Wednesday, June 6, 2018

ගැලවීම

ගැලවීම කියන වචනෙට තියෙන්නේ එක තේරුමක් විතරක් උනාට යෙදෙන විදිය අනූව ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ගමනක් යනකොට සපත්තුවක අඩිය ගැලවෙන එක නරක දෙයක් උනාට නරක ඇබ්බැහියකින් කෙනෙක් ගැලවෙනවා කියන්නේ හොඳ දෙයක්.
හොඳ නරක කියන දේත් ඒ වගේ. සමහර විට කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක් වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් හොඳයි කියන දේට හොඳයි කියලා ඔළුව නමලා ඉන්න එක තමයි ජිවත් වෙන්න තියන හොඳම විදිය. ඒක එහෙම නෙවෙයි කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ.

අද මේ ලියන්නේ මැහුම් ගැලවිල්ලක් ගැන. ඒක ඉබේ ගැලවිල්ලක් නෙවෙයි සිතා මතා පතා කරන ගැලවීමක්.

අපේ ගෙදර කොයි අස්සක මුල්ලක බැළුවත් ඔය මොනා හරි පාට කිරිල්ලක් හරි මැහිල්ලක් හරි නැති වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි. මොකද කාලයක් තිබුනා ඔය වගේ වැඩක් නොකර දවසක් හරි ගත වෙනවා කියන එක මහා අපරාදයක් වගේ දැනුන. පස්සේ ඉතිං කම්මැලිකම කියන කළු වළාව ගොඩක් දේවල් වහගත්තනේ.

ගෙදර කෑම මේසේ ඉස්සරහා තියන බිත්තිය තමයි මගේ කළා නිර්මාණ වල ඒ ඒ කාල වල විශිෂ්ඨතම නිර්මාණය රැදෙන තැන. මල් පොකුරක් ගත්ත කෙල්ලක් වගේම ඉකෙබනා එකක මැහුම් රටාවකිනුත් කාලයක් ඔය බිත්තිය හැඩ උනා. පස්සේ එතනට ආවේ කඩෙන් ගත්ත චිත්‍රයක්. ඇයි ඉතිං ඒ දෙකෙන් පස්සේ මම ලොකු වැඩ වලට අත ගැහුවේ නෑනේ.

දැන් ආයෙමත් අර කළු වළාකුල අයින් වෙලා. අර චිත්‍රෙත් එතන තිබුනා ඇති කියලා මටම හිතිලා තියෙන්නේ. ඉතිං ආයෙමත් අළුත් මැහුමක් අතට ගත්තා. මේ පාර මට ඕන උනේ ඇපල් වට්ටියක් මහන්න. ඉතිං දැන් නූල් ආයිත්තම් හැමදේම ලං කරගෙන දැන් මාසෙකට දෙකකට කලින් වැඩේ පටා...න් ගත්තම කියමුකෝ. කරගෙන යනකොට තමයි දැනුනේ ඒක හරියන්නේ නැහැ කියලා. ඒකේ පාට ටික මට ඕන විදියට එන්නේ නෑ. හිතට හරි නැතිව මොන වැඩේ කරලවත් හරියන්නේ නැති හින්දා ඔතලා දැම්මා පැත්තකට.

දැන් ආයිමත් වෙන මල් පොකුරක් දැක්කා. ඒක මහන්න හිතුවා. අමුතුවෙන් රෙදි ගන්න දෙයක් නෑ. අර ඇපල් මහපු එකේ ප්‍රමානෙම ඒකටත් ඇති. දැන් තමයි ගැලවිවල්ල කියන වචනේ මේකට අදාල වෙන්නේ. ඇස් දෙක පියාගෙන සත්‍යග්‍රහයක් කරාට නූල් ටික ඉබේ ගැලවෙන්නේ නැහැනේ, මම මහපු හැම නූල් පටක්ම මම ම ගලවන්න එපැයි.ගැලවෙන ගලවන එක කොයි තරම් අමාරුයිද කියලා හිතෙන්නේ අන්න එතකොට තමයි.. ඒ වගේ වෙලාවට තමයි මේ වගේ දාර්ශණික සිතුවිලිත් ඔළුවට එන්නේ.

කාලෙකට කලින් ආසාවෙන් ගත්ත සපත්තුවක් ගැලවෙන එක. ආසාවෙන් අඳින ඇඳුමක නූල් ගැලවෙන එක. ආසාවෙන් අලවපු මොනා හරි දෙයක් ගැලවිලා වැටෙන එක.
ගොඩක් වෙලාවට ගැලවීමක් කියන්නේ හිතට දුකක්. අපි ආසයි බැඳිලා ඇලිලා එකට තියනතාක් කල්. සමහර වෙලාවට පදාසයක්ම ගැලවිලා පොඩිම පොඩි රැදවුමකින් විතරක් මුළු හැමදේම රැඳිලා.හරියට මගේ මැහුමේ නූල් පොටවල් 7ක් කැපිලා ඒත් එකම එක හීන් නූලකින් මැහුම රැඳිලා තියනවා වගේ.

ජිවිතේ කියන්නේම ඇලීම් බැඳීම් හා ගැලවීම් වලට.. අපි ඉන්න තැනට අපි වැඩ කරන තැනට අපි වටේ ඉන්න අයට අපි එක්ක හිනාවෙන කතා කරන අයට අපි බැඳෙනවා... දැන හෝ නොදැන. ඒ හැම බැඳීමක් එක්කම ගැලවීමක් වෙන් වීමක් තියනවා. ඒත් ඒකට අපි බයයි. අපි අකමැතියි. මැහුමක නූල්  ගලවනවට වඩා ඒක ගොඩක් වෙනස්.හැබැයි මැහුමක නූල් ගලවනවට වඩා ගොඩක් ලේසීයි..! සමහර විට එකම එක වචනයක්... එහෙමත් නැත්තං වචන නැතිවමත්. අපිට අපේ බැඳීම් ලිහලා ගලවලා දාන්න පුළුවන්. අතහරින එක හරිම ලේසියි. අතඅරින තරමට ජිවිතය පහසුයි. මොකද අපිට තියෙන්නේ හිතත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න විතරයි. හැබැයි සෙල්ලම් කරද්දි වැටෙනවා.. රිදෙනවා.. තුවාල වෙනවා.. ඒකත් අමතක කරන්න බැරි ඇත්තක්. ඒ අතින් බලනකොට මැහුම් ගලවන එක ලේසියි.

ඒ නිසා මම ආයේ මගේ මැහුම ගලවන්න යනවා.


Tuesday, June 5, 2018

ලියුමක්

(අ)හිතවත් මාල හොරා වෙත,

හොරෝ ඔයා දන්නවද? මම දවස ගානේ කොච්චියවල යන මනුස්සයෙක් නෙවෙයි. ඒ මම කෝච්චි වලට අකමැති හින්දා නෙවෙයි. කෝච්චියක් මඟදි කැඩුනොත් මොකද කරන්නේ..  කොච්චියට නඟිනකොට බහිනකොට දොරේ ඉඳන් වේදිකවාට තියන දුර වැඩි හින්දා මාව වැටෙයිද? එතකොට හරියටම බහින්න ඕන  ස්ටේශන් එකට ආවද වගේ කවදාවත් උත්තර හදාගන්න බැරි ප්‍රශ්ණ ගොඩක් මට තියන හින්දා. 

ඒ උනාට හොරෝ අපේ ගෙදර එක්කෙනා එක්ක  එනකොට මට ඒ දේවල් ගැන වැඩිය හිතන්න දයෙක් නැහැනේ. ඒ නිසා තමයි එදත් මම කෝච්චියේ ආවේ. අනික දන්නවද හොරෝ දැන් මට බස් එකේ එක පැත්තකට එන්න යන වියදමෙන් දවස් 2ක් කෝච්චියේ දෙපැත්තටම යන්න පුළුවන්. අනික අපේ රටේ පාරවල් වල වාහන හෙන අඩු හින්දා බස් එක හරිම හයියෙන් යනවනේ. කෝච්චිය පැයකින් යන දුර බස් එක පැය දෙකකින් යනකොට අපිත් ටිකක් හරි කලින් ගෙදර ගිහින් නිදා ගන්න කැමති හින්දා තමයි කෝච්චියට නැග්ගේ. 

එතකොට ඔයා නොදන්න තව දෙයක් තියනවනේ. ඒ මේ මාලේ ගැන විස්තරේ. ඒක ඇත්තටම මගේ නෙවෙයි අපේ අම්මාගේ.ඒක එයාට අරන්දීලා තියෙන්නේ එයාගේ තාත්තා CTB එකෙන් විශ්‍රාම යනකොට ලැබුනු සල්ලි වලින්ලු. අපේ අම්මටම කියලා එයා‍ගේ තාත්තා අරන් දීපූ දේවල් වලින් එයාට තියෙන්නේ ඔය මාලේ විතරයි. අපේ සීයා දැන් ජීවතුන් අතර නැති හින්දා ඒ වගේ දේවල් හරියට වටිනවා. මතකයන්නේ හොරෝ! 

මම සාමාන්‍යෙයන් ඔය මාල වළළු එව්වා මෙව්වට කැමති නෑ හොරෝ. ඒ වුනාට ගස් ගල් වගේ පාරේ යනවා කියලා අපේ අම්මම තමයි ඔය මාලේ මට දුන්නේ. මේක වැඩිය පොඩිත් නෑ ලොකුත් නැති නිසා මාත් ඔහේ දාගෙන ඉන්නවා. අනික හොරෝ ඔය වෙන වෙන මාල දානවට වඩා මේක එක සැරේ දිගටම දාගෙන ඉන්න පුළුවන් නිසයි මමත් ඔන්න ඔහේ දාගෙන හිටියේ. 

දැන් එදා කෝච්චි ඇතුලේ ඔයා හිටයද නැද්ද කියන්න මම දන්නේ නෑ. හිටියා නම් දකින්න ඇති මුළු වෙලාවෙම මම හිටියේ ෆෝන් එකේ. මල් කැඩුවා නෙවෙයි හොරෝ එක මරු ඇප් එකක්. චිත්‍රපාට කරන්න තියෙන්නේ.  Sandbox Art. ඔයාටත් ස්මාට් ෆෝන් එකක් තියනවා නම් දාගන්න. වැඩක් නැති වෙලාවට කම්මැලිකම යන්න කරන්න මරු වැඩේ. අංකවලට ගැලපෙන පාට වලින් පාට කරන්න තියෙන්නේ. කෝච්චි ඇතුලේ නින්ද යන්නෙත් නැත්තං ඔය වගේ වැඩක් කරනවා ඇරෙන්න වෙන මොන කරන්නද අනේ! අනික එක භාවනාවක් වගේ. හිත එකඟ කරගන්න මරු. ඒකයි මම ඒ ඇප් එකට කැමති. 

ඒත් එක පාරටම මගේ බෙල්ල පිටිපස්සට දැනුන ගොරෝසු ඇඟිලි තුනක් නිසා මගේ ඇප් එකට තිබ්බ අවදානේ බිඳුනා. හරියටම එගොඩඋයන ස්ටේශන් එකේදි කෝච්චිය යන්න පටාන් ගන්නකොටම. ඒ ඔයා.! හරිම නරකයි අනේ! මට මූණ බලාගන්නවත් ලැබුනේ නෑ..! මම දැක්කේ කැප් එකක් දාපු කෙනෙක් පණ එපා කියලා වගේ දුවනවා විතරයි. ඇයි දිව්වේ? චේන් එක මගේ ළඟනේ.. අපරාදේ අප්පා! එක කැඩිලා දැන් ඉතිං එක හදන්න මම ආයේ වියදම් කරන්න එපැයි! 

මම දන්නවා හොරෝ දැන් කාලේ ජිවත් වෙන්න අමාරුයි තමයි. කොච්චර සල්ලි හෙව්වත් එක පැයකදි ඉවරකරලා දාන්න පුළුවන්. ඒත් අපි හැමෝම ජිවත් වෙන්න එපැයි හොරෝ. ඇත්තටම ඇයි  එදා දිව්වේ?  මාලේ ගන්න හම්බුනෙත් නෑ නේද? 

ඔයා දිව්වට පස්සේ මම මාලේ පර්ස් එකට දාගොන ආයේ මගේ චිත්‍රේ සම්පූර්ණ කලා. දන්නවද? මම අම්මට කිව්වේ නෑ ඔයා මාලේ ගන්න හැඳුවා කියලා.එයා පොඩි දේටත් බය වෙනවනේ. ආයේ කෝච්චියේ යන්නම එපා කියයි. මම කිව්වේ නිකම්ම කැඩුනා කියලා. දැන් මට රත්තරං මාල දාන එක අපේ ගෙදර එක්කෙනා සම්පූර්නෙන්ම තහනම් කලා. ඒ මනුස්සයට බයයි මගේ බෙල්ල කැඩෙයි කියලා ඔයාල අදින පාරකට. ඇත්තනේ හොරෝ! ඒකත් හොඳයි දැන් මොකුත් නොදා ඉන්න පුළුවන්! එක්කෝ හෙමින් සැරේ ගොල්ඩ් ප්ලේටට් එකක් අරගන්නවා. එතකොට ඔයා අරගෙන ගියත් අනේ කමක් නෑ කියලා ඉන්නනේ තියෙන්නේ. ඒත් එතකොට ආයේ ඔයා පව් වෙනවා. 

ඔයා දන්නවද ඔයාගෙයි මගෙයි වගේම කතාවක් තියන මලයාලි ෆිල්ම් එකකුත් තියනවා. Thondimuthalum Driksakshiyum කියලා. ඒකේ හොරා නම් මාලේ අරගන්නවා. හැබැයි කතාව එතනින් නතර වෙන්නේ නෑ. හොයාගන්න පුළුවන් නම් බලන්න. මං ආසම නළුවෙක් ඉන්නෙත් Fahadh Faasil කියලා. ඔයත් කැමති වෙයි.

මේක ලියුම ඔයා දකියිද මන්දා.. ඒ උනාට ඔයාට මේක කියවන්න පුළුවන් නම් හොඳයි. මොකද පොඩි යෝජනාවක් තියෙයි කරන්න. නරකද කොච්චියටම නැගලා සිංදු කිව්වා නම්? මොකද මම කෝච්චි වල සිංදු කියන අයට හරි කැමතියි. අනිවා මම එතකොට ඔයාට සල්ලි දෙන්නම්. හැබැයි මෙන්න වැන්දා නාහෙන් අඩන සිංදු නම් කියන්න ලෑස්ති වෙන්න එපා. සිංදු කියන්න බැරි නම් මොනා හරි විකුණන්නකෝ අනේ. මම නම් ගන්න එකක් නෑ. ඒත් ගන්න අය ගනියි. ඔයාට සල්ලි ලැබෙයි. බොරුවට දුවලා මහන්සි වෙන වෙලාවේ එහෙම වැඩක් කරා නම් හොඳයි අනේ.

එහෙනම් පරිස්සමින් ඉන්න. 
දෙවි පිහිටයි
M_M

Monday, June 4, 2018

රස අමතක වෙන්න කලින් ළුණු චට්නි

හැම කෙනෙකුටම ජිවිතකාලේ පුරාම රැදෙන එක එක ආසාවන් කැමැත්තවල් තියනවනේ. ඒකට ලස්සන සිංහල වචනෙකුත් තියනවා සංසාර පුරුදු කියලා. ඒ කියන්නේ ආත්ම ගානක ඉදන් පතාගෙන ඔතාගෙන එන දේවල් වලටලුනේ. ඔය සිංදු කියන එක චිත්‍ර අඳින එක වගේ එක එක නිර්මාණශීලි එව්වා එන්නේ එහෙමලු. කවුද අනේ ඔව්වා දන්නේ! ඒ වගේ මට පිහිටලා තියන සහජ දක්ෂතා කියන එව්වා නම් මමම හරියට දන්නේ නැති උනත් "කෑම" කියන්නේ නම් මං හිතන්නේ ජිවිත කාලේ මම කැමතිම වචන වලින් එකක්. මගේ ගෙදර මගේම කුස්සියට ගිහින් කෑම හදන එකේ ඉදන් යාළුවන්ගේ බත් පාර්සල් වල ඉදන් කොහේ කොතනක උනත් කෑම කියන්නේ නිරන්තරයෙන් මගේ අපරිමිත ගෞරවය ලැබෙන දෙයක්.

ඒ රස නිසාම විතරක් නෙවෙයි අපි කන හැම කෑමක් ම අපි ලඟට ලැබෙන්න කොයි තරං නම් පිරිසක් වෙහෙස මහන්සි වෙනවද? හරි හරි කෑම විතරක් නෙවෙයි අනිත් හැම දේකටමත් එහෙම තමයි. හැබැයි ඒ කොයි දේ තිබුනත් වැඩක් නෑ අපි ඉන්නේ බඩගින්නේ නම්! ඒ හින්දාමද මන්දා මේ ලංකාව ඇතුලේ තියන කෑම ජාති වලින් මම කන්නේ නෑ කියලා පැත්තකට කරන කෑම වර්ගයක් ගැන මට හිතාගන්න බෑ. තියෙන්නේ වැඩියෙන් කන්න කැමති හා වැඩියෙන් කන්න අකමැති වර්ගදෙක විතරයි.

අපි කතාකරමු වැඩියෙන් කන්න කැමති දේවල් ගැන, මොකටද වෙන එව්වා ගැන හිතලා හිත නරක් කරගන්නේ. තෝසේ!!!! අාන්න වචනේ!! ඒ එක්කම එන්නේ උළුදු වඩේ!!! ආන්න ඊට පස්සේ පුළුවන් හැමදාම කන බත් කොස් අල බිත්තර මාළු මස් පරිප්පු ආදි එකී මෙකී ඔය කොයි එකත් පෙලගස්සන්න. ඒත් තෝසේ කියන්නේ මගේ ලොවේ රාජ්ජුරුවෝ ඔබයි මගේ තොසේ වගේ සිංදු කෑල්ලක් වෙනස් කරලා උනත් කියන්න පුළුවන් වචනයක්.

ඉස්සර නම් තෝසේ ලඟටම ආවේ සරස්වතී එක. හානේ දෙයියනේ ඒ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ... දැන් ඉස්සර වගේ ඒ පැත්තේ යැවෙන්නේ නැහැනේ. :-( . වන්වේ කරපු පාරක සරස්වතීයනවා කියන්නෙම වෙනම ප්‍රොජෙක්ට් එකක්. ඒ උනාට සරස්වතියේ උඩ තට්ටුවේ කෙළවරේ මේසේ වාඩි වෙලා කාපු තෝසේ රස කවදාවත් අමතක වෙන්නේ නෑ. සරස්වතී වෙනුවට දැන් ඉදලා හිටලවත් යැවෙන්නේ ඉන්දු සිලෝන් එකට. ඒකත් නරකම නෑ! ඒ උනත් දැන් අපි ලොකු ළමයිනේ! තොසේ කියන්නේ තව දුරටත් කඩෙන්ම කන්න ඕන කෑමක් නෙවෙයි. මොකද අපි දැන් දන්නවා කඩේ රසටම ගෙදරදි තෝසේ හදන හැටි!
ඉතිං දැන් අපි කරන්නේ......................... තෝසේ ගෙදර හදන එක!


ඇත්තටම මම දැන් මේක ලියන්න ගත්තේ තෝසේ ගැන ලියන්න නෙවෙයිනේ. මට ඕන උනේ ළුණු චට්නි ගැන ලියන්න. මේ ලඟදි යු ටියුබ් එක හරහා මට ළුණු චට්නි හදන වීඩියෝ එකක් ආවා.මම හිතුවේ කවුරු හරි මට සජෙස්ට් කරලා කියලා. බැලුවම එහෙමත් නෙවෙයි. එහෙමයි කියලා මට අළුත් කෑමක් අහක දාන්න පුළුවන්ද? සාමාන්‍ය යෙන් චට්ටි කියන්නේ මම වැඩිය කන්න කැමති කෑමක් නෙවෙයි. ඒ උනාට වැඩි මහන්සියක් වියදමක් නැතුව ගෙදර තියනම දේවල් ටිකක් එකතු කරලා හදන්න පුළුවන් මේ චට්නි එක නම් හදන්නමයි හිතුනේ. අනික වැදගත්ම දේ එක කන්න හොඳයි කියලා තිබුන කෑම වලත් තෝසේ තිබුනා. වැඩේ හරි! තෝසේ හදන්න ත් පුළුවන්!

කොහෙම හරි හැදුවා කියමුකෝ! දැන් තමයි ප්‍රස්නේ! අපේ ගෙදර කවුරුවත් මීට කලින් ළුණු චට්නි කාලා නෑ. ඉතිං හරියටම ඕකේ රස කොයි විදියද කියලා කවුරුවත් දන්නේ නෑ. අපේ ගෙදර මාස්ටර් චෙෆ් හා ළුණු චට්නි එක හදපු චෙෆ් විදියට මගේ අදහස සියඹලා රස ඉස්සර වෙනවා වැඩියි.. :-( කිරිමැටි ටිකක් තෙල් දාලා දුන්නත් මාව අප් කරන්න හොඳයි කියන අපේ අම්මගේ මතය "චට්නි වල රස ඔහොම තමයි ඕක හොඳයි". එතකොට අපේ ගෙදර එක්කෙනා ගේ මතය හැමදාම වගේ "අවුලක් නෑ".

දැන් ඔන්න හැමදේම හදලා කෑම කන වෙලාව ආවා..තෝසේ ... සම්බාරු හොද්ද එක ළුණු චට්නි. හැමදේම එකට ඇනුවට පස්සේ ඇත්තටම ඒක මරු! තෝසේ එකට නියම පන්ච් එකක් දෙනවා ළුණු චට්නි එක. මරු මරු! එතකොට පහුවදා වැඩට ගෙනියපු බත් එකටත් මම නොදැනම අම්මා චට්නි දාලා.. ඒකත් මරු කලින් දවසටත් වඩා රසයි!!

ඉතිං.. කෑම හදන්න කැමති කවුරු හරි මේක කියවනවා නම් ඔයාලත් හදන්න. ළුණු චට්නි. මෙන්න මම බලන් හදපු වීඩියෝ එක. එතකොට ඕකේ අපේ ගෙවල් වල සාමාන්‍යෙයන් තියන දේවල් හැර අර අන්තිම හරියේ දාන කුඩු පොඩ්ඩ මම දැම්මේ නෑ.