Thursday, December 31, 2009

අවසන් ලියමන


හදිසියෙන් උනත් මේ ලිපිය නොලියා බෑ... මොකද මේ තමයි 2009 වසර වෙනුවෙන් ලියවෙන අවසන් සටහන...

මගේ ‍පැත්තෙන් බලද්දි නම් 2009 කියන්නේ කථා කරලා වැඩක් නැති පට්ටම පට්ට චාටර් චකබ්ලාස් අවුරුද්දක්.. අත තිබ්බ තිබ්බ වැඩේ බකස් වුනා කිව්වොත් මං වැරදි නෑ.. හැබැයි තාමත් මං විශ්වාස කරනවා හැම මොහොතක්ම අළුත් මොහොතක් කියලා.. ඉතිං මං වගේ කෙනෙකුට අළුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අළුත් වෙන්න හොද අවස්ථාවක්.. ඉතිං මේ ලබන අවුරුද්දට පෙර තියන මගේ ජරාම ජරා 2009 වසරට සමුදෙන ලිපිය..

මොනවා කොහොම උනත් මගේ ආදරණීය බ්ලොග් එක.. මගේ හැම විකාරයක්ම දරාගෙන හිටියා අවුරුද්දක් පුරාවටම.. හිතේ ඇතිවුනු දුක.. තරහා.. සතුට.. ඇතුළු හැම හැගීමක්ම මගේ දිනපොත වගේ දරාගත්තේ මගේ ආදරණීය බ්ලොග් එක.. ඉතිං මේ වෙලාවේ එයාට ස්තූතී නොකර කොහොමද ඒ වෙනුවෙන් මයි මේක ලියන්නේ..

මම ආසම සිංදු වලින් එකක් තමයි හෙට අළුත් අළුයමක්.. ඉතිං හැමෝටම කියන්න තියෙන්නේ හෙට අළුත් අළුයමක් වෙන කවරදාකටත් වඩා... ඉතිං ඒ අළුත් අළුයමේ අළුතින් ජිවිතය පටන් ගමු.. අළුතින් හිතලා.. හැම මොහොතක්ම උපරිමයෙන් සතුටින් ඉන්න පුළුවන් විදියට..

මේ ‍පිස්සු බ්ලොග් ලිපි අමාරුවෙන් උනත් කියවපු ‍හැමෝටමයි..නොකියවපු හැමෝටමයි... ලියපු මටයි මගේ යාළුවා නෑෂ් ටයි.. එතකොට හෙඩර් ‍එ‍හෙම හදලා දීලා සරසපු
හ ටයි ලිෂ්ටයි අතුළු එකී මෙකී නොකී හැමෝටමයි.. මගේ ආදරණීය බ්ලොග් එකටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! :D

Tuesday, December 29, 2009

අපේ මලයා ඇවිත්


පහුගිය ටිකේම මම ගිරවා වගේ දෙඩෙව්ව හින්දා හැමෝම දන්නවා ඇතිනේ මට මං අරුනම මොකෙක්වත් නෑ කියලා.. ඒ වුනාට ඉතිං මට නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.. සේරම ඉන්නේ දෙක දෙක තමා කොහොමත් ඒ කිව්වේ අයියලා 2යි අක්කලා 2යි මල්ලිලා 2යි නංගිලා නම් යාන්තං 3ක් ඉන්නවා..
ඉතිං දැන් පෙරේදා අපේ බාප්පගේ පුතණ්ඩියා මහ රෑ 8 ට විතර කෝල් එකක් දීලා කියපි "අක්කා මට දවස්5 ක් නිවාඩු සෙට් උනා හෙට උදේ මං ඔහේ එනවා කියලා. කොල්ලා 2010 නෙවෙයි 2011 හේ ‍ඒලෙවල් කරන පොරක්. ඉතිං 0/L ඉවර උනු දා ඉදන් ඌ A/L වලට පන්ති යනවා.. ඒවා ඉතිං සූකර උණටවත් නිවාඩු දෙන පංති නෙවෙයිලු.. දැන් අවුරුද්දක් තිස්සේ මට එහේ එන්න එන්න කියලා බැරම තැන වරෙන් කියලා ඒත් හරිගියේ නැති හින්දා මමම වාරේන් කියලා කොල්ලා මෙහේ එන්නයි ප්ලෑන් එක..
ආවට ඉතිං ඊයේ උදේ ඌව ගන්න කොළඹ යන්න විදියක් මට තිබ්බේ නෑ.. මට පන්ති.. දැන් ඉතිං අලි ඉලංදාරි නේ තනියම එන්නං මට පන්ති පලයාන් කියලා මලයා කිව්වා.. මාත් ඉතිං ගියා.. කොළඹට ඇවිත් කොල්ලා මට කෝල් කරා මං දැන් මෙහෙන් බස් එකේ නගිනවා කියලා.. නැගලා තියෙන්නේ හරි හයියෙන් කොළඹින් එන අති මන්දගාමී බස් රථයකට.. කියලා වැඩක්..පන්ති ඉවර වෙලා මං ගෙදරත් ගිහිං විනාඩි 15 කට විතර පස්සේ කොල්ලා ගෙදරට ගෑටූවා... හපොයි..!! වෙලා තියන දෙයක්..!! දෙයි හාමුදුරුවනේ..!! මං යාන්තං උගේ උරහිසට පෝඩ්ඩක් උසයි (ඒ කිව්වේ මගේ ඉස් මුදුන මට්ටම).. ආව වෙලාවේ ඉදන් දොඩවන්නේ මං මිටිගිහින් ලු.. උගේ හිතේ මගේ වයස වගේම උසත් අනිත් පැත්තට යන්නේ කියලා.. කාට කියන්න ද ඉතිං ඕවා...
අපරාදේ කියන්න බෑ මට පොත් 4ක් ම උස්සන් ඇවිත්.. හැබැයි ආයේ යනකොට ගෙනියනවලු :( ඒත් මොකෝ.. ඔය මලයා කොයි තරම් හොද උනත් මහ සතා.. මොකෝ මගේ හැමදේම ඌට පෙන්නේ පරහක් ඇතුව... ආව ගමන් ඇහුවේ අලුත් පොත් තියනවාද කියලා.. මාත් ඉතිං කිව්වා ඔව් අන්න තියනවා ගිහිං බලන්න කියලා.. පොත් ටික එහේ මෙහේ කරලා ඌ කියනවා "අපෝ ඔයාගේ පොත් හරි හරබර වැඩියි කියලා" (කෙහෙල්මල).. ඉතිං මං කිව්වා කොම් ද පීටර් ඇතුලේ ෆිල්ම් 30ක් විතර තියනවා එහෙනම් ඒවා බලපන් කියලා... ඒක ඔබලා බලලා කියනා "අපෝ.. මේවා මෙලෝ රහක් ඇති එවා‍යෑ" කියලා.. මට දවසට 2කිලෝමීටර් වත් දුවන්නලු.. තව සන් බ්ලොක් එකක් යූස් කරන්න ගන්නලු.. මෙහේ අව්ව වැඩිලු.. අනේ මන්දා දැන් හැදෙන එව්වන්ගේ මලසමයං :පී
අපේ පැත්තේ ජන සංයුතිය කොහොමද කියලා අහනවා.. මේහේ වර්ෂාපතනය ගැන අහනවා.. අනේ මන්දා ‍ඉගනගෙන වැඩිවෙලාද කියලා.. මං ‍ඉතිං ඕවා ගැන දන්නවා‍යෑ.. මං ඉතිං දත් 32 කම පෙන්නගෙන ඉන්නවා.. වෙන මොනා කරන්නද?
ඔය සේරමත් හරි.. මූ මාර ලොකු චෝදනාවක් කරනවානේ.. කොළඹ සුදු කෙල්ලෝ නැහැලු (‍ඌ කොළඹ කියන්නේ මුළු බස්නාහිර පළාතටම හොදේ) මං ඇහුවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා.. දවසක් යාළුවෙක් කිව්වලු.. ඉතිං එන ගමන් බලාගෙන ආවලු.. ගන්න පුළුවන් තරමේ සුදු කෙල්ලෝ නැති තරම් වගේලු (අනේ මන්දා ඌ අයිස්ලන්තේද ඉන්නේ කියලා) මං ඉතිං හිතේ දුකටත් එක්ක ඇහුවා ඇයි මල්ලි අපි කළුද කියලා... අනේ මූ නක්කලේට කට පැත්තකින් හිනාවක් දැම්මනේ.. මට ඉතිං අපහු මෝඩ කම කියලා හිතුනා..
මේ මං යනවා..මේක ලිව්වෙත් අනිත් කාමරේට පොතක් ගන්න ගිය වෙලාවේ.. මේක කොටනවා දැක්කොත් බ්ලොග් එක පෙන්නන්නත් වෙනවා.. ‍ඒක හරියන්නේ නැහැ.. එහෙනම් මං ගියා බායි..

Saturday, December 26, 2009

කොහොමද තනියම ගෙදර ඉන්නේ :o

අති සාර්ථක අන්දමින් හතර වෙනි හෝ පස්වෙනි වතාවටත් රාත්‍රීන් 2ක් තනියම ගෙදර ඉදීමෙන් පසුව මෙම සටහන ලියමී.. (මට ජයවේවා!!!) :ඩී

‍මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි.. ඒ කියන්නේ මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නෑ.. එකා යකා නොවුනට නොදන්න අය කියන්නේ එහෙමනේ... ඉතිං මම තනි යකෙක් නේ.. ඉතිං යකෙකුට තනියම ඉන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි.. හිකිස්!!!

හැබැයි ‍හැමෝම අහන්නේ ඔයා තනියමද ඉන්නේ..??? :ඕ

අනේ මන්දා ඇයි එහෙම අහන්නේ කියලා.. අපේ ගෙදර සත්තු ඉන්න නිසා එයාලා වෙනුවෙන් ගෙදර කවුරු හරි හැමවෙලේම ඉන්න ඕනි (සත්තු හදලා තියෙන්නේ ළමයින්ට වඩා සැප දීලනේ) ඉතිං අම්මා තනියම කොහෙවත් යන්නේ නෑ.. තාත්තා අම්මවයි මාවයි තනියම කොහෙවත් යවන්නේ නෑ (යවලා ගෙදර වැඩ තනියම එයාට කරගන්න දෙන්න අපිටත් බැහැ නේ) ඉතිං හොදම විසදුම තමයි එයාලා ගිහිං මං ගෙදර ඉන්න එක... අපි තුන්දෙනාම දවස් දෙක තුනකට ගෙදරින් පිට ගියපු දවස් හරි ටිකයි ඇත්තේ පහුගිය අවුරුදු 8 ටම වගේ.. යන්නම ඕනි තැනක් තිබ්බොත් නෑදෑයෙක් නවත්තලා ගිහිං තියනවා උනාට.. ආයේ එද්දි හිතෙන්නේ ගියාට ව‍ඩා නොයා හිටියනම් හොදයි කියලා.. ඒ නිසා මම නතර වෙන එක හොදයි.. මගේ තනියට අක්කෙක් කාව හරි ගෙන්න ගත්තත් එතකොට වෙන්නේ එයාලා ටීවී බලන්නයි මම තනියම එයාලගේ වැඩ කරන්නයි වෙන එක.. ඊට මීට හොදයි මං තනියම ඉන්න එක..

මේ දවස් දෙකට 5 දෙනෙකුට වඩා මගෙන් අහන්න ඇති "ඔයාට පුළුවන්ද රෑට තනියම ඉන්න.." ගෙදරට එන මිනිස්සු අහන්නෙත් ඒක.. කෝල් කරන මිනිස්සු අහන්නෙත් ඒක..නෙට් එකේ උන් අහන්නෙත් ඒක.. පුළුවන් කියලා ලාවට හිනා වෙලා කියනවා ඇරෙන්න ඉතිං වෙන උත්තරයක් නෑ.. පුළුවන් නිසානේ ඉන්නේ..

ඇත්තටම මට තේරෙන්නේ නැහැ තමන්ගේ ගෙදර තනියම ඉන්න මිනිස්සු මොකටද බය වෙන්නේ කියලා.. අනික මං දන්න ගොඩක් ගෑණු ළමයි කළුවරට බයයි.. රෑට තනියම ඉන්න බයයි.. අනේ මන්දා ඇයි කියලා.. ඒක හරිම විහිළුවක් නේ නැද්ද? ඔන්න මම තනියම රෑට ටවුන් එකක ඉන්න බයයි (අපේ රටේ ඉන්නේ ළගින් ගියොත් ඇහැක් නැති අයියලානේ).. ඒත් මගේ ගේ ඇතුලේ මං මොකටද බය වෙන්නේ?? මොබයිල් එක ළග තියනවා නම්.. දොර ජනෙල් හොදට වැහෙනවා නම්.. මොකටද බය වෙන්නේ? යන යන තැන අඩියෙන් අඩිය ඉස්සරහින් යන බලුහාමිනේ කෙනෙක් ඉන්නකොට කීයටවත් බය වෙන්න ඕනි නැහැ.. මැස්සෙකුට වත් ළගට එන්න බෑහැ නේ...

මම නම් තනිකමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්.. ඒ නිසා මට තනියම ඉන්න තියන එක හරි සනීපයි.. ඒ වුනාට පාළු නොහිතෙන වෙලාවල් නැතුව නෙවෙයි... දවස් ගණන් තනියම ඉන්නකොට මට තියන එකම ප්‍රශ්නේ තමයි ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කථාවට එන ‍එක.. මොකද කතා නොකර ඉදලා කථා කරන්න තියන කම්මැලියාව.. ඉතිං අර අනිත් මනුස්සයා අහද්දි‍ මොකෝ කථා නැත්තේ කියලා ඒක නම් කේන්ති යන වැඩක්..!

ඉතිං කවුරු හරි තනියම ඉන්න සිද්ද වෙන කෙනෙක් ඉන්නවා නම් මං එයාට කියන්නේ බය නැතුව තනියම ඉන්න.. කළුවරේ හොල්මන් නැහැ.. රෑට ඔයාව උස්සන් යන්න මොකෙක් වත් එන්නෙත් නෑ.. හිස් ගෙදරකට තියන නිශ්ශබ්දතාවය හිතට භාවනාවක් මිසක් වදයක් වෙන්නේ නැහැ.. සද්ද නැතුව ඉන්න කැමති නැත්තං හොද ෆිල්ම් ටිකක් බලන්න ගන්න (හැබැයි වැඩිය සීරියස් ඒවා බලන්න එපා එතකොට වෙන්නේ ඒවායේ ගැඹුරට ගිලිලා මොලේ ටිකක් විකාර වෙන්න බලන එක.ඒ ඇනිමේෂන්ස් කාටුන් වගේ සිම්පල් එවා බලන එක හොදයි.. පොත් නම් කෝකත් හොදයි... ඒ නැතිනම් නිදාගන්න එක තමා අනුමත කරන්න පුළුවන් හොදම දේ.. ඒ වුනාට නිදාගන්නවට වඩා නැගිටලා ඉන්න එක හොදයි... තනියම ගෙදර ඉන්න දවස් වලට ලොකු ලොකු කෑම හදන්න මහන්සි වෙන්න එපා.. මොකද මහන්සි වෙලා උයලා තනියම කන්න හිතෙන්නේ නැහැ.. ‍එක්කෝ නොකා ඉන්න නැත්නම් පොඩි පොඩි ස්නැක්ස් ගන්න..පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හරි එන්ගේජ් කරලා හරි තියන්න.. මොකද සද්ද නැති ගෙදරක ඒක මහ හයියෙන් වැදෙන කොට යකා තද වෙනවා..! හැබැයි එහෙම කරනවා නම් මොබයිල් එක අත ළගින් තියා ගන්න..නැත්තං පිට ඉන්න ගෙදර අය බය වෙයි ඔයාට මොනා හරි කරදරයක් වෙලාද කියලා.. අනික මොබයිල් එක ළග තියන එක හිතටයි ආරකෂාවටයි පහසුවටයි තුනටම හොදයි.. හදිසියකදි මුලින්ම කථා කරන්න හොදම නම්බර් එක ඩයල් කරන්න ලේසි විදියකට හදාගෙන තියා ගන්න.. ඒක ඉන් කේස් ‍ඔෆ් ඉමර්ජන්සි ප්‍රයෝජනවත් වෙයි.. තව ගෙදර ගේට්ටුව පුළුවන් නම් ලොක් කරලා තියන්න.. එතකොට නොදන්න අයගෙන් වෙන බාධා කිරීම් අඩු වෙනවා..
ඕවා තමා දෙන්න තියන උපදෙස්.. ඕය සේරම හරියට සිද්ධ උනාම මේ වගේ මොංගල් පෝස්ට් ලියවෙනවා ගණන් ගන්න එපා ඒක එහෙම තමයි.. හික් හික්

අවසාන වශයෙන් තනියම ගෙදර ඉන්න බය අයට කියන්න තියෙන්නේ "තම තමන්ගේ අත පය හයිය ගැන විශ්වාස කරන්න.." :-)



Friday, December 25, 2009

මගේ හුදකලා නත්තල් දවස

අද හරිම නිස්කලංකයි..කවුරුවත් නෑ.. වත්තේ කොහේ හරි ගහක ලේනෙක් එක්ක පොඩි කුරුල්ලෙක් එකතු වෙලා ගීතිකාවක් කියනවද කොහෙද.. සැරින් සැරේ හුළඟක් මුණු මුණු ගාගෙන යනවා.. ඒ ඇරෙන්න කිසිම හඩක් නෑ.. බයි ඩිංගක් කාලා බඩ පිරිලා ගිරා පැටිත් සද්දයක් නෑ.. බලු බබාගෙත් බඩ පිරිලා හින්දා එයත් ‍දවල් පොඩි නින්දක් දාලා.. අද නත්තල් කියලා එයාලට කිසිම ගාණක් නැති හැටි.. උදේ නත්තල් ගහ සරසද්දි නම් පැටී ඇවිත් වටේ කැරකි කැරකි ඉදලා ලස්සන බලලා ගියා.. එයින් පස්සේ කිසිම දෙයක් නෑ.. එයාලා එයාලගේ ලෝක වල.. මම මගේ වැඩක.. හරිම නිහඩයි.. පාලුයි.. කතාකරන්නවත් කෙනෙක් නෑ... කම්පියුටරේට ඔළුව ඔබාගෙන ඉන්නවා මිසක් වෙන මොනා කරන්නද?
මනුස්සයෙක් මේ ලෝකේ සහොදරයෙක් සහොදරියෙක් නැතිව ඉපදෙන එක කොයි තරම් දුකක්ද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.. අඩුම ගානේ හිටියා නම් කථා කරන්න බැරි නම් රණ්ඩුවක් අල්ලං හි‍නා වෙන්නවත් තිබ්බනේ..
අද නත්තල් තියන ගෙවල් වල නෑ‍දෑයෝ පිරිලා ඇති.. ලස්සන ඇදුම් අදලා.. සමහර විට පවුලේ අය සේරම එකතු වෙන එකම දවසත් අද වෙන්න ඇති.. හරියට සිංහල අවුරුද්ද වගේ.. සිංහල අවුරුද්ද අපිට විතරයි උනාට අද මුළු ලෝකෙම ගෙවල් වල ජේසු උපත සමරනවා ඇති..ඒකට දුප්පත් පෝසත් බේදයක් නැහැනේ.. හැමෝම පුළුපුළුවන් විදියට මොනා හරි දෙයක් කරනවා ඇති... උත්සව කොයි තරම් ලස්සනද.. ලොකු අයට කෙසේ වෙතත් පොඩි අයට.. රස රස කෑම ජාති.. ඇදුම් පැළදුම්.. තෑගි.. සෙල්ලම් බඩු..
ඔය අතරේ නත්තල් සමරන්න තියා අද නත්තල ද කියලා නොදන්න මිනිස්සුත් ඇති..එහෙම නැත්තං නත්තල් දවස කියලා දැන දැනත් සමරන්න අකමැති අයත් ඇති.. ඒ වගේම සමරන්න ඕනි උනත් සමරන්න තව කෙනෙක් නැතිව තනියම ඉන්න අයත් ඇති.. ඒ කොහොම උනත් හැමෝටම අද තවත් එක දවසක්...
හැමෝටම සුභ නත්තලක්....!!


Wednesday, December 23, 2009

Happy X mas for you all

Do I have it?

Well.. in part I do have xmas and in part, I don't !

Either way... let me wish you all bloggers (and malee specially) a Happy X' mas and a Happy super duper new year :)

And this year around.. it's just not me wishing you all alone.

So.. drink to your merry and have a blast of a time people !

Nash & Rachel (the 10 years and 3 months old she devil)