Thursday, January 28, 2010

The loss of democracy

Ladies and Gentlemen


Please be kind enough to note that from the dawn of January 27th, 2010, we as Sri Lankans do not live anymore under a Democratic rule of government.

Some may jeer me for the sheer warmth of supporting the winning party., but do note that the effect of this hostile take over and banishing the basic rights of every free human in this country will take it's toll in time to come.

Mark my words ladies and gentlemen, This is the beginning of the next Robert Mugabe and this is the beginning of the formation of a new Zimbabwe.

Mark my words again., before the end of 2010, the US$ will hit close to 160 rupees and the unemployment rate will hit more than 30% - 32% . The crime rate will skyrocket just as well with the price of commodities !.

May lord have mercy on our souls ! and our land !

Sunday, January 24, 2010

මගේ ආදර...

අද මම ලියන්නේ මගේ සැබෑ ජිවිතේ අර්ධයක් ගැන.. හරි අඩක් ගැන.. සමහර විට හරි අඩකටත් වැඩි මිසක් අඩු වෙන්න කොහොමත් බැරි කොටසක් ගැන..
මම මුල ඉදන්ම පටන් ගන්නම්.. මම ඉපදුනේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක.. ගෙදර‍ ගෙදර ගෙනත් තියෙන්නේ අදුරන කෙනෙකුගේ වාහනයක.. එදා ඉදන් මගේ හෙවණ උනේ.. සිංහල උළු හෙවිලි කරපු බාගයක් වරිච්චි බාගයක් ගඩොල් වලින් හදපු ගෙදරක.. ඒ ගෙදර සිවිලිමක් තිබුනේ නෑ.. හැබැයි අපි තුන් දෙනාම නිදාගත්ත එකම ඇඳ තිබ්බ කොටසේ විතරක් සුදු ඉටිකොළ වලින් හදපු සිවිලිමක් තිබුනා.. අපේ ගෙදරට කරන්ට් එක ගන්නේ මම මොන්ටිසෝරි යනකොට..එතකං අපිට රෑට හිටියේ ‍කුප්පි ලාම්පු භුමිතෙල් ලාම්පු වල එළියෙන්.. අම්මා බත් විතරක් නෙවෙයි හැමදේම ඉව්වේ දර ලිපේ.. ‍ඒ කුස්සියත් ලී වලින් හදපු බිමට මැටි ගාපු දර මැස්සක් තිබුනු මිටි කුස්සියක්.. දුම් වැදිලම ඒකේ හැම තැනම කළුම කළු පාට වෙලයි තිබුනේ.. අපිට බලන්න ටීවී එකක් තිබුනේ නැහැ.. පුංචි රේඩියෝ එකක් තමයි හැම වෙලේම වැඩ කලේ.. හැබැයි කොයි වෙලේවත් ගෙදර පාළු වුනේ නෑ.. මොකද ඒකට හරියන්න රංචුවක් හිටියා හැමදාම හවස හය වෙනකොට ගෙදරට එන.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. ඒ වෙනකොටත් රස්සාවල් නොකරපු අපේ තාත්තාගේ යාළුවෝ.. කොහොමත් අඩුම ගානේ හය හත් දෙනෙක් වත් එනවා.. ඒ හැමෝටම ප්ලේන් ටී එකක් වරදින්නේ නැහැ.. අම්මලා නැති ගෙවල් වල හිටිය අයට බත් කටක් නොකා යන්න ලැබුනෙත් නෑ... සමහරු ගෙදරට ආවෙම කන්න මොකුත් නැද්ද අහගෙන.. ඒ කාලේ ගෙදරට බඩු ගෙනාවේ ණයට.. ‍මොකද කන්න ඉන්න කට්ටිය ගොඩයි නිසා වියදම සැරයි.. තාත්තට එච්චර ලොකු සල්ලියක් ති‍බ්බේ නෑ.. එහෙමයි කියලා එන අයට කන්න බොන්න නොදී හිටියෙත් නෑ..
අම්මා ඒ අයට ගෙදර එන්න එපා කියන්න කිව්වෙත් නෑ.. මොකද ඒ හැමෝම එයාට පෙනුනේ එයාගේම මල්ලිලා වගේ.. කොහොම හරි අම්මයි තාත්තයි එකතු වෙලා ගෙදර පිටි පස්සෙන් පොඩි අත්තිවාරමක් දැම්මා කුස්සියකටයි කාමර දෙකකටයි.. ඊට වඩා දෙයක් කරන්න එයාලට සල්ලි තිබුනේ නෑ.. ටිකින් ටික අවුරුද්දෙන් අවුරුද්ද ඒ කාමර දෙකයි කුස්සියයි පුළුපුලුවන් විදියට හදාගත්තා.. ඒ වේගෙටම එයාලා හිටිය පරණ ගෙදරත් දිරාපත් උනා.. ඉතිං ඒ ගෙදරින් අර කාමර දෙකේ කෑල්ලට යන්න සිද්ද වුනා.. ඒක බාගෙට හදපු එකක් නිසා ජනෙල් වලට ඉටිකොළ තිබුනේ.. කාලයක් යද්දි ඒ කොටසට ඉස්සරහින් තව සාලේ කොටසක් එකතු උනා කාමරයක් එක්ක.. එයින් පස්සේ කොටසින් කොටස ගෙයි වැඩ ඉවර උනා.. ඒ ටික ඉවර වෙන්නම අවුරුදු 11ක් විතර ගියා.. ඉවර වෙනකොටයි ගෙයි අඩුපාඩු පෙනුනේ.. ඒ නිසා පැත්තෙන් තව කොටසක් එකතු උනා.. ඉස්සරහට කොටසක් එකතු උනා.. ‍ඔය අතරතුරේ ‍පුළු පුළුවන් විදියට ගෙදරට ඕනේ කරන බඩුත් එකතු කරගත්තා.. ඔය වෙනකොට කාලයක් රස්සා නැතුව හිටි යාළුවන්ට රස්සා හම්බ උනාම.. පරස්තා කරගත්තා.. ඒ නිසා ඒ අයගේ දිනපතා පැමිණීම අඩු උනා.. ඒ නිසා ගෙදර වියදම අඩු වුනා.. කඩේට ණය වෙන එක නැති උනා.. ඒ නිසා සල්ලි ගෙදර වැඩ වලට රැදුනා..ගෙදර හිටියේ තුන්දෙනයි නිසා පුළු පුළුවන් විදියට පුංචි රෝද තුනකුත් ගත්තා.. ‍තාප්ප ගේට්ටු ඇතුළු අවශේෂ දේවල් එකතු උනා.. ඔන්න ඔහොමයි අපේ ගෙදර හැදුනේ.. ඔය ගේ හදන අතරතුරම අම්මයි තාත්තයි එයාලගේ එකම දුවව පෞද්ගලික පාසලකට දාලා වියදම් කරලා ඉගැන්නුවා.. මම අවුරුදු 11ක් ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකක.. අමතර පංති,පාසැල් ගාස්තූ,වගේ ගොඩක් දේවල් නිසා හැමදාම මං වෙනුවෙන් ගොඩක් වියදම් උනා.. හැබැයි ඒ කිසිම දේකට නෑ බෑ කියවුනේ නෑ..
මේ හැමදේම කරන්න සල්ලි ආ‍වේ කොයින්ද?
වෙන කාගෙන්වත් නෙවෙයි මගේ තාත්තගේ දෑතේ හයියෙන්.. අපිට ආදයම් එන වතුපිටි නැහැ. මගේ අම්මා රස්සාවක් කලෙත් නෑ.. ඒ නිසා ගෙදර මුළු වියදම් සේරටම හම්බ කලේ තාත්තා විතරයි.. එහෙයි කියලා එයා කවදාවත් අම්මට රස්සාවට යන්න කිව්වේ නෑ.. එයා කලෙත් ටයි කෝට් දාන රස්සාවක් නෙවෙයි.. යකඩ.. ගින්දර.. වගේ බොහෝම රළු දේවල් එක්කයි එයා හැමදාම ඔට්ටු උනේ.. සමහර දවස් වලට ඉස්සර එයාගේ අගේ පුංචි පුංචි රවුම් පිච්චුන තුවාල තියනවා.. ඒ මොනාද කියලා අහන්න උවමනාවක් නෑ.. මොකද අපි දැ‍නගෙන හිටියා ඒ වෙල්ඩින් කරද්දි විසි වුනු ගිණි පුළිගු වලින් වුනු තුවාල කියලා.. අම්මයි මමයි කරන්නේ පරිස්සමින් ඒ තැන් අතගාන එක.. ඒක තමයි අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ... එයාලගේ ආයතනයෙන් රෙදි සෝදන උපකරණ දෙන්න කලින් එයා ඔරොල් එක ගෙදර අරන් එනවා හෝදන්න.. ඒක වතුරට දැම්මම වතුර කළු පාට වෙනවා.. ඒ දුවිලි හා තෙල් වගේ දේවල් නිසා.. මගේ තාත්තා වැඩ ක‍රන්නේ නැව් අළුත් වැඩියා කරන ලංකාවේ තියන එකම ආයතනයේ.. ඒ නිසා නැවක් අස්සේ තියන ඕනම තැනක අළුත්වැඩියාවක් ආවොත් එයාලා ‍ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි.. එහෙමයි මගේ තාත්තා අපි වෙනුවෙන් සල්ලි හෙව්වේ... කාලයත් එක්ක එයා කරන වැඩ වෙනස් උනත් අදටත් එයා කරන්නේ මහන්සි වෙන එක.. දාඩිය නොදා නිකං ඉදලා හම්බ කරපු එක සතයක් වත් එයා ළග නැහැ.. ඒ නිසයි එයාට වරදින්නේ නැත්තේ.. මොකට මිනිස්සුන්ගේ සාප කරිලි.. හීල්ලිලි ඒ සල්ලි වල නෑ.. තියෙන්නේ එයාගෙම දාඩිය විතරයි..
------
මගේ ජිවිතේ මගේ පහන් ටැඹ මගේ තාත්තා.. මං ඉපදෙන්න ඉන්නකොට එයා හිතලා තියෙන්නේ එයාට පුතෙක් ලැබෙයි කියලා.. ඒත් දුවෙක් ලැබුනා කියලා එයාගේ ආදරේ දශමෙකින් වත් අඩු වුනේ නෑ,. ඒ වෙනුවෙන් එයා කලේ දූවව පුතාටත් ගැ‍ලපෙන විදියට හදපු එක.. එයා තමයි ම‍ට සමාජය දකින හැටි නිහඩව ඉගැන්නුවේ.. මිනිස්සු අදුර ගන්න මගේ තාත්තට තියෙන්නේ පුදුම හැකියාවක්.. ඒක මේ සමාජේ තෙම්පරාදු වෙලාම ලැබුනු දෙයක් වෙන්න ඇති.. මගේ තාත්තාට යාළුවෝ ගොඩක් ඉන්නවා.. හැබැයි ඒ අය පරිස්සමෙන් තෝරගත්ත අය.. එයාට කෙනෙක් ෆිට් උනොත් ෆි‍ට් ම තමයි නැත්තං නෑම තමයි.. බොන කන මිනිස්සු ගැන මම මේ තරම් විවෘතව කතා කරන්නේ මගේ තාත්තා එක්ක මෙච්චර කල් ජිවත් වෙලා ලැබුන අත්දැකීම් හින්දා.. එයා බොනවා.. සිගරට් බොනවා..ඒ දේවල් වලට වියදම් කලාට එයා අතින් වෙන්න තියන කිසිම යුතුකමක් මගහැරියේ නෑ.. එයා කවදාවත් හවසට ගෙදරට එනකොට බීලා ආවේ නෑ.. බොන්න ඕනි නම් යාළුවොත් එක්ක ගිහිං අරගෙන ‍ගෙදර එනවා.. නැත්තං අම්මා හරි මං හරි එයා එක්ක යනවා ගිහිං අරං ගෙදර එනවා.. එයාටයි එයාගේ යාළුවන්ටයි බයිට් හදලා තමයි මම උයන්න තියෙන බය නැති කරගත්තේ... මට ඩෙවල් හදන්න කියා දුන්නේ මගේ තාත්තා.. ඉන්දියන් කෑම හදන්න ඉගැන්නුවෙත් තාත්තා.. ඒ වගේ තාත්තාගෙන් ඉගන ගත්ත ගොඩක් දේවල් මගේ ජිවිතේ ඇතුලේ තියනවා.. ‍තාත්තා කවදාවත් මට බොන්න කියලා නෑ.. බොන්න එපා කියලත් නෑ.. බීම විතරක් නෙවෙයි කිසිම දෙයක් කරන්න කියලා නෑ...කරන්න එපා කියලත් නෑ.. හැබැයි මං කරන හැමදේ ගැනම එයාගේ අවදානය නැති කරලත් නෑ.. මට පරිවර්තන කියවන්න හුරු කලේ තාත්තා.. වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසෙකුගේ කතාවක්, ‍සිටුවර මොන්ත ක්‍රිස්තෝ වගේ පොත් මට හොයලා ඒ ගැන විස්සතර කියලා ඒවා කියවන්න මාව ආස කෙරෙව්වෙත් මගේ තාත්තා.. කොටින්ම මාව හරහට වඩාගන්න කාලේ මාව නාවලා තියෙන්නෙත් මගේ තාත්තා.. දැනටත් මගේ මූනේ ගාන එකම එක ක්‍රීම් එක ගෙනත් දෙන්නෙත් තාත්තා..
තාත්තා තාත්තා තාත්තා තාත්තා... මගේ ජිවිතේ තාත්තා නැති වෙන තැනක් නැති තරම්.. මගේ යාළුවෝ ගැන කථා කරත් තාත්තා ඒ මැ‍ද්දේ ඉන්නවා.. මොකද මගේ යාළුවන්ගෙත් යාළුවෙක් මගේ තාත්තා.. ගෑණු යාළුවන්ගේ විතරක් නෙවෙයි පිරිමි යාළුවන්ගේ පවා.. කොටින්ම මගේ තාත්තා මගේ යාළුවොත් එක්ක එකට බොන්න සෙ‍ට් වෙලත් තියනවා.. ඔය විදියට කියනවා නම් කියන්න පොතක් පිරෙන තරමට කාරනා තියනවා තාත්තා ගැන.. ඒත් දැන් ඇති වගේ.. මම මේ හැමදේම ලිව්වේ අද මගේ තාත්තාගේ 53 වෙනි උපන්දිනේ හින්දා.. මගේ ජිවිතේ ඇතුලේ මගේම කියලා මිනිස්සු ඉන්නේ දෙන්නයි.. එක්කෙනෙක් මගේ අම්මා.. අනික් කෙනා මගේ තාත්තා.. තව ‍එකම එක්කෙනෙක් හිටියත් එයාව ගොඩක් දෙනෙක් අතරේ බෙදුනට පස්සෙයි මගේ වෙන්නේ.. ඒ නිසා මගේ ජිවිතේ අතිශයින් වැදගත් දෙතුන් දෙනා අතරින් තාත්තා කියන්නේ අංක 1. මෙහෙම ලිව්වම හිතන්න එපා තාත්තායි මමයි කවදාවත් රණ්ඩු වෙලා නැද්ද කියලා.. අපොයි අපි හරියට වාද වෙනවා..හැබැයි ටික වෙලාවකට විතරයි.. අපේ ජිවිත වල එකම එක වතාවකදි විතරයි අපිට එකග වෙන්න බැරි තැනකට ආවේ.. ඒත් එක ‍කිසිම අවුලක් නැතුව විසදුනා..

මම මෙච්චර දේවල් ගොඩක් ලියන්න නෙවෙයි හිටියේ.. අද 2010 - 01 - 25 මගේ තාත්තාගේ උපන් දිනේ.. එයාවෙනුවෙන් පොඩි සටහනක් ලියන්න ඕනි කියලා හිතාගෙනයි ‍බ්ලොග් එකට ආවේ.. හිතට ආපු දේවල් මං ඒ විදියටම අකුරු කලා.. සමහර විට නොකියවිය යුතු දේවලුත් ලියවිලා ඇති.. ඒත් කරන්න දෙයක් නෑ.. තාත්තාගේ ආදරේ මට ලැබෙන්නේ එඩිට් වෙලා නෙවෙයි.. ඉතිං එයා වෙනුවෙන් ලියවෙන සටහනත් එඩිට් විය යුතු නෑ කියලා මං හිතනවා..මං මේ සටහන ලිව්වේ මගේ ජිවිතේ මට වැඩියෙන්ම ආදරේ කරන මං වැඩියෙන්ම ආදරය කරන පිරිමියා වෙනුවෙන්.. මගෙත් මගේ අම්මාගෙත් අභිමානය.. ආඩම්බරය.. ආදරය..වුනු මගේ තාත්තා වෙනුවෙන්.. එයාට නිරෝගී සුව.. දිර්ඝායුෂ ... යෝධ බල යෝධ වීර්ය....!!!!
ඔයා මේක නොදැක්කට මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ තාත්තේ....!!!!!

Wednesday, January 20, 2010

S.B. Cartoon

Just another one !

Am I just going over board with these cartoons ? .. may be I should slow down :P


Tuesday, January 19, 2010

Me and My Drawings

Well.. guess what peeps ! .. I got my hands on a scanner :-P .

So just thought of showing my incredible skill of beautiful hand drawn cartoons .. bu ha ha ha :)

Monday, January 18, 2010

ඊයේ

ඊයේ ඒ කියන්නේ 2010-01-17 කියන්නේ මේ ටිකේ මම වැඩියෙන්ම සතුටු උන දවස කියලා කියන්න පුළුවන්.. මගේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එක කාලෙකට පස්සේ ඊයේ ආයෙමත් එකතු උනානේ.. හරියටම කියනවා නම් මාස11 කට පස්සේ තමයි කට්ටිය සේරම වගේ එකට මුණගැහුනේ.. හැබැයි ඒත් 8 දෙනාගෙන් 6 දෙනයි ආවේ.. එක්කෙනෙක් කොහොමත් ලංකාවේ නෑ.. අනිත් කෙනා ඉතිං කොහොමත් ඔය වගේ දෙවල් වලට සෙට් වෙන්නෙම නැති තරම්.. පහුගිය අවුරුදු 5 ටම 2සැරයයි එයාව අපි දැක්කේ.. යාළුවෝ සේරම 8යි උනාට ඊයේ ඔක්කොම 9 දෙනෙක් හිටියා.. සුදු ගවුම් ඇදලා කොණ්ඩ කරල් දෙක ගොතාගෙන ඉස්කෝලේ ගිය පොඩි කෙල්ලෝ දැන් ලොකු නෝනලා වෙලානේ.. ඉතිං දෙන්නෙක්ගේ මහත්තුරු දෙන්නයි තව එක්කෙනෙක් ගේ වෙන්ට මහත්තැන් කෙනෙකුයි ඇවිත් හිටියා ඉතිං සේරම 9යි..
මේ අවුරුද්ද ලැබූ වෙලාවේ ඉදන් අපි ‍කොහේ හරි යන්න සෙට් වෙන්නනේ හිටියේ.. ඉතිං අනේකවිධ යොජනා වලින් අන්තිමේ යන්න පුළුවන් තැනකට සෙට් වුනේ සත්තුවත්ත විතරයි මොකෝ අර වෙන්ට මහත්තැන් ‍එක්ක යන්න හිටි කෙනාට අපිට වගේ නෙවෙයි එහේ මෙහේ යන්න ගෙදරින් වැඩිය ඉඩ දෙන්නේ නැහැ.
ඉතිං කොහොම කොහොම හරි ඊයේ ‍උදේ 8යි30ට ඉස්සර ඉදන්ම අපේ දුකට සැපට දෙකට තිබුනු ලුමිනෙක්ස් බුක්ශොප් එක ඉස්සරහදි කට්ටිය සෙට් උනා.. මං යද්දි නෙරායි හෙලයි ඇවිත් හිටියා හෙලාගේ මහත්තැන් පාන් ගෙන්න ගිහිල්ලා.. ඊට පස්සේ අපේ ගදස් වෙන්ට මහත්තැන් එක්ක ආවා.. (ඒ මහත්තයා නම් ෆිට් පොර - පව් ඉතිං අපේ එකාට සෙට්වුනානේ ඉතිං දැන් ජිවිතේම අපතේ හික් හික්).. එයින් පස්සේ ප්‍රධාන සංවිධායකතුමිය එතුමියගේ මහත්තැන් එක්ක සම්ප්‍රාප්ත උනා.. හෙලාගේ මහත්තැනුත් ආවම හා හාපුරා කියලා ගමන පිටත් උනා.. මගින් කාම්වත් බස් එකට නග්ග ගත්තා.. කවුදෝ මන්දා ගෙවල් ළග කෙනෙක් අපේ සංවිධායකතුමියට අලි බදින ලණුවක් දීලා 10-30ට අලි නැටුම් තියනවා කියලා.. ඒකයි කුකුළාව කරේ තියාගෙන සත්තු වත්තට ගෑටුවේ..නැටුමක් තියා අලි වලිගයක්වත් තිබ්බේ නෑ ඒ වුනාට.. :)
දෙහිවලින් 176 අරගෙන ‍සත්තුවත්තට ගියපු කට්ටිය මුලින්ම මිං මැදුරේ ඉස්ගෙඩි පැටවුන්ව ‍එහෙම බලලා අපේ ගදස්ගේ නෑයෝ වන උලමෝ බලන්න එහෙම ගියා.. එතනින් තව මොක්කු මොක්කුද බැලුවා වගේ මතකයි.. ඒ වුනාට ඉතිං වැඩි මතකයක් නෑ.. මොකෝ ඉතිං සිහියකින් බැලුව එකක් යෑ.. මාස 11 ක ඇරියස් අල්ලන්නත් එකක් හෝ ගාලා හිනාවෙනවට වඩා දෙයක් උනේ නෑ.. අපරාදේ කියන්න බෑ ඊයේ සත්තු බලන්න ආව මිනිස්සු හදුනා නොගත් සත්ව විශේෂත් බලලා යන්න ඇත්තේ අපිව දැකලා..
කොහොම හරි ඉතිං අඩි 10න් 10ට නතර වෙවී ඇවිදලා ඇවිදලා උදේට හා දවල්ට එකපාරම කන්න සෙට් වුනා.. පාන් සමග සීනිසම්බල්.. ශා.. කාම් හදාගෙන ඇවිත් තිබ්බා මසුරන් වටින් සීනි සම්බලයක්.. තාමත් කටට කෙළ උනනවා ඒක මතක් වෙද්දි.. පිරිමි තුන් දෙනාටම පාන් ගෙඩියයි ඉතිරි සේරම අපි විසින් අනුභව කලා.. බොන්න පුළුවන් අඹ..රෝල්ස් එක්ක කෑවේ ‍මුවෝ කූඩුව ලග තියන පීඨිකාවේ ඉදගෙන...අපරාදේ කියන්න බෑ බැන්දා උනාට ‍අපේ එවුන්ගේ මොන්ටිසෝරි ගති තාම මග ඇරිලා නෑ.. ඒවා එහෙමමයි.. විලිලැජ්ජාවේ සංතෝසේ බෑ පාන් කෑලි වලට රණ්ඩු වෙනවා අහල පහළ මිනිස්සු බලන් ඉන්නවා දකිද්දි.. :(








එයින් පස්සේ කුරුළු උයනටයි සර්පමන්දිරේටයි ගිහින් සර්පමන්දිරේ උපරිම ආතල් එකක් ගත්තා.. ගදස් වයි හෙලා වයි බය කරලා.. ඒකට යන්න කලින් ගල් ඉබ්බෙක්ව බලන්න කිඹුලෝ ඉන්න කූඩුවකට එබෙන්න ගිහින් සංවිධායකතුමිය කරාබුවක් වට්ට ගත්තා.. ඔන්න ඔයාලා යන දවසක කිඹුලියක් කරාබුවක් දාගෙන හිටියොත් ඒ අපේ එකීගේ හොදේ..

ඒකෙන් පස්සේ අලි නවාතැන ලගට වෙලා අයිස්ක්‍රීම් කෑවා.. එතන දාලා යන්න නම් මට හිතුනෙම නෑ.. ඒත් ඊට පස්සේ ගියා වදුරෝ බලන්න.. එයින් පස්සේ ඉතිං කට්ටියට හොදටම හති ඇවිදලා.. (ඔන්න මට නම් නෑ) ජිරාෆ්ලා ඉන්න දිහාවේ තියනවා ලස්සන බංකු දෙකක් ලී කොට වලින් හදපු ආන්න එතන වාඩි වෙලා ඉතිරි මුලු වෙලාවම එක එකාව මඩව මඩවා හිටියා..නොනලාගේ හපන්කම් මහත්තැන්ලා දැනගන්න ඕන නිසා හැමදාම වගේ ගදස් ඇන්ඩ් හෙලා තමා වැඩියෙන්ම බයිට් උනේ... එතනදිම කේක් කාලා ෆැන්ටා ක්‍රීම් සෝඩා බීලා.. තව එළිෆන්ට්හවුස් එකේ ජරාම ජරා චොක්ලට් අයිස්ක්‍රීම් එකක් කාලා(වැනිලා තිබ්බේ නෑ :(( ) ටික්ටැක් කාලා.. ‍උගුර බැරැන්ඩි වෙනකං හිනාවෙලා 4 රට විතර කට්ටිය එන්න පිටත් උනා.. ඒ එන ගමන් ඉතිරි වෙලා තිබ්බ තව සිංහ වළස් ව්‍යාඝ්‍ර කූඩු ටිකත් බලාගෙන ආවා.. එළියට ආවම මහත්තැන්ලා ගානේ අඹ හා වෙරළු අච්චාරු ලැබුනා.. :) එතනින් දෙහිවලට දෙහිවලින් ගෙවල් බලා කට්ටිය සතුටින් විසිර ගියා... අනේ මගේ ආදර යාළුවෝ ටික අපි ආයේ කවදද බං සෙට් වෙන්නේ????

පසුව ලියමි.
කූඩුවල සිටින සත්තු බලා ආතල් ගැනීමට ලංකාවේ සත්තු වත්තට නොයන්න. උන් දකින විට ඇතිවන්නේ අනුකම්පාවක් මිස සතුටක් නොවේ..
දෙහිවල සත්තු වත්තේ 80%ක්වත් සත්තු හොදටම මහළුය..
සත්තු වත්තට යන විට කිසිම ආකාරයක පොලිතින් මළු හෝ කෑම ඔතන ලද පොලිතින් ඉටිකොළ ගෙන නොයන්න.. ගේට්ටුව ළගදී ඒවා සියල්ල පත්තර කොළවල එතීමට ඔවුන්ට සිදුවන බැවින් ඔබගේ සහයෝගය කාර්ය මණ්ඩලයට ලබාදෙන්න..
කූඩු වල සිටින සතුන්ට කෑම නොදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටිද්දිත් ඔබ සතුන්ට කෑම දෙන්නට ගොස් ‍ඔබගේ සත්ව ගතිය නොපෙන්වන්න.(අධික පැණි රස හා තෙල් හා ලුණු සතුන්ට අහිතකර විය හැක)
සමහර කූඩු අසලින් දැනන අධිසුවද ගැන සැලකිලිමත් වන්න..

Saturday, January 16, 2010

මං කළු උනා

මං ආසම පාට මොකක්ද ඇහුවොත් මට එක උත්තරයක් නෑ.. කොහොමත් ගොඩක් දේවල් ගැන තනි වචනෙන් පිළිතුරු දීලා මට පුරුද්දක් නැහැනේ.. ඉතිං පාට ගැනත් එහෙම තමයි.. මං ආස පාට පේළියට තිබ්බොත් නිල්..කළු.. රතු..දම්.. රෝස.. ඔයවිදියට මං පාට පෙට්ටියම කියන් යයි.. ඒ කියන්නේ ඉතිං වෙලාවෙන් වෙලාවට මූඩ් එකෙන් මූඩ් එකට හරියට කටුස්සා වගේ පාට සම්බන්ධයෙන් නම් මං වෙනස් වෙනවා.. ඉතිං මේ ටිකේ මං කළු වලට වැඩියෙන් ආස‍වෙලා.. අදින ඇදුම් 90%ක් කළුයි.. ඔව් ඔව් මාත් කළුයි තමයි.. කාක පැටියා වගේ කළුම ඇදන් යද්දි අමුතුම ගතියක් තියනවා අප්පා..
අනික මේ දවස් පාට ගැන වැඩිය කථා කරන්න හොද නෑ.. කෙහෙල්පුෂ්පික ඡන්දයක් හින්දා අයියෝ කණක් ඇහිලා ඉන්න නෑ.. කොතන ගියත් කවුද දිනන්නේ?? මොනා වෙයිද? කාටද බර.. අනම් මනං බර බර ගොඩයි.. අරයා මෙයාට චැලෙන්ජ් කරනවා.. මෙයා අරපැත්තට යනවා එයා මෙහෙට එනවා.. මෙහෙන් එහෙට ගිහින් ආයි මෙහෙට එනවා.. වැ‍ඩ කෝටියයි.. ප්‍රවෘත්ති බලනවා කියන්නේ නිකං විනෝද සාගරේ බලනවා වගේ තමා.. කට්ටියක් කවි කියනවා.. තව අය සිංදු කියනවා.. සමහරු බෙරිහන් දෙනවා.. සමහරු බණ වදාරනවා.. තව අය බැන අඩගහනවා.. ගිවිසුම් කිවිසුම් වංචා දූෂණ එක මළ විවාහයයි!!!! ඉතිං මං වගේ අහිංසක නිර්පාකෂික කාක්කෝ හරි අසරණයි.. ඇයි අම්මා අප්පා එකක් වත් දේශපාලනේ නොගෑවි කථා කරන්න හරි අමාරු කාලයක් මේක..!!!!!! (විහිළු නෙවෙයි ඇත්තමයි කියන්නේ..!) කොටින්ම පෙම් කරන්න ගියත් එතනටත් කොහෙන් හරි ‍රජෙක් හරි හමුදාකාරයෙක් හරි කඩාපනිනවා.. :( ෆෙස්බුක් එක පාර්ලිමේන්තුවට ව‍ඩා උණුසුම්ද කොහෙද..!! තව තව ලං ලං වෙද්දි මොන මොනා‍ වෙයිද මන්දා..
ඉතිං කොහොම උනත් දැන් සීසන්ස් ග්‍රීටින්ස් කියන වකවානුවත් අහවර එකේ අයේ ‍බ්ලොග් එකේ ඔළුව මාරු කරා.. මේ පාර හැදුවේ අපේ වෙන්ට මහත්තැන්..එතුමට අනූව මේ දවස් වල කලු වෙන එක හොදයි.. එතකොට කිසිම පක්ෂෙකට මල්ල අරන්වත් ගෝනි අරන් වත් අඩුම ගානේ රුපියලේ ශොපින් බෑග් එකක් අරන්වත් කඩේ ගියා වෙන්නේ නැහැනේ.. හික් හික්..
කොහොම උනත් මේ දවස් වල කට්ටිය ටිකක් පරිසමින් හිටියොත් හොදා(ලංකාවේ අය) මොකෝ වෙන්ට හිතන් ඉන්න රා‍ජ හා වෙලා ඉන්න රාජ යන දෙගොල්ලන්ගේ හෙන්චයියෝ මේ දවස් වල එලෝ මෙලෝ නැතුව වැඩ හින්දා මොන මොනා කරාවිද කියලා ෂුවර් නෑ.. තම පරිස්සම තමන්ම හදාගන්න එක හොදානේ..
එහෙනම් දැනට මං ගියා.. ආ.. හෙටින් පස්සේ මං නාවොත් මං සත්තුවත්තේ ඇති හොදේ.. මොකෝ යන්නයි බලාපොරොත්තුව.. නතරවෙන්න කිව්වොත් මං ඉන්නවා.. (කෑම බීම උදුම් හිටුම් සේරම නොමිලේ නේ අප්පා.. කොහොමද බෑ කියන්නේ..)

Friday, January 15, 2010

I am alive

yeah I am :)

Just wanted to let you chaps know. just being incredibly buzy...that's all

Thanks for Malee and Buru for checking up on me... didn't know I was that important ;) .. Kudo's for both of you.

Anyways, let me leave you all with three of the 80's Disco music from the film "Scarface" and "Carlito's way" and something else from Barry White

http://www.youtube.com/watch?v=FfBwsG8ubFw - Rock the boat.

http://www.youtube.com/watch?v=bmzWzfd2WN0 - Heaven must be missing an angel.

http://www.youtube.com/watch?v=x0I6mhZ5wMw - Can't get enough of your love

I know it's not many of yours taste.. but this is the music from an era of Drugs, sex, disco, bell bottoms, fancy foot works and flashy attire.

Hope you will enjoy... and do check out the lyrics...

Sunday, January 10, 2010

හැපි බර්ත් මන්ත් බබාලා එන්න...

හික්.. හිකිස්.. ඉහික්.. කික් කික්. හීහීහීහී...හා.. කෝලං ඇති.. දැන් ඉතිං අද වෙද්දි 2010 ලබලා දවස් 10කුත් ගෙවිලා ඉවරයිනේ.. :0 අපේ අප්පෝ.. කාලේ යන ඉක්මන.. අනේ මන්දා උදේ නැගිටිලා බලද්දි හවස් වෙලා ඉවරයි.. මොනා වෙනවද මන්දා.. ඒ වුනාට ඉතිං දවසකට තියෙන්නේ සාමාන්‍ය පැය 24 මනේ? ඒක ‍පැය 4 වෙලා දැනෙන්නේ ඇයි කියලා කාට හරි කියතැහැකිද? බෑ මං හිතන්නේ ඒක මගේ ලෙඩක්..
හරි දැන් අපි බලමු මේ මාසේ ගැන.. මේ ඇවිල්ලා දුරුතු එහෙමත් නැත්තං ජනේරුව.. ජනවාරිය.. ‍ම්ම්ම් මොනවද මේ මාසේ තියන විශේෂතා..??? ඡන්දේ..!!! ඊයා... ඔය කෙහෙල් මල ගැන කතා කරලා වැඩක් නෑ.. ඒ නිසා ඒ ගැන අමතක කරමු.. තව... ම්ම්ම්... ඉහික්!! තව තියනවා...... බඩ්ඩක්!!! මොකක්ද???

ජනවාරි කියන්නේ මාර සිරා මාසයක්නේ.. හෙන සිරා.. අති විශිෂ්ඨ.. හොද පොරවල් සහ පොරිවල් තමා උපදින්නේ.. දැන් බලමු කවුද මේ මාසේ ඉපදුන කස්ටිය කියලා..මේනකා.. අපේ මල්ලි..අපේ අයියා..උගේ ගෑණී උන් දෙන්නාගේ ළමයා (ඒ ඇවිල්ලා මෙලෝ වැඩක් නැති සෙට් එක) ඊට පස්සේ ඉන්නවා.. ලොකූ..නොදරුවා..රවා..බ්ලැක්රෝසස් නොහොත් අංජා.. ‍රොකියා..සාමා.. මගේ තාත්තා..සහ ඒ තාත්තාගේ දුව.. ඔය මදැයි.. තව ඉන්නවා නම් අත උස්සන්න හොදේ.. එතකොට මං මෙතනට දාන්නම්.. ආ අමතක උනා අත උස්සන්න නෙවෙයි.. මෙතන කමෙන්ට් එකක් දාන්න.. (නැත්තං අත පාත්වෙනකම්ම මෙයාලා උස්සන් ඉදීයි මට බැන බැන..) ඉතිං ඔය සේරටම මෙන්න මම එකපාරම විශ් යූ හැපි බර්ත් ඩේ කියනවා.. මොකද මගේ පීටර් ට වයිරස් ආසාදනයක්.. මාසේ අග වෙනකම් මොලේ හොදන්න වෙන්නේ නැහැ.. ඒ නිසා කොයි වෙලේ නවතින්න වෙයිද දන්නේ නෑ මට.. :(

ඉතිං මෙන්න මේ මාසේ උපන්දිනේ සමරන හැමෝටම මං ගානේ කේක් ගෙඩියක්.. අපි කට්ටිය ස‍හයෝගෙන් කපං කමු.. :D


ඔව් ඔව් මට පේනවා ඕක හදලා තියෙන්නේ අවුරුදු 6 පොඩි එකෙක් ට.. වෙන කාටවත් නෙවෙයි මගේ පොඩිම යාළුවා සුදු ගේ උපන්දිනේ ඊයේ.. එයා වෙනුවෙන් මමයි කේක් එක හැදුවේ හා ඉතිරි සියල්ල කලේ.. ‍දැන් නම් ඔය කේක් එකේ කුඩුත් නෑතිලු.. වැදගත්ම දේ ‍තමයි මෙච්චර කල් මම කේක් හැදුවට අයිසිං කලේ නෑ.. මොකද වැඩි සීනි ‍‍අපේ ගෙදර සෞඛ්‍යට හොද නැති හින්දා.. ඒ වුනාට මාව සකල කලා න්‍යෛපුන්‍ය(හරියට අකුරු ලියන්න දන්නේ නැහැ :( කතන්දර මාමා හිටියා නම් අහගන්න තිබ්බා) ස්ත්‍රී රත්නයක් කිරීමේ අපේ අම්මාගේ මෙහෙයුමේ ‍මීළග නැවතුම උනේ modern cake decorating class එකක්.. ඒකේ කියා දීපු වැඩ දාන්න බැහැ ඉතිං අනුන්ගේ කේක් වලට.. ඒ නිසා සාම්ප්‍රධයික කේක් ගෙඩියක් හදා දුන්නා සූදූටත්.. මම තනියම අයිසිං කරාපු මුල්ම කේක් එක තමා මේ.. ඒකයි ජොලියටත් එක්ක හැම දේම දාන බ්ලොග් එකෙත් දැම්මේ... එහෙනම් ආයෙමත් හැමෝටම සුභ උපන් දිනයක්.. (හරි හරි අවුරුද්ද පුරාම උපන්දින තියන අයට තමා)...ආ.. අමතක වෙන්න කලින් හා හා පුරා කියලා ඊයේ මේ ලොකේට ආව පුංචි පැං‍චාටත් මේ කේක් ගෙඩියේ වැඩි කොටසක් අයිතියි හොදේ.. එයාටත් අපි සුභ අනාගතයක් පතමු (ජන්දෙට නෙවෙයි මුළු ජිවිතේටම).. ඒ එක්කම මේ දැන් දැක්කා එයාට නමක් හොයනවලු දැන්.. ඉතිං ඔය ආච්චිලා සීයලා පොඩි බබාට නම් ටිකක් යොජනා කරන්නකො එහෙනම්.. මං නංගි බබා යනවා දැන්.. ජයවේවා..! :-)
ප/ලි -
නවතම තතු අනූව.. ඉහත කේක් ගෙඩිය කැපීම සදහා අප සමග එකතුවන තවත් පිරිසක් සිටිනවා.. ඒ තමයි ජනවාරි 2 උපන්දිනය සැමරූ සුසිත.. ජනවාරි 25 උපන්දිනය සැමරන ධම්ස්.. හා බියුටිෆුල් ශ්‍රීලංකා ලියන අයියණ්ඩි‍යගේ ආදරණීය දූ සිඟිත්ත.. ජනවාරි 19 වන දින උපන්දිනය සමරන්න නියමිත රොකියානොහොත් උදාර අපි මේ අයටත් ‍සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු.! :-)
ප/ප/ලි - ‍අපේ මේ කෙක් ගෙඩිය බෙදාගන්න තවත් පුංචි දූ සිගිත්තක් එකතු වෙනවා.. ඒ අපේ එළකිරි ගෙදර ජයන්තඑච් අයියණ්ඩියගේ දූ පැටික්කි.. එයා ජනවාරි1 වෙනිදම එයාගේ 10 වෙනි උපන්දිනය සමරලා.. ඉතිං එයාටත් සුභ උපන්දිනයක් හා සුභ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරමු.. :-)

Saturday, January 2, 2010

2010 - 1st


ඉතිං එහෙනම් ඔන්න හැමෝටම ආයුබෝවේවා!! කියලා 2010 යේ මුල්ම ලිපිය ලියන්නයි යන්නේ... :) ටී‍වී එකේ කිව්ව විදියට නම් 2010 කියන්නේ නිකම්ම නිකං අවුරුද්දක් විතරක්ම නෙවෙයි අළුත් දශකයක ආරම්භයක්..! ඉතිං කොහොම හරි 2010ත් ලබලා දැන් දවසක් ගෙවිලා ගිහිල්ලත් ඉවරයි.. අමතක උනානේ.. ඔන්න මට 2010 ‍වෙනුවෙන් සුභ පතපු හැමදෙනාටම ආයේමත් බොහෝම ස්තූතීයි කියන ගමන් හැමදෙනාටමත් සුභ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. විශේෂයෙන්ම මට මුලින්ම සුභ පතපු බුරු බබී හෙවත් රංගි අක්කට.. :)

ඉතිං දැන් 2010 වෙනුවෙන් ප්ලෑන් හදලා ඉවරද ඔයාලා? ම්ම්ම්.. මම නම් තාම නෑ.. ඒ වුනාට ගිය අවුරුද්දේ වගේ උඩ බලන් නොයිද ටිකක් සීරියස් විදියට ජිවිතේට මුණ දෙන්නයි කල්පනා කලේ.. මොකද දැන් නම් ටික ටික දැනෙනවා ජිවිතේ ඉස්සරහට මිසක් ආපස්සට යන්නේ නැති බව.. ඉතිං හැමදාම බබා පාට් එක දාගෙන හිටියට ජිවිතේ කියන්නේ ඊට වඩා බරපතලට හිතට ගන්න ඕන දෙයක් කියලා දැන් දැනෙනවා.. ඒ නිසා සීරියස්ලි හිතලා සිම්ප්ලි ජිවත් වෙන්නයි හැමදාමත් වගේ මම කල්පනා කරන්නේ..

ඉතිං ඊයේ අපේ මල්ලි ආපහු ගියානේ.. ඉතිං එයාව කොළඹට ගිහිං බස්සලා.. ගෙදර ඇවිත් 31 නිදිමරපුවටත් එක්ක හොදට නිදාගත්තා.. එයින් පස්සේ ගමේ පන්සලේ පහන් පිංකමට ගියා.. එතනින් පිරිත් ගෙදරකට ගියා.. අද දවල් දානේ ගෙදරට ගියා.. ඉතිං මේ අවුරුද්ද පටන් ගැනුනේ ටිකක් ආගම පැත්තට බරවෙලා.. ඒ නිසා හිත පොඩ්ඩක් සැහැල්ලුයි ව‍ගේ.. ඒ වුනාට දැනට නොතේරෙන දේ තමයි කොතනින්න ද හරියටම පටන් ‍ගන්නේ කියන එක.. මං හිතුවා ඔළුවෙන්ම පටන් ගත්තොත් හොදයි කියලා.. :ඩී ඒ නිසා සේරටම කලින් ගිහිං අද කොණ්ඩේ කපා ගත්තා.. අපේ ගමේ පිරිමි ළමයෙක් අළුතෙන් පොඩි සැලූන් එකක් දාලා තාත්තා තමා කිව්වේ.. ඉතිං අළුතෙන් පටන් ගත්ත වැඩේට පොඩ්ඩක් හරි සපෝට් එකක් වෙන්නයි එතනට ගියේ.. හැබැයි ඉතිං පිරිමින්ට කියලා කොණ්ඩේ කපා ගන්නකොට මූණ දෙන්න වෙන ‍දේට මූණ දෙන්න උනා.. මොකවත් නෙවෙයි මුන් කොණ්ඩේ කොට කරන්නේ නිකං අතිං පයින් යනවා වගේනේ.. මීට කලින් අපේ අයියාගේ යාළුවෙක්ගේ සැලූන් එකකත් එහෙමයි.. මේකෙත් එහෙමයි.. අඟලක් කොට කරන්න කිව්වම සෙන්ටිමීටර් භාගයයි කොට කරන්නේ.. මොනා කරන්නද? කොහොමත් පිරිමින්ට ‍ගෑණු අයගේ කොණ්ඩ ගැන තියෙන්නේ පුදුම ආසාවක්නේ.. ඉතිං මං කපපු තරම ඇති කියලා තෑන්ක් කරලා ගෙදර ආවා.. (නැතුව ඉතිං එතන නතර වෙන්නයෑ..) ඔන්න ඉතිං පළවෙනි බ්ලොග් පෝස්ට් එකේම පිරෙව්වා ඕප දූප ගොඩක්..

අනේ මන්දා පහුගිය ටිකේම ලිපි කියෙව්වම හිතෙන්නේ පලක් ඇති දෙයක් ලියලා නෑ වගෙයි.. ඒ නිසා අඩුවෙන් උනත් ටිකක් හරි ලියන්න වටින දෙයක් ලියනවා කියලයි හිතුවේ.. කොහොම උනත් අපේ ‍ඉස්කෝලේ ඉතිරි ටික ලියලා ඉවර කරන්නයි හිතන් ඉන්නේ.. දැන් මාස ගාණකින් ලිව්වේ නැහැනේ.. ප්‍රියංකර මල්ලි කොයිවෙලාවේ හරි මාත් එක්ක තරහා වෙනවා ඒක නොලිව්ව එක ගැන.. ඒ නිසා හැකි ඉක්මනින් ලියලා ඉවර කරනවා ඒක.. තව පාඨක ඉල්ලීමකුත් තියනවා (මේ පිස්සු බ්ලොග් එකටත් එහෙම ඉල්ලීම් එන එක ගැනත් පුදුමයිනේ ? )ඒකත් වෙලාවක ලියලා දාන්නයි ඉන්නේ..

ඒ හැරුනම මේ වෙලාවේ ලියන්න විශේෂ දෙයක් නෑ.. කාමරේත් හොදටම හැඩි වෙලා.. දවස් ගානකින් අස්පස් කරන්න බැරි උනා.. හැමතැනම පොතුයි කොළ කෑලියි.. අම්මා ඔළුව පෙව්ව වෙලාවක මගේ ඔළුව පලනවා.. ඒ නිසා දැන් යනවා ඒ ටික පිළිවලක් කරන්න.. හැමදෙනාට ජයම වේවා..!!!