Thursday, December 31, 2009

අවසන් ලියමන


හදිසියෙන් උනත් මේ ලිපිය නොලියා බෑ... මොකද මේ තමයි 2009 වසර වෙනුවෙන් ලියවෙන අවසන් සටහන...

මගේ ‍පැත්තෙන් බලද්දි නම් 2009 කියන්නේ කථා කරලා වැඩක් නැති පට්ටම පට්ට චාටර් චකබ්ලාස් අවුරුද්දක්.. අත තිබ්බ තිබ්බ වැඩේ බකස් වුනා කිව්වොත් මං වැරදි නෑ.. හැබැයි තාමත් මං විශ්වාස කරනවා හැම මොහොතක්ම අළුත් මොහොතක් කියලා.. ඉතිං මං වගේ කෙනෙකුට අළුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අළුත් වෙන්න හොද අවස්ථාවක්.. ඉතිං මේ ලබන අවුරුද්දට පෙර තියන මගේ ජරාම ජරා 2009 වසරට සමුදෙන ලිපිය..

මොනවා කොහොම උනත් මගේ ආදරණීය බ්ලොග් එක.. මගේ හැම විකාරයක්ම දරාගෙන හිටියා අවුරුද්දක් පුරාවටම.. හිතේ ඇතිවුනු දුක.. තරහා.. සතුට.. ඇතුළු හැම හැගීමක්ම මගේ දිනපොත වගේ දරාගත්තේ මගේ ආදරණීය බ්ලොග් එක.. ඉතිං මේ වෙලාවේ එයාට ස්තූතී නොකර කොහොමද ඒ වෙනුවෙන් මයි මේක ලියන්නේ..

මම ආසම සිංදු වලින් එකක් තමයි හෙට අළුත් අළුයමක්.. ඉතිං හැමෝටම කියන්න තියෙන්නේ හෙට අළුත් අළුයමක් වෙන කවරදාකටත් වඩා... ඉතිං ඒ අළුත් අළුයමේ අළුතින් ජිවිතය පටන් ගමු.. අළුතින් හිතලා.. හැම මොහොතක්ම උපරිමයෙන් සතුටින් ඉන්න පුළුවන් විදියට..

මේ ‍පිස්සු බ්ලොග් ලිපි අමාරුවෙන් උනත් කියවපු ‍හැමෝටමයි..නොකියවපු හැමෝටමයි... ලියපු මටයි මගේ යාළුවා නෑෂ් ටයි.. එතකොට හෙඩර් ‍එ‍හෙම හදලා දීලා සරසපු
ටයි ලිෂ්ටයි අතුළු එකී මෙකී නොකී හැමෝටමයි.. මගේ ආදරණීය බ්ලොග් එකටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! :D

Tuesday, December 29, 2009

අපේ මලයා ඇවිත්


පහුගිය ටිකේම මම ගිරවා වගේ දෙඩෙව්ව හින්දා හැමෝම දන්නවා ඇතිනේ මට මං අරුනම මොකෙක්වත් නෑ කියලා.. ඒ වුනාට ඉතිං මට නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.. සේරම ඉන්නේ දෙක දෙක තමා කොහොමත් ඒ කිව්වේ අයියලා 2යි අක්කලා 2යි මල්ලිලා 2යි නංගිලා නම් යාන්තං 3ක් ඉන්නවා..
ඉතිං දැන් පෙරේදා අපේ බාප්පගේ පුතණ්ඩියා මහ රෑ 8 ට විතර කෝල් එකක් දීලා කියපි "අක්කා මට දවස්5 ක් නිවාඩු සෙට් උනා හෙට උදේ මං ඔහේ එනවා කියලා. කොල්ලා 2010 නෙවෙයි 2011 හේ ‍ඒලෙවල් කරන පොරක්. ඉතිං 0/L ඉවර උනු දා ඉදන් ඌ A/L වලට පන්ති යනවා.. ඒවා ඉතිං සූකර උණටවත් නිවාඩු දෙන පංති නෙවෙයිලු.. දැන් අවුරුද්දක් තිස්සේ මට එහේ එන්න එන්න කියලා බැරම තැන වරෙන් කියලා ඒත් හරිගියේ නැති හින්දා මමම වාරේන් කියලා කොල්ලා මෙහේ එන්නයි ප්ලෑන් එක..
ආවට ඉතිං ඊයේ උදේ ඌව ගන්න කොළඹ යන්න විදියක් මට තිබ්බේ නෑ.. මට පන්ති.. දැන් ඉතිං අලි ඉලංදාරි නේ තනියම එන්නං මට පන්ති පලයාන් කියලා මලයා කිව්වා.. මාත් ඉතිං ගියා.. කොළඹට ඇවිත් කොල්ලා මට කෝල් කරා මං දැන් මෙහෙන් බස් එකේ නගිනවා කියලා.. නැගලා තියෙන්නේ හරි හයියෙන් කොළඹින් එන අති මන්දගාමී බස් රථයකට.. කියලා වැඩක්..පන්ති ඉවර වෙලා මං ගෙදරත් ගිහිං විනාඩි 15 කට විතර පස්සේ කොල්ලා ගෙදරට ගෑටූවා... හපොයි..!! වෙලා තියන දෙයක්..!! දෙයි හාමුදුරුවනේ..!! මං යාන්තං උගේ උරහිසට පෝඩ්ඩක් උසයි (ඒ කිව්වේ මගේ ඉස් මුදුන මට්ටම).. ආව වෙලාවේ ඉදන් දොඩවන්නේ මං මිටිගිහින් ලු.. උගේ හිතේ මගේ වයස වගේම උසත් අනිත් පැත්තට යන්නේ කියලා.. කාට කියන්න ද ඉතිං ඕවා...
අපරාදේ කියන්න බෑ මට පොත් 4ක් ම උස්සන් ඇවිත්.. හැබැයි ආයේ යනකොට ගෙනියනවලු :( ඒත් මොකෝ.. ඔය මලයා කොයි තරම් හොද උනත් මහ සතා.. මොකෝ මගේ හැමදේම ඌට පෙන්නේ පරහක් ඇතුව... ආව ගමන් ඇහුවේ අලුත් පොත් තියනවාද කියලා.. මාත් ඉතිං කිව්වා ඔව් අන්න තියනවා ගිහිං බලන්න කියලා.. පොත් ටික එහේ මෙහේ කරලා ඌ කියනවා "අපෝ ඔයාගේ පොත් හරි හරබර වැඩියි කියලා" (කෙහෙල්මල).. ඉතිං මං කිව්වා කොම් ද පීටර් ඇතුලේ ෆිල්ම් 30ක් විතර තියනවා එහෙනම් ඒවා බලපන් කියලා... ඒක ඔබලා බලලා කියනා "අපෝ.. මේවා මෙලෝ රහක් ඇති එවා‍යෑ" කියලා.. මට දවසට 2කිලෝමීටර් වත් දුවන්නලු.. තව සන් බ්ලොක් එකක් යූස් කරන්න ගන්නලු.. මෙහේ අව්ව වැඩිලු.. අනේ මන්දා දැන් හැදෙන එව්වන්ගේ මලසමයං :පී
අපේ පැත්තේ ජන සංයුතිය කොහොමද කියලා අහනවා.. මේහේ වර්ෂාපතනය ගැන අහනවා.. අනේ මන්දා ‍ඉගනගෙන වැඩිවෙලාද කියලා.. මං ‍ඉතිං ඕවා ගැන දන්නවා‍යෑ.. මං ඉතිං දත් 32 කම පෙන්නගෙන ඉන්නවා.. වෙන මොනා කරන්නද?
ඔය සේරමත් හරි.. මූ මාර ලොකු චෝදනාවක් කරනවානේ.. කොළඹ සුදු කෙල්ලෝ නැහැලු (‍ඌ කොළඹ කියන්නේ මුළු බස්නාහිර පළාතටම හොදේ) මං ඇහුවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා.. දවසක් යාළුවෙක් කිව්වලු.. ඉතිං එන ගමන් බලාගෙන ආවලු.. ගන්න පුළුවන් තරමේ සුදු කෙල්ලෝ නැති තරම් වගේලු (අනේ මන්දා ඌ අයිස්ලන්තේද ඉන්නේ කියලා) මං ඉතිං හිතේ දුකටත් එක්ක ඇහුවා ඇයි මල්ලි අපි කළුද කියලා... අනේ මූ නක්කලේට කට පැත්තකින් හිනාවක් දැම්මනේ.. මට ඉතිං අපහු මෝඩ කම කියලා හිතුනා..
මේ මං යනවා..මේක ලිව්වෙත් අනිත් කාමරේට පොතක් ගන්න ගිය වෙලාවේ.. මේක කොටනවා දැක්කොත් බ්ලොග් එක පෙන්නන්නත් වෙනවා.. ‍ඒක හරියන්නේ නැහැ.. එහෙනම් මං ගියා බායි..

Saturday, December 26, 2009

කොහොමද තනියම ගෙදර ඉන්නේ :o

අති සාර්ථක අන්දමින් හතර වෙනි හෝ පස්වෙනි වතාවටත් රාත්‍රීන් 2ක් තනියම ගෙදර ඉදීමෙන් පසුව මෙම සටහන ලියමී.. (මට ජයවේවා!!!) :ඩී

‍මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි.. ඒ කියන්නේ මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නෑ.. එකා යකා නොවුනට නොදන්න අය කියන්නේ එහෙමනේ... ඉතිං මම තනි යකෙක් නේ.. ඉතිං යකෙකුට තනියම ඉන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි.. හිකිස්!!!

හැබැයි ‍හැමෝම අහන්නේ ඔයා තනියමද ඉන්නේ..??? :ඕ

අනේ මන්දා ඇයි එහෙම අහන්නේ කියලා.. අපේ ගෙදර සත්තු ඉන්න නිසා එයාලා වෙනුවෙන් ගෙදර කවුරු හරි හැමවෙලේම ඉන්න ඕනි (සත්තු හදලා තියෙන්නේ ළමයින්ට වඩා සැප දීලනේ) ඉතිං අම්මා තනියම කොහෙවත් යන්නේ නෑ.. තාත්තා අම්මවයි මාවයි තනියම කොහෙවත් යවන්නේ නෑ (යවලා ගෙදර වැඩ තනියම එයාට කරගන්න දෙන්න අපිටත් බැහැ නේ) ඉතිං හොදම විසදුම තමයි එයාලා ගිහිං මං ගෙදර ඉන්න එක... අපි තුන්දෙනාම දවස් දෙක තුනකට ගෙදරින් පිට ගියපු දවස් හරි ටිකයි ඇත්තේ පහුගිය අවුරුදු 8 ටම වගේ.. යන්නම ඕනි තැනක් තිබ්බොත් නෑදෑයෙක් නවත්තලා ගිහිං තියනවා උනාට.. ආයේ එද්දි හිතෙන්නේ ගියාට ව‍ඩා නොයා හිටියනම් හොදයි කියලා.. ඒ නිසා මම නතර වෙන එක හොදයි.. මගේ තනියට අක්කෙක් කාව හරි ගෙන්න ගත්තත් එතකොට වෙන්නේ එයාලා ටීවී බලන්නයි මම තනියම එයාලගේ වැඩ කරන්නයි වෙන එක.. ඊට මීට හොදයි මං තනියම ඉන්න එක..

මේ දවස් දෙකට 5 දෙනෙකුට වඩා මගෙන් අහන්න ඇති "ඔයාට පුළුවන්ද රෑට තනියම ඉන්න.." ගෙදරට එන මිනිස්සු අහන්නෙත් ඒක.. කෝල් කරන මිනිස්සු අහන්නෙත් ඒක..නෙට් එකේ උන් අහන්නෙත් ඒක.. පුළුවන් කියලා ලාවට හිනා වෙලා කියනවා ඇරෙන්න ඉතිං වෙන උත්තරයක් නෑ.. පුළුවන් නිසානේ ඉන්නේ..

ඇත්තටම මට තේරෙන්නේ නැහැ තමන්ගේ ගෙදර තනියම ඉන්න මිනිස්සු මොකටද බය වෙන්නේ කියලා.. අනික මං දන්න ගොඩක් ගෑණු ළමයි කළුවරට බයයි.. රෑට තනියම ඉන්න බයයි.. අනේ මන්දා ඇයි කියලා.. ඒක හරිම විහිළුවක් නේ නැද්ද? ඔන්න මම තනියම රෑට ටවුන් එකක ඉන්න බයයි (අපේ රටේ ඉන්නේ ළගින් ගියොත් ඇහැක් නැති අයියලානේ).. ඒත් මගේ ගේ ඇතුලේ මං මොකටද බය වෙන්නේ?? මොබයිල් එක ළග තියනවා නම්.. දොර ජනෙල් හොදට වැහෙනවා නම්.. මොකටද බය වෙන්නේ? යන යන තැන අඩියෙන් අඩිය ඉස්සරහින් යන බලුහාමිනේ කෙනෙක් ඉන්නකොට කීයටවත් බය වෙන්න ඕනි නැහැ.. මැස්සෙකුට වත් ළගට එන්න බෑහැ නේ...

මම නම් තනිකමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්.. ඒ නිසා මට තනියම ඉන්න තියන එක හරි සනීපයි.. ඒ වුනාට පාළු නොහිතෙන වෙලාවල් නැතුව නෙවෙයි... දවස් ගණන් තනියම ඉන්නකොට මට තියන එකම ප්‍රශ්නේ තමයි ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කථාවට එන ‍එක.. මොකද කතා නොකර ඉදලා කථා කරන්න තියන කම්මැලියාව.. ඉතිං අර අනිත් මනුස්සයා අහද්දි‍ මොකෝ කථා නැත්තේ කියලා ඒක නම් කේන්ති යන වැඩක්..!

ඉතිං කවුරු හරි තනියම ඉන්න සිද්ද වෙන කෙනෙක් ඉන්නවා නම් මං එයාට කියන්නේ බය නැතුව තනියම ඉන්න.. කළුවරේ හොල්මන් නැහැ.. රෑට ඔයාව උස්සන් යන්න මොකෙක් වත් එන්නෙත් නෑ.. හිස් ගෙදරකට තියන නිශ්ශබ්දතාවය හිතට භාවනාවක් මිසක් වදයක් වෙන්නේ නැහැ.. සද්ද නැතුව ඉන්න කැමති නැත්තං හොද ෆිල්ම් ටිකක් බලන්න ගන්න (හැබැයි වැඩිය සීරියස් ඒවා බලන්න එපා එතකොට වෙන්නේ ඒවායේ ගැඹුරට ගිලිලා මොලේ ටිකක් විකාර වෙන්න බලන එක.ඒ ඇනිමේෂන්ස් කාටුන් වගේ සිම්පල් එවා බලන එක හොදයි.. පොත් නම් කෝකත් හොදයි... ඒ නැතිනම් නිදාගන්න එක තමා අනුමත කරන්න පුළුවන් හොදම දේ.. ඒ වුනාට නිදාගන්නවට වඩා නැගිටලා ඉන්න එක හොදයි... තනියම ගෙදර ඉන්න දවස් වලට ලොකු ලොකු කෑම හදන්න මහන්සි වෙන්න එපා.. මොකද මහන්සි වෙලා උයලා තනියම කන්න හිතෙන්නේ නැහැ.. ‍එක්කෝ නොකා ඉන්න නැත්නම් පොඩි පොඩි ස්නැක්ස් ගන්න..පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හරි එන්ගේජ් කරලා හරි තියන්න.. මොකද සද්ද නැති ගෙදරක ඒක මහ හයියෙන් වැදෙන කොට යකා තද වෙනවා..! හැබැයි එහෙම කරනවා නම් මොබයිල් එක අත ළගින් තියා ගන්න..නැත්තං පිට ඉන්න ගෙදර අය බය වෙයි ඔයාට මොනා හරි කරදරයක් වෙලාද කියලා.. අනික මොබයිල් එක ළග තියන එක හිතටයි ආරකෂාවටයි පහසුවටයි තුනටම හොදයි.. හදිසියකදි මුලින්ම කථා කරන්න හොදම නම්බර් එක ඩයල් කරන්න ලේසි විදියකට හදාගෙන තියා ගන්න.. ඒක ඉන් කේස් ‍ඔෆ් ඉමර්ජන්සි ප්‍රයෝජනවත් වෙයි.. තව ගෙදර ගේට්ටුව පුළුවන් නම් ලොක් කරලා තියන්න.. එතකොට නොදන්න අයගෙන් වෙන බාධා කිරීම් අඩු වෙනවා..
ඕවා තමා දෙන්න තියන උපදෙස්.. ඕය සේරම හරියට සිද්ධ උනාම මේ වගේ මොංගල් පෝස්ට් ලියවෙනවා ගණන් ගන්න එපා ඒක එහෙම තමයි.. හික් හික්

අවසාන වශයෙන් තනියම ගෙදර ඉන්න බය අයට කියන්න තියෙන්නේ "තම තමන්ගේ අත පය හයිය ගැන විශ්වාස කරන්න.." :-)



Friday, December 25, 2009

මගේ හුදකලා නත්තල් දවස

අද හරිම නිස්කලංකයි..කවුරුවත් නෑ.. වත්තේ කොහේ හරි ගහක ලේනෙක් එක්ක පොඩි කුරුල්ලෙක් එකතු වෙලා ගීතිකාවක් කියනවද කොහෙද.. සැරින් සැරේ හුළඟක් මුණු මුණු ගාගෙන යනවා.. ඒ ඇරෙන්න කිසිම හඩක් නෑ.. බයි ඩිංගක් කාලා බඩ පිරිලා ගිරා පැටිත් සද්දයක් නෑ.. බලු බබාගෙත් බඩ පිරිලා හින්දා එයත් ‍දවල් පොඩි නින්දක් දාලා.. අද නත්තල් කියලා එයාලට කිසිම ගාණක් නැති හැටි.. උදේ නත්තල් ගහ සරසද්දි නම් පැටී ඇවිත් වටේ කැරකි කැරකි ඉදලා ලස්සන බලලා ගියා.. එයින් පස්සේ කිසිම දෙයක් නෑ.. එයාලා එයාලගේ ලෝක වල.. මම මගේ වැඩක.. හරිම නිහඩයි.. පාලුයි.. කතාකරන්නවත් කෙනෙක් නෑ... කම්පියුටරේට ඔළුව ඔබාගෙන ඉන්නවා මිසක් වෙන මොනා කරන්නද?
මනුස්සයෙක් මේ ලෝකේ සහොදරයෙක් සහොදරියෙක් නැතිව ඉපදෙන එක කොයි තරම් දුකක්ද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.. අඩුම ගානේ හිටියා නම් කථා කරන්න බැරි නම් රණ්ඩුවක් අල්ලං හි‍නා වෙන්නවත් තිබ්බනේ..
අද නත්තල් තියන ගෙවල් වල නෑ‍දෑයෝ පිරිලා ඇති.. ලස්සන ඇදුම් අදලා.. සමහර විට පවුලේ අය සේරම එකතු වෙන එකම දවසත් අද වෙන්න ඇති.. හරියට සිංහල අවුරුද්ද වගේ.. සිංහල අවුරුද්ද අපිට විතරයි උනාට අද මුළු ලෝකෙම ගෙවල් වල ජේසු උපත සමරනවා ඇති..ඒකට දුප්පත් පෝසත් බේදයක් නැහැනේ.. හැමෝම පුළුපුළුවන් විදියට මොනා හරි දෙයක් කරනවා ඇති... උත්සව කොයි තරම් ලස්සනද.. ලොකු අයට කෙසේ වෙතත් පොඩි අයට.. රස රස කෑම ජාති.. ඇදුම් පැළදුම්.. තෑගි.. සෙල්ලම් බඩු..
ඔය අතරේ නත්තල් සමරන්න තියා අද නත්තල ද කියලා නොදන්න මිනිස්සුත් ඇති..එහෙම නැත්තං නත්තල් දවස කියලා දැන දැනත් සමරන්න අකමැති අයත් ඇති.. ඒ වගේම සමරන්න ඕනි උනත් සමරන්න තව කෙනෙක් නැතිව තනියම ඉන්න අයත් ඇති.. ඒ කොහොම උනත් හැමෝටම අද තවත් එක දවසක්...
හැමෝටම සුභ නත්තලක්....!!


Wednesday, December 23, 2009

Happy X mas for you all

Do I have it?

Well.. in part I do have xmas and in part, I don't !

Either way... let me wish you all bloggers (and malee specially) a Happy X' mas and a Happy super duper new year :)

And this year around.. it's just not me wishing you all alone.

So.. drink to your merry and have a blast of a time people !

Nash & Rachel (the 10 years and 3 months old she devil)

Monday, December 21, 2009

18,19,20,21



19 -සෙනසුරාදා
මීට අවුරුද්දකට එකහමාරකට කලින් විතර ඉදලා නුවර යන්න ප්ලෑන් කරා කරා.. හැම මාසෙම කථා කලා.. හැබැයි කවදාවත් යැවුනේ නැති නුවර ට්‍රිප් එක අන්තිම මොහොතෙත් ටිකට් ප්‍රශ්ණයක් නිසා කැන්සල් කරන්න උනා. මොනා කරන්නද?
ඉතිං යන්න හිටි එක සමාජිකයෙක් අනිත් සාමාජිකාවකගේ ගෙදර ආවම ඔන්න හවස දෙකට විතර මතක් වුනා සිංහල බ්ලොගර්ස් ගෙට් ටු ගෙදර් එක ගැන..ඕකට යන්න තුන් හිතකවත් නැති සමාජිකයා අර සමාජිකාවට කියනවා.."අපරාදේ කලින් මතක් උනා නම් ඔයාව එකට දාලා මට රවුමක් ගිහිං හවසට එක්කන් එන්න තිබ්බා.." ඕක කලින් කිව්වා නම් ගෙදරට වෙලා බකන් නිලං ඉන්නේ නැතුව ගෙට් එකටවත් යන්න තිබ්බානේ.. මොනා කරන්නද දුක තමා.. බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් කිව්වලු.

20 - ඉරිදා
මාස ගාණක් පෙරුම් පිරුව දවස ආවා.. 4 ට එලාම් එක තිබ්බට මොකෝ එලාම් එකටත් කලින් ළමයා ඇහැරලා.. 3.30 ඉදන් යන්න ලෑස්ති වෙලා 5.20ට ගෙදරින් ඇවිත් 6.15 ට කොටුවේ ස්ටේෂමේ ටුයන්න යටට සෙට් වුනාම 6 ට එතනට එනවා කිව්ව එකා තාම බස් එකේලු.. ඉතිං ඔන්න එයත් ආවම ‍අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි නංගි බබයි නුවර යන්න කෝච්චි‍යට නැග්ගා.. ඉන්ටාර් සුටියනේ පටාර් ගාලා යනවා.. අර කූඩැල්ලා කොට්ටේ තියන්න බෑ වගේ කොල්ලන්ව සීට් වල තියතැහැකියෑ.. ඉතිං අපරාදේ සීට් බුක් කලේ.. තර්ට් ක්ලාස් ටිකට් 3ක් අරන් දීලා හිටගෙන පලයල්ලා කිව්වා නම් ඉවරයි.. කොහොම හරි හැරී පෝටර් ගේ මල්ලි ලා තුන් දෙනාවත් ‍හම්බ වෙලා සුද්දන්ට සිංහල කියා දීලා.. බිංගෙවල් ඇතු‍ලේ හූ නොකියා ඉන්න කියලා.. කොහොම කොහොම හරි නුවරට ගියා.. අනේ හවස 3.00 කෝච්චියේ 2න්ඩ් ක්ලාස් ටිකට් ඉවර වෙලා එතකොටත්.. 3ර්ඩ් ක්ලාස් 1න් පස්සේ දෙනවා කිව්වේ. ඉතිං ළමයි 5 දෙනා පේළියට දළදා මාළිගාවට ගිහිං මල් පූජ කරලා රවුම් ගහලා ෆොටෝ ගහලා බලද්දි පේරාදෙණියට යන්න වෙලා නෑ.. එක්කෝ කෝච්චියේ ටිකට්.. නැත්තං මල් වත්තේ මල්.. මල් වගේද කෝච්චිය කියලා ඩෙවෝන් එකෙන් දවල් සප්පායම් වෙලා1.30 ට ස්ටේසොමට ගියාම කියපි ටිකට් ඉවරයි.3.30 තමා කියලා.. ඒකේ ටිකට් අරන් කොහෙද යන්නේ කියලා සාකච්ජා කරන්නම වෙලාව ඉවරයි.. අනිත් පැත්තට හැරිලා කෝච්චියට ගිහිං වාඩි වෙන්න තිරණය උනා.. දෙන්නෙක් නම් අපි එන්නම් කියලා ගියා ගියා මයි කොයි ලොකේ ගියාද මන්දා.. නුවර මිනිස්සුන්ගෙන් ගුටි කාලා ආවද මන්දා.. කොහොම හරි කෝච්චියටයි.. ටවුන් එකේ ඇවිදින්නයි හිනා වෙන්නයි තමා අපි නුවර ගිහිං තිබුනේ.. රෑ 9.30 ට විතර ඉතිං ගෙදරට සුරකෂිතව සැපත් උනා.. 20ත් ඉවරයි

21 - සදුදා
පංති ගිහිං දවල්ට ලන්ච් පිටින් ගන්නයි හිතුවේ.. ශික් මෝඩ මැටි පානදුර.. කන්න සෙට් වෙන්න හොද තැනක් ඇත්තෙම නැහැනේ.. ඉස්සර මාර ආසාවෙන් හිටියා ලා පැරිස් කියලා තිබ්බ ෆ්‍රෙන්ච් රෙස්ටුරන්ට් එකෙන් කන්න... අනේ දැන් තිබ්බ තැනක් වත් හොයා ගන්න නෑ.. :(( අන්තිමේ ඉතිං ගෙදර තරම් හිතට අල්ලන වෙන කොහෙවත් නෑ කියන දේ ස්ථිර ‍කරමින් පිං පොන් කොල්ලගේ කඩෙන් බත් දෙකක් අරන් ඇවිත් දෙන්නත් ‍එක්ක ගෙදර මේස උඩ තියාගෙන කාලා දැම්මා... අනේ මන්දා ඊට පස්සේ එහේ බලලා මෙහේ බලද්දි දවස ගෙවිලා.. දුකේ බෑ :-(
රෑ නෙට් එකට පොඩ්ඩක් බෙල්ල දැම්මා..



කථා ඇති..
මෙන්න ඊයේ කැන්ඩි ගමනේ එහෙන් මෙහෙන් ටිකක්.. පිංතූර නම් මගේ නෙවෙයි.. ප්‍රධාන ඡායාරූප ශිල්පීන් 2ක් ගේ.. අවසරයකින් තොරවයි මම ගත්තේ.. අවුලක් නෑ.. වැඩක් නම් නෑ.. ඒත් ඉතිං වෙන වැඩක් නැත්තං බලන්න ආ...

ලිපිය වෙනස් කරන ලදි..!


Friday, December 18, 2009

බණ්ඩා කොළඹ යෑම හෙවත් මලී fb යෑම.


:0 මලී ෆෙස් බුක් එකේ???
යා යා...
මේ වෙන වැඩ නැති හින්දා ඔන්න ඔහේ එකට ආයෙමත් රිංගුවා.. ඇත්තම කියනවා නම් මට කලින් ෆෙස් බුක් එකවුන්ට් එකක් තිබ්බා.. ඒ වුනාට ඉතිං ඒක ‍ඔහේ තිබ්බා මාත් හිටියා.. ඇති පලක් නෑ..ඉතිං ඔහේ කැන්සල් කරලා දැම්මා.. අනික ඒකේ තිබ්බේ මලී ගේ අයිතිකාර ගෑණු ළමයාගේ විස්තර නේ.. මලීගේ යාළුවන්ට එයාව වැඩක් නෑ.. ඉතිං එයාව අයින් කරලා ඔන්න මලීම ‍ෆෙස් බුක් එකට පය ගැහුවා..
ඕකට වග කියන්න ඕන දුකා ප්‍රමුඛ තුන්පත් රටා වේ කට්ටිය. හෝව් හෝව්.. දැම්ම ‍ඔබන්න එපා.. තාම පටන් අරන් නෑ.. දන්නවා ඇතිනේ දේශීය නර්තන හා කළා කටයුතු ගැන කරන්න යන අළුත් බ්ලොග් එක.. ඔය වැඩේට ඉතිං මං තෝරු මෝරු අස්සේ හාල් මැස්සෙක් වගේ තමා.. ඒ වුනාට ඉතිං වැඩක් බාරගත්තට පස්සේ පස්ස ගහන එක හොද වැඩක් නෙවෙයි නේ.. ඉතිං නෑ බෑ නොකියා වැඩේට එන්ටර් වෙන්නයි කල්පනා කලේ.. (අනේ පොත් ගුලේ කට්ටිය තරහා වෙන්න එපා.. ඒකටත් ලියලා දෙන්නම් හොදේ) හැබැයි ඉතිං මලීගේ අම්මා මලීට හැමවෙලේම බනින්නේ තව වැඩක් පටන් ගන්න කලින් කරන වැඩේ ඉවර කරලා ඉදපාන්.. කියලා..ඒ වුනාට ඒ පුරුද්ද මලීට නෑ.. ඉතිං වැඩ ගොඩක් පටලගන්න වෙලාවල් අනන්තයි.. හැබැයි ඉතිං මලී ඇතුලු ගැහැණු පරපුරම හැදිලා තියෙන්නේ මල්ටි ටාස්ක් බ්රේන් එකක් එක්ක හින්දා ඒවා එච්චර ගේමකුත් නෙවෙයි..
ඉතිං දැන් ආයෙමත් මුණු පොත පැත්තට ගියේ මොකෝ කිව්වොත්.. ඔය තුන්පත් රටාවේ කට්ටිය සෙට් වෙන්නේ ස්කයිප් එකේ කිව්වනේ.. ඉතිං මලී ස්කයිප් එකත් දාගත්තා.. මෙන්න එකට ගියාම ෆේස් බුක් එකේ කතා වෙච්චා කියලා ඉරිදා පත්තරේ වගේ එකක් දික් කරා.. තකහනියක් මලීව අප්ඩේට් කරන එක ඒ අයට වදයක්නේ.. මොකටද අනිත් අයට වද දෙන්නේ කියලා.. මලී එයාගේ මූණත් පොතට එක්කහු කරා ඕන්න..
කලින් වතාවක් හිටියා උනත් මම ඉතිං ඔවායේ අනම් මනං ඔබන ලමයෙක් නෙවෙයිනේ.. ගියවතාවේ ‍එකවුන්ට් එකෙත් වැඩ ගොඩක් කරලා දුන්නෙත් යාළුවෙක්.. ඉතිං මේ වතාවෙත් නිකං මොනාද‍ මොනාද වගේ.. අනේ මන්දා ලොග් වෙන්නත් කලින් යාළුවෝ ඇඩ් වෙලා ඉවරයි.. පුහ්..!!! ඒකෙත් හැටි අම්මපා..!! පේන හැටියට දැනටම යාළුවෝ 23 ක්ම ඉන්නවා.. අනේ මන්දා එච්චර කොයින්ද කියලා.. කොහොම හරි කමක් නෑ
ඉතිං අතිං පයින් යන එකක් යෑ.. නැද්ද? ඉතිං දැන් ඔන්න මලී එහේ ඉන්නවා.. හැබැයි වැඩි වැඩ නෑ හොදේ..

දැන් අපේ බුරූ මැඩම් කියලා තිබ්බා බ්ලොග් එක ගෙදර කරගත්තට ෆේස් බුක් එක ගෙදර වගේ කරගන්න එපා කියලා..අනේ ඉතිං අපේ අම්මා කියලා තියෙන්නේ යන තැනක ඉන්න තැනක ඒ තැනට ආදරෙන් තමන්ගේ දේ වගේ රැකගෙන ඉන්න කියලා.. එතකොට ලු හරියන්නේ.. ඒක හින්දා දැන් මොන බයිලා ගැහුවත් ඉදිරියේ මලී ‍මුණුපොතේ පදිංචි වෙයිද දන්නේ නැහැ.. නැත්තං පැත්ත පලාතේ නොයා ඉදීද කියන්නත් බෑ..ඒවා ඉතිං අනාගතේට බාරයි.. දැනට ඉතිං මලී ළමයා ෆේස් බුක් එකේ අතරමං වෙන්නයි යන්නේ.. ඔය නොදන්න කමට ඒවා මේවා ඔබන්න ගිහිං වැරදි වැඩ කරලා තිබ්බොත් සමාවෙන සේක්වා.. මේකත් ලිව්වේ මේ ජොලියට ව‍ගේ..
මට පේන හැටියට අපේ නෑෂ් ලොක්කා අද Digsby ගැන ඇඩ් එකක් දාලා තියෙන්නේ මටම වැඩක් ගන්නද කොහෙද.. ඒකත් නරක නෑ වගේ.. මමත් දැන් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ නැතුව මේ වැඩේ හරියන්නේ නැහැ වගේ...එහෙනම් මම ගියා.. හැමදෙනාටම ජයවේවා...

Thursday, December 10, 2009

Standing Still


I am just sitting here in my office.. looking across to the rest of it's wide space.

I plugged in my ear phones and started playing haunting yet absolutely beautiful sounds of Yiruma's "River Flows in You" (you might know this better if I say the defacto name of this song - "Bella's Lullaby - this is what Edward Cullen plays to Bella Swan on the piano in the film Twilight )

The rest of the room... just moving.. all the people in it, running here and there trying to get something or other done.

So much sound.. so much talking, so much stress in people's faces and just so much worried and tired looks.

Yet I am here.. with my legs stretched, arms folded behind my head, phone switched off, banking easily in my chair listening to some amazing music and seeing the world pass by with so much anger, hatred, stress and over-whelming speed.


I do have work of course.. but I had this strange nag from my little days to STOP in the middle of everything and look at people.. and to let the world pass me by in a blur. It's just a fulfilling and an amazing feeling to stop everything and let your mind sit idle.

Just sharing with you all one of my wired habits ! :)

Why don't you all just stop once in a while ? ... look around you and see the rest of the world moving for a change... rather than trying to run with it all your lives ?

Tuesday, December 8, 2009

නිමක් නැති නමක් නැති ස්තූති සටහන

අන්තර්ජාලේ කියන්නේ කොයි තරම් පුදුම තැනක් ද? පට්ටම පට්ට නරකයි කියන දේවල් වගේම උතුම්ම දේවලුත් මේක අස්සේ තියනවා.. හරියට නිකං ම්ම්ම්.. ‍නෙල්ලි ගෙඩියක් වගේ.. ජි‍විතේට හොද දේවල් එකතු කරගෙන හැදෙන්නත්.. කුණුගොඩවල් එකතුක‍රගෙන නන්නත්තාර‍ වෙලා යන්නත් අන්තර්ජාලේ ඇවිදින කෙනෙකුට පුළුවන්.. එහෙම බලද්දි හරියට ගින්දර වගේ.. හරියට බාවිතා ක‍රොත් ලොකු වැඩක් ගන්නත් නැත්තං පුච්චගෙන පැත්තකට වෙන්නත් පුළුවන්...
අනන්තය තරම් දිගට යන්න පුළුවන් ජාලයක් ඇතුලේ මං මේ කථා කරන්නේ අපිට හම්බවෙන මිනිස්සු ගැන. ඒ කියන්නේ ජාල මිතුරෝ.. එහෙම නැත්තං වර්චුවල් ෆ්‍රෙන්ඩ්ස් ගැන. ඒකත් නැත්තං මගේ දුප්පත් භාෂාවේ නමක් දෙන්න මම දන්නේ නැති මිතුරොත් නොවන නන්නාදුනන්නොත් නොවන මිනිස්සු ගැන. මෙය ලියන මමත් කියවනවානම් ඔබත් මේ කොටසට අයිතියි..
හිතන්න ඔබට කොයි තරම් පිරිසක් අන්තර්ජාලෙදි මුණගැහිලා තියනවාද? මට...?? අනේ මන්දා මම ගණන් කරලා නෑ.. මම චැට් කරපු.. community forum වල thread දිගේ කයිය ගහපු බ්ලොග් වලින් විතරක්- බ්ලොග් ලිපි හරහා පමණක් මුණගැහුන පිරිස සේරම 500+ ‍ඇති.. ඔය බොහෝ දෙනෙක් කාලෙකට විතරයි.. ඒ කියන්නෙ අද ඉන්නවා හෙට නෑ.. එහෙම නැත්තං වෙනත් පුද්ගලික හේතු මත නෙට් එන යන රැදෙන වෙලාවල් වෙනස් වෙලා.. එහෙම නැත්තං උවමනාවෙන්ම අතහැරලා.. ඔය විදියට කොයි තරම් පිරිස් අපිට දවස ගානේ මුණගැහෙනවාද? නෑ මුණගැහෙනවා කියන වචනේ වැරදියි.. හරි වචනේ මම දන්නේ නැහැ.
ගතවෙලා ගිය අවුරුදු 3ක 4 ක විතර කාලේ ගත්තම ‍ම‍ට මුණගැහිලා තියන අය හරි අපූරුයි.. අතිබහුතරයක් හොද මිනිස්සු.. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා ඒත් මට නෙට් එකේ යාළුවෝ හැටියට හරි කයිය ගහන්න ගෑණු ළමයි සෙට් වෙන්නෙ නම් හරි අඩුවෙන්.. ඒ කොහොම උනත් මම හිතන දෙයක් තමයි ලංකාව වගේ රටක ජීවත් වෙන ගෑණු ළමයින් අන්තර්ජාලේ කියන්නේ නම් හරිම නිදහස් තැනක්.. ඒ නිදහස උපරිමව බුක්ති විදින කෙනෙක් හැටියටයි මම මේක ලියන්නේ.. උදාහරණයක් හැටියට මාත් එක්ක නෙට් එකේ කථා කරපු ‍පිරිමි සේරම අපේ ගෙදර එන්න යන්න ගත්තා නම් අහල පහළ ගෑණු ටිකට වෙන වැඩක් නැති වෙනවා මං ගැන දොඩවනවා ඇරෙන්න.. කාලයක් තිබ්බා පාන්දර 1-2 වෙනකම් ‍මැසෙන්ජර් වල හිටිය කොල්ලෝ සෙට් එකක් එක්ක සිංදු කියපු.. ඕවා ලංකාවේ ගෑණු දරුවෙකුට තමන් දිහාට ‍එල්ල වෙන ඇස් 1000කින් ගැලවිලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
අනික සමාජය බිහිකරලා තියන පුහු ආකල්ප වලින් උපරිම නිදහසක් ලබන්නත් ගෑණුළමයින්ට පුළුවන්.. අපි දරණ මත කෙලින්ම ප්‍රකාශ කරන්න.. අපිට අපි විදියට පෙනී හිටින්න..
ඒක හරි ලස්සන හැඟීමක්..
අනික තමයි මට දැනිලා තියන විදියට අපි සේරම අපි එදිනෙදා ජිවත් වෙන සමාජයේ කට්ටිය උනාට..ඒ සමාජයෙන් මිදිලා අපි මේ වර්චුවලි මුණගැහෙන සමාජය හරි ලස්සනයි.. සාමකාමී.. සහජීවන+ තව තව හොද දේවල් වලින් පිරිලා කියලා...


------
ඔය උඩ සේරම මං ගැහුව බයිලා.. අපේ සම්මානලාභී කතන්දර ශූරීන් තුමා කලින් කිව්වා ‍වගේ මං එක කථාවක් කියන්න ගියාම කථා 10ක් විතර පටල ගන්නවා..මොනා කරන්නද මගේ හැටිනේ ඒක.. :(

දැන් මේකයි..
ළග ළගම නත්තලයි 2010 අළුත් අවුරුද්දයි එනවානේ.. ඉතිං මට හිතුනා අපේ බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කරන්න.. (කොහොමත් ඉතිං හැමදාම වෙනස් කරන්නේත් ඒක විතරනේ.) ඉතිං මං ඊයේ එකක් හැදුවා. මොකක් හරි වාසනාවකට මගේ මොනිටරේ ඊයේ කලර් හරි ගිහිං තිබ්බා ඉබේම. ඒකයි ඊයෙම හැදුවේ.. මං ඉතිං ‍පිංතූරකඩේවත්..චිත්‍රපිටුවේ වත් වැඩකාරයෙක් නෙවෙයිනේ.. ඉතිං වර්ඩ් වලින් කලර් ශේඩ් කරලා.. පේන්ට් වලින් කට් කරලා.. සමහර අකුරු ලියලා ෆොටෝශොප් වලින් ඉතිරි වැඩ ටික කරලා තමයි ‍මේ පහළ තියන හෙඩර් එක හැදුවේ

ඉතිං අද හවස මේල්ස් බලද්දි මේල් බොක්ස් එකට අළුත් නමකින් මේල් එකක් ඇවිත් තිබුනා මචං මලී කියන ටොපික් එකෙන්.. කවුරුවත් නෙවෙයි රස්තියාදුකතා එතකොට ලිෂාන්ගේ බ්ලොග් රෝල එහෙම ලියන Lishwish ගෙන්.. එයා එයාගේ බ්ලොග් එකට හදපු ඒ‍ත් නොදා හිටිය හෙඩර් දෙකක් ටිකක් වෙනස් කරලා මට ‍එවලා.. එහෙම කරන්න එයාට ඇත්තටම උවමනාවක් නැහැ නේ.. ඒත් මම විශ්වාස කරනවා මිනිස්සු එහෙම කරන්නේ හිතවත් කමට කියන එක.. (ඒක මට ඉගැන්නුවේ මගේ තාත්තා..) ඉතිං මෙච්චර දිග සටහනක් ලිව්වේ ඒකට එයාට ස්තූති කරන්න. ගොඩක් ස්තූතියි ලිෂ් අයියේ. ඔයාට සමහර විට ඒක ‍පුංචි දෙයක් වෙන්න පුළුවන්.. ඒත් මේ ලොකේ ලස්සන වෙන්නේ හැම වෙලේම පුංචි පුංචි දේවල් ගොඩක් එකට එකතු උනාමයි.. එහෙමයි මම හිතන්නේ.

ඉවර කරන්න කලින්.. මට මේ දවස් වල තියන වර්ණඅන්ධතාවය නිසා අළුත් හෙඩර් එක දාලා ඒක තව ටිකක් සස්සන කරලා.. බ්ලොග් එකේ අනිත් පාට ටිකත් හරියට මැච් කරලා හදලා දුන්නු මීට කලින් මම පාවිච්චි කරපු හෙඩර් එකත් හදලා දුන්නු මට මේතාක් කාලෙකට අන්තර්ජාලෙදි මුණගැහුණු මිනිස්සු අතරින් හොඳමමමම මගේ මිනිහටත් තැන්ක්යූයූයූඋඋඋඋඋ

Sunday, December 6, 2009

ගැහැණියක්


මං අද ලියන්න යන්නේ මේ ලොකේ ලස්සනම ප්‍රේමණීයම මාතෘකාවක අඳුරු පැත්ත ගැන... සාමාන්‍ය සත්ව ලොකේ නිතරම ගැහැණු සත්වයාට වඩා පිරිමි සත්වයා ලස්සනයි කියලා තමයි කියන්නේ... ඒත් මනුස්සයා කියන සතා ගත්තම ඒකේ අනිත් පැත්ත කියලයි සාමාන්‍යයෙන් කියන්නේ නේද?... නෑ නෑ මම කියන්නේ පිරිමි කැතයි කියලා නෙමේ... ඒත් ගැහැණිය හා පිරිමියා කියන සත්තු දෙන්නව භාහිරව වෙන් කරන රේඛාව දෙපැත්ත බැලුවොත් ශාරීරිකව ගැහැණියකගේ සිරුර පිහිටන්නේ (මිනිස් සිතට අදාලව) පිරිමියාට වඩා ආකර්ෂණීය හැඩයකින්... ඒක කළු, සුදු, තලෙලලු,උස,මිට,කෙට්ටු,මහත කොයි ගැහැණියටත් අදාලයි... මම මේ කථා කරන්නේ මුහුනේ මේකප් දාලා හෝ නොදා පෙනෙන ලස්සන නෙවෙයි... ඒක කථා කරන්න තරම් වටින දෙයක් නෙවෙයි මට... මම කියන්නේ සමස්ථ ස්වරූපය එහෙම නැත්තම් ස්ට්‍රක්චර් එක ගැන...
නෑ.. මම මේ ලියන්න යන්නේ විද්‍යාත්මක ලිපියක් නෙවෙයි.. ඒකට මට දැනුමක් නෑ..මම ලියන්නේ අද මම දැකපු ගැහැණියක් ගැන.. ඇත්තටම මගේ හිතේ උපන් අනුකම්පාව එහෙමත් නැත්තං ඒ වෙලාවේ මට දැනුනු විස්තර කරන්න බැරි හැගීමෙන් ගොඩ ඒමට කරන හිත රවටා ගැනීමක්.!

මම අතීතෙන් පටන් ගන්නම්..! අපේ ගමේ අපේ ගෙවල් පාරේ අපේ ගෙදර පහුකරන් ගියාම ටිකක් ඇතින් කඩයක් තියනවා.. ඔය කඩේ ඒ දවස් වල කරලා තියෙන්නේ බෙනට් කියලා පිරිමි කෙනෙක්.ඒ අයට තරමක වත්කමක් තිබිලා තියනවා.. ඒත් මං උපදින්නත් කලින් හරි ඉපදිලා ටික කාලෙකින් හරි එයා මැරිලා තියනවා..එ‍යාගේ මරණින් පස්සේ එයාගේ පවුලේ අය එයාට අයිති දේවල් වලින් ගොඩක් දේවල් එයාගේ බිරිඳට කරදර කරලා අරං තියනවා. මං වැඩි විස්තර දන්නේ නැහැ ඒ ගැන.. ඒ ගෑණු මනුස්සා එයාගේ මහත්තයාගේ මරණින් පස්සේ ක‍ඩේ වැඩ තනියම කරට අරන්.. ඒත් මහත්තයා ඉන්න කාලේ වගේ ලොකුවට කරන්න එයා‍ට බැරි වෙන්න ඇති.. ඒත් මීට අවුරුදු 17-18කට විතර කලින් හිටිය මට අනූව නම් එයා ඒක ලොකුවට කලා. ඇයි දන්නවද මං එහෙම කියන්නේ.. ඉස්සර මම දකිනවා අපේ අම්මා ෂොපින් බෑග් එකක ‍බඩු පොඩ්ඩක් අපිට කන්න ගෙදර ගේනකොට එයා ලොකු පෝර උරේක බඩු පුරවන් ඔළුව උඩ තියාගෙන අපේ ගේ පාස් කරගෙන යනවා.. ඉතිං ඒ කාලේ මට එයා ලොකු වීරයෙක්.. මොකද එයා බඩු ගොඩක් ඔළුවේ තියාගෙන යනවානේ... ඒත් මට නොතේරුනු දේ තමයි අනිත් කඩ වලට ලොරි වලින්, කරත්ත වලින් බඩු ගේනකොට එයා එයාගේ ක‍ඩේ වෙළදාමට බඩු ගෙනාවේ ඔළුව උඩ තියාගෙන කියන එක....භූමිතෙල් ගෙනාවේ ලීටර් 5 කෑන් එකක දාගෙන...ඇයි ඒ?
කාලේ ගෙවෙන්න ගෙවෙන්න ඒ මනුස්සයා ගේන පෝරබෑග් එක බෑග් දෙක උනා.. හැබැයි බඩු ප්‍රමාණය දෙක උනේ නෑ.. වෙනදා ගේන බඩු ටික දෙකට බෙදිලා බෑග් වලට ගිහිං.. එකක් ඔළුව උඩටයි එකක් මාරුවෙන් මාරුවට අත් දෙකටයි ගියා.. එහෙම උනේ එයාට ලොකු බරක් උස්සගෙන යන්න තරම් හයියක් නැති එකයි...

කාලයත් එක්කම ජිවිත වෙනස් උනා.. මම පාරේ යන මිනිස්සුන්ව දැක්කේ නෑ.. දකින්න වෙලාවක් මට තිබ්බේ නෑ.. තිබ්බත් ගේට්ටු වලට තාප්ප වලට පාරවල් පෙන්නේ නැති වෙලා.. ඉතිං කොහොමද මිනිස්සුන්ව දකින්නේ?

අද මම උදේ පුස්ථකාලෙට ගියා.. එනකොට බස් එකෙන් බහින්න හෝල්ට් දෙකකට කලින් බස් එකේ දොර ළග පොඩි තද බදයක්... ඒ තද බදය අස්සේ අඩි 4ක් විතර උස පොඩි ගැහැණියක්..සාමාන්‍යයෙන් අපි නොදකින විලාසිතාවක්! මම දැක්ක හැටියට කොළපාට ගවුමකට උඩින් පාට අවපැහැ ගැන්වුනු ඉදරිපස බොත්තං තිබිලා ගැලවිලා ගිය ගවුමක් ඇදපු - සුදු මුහණක් තියන.. පොඩි කොන්ඩ පොඩ්ඩක් තනි කරලට ගොතලා දාපු මුහුණ පුරා රැළි වැටුනු අහිංසක ගැහැණියක්.. පොඩි බෑග් දෙකක් අත් දෙකේ තියාගෙන.. සෙනග පිරුණු බස් එකක නොවැටී ඉන්න - නියමිත තැනින් බස් එකෙන් බැහැ ගන්න අරගලයක.. මගේ පුංචි කාලේ මම දැකපු මගේ ජිවිතේ එක කාලයක වීරවරියක් වෙලා හිටිය ගැහැණිය..!!! අද මගෙන් භාගයක් වත් නෑති තරම්...!!!මට මතක් උනේ ගෝර්කි ගේ අම්මා කතාවේ නීලවේනා ව මේ ඇත්තටම මම එදා දැක්ක වීර ගැහැණියමද? ඔව්.. මේ එයාම තමා... වෙනසකට තියෙන්නේ ‍එයා කෘෂ වෙන වේගෙට මම ආරලා.. ඒත් එදා ජිවිතය වෙනුවෙන් එයා කරපු සටන අදත් එහෙමමයි..!

කවදා ඇය මේ දිවියේ පොඩි හෝ සැපක් ලබයි ද මංදා.. මට දැනගන්න ලැබුණු විදියට ඇගේ එකම දුව වරින් වර මානසික රෝගයකින් පීඩා විදිනවලු.. ඒවට බෙහෙත් කරන්න.. එදිනෙදා ජිවත් වෙන්න.. තාමත් ඇය විටින් විට පුංචි වෙන බෑග් දෙක තියාගෙන අරගලයක..

ඇවිදගෙන ගෙදර එන කොට ඇය අතර මඟ මොනාට හෝ නැවතුනා.. ඉතිං මම එයාට කලින් ආවා... මට ඉස්සරහින් පන්ති ගිහිං එන නංගිලා දෙන්නෙක් හිකි හිකි ගගා හිනාවෙවී ගෙදර යනවා.. මැද මම.. මට පිටිපස්සෙන් මට ඈතින් කලක් මගේ ජිවිතේ වීර‍වරියක් උනු.. තාමත් ජිවිත ගමනේ අපරාජිතව සටන් කරන ගැහැණියක්...

ගැහැණු...
කොයි තරම් ලස්සනද?
කොයි තරම් ගුප්ත ද?
කොයි තරම් ගැඹුරු ද?
කොයි තරම් මිහිරි ද?
කොයි තරම් සංවේදියි ද?
කොයි කරම් ලාමකද?
ඒ තරම්ම ඈ ශක්තිමත්..!!!!

Wednesday, December 2, 2009

මගේ මාතර ගමන.2-12-2009

කාලෙකට පස්සේ අද ටිකක් දුර ගමනක් ගියා.. මං ගියා මාතර.. මාතර කිව්වට දික්වැල්ල පැත්තට.. තරමක් පුංචි කාලේ මටයි මගේ හොදම නෑදෑයා අක්කාටයි තිබ්බ ඉටුනොවුනු පොදු හීනෙක අන්තිම සමුගැන්ම කරලා එන්න.. මම දන්නේ නැහැ මම කවදද හීන දකින්න පටන් ගත්තේ කියලා.. මං හිතන්නේ ගොඩක් පොඩි කාලේ.. ඒක පුරුදු වෙන්න ඇත්තේ තනියම හැදුනු නිසා පාළුව නැති කරගන්න වෙන්න ඇති.. ලොකු වෙනකොට මඟ ඇරිලා නොගිය එක පුරුද්දක් විදියට හීනත් තාම මාත් එක්ක ඉන්නවා.. ඒවා ඇත්ත වෙනවද නැද්ද කියන එක මට වැදගත් නෑ.. ඒත් ඒ හිතිවිලි මගේ හිතට එන වෙලාවට මගේ හිත සතුටු වීම විතරයි මට ඕන කරන්නේ.. ඒක වෙන නිසා මම අදටත් හීන වලට ආදරෙයි.. පැන්නා පැන්නා පටන් ගන්නකොටම පැන්නා පාරෙන් පිට.. පැහැදිලිව මේකයි අපේ පොදු හීනය වෙලා තිබ්බේ.. මගේ අක්කාගේ තාත්තා‍ගේ උපන් ගම දික්වැල්ල..මගේ නොම්මර එකේ මතකය නිවැරදි නම් දික්වැල්ල තමයි.. හුම්මානේ තියෙන්නේ අන්න ඒ කිට්ටුව..ඉතිං එයාගේ මහගෙදර තියෙන්නේ එහේ.. දැන් එහේ කවුරුවත් නෑ.. ඒ ඉඩම ටිකක් ලොකුයි.. එක පැත්තකින් මායිම් වෙන්නේ තාමත් වගා කරන කුඹුරකට අනිත් එක පැත්තක් ප්‍රධාන පාරට.. ඉතිං අපි දෙන්නට ලොකු ආසවක් තිබ්බා එතන නිවාඩු නිකේතනයක් දාන්න.. මොකද හුම්මානේ එහෙමත් තියන නිසා සංචාරක ආකර්ෂණයත් තියනවානේ.. හැබැයි ඒක අපේ අච්චාරුසාකච්චා අතරේ කෙරුනු තවත් එක් කතාවක් වෙලා අතීතෙට ගිහිං.. අද ඒ ඉඩම සම්පූර්ණයෙන්ම වෙන කෙනෙකුට විකිණුවා.. ඉතිං පුංචි ළමයි දෙන්නෙක් දැකපු හීනයක් අදින් කෙලවර උනා.. අක්කට නම් දැන් ඒ ගැන මතකද දන්නේ නැහැ ඒත් මට මතකයි..ඒකයි එයා වෙනුවෙන් මං අපේ හීනෙට සමුදෙන්න ගියේ..
අපේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි සේරම අපි 5දෙනා තමා ගියේ.. පාන්දර 4.30 ට නැගිට්ටේ සෑහෙන්න කාලෙකින්.. ඉර වත් නැගිටලා නෑ.. ඒත් මම යනගමන් දිගටම ඉර දිහා බලන් ගියා.. ඉර පායන වෙලාව කොයි තරම් ලස්සනද? ඒත් මං කවදාවත් ඒක දකින්නේ නැහැ නේ.. ඉතිං අද මට හරිම නැවුම් විදියට ඇරඹුණු දවසක්.. යමින් ගමන් අපි ගියා මාතර ලයිට්හවුස් එක බලන්න.. එතන හරි ලස්සනයි ටික වෙලාවක් ඉන්න.. වැඩි සද්ද බද්ද මොකුත් නැහැ නේ.. අපිත් ටිකක් වෙලා ඉදලා එහෙමම ගියා දික්වැල්ලට.. එහේ වැඩ ටික ඉවර කරලා ගියා අර කලින් ඉඩම ගත්ත කෙනාගේ ගෙදරට.. එයා ඉන්න මුහුද පැත්තේ.. කොටින්ම ගේ ළගට මුහුදේ සද්දේ ඇහෙනවා.. ඒත් දවල් වැඩි නිසා මුහුදට යන්න නම් බැරි උනා.. කොහොම හරි අද ‍ඒ ගෙදර අය වැඩිහිටි නිවාසෙකට දානයක් දීලා.. අපිටත් කාලා යන්න ඉන්න කිව්වා.. දානෙට හදලා තිබ්බේ ඉඳිආප්පයි.. මාළු කිරි හොදියි..කට්ට සම්බෝලයි පරිප්පුයි.. පිස්සු හැදෙයි කිව්වලු.. මැනස් පැත්තකින් තියලා අඩුම ගානේ ඉදිආප්ප 25 ක් වත් මම නම් කෑවා.. ඒ අස්සේ ඒ ගෙදර හිටිය නැන්දා කෙනෙක් මාළු ඔළු හොදි පිගානක් ගෙනැල්ලා පොඩි එකා වෙච්චි මගේ පිඟානටම බෙදුවා.. එපා කියන්න යැයි... සා.... ඒකේ රස....!! අම්මපා ගෙදර හිටියා නම් කටු ටික වත් ඉතිරි කරන්නේ නැහැ.. කොහොම උනත් දානේ දීපු ‍ඒ ගෙදර අයට මට ඒ වගේ රස කෑම වේලක් ලබා දුන්නට පින ඩබල් වෙලා ලැබෙන්න ඕනි.. මොකද උදේටත් හරියට කාලා හිටියේ නැහැ නේ මම... එයින් පස්සේ ඉතිං ආයෙමත් ගෙදර බලා ගමන් ඇරඹුවා.. මං හිතුවට වඩා මාතර මුහුදු වෙරළ ලස්සනයි නේ... ආයේ දවසක නිදහසේ ගිහිං එන්න ඕනි..