Saturday, March 17, 2012

කොටම කොට පෝස්ට් එකක්..

මම
ඔබ
ඇය
ඔහු
එයා
මෙයා
මෙයාලා
එයාලා
වෙනුවෙන්ම විතරයි..

අ න් ති මේ දී......

මට
මම
විතරමයි....!


වාව්....
නියමයි...
මම
මනුස්සයෙක්
නෙවෙයි නේ!

Wednesday, February 1, 2012

අපි හැප්පුනත් හැප්පෙන්නේ පොශ් විදියට :P


එදා ඉතිං අමුතු දවසක් නෙවෙයි. ජනවාරි 30 වෙනිදා හවස. ඊට කලින් දවසක තාත්තා වෙනුවෙන් අපි ගෙනාපු ටී ෂර්ට් එකක සයිස් මදි නිසා ඒක මාරු කරගන්නයි. එදා හවස බදුලු යන්න හිටි අපේ බබාව පානදුරෙන්ම බස් එකේ නග්ගන්න හිතාගෙනයි තමයි අපි ගෙදරින් එළියට ආවේ..
කිසිම වෙනසක් නැතිව සුපුරුදු විදියට මම හැමදාම වාඩිවෙන පැත්තේ වාඩි වෙලා ඉන්නකොට වෙන කෙනෙක් ඇවිත් මාව තල්ලු කරලා එතන වාඩි උනා. අම්මයි මායි යන හැම වතාවකදිම අපේ ත්‍රීවිල් එකේ මම වාඩි වෙන්නේ දකුණු පැත්තේ. ඒහෙම නැත්තං පාර පැත්තේ. එත් ඉතිං කොයි පැත්තත් එකයිනේ කියලා මමත් සද්ද නැතිව හිටියා.. අපි ගමන පිටත් උනා.. ඔය විදියට අපි සාමාන්‍ය වේගෙකින් පානදුර පැත්තට ගියා.. මාත් ඉතිං සුපුරුදු පරිදි කල්පනා ලොව මල් වනේට ගියා..
එක පාරටම තල්පිටිය බ්ලු වොටර් එකට හැරෙන පාර පැත්තට තාත්තා වාහනේ හරවද්දි තමයි මම ආයේ මේලෝකෙට ආවේ. මම බැලුවේ අපේ තාත්තට ඒක පාරට මොන යකා වැහිලද මේ අතුරු පාරවල් වලට දාන්න යන්නේ කියලා.. ඉස්සරහා බලද්දි මෙන්න කාර් එකකුත් ඒ පාරටම හරවනවා..
....... මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්නත් කලින් මට තේරුනා අපේ ත්‍රීවිල් එක ඇලවුනා.. මාව අපේ බබාගේ පැත්තට ලිස්සලා ගියා.. මොහොතකට මම පෙනුනේ තාර පාරයි.. අනිත් පැත්තෙන් ඉහල අහසයි විතරයි.. මට හිතුනේ කොහොමද මං මේකෙන් එළියට එන්නේ කියලයි විතරයි. ඒ මොහොතකින්ම ත්‍රීවිල් එක ආයේ ඉබේම නියමිත පැත්තට කෙලින් උනා. ඒක තමයි ඇක්සිඩන්ට් එක!
සිද්ද වෙලා තියෙන්නේ කොළ‍ඹ පැත්තෙන් ආව කාර් එකක් එක පාරටම සිග්නල් මොකුත් නොදා බ්ලු වෝටර් එක පැත්තට හරවලා.. කෙලින් පාරේ කොළඹ පැත්තට යමින් හිටි අපේ තාත්තා ඒක දැක්ක නිසා එයා යන ස්පීඩ් එකටම වම් පැත්තේ තිබ්බ පාරට වාහනේ හරවලා හැප්පෙන එක නවත්තන්න. ඒත් කාර් එක බ්රේක් නොකර දිගටම ඉස්සරහට ඇවිත්.. ඉතිං වැඩේ හරිනේ.
මොකක් හරි හේතුවක් හින්දා වාහන වල හිටි පස් දෙනාටම කිසිම අතුරු ආන්තරාවක් නෑ.. අපේ ත්‍රීවිල් පැංචිට නම් තරමක තුවලා සිද්ද උනා.. වින්ඩ් ස්ක්‍රීන් එක ගැලවිලා ඒක සවි වෙලා තියන ෆ්‍රේම් එක ඇඳ වෙලා..පේන්ට් එකත් හිරීලා.. දරුවෙක් වගේ අපේ තාත්තා ආදරෙන් බලා ගන්න වාහනේ තුවාල වෙලා තියන විදිය දැක්කම අපේ තාත්තට හරි දුකයි.. ඒ වගේම ඇති ඉතිං අනිත් වාහනේ ඩ්‍රයිවර් මහත්තයටත්. ඒක නිකංම නිකං කාර් කට්ටකුත් නෙවෙයි නේ.. මයි ඩ්‍රීම් වෙහිකල් එකක් වෙන හයිබ්‍රිඩ් වර්ගයේ වාහනයක්.. අපි රුපියල් දාහකින් කරගන්න වැඩේ ඒ වාහනේ වෙනුවෙන් ලක්ෂයක් වත් එපැයි.. ඒ කාර් පැංචා ගෙත් ඉස්සරහා බොනට් එක හිරීලා අපේ ත්‍රී විල් පැංචි හේත්තු වෙච්චි නිසා වෙන්ට ඇති.. හෙඩ් ලයිට් එකත් ඩැමේජ්. ඉස්සරහා රෝදේ උඩින් බොඩි එකත් ඇතුලට ගිහින් පව් වැඩේ.. හිතේ දුකේ බෑ..!
කොහොම හරි ඉතිං මං වැඩේ ගැන හොයලා බැලුවා ටක් ගාලා.. වැරැද්ද අපේ නම් අපි බාර ගන්න එපැයි.. ඒත් එහෙම නැහැලු. කාර් එක හරවන්න කලින් සිග්නල් දාලා නෑ. අඩුම ගානේ පලවෙනියට ටච් වෙච්ච ගමන් බ්රේක් කරලාවත් නෑ.. කොහොම වෙතත් ප්‍රධාන පාරක කෙලින් යන වාහනේට යන්න දීලා ඉන්න ඕනලු තමන් හරවන්න කලින්. මම ඉතිං මෙතන ලු ප්‍රත්‍යය දාන්නේ මම වාහන පදවන නීති ගැන දන්නේ නැති හින්දයි. ඉතිං කොහොම හරි වැඩේ ගොඩින් සමතයකට පත් කර ගන්නයි කාර් මහත්තයයි අපේ තාත්තායි කතා කර ගත්තේ. සේරම හරි කියමු මේ මහත්තයා කියනවා අපේ වාහනේ හදා දෙන්න එයාව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට එන්නලු. ඒක යකාගේ කතාවක් නේ යකෝ අපේ වාහනේ එයාගේ වරදින් හප්පලා.. ඒක හදා ගන්න එයාව හොයාගෙන කොළඹ පලයල්ල.. ඇයි එයාගේ දෙපා මුලට යන්න අපි මොක්කුද? ඒ කතාව හරි යන්නේ නෑ කියලා මම කෙලින්ම ඩැඩාට ප්‍රකාශ කලා.. ඉතිං කාර් මහත්තයා කිව්වා අදාල මුදල එහෙම නම් බැංකුවට දාන්නම් කියලා.. බලමු දාවිද කියලා.. නැතත් කමක් නෑ.. දැම්මොත් ආවා කියනවා.. නැත්තං එතුමට අමතලා විශ්වාසය හා මනුස්ස කම ගැන මගේ අතින් වියදම් කරං මං දේශණයක් දෙනවා.
ඔන්න ඉතිං ඔහොමයි මම මුහුණ දුන්න පළවෙනි වාහන ඇක්සිඩන්ට් එක සිද්ද උනේ.. ලේසි නෑ.. ඉදලා ඉදලා මාව හැප්පුවේ මගේ ඩ්‍රීම් වෙහිකල් එකනේ.. හික් හික්! ඒ විතරක් යෑ එදා බදුලු යන්න හිටි අපේ එක්කෙනත් තව වැඩි පුර දවසක් ඉදලා පහු වෙනිදානේ ගියේ.. ඒ විරක් මත් නෙවෙයි බෝනස් එක ඇවිල්ලා අර මහත්තයා සල්ලි දැම්මොත් දාන්නේ මගේ එකවුන්ට් එකට.. හික් හික්.. වියදම තාත්තාගෙන්...

දැන් මෙහෙම සැහැල්ලුවෙන් මේ පෝස්ට් එක ලියන්නේ ඒ වෙලාවේ උනු දෙයින් වාහන වලට විතරක් ඩැමේජ් උන නිසයි. ඊට වඩා ලොකු දෙයක් වෙලා කාගේ හරි සිරුරකට ඩැමේජ් එකක් උනා නම්? කොයි මහත්තයත් නෝනත් රිය පදවන වෙලාවට මොන බ්‍රිඩ් එක එකක වාහනයක් ඩ්‍රයිව් කලත් තමන්ගේ සැලකිල්ල හා ඩ්‍රයිවින් ස්කිල්ස් හයි තියා ගන්න ඕන වෙන්නේ අන්න ඒ නිසයි.

Thursday, January 26, 2012

ජීවිතේ... අවුරුදු 25ක්


අද 2012 ජනවාරි 26 වෙනිදා.. මීට අවුරුදු විසිපහකට ඒ කියන්නේ 1987 අවුරුද්දේ අද වගේ දවසක තමයි මම ඉපදිලා තියෙන්නේ.. මම ඉපදෙනකොට මගේ අම්මට අවුරුදු 25යි තාත්තට අවුරුදු 30 යි. මම ඉපදෙන්න අවුරුදු 4කට කලින් රස්සාවට ගියපු තාත්තා එයාට අවුරුදු 55ක් වෙච්ච ඊයේ දවසේ අවුරුදු 29ක් තිස්සේ කරපු රස්සාවෙන් විශ්‍රාම ගියා. සේරමට කලින් මගේ තාත්තාට සුභ උපන් දිනයක් හා දීර්ඝායුෂ.

මීට කලින් අවුරුදු වල උපන්දිනයක් කියන එක හරි ජොලි වගේම තව තව පොඩි වෙනවා වගේ හැඟීමක් උනත් තව දුරටත් ජිවිතේ ඇතුලේ ඒ විදියට හිතන්න බෑ වගේ... කොහොමටත් මගේ උපරිම ආයු අපේක්ෂාව අවුරුදු 50 යි. එතනින් එහාට ජිවත් වෙයිද නැත්තං ඊට කලින් මැරිලා යයිද කියන්න බැරි උනත් මගේ උපරිම උත්සහය අවුරුදු 50ක් අතුලත විඳින්න විඳවන්න තියන හැමදේම විඳලා විඳවලා අවසන් කරලා දාන්න. 50න් පස්සේ වෙන්නේ මොකද කියලා ඒ කාලෙට බලමුකෝ.. දැනට නම් ඒ ප්‍රමානේ හොඳටම ඇති වගේ. ඒ විදියට සලකලා බැලුවම අද වෙනකොට මම මගේ ජිවිතේ හරියටම අඩක් ගෙවා දාලා අවසානයි. මේ අවුරුදු 25 ඇතුලේ...

පළවෙනි අවුරුද්දේ ඉදන් අවුරුදු 3 විතර වෙනකං අම්මා අස්සට වෙලා හිටියා මිසක් වෙන මොකවත් නම් ඉතිං මං කලේ නැතුව ඇතිනේ... මොන්ටිසෝරි ගියේ අවුරුදු 3දි. ඒ සර්වෝදය මොන්ටිසෝරියට. ඊළග අවුරුද්දේ අල්ලපු ගමේ එකට ගියා. අවුරුදු 5දි ස්කෝලේ යන්න පටන් ගත්තා.. ඒ ගමන නැවතුනේ අවුරුදු 13ක් ම ඒකට කැප කරලා. ඒ අවුරුදු 13න් 11ක් අවංකවම ඉගනීමට විතරයි කැප කලේ.. අන්තිම අවුරුදු දෙක වෙන පාසලක වෙන යාළුවෝ සෙට් එකක් එක්ක වෙනම විඳියටයි ගෙවුනේ.. වැඩියෙන්ම ගැම්ම දාන්න ඕනි ඒ කාලේ කියලා තේරුනත් නොතේරුනා වගේ නටන්න පුළුවන් උපරිම පිස්සු.. වල බැහිලි... ක්ලාස් කට් කෙරිලි සේරම කලේ ඒ කාලේ... අවුලක් නෑ... ඒක අමුතුම ආතල් එකක්.!

අවුරුදු 19 දි සෙට් වෙච්ච මුල්ම ජොබ් එකට ගියා.. ඒක අවුරුදු තුනහා මාරක් කලා.. පස්සේ වෙන එකක්... මේ වෙනකම්ම ඒක.. ඒ කියන්නේ මේ වෙද්දි අවුරුදු 6ක් වැඩ කරලත් තියනවා. නොට් බෑඩ්! අවුරුදු 19දි මුල්ම වතාවට පිට මිනිහෙක්ට ආදරේ කලා.. ඒක බකස්.. එතනින් එහාට ඒ ගැන හිතන්නේ නෑ කියලා හිතාගෙන හිටියට ඒක වෙනස් උනා.. එදා ඉදන් අද වෙනකං අවුරුදු 3කට වැඩි කාලයක් තවත් එක් මනුස්සයෙක් එක්ක ජිවිතේ බෙදා ගනිමින් ගෙවෙනවා.. මන් හිතන්නේ ඉතිරි අවුරුදු ටිකත් එයත් එක්කම ගෙවිලා යයි.. මොකද ඊට වඩා ‍එකඑක පැති වලින් හොඳ අය හිටියත් හැම අතින්ම ඒ වගේ හොඳ කෙනෙක් ආයේ හොයාගන්න නැති වෙයි. ඒ නිසා ඉතිරි අවුරුදු 25 ඒ මනුස්සයා එක්ක තනි පවුල් ජිවිතයක් ගොඩ නගනවා.. ඉන් බ්‍රීෆ් කියනවා නම් මේ අවුරුද්දේ කවදා හරි දවසක මම බඳිනවා. මේ අවුරුද්දේ වෙන්න තියන ලොකුම හැපනින් එක ඒක. ඊට පස්සේ පහුගිය අවුරුදු 25 ගෙවුවට වඩා වෙනස් විඳියට ගෙවන්නයි බලාපොරොත්තු වෙන්නේ. බලමු......!

මේ වෙද්දි මගේ ජිවිතේ මට අවශ්‍ය ගොඩක් දේවල් මට තියනවා.. උපන්දින තෑග්ගකට මොනාද ඕන ඇහුවම ඉල්ලන්න දෙයක් වත් නැති තරම් වෙලා... ඒ කියන්නෙ ඕනාවට වඩා ගොඩක් දේවල් මට තියනවා කියන එක නෙවෙයි.. ඒත් මට අවශ්‍ය ගොඩක් දේවල් මගේ අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මට ලැබිලා තියනවා. ඒක නිසා මම බොහොම සැහැල්ලු ජිවිතේකට හුරු කෙනෙක්. හැබැයි අවශ්‍ය උනොත් හිමාල කන්ද තරම් බරක් උනත් කරට ගන්න මම ලෑස්තියි. මට පුළුවන්... මම ඒක දන්නවා..

ඉතිං අදින් ඇරඹෙන් මගේ ජිවිතේ ඉතිරි අවුරුදු 25 සතුටින් ගෙවන්න අදට මට සුභ උපන්දිනයක්!


Saturday, December 31, 2011

2011 ගෙවෙන්න මොහොතකට පෙර




ගෙවෙන්න මොහොතකට කලින් හරි 2011 ගැන වචනයක් ලියන්න හිතුනා.. කියන්න දෙයක් නැති උනත් පතෝල වගේ හොදත් නැති නරකත් නැති අවුරුද්දක් ගෙවිලා යන එක ගැනත් අමුතුවෙන් ලියන්නත් දෙයක් නෑ.. බුරු කියන්නං සේ එෆ් බී එකේ හැපි නිව් යර් ඕල් කියලා ලියලා ශේප් වෙන්න පුළුවන් උනත්.. මෙච්චර ලොකු නෙට් එක අස්සේ මගේ කියලා තියන ඇබිත්තං ඉඩේ හරි මං කියලා කෙනෙක් 2011 න් 2012 වෙනකං ජිවත් උනා කියලා කවදා හරි කාට හරි හොයා ගන්නවත් මේක ලියන එක හොඳයිනේ?


මේ අවුරුද්දේ මුල කරපුවා දැන් දැන් මතක නෑ වගේ අප්පා... පාරවල් දිගේ දිගම දිග ගමන් යෑමවල් කිපයක්ම සෙට් වෙච්ච එක ඇරුනම මේ අවුරුද්දේ අමුතුවෙන්ම අමුතුවෙන් උන දේවල් නැති තරං.. ඒ වෙනුවෙන් ඇරියස් අල්ලන්යි හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ. ඒක බලමු ඒ අවුරුද්දේ මොකද වෙන්නේ කියලා...

ගත වුනු 364 දවසටම වඩා අද මට සතුටු හිතුනා.. ඒ තමයි මම ආසම සතා වෙච්චි අලියෙකුට කන්න දෙන්න පුළුවන් වෙච්ච එක. ඒක උනේ අළුත්ගම කන්දේ විහාරෙදි.. ගිය අය දන්නවා ඇතිනේ ඒකේ අලියෙක් ඉන්නවා කියලා.. නිකං නෙවෙයි හෙන ආඩම්බර අලියෙක්... පලතුරු එහෙම කන්නේ නැති පට්ට ආඩම්බර අලියෙක්.. වෙනදට මං දෙන දිවුල් ගෙඩියක් වත් ඌ කටේ තියන්නේ නෑ,. ඒ උනාට අද මං දුන්නු තල ගුලි පැකට් එකම මගේ අතෙන්ම අරගෙන එයා කෑවා... එයා දිග හොඩ සීතලට මගේ අතේ ගෑවුන විදිය තාමත් මට දැනෙනවා වගේ.

තල විතරක් නෙවෙයිනේ.. උක් දඩුත් කෑවනේ.. මීට පස්සෙ නම් දේවාලෙට පලතුරු වෙනුවට තල ගෝනියක් අරන් යන්නයි මං කල්පනා කලේ.. කොහොම උනත් අලියෙකුට කන්න දෙන්න ලැබුන එක කොයි තරම් ජොලි වැඩක් ද?

තව මොකද උනේ... වෙච්ච දේවල් මතක නැතත් අන්තිමට මේ අවුරුද්දේ අන්තිම බියර් විදුරවත් මගේ යාළුවෙක් එක්ක ඉවර කරලා මම මේ අවුරුද්දට බ්ලොග් ලිවිල්ලත් නවත්තනවා.. ආයේ හම්බ වෙමු 2012 නොහොත් ඩූම්ස් ඉයර් එකේදි....!

හැමෝටම ආදරෙන්..
මලී

Sunday, November 13, 2011

ඒ සුනේත්‍රා සහ බී සුනේත්‍රා


හප්පච්චියේ!!! මේකේ බැදිලා තියෙන මකුළු දැල් ගොඩ...! ඔහොම තමයිනේ ඉතිං පාවිච්චියක් නැති කොට. මං ඉතිං පස්ට බිසී හින්දා මේ පැත්තේ එන්නත් බැරි උනා. බිසී කිව්වට බිසීමත් නෑ මං හිතන්නේ. ඒ උනාට හිතට දැනෙන්නේ හරිම මහන්සි හැඟීම්.. අවුරුද්දෙත් අවසානෙට ටික ටික ලං වෙන හින්දද දන්නෙත් නෑ ඉතිං. සුපුරුදු පරිදි තව දවස් 45කින් විතර මේ 2011 ත් ගෙවිලා යයි. හෙන බයිලා හිතාගෙන ගේමක් දෙන්න අවුරුද්ද මුලදි පටන් ගත්තත් අන්තිම වෙද්දි ඉතිං කොච්චර කරත් එච්චරොම තමයි වගේ තමයිනේ ඉතිං දැනෙන්නේ! ඒකට මොකැයි කරන්නේ? කරන්න දෙයක් නෑ ඉතිං.. එහෙමයි කියලා මේ තරම් නෙගටිව් හිතන්න හොඳත් නෑ. අවුරුද්ද අවසානෙට එන හින්දා නිවාඩු එහෙම අඩු වෙමින් තියන නිසයි ඉතිරි නිවාඩු ගන්ත නිසයි හැමදාම වගේ වැඩට යන එන නිසා විවේකීව ඉන්න බැරි උනා. නිවාඩු තිබුනත් ඒ දවස් වලටත් වැඩ සීයක් විතර පෙළ ගැහෙන නිසා ගන්න නිවාඩු වලින් නම් තබේක වැඩක් නෑ. ඒ විතරක් යෑ... මගේ හැමදාම තිබ්බ කොම් පීටර් කොළුවා වෙනුවට මේ ටිකේ ලැපී නගෙක් සෙට් වෙලානේ. කී බෝඩ් එක හිතේ හැටියට කොටන්න ඉඩ මදි. හැම වෙලාවෙම ටයිප් කරන්නේ එකක් වදින්නේ එකක් නිසා සිංහල ලියවිල්ල නම් එපාම වෙලා හිටියේ. මේ ටික ලියන්නෙත් අත හුරු වෙන්නත් එක්ක. අනිත් වැදගත්ම කාරනේ තමයි නෙට් නැති උනත් කියවන්න ඇති තරම් පොත් ස්ටොක් එකක් තියෙනවානේ. ඉතිං එහෙම වෙලාවට බ්ලොග් නම් මොනාද????

ඉතිං පොත් කියෝගෙන කියෝගෙන යද්දි ආයෙමත් මාව සුනේත්‍රාගේ මායමට අහු උනා. අනේ මන්දා මං ඇන්ඳිලාද කියලත්.එහෙම නැත්නං මං ඕනාවට වඩා සුනේත්‍රාට හුනු ගානවද මන්දා.. ඒකට හරි උත්තරයක් නැතත් දැන් ටික දවසකට කලින් කියවපු කවි කඳුර ආයෙමත් මට මාරම සතුටක් ගෙනාවා. මම හරිම කැමතියි පොතේ ආරම්භයට හා මැද කොටසට.

ආරම්භය මට දුග්ගන්නාරාළගේ වගේ ඉක්මන් ගලායන විදියේ ලියවිල්ලක් තුලින් හදිසි කතාවක් කිව්වා. ඒ කතාවේ අතුරු කතාවක් විදියට “අකලංකාගේ“කොළඹ නුවර“ එහෙමත් නැත්නං පොතේ මැද කොටස මාව අමන්දානන්දයට පත් කලා.. හරියට “සියක් වසක හුදෙකලාව“ එහෙමත් නැත්නං “සිසිරයේ රැයක මඟියෙකු නම් “කියවද්දි වගේ හැබැයි ඒ තරමටම නෙවෙයි. නමුත් කියවීම ඇතුලේ පුද්ගලිකව මට තෘප්තිමත් වෙන්න පුළුවන් උනා. ඒ වගේම පොත පුරා චරිතයෙන් චරිතයට යොදාගෙන තියන බස් වහරේ වෙනස් වීම් නිසා චරිත හැබෑවටම පණ ඇවිත් පොතේ අකුරු උඩින් අපිත් එක්ක කතා කරනවා වගෙයි. ඒ උනාට ඉතිං පොත අවසන් වෙලා තියන විදියට නම් මං වැඩිය කැමති නෑ.. ඒ මුළු කතාවෙම යටි පෙළ සේ දිවෙන දේශපාළන මළ ඉලව්ව හින්දද මන්දා. එහෙම නැත්නං සුනේත්‍රාගේ හැම පොතකම අවසානය වගේ එකම විදියට පොඩ්ඩක් ආසන්නයෙන් ඉන්දියාට හරි නේපාලෙට හරි චිනෙට හරි ගිහින් නතර වෙන හින්දද මන්දා. කොයි හැටි වෙතත් අවසන් කරලා තියෙන රටාවට අකමැති උනත් මම කවි කඳුර පොත කියවන්න ලැබුන එක ගැන සතුටු වෙනවා. බොහොම ඉක්මනට එක දිගට පොතට මාව අලවලා තිබ්බ නිසා මං ආයෙමත් සුනේත්‍රාට ආදරේ කරනවා. ඉතිං ඒ සුනේත්‍රා ගැන අවසන් කරන්න කලින් කවි කඳුර කියවද්දි මට වෙච්චි දේකුත් ලියන්නම්.

මං ඉතිං නයිටක් ගහන දවසක ඔෆිස් එකට ගෙනිහිල්ලත් පොත් කියවනවා. ඒ හැබැයි කියවද්දි නිදිමත හැදෙන්නෙ නෑ කියලා මට හිතෙන එව්වා විතරයි හොදේ.. ඔන්න දැන් මං කරන්න තිබ්බ රාජකාරී එහෙම අහවර කරලා සැදී පැහැදී පොත කියෝගෙන කියෝගෙන යනවා. අපේ ඩිපාමට් එකේම වෙන තැනකට තමයි අපි හැමෝගෙන නයිට් ස්නැක් එක ලැබෙන්නේ. ඔන්න ඉතිං ඒක අරගෙන අතන ගෑණු ළමයෙක් මගේ සීට් එක ලඟටත් ආවා. ඇවිත්

එයා - ආ.. කියවනවා වගේ. මොකක්ද පොත‍?
මම - මේ ළමයි පොත් ගන්න බුක් ෆෙයා ගිය බව මම දැනගෙන හිටි නිසා මං සිම්ප්ලි කිව්වා “කවි කඳුර“
එයා - මොකක්?
මම - කවි කඳුර‍ සුනේත්‍රාගේ.
එයා - සුනේත්‍රා කියන්නෙ?
මම - ඇයි අනේ සුනේත්‍රා රාජකරුණානායක‍
එයා - අනේ අහලා නෑ අනේ.
මම - ඇයි අනේ මේ පාර ස්වර්ණපුස්ථක සම්මානේ හම්බුනේ මේකට නේ...
එයා - හා.. ඇත්තද මේ පාර බුක් ෆෙයා නම් ගියා තමා ඒ උනාට දැක්කේ නෑ..
මම - (හිතින්) @$!&$&$*(&*&%!#%&#
එයා - මම යනවා එහෙනම්
මම - හා.

-------- දැන් ඔන්න ඒ සුනේත්‍රා ගැන ඉවරයි----------දැන් බී සුනේත්‍රා-----

-----------පෞද්ගලික හේතුවක් සහ ඉල්ලීමක් මත මෙම කොටස ඉවත් කරන ලදි -------------

මෙය හුදු ආත්ම විවරණයක් මිස නිශ්චිත පුද්ගලෙයෙකු හෝ පිරිසක් වෙනුවෙන් මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සළකන්න.


* මේ බ්ලොග් එක ලියපු අනිත් එකා කොහි දැයි කිසිත් නොදනිමි. එක්කෝ හිරේ ගිහිං.. නැත්තං හිරයක් අරගෙන එහෙමත් නැත්තං මැරිලා හෝ ඌ හොඳින් ඇතැයි සිතමි.


pic from Sarasavi.lk