Sunday, May 13, 2012

මේ ජිවිතේ මොනවා කරන්නද? අසංශිප්ත වාර්තාකරණයක්

වෙනදටත් වඩා පැයක් පරක්කු වෙලා ගෙදර එන්න පිටත් උනේ පමාව ගැන තරහකුත් එක්කමයි.. ඉරිදා නිසා වාහන අඩු පාරේ කවදටත් වඩා සැරට පායපු උදේ ඉර යටින් හෝල්ට් එකට ඇවිද ගත්තේ හරිම අමාරුවෙන්.. බස් කීපයක් ගියත් මට යන්න ඕන බස් එක නම් තාම නෑ.. කොහොමත් ඉරිඳට බස් අඩුයිනේ..

“අද පැය බාගෙකින්වත් බස් එකක්වත් එයිද මන්දා.. හැමදාම ඔහොමයි.. මේ කොල්ලුපිටියට යන්න ඉන්නේ.“

සාරියකුත් ඇඳගෙන කළුපාට ටියුලිප් බෑග් දෙක තුනක බඩුත් පුරවා ගත්ත අම්මා කෙනෙක් මගේ දිහාව හැරිගෙන ඈත ඉදන්ම කියවනවා.. ටිකක් වෙලා යනකම් ඒ මටද කියන්නේ කියලාවත් හිතාගන්න මට බැරි උනා.. ඉතිං මම කෝකටත් තෛලය වගේ ලාවට හිනාවක් දැම්මා.

“මේ පානදුරේට යන්න ඉන්නේ ඉස්පිරිතාලේ ඉදලා..ඒකට ඉතිං කොල්ලුපිටියට යන්න එපැයිනේ නේද?“

ටිකට් කපලා ගෙදර යන කෙනෙක් වෙන්න ඇති මම හිතින් හිතුවා.. මම බලන් ඉන්නේ බස් එක එනකම්..
ඒත් ඒ අම්මා ඇවිත් හෝල්ට් එකේ තිබ්බ යකට පුටුවක ඉදගත්තා.. මම ඊට ඈතින් හිටගෙන..
බස් එකක් ඇවිත් නැවැත්තුවා... 150ක්

“මේවා යන්නේ නැහැනේ නේ?“
“මොනවා කරන්නද ඉතිං පුරුවේ කරුමෙට හැදෙන ලෙඩ.. අත් දෙකයි කකුළ් දෙකයි පණ නැහැනේ.. අපේ දුවගේ.. පොඩි දරුවට මාස 4යි එයාව ක්ලිනික් එක්ක යන්න හදනකොට නේ කොන්දෙන් පහළ පණ නැති වෙලා තියෙන්නේ..“ ඒ පාර දුවට කියලා මල්ලිව වැටෙයි ගන්න කියලා.. දුව ලොකුනේ ඉස්කෝලේ යනවානේ.. තව පුතෙක් ඉන්නවා ලොකුයි. එයා පන්සලේ මහණ වෙන්න ඕන කිව්ව හින්දා දූ එයාව පංසලට බාරදුන්නනේ.. දූගේ වයස 29යි තාම.. කරුමේ තමයි ඉතිං..මොනා කරන්නද?


ඉතිං දැන් කවුද දරුවා බලා ගන්නේ?


මගේ ලොකු දූයි පුතයි ලේලියි තමයි.. පොඩි එකාට කිරිත් නෑ මේ ටිකේ පව්
බස් එකක් ආවා.. අපේ බස් එකද? නෑ නේද?

ම්හ්..!

මුලින් කිව්වේ ජර්ම් එකක් ගිහින් කියලානේ.. පස්සේ දැන් කියනවා ස්නායු වල ලෙඩක්ලු.. දවස් දහයක් විතර වෙනවා දැනට.. තුන් වෙනිදානේ ගෙනාවේ.. හෙට ටිකට් කපයි.. දැන් නැගිටලා යන්න එන්න පුළුවන් ටිකක්.. අත එහෙම අල්ලන්න අමාරුයිලුනේ.. හිරි වැටිලලු.. දැන් පරීකෂණ කරලා ඉවරයි. අද හවසට මහත්තයෙක් ඇවිත් බලනවා කිව්වනේ.. හෙට වෙනකොට ටිකට් කපයි කිව්වා.. අද ළග ඉන්න ඕනි නෑ,. වාට්ටුවේ ඈයෝ එක්ක ඉන්නේ නැතැ...

බස් එකක්.. යතහැකියෑ අපිට බෑනේ?

ම්හ්!

භූත දෝෂයක් කියලත්ද දන්නේ නෑ ඉතිං.. කෝකටත් පොඩි ශාන්ති කරමෙකුත් කලා.. මෙහෙ ගෙනත් ඉන්නකොටම..ඒවටම යටවෙලාම බෑනේ ඉතිං නේද?.. මගේ නම් ඉතිං වැඩි විස්වාසයක් නෑ.. ඒ උනාට අපේ මහත්තයා පිළිගන්නවානේ.. අයියෝ එයාට ඔළුවේ කැක්කුමටත් තෙල් මතුරලා ගාන්න ඕනි.. මං ඉතිං ඉතිපිසෝ ගාථාව කියන්න හරි කාව හරි හොයාගෙන බොරුවක් කරලා තෙල් ගානවා .. එතකොට ඉතිං හොඳයි කියනවානේ.. හිත තමයි ඉතිං කෝකටත් නේද?

හයියෝ මේ බස් එකේ යන්නත් බැහැනේද?

ම්හ්...


එයාවත් මෙහේ නවත්තලා හිටියානේ කොල්වින් මහත්තයාගේ වාට්ටුවේ.. නැතිවෙන්න කලින්.. අංශභාගේ හැදුනානේ.. එතකොටත් කියනවා නූලක් බැන්ද නම් හරි කියලා ඒ උනාට ඉතිං එයා අරක්කු බිව්වනේ.. ඒකනේ උනේ.. මං ඉතිං එතකොට කියනවා ඔයා ඉතිං අරක්කු බීලා නේ ඔහොම උනේ.. ඒකට ඉතිං නූල් බැඳලා හරියන්නේ නැහැ කියලා.. ඉතිං එතකොට එයා ඉන්නවා සද්ද නැතුව.. බිව්නේ ඉතිං සෑහෙන්න.. එයාගේ සල්ලි වලින් බිව්වා.. අපේ දුගේ සල්ලි වලින් බෙහෙත් කලා.. එයා ඒ කාලේ යුනිචෙලා එකේ වැඩ කලානේ.. පඩිය දහදහයි.. එකෙන් තුන්දහක් ගියා බෙහෙත් වලට.. දොස්තර ළගට එක්ක යන්න වාහනේට පන්සීයයි.. තුන්දාස් පන්සීයයි.. ඉතිරි ටිකෙන් තමයි ඉතිං ඒකාලේ අපි කෑවේ බිව්වේ සේරෝම කලේ..

කෝ මේ බස් එක? නැග්ගම අහන්න ඕනේ මොකද බස් එක පරක්කු උනේ කියලා..


එයා නම් නැති උනා.. ඒ ‍උනාට අපිට සලකන්න කෙනෙක් තමයා නැති වෙන්නේ... ඇයි ඉතිං මේ ළමයි දැනටම ලෙඩ වෙලානේ.. අනේ ඒ උනාට මම නම් කැමති ඉදගෙන ඉන්නකොට හරි නිදාගෙන ඉන්නකොට හරි එක සැරේ සොරොස් ගාලා පණ ටික යනවට.. අනිත් අයට වදයක් නොවී.. මට එහෙම තමයි වෙන්නේ.. මොකද මම කාටවත් වරදක් කරලා නෑ,. හැමෝටම පුළුවන් හැටියට උදව් කරනවා.. මං කවදා හරි එහෙම මැරෙනවා නම් හොඳයි.. වෛද්‍ය විද්‍යාලෙට දෙනකොට සල්ලිත් දෙන්න ඕනා නේද?
අනේ දන්නේ නැහැනේ..
දෙන්න ඕන මම දන්න විදියට.. ඒකනේ වැඩේ.. දැනටම මම මගේ ඇස් දෙක දෙන්න ලියලා තියෙන්නේ.. තව ටිකට් එකෙත් ලියලා තියෙන්නේ සියළුම ශරීර කොටස් දන් දෙන්ට.. ඉස්පිරිතාලේට ගෙනවම ඒවා කෙරෙයි..
කෝ මේ බස්එක නැහැනේ.. මොකටද හිටගෙන ඉන්නේ ඔය වාඩි වෙන්නකෝ

නෑ ටිකකින් එයිනේ බස් එකක්..

දහයට තමයි ඉතිං එන්නේ දැන්.. කොහොම ගියත් පැය දෙකක් විතර යනවානේ... දැන් ගිහින් මේ රෙදි ටික හෝද දාලා නා කියා ගන්න ඕන.. මම ඉන්නේ ලොකු දූලෑ දිහැනේ... මේ ටිකේ පොඩි දූලෑ දිහා.. මම බණ භාවනා ටිකක් කරනවා.. හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මෙක කවදාවත් කසාදයක් දරුමල්ලෝ එපා කියලා.. මේ ජිවිතේ මොනා කරන්නද නේද? බැඳීම් විතරනේ.. මහත්තයා හම්බඋනාම එයාට ආදරේ කරනවා.. පස්සේ ඒ ආදරේ බෙදිලා දරුවන්ට යනවා.. දරුවෝ එක්ක බැඳීම මැරෙනකම්මනේ.. මේ පෙන්නේ නැද්ද.. දුක් විඳිනවා.. ඒත් මක් කරන්නෙයි? සංසාර ගමන දික් වෙන එක විතරයි.. ඒ හින්දා මම පතන්නෙම තනිකඩ ඉන්න..

එන්න බස් එකක් එනවා..


වෙන වෙනම සීට් දෙකක වාඩි උනු අපි අපේ ගමනාන්තෙට ආවා.. ඇල්පිටිය බස් එකක් නවත්තලා.. ඇය ඒකේ නැග්ගේ නෑ,.

අනේ ඔය දුර බස් වල යන්න බෑ,. සීට් එකක වාඩි උනාම අද කාලේ මිනිස්සුන්ට පුදුම නින්නදක් නේ යන්නේ.. ගෑණුන්ට හපන් පිරිමි.. කවුද ළග ඉන්නේ කියලා වත් වගක් නැහැනේ.. පානදුරෙන් බස් එකකට නැග්ගම කෑම ඇඳුම් සේරම ‍උස්සගෙන නේ නඟින්නේ.. වයස ගැන හිතලාවත් ඉඩක් දෙන්නේ වත් බෑග් එකක් ගන්නෙවත් නැහැනේ.. අනේ මන්දා අදකාලේ හැටි..

පානදුර බස් එකක් ඇවිත් හෝල්ට් එකේ නතර උනා..


මම මේ බස් එකේ යනවා.. මිස් යන්නේ නෑ?

නැහැ මම යාළුවෙක් එනකම් ඉන්නවා.. කොහෙත්ම ඇත්ත නොවුනත් මට කියවුනේ එහෙම.. මම වගේ පොදු සමාජ සංනිවේදනය අතින් අබ්බගාත කෙනෙක් එහෙම කිව්ව එකෙන් කාටවත් නරකක් වෙන එකක් නෑ,. ඒත් ඒ ගත වෙලා ගිය විනාඩි විස්ස තිහ ඇතුලේ ඒ ගෑණු කෙනා කොයිතරම් ගොඩක් කියෙව්වද? වෙලාවක හිනා වෙවි.. වෙලාවක අමුතුම හැඟීම් පිරිලා.. දරුමුණුපුරෝගේ වැඩ හින්දා කා එක්කවත් නිදහසේ කතාකරන්න වෙලාවක් නැති තවත් ගෑණියෙක් වෙන්න ඇති.. පානදුරෙන් තව බස් එකක නැගලා ගෙදර එන්න හරි ඒ බස් එකට නැග්ග නම් තව ගොඩක් දේවල් අහගෙන එන්න තිබුනා.. ඒත් ඒ සම්බන්ධතාවයේ මගේ කොටසට වෙච්ච ශ්‍රාවක කොටස හොඳටම ඇති කියලා ආර්ත්මාර්ථකාමී සිතුවිල්ලක් මට ආවා.. ඉතිං මම ‍ඊලගට ආවා ඉන්ටසිටියේ නැගලා ගෙදර ආවා..

ඇත්තටම මේ ජිවිතේ මොනවා කරන්නද??

6 comments:

  1. මේ ජීවිතේ නටන්න සින්දු කියන්න විඳීන්න....විඳවන්න වෙන වෙලාවකුත් නැතුවම නෙමෙයි. විඳවන්නත් ලැබුණාම තමයි විදගන්න දේවල් වල සැබෑ රසය විඳීන්න පුළුවන්! :D

    ReplyDelete
  2. මම දන්නේ නෑ නංගී. මට තියෙන බැඳීම අස්සේ මම මේ තරම් ෆේල් වෙන්න පුළුවන් කියලා මට මුලින්ම දැනුනේ අද.
    අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
    මටත් නිදහසේ මේ හැමදේකින්ම ඈත් වෙන්න ඕන කියලා විතරමයි හිතුනේ...

    ReplyDelete
  3. හරිම හැඟීම්බරයි.. අර පූසා කියපු දේට මමත් එකඟයි.. කවුරු හරි ගැන සාපේක්ෂව හිතුවාම තමයි දැනෙන්න අපි කොච්චර වාසනාවන්තද කියලා..

    ReplyDelete
  4. සිත තරමක් සසල කළ කතාවක්.

    ReplyDelete
  5. ලත්තැනම, ලොප්උනා..

    ReplyDelete
  6. මිනිස්සු කසාද බඳිනවා වයසට ගියාම තමන්ව බලාගන්න කෙනෙක් ඕනේ නිසා කියලා ඒත් සම්හර වෙලාවට මැරෙන්කන්නම් වෙන අයව බලාගන්න වෙන්නත් පුළුවන්

    ReplyDelete