Friday, September 16, 2011

තිත්ත කෝපි සහ පැණි වචන

පෙරේදා නිවාඩුවෙන් පස්සේ ඊයේ ආයේ ම‍ට දැඩි අසනීපයක් ඇවිත් මං හොර ලෙඩ නිවා‍ඩුවක් අරගත්තානේ. ඒ නිසා අද මට පැනල්ටි ලීව් එකක් හම්බ උනානේ.! එහෙම තමයි අපේ ඔෆිස් එකේ සිස්ටම් එක හැමතැනම නෑ හැමදාම නෑ!
කොහොම වෙතත් ඊයෙයි අදයි දවස් දෙකේම උදේ වරුව ගෙවිලා ගියේ දාන කටයුතු හින්දා. අනාදිමත් කාලෙක ඉදන් නොවුනත් දැනට අවුරුදු පහළවක විස්සක විතර කාලේ ඉඳන් හැම මාසෙකම පහළොස් වෙනිදා අපෙන් පංසලට මුරදානේ දෙන දවස. වෙනදට දෙන්නේ එක පන්සලකට විතරක් උනාට ඉතිං ගිය මාසේ ඉඳන් තව පංසලක් වැඩි වෙලා. සෙල්ලන් නැහැන් අපේ ගමේම පංසල් හතක් තියනවනේ. ඉතිං කොහොම හරි පහළව විතරක් නෙවෙයි දාසයත් දානේ දවසක් විඳියට කැ‍ලැන්ඩරේ ලියවෙන්න පටන් අරන්.
ඕකට ඉතිං පැත්තක ඉඳන් කැපිලි කෙටිලි වලට දායක වෙන එක තමයි මගේ පංගුව. තව ඉතිං සලාදේ හදන එකයි පපඩම් බැඳිල්ලත් මගේ තමයි. ඉතිරි වැඩ වලට ඉතිං දායක වෙන්න සිත කය වචනයෙන් පංසලටම පේ වෙච්චි අපේ ලොකු නැන්දයි සිට්ටි නැන්දයි දෙන්නා ඉන්න නිසා මට තියෙන්නේ උදෙන් නැඟිටලා එයාලා එනකං ති‍යන වැඩ වලට සහය දෙන එක විතරයි.
ඊයේ මහ පංසලට දානේ ගෙනියන වැඩෙන් ‍ශේප් උනාට අද භාවනා මධ්‍යස්තානෙට ගෙනියන දානෙට නම් ඉතිං මං නෑ බෑ නොකියා යන්න එකතු උනා. ඒකට හේතුව අපේ ගමේ කෙලවර පුරන් වෙල්යායට මායිම් වෙලා තියන ඒ පංසලේ ගාළු පාර අයිනේ තියන මහ පංසලේ නැති විදියේ ලස්සන චාම් ගතියකුයි පුදුම නිස්කලංක කමකුයි තියන නිසා.
කොහොමින් හරි පංසල් ගිහින් ආවට පස්සේ තමයි පිං ඵල දුන්නේ.! කරන්ට් එක නොදන්වාම නිවාඩු ගිහින්! හප්පා! මේ ටිකේ රෑට රෑට වැස්සට දවල්ට තියෙන්නේ පුදුම රස්සනයක්නේ! රස්නෙත් ඉවසුවැකි දාඩිය දාන එකනේ ඉවසලා ඉන්න බැරි හයියො! දැන් ඉතිං මොනා කරන්නද කියලා කියවන්න තියෙන පොත් ගොඩ දිහාවට ඇඳිලා ගියා.ළඟදි දවසක අපේ බෝමන්ල‍ගේ ගෙදර ගිය වෙලාවක එහේ තියන බෝ නිෂු යුවලගේ පොත් ගොඩ අස්සෙන් ඉල්ලගෙන ආව සුනේත්‍රාගේ කෙටි පණිවිඩය හා දිග කතා පොත කියවලා අවසන් නිසා සුනේත්‍රා රාජකරුණානායකයි සමන් අතාවුදහෙට්ටියි එකතු‍ වෙලා ලිව්ව හර්ද සූත්‍රය පොත අතට ආවා.
ඒකත් අරගෙන ගියේ මේ වෙනකොට දවල් කාලයේ පොත් කියවන්න හොඳම තැන විඳියට මං හොයාගෙන තියෙන අපේ අම්මලාගේ කාමරේ ඇඳට. එතන ඇඳ ඉහත්තාවේම තියෙන් ජනේලයෙන් එන ස්භාවික එළියයි හුළඟටයි අමතරව වෙන මොකක්දෝ මට නොතේරන දෙයක් නිසා එතන ඉඳන් ‍කියවන්න දැන් වෙනකොට මං හරි ආසයි. සමහර විට මගේ ඇදේ තියන ඩබල් ලේයර් සිංගල් මේට්ටෙට වඩා සුවපහසු ත්‍රපල් ලේයර් ඩබල් මෙට්ට්‍රස් එක වෙන්න පුළුවන් නැත්තං මගේ පංචි කොට්ට දෙක වගේ තුන්ගුණයක් විතර ලොකු තාත්තාගේ කොට්ට නිසා වෙන්නත් පුළුවන් එහෙමත් නැත්තං අම්මගෙයි තාත්තාගෙයි රස්නේ රැදිලා තියන නිසා වෙන්නත් පුළුවන්.. කවුද දන්නේ...
භාගයක් කියවලා ටිකක් නිදාගන්නවා කියලා හිතාගෙන ‍කියවන්න පටන් ගත්තත් ඒක එහෙම උනේ නෑ. හැබදාම වගේ සූනේත්‍රාගේ මැජික් එක අදත් මාව පොතට ඇඳලා තියාගත්තා. මීට කලින් කවදාවත් සමන්ව කියවලා නැති නිසා පොත පුරාම මට දැනුනේ සුනේත්‍රාගේ සුවඳ විතරයි.සමහර තැන් වල පුන්සරා කියන්නේ සුනේත්‍රාමද කියලා හිතුනේ සුනේත්‍රාගේ මතක පොතේ ‍දෙක කියවලා එකතු වෙලා තිබ්බ මතකත් එක්කයි. ඒත් එක එහෙම නෙවෙයි කියලා මගේ හිතේ ඉන්න ලොකු බබා චූටි අක්කි එහෙමත් නැත්තං සමාධි හිත ඇතුලේ ඉඳන් ටොකු ඇන්නා. හේතුව පොතේ මුළඳිම පුන්සාරා කියන ලේඛිකාවම අහනවා චරිත පිටුපස නිර්මාණ කරුවා සිටිනවා කියලා හිතනවා නම් හොරු මංකොල්ල කාරයෝ වගේ චරිත බිහිවෙන්නේ කියලා. ඒ අනූව බලද්දි මේ සුනේත්‍රාගේ කතාව කියලා හිතන්නත් බැහැනේ.!

කොහොම උනත් මේ වෙනකොට මම හදිස්සියේ ආව කැස්සක් නිසා බීපු කොෆ් සිරප් එක නිසා ඇති වෙච්ච නිදිමතකුත් එක්ක ඉන්නේ. ඉතිං හර්ද සූත්‍රය ගැන ලියන එක පස්සට දාන එක හොඳයි වගේ. ඔය පස්ස කවදාවත් නොඑන පස්සක් වෙන්න පුළුවන්. කමක් නෑ.

කොහොම වෙතත් හර්ද සූත්‍රය කියවාගෙන යද්දි මට ගොඩක් තැන් වලදි කතාවේ ඉන්න ප්‍රධාන චරිතෙයි මායි එක්කෙනෙක් වෙනවා වගේ දැනුනා. හේතුව තනියම කතා කිරිල්ල.. පවුලේ එකම දරුවා වීම..කොන්වන්ට් වල ඉගන ගැනිල්ල පොත් වලට ඇබ්බැහි වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මට මං වගේ තව අය මතක් උනා. පොතේ අකුරු අස්සෙන් මං කතාවටයි මා වටා ඇති ‍අනිත් ‍අය සහ දේවල් අතරයි රවුම් ගැහුවා. ඔය අස්සට‍ ඊ මේල් ඉන්ටනෙට් අස්සෙන් බ්ලොග් වලටත් හිත ආවා. එතකොට තමයි මතක් උනේ කලින් පොස්ට් එකේ බිංගෝ කියලා තිබ්බ ඩිප්‍රෙස් වෙලා නම් පොතක් කියවන ගමන් කැපචිනෝ එකක් බොන්න කියන කතාව..

ඔය ඩිප්‍රෙස්.. වගේ බරසාර වචන මගේ ජිවිතේ නැහැනේ අප්පා. අපි ඉතිං හෙන සිරා විදියට සිම්ප්ලි ජිවත් වෙන මිනිස්සුනේ. ඒ නිසා ඉතිං එන එන විදියට ගහ උළුවස්සා කියලා ජිවත් වෙනවා උනාට පොතක් කියවන ගමන් කැෆේ එකක් බොන්න මටත් ආස හිතුනා. ඉතිං ගියා කුස්සියට රත් කලා වතුර එකක් දැම්මා නෙස්කැෆේ කෝප්පෙට හැඳුවා තේකක් ඔප්ස්ස් සොරි හැදුවා ප්ලෙන් කොෆි එකක් අරන් ආවා කාමරේට ආයේ හාන්සි වුනා කියෙව්වා.. සිරාවටම එකේ අමුතු ගතියක් තියනවා තමා.ජිවිතේට රස්නේ වෙලාවට උණුදේවල් නොබොන මම දාඩිය අමතක කරලා කෝපි කොප්පේ හිස් කලා.ඊට වඩා ඉක්මනට පොතේ පිටුත් පෙරළුනා. බිංගෝ වෙනුවෙන් මේ පොස්ට් එක ලියන්නත් හිතුනා..

කොහොම උනත් අද හවස හය‍ වෙනකනුත් කරන්ට් නම් ආවේ නෑ.ඒත් තාත්තා හවස ගෙදර ආවම හැදෙන කිරි තේ වලින් මගේ පංගුවත් වෙනදට ලැබෙනවා උනත් අද අවේලාවේ කෝපි බිව්ව නිසා කොළ තේ එකකට යන්න හිතුනා.ඒ එක්කම පුන්සරා ‍උදේ යෝග කරලා එනකම් මුදිතත් ජස්මින් ‍ග්‍රීන් ටී එකක් එක්ක පුන්සරාගේ කවි පොත කියවන්න පටන් ගත්තා. මම මගේ ග්‍රීන් ටී එකත් එක්ක පුන්සරාගේ කතාව එක හුස්මට වගේ පැය හයකින් විතර එක දිගට කියවලා ඉවර කලා.

10 comments:

  1. heheheeeeee!!!! cheerzzzzzzz!!!akka..it always works out for me...wanna change ur mood i hv tonz of tips in stock and all of them deal with food and beverages .. :D

    ReplyDelete
  2. he hee..කියවල බලන්නම වෙයි වගේ!

    ReplyDelete
  3. මේක කියවද්දි මට මතක් වුනේ තිත්ත කෝපි ගැන ජර්මන් ලේඩි කෙනෙක් ලියපු පොතක්...

    ReplyDelete
  4. ත්‍රාවෝ හෙන වසඟකාරීයි නේද :P

    ReplyDelete
  5. හප්පා හරේ ලොක්කා එතනිනුත් වාසියක් අදින්න හදන්නේ.. දැන් ඔය තියෙන තත්වේ හැටියට සමන් සහ සුනේත්‍රා කියන දෙන්නම මම එච්චර ආසා නැති ලියන්නෝ දෙන්නෙක්. ලියන විදිහ නෙමෙයි "මාකට්" කරන දේ. ඒත් එකතුව හොඳ වෙන්න පුලුවන් කියලා හිතුනා. මොකද පරිපූර්ණ දෙහෙක එකතුවක් අසම්පූර්ණ වෙන්න පුලුවන් වගේම, අසම්පූර්ණ දෙහෙක එකතුව පරිපූර්ණ වෙන්නත් පුලුවන්නේ.

    ඒ වගේම මතක් වුනේ ඔය දෙන්නවම ආසාවෙන් කියවන මරේ තුමා, අදත් ඔය දෙන්නගේ පොත් හොයහොයා ගිය හැටි.

    මට මොකුත් කන බොන ගමන්[බත් ඇරෙන්න] පොත් බැලිලි බෑ. ඒවා ලං කරගත්තු ගමන් මුලින් කෑම බීම ඉවර වෙලයි පොත් දිහා බැලෙන්නේ.

    මරු!

    ReplyDelete
  6. bingo- oh no...! thanx my dear! coz realllllly do care about my figure ! :P :-D

    ඉන්දික - අනිවා කියවලාම බලන්න. කියලා හරියන්නේ නෑ.

    මොන්දෝ- මං කියවලා නැති උනාට ඒක සිංහලටත් පරිවර්තනය වෙලා තියනවා අනේ.

    හරේ - මගේ සුනේත්‍රා නම් එහෙම තමයි ඒත් ඉතිං ඔයා කියන ඔය ත්‍රාවෝ නම් වසඟකාරී නෙවෙයි හරිම විනාස කාරීයි බටකොළආච්චියෙක්! මළඇණයක්! මළ හොල්මනක්! ****** හිතට එන අනික් ටික මං මෙතන ලියන්නේ නෑ..!!!!!!!!

    මුචා - මට නොතේ‍රනවායෑ මලේ උඹ ගැන! මංදා අප්පා මට ඔය පොත් වලින් පරිබාහිරව ලේඛකයෝ ගැන වැඩි දැනුමක් නැති වීම ලොකු දෙයක්! මොකෝ ලියපු කෙනා නැතුව පොත විතරක් රස විඳින්න පුළුවන් නිසා.

    හරේ ලොක්කා ඉතිං කොහොමත් බදුල්ලේ ඉන්න සුවච කීකරු අවිහිංසක නිහතමානී කටු ගෑණූ ළමයි ගැන හෙනට කෙයා කරනවානේ! නැත්තං ඉතිං බාගෙට තැම්බිච්ච කැවුම වගේ ඉන්න කෙල්ලෝ ගැන ඔය තරම් කියවන්නේ නැහැනේ!!!

    ReplyDelete
  7. අම්මට උඩු ත්‍රාවෝ කියාපු ගමන් මලියා රේස් වෙලා එකතැන..! (තරහ අවසර!)
    අරින්නෙපා හරේ අයියා මොනවා උනත් අපි ඉන්නවා.
    මොනවා උනත් ත්‍රාවෝ හරි සිරියාවන්ත ලිවිල්ලක් ලියන්නේ.., මමත් උන්දැගේ පොත් වලින් මුලින්ම කියෙව්වේ රිදීතිරාංගනාවි සහ පියෙනි මණ්ඩප ද කොහෙද? මම ආසයි පොතක් කියවනකොට කිලෝ එකේ මික්ස්චර් පැකට් එකක් පොත ඉවර කරන්න. වතුර බිබී බයිට් කකා පොත් කියවත්දී පොත කියවනකොට හිතත් පිරිලා බඩත් පිරිලා..!! අනික අපේ හිත් උඩා ඔය ත්‍රාවෝ අඩිය තියෙන්න හරියටම පටන් ගන්නේ මතක පොත එක හා දෙක කියෙව්වම කියලයි මට හිතෙන්නේ..!

    ReplyDelete
  8. පොත් කියවීම සහ කෝපි බීම අතර ඇති සහ සම්බන්ධය නම් හරිම පුදුමයි. මානසික ඒකාග්‍රතාවය වැඩි වෙනවා කියලා වජිරදේවි අවුරුදු ගණනාවක අත්දැකීම් වලින් දන්නවා.
    සුනේත්‍රා නෝනාගේ පොතක් නම් අයේ එක හුස්මට කියවන්න පුලුවන්..අපි හැමෝගෙම හිත ඇතුලේ 'සමාධි' කෙනෙක් වගේම 'කාලි' කෙනෙකුත් ජීවත් වෙනවා.

    ReplyDelete
  9. අනිවා උණු කෝපි කෝප්පයක් හදාගෙන සැප පුටුවක ගුලිවෙලා පොතක් කියවනවා තරම් දෙයක් තව කොයින්ද?
    ජස්මින් ග්‍රීන් ටී - මාත් හරිම ආසයි. වැඩිය ආස රහට නෙවි සුවඳට. හැබැයි මම ඔය ඒකට කැමති කෙනෙක් ගැන ඇහුවාමයි. යාලුවෝ නෝන්ඩි දාන්නේ මම හඳුන් කූරු බොනවා කියල.

    ReplyDelete
  10. ත්‍රාවෝස්.. ආකර්ශනීය වසඟකාර.. ත්‍රාවෝස්... ඔය් අනික් ත්‍රාවෝනම් හෙන ආකර්ශනීයයි හුරුබුහුටියි..

    ReplyDelete