Thursday, February 6, 2014

මතක පොත් ගිණි තැබීම...

මේ අවුරුද්දේ පළවෙනි දවසෙම පළවෙනි තෑග්ග විදියට ලැබුනේ මතක පොතක්... එහෙම නැත්තං ඩයරි එකක්.. ඩයරි එකට සිංහලෙන් කියන්නේ දිනපොත උනාට මම කැමතියි මතක පොත කියන්න.. ඉස්සර නම් දෙසැම්බර් මාසේ අඟ වෙනකොටම ඊළඟ අවුරුද්ද වෙනුවෙන් අළුත් ලස්සන මතක පොතක් ලැබෙන කම් ඉවසිල්ලක් නෑ.. ඒත් මේ අවුරුද්දේ ලැබුන එකත් අම්මට දුන්නා එයාගේ එදිනෙදා ගණන් හිලව් අනම් මනං කැමති නම් ලියාගන්න කියලා..
දැන් මින්ස්සු ඩයරි ලියනවද ඇත්තටම?
නෑ වෙන්න ඕනි..
එහෙමත් නෑ ඊයේ පෙරේදා එයාගෙම වැඩකට අපේ ලාවාගේ බෑග් එකෙන් ඩයරි එක ගත්තම එයා ඒක ලියලා තිබුනා.. ඒ එක්කම මට මතක් උනේ මගේ පරණ මතක පොත් ටික..
අදාලා අවුරුද්ද ඉවර උනාම මතක පොතත් කුණු මුල්ලට යන එකයි වෙන්නේ.. විසිකරන්නත් දුකයි.. තියා ගන්නත් බෑ.. ඔය විදියට එකතු උන මතක පොත් ගොඩකින් අද නිදහස් වෙන්න හිතුනා..
කාලෙකදි හරීම වැදගත් දේවල් තව කාලෙකදි වැඩකට නැති දේවල් වෙනවා කියලා දැන් තේරෙන්න පටන් අරගෙන.. ගේ අස්සසේ කුණු පුරවන් ඉන්න එකත් ඒ වගේ හිතිලා තියෙන්නේ.. ඒ නිසයි අද උදේම මතක පොත් වලින් නිදහස් වෙන්න කල්පනා කරේ..
අවුරුදු දහයක විතර මතක අළුත් කරමින් පිටු පෙරලන එක හරිම ශෝක් වැඩක්..
යාළුමිත්‍රකම්.. ඉස්කොලේ හොර වැඩ.. ජොලි වැඩ.. සිරා වැඩ.. එක්ක පොඩි පොඩි සීන්.. අනම් මනං එක්ක.. අපේ ආදර කතාවේ හුඟක් දවස් ගැන වචන දෙක තුනේ පොඩි පොඩි නෝට්ස්... කොටින්ම අපි මුලින්ම බලපු ෆිල්ම් එකේ ටිකට්ස් පවා.. මුළුන් ලැබුන චොකලට් එකේ කොලෙත්.. ලැබුනු තෑගි වල පුංචි නෝට්ස්.. හැම අවුරුද්දෙම බුක් ෆෙයාර් ගිය ටිකටස්.. විශ්වාස කරන්න බැරි විදියට අවුරුදු 9ක් තිස්සේ මම පාවිච්චි කරන ෆෝන් කනෙක්ෂන් එකට මුලින්ම දාපු කාර්ඩ් එක පවා.! බලාගෙන ගියාම මම පුදුම එකතු කිරීමේ පිස්සුවක් තියෙක හෙනම මානසික රෝගියෙක්නේ..!

කල් යන්න යන්න ජංජාලෙට ලං වෙන්න ලං වෙන්න මතක පොත් පාවිච්චියත් නැතිව ගිහින් ඒ පිස්සුත් හොඳ වෙලා ගිහිං.. ෆොටෝ කෑල්ලක් අරං කොහේට හරි අප්ලොර්ඩ් කරලා දාන්න තරම් දැන් සිස්ටම් එක වෙනස් වෙලා.. කමක් නෑ.. එහෙම තමයි ඉතිං..

මතක පොත් අවශ්‍යමයි කියලා හිතුන පිටු ටිකාක් විතරක් ඉතිරි කරගෙන අනිත්වා හවස පුච්චලා දැම්මා..තව කාලයක් ගිහිං ඒ පිටු ටිකත් වැඩක් නෑ කියලා හිතුන දවසක ඒ ටිකත් පිච්චෙයි..

මතක හිත් වල විතරක් ඉතිරි වෙලා මතක පොත් අළු වෙයි....


Wednesday, February 5, 2014

නිර්වානයේ දොරකඩ හිඳිමි....


පුරහඳ අයිති රාත්‍රියටය...
තරු පිරි අහසක පුන්සඳක් යනු
නේක දැසිදස්සන් පිරිවරා
සිටිනා මහේශාක්‍ය වරයෙකු මෙනි..
අහසතලයත් පොලෝ මහී කතත්
සියල්ලන්ට හොරෙන්
සිය සදාතනක පෙම් මුණු මුණුවේ
වෙලෙමින් මුළු වටපිටාවම
එකම රසගුලාවක් කර ඇත..

දිවා දැඩි සූර්ය රැසින් පීඩිත
සිය පෙම්වතිය සනහන
අහස් ගැඹ
පිණිති විසුරුවා ඇය නළවති
සුවඳව පුෂ්පයෝ දක්වා
ඈ ඔහු පසසති...
කදෝපැණි එළිත්..
තාරුකා එළිත්..
අහසත් පොලෝ මහීත්
අතර රහස් මුකුළු පණිවිඩ
ඔබ මොබ ගෙන යති..

ඒ පුරහඳ පෑයු දිනය සුවිශේෂීය..

ඇමසන් වනයේ
හරි මධ්‍යයේ
මිනිස් ඇසකට නොදිටිය හැකි
මිනිස් පයකට ළං විය නොහැකි
ඒ ගිරිකුළ් නම් මුරකරුවන් විසින් රක්නා
අසම සම ඒ පෙදෙසේ
පුරහඳ පෑයු අහස යට..
ඔවුන් සියල්ලෝ
කලකට පසු එක්ව ඇත
සියල්ලන්ට එහි යා නොහැක
නමුත් ඔවුන් සැමට යා හැක..

මා එහි දොරකඩ සිටිමි..

ඔවුන් මහා කතාවකය..
අතරින් පතර සිනහවන්ය..
“මේ මිදි යුෂ ගන්න මත් වන තරමටම පැසී නෑ තවම“
...
“යහපත්ය.. එහෙනම් මදක් දෙන්න..“

දැක පුරුදු ඔවුන් දෙස
බලා සිටියෙමි දොරකඩ සිට
නෙත් කොණින් මා දෙස බලා
ඔවුන් ඔවුන්ගේ දෙඩුම් වල

යේසුස්..සිද්ධාර්ථ.. අල්ලාහ්
එක්ක සත්‍ය සායි.. වගේම
ක්‍රිෂ්ණාලා එක්ක තව ගොඩක් අය
එක මේසයක සුහද පිළිසඳරක

එන්න ඇතුළට..
ඇරයුමක් කලා මට අයෙක්

යන්න බෑ මට
බර වැඩීයි මගේ හිත
බැඳීමෙන් බැඳී ඇත
සිතිවිලි වලින් පිරී ඇත
නිර්වාණයේ දොරකඩින් මම
හැරී ආවෙමි එන්න
පුරහඳ මගේ පසුපසින්
මා එක්ක ආවේය..







පසුව ලියමි :- පුරහඳ පායන දවසට පිස්සන්ට පිස්සු වැඩිවේළු!