Sunday, October 24, 2010

කැම්පස් අයියලා අක්කලාට ආදරයෙන්..


මම දැන් ‍ගෙවන වයසත් එක්ක බැලුවම කැම්පස් යන ළමයි අයියලා අක්කලා වෙන්න පුළුවන් ඉඩ කඩ බොහෝම සීමිත උනත් අපි වගේ උසස් පෙළෙන් පස්සේ අධ්‍යාපනය හමාර කරපු අයට සාපේක්ෂව කැම්ස් යන අය උගත් පිරිසක් හැටියටයි සැලකෙන්නේ.. ඉතිං නිසි ගෞරව ලබාදීම පිණිසයි අයියලා අක්කලා කියන නමින් ඇමතුවේ.

මම මේ දවස් වල ලිවීමෙන් ටිකක් අයින් වෙලා ඉන්නවා උනත් කාලෙකට පස්සේ අද අයි.ටී. එන් නිව්ස් වලින් කෑලි කිපයක් ඔහේ බලාගෙන ඉන්න සිද්ධ උනාම හිතුන දේවල් නොලියා ඉන්න බැහැයි කියලයි හිතුනේ. මේ දවස් වල කොහොමත් මීඩියා වල බයිට් එක කැම්පස් එකනේ..

ඇත්තටම ප්‍රවෘත්ති ගැන තියන අධි ඇල්මැරුණු මගේ චරිත ලකෂ්ණය නිසා මේ දවස් වල තියන සිසු පාළක ගැටළුවේ අග මුල මොකක්ද ඒකට විසඳුම මොකක්ද.. වගේ අති පණ්ඩිත කතා ලියන්න නම් නෙවෙයි මේ හදන්නේ.. කොහොමත් මම ඒකට නම් සුදුසු නෑ.. මම දන්නෙත් නෑ..

ඒත් අපේ වගේ රටක විශ්ව විද්‍යාලවල ඉගනුම ලබන්නේ සාමාන්‍යයෙන් සමාජයේ උගත් බුද්ධිමත් කියලා සැලකෙන කොටස.. දියෙන් හොදම කිරි ටික වෙන් වෙනවා වගේ තේරුණු පිරිසකට විතරයි තවමත් නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ.. තාමත් අපේ ගම් වල ඒ ළමයා විශ්ව විද්‍යාලෙට තේරුනා කිව්වම නිසැකයෙන්ම ගෞරවාන්විත කුලකයට ඇතුලත් කරනවා...

නමුත් හැබැවට එහෙම යන පිරිස උගත් කෙසේ වෙතත් බුද්ධිමත් ද? දැනෙන විදියට එතනයි දැන් ගැටළුව තියෙන්නේ..

කොහොමටත් තාරුණ අරගල ඇරඹෙන්නේ වි.විද්‍යාලය පරිස‍රයෙන්.. ඒක අද ඊයේ නෙවෙයි ‍මීට බොහෝ අතීතයේ පටන් ‍මුළු ලෝකය පුරහම සිද්ධ වෙච්ච දෙයක්.. ජිවිත පරිත්‍යාගයෙන් තමන්ගේ අරමුණු වෙනුවෙන් සාමුහිකව පෙළ ගැහෙන එකත් ගැටවර තාරුණ්‍යයේ ලක්ෂණයක්.. ඒත් අද සිද්ධ වෙන්නේ පොදු අරමුණු වෙනුවෙන් පෙළ ගැහෙන එකමද? එහෙමත් නැත්තං කීප දෙනෙක් ගේ අරමුණු වෙනුවෙන් බහුතරයක් අපහසුතාවයට පත් කිරීමක් ද?

මේ දේවල් වලට නිසි පිළිතුරු දන්නේ ඒ තැන් වල ඉගෙනුම ලබන ඔබ ම විය හැකියි....

නමුත් පැහැදිලිවම එකක් නම් අපි හොදටම දන්නවා.. ඔබ කොළඹ නගරයේ ‍විරෝධතාවලදී පිස්සු නටන විට රැකියා නිසා හෙම්බත් වෙලා ඉක්මනට ගෙදර යන්න ඉන්න මම ඇතුළු අපි වගේ ඕලෙවෙල් එලේවල්.. එහෙමත් නැත්තං අට පාස් නැති අයත් හුඟ දෙනෙක් ඔබ ගැන කතා කරන්නේ හරි අප්‍රසන්න හැඟීමෙන්..

පහුගිය සතියක අපේ රැකියා ස්ථානයේ ‍25 හැවිරිදි එක් දරු මවක් කිව්වේ.. "ඕකුන්ව හිරේ දාන්නමයි ඕනේ.. අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම වද දෙනවා..." ටිකක් විතර කෘර උනත් වැඩි දෙනෙකු ඒ කතාවට ඔළුව වනලා සනාථ කලා..ටිකක් විතර හිතලා බලද්දි ඇත්ත කියලත් හිතෙනවා නේද? දවස් පඩි ගන්න කුලීකරුවන්ගේ ඉදන් අපි හැමෝම අපි ගන්න වැටුප් වල ඉදන් අනිත් හැම වියදමකදිම රජයට‍‍ බදු ගෙවනවා.. ඒ බදු වලින් කොටසක් තමයි ඔබේ අධ්‍යාපනයට වෙන් කෙරෙන්නෙත්.. සමහර විට ‍ඒ පංගුව ඔබේ වැඩ වලට මදි වෙන්න පුළුවනි.. අපිටත් මදි.. අපි ගන්න වැටුප නමුත් අපි අරගල කරන්නේ නෑ.. තව ටිකක් තව වැඩියෙන් ටිකක් හොඳට වැඩ කරනවා.. ඊළග වැටුප් වර්ධකය ලැබෙන දාට ඒ ගැන සලකා බැලෙන්න..

ඔය කොයි කතා පැත්තක තිබ්බත්.. අපි මේ ගෙවන්නේ ඒ තරම් හොඳ අරගලයට සුදුසු කාල වකවානුවක් නම් නෙවෙයි.. ඒක මට තේරුනේ අද ප්‍රවෘත්ති විකාශයෙන් පසු විමසුම ඇහුවට පස්සෙයි...විමසුම ලේඛකයා කතා කරනවා.. සිසු අරගල නැවතීමක් ගැන.. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න දරුවන්ගේ දෙමාපියන්ටත් කතා කරනවා.. කොහොමටත් දැඩි මර්ධනයක් අත ලඟ එන හැඩයි.. ඔය මාධ්‍යම තමයි යුද්ධය අපේ රටේ මිනිස්සුන්ගේ ලේ වලටත් කැව්වේ.. ඔය විදියටම... ඔය විදියට වැඩ සිද්ධ උනොත් ලඟදීම කැම්පස් සිසුවත් ත්‍රස්ථවාදියෙකු හැටියට ගණන් ගන්න වැඩි කාලයක් යන එකක් නෑ..

ඒක සිදු විය යුතු නෑ..!!!

මම ප්‍රධාන අපි බහුතරයක් ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙපමණයි.. කාගෙවත් රූකඩයක් නො‍වන්න.. සුදුසු කල සුදුසු දේ ඉටු කරන්න.. නමුත් ඔබේ තාරුණ්‍යය නිකරුනේ හිර ගෙවල් වල ගෙවාදමන්න එපා.. ‍ඔබේ පකෂයට.. ඔබේ විශ්ව විද්‍යාලය‍‍ට ඔබ තවත් එක් ශිශ්‍යයෙක් හෝ ශිශ්‍යාවක පමණයි.. නමුත් ඔබේ ගෙදරට ඔබේ අම්මාට තාත්තාට ඔබම පමණයි...!

ඔබ ස්වාධීනයි..! ඔබේ පක්ෂයටවත්.. ඔබේ රටේ පාලන තන්ත්‍රයටවත් උවමනා විදියට නටන ඔළු බක්කෙකු නොවන්න.. ඔබේ වටිනාකම ඔබ සුරකගන්න.. ඔබේ.. ඔබේ සමාජයේ.. ඔබේ රටේ.. සුභ සිද්ධිය සඳහා පමණක් කැපවෙන්න.!


Thursday, October 7, 2010

ජිවිතේ..

හුඟක් බරට
සමහර දේවල් දැනෙනකොට
හුඟක් සැහැල්ලුවට
සමහර දේවල් දැනෙනවා

ලියන්න ආස වෙනකොට
ලියන්න දේවල් නැතිවෙනවා
ලියන්න එපා වෙනකොට
ලියන්න දේවල් ගොඩක් එනවා..
මේ ටිකේ ලියන්න හරි ආසයි
ඒත් ලියන්න නැති තරම්
ඒත්
හුඟක් දේවල් හිතෙනවා
ඒවා වචන වෙන්නේ නැති තරම්
මේ ගෙවෙන්නේ
ඇබ්නෝමල් මයින්ඩ්ස්
වල අවසාන කාලයද මන්දා
ජිවිතේ හුඟක් සරළ
නිදහස් ප්‍රීතිමත්
කාලෙක පටන්ගත්ත දෙයක්
එක සැරේ අතඇරලා
දාන්නත් දුකයි
ඒත් කොයි වෙලේ හරි
ඩිලීට් බටන් එක
ක්ලික් උනොත්
කියන්න බෑ..
හි‍තට හිතෙන්නේ
නොහිතෙන්නේ
මොනාද කොයිවෙලේද කියලා
කලින් කියන්න බැහැනේ
ඒ නිසා
මේ වෙනකොට
ජිවිතේ මට හරි අරුමයක්
අමුතු ග්‍රහලෝකයකට
ගිය කෙනෙක් වගේ
මං ජිවිතේ අළුත් පැති හොය හොය
ඒවයේ ලස්සන.. අවලස්සන
බල බල විඳිනවා..
විදවනවා..

ඒත් ජිවිතේ සුන්දරයි

හැමෝම එහෙම කියනවා
ඉතිං මට විතරක් කොහොමද
අසුන්දර වෙන්නේ
ජිවිතේ සුන්දරයි
මටත් හිතෙනවා..
ඒත්..
සුන්දරතාව දැනෙන්නේ
අසුන්දර ‍කියන්නේ
මොකක්ද කියලා
දන්න කෙනෙකුට විතරයි
නැත්තං අරුමයක් නෑ
ජිවිතේ උනාත්
මොනා උනත්
වෙනසක් නැතිව
එක තැන පල් උනොත්

මොනා ලියනවාද කියලා
නොතේරෙනකොට
පිස්සුද කියලා
හිතෙනවා උනාට
පිස්සුවත් හරි සුන්දරයි
කවදා හරි ආයේ
බලන වෙලාවට...

නදීක එන්න අපි දෙන්නා
හයියෙන් කෑ ගහමු..

මට පිස්සු වෙරෝනිකා.....!!!!

මට පිස්සු!

Friday, October 1, 2010

චිත්‍රපටියි තව ටිකකුයි

මේ දවස් වල ඉතිං අපිත් ඉතිං ටිකක් බිසී මිනිස්සු තමා.. කියවන්න පොත් බලන්න චිත්‍රපටි වලින් අඩුවක් නෑ.. ඒ අස්සේ දවස ‍ගානේ යන්න රස්සාවත් තියන එක තමා අවුල.. ඔන්න සතියක් විතර ලෙඩ වෙලා එක තැනක ඉන්න තිබ්බා නම් මල් හතයි.. අනේ ඒ වුනාට මේ ටිකේ ලෙඩ වෙන්න නම් බෑ.. හැබැයි ඉතිං මේ දවස් වල සැරින් සැරේ වහින වැස්ස නම් නිදා ගන්න මරු... ඒ වුනාට ඉතිං හිතෙන හිතෙන වෙලාවට නිදාගන්න බැහැ‍නේ.. ඒ නිසා අවදි වෙලා ඉන්න වෙලාව ගැන කතා කරමු..

පහුගිය දොහේ ගත්ත පොත් වලින් මුලින්ම අතට ගත්තේ සන්නස්ගලගේ ආදරේ තරම්ම යසෝදරා පොත..ඒක අවුරුදු දෙකක් විතර ගන්න හිතන් හිටි පොතක්.. ඉස්සර සිරිකත පත්තරේ ගිය නිසා මුල් හරිය කියවලා හිතේ තිබ්බ ආසාවට මයි පොත ගත්තේ.. නරකමත් නෑ.. ඒත් හොදම හොදයි කියන්නත් බෑ.. ඒත් පොත කියවන්න කැමති කෙනෙකුට කියවලා බලන එක හොදයි..

ඔය පොත එක්කම බලපු.. බලලා හිතට හොදටම වැදුනු චිත්‍රපටි දෙකක් ගැන ලියන එක හොදයි කියලා හිතුනා.. මං හිතන්නේ හැමෝම බලන්න වටින හුඟක් සංවේදී චිත්‍රපටි දෙකක් තමයි ඒ.. දෙකම ටිකක් පරණයි.. සමහර විට මං ඇරුණම අනිත් හැමෝම බලලා තියනවාද දන්නේත් නෑ..

මුලින්ම මම බැලුවේ හිලරි ඇන්ඩ් ජැකී කියන චිත්‍රපටිය.. සංගීතය රසවිඳින්න කැමති අයට නම් මේක මරුම මරු ෆිල්ම් එකක් වෙයි.. හැබැයි සංගීතයට වඩා කතාව සංවේදීයි මට නම්.. පුංචි කාලේ ඉදන් සංගීතයට යොමු වුනු සහෝදරියෝ දෙදෙනෙකුගේ ජිවිත ගැන තමයි කතාවේ තියෙන්නේ.. පුංචි කාලේ දක්ෂ වාදන ශිල්පිණියක් වෙන අක්කා ගැන නංගිගේ ‍හිතෙත් පසුව නංගිගේ දක්ෂ කම් දැකලා තමන්ගේ සංගීත පුහුණුව මගහැර ගන්න පසුව තමන්ගේම නංගිගෙන් තමන්ට සිදුවෙන මදි පුංචිකම් ගැන නොසලකා නංගිට ආදරේ කරුණාව දක්වන ආදරණීය අක්කා කෙනෙක් ගැනයි කතාව තියෙන්නේ.. මං කිව්වට වඩා කතාව හරි ලස්සනයි.. ඊට වඩා ‍තව බොහෝ කාරණා වලින් අනූනයි.. ඒ නිසා බලලම ඉන්න ‍එක හොදයි මං හිතන්නේ මේක කියවනවාට වැඩිය..

හැබැයි මට කියන්න තියෙන්නේ මේ කතාවේ එන හිලරි කියන අක්කා තරම් පරාර්ථකාමී වෙන්න නම් මට බැරි වෙයි.. ඒ නිසා වෙන්න ඇති අන්තිමේ ජැකී දරුණු ස්නායු ආබාධයකට ලක් වුනාම මට එයා ගැන හොදම වැඩේ කියලා හිතුනේ..

කොහොම උනත් ආදරය..සංගීතය.. සහෝදරප්‍රේමය වගේ ජිවීතේ සියුම් තැන බොහෝමයක් ගැන කතාවෙන මේ චිත්‍රපටිය බලලා නැති අය අනිවාර්යෙන්ම බලන්න..



දෙවෙනියට මං කියන්න යන්නේ පෙරේදා මං බලපු ඒත් තාමත් ඒහි එන ප්‍රධාන චරිතයේ රංගන දක්ෂතා නිසාම හිත ‍බොහෝම සංවේදි උනු "අයි ඇම් සෑම්"
(I am Sam) ගැනයි..

උපන්දවසේම අම්මා දාලා යන දුවෙක්ව හදාගන්න මානසිකව්‍යාධියකින් පෙලෙන පියෙකු දියණියට‍ අවුරුදු හතක් වුනාට පස්සේ නීතිය විසින් ඔහුගෙන් දුවව වෙන් කිරීමට විරුද්ධව ගෙන යන සටන ගැන කියවෙන අයි ඈම් සෑම් චිත්‍රපටය හැම තාත්තා ‍කෙනෙකුමයි දුවෙකුමයි අනිවාර්යෙන්ම බැලිය යුතුයි කියලා මට හිතෙනවා.. මොන මානසික මට්ටමක ‍මොන ආර්ථික මට්ටමක හිටියත් දුවෙකුට තමන්ගේ තාත්තාත් තාත්තා කෙනෙකුට තමන්ගේ දුවත් කොයි තරම් වටිනවද කියලා අපූරුවට මේ චිත්‍රපටියේ පෙන්වනවා..

මනුශ්‍ය ජිවිතයකට ආදරේ තරම් අවශ්‍ය කරන තව දේවල් තියනවාද? මොන සැප තිබ්බත් මොකටද ආදරේ නැතුව? නේද? අවුරුදු 7ක තරම් මානසික මට්ටමක් තියෙන සෑම් කියන තාත්තා ගේ චරිතය තමයි මට මේ කතාව ‍මේ තරම් හිතට කාවදින කතාවක් බවට පත්කලේ.. ඒ හැර මුළු කතාව පුරාම දිවෙන මානුෂියත්වයට මං හරිම ආසයි..