Wednesday, January 2, 2013

2012 - ගෙවිලා ඉවර උනාටත් පස්සේ..

ගිය කාලේ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කියමනක් තිබුනට.. ගතවෙලා යන කාලේ ඉතුරු කර යන මතකයන් නම් ඕනෑම මොහොතක ආපහු අද්දවා ගන්න බැරි නැති නිසයි 2012 ඉවර වෙලා දවස් දෙකක් ඉවර වෙන්නත් යන මේ වෙලාවේ වත් 2012 සමරයිස් කරන්න හිතුනේ.. කම්මැලි කමට අතහැරලා දාන්න තිබුනත් ගතවෙලා ගිය අවුරුද්දේ මතකයන් එහෙම අමතක කරන්න පුළුවන් කමකුත් නැහැ ඉතිං!

ඕනම දෙයක් ටික කාලයක් නොකර ඉදලා ආයේ පටන් ගන්න එක කොයි තරම්ද කියලා තේරෙන්නේ දැනුයි.. ටයිප් කරන්න අකුරු පුළුවන් උනාට හිතට වචන නොඑන නිසා මොනවා කොයි විදියට ගලපන්නදෝ කියලා මට තේරෙන්නේ නැහැ.. ලියන්න ඕන නිසා ලියවෙනවා මිසක් ඇත්තටම මට මේ වෙලාවේ බ්ලොග් පෝස්ට් එකක් දාන්න කිසිම උවමනාවක් නැති ගානයි..

ඒත් මම ලියන්න ඕනෙමයි.. ගත වෙලා ගිය මගේ දවස් ගැන.. මගේ මතකයන් ගැන.. මගේ 2012ට සමුදීමේ සටහන..
හැම අවුරුද්දකම වගේ මට ජනවාරි කියන්නේ හරිම විශේෂ මාසයක්! ඒකෙන් 2012 විශේෂ වෙන්නේ මගේ මිකී අම්මා කෙනෙක් වෙච්චි නිසයි.. එයාට බබාලා 7ක් ඉපදුනානේ.. අද වෙනකොටත් එයින් තුන් දෙනෙක්ම අපේ දිහාම ඉන්නවා..අයියා- කොලීන්, මායාකාරී - රෝසි, පැහිච්ච මීටරේ - පොඩ්ඩි. බල්ලෝ 4ක් හදන එක ටිකක් විතර ගේමක් උනාට පාරේ බල්ලෝ පූසෝ හා බලු ගති ඇති කොල්ලෝ යන වෙලාවට ඇරෙන්න අපිට ඒ අයගෙන් වැඩි කරදරයක් නෑ.. ඉතිං මට 2012 ලැබුනු හොදම තෑගි වලින් එකක් තමයි මිකීගේ බබ්බු ටික.

ඊට පස්සේ අපේ ජීවිත වල වෙච්ච ලොකුම වෙනස තමයි තාත්තාගේ විශ්‍රාම ගැනීම. එතෙක් මාස් පතා නිවසට මුදල් ලැබුනු ප්‍රධාන ආදම් මාර්ගය නැවතෙන එක ගැන ටිකාක් විතර බයක් තිබුනා තමයි මොකද වටේ පිටේ හිටි, නිසි පරදි විශ්‍රාම යෑමේදී ලැබුනු මුදල් කළමනාකරණය නොකල පවුල් දිහා බලද්දි අපිට මොනා වෙයිද කියන බය නොතිබුනා නෙවෙයි.. නමුත් අපේ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් එයාලගේ ලයිෆ් ප්ලෑන් මම නොදැනම හදලා තිබුන නිසා හෝ එන එන විදියට උලුහස්ස ගැහීමේ එයාලගේ ටැලන්ට් එක නිසා හෝ මේ වෙනකොට ඒ ගැන බය වෙන්න දෙයක් නැති තරමට පත් වෙලාගිහින් වගේ..

ඇත්තටම පෙබරවාරී, මාර්තු,අප්‍රේල්,මැයි එහෙම කොහොම ගෙවුනද කියන්න මට හරි මතකයක් නෑ.. ෂුවර් එකටම නැගිටිනවා.. වැඩට යනවා ගෙදර එනවා.. නිදියනවා.. නැගිටිනවා.. ‍ඔය චක්‍රේ තමයි තියෙන්න ඇත්තේ..
ඕක වෙනස් උනේ දවසක් එක සැරේම ඔන්න ඔහේ අපි බැදලා දාමුද කියලා කෙනෙක් අහපු වෙලාවේ.. ඒ වෙනකොට අවුරුදු හතරක් තිස්සේ අපේ අම්මා අහ අහ හිටි දැන් කවදද ඔයාලා කවද්ද පිළිවෙලක් වෙන්නේ කියන ප්‍රශ්නෙටත් වෙනදා වගේම අපි හදිසි උත්තරයක් එයාට දුන්නා.. මාසයයි සති දෙකක් විතර කලින්..
මේ වෙනකොට පට්ට කට්ටක් වෙලා තියන වෙඩින් ඇජෙන්ඩා එකේ ගොඩක් දේවල් හලලා 75%ක් විතර අපිට කැමති විදියටයි 25%ක් විතර අම්මලා කැමති විදියටයි.. අන්තිමේ හැමෝම ශේප් වෙන විදියටයි සිම්පල් ප්ලෑන් එකක්ට වැඩේ ඉවර කලා.. හැබැයි දැන් නම් ඒ ටිකත් අපරාදේ කියලා අවංකවම හිතුනට දැනට බැදලා මාස 4ක් විතර පහු උනත් තැන්ක්යූ කාර්ඩ් නැද්ද ඇල්බම් නැද්ද.. ඇයි අපිට කිව්වේ නැත්තේ අරක නැත්තේ මේක නැත්තේ කියලා අහන අය නම් එමටයි.. ඒ වෙලාවට මරසි උත්තරයක් දීලා ශේප් වෙන්න දැන් මාත් හුරු වෙලා.. :පී

සැප්තැම්බර් 8 වෙනිදා හරියටම සතියක් වෙඩිමට පිං සිද්ද වෙන්න රට වගේ රවුමක් ගහන්න පුළුවන් උනා.. කොළඹ කොටුවෙන් සැප්. 9 වෙනිදා නුවර ගිහින් 11 වෙනිදා නුවරඑළිය හරහා හපුතලේට.. හපුතලෙන් පහුවදා හාලිඇළ නැවත බණ්ඩාරවෙලට.. මාරු වෙවී අන්තිමේ බදුල්ලෙන් ගමන නැවතුනා.. ඒ දවස් ටිකේ වැඩිපුරම හීල්ලුනේ එහේ තියෙන රෝස මල් වල සයිස් එකට.. දවස ගානේ පෝර පෙව්වත් මෙහේ ඒ සයිස් මල් හැදෙන්නේ නැහැ නේ ඉතිං! :(

වෙඩින් කතා වලින් පස්සේ ආයෙම පරණ පුරුදු චක්කරේම තමයි ඉතිං.. මොකද ප්‍රාතිහාර්යය වෙන්නේ නැහැනේ..!

ආයෙමත් ශේප් එකේ ගෙවිලා ගිය 2012 අවසානය ආයෙමත් කදුළු කතාවක් වෙන්නේ හිතවත් ගනේගොඩ අයියගේ හදිසි සමුගැනීම නිසා.. හතර පස් වතාවකට වඩා හමුවෙලා නැති උනත් ඒ මුණගැහුනු හැම වතාවකම අවංකව හිතවත් කමින් කතාකරපු ඒ අරුම පුදුම බොහෝම සාමාන්‍ය මිනිසා හදිසියේ රිය අනතුරකින් අපෙන් වෙන් වෙලායෑම ආයෙමත් දෙසැම්බරය කියන්නේ සමුගැනීමේ මාසයක් කියලා මට තේරුනා..

රාජකාරී ගැන කතාකලොත් හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දේ දෙසැම්බරුත් අතිශය කාර්යබහුල විදියට ගෙවිලා ගියා.. රක්ෂණ වාරික කල්පිරෙන්න කලින් ලෙඩ වුනු හොර ලෙඩ්ඩු නිසා පිස්සු හැදෙන්නේ නැතුව බේරුනේ අනූනවයෙන්.! ඇත්තටම දැන් දැන් වැඩ කරන එක ආතතියක් වෙලා මේ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු නිසා.. කතා කරලා වැඩක් නෑ.. ඒ ගැන වෙනම ලිපියක් ලියන්නයි වෙන්නේ..

අන්තිමේ ඇස් දෙක පියාගෙන මොහොතක් හිතුවම ගෙවිලා ගිය 2012 අවුරුද්ද මාව ටිකෙන් ටික මම අකමැති වැඩිහිටියෙක් බවට මා පත්කරමින් හිටියා.. ඉතිරිය 2013 බාර කරලා ඇය ගෙවී ගියා.. ඉතිං කැලැන්ඩරේ කොළ අවසානයි.. අපේ ගෙදර එල්ලූ එකම කැලන්ඩරයක් පමණක් එල්ලී සිටිමින් මේ 2013 යැයි පවසනවා..
ඉතිං සමුගනිමු 2012..

මම
ආදරයෙන්
මලී.