Saturday, February 19, 2011

බුද්ධදාසි


මේ දවස් වල ජිවිතේ හරිම ඔතෑනියි වගේ.. වෙන විදියකට කියනවා නම් කිසිම හැපනින් එකක් නෑ.. අනේ මන්දා වයසත් එක්ක එන හැඟීමක්ද නැත්තං වෙන මොකක් හරි අවුලක් ද කියලා.. අර කෙනෙක් කියනවා වගේ මම මෙ‍ලෝ රහකට නැති හෙනම කොමන් චාටර් ගෑණියෙක් බවට පත් වෙමින් යනවා දෝ මන්දා..

එහෙම තමයිනේ ඉතිං ජිවිතේ හැටි.. හැමදාම එක විදියට තියෙන්නේ නැහැනේ.. මොහොතින් මොහොත තත්පරෙන් තත්පරේ ජිවිතේ වෙනස් වෙනවා.. හැම සිද්ධියක් එක්කම මුහුකුරා යමින් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙමින් අපි අළුත් වෙවී පරණ වෙවී පැවතෙනවා..

ඔය අළුත් වෙන පරණ වෙන ජිවිතේ ඇතුලේ සමහර වෙලාවට කවදාවත් මඟහැරෙන්නේ නැති පුරුදු වීම් අපි කාට කාටත් තියනවා .. ඉතිං ඒ වගේ පුරුද්දකට වගේ පහුගිය දවස් දෙකේ අතේ රැදිලා තිබුනේ "බුද්ධදාසි". ඊටත් කලින් තාඹුගල හාමුදුරුවන්ගේ පොතක්..

සමහර විට මේ දවස් වල හිතේ පවතින තත්වයට පත්වුනේ ඔය පොත් නිසාද කියන්න තේරෙන්නේ නැහැ.. මට වචන වලට පෙරළන්න නොතේරුනාට මේ වෙලාවේ හිතේ පවතින සිතුවිලි විස්තර කරන්න මං ආසයි.. ඒක මොන වගේ මනෝ භාවයක්ද කියනවා නම් මේ වෙලාවේ ඕනම තරහා කා‍රයෙක්ට ‍කරුණාවෙන් කතාකරන්න හිතෙන ත‍රමේ බොහොම කරුණාවක් හිතේ පිරිලා කියන්න නම් මට දැනෙනවා.. ඇලීම් බැඳීම් වලින් තොර ජිවිතේකට යමු කියලා හිත ලොකු ඉල්ලීමක් කරනවා වගේත් දැනෙනවා..! හැබැයි එහෙම මට්ටමකට යන්න තරම් නිදහසක් නම් මට නෑ කියන්නත් ඒ හිතේම තව කොටසක් දන්නවා.. ඒ නිසා මේ පවතින මනෝභාවයට නිදහසේ සරන්න හැරලා මම පොත් ගැන කිව්වොත් හොඳයි වගේ.

තාඹුගල ආනන්දසිරි ස්ථවිර කියන්නේ 1954 අවුරුද්දේ කුටුම්බිගල මහා තපෝවනයට වැඩි හිමිනමක්.. 1960 අවුරුද්දෙදි යාන්තමට පැවිද්දන්ට‍ උචිත අයුරින් කුටුම්බිගල සේනාසය සකසවා ගත් උන්වහන්නේ එතැන් පටන් එහි ජිවත් වීමේදි ලද සොදුරු අත්දැකීම් උපයෝගී කරගෙනයි "විසිපස් වසරක වන දිවි ‍තොරතුරු" රචනා වී ඇත්තේ..

ධර්මය.. ස්භාවධර්මය..හා එම ද්විත්වයේ සංකල‍නයේ මිහිරියාව හා සෞන්දර්යය එම කෘතියෙන් අලංකාරව විචිත්‍රවත් වෙනවා.. සුරංගනා කතාවක්දෝ... සැබෑ විය හැකිදෝ යි හිතෙන තරමටම අලංකාර, කියවන්නාට කිට්ටුවෙන ආකාරයේ බස් වහරක් හා ශෛලයක් යොදාගෙන රචනා වී ඇති නිසා ලොකු පොඩි කාටත් කියෙව්වොත් හොද රසයක් විඳින්න හැකි වේවි.. ප්‍රකාශය දයාවංශ ජයකොඩි එකෙන්.. අවසාන වරට මුද්‍රණය කරලා තියෙන්නේ 2005 දි.

එයින් පස්සේ අතට ආවේ ‍සුනේත්‍රාගේ බුද්ධදාසි.. මීට කලින් පියනි මණ්ඩපය.. බත් තරංග.. මතක පොත හරහා මා ආදරය කල සුනේත්‍රා‍විය මෙවර මා රැගෙන ගියේ ආනන්දයේ උපරිමයෙන් එහා ඉමකට දෝ මන්දා.. අනුරාධපුර ‍යුගය පසුබිම්ව රාජ වංශයක, එකල ආගමික විධි, ජනජීවිතය හා අවාහ විවාහ සම්බන්ධතා අස්සෙන් සංසා‍ර බැඳීම්වල වද වේදනා හා එයින් මිදී මේ සරළ විදි ගැන ‍පැහැදිලිව නමුත් කෙටියෙන් ඒ ඒ අවස්ථාවට උචිත අයුරින් පෙළගැස්වී තිබුනු ආකාරය අපූරුයි.. තවම මම චූල රූපසරා එක්ක පණ්ඩිතකතා දොඩන අස්සේ අනුරාධපුර විහාර අතරේ ඇවිදිනවා බුද්ධදාසි එක්ක, ක්‍රිෂ්ණක්ෂි එක්ක සාමි පුදන්න කඳුගැටි නඟින අතරේ කුංජු මාතව එක්ක හුස්ම ගැනීම ගැනවත් නොහිතා හිත ඉහිල් කරගන්නටයි හිතෙන්නේ..

විවිධ කාලසීමා වලදි ජිවිතයේ විවිධ මට්ටම් විවිධ නාමවලින් ‍ගෙවෙන ඒත් සියළු බැදීම් වේදනා වලින් මිදුන ඒ ස්ත්‍රී ආත්මය ඇතුලේ තිබුනු නිදහස.. ගැලවීම.. මගේ හිතටත් කාන්දු වෙලා වගේ.. හරිම නිදහසක් දැනෙනවා.. ඒ හුවමාරු සිද්ධ උනේ සුනේත්‍රා රාජකරුණානායකාවියන්ගේ වදන් මායාවේ බලෙන්... ඒක හරිම සොදුරුයි.. මිහිරියි.. ප්‍රියයි.. නමුත් මම දන්නවා මේ මිහිර රැදෙන්නේ තව ටික දිනයි..

මොකද අද රෑට මම ස්පිට්ල් එක්ක අහිමි උනු දඩමං ‍ඔස්සේ සරන්නයි කල්පනා කරන් ඉන්නේ..

කමක් නෑ.. මට කුංජු මාතාවක් වත් බුද්ධදාසියක් වත් වෙන්ඩ උවමනා නෑ.. මගේ හිත තනන්නේත් බිඳින්නේත්.. නැවත තනන්නේත් මම මයි..! ඒ නිසා කො‍යි මානසිකත්වේ කොයි තරම් වෙලා කොහොම සිටිය යුතුද තීරණය කල යුතු වන්නේත් මම මයි.. මම විසින් මා උදෙසා මට හිතෙන වෙලාවක මා එය කලයුතුමයි!

Wednesday, February 16, 2011

හිතෙනවට..



උපන්දා සිට ජිවිතය කොයිතරම් නම් වෙනස් වෙනවද
අඬන්න විතරක්ම දැනගෙන අත්මිටි ගුලිකරන්
අම්මාගේ සිරුරෙන් එළියට එන අපි එතනින් එ‍හාට කොයි තරම් නම් දේවල් ගැන දැනගන්නවාද?
ඉගන ගන්නවාද? කවුරු හරි කියලා දෙන නිසා..
නැත්තං අපිටම දැනෙන නිසා.. නැත්තං ඔහේ නිකංම හිතෙන නිසා හැම විදියකින්ම අළුත් අළුත් දේවල් අපි කොයි තරම් නම් ඒ දවස් වල ඉගන ගන්න ඇතිද?
දැන් අමතක උනාට අපි දැනටත් වඩා පොඩි කාලේ ඉන්න ඇත්තේ කුතුහලේකින්.. බලන්න පුංචි අයගේ ඇස් දිහා.. එයාලා ඇස් ගෙඩි ලොකු කරගෙන හැමදේම දිහා බලන හැටි..
අපිට හුරුපුරුදු හැමදේම එයාලට අළුත් දේවල්..
ඒ අළුත් දේවල් අස්සේ පොඩ්ඩක් හරි අමුතු දෙයක් දැක්කොත් කෑගහලා අඬනවා ඇරෙන්න
වෙන දෙයක් කරන්න නොදන්න පොඩි උන් කොයි තරම් හුරතල් ද?

පොඩිකාලේ එහෙම උනාට දැන් අපිට නිදහසේ අඩන්නවත් පුළුවන්ද?
වයසත් එක්ක කඳුළුවල වටිනාකමත් අඩුවෙනවාද මන්දා
එහෙමත් නැත්තං අනේ මන්දා.. හිතන්න දැන් අපිට පුළුවන්ද අඩන්න හිතෙන හැම වෙලාවකම අඩන්න?
වේදනාවක් දැනුනත්.. සතුටක් දැනුනත්.. වෙන මොනා හරි හින්දා අඩන්න හිතුනත්..
කොයි තරම් ඕන කම තිබ්බත් බැරි වෙලාවත් ඇඩුවත්..
කී දෙනෙක් අහයිද ඇයි මේ පොඩි එකෙක් වගේ අඩන්නේ..
ඕක අඩන්න තරම් දෙයක්ද?
ලැජ්ජ නැද්ද?

අනේ මන්දා
වයසත් එක්ක අපි සබ්‍යත්වය..ශීලාචාරකම.. හැදියාව..ඔය වගේ එක එක වචන අස්සට දාලා
අපේ කොයි තරම් නම් හැඟීම් යටපත් කරගන්නවද? කොයි තරම් සිතුවලි පාලනය කරනවද
කොයි තරම් ‍දේවල් මිස් කරගන්නවද?
අපි පව්!
සිරාවටම පව්..

කිසිම උවමනාවක් නැතුව මේ ලොකෙට ඇවිත්
උවමනාවන් ගොඩාක් හදාගෙන ජිවත් වෙලා
කිසිම දෙයක් නැතිව
හිටිගමන් ආයෙම යන්න යනවා..

ඉන්නකං තියෙන ටික කාලේ
කීයක් නං ‍නීති දාගෙන අරවා මේවා හින්දා
හිරවෙලා තෙරපිලාද ඉන්නේ..

හැබෑවටම යනකං නිදහසේ ඉන්න
විදියක් ඇත්තෙම නැද්ද?


පිංතූරේ නම් ඉස්සුවා.

Sunday, February 13, 2011

කරදියේ දින දෙකක්.



යන්තං සන්තං අසනීප වෙලා ඉන්න උනත් අදින් අවසන් වෙලා යන සතිය පටන් ගැනුනෙත් අවසාන උනෙත් හරිම අපූරු විදියට..

පහුගිය 5 වෙනිදා උණවටුනේ මුහුදු වෙරෙළත් අද ඒ කිව්වේ 13 වෙනිදා අපේ ‍ගමේ මුහුදු වෙරළෙත් හරිම අපූරු දවස් දෙකක් ගතකරන්න පුළුවන් උනා.. මගේ වර්ග දෙකක යාළුවෝ එක්ක.

මුලින් ඉතිං පස්වෙනිදා‍යින් පටන් ගන්නම්කෝ.. මීට මාස ගානකට කලින් යන්න හිටියත් මොකක්දෝ හේතුවගයක් නිසා යන්න බැරිවුනු අපේ උණවටුන ගමන කොහොමින් කොහොම හරි අපි එදාට යන්න යොදාගත්තා.. ඒත් ඉතිං පහුගිය සතිවල තිබ්බ කාළගුණේ නිසා ගමන කඩා‍කප්පල් වෙයිද.. ගියත් ෆන් එකක් ගන්න බැරි වෙයිද වගේ නොයෙක් බාධක ආවත් එදා උදේම අපේ කස්ටිය ගමන යන්න පිටත් උනා.. හැබැයි ඉතිං දරාගන්න බැරි විදියේ පොළු පාරවල් දෙක තුනක් කන්නත් සිද්ධ උනා අපේ යාළුවන්ට පිං සිද්ධ වෙන්න.. හැබැයි ඉතිං කොහොම හරි අපි ගියා..

අනේ ඉතිං දෙයියෝ මුණ බැළුවා වගේ.. ලස්සන කාළගුණයක් එක්ක හොද මුහුදක් තිබ්බ නිසා අපි ෆුල් ෆන් එකක් අරන් එදා හවස 7 විත‍ර වෙනකොට අපේ ගමන අවසන් කරා..! අපිට ජය වේවා..!! පොළු කාරයෝ භංග වේවා!!!

බංගවේවා කිව්වට මොකද උණවටුනේ ඩීසල් මිශ්‍ර ලුණු වතුර පෙවිලද මන්දා හරී.... සනීප විදියට අසනීප උනා... ‍මේ ලොකේ තියන එපාම කරපු ලෙඩේ වන හෙම්බිරිශ්ෂාවත් එක්ක..!! හයියෝහ්..!!! සුපුරුදු විදියට දොස්තර මාමාට මූණ පෙන්නලා පෙති ටික ඉල්ලන් ඇවිත් බීලා යන්තං වැඩේ ගොඩ දාගත්තා කියමුකෝ මෙන්න තව මූදූ ගමනක්!!!

2010 ජනවාරි 17 අපි කට්ටිය එකතු උනාට පස්සේ හරියටම අවුරුද්දක් ගියාට පස්සේ තමයි මගේ ස්කෝලේ යාළුවෝ සෙට් එකට මතක් උනේ අපි කාලෙකින් මුණගැහුනේ නෑ නේද කියන එක.. ඉතිං අපි තීරණය කලා නැවත හමුවක් සෙට් කරගන්න.. හොටෙල්.. රෙස්ටූරන්ට් පාර්ක්.. අරහේ මෙහේ හැමතැනම ගැන සලකා බලලා අන්තිමේ අපේ ගෙදරදි හමුවෙමු කියලා කට්ටිය තීන්දු කලා.. දැන් ඉතිං ඇත්තටමත් බලද්දි අපේ ගේ ලොජ් එකක් වගේනේ..! හික්! (ඒක කරපු උඹලට ස්තූතියි)

අවුරුද්දක් ඇතුලත මිනිස්සුන්ගේ ජිවිතයක් කොයි කොයි විදියට වෙනස් වෙන්න පුළුවන්ද? අපේ හෙලන් දැන් අම්මා කෙනෙක් වෙන්නයි ලෑස්තිය.. අනිත් අය නම් ඉතිං ලොකු වෙනසක් නෑ.. කොහොම හරි ඉතිං අපේ ගෙදර වෙරළට ලඟ නිසා එහෙත් යමු කියලයි අපි කතා උනේ.. ඉතිං අද කට්ටිය උදේම කට්ටිය අපේ ගෙදරට ගොඩ උනා.. පොඩි චැට් එකකට පස්සේ අපි ඉතිං වැල්ලේ යං කියලා පිටත් උනා.. හැබැයි කාගේ හිතේවත් රැල්ල පාඟනවා මිසක් නාන අදහසක් නම් තිබුනේ නෑ (මගේ හැර)

විශ්වාස කරන්න.. ‍මට මතක ඇති කාලෙක අපේ ගමේ වෙරළේ නාන්න සුදුසුම විදිහට මුහුද තිබ්බේ අද! ළඟට යනකොට නිකං නාපං නාපං කියලා රැල්ල කොඳුරනවා වගේ..! ඇඳුම් ගෙනාවේ නැති අයටත් නාන්න ඕන වෙලා.. ඉතිං ‍ඇඳුම් පැළදුම් හදාගෙන කට්ටිය නාන්න ගත්තා.. කවදාවත් නාන්නේ නැති අපේ ගඳයා පූර්ණි අදත් නෑවේ නෑ.. හෙලන් ඉතිං වැඩිය දඟලන්නේ කරන්න සුදුසු තත්වෙක නැති නිසා නෑවේ නෑ.. අනිත් අයට නම් ඉතිං ඉබ්බා දියේ දැම්මා වගේ.. දවල් 12.30 ඉදං නාලා ගොඩට ආවේ හවස 5.30ත් පහුවෙලා..! එන්න හදද්දි අනේ ටිකක් ඉන්න කියලා මූද අපිව ආයේ තියාගත්තා.. ඇත්තමයි.. ඉතිං අපි කෑමත් මූදටම ගෙනිහින් කෑවා..

කොයි තරම් ලස්සන දවසක්ද.. අද ඉරේ රැසුත් බාල වෙලා..! අතී‍තයේ වර්තමානේ අපේ මතකයන් එක්ක අපි හැමෝම ආයෙමත් පරණ බැඳීම් වල උණුසුම විඳගත්තා.. ආයේ හුඟකාලෙකට අපිට එකතු වෙන්න බැරි වෙයි.. එත් එතකං සමරන්න.. අපේ හිත් උණුසුම්ව තියාගන්න මේ අද ගෙවිලා ගිය මතකයන් ගොඩක් උදව් වේවි... !

හිතමිතුරු ස්භාවධර්මයට ස්තූතියි අද සොඳුරු දවසක් කරලා දුන්නට!

Wednesday, February 2, 2011

ජනවාරියේ දවසක්.



අනේ මන්දා කාලයට‍ අත්තටු ලැබිලද නැත්තං මං ඉබි ගමනකට වැටිලද කියලා.. හිතා ගන්න බැරි තරම් ඉක්මනට දවස් ගෙවිලා යන්නේ ඇස්පිය ගහන වේගෙටත් වඩා ඉක්මනින් වගේ.. දන්නේම නැතුව 2011 ඇවිත් එයිනුත් මාසයක් ගෙවිලා තව අළුත් මාසයක් ලැබිලා එයිනුත් දවස් දෙකක් ගෙවිලා ගිහිල්ලත් ඉවරයි.. ඔෆිස් බස් ගෙවල් පොත් ‍ටීවී ෆිල්ම් බර්ත්ඩේ ඒවා මෙවා අස්සේ කාලය ලිස්සලා ලිස්සලා යනවා.. අනේ මන්දා..

අනේ මන්දා ආයෙමත් ජිවිතේ ඒකාකාරී වේගෙන වේගෙන යනවා වගේ.. ආයෙමත් අළුත් වෙන්න කාලේ එලබෙමින් තියනවා.. හැබැයි දැන් ඒකටත් කම්මැලියි වගේ..! ෂික් මං වගේ කම්මැලි ගස් ගෙම්බෙක්..! කොයි තරම් ඔතෑනි උනත් මොහොතක් හිතුවොත් අතඇරිලා තියන වැඩ ගොඩක් මතක් වෙයි..! මොනවත්ම ඕනී නෑ.. පැය 24ක් විතර කතා කරන්න නියමිත හැව් ටූ කෝල් ලිස්ට් එකක්ම තියනවා..! කොහෙද ‍ඉස්සර ඉදන්ම තියන ෆෝන් ෆෝබීයාව තාම සනීප නැහැනේ..!ඒ වුනාට ඉතිං ඔන්න ෆෝන් එකේ කෙසේ වෙතත් මගේ බැටරි ‍චාජ් වෙච්ච වෙලාවක නම් සේරටම කතා කරන්න ඕනී..

මේ අවුරුද්ද උදාවෙනවත් එක්කම අපේ පෙත්ත පුතා යන්න ගියා නේ..! එයා අහම්බෙන් ඇවිත් අහම්බෙන්ම යන්න ගියා.. එයා ගැන සමහර අයට නම් මතකත් ඇති.. අපි එකතුවෙලා එයාට නමුත් දැම්මේ.. තව එයාව හදාගන්න හැටි විස්තර අහගත්තෙත් ‍බ්ලොග් එක හරහාමනේ... කොහොම උනත් වතාවන් දෙකකදිම එයා අපිව දාලා යන්න ගියා.. එකක් පිහාටු නැතිව හිටපු පොඩිම කාලේ එයාව දාලා හිටි මුට්ටියෙන් බිමට පැනලා පඳුරක් අස්සේ හැංඟිලා ඉදලා හොයා ගත්තා.. දෙවනි වතාවේ පිහාටු ටිකක් ඇවිත් පියාඹන්න පුළුවන් උනු හැටියෙම වගේ මගේ උරේ උඩ ඉදලා පියාඹලා ගියා.. එදත් කොහොම හරි අල්ලා ගත්තා.. දෙවනි වතාවෙ නම් එයා යනවා අපි කවුරුවත් දැක්කේ නෑ..!

සත්තු කූඩු කරලා හදන්න අපේ ගෙදර අය අකමැති උනත් අපේ ‍ගෙදර හැමදාම ඉන්න බලු ළමයි හින්දා ගිරවෙක් වගේ සතෙක් ව නිදහසේ හදන්න අපිට බැරි උනා.. ටිකක් ලොකු උනාට පස්සේ ගිරාව යවන්න හැදුවත් හැමෝම කිව්වේ එයා පරිසරයට හුරු නැති නිසා නිදහස් කරොත් කාක්කෝ කයි කියලා.. ගෙදර හදපු සතෙක්ට ‍එහෙම වෙන්න දෙන්න බැරි නිසා අකමැත්තෙන් උනත් එයාව හිරකරලා තියාගන්න අපිට සිද්ධ උනා.. හැබැයි අපේ ගෙදර පස්වෙනියා උනේ ගිරාබබා..!

ඇත්තම කියනවා නම් එයා හරිම නපුරු ගිරා බබෙක්..! එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කාටවත් එයාට අත තියන්නවත් එයා කවදාවත් ඉඩ දුන්නෙත් නෑ.. එ වගේම එයා අපේ පැටී ට හරි මට හරි කතා කලෙත් එයාට බඩගිනි උනොත් හරි උදේ පාන්දරම කූඩුව ඉර එළිය වැටෙන තියාගන්න ඕන උනොත් හරි විතරයි.. අනිත් හැමවෙලේම හරිම මාන්නක්කාරියක් විදියට තමයි එයා හිටියේ..! හැබැයි ඉතිං කම්මැලි හිතුනම තනියෙන් හිනාවෙන... ඔහේ තනියම මොනාදෝ දොඩවන පුරුදු එ‍හෙම තිබුනා...!

හරියට ජනවාරි දෙවෙනිදා හවස මං ගෙදර ආව ගමන් අම්මා කිව්වේ ‍"අනේ බබා පෙත්තා පුතා ගියානේ කියලා.." ඒයාගේ කූඩුවේ කාලයක් තිස්සේ එයාම හදාගෙන තිබ්බ හිඩැසකින් තමයි එයා ගිහින් තිබ්බේ.. ඒ වෙලාවේ ඇස් දෙකට කඳුළු ටිකක් ආවත් හිත ඉක්මනටම හරි ගියා කමක් නෑ එයා නිදහස්නේ කියලා...හැමදාම වැඩට යද්දි එයාට කියලා යන මට එදා කියලා යන්න බැරි උනා නේද කියලා මතක් උනේ ඊට ටික වෙලාවකට පස්සේ.. ඒත් ඉතිං කරන්න දෙයක් නැහැනේ...!

දැන් අපේ ගෙදරට උඩින් පියාඹන හැම ගිරවෙක්ම අපිට දැනෙන්නේ අපේ පේත්තා පුතා වගේ..! මං දන්නවා මට නොපෙනන තැනක හිටියත් අපේ නපුරිච්චි තාම පරිස්සමෙන් ඇති!