Monday, June 6, 2011
පාර දිගේ 3
පේරාදෙණිය පහුකරලා අපි නුවරට ආවා.. නුවර ආවට මොකෝ මඟ නම් නතර උනේ නෑ.. මොකද ඒ වෙනකොටත් අපි හිතාගෙන හිටියට වඩා ගොඩක් වෙලාව පරක්කු වෙලානේ තිබුනේ.. අපි නුවරට සැපත් වෙනකොටත් වෙලාව හවස හතරත් පහුවෙලා වගේ.. ඒ වෙනකොටත් නතරවෙන තැනක් ගැනවත් හිතලා නොතිබුණ හින්දා අපි පහුවෙනිදාට දාගන්න හිතන් හිටි විසිට් එකකුත් තිබුන නිසා නවාතැන නුවර පහුකරලා බණ්‍ඩාරවෙල පැත්තට වෙන්න වගේ හොයාගන්න හිතාගෙනයි හිටියේ.. ඒ එක්කම ඉතිං නුවර නතර උනා කියලා නුවරත් ඉතිං අපි නොඟිය නොබලපු දිහාවක් නෙවෙයිනේ කියලා ඔන්න ඔහේ බදුලුම යමු කියලා එක සැරේ යෝජනා උනා... නුවර ඉඳන් බදුලු යනවා නම් යන කෙනෙකුට යන්න පාරවල් කීපයක් තියනවාලු.. එයින් එකක් තමයි අපි නොගිය, නොගිය නිසා නොදන්න නුවරින් ආපස්සට පේරාදෙණිය පැත්තට ඇවිත් එන පාර (මං හිතන්නේ නුවරඑළිය පාර වෙන්න ඇති) අනික අපි ආව රංදෙණිගල පාර..ඒත් ඉතිං බදුල්ලේ හවස් වෙලා ගිහින් උන් හිටි තැනුත් නැතිවෙයිද දන්නේ නැති හන්දා ඒ ගමන නම් යන්න කලින්ම බදුලුපුරේ අපේ ඇත්තන්ගෙන් අවසර එහෙම අරන් වැඩිදුර තොරතුරු දැනගන්න එක හොඳයි කියලා හිතුවා. ඒහෙම හිතලා එක්කෙනෙකුට කොල් කරාම අනේ නෝ රිප්ලයි. කෝක කොහොම උනත් අනිත් ඇත්තට ගත්තම නම් අඩේ මලියා කියලා ඔන්න කොල්ලා ආන්සර් කලා... "මේ අපි අද බදුල්ලේ ආවොත් ඉන්න තැනක් සෙට් කර ගන්න පුළුවන්ද බං" කියලා ඇහුවම ශුවර් කොල්ලාව නම් අඩි විස්සක් විතර උඩ යන්න ඇති.. ඒකනේ "හෝව් හෝව් දැන් ඉන්නේ කොහෙද ආදී නොයෙක් මාදිලියේ තොරතුරු ඇහුවේ" හැබැයි ඉතිං තොරතුරු මොනා ඇහුවත් කොල්ලා අපිට ෆුල් සපෝට් එක දුන්නා.. ඒ වගේම එක හෙලාම කිව්වේ අලි ඉන්න නිසා රංදෙණිගල පාරේ එනවා නම් අඳුර වැටෙන්න කලින් එන්න කියලයි. (මොනවා වැටෙන්නද ඒ වෙනකොටත් පහ පැනලා මයේ හිතේ)
ඔය විදියට ඉතිං අපි එදා රෑ නුවර නවතින්නේ නෑ කියලා තීරණය උනා. අපේ නුවර ගමන වැව රවුමේ එකතැනක නතර වෙලා ජායාරූප කිහිපයක් හා දුරඇමතුම් කීපයක් ගැනීමට සීමා උනා. ඒ ඇමතුමුත් බදුල්ලේ ඉන්න හෙන අයිස් පප්පෙක්ට අයිස් දියවෙනකම් බැනීමකට සීමා උනා (නැත්තං ඉතිං එදා රෑ ඌ අපිව බලන්න එන්නේ නැහැනේ..! ග්ර්ර්ර්ර්ර්ර්!!!)
දැන් ඔන්න අපි රන්දෙණිගල පාර දිගේ බදුලු යන්නයි ලෑස්තිය.. අපේ රථාචාර්යතුමත් ඉතිං වැඩිය පාරවල් දන්නේ නෑ.. මං නම් දන්නේම නෑ.. එතකොට අර සුද්දි නම් අපි දෙන්නටම වඩා වගේ දන්නවා.. ඒත් ඉතිං කොහොම හරි ඒ පාර දිගේ අපි ගමන පිටත් උනා.. ඒ වෙනකොට හවස් වෙමින් ලාවට බඩගින්නකුත් දැනෙමින් තිබ්බ නිසා ඉක්මනට යනවා වගේම ආප්ප කඩයක් සොයාගැනීමත් අත්‍යාවශ්‍යය වෙලයි තිබුනේ. ඒත් ඒ පාර වැඩිය ජනාකීර්ණ පාරක් නෙවෙයි... වාහන උනත් විනාඩි දහයකට සැරයක් විතර එක්ක පාස් උනා.. කඩවල් කීපයකම නතර උනත් ඒ වෙලාව වෙනකොට ආප්ප තියා පාන් වාටිවත් තිබුනේ නැති තරම්.. ඒත් රෑ වෙන්න කලින්.. අලි පාරට එන්න කලින් යා ගන්නත් එපැයි.. ඒ වගේම ටී ජන්ශන් එකක් හොයාගන්නත් ඕන වෙලා තිබුනා.. (එතනින් තමයි අපි මහියංගනේ යනවද බදුල්ලේ යනවාද කියන එක තීරණය වෙන්න තිබ්බේ) කොහොමින් කොහොම හරි ගමනෙන් අඩක් විතර යනකොට හොඳටම කළුවර ඇවිත් තිබුනා.. ඒ වගේම එක තැනකදි (අනේ මට ඒ කඩේ නමවත් ඒ පැත්තේ නමවත් මතක නෑ. ශික් මට කවදාවත් නම් මතක හිටින්නේ නැති හැටි) හැබැයි ඒ කඩේ නම් ලොකු තේ කඩයක්. ආප්ප වර්ග වගේම රසම රස එවෙලේ හදපු එළවළු රොටි කොත්තු එහෙම හැමදේම තියෙනවා.. ඒ කඩේ ඉස්සරහා හොඳ එළවළු කඩයකුත් තියනවා.. (දන්න කෙනෙක් සිටී නම් නම පවසන සේක්වාහ්!) මට හිතුන හැටියට නම් ඒ පාරේ වැඩියම ධාවනය උනු වැලි ලොරි වල රියදුරු මහත්වරු වෙන්න ඕනි ඒ කඩේ පාරිභෝගිකයෝ..! හැබැයි අපි යද්දි නම් කවුරුවත්ම හිටි නැති තරම්.
දැන් අර එළවළු රොටී දැක්ක ගමන් මට ආවා තඩි බඩගින්නක්! ඉතිං මායි අපේ රථාචාරීතුමයි එතනදිම රස පරීකෂාව සිදුකලා.. ඕක දැකපු අපේ අනිත් එකාටත් ඒක අනුභව කිරීමේ දැඩි ආශාවක් ඇති උනා (කන්න හිතනම කබරගොයත් තලගොයා වෙනවා වගේ තමයි. මේ මනුස්සයා කියනවා ඒකේ සැර නෑ වගේලු) ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර්ලට උපදෙස් දෙන්න අපි මොක්කුද කියලා හිතාගෙන කාපන් කියලා එකක් දුන්නා. වන් ශොට් වගේ තමයි මෙන්න එක කෑල්ලක් කටට ගත්ත ගමන් වලිගේ කැඩිච්ච හූනා වගේ උඩපනින්න ගත්තේ නැතැයි.. කඩේ මිනිස්සු නිකං හොල්මන් දැක්කා වගේ..! (මොකද උනේ කියලා ඉතිං මං කියන්නේ නෑ.!!!! ;-) ) අපි නම් ඉතිං පැණි ආප්ප.. එළවළු රොටි වතුර ප්ලේන් ටී එහෙම අරගෙන ගමනට පිටත් උනා. කඩේ අයගේ උපදෙස උනේ අලින්ගෙන් ශේප් වෙලා යන්න නම් වැලි ලොරියක් පිටිපස්සෙන් යන එක හොඳයි කියලයි.. අපි එක්කම වැලි ලොරියකුත් පිටත් උන නිසා අපිත් ෆිට් එකේ ගමන පිටත් උනා.. හැබැයි ඒ ලොරිය පිටත් වෙනවා විතරමයි අපි දැක්කේ.. වාහනයක් තියා මැස්සෙක්වත් නැති ඒ පාරේ අර ලොරිය පියාඹලා....!
අපි ඉතිං නිවීහැනහිල්ලේ ගමන යනවා..! ඒ ගමනේ සතුට වැඩි කලේ මගේ යාළුවා එයාගේ ෆොන් එකෙන් ප්ලේ කරපු මියුසික් නිසා.. සෑහෙන්න කාලෙකට පස්සේ සංගීතය ඇගේ නහර දිගේ ගමන් කරනවා දැනුනා.. කසුන්.. ඉන්ද්‍රචාප..ඇතුළු මම දන්නා නොදන්නා ගොඩක් සංගීත කාරයෝ ඒ හිස් පාරපුරා කළු වාළාකුළු අතරේ මාවත් අරගෙන හිතේ හැටියට රොන්දේ ගැහුවා.. ඒ වෙලාවේ නම් මැරුණත් දැනෙන එකක් නැති වෙන තරමට සැහැල්ලු වෙලා පුදුම නිස්කාන්සුවක් අත්වින්දේ..! ඇත්තටම ඒ හැඟීම විස්තර කරන්න දුප්පත් මට වචන නෑ..! ඒක විඳීමක් මිස විස්තර කිරීමක් නෙවෙයි......!
ඔය විඳියට අපි වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමි එක්ක ඩෑම් එහෙමත් පහුකලා.. අතර මැද හමුදා ආරකෂක කඳවරු වල නතර කෙරුනත් අපි දැක්ක ගමන් ඒ අය ඉක්මනින්ම යන්න කිව්වා.. මොකද රෑජාමේ බවලත් උදවිය දෙන්නෙක් ඒ වනාන්තර මැද්දේ මොනා කරන්නද? එහෙම යනකොට අපි සොයා සොයා ඇවිත් අපි සෙව්ව මැණික නෙවෙයි...!! සෙව්ව ටී ජන්ශන් එක හම්බ උනා.. එතනින් වම් පැත්තට හැරුනා විතරයි මෙන්න පොලිශ් අන්කල් කෙනෙක් මහ රෑ පී.ටී කරනවා! හයියෝහ්! අපි මොකක් ටර්න් එකක් වැරදියටලු අරන් තියෙන්නේ..! ඒත් ඉතිං අපේ මැඩම් 'ඇයි' ඇහුවා විතරයි 'හා.. යන්න' කිව්වා..! හොඳ පොලිස් අයියා..!!!
එයින් පස්සේ නම් ඉතිං අපි බදුල්ලට ආවා.. ටවුන් එකේදි අයිස් පප්පවත් වාහනේට දාගත්තා... එතනින් අපි ගියේ රෑට සප්පායම් වෙන්න දෙයක් ගන්න.. ඒකට තෝරගත්තේ ටවුන් එක මැද්දේ තියන Capital City food court එක. උදේ 10;30 ඉදන් රෑ 10.30 වෙනකම් එතන විවෘතයිලු.. චයිනීස් සිංගප්පූර්.. එක එක ජාති කෑම එක්ක රෑට කොත්තුත් ගන්න පුළුවන්.. ආ.. ප්ලේන් ටීත් තියනවා..! එතනදි තමයි අපිට බදුලු ගමනේ අපේ සම්බන්ධීකාරක තුමා වෙච්ච කුෂාන් මහතා හා කූෂාන් ගේ වෙන්න නෝනා හෙවත් අපේ සාදාදර ෆා මෙනවිය මුණගැහුනේ. . කූෂාන් තුමා ව නම් කලින් දැකලා තිබුනා නේ.. නමුත් ෆා මෙනවිය නම් එදාමයි දැක්කේ.. නමුත් කාලෙක ඉදන් කියවලා තිබ්බ නිසා කතාබහ කරන්න අමුත්තක් උනේ නෑ.. අනික අපේ කෙටි දැනුම් දීමකින් අපිට හැමදේම සූදානම් කරලා අපිව බලන්න ආව එකම මදැයි අපිට! ඉතිං අපි එතනින් ඉඳිආප්ප කොත්තු එක්ක නිකං රොටි කොත්තු අරගෙන අපේ නවාතැනට ගියා.
හදිස්සියේ හොයාගත්තට ඒ වෙලාවේ හැටියට අපි හිතුවට වඩා සෑහෙන්න හොඳ තැනක් තමයි අපිට සෙට් කරලා තිබුනේ Hotel Sanasta කියලා තාමත් හදාගෙන යන නමුත් සේවා ආරම්භ කරලා තිබුන එම හෝටලයේ එදා රෑ හිටියේ අපි විතරමද මන්දා.. ඒ නිසාමද මන්දා ඒ මොහොතේම ටක් ටික් ගාලා අපිට ඉල්ලපු විදියට අපේ ලාවට සෙට් වීමට අවශ්‍ය කරන මේස පුටු පිඟන් කෝප්ප අපිට ඕන තැන් වලට සෙට් කරලා දීලා ඒ හොටෙල් එකේ මල්ලිලා අපිට ලොකු සහයෝගයක් දුන්නා..!
එතනින් එහාට ඉතිං ලියන්න දෙයක් නෑ.. කොත්තු.. චීස්.. ඒවා මෙවා අස්සේ කතන්දර ගොඩක් එක්ක හවානා ක්ල්බ් බෝතලයක් එහේ මෙහේ ගියා.. අඩුපාඩුවට කෝක් එහෙමත් හිටියා.. රෑ දොළහට විතර සමහර අයට කොල් කරලා අපි ස්වෙච්චාවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු එහෙමත් තිබ්බා..! (එහෙම නැතුව හොඳ නැහැනේ!) ඔය විදියට දොළහා උනා.. එක උනා.. එකෙක් වත් නැඟිටින පාටක් නෑ.. වෙලාවට මට වොශ්රූම් එක මතක් උනා.. මං ගිහින් එන්නම් කියලා ගියා.. ගියා ගියාම තමයි..!! මට මතක විනාඩි පහකින් ආයේ කට්ටියට සෙට් වෙනවා කියලා හිතාගෙන මං ලා නින්දකට යනවා විතරමයි! (ඉහික්! :D :D :D)
Subscribe to:
Post Comments (Atom)
උඩම ෆොටෝ එක ගත්තේ නානුඔය නේද?? පිලිමතලාව පාස් කරලා පොඩ්ඩක් දුරින්....ඔව් පේරාදෙණිය පැත්තට ඇවිත් නම් යන්න තියෙන්නේ නුවර එලිය පාර තමා...ඔය කොයි පාර වුනත් මාර ලස්සනයි :)හොඳ ගමනක් ගිහින් වගේ කස්ටියම එකතු වෙලා...
ReplyDeleteප. ලි. දැන් කුෂාන් මහතාගේ රැකියාව කොලොම්පුරේ ඉදලා බදුල්ලේ එන බ්ලොග් කාරයොන්ට ඉදුම් හිටුම් සැපයීමද?
මං හිතන්නේ රොටී කාපු කඩේ තිබ්බේ කීර්තීබන්ඩාරපුර වෙන්ට ඕන...
ReplyDeletephototika nam istaram
ReplyDeleteපහුවදාටත් ඇවිද්න්න තියෙන නිසා නිදාගත්ත නෙවෙයිනම් කට්ටිය උදේ වෙනකල් එතන. ඔන්න නිදිමත යන්න කියල කවුද දෙන්නෙක් අත් බැඳගෙන ඇවිද්දලු හොඳේ...
ReplyDeleteහඳුනා ගැනීමේ පෙරෙට්ටු කිව්වම මට මතක් වෙන්නේ??? මරු කතාව!
ReplyDeleteමට නම් හිතෙන්නේ මේක මේ අර අහිංසකයෙකුට මඩ ගහන්න කරන වැඩක් වගේ....
ReplyDeleteඅදත් මම දුර ගමනක් යද්දි ඔයාව මතක් උනා. ළඟින් හිටියා නම් කියලා හිතෙන තරමට මට ඔයාව මතක් උනේ ඔයා ගමන් බිමන් වලට නියම සහායකයෙක් වෙච්ච හින්දා ඕනේ...
මේවා අස්සේ අර නොකියවෙන කතා ටික ලියන්න අදහසක් මටත් තියෙනවා. ඒත් සමහර වෙලාවට ඒවා කවදාවත්ම ලියවෙන එකකුත් නෑ...
මේ වගේ ඉස්ටෝරියකට සහභාගී වෙලා තියෙන්නා වගේ මතකයි...!!!! සමහර විට ටීවි එකේ ගිය එකක් වෙන්ටැ ;-)
ReplyDelete@ වන් - ඇයි බං හීනයක් දැක්ක වෙන්ටත් බැරි නෑනෙ.
ReplyDelete