Wednesday, October 31, 2012

එහිතට ඇමතුවෙමි

කාලයත් එක්ක බොහෝ දේවල් අමතක වෙමින් ගිහින්... එහෙම නැත්තං විහින්ම අමතක කරමින් කරේ එල්ලං ඉන්න බැක්පැක් එක හිස් කරමින් යළි යළිත් පුරව ගනිමින් ඉන්නවා වගේ...

එක දිගට පොතක් කියවන එකට වඩා.. ‍ෆිල්ම් එකක් බලනවට වඩා කූජීත විදියට නිදාගන්න එක අමුතුම ගතියක් වෙලා.. ඒත් ඒ නින්ද කියන්නේ ජීවිතේ නෙවෙයි.. ඒත් ඒ නින්දම ආයෙමත් අළුත් පටන් ගැන්මක බේස් එක වෙන්න පුළුවන්...

සෑහෙන්න රස්නේ වෙන්න අව්ව පෑව්වට පස්සේ ආයෙමත් පුරුදු විදියට වැස්ස වහින්න පටන් ගත්තා.. රස්නේ කාලෙට දාඩියට අව්වට බැන්න මම ම වැස්සටත් බනිනවා.. අව්වට ඉහලපු කුඩේම වැස්සටත් ඉහිලෙනවා.. වැස්සද අව්වද පින්නද කියන එක මට අදාල උනාට කුඩේට කිසිම අදාල තාවයක් නෑ වගේ..

වැඩ කරන කාලෙට නිවාඩුවක් ඕනේ උනාට නිවාඩුවක් ලැබුනම ඇත්තටම එදාට මොනාද කරන්නේ කියනත් ලොකු ප්‍රශ්ණයක්... කැමති නම් නිවාඩුව වැඩ දවසකට වඩා වැඩ දවසක් කරගන්න පුළුවන්.. නැත්තං කිසිම වගක් නැතුව හිතන පමාවෙන් ඔහේ ගෙවලා දාන්න පුළුවන්...

ඒ දෙකටම කැමත්තක් ආවේ නැති හින්දා පොතක් අතට ගත්තා... මිලදි අරන් තිබුනේ 2011...!!! මගේ කියවීමේ වේගය ගැන මට මාර හැපී එකක් ආවා.. අවුරුද්දක් තිස්සේ පොත මුල්ලක දාලා තියන්න තරම් මම කොයි තරම් ශෝක්ද? ඒත් මට ඒ අවුරුද්ද පුරාම වැඩ තිබුනා.. අඩුම ගානේ වැඩ නොකර හරි ඒ අවුරුද්ද ගෙවිලා ගියා..

දවස් දහයක් මහ මුහුද මැද්දේ පහුරක් උඩ නොමැරි ජීවත් වෙන නාවිකයෙක් ගේ කතාවක් මාකස් ලියලා තිබ්බ..  “මුහුදු බත් වූ සේලරුවෙකුගේ කතාව‍/“  මට ආයෙමත් මහල්ලා සහ මහ මුහුද මතක් ‍උනා.. සැබෑ මිනිසෙකුගේ කතාව මතක් උනා.. සුදු වැද්දව.. රොබට් නොක්ස් ව හැමෝවම මතක් උනා... මයි ඕල්ඩ් ෆ්‍රෙන්ඩ්ස්.. හරියට අරක්කු කාලක් ගැහුවා වගේ...!

මම ජීවිත කාලෙටම අරක්කු වීදුරුවකට වඩා බීලා නෑ.. බොන අයට එපා කියලත් නෑ,. ඒත් අරක්කු බෝතලයක් කටේ තියන් බොන්න හිතිලත් නෑ.. බොන එකකුත් නෑ.. හැබැයි අරක්කු බීලා කියවන මිනිස්සුන්ගේ ආතල් කඩලත් නෑ... 'බොන මිනිස්සු අවංකයි..' බොන උන් කියනවා.. 'බොන්නේ මොඩයෝ' නොබන උන් කියනවා... මම බොන්නෙත් නෑ.. නොබොන්නෙත් නෑ.. හැබැයි මත් වෙනවා..

අද මම ආයෙමත් අකුරු වලින් කාලෙකට පස්සේ මත් වෙලා.. ඉතිං තව පොතක් අතට ගත්තා සර්වකාලත්‍ර ප්‍රේමය.. සුනේත්‍රාගේ... අහා!! සුනේත්‍රා... කවුරු මොනවා කිව්වත් සුනේත්‍රා කවදාවත් මාව මම කියවපු එයාගේ පොත් අස්සේ මාව අසරණ කරලා නෑ.. මීට ටික දවසකට කලින් මම නවගත්තේගමව කියෙව්වා.. හරියට පිස්සු වැටිච්ච පෙම්වතියක් වගේ.. මට පුදුම තරම් අසරණ කමක් දැනුනා.. සංසාරණ්‍ය අස්සේ කාටවත් නොපෙනෙන්න නවගත්තේගම මාව විනාස කරලා දැම්මා... මම කියවපු අකුරු අස්සේ මට මහා ලැජ්ජාවකුයි මෝඩ කමකුයි දැනුනා.. අල්ල ගත්තු හැම කොනක්ම වැරදියිද මන්දා.. ඒත් වට් ටු ඩූ...?

කාලෙකට පස්සේ අද මට හරි නිදහසක් දැනෙනවා.. හරිම සැහැල්ලුවක්... මූණු පොතේ ‍ශෙයා වෙලා තිබුන බැම්බෝ මියුසික් එකක් එක්කයි මම හිටියේ.. අපි එක පාරක් දිගේ දිගට ගියා... අපි තුන් දෙනා විතරක්... මමයි මගේ හිතයි ඒ සංගීතුයි... අපි අත් අල්ලගෙන හිටියේ කතා නැතුව.. අපේ ස්නායු හුඟක් හයියෙන් එහේ මෙහේ අයාලේ ගියා.. මගේ හිත මට කතාකලා.. මම ඒ හිතට ඇමතුවා.. සංගීත් අපේ පස්සෙන් ආවා.. නිල්ම නිල් කඩදාසියක ඒ හිතට අමතපු දේ කළු පාට අත් අකුරින් ලියන්න මට හිතුනා.. ඇයි දන්නවද? ඒ වීඩියෝවට දාලා තිබුනේ නිල්ම නිල්පාට මලක පිංතූරයක්...!