. නමුත් මෙහි කතා තේමාවන් තුන වෙන් වෙන්ම ගමන් කරන නිසා එම සෑම ‍නිර්මාණයක් විසින්ම වෙනස් ආකාරයේ හැඟීම් හා විඳීම් පාඨකයා තුල ඇතිකරනු ලබනවා.

සමස්තයක් ලෙස ඉහත නිර්මාණ ත්‍රිත්වයේ මහා‍ පොදු සාධකය මෙසේ දැක්විය හැකියි. "අභියෝගය බලා නොසිටියි. ජීවිතය ආපසු හැරී නොබලයි.එහෙයින් අපේ ඉරණම පිළිගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අපට සතියක කාලය හොඳටම සෑහෙයි"

මේ වන විට ඉහත තුන් වෙළුමම සිංහල පාඨයක් වෙත රසවිදීමේ අවස්ථාව උදාවී තිබෙනවා. ‍පහත දැක්වෙන්නේ ඒ පිළිබඳවයි.


පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි.

පිලාර් නම් තරුණිය විසින් තම කු‍ඩා‍ කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් කඳුවැටි ගංඟා පසුකෙරෙමින් කෙරෙන සංචාරයක් තුලදී ඔවුන් තුල හටගන්නා ආලයක් වරෙක් ඔවුන් එක් කරමින් නැවත වෙන් කෙරෙමින්, ඔවුන් ‍එකිනෙකා වටහා ගන්නා ආකාරයත් ආගමික භක්තිය හා භෞතික ජිවිතයේ ‍ගතවෙන අවස්ථාත් හරහා ‍එකිනෙක ගැටෙමින් ආදරය පිළිගැනීම හෝ නොගැනීම අතර දෝලනය වෙන කෘතියකි පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මෙහි පිලා‍ර් ගේ සිහින බලාපොරොත්තු සොයායෑමේ අසිරිය අලංකාරව ඉදිරිපත්ව ඇත. විදර්ශන ප්‍රකාශනයක් වන මෙය පියල් ජයරත්න හා අනුෂයා කොල්ලුරේ ගේ සම පරිවර්තනයක් ලෙස 2009 දී දෙවන වරටත් මුද්‍රණය වූවා. 2007 පළමු මුද්‍රණ අයිතිය සංචිත ප්‍රකාශණයකි.


වෙරොණිකා මැරෙන්න තීරණය කරයි.

2000 වසරේදී ගාමිණි වියන්ගොඩ විසින් පරිවර්තනය කරන ලදුව විජේසූරිය ප්‍රකාශණයක් ලෙස ‍අප අතරට පත් මෙම කෘතිය සිය දිවිනසාගැනීමට තැත් කරන ලද තරුණියක් මානසික රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලකදී නැවත පියවි සිහිය ලැබීම හා සම්බන්ධ සිදුවීම් පෙලකින් යුක්තයි. රෝහලේ ගත කරන දිනයන් පුරා කරන ලද ‍ප්‍රතිකාර ‍ඔස්සේ ඇය අත්විඳින, ලබන හැඟීම්, ඇගේ ජිවිතයේ ප්‍රතික්‍රියා සහ නැවත මරණය ලැබෙන තුරු ඇය ජිවත් වීමට යන ජිවිතය ගැන කැටි කොට ඉදිරිපත් කරනු ලැබ ඇති වෙරොනිකා මැරෙන්න තීරණය කරයි කෘතිය කාටත් ජිවිතය දෙස අළුත් ඉමකින් බැලීමට ආයාචනා කරනු ලබන්නේ අති සාර්ථක අයුරිනි.

යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය.

යහපත හා අයහපත, යක්ෂයා හා සුරදූතයන් අතර ඇති වන පරම්පරා ගත සටනේ තවත් යුධ බිමක් යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය පිටු පුරා නිර්මාණය වෙනවා. ධනය හා‍ අපරාධය හමුවේ මිනිස් සිතේ ඇතිවන සිතිවිලිත් එයින් දෙවියන් හා මිනිසා අතර ඇතිකරන දුරස්ථ භාවයත් විශ්වාසය හා ඇඳහීම පරිසරය හා පුද්ගලයාට අනූව වෙනස් වන අතර පොදු මිනිස් සිතෙහි ඉහත සියල්ල සමාකරයෙන් පවතින බවත් තම සිත පාළනය කරගැනීම හමුවේ මිනිසාට කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකි අතර ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක තමන්ගේ පැවැත්ම වෙනස් කරගත හැකි බවත් මෙම කෘතියේ පාදම ලෙස පවතිනවා.

විස්කෝස් නම් ගම්මානයකට හදිසියේ පැමිණෙන අමුත්තෙකු හා ඔහු සමඟ පැමිණි යකෂයාට ප්‍රයිම් මෙනවිය.. මහළු බර්තා.. නගරාධිපති.. නගරාධිපති බිරිඳ.. හෝටල් අයිති කාරිය.. ඉඩම් හිමියා ඇතුළු ගම්මානය මුහුණ දෙන අයුරු හා මොහොතින් මොහොත පුද්ගල මනස වෙනස් විය හැකි ආකාරය අපූරුවට මෙහි චිත්‍රණය වෙනවා. චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කර ඇති මෙම කෘතිය 2010 වසරේදී විදර්ශන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිං කියවන්න.. ජිවිතය විඳගන්න.. ඔබ ගතකරන එකාකාර ජීවිතයේ දී වචන හරහා සිහින සිතුවිලි වලට පණ දෙන්න.. යන්න පොත් අතර පිටු අතරේ පියඹන්න. සිහිනයට පියඹන්න ඉඩදෙන්න. හැබැහින් අත්නොවිඳි සියදහස් මොහොතවල් වලට පණ දී ඔබ තවම ජීවත් වන බව නිය‍තුඩින් හෙමි හෙමින් කොනිත්තා දැනගන්න...... ෴

Thursday, April 14, 2011

අවුරුදු බයිලා


අද ලංකාවේ අපිට අවුරුදුය.. සිංහල දෙමළ අවුරුද්ද කියා අපි මෙය නම් කර ඇත්තෙමු. නමුත් සිංහලයන් අතිරින් කොටසක් ද මෙම අවුරුද්ද සමරන්නේ නැතිය. කෙසේ වෙතත් අපිට වසරකට අවුරුදු දෙකක් ඇත්තේය.. ඒ ජනවාරි පළවෙනිදා හා අප්‍රියෙල්ය. මේ දෙකෙන් මම කැමතිම අප්‍රියල් අවුරුද්දටය. ඒ දෙයියනේ කියා දවසක් දෙකක් නොව දවස් තුන හතරක් උව නිවාඩු ඇති බැවිනි.
දැනට මම රාජකාරී කරන්නේ අත්‍යාවශ්‍ය සේවා ස්ථානයකය. අපි දවස් තුන්සිය හැටපස් දවසේ රාජකාරී කරයුතුව ඇත. එනිසා අපිට නිවාඩු ලැබා ගැනීම සෑහෙන්න අමාරුය. ඒත් යන්තං සංතන් මේ අවුරුද්දේද නිවාඩුව ඇජෙස්ට් කරගෙන මම ගෙදරය. අද දින රාජකාරීය ඉලංදාරී දෙදෙනෙකු බාරගෙන ඇති නිසා යන්තං හිතේ නිදහසේ අවුරුදු ගත කරගත හැකිව ඇත.
නිවාඩුවට අමතරව වැඩියෙන් අවුරුද්දට කැමති වීමට තරම් දෙයක් නම් දැනට මට නැත. නමුත් මේ අවුරුද්දේ දැනට ගවුම් 3ක් බ්ලවුස් 3ක් ආදී වශයෙන් අම්මාගෙන් තාත්තාගෙන් නැන්දාගෙන් ආදී වශයෙන් මට තෑ‍ගී ලැබී ඇති බැවින් අවුරුද්ද ‍ඒමේ සයිඩ් චාන්සස් කීපයක් ද ඇත.
තව පැය දෙක තුනකින් පමණ නැකතට අනූව අම්මා කිරිබත් ඇතුළු අනෙකුත් කෑම සූදානම් කරනු ඇත. එයින් පසු මට නියමිතව ඇති පරිදි හැඩ දමා මම කෑම මේසය පිළියෙල කරමි. සමහර පැති වල කෑම මේසයට අයත් වන්නේ කිරිබත් හා කැවිලි වර්ග පමණි නමුත් ‍අප පෙදෙසේ කැවිලි වලට අමතරව බත් එළවළු ව්‍යාංජන ද මේසයට එන නිසා අපේ කෑම මේසයේ ඉඩ හසුරවා ගැනීමට හැම අවුරුද්දකම මට හෙනම ගේමක් දෙන්නට සිදු විය. නමුත් මේ අවුරුද්දේ බිස්කට් වැනි කෑම අයින් කර අත්‍යාවශ්‍ය යැයි සැලකෙන කෑම පමණක් යොදා ගැනීමට අම්මා තීරණය කරඇති බැවින් මට වැඩි කරදරයක් නොවුනු ඇත. පසුව යෙදෙන නැකතේදී.. සියළු කැවිලි පෙවිලි එකට අනා තාත්තා බත් පිඩක් සාදා බුදුන්ට දෙවියන්ට වෙන් කරනු ඇත. පසුව එම සියල්ල ඇනූ කටක් මටද ලැබෙනු ඇත. එය මා කැමතිම කෑම කටයි. සියළු රස හා ආදරය එක්ව ඇති එම බත් ගුලියට මම සැමදා ඉතා කැමතිය.
අවුරුද්දේ කැමති දේවල් ගැන කතාකරද්දි ඔයිට ව‍ඩා කැමති දෙයක් නම් මට මතක් වන්නේ නැත. සිරිත් විරිත් රකිනවා කියා දැන් කාලයේ අප කරන‍්නේ පට්ට බොරුවක් ය. අපිව ම රවට්ටා ගැනීමක් ය. මන්ද යත් නොනගතයේ නිරාහාරව සියට යුතු වුවත් ‍දෙයි‍යනේ කියා උදේ වේල තේ වේල නොඅඩුව ලැබේ. වැඩකටයුතුද සිරිත් පරිදි සිදු‍වේ.. නමුත් ඒ අතර සිරිත් ද නැකතට සිදුවේ. ඒ නිසා වැඩි අවුලකුත් නැත.
මේ අවුරුද්දේ ම‍ගේ පරණ යාළුවන්ට මොළේ පෑදී ඇත. එම නිසා ඇමතුම් මැසේජ් ආදිය සෑහෙන්න අඩුය. අළුත් අය පමණක් එකක් දෙකක් එවා ඇත. ඒවාට මතක් උනු වෙලාවක හෙමින් සැරේ රිප්ලයි එකක් යැවිය හැක.
ශරීර සෞඛ්‍යය ගැන සිතා මේ වසරේ හැකි තාක් පැණිරස වලින් ඈත් වී සිටීමට දැනට අදිටන් කරගෙන සිටිමි. නමුත් මා වෙනුවෙන් විශේෂයෙන්ම සැදූ කජු ආදීය මොකුත් නොදැමූ ප්ලේන් අළුවා මල්ලක් ඇත. එය නොකෑම නම් සිට්ටි නැන්දාට කරන අගෞරවයක් බැවින් එය පමණක් කමි. තව මී කිරි හට්ටියට ඇත. නොකා තිබ්බොත් එය නරක් විය හැකි බැවින් එයටද සාදාරණයක් කරමි. ඒ ඇතිය.

මේ ලිව්වාඇතිය. ලිව්වේද වෙන වැඩක් නැති හෙයිනි.මොනවා උනත් සැමට සුභ අළුත් අවුරුද්දක් පතමි. එය මාගේ යුතුකමයි.!

Friday, April 1, 2011

මාර්තු in brief ;-)


මාර්තු 1 - උදේම දෙහිවල ගියා පොඩි ෂොපින් වැඩකට.. මිකී නම් බැල්ල විසින් අමරණීය වීමේ රහස හෙවීමට කියවීමට ගොස් එක පොත පොත් හතර පහ හය කර තිබූ නොමැරෙන මිනිස්සු පොත දෙහිවල සරසවීයේදී සොයා ගන්නා ලදී..!!! එදින සවස මිෂන් 15 ඩේස් පටාන් ගතිමි.

මාර්තු 2-14 - දක්වා කීමට දෙයක් නොමැත.

මාර්තු 15 - මිෂන් 15 ඩේස් අවසන් කලෙමි. ලාවට හටගත් බෙල්ලේ අමාරුව හා ඇස්වටා කළු වීම හැර සෙසු ආබාදයක් නොවුනි.

මාර්තු 17 - තනි ඉරෙන් මානාපය ප්‍රකාශ කරන ලදි.

මාර්තු 26 - අළුත් මිතුරන් පිරිසක් දුටුවෙමි.

මාර්තු 27 - අම්බ‍ලමේදී සෙට් උනෙමු. අම්බලමට ගියත් වාඩියට නොයන මෙන් සැමගෙන් ඉල්ලමි.. වාඩියට ලැබෙන සර්විස් එක අන්තිම චාටර් ය. කෝක් බොතලයක් ගේන්නද විනාඩි 20+ ගත වේ. කෙසේ නමුත් එය අමතක කර ආතල් එක ගැන සිතන විට වාඩිය සෙට් වීම් වලට මරුය. මක් නිසාද යත් මෙලෝ යකෙක් අහලකට නොපැමිණෙන නිසා කුජින්ත වැනි උන්ගේ ජිවිතේට සංස්කරණය කල නොහැකි කටවල් ගැන බිය විය යිතු නැත.

මාර්තු 31 - 2011 අවුරුද්දෙන් මාස 3ක් ගත වී අවසාන්ය. ඒ ගැන කරන්නට දෙයක් නැත මක්නිසාදයත් හැමදාම වෙන්නේ ඒ ටික බැවිනි.

-----

දැන් ලියන්නට පට්ට කම්මැලිය. බ්ලොග් කියවන්නේද හත් අවුරුද්දකට වතාවය. කියවන විට ලියන්නට හිතේ ලියන විට නැවත කම්මැලි සිතේ. ආයේ මොනා හෝ ලියන්න හිතෙන දවසක ලියමි. එතෙක් නවතිමි.

ඔබ සැමට BS!!!.