Wednesday, June 6, 2018

ගැලවීම

ගැලවීම කියන වචනෙට තියෙන්නේ එක තේරුමක් විතරක් උනාට යෙදෙන විදිය අනූව ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ගමනක් යනකොට සපත්තුවක අඩිය ගැලවෙන එක නරක දෙයක් උනාට නරක ඇබ්බැහියකින් කෙනෙක් ගැලවෙනවා කියන්නේ හොඳ දෙයක්.
හොඳ නරක කියන දේත් ඒ වගේ. සමහර විට කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක් වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් හොඳයි කියන දේට හොඳයි කියලා ඔළුව නමලා ඉන්න එක තමයි ජිවත් වෙන්න තියන හොඳම විදිය. ඒක එහෙම නෙවෙයි කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ.

අද මේ ලියන්නේ මැහුම් ගැලවිල්ලක් ගැන. ඒක ඉබේ ගැලවිල්ලක් නෙවෙයි සිතා මතා පතා කරන ගැලවීමක්.

අපේ ගෙදර කොයි අස්සක මුල්ලක බැළුවත් ඔය මොනා හරි පාට කිරිල්ලක් හරි මැහිල්ලක් හරි නැති වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි. මොකද කාලයක් තිබුනා ඔය වගේ වැඩක් නොකර දවසක් හරි ගත වෙනවා කියන එක මහා අපරාදයක් වගේ දැනුන. පස්සේ ඉතිං කම්මැලිකම කියන කළු වළාව ගොඩක් දේවල් වහගත්තනේ.

ගෙදර කෑම මේසේ ඉස්සරහා තියන බිත්තිය තමයි මගේ කළා නිර්මාණ වල ඒ ඒ කාල වල විශිෂ්ඨතම නිර්මාණය රැදෙන තැන. මල් පොකුරක් ගත්ත කෙල්ලක් වගේම ඉකෙබනා එකක මැහුම් රටාවකිනුත් කාලයක් ඔය බිත්තිය හැඩ උනා. පස්සේ එතනට ආවේ කඩෙන් ගත්ත චිත්‍රයක්. ඇයි ඉතිං ඒ දෙකෙන් පස්සේ මම ලොකු වැඩ වලට අත ගැහුවේ නෑනේ.

දැන් ආයෙමත් අර කළු වළාකුල අයින් වෙලා. අර චිත්‍රෙත් එතන තිබුනා ඇති කියලා මටම හිතිලා තියෙන්නේ. ඉතිං ආයෙමත් අළුත් මැහුමක් අතට ගත්තා. මේ පාර මට ඕන උනේ ඇපල් වට්ටියක් මහන්න. ඉතිං දැන් නූල් ආයිත්තම් හැමදේම ලං කරගෙන දැන් මාසෙකට දෙකකට කලින් වැඩේ පටා...න් ගත්තම කියමුකෝ. කරගෙන යනකොට තමයි දැනුනේ ඒක හරියන්නේ නැහැ කියලා. ඒකේ පාට ටික මට ඕන විදියට එන්නේ නෑ. හිතට හරි නැතිව මොන වැඩේ කරලවත් හරියන්නේ නැති හින්දා ඔතලා දැම්මා පැත්තකට.

දැන් ආයිමත් වෙන මල් පොකුරක් දැක්කා. ඒක මහන්න හිතුවා. අමුතුවෙන් රෙදි ගන්න දෙයක් නෑ. අර ඇපල් මහපු එකේ ප්‍රමානෙම ඒකටත් ඇති. දැන් තමයි ගැලවිවල්ල කියන වචනේ මේකට අදාල වෙන්නේ. ඇස් දෙක පියාගෙන සත්‍යග්‍රහයක් කරාට නූල් ටික ඉබේ ගැලවෙන්නේ නැහැනේ, මම මහපු හැම නූල් පටක්ම මම ම ගලවන්න එපැයි.ගැලවෙන ගලවන එක කොයි තරම් අමාරුයිද කියලා හිතෙන්නේ අන්න එතකොට තමයි.. ඒ වගේ වෙලාවට තමයි මේ වගේ දාර්ශණික සිතුවිලිත් ඔළුවට එන්නේ.

කාලෙකට කලින් ආසාවෙන් ගත්ත සපත්තුවක් ගැලවෙන එක. ආසාවෙන් අඳින ඇඳුමක නූල් ගැලවෙන එක. ආසාවෙන් අලවපු මොනා හරි දෙයක් ගැලවිලා වැටෙන එක.
ගොඩක් වෙලාවට ගැලවීමක් කියන්නේ හිතට දුකක්. අපි ආසයි බැඳිලා ඇලිලා එකට තියනතාක් කල්. සමහර වෙලාවට පදාසයක්ම ගැලවිලා පොඩිම පොඩි රැදවුමකින් විතරක් මුළු හැමදේම රැඳිලා.හරියට මගේ මැහුමේ නූල් පොටවල් 7ක් කැපිලා ඒත් එකම එක හීන් නූලකින් මැහුම රැඳිලා තියනවා වගේ.

ජිවිතේ කියන්නේම ඇලීම් බැඳීම් හා ගැලවීම් වලට.. අපි ඉන්න තැනට අපි වැඩ කරන තැනට අපි වටේ ඉන්න අයට අපි එක්ක හිනාවෙන කතා කරන අයට අපි බැඳෙනවා... දැන හෝ නොදැන. ඒ හැම බැඳීමක් එක්කම ගැලවීමක් වෙන් වීමක් තියනවා. ඒත් ඒකට අපි බයයි. අපි අකමැතියි. මැහුමක නූල්  ගලවනවට වඩා ඒක ගොඩක් වෙනස්.හැබැයි මැහුමක නූල් ගලවනවට වඩා ගොඩක් ලේසීයි..! සමහර විට එකම එක වචනයක්... එහෙමත් නැත්තං වචන නැතිවමත්. අපිට අපේ බැඳීම් ලිහලා ගලවලා දාන්න පුළුවන්. අතහරින එක හරිම ලේසියි. අතඅරින තරමට ජිවිතය පහසුයි. මොකද අපිට තියෙන්නේ හිතත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න විතරයි. හැබැයි සෙල්ලම් කරද්දි වැටෙනවා.. රිදෙනවා.. තුවාල වෙනවා.. ඒකත් අමතක කරන්න බැරි ඇත්තක්. ඒ අතින් බලනකොට මැහුම් ගලවන එක ලේසියි.

ඒ නිසා මම ආයේ මගේ මැහුම ගලවන්න යනවා.


1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete