Tuesday, August 24, 2010

සිංහල සිනමාවට අන්තිම ඇණයක් නොවු "බඹර වළල්ල"

"‍අපි මේ වතාවේ කොහොම හරි බඹර වළල්ල බලන්න ඕනි"
"ඇයි?"
"මන්දා මට හිතුනා.. අනික මියුසික් කරලා තියෙන්නේ කසුන්...."
"එහෙමද?.. හ්ම් එහෙනම් ඉරිදාට වත් සෙට් වෙන්න බලමු."

ඔය විදියට සිද්ධ වුනු කෙටි සූදානමකින් තමයි බඹර වළල්ල චිත්‍රපටිය බලන්න යන්න මට අවස්ථාව ලැබුනේ.. තාප්ප වලට සීමා වෙලා තිබුනු පෝස්ටර් හරහා වැඩි අදහසක් ගන්න බැරි වීමත්.. මේ දිනවල තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක නිදහසේ ෆිල්ම් හෝල් එකකට ගිහින ෆිල්ම් බලන්න ප්ලෑන් නොකෙ‍රුවත් හදිසියෙන් වෙලාව හොයාගෙන බලන්න ගිය නිර්මාණය ගැනයි මේ ලියන්න හදන්නේ.

නිර්මාණයක් ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් වෙන්න ඕනි කියලා තිබුණට ඇත්තෙන්ම මට මේ චිත්‍රපටය හරහා එහෙම දෙයක් දැනුණද කියන එක නම් මට ප්‍රශ්ණයක්.. ‍කථා තේමාව ගැන මගේ පුද්ගලික මතය එතරම් ධනාත්මක නොවුනත් වර්තමානයේ අපි ජීවත් වෙන පරිසරයත් එක්ක සීනී බෝල මාතෘකා ගැන කෙරෙන නිර්මාණ වලට වඩා යාතාර්ථයට ළං වූ හා අකමැත්තෙන් උනත් අප සාකච්ඡාවට ගත යුතු තරමේ මාතෘකා කිහිපයක්ම තම නිර්මාණය හරහා රසිකයා‍ට ළං කිරීමට නිර්මාණ කරුවා උත්සාහ දරා ඇති වගයි මගේ හැගීම නම්...

දුෂ්කර ප්‍රදේශයක.. දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක මරණ දෙකකින් ‍ඇරඹෙන කථාව අතරමැද ගෙවී යන්නේ මල්ශාලා තුල.. මිනී පෙට්ටි.. මල්වඩම්.. මළ සිරුරු හරහා ‍බිහිකෙරෙන පසුතල හරහා කතාව තුල අවිනිශ්චිතභාවය නම් හැගීම තුල අපව නිහඬ කර තබා දමිළ චිත්‍රපට වල අපට නිතර මුණගැහෙන තරුණ වීරයාගේ චරිතය වැනි තවත් කථාවක් අලංකාර දවටනයක ‍ඔතා අපට තිළිණ කර ඇති බවයි පෞද්ගලිකව මගේ හැඟීම. නමුත් මෑතකදි අ‍ප රටේ සිනමාව තුල බිහිකෙරුණු බාල හෝ කොපිකැට් සෙලෝලයිට් පට වලට වඩා බඹර වළල්ල අතිශය සාර්ථක චිත්‍රපටයක් බව නම් සඳහන් කල යුතුමයි.!

සිය ප්‍රථම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂක මෙන්ම ප්‍රධාන චරිතය ලෙසිනුත් අප හමුවට එන අතුල ලියනගේ නම් තරුණ නිර්මාණ කරුවාට... නිර්මාණ හීනතාවයෙන් පෙලෙන සිංහල සිනමාව තුල මේ තරම් දෙයක් කිරීම පිළිබදව ප්‍රේක්ෂකයන් වශයෙන් අප ස්තූති කල යුතුයි.. එසේම කමල් අද්දරාරච්චිලාගේ පරම්පරාවෙන් පසු සිනමාවට අහිමි වී ගිය ජවසම්පන්න පිරිමි චරිතයට නැවත පණ පෙවීමට ඔහු ගත් උත්සහය අගය කල යුතුයි. නමුත් මාගේ පෞද්ගලික අදහස නම් ඔහුට සිය චරිතය තුල තවත් යමක් කල හැකිව තිබිණි යන්නයි.

මීට අමතරව බඹරවළල්ල පුරා අපට මුණ ගැසෙන අප ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මීට වැඩි යමක් චිත්‍රපටයට දිය හැකිව තිබුනා නොවේදැයි සිතෙන්නේ විශේෂයෙන් මනෝ හා ශ්‍රියන්තලාගේ චරිත නිරූපණය 100%ක් නොතිබුනා යැයි දැනෙන බැවිනි. එසේ වූයේ මහේන්ද්‍ර ගේ මැල් මහතාගේ චරිතය හමුවේ සෙසු චරිත ගෝල චරිත කිරීමට ගිය නිසාදෝයි නොදනිමි.

අතරින් පතර පෞද්ගලිකව මා වික්ෂිප්ත කල දර්ශණ කිහිපයක් ඇතුලත් වූවත් සමස්ථයක් ලෙස බඹර වළල්ල පුරා දර්ශණ හැසිරවීම උසස් මට්ටමක තිබිනි.

අවසන් වශයෙන් මට කීමට ඇත්තේ අන්තිම කෙලවරේ එල්ලී සිටින සිංහල සිනමාව තුල අඩුම තරමේ මෙහෙමවත් නිර්මාණයක් ‍කෙරීම වටින බවය..! එතකොට ඉදලා හිටලාවත් සිනමාශාලාවකට ගොස් සිංහල චිත්‍රපටයක් බැලීමට අපේ හිතට නැවත වතාවක ෆිට් එකක් එන බැවිනි..

අතුල ලියනගේ.. අපි ‍ඔබෙන් තවත් බලාපොරොත්තු වන්නෙමු.!

----------------------------------

ඉහත සටහනේ කොතැනකවත් චිත්‍රපට සංගීතය ගැන සටහන් නොතැබුනේ සංගීතය අජූත නිසා නොව මටත් කසුන්ගේ මියුසික් මතක් ‍උනේ ෆිල්ම් එක ඉවර වෙලා අන්තිම නම් ටික යන වෙලාවේ නිසයි. ඉරිදා හවස 2.30 දර්ශණය බලන්න රීගල් එකට ඇවිත් හිටි 75ක විතර සෙනග ටික නැගිටලා යනකම් හැමදාම චිත්‍රපටියෙ අන්තිම නමත් ගිහින් ඉවරවෙනකල් වාඩිවෙලා ෆිල්ම් එක ගැන කතාකරන පුරුද්දට... කෝ මේකේ කසුන්ගේ මියුසික් තියෙන්නේ නම් ටික යන වෙලාවට විතරද කියලා ඇහුනම.. ඇයි අතර මැද දෙතුන් වතාවක තිබුනේ... කියලා උත්තර ලැබුනම.. ආ.. එහෙමද.. කියලා කියවුණා. රූප අතරේ සංගීතය ගැන අවංකවම මට අමතකව ගිහින් තිබුණ නිසයි ඒ.. කොහොම උනත් අන්තිමට ඇහුන මියුසික් පාට් එක නම් ෆිල්ම් එකට තකට තක.

14 comments:

  1. මටත් බලන්න වටින චිත්තරපටියක් කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. මොකද එක එක පැති වලට විකාශනය වෙන්න පුළුවන් නිර්මාණකරුවෙක්ගෙ හැකියාවක් අතුල ලියනගේට තියෙනවා කියල පේනව බඹර වළල්ලෙන්.

    අතරින් පතර පුංචි කෘතිම බවක් නැත්තෙ නෑ. සමහර අවස්ථා වලට දෙබස් ඕන වුණේ නෑ නේද කියලත් හිතෙනවා. ඒ එක්කම සමහර චරිත අත්‍යවශ්‍ය නෑ කියල හිතුණත් චිත්‍රපටියෙ අවසානය පැහැදිලි තැනකට ගේන්න ඒ චරිත උදව් වුණා කියල හිතෙනවා. මොනව වුණත් අතුල ලියනගේ හදල තියෙන්නෙ එයාගෙ චිත්‍රපටිය මිසක් මගේ එක නොවෙන නිසා ඒව ප්‍රශ්ණයක් නෑ.

    මම අපේ නලියට කිව්වා. 'මට ඕක බලන්න හිතුණෙ කසුන් මියුසික් කරල තියෙනවයි කියල තිබුණ නිසා. ඒ වුණාට ඒකෙ මියුසික් කියල දෙයක් තිබුණෙ මුලයි අගයි මැද පොඩ්ඩකයි විතරයි' කියල. පොර එක පාරම කිව්ව. 'අඩේ... එහෙනම් මරු ඇති නේද...' කියල...

    ReplyDelete
  2. චිත්‍රපටය නම් හොඳයි...ඒත් මාධ්‍ය වලින් පුම්බන තරම්ම විශිෂ්ඨයි කියන එකට නම් එකඟ වෙන්ඩ බෑ...

    ReplyDelete
  3. මටනම් තාම බලන්න බැරි උනා . . .කොහොම හරි ආපහු යන්න කලින් මේක බලලා යන්න ඕනෙ. . . ! කසුන් වැඩ කාරයෙක් උනාට තමං ගැන නං අධි තක්සේරුවක් තියාගෙන ඉන්නෙ . . . .

    ReplyDelete
  4. h- ටිකයි උපරිමයි කියලා කතාවක් අහලා ඇති මගේ හිතේ.. ස්තූතියි කමෙන්ට් එකට.

    හේමාලයා-
    අවංකවම මාධ්‍ය මොනවාද කිව්වේ කියලා නම් මට වැඩි අදහසක් නෑ මොකො මම මේ ගැන වැඩිය හෙව්වේ නැති නිසා.

    මම ලිව්වේ මට දැනුන හැටි විතරයි.. කැමති අයට කැමති විදියට රස විදින්න පුළුවනිනෙ? කොහොම උනත් ලකුණු 100ම දෙන්න නම් බෑ තමයි
    80ක් විතර පලුවන් නේද?

    දුමී-
    අපේ රටේ කොල්ලෙක්ගේ වැඩකට සප් එකක් විදියට වත් බලන එක නම් හොදයිනේ.
    මම මෙතන කතා කලේ කසුන් ගැන නෙවෙයි බඹර වළල්ල ගැනයි. හැබැයි කසුන් ගැන කතා කලත් මිනිහා අධි තක්සේරුවෙන් හිතන එකත් මට අවුලක් නෙවෙයි.. මොකො මට වැදගත් මිනිහ‍ගෙ මියුසික් වැඩ මිසක් මිනිහා හිතන විදිය නොවන නිසා.. අනික් අතට අපේ රටේ මෙලෝ වැඩක් නොකරන දේශපාලකයො වගේ අය හිතන් ඉනන හැටි බැළුවම කසුන් වගේ ‍පොරක් තමන් ගැන කොහොම හිතා ගත්තම මොකෝ?

    ReplyDelete
  5. නෝ කමන්ට්ස්... බලන්නම වෙනවා... මයේ හිතේ මේ පැත්තට තාම ඇවිත් නැතුවවත්දෝ මන්දා...

    ReplyDelete
  6. හරවත් ලිපියක්. මේ ෆිල්ම් එක විතරක් නෙමෙයි එදා මෙදා කාලේ ආව කිසිම ෆිල්ම් එකක් මම බලලා නෑ. කොහෙද ඉතින් අනේ අපිත් බලන්න යමුකො කියලාවත් කියන්න කවුරුත් හිටියැයි මට?
    ඒත් ඉඳලා හිටලා හොඳ ෆිල්ම් එකක් අපේ භාශාවෙන් එනවා කියන එක ඇහෙද්දිත් හිතට හරි සතුටක් දැනෙනවා. දකින දකින තැන ඇහෙන ඇහෙන තැන හින්දි ෆිල්ම් ගැන කියද්දි සිංහල ෆිල්ම් එකක් ගැන ලියවෙන එකත් මට නම් ආඩම්බරයක්.

    ReplyDelete
  7. @ kushan - Rex eke thiyenawa kiyala paththare thibuna.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අපරාදේ යන්න කියලා හිටියත් අන්තිම තප්පරේ ගැස්සුන නිසා ඕක බලන්න යන ගමන තාම පෙන්ඩිං. වෙලාවක් හම්බුණාම අනිවා බලන්න ඕනේ..! ඒත් අමුඩේ සිට කලිසමට කියලා කිව්වම මට පොඩි මඥ්ඥං ගතියක් ආවේ නැත්තෙමත් නැහැ.., ඒ කතාව හඳුණානොගනීම මිසක වෙන එකක් නිසා නොවෙයි..! ඉතින් මට නම් හිතෙන්නේ මේ කතාව බලලා ම සවිස්තර කොමෙන්ටුවක් දාන එක ඇඟට ගුණයි කියලයි..!
    ලියමන නම් මරු..!

    ReplyDelete
  10. ලියමන උපරිමයි.
    චිත්‍රපටිය නම් ඉතින් බලන්න වෙන්නේ නැහැ. මටත් කණින් කොනින් ආරංචියි ෆිල්ම් එක හොඳයි කියලා නම්. ඇත්තද බොරුද දන්නේ නැහැ. කෝක නමුත් මෙහෙම වත් සිංහල චිත්‍රපට හැදෙන එක ගැන සතුටුයි.

    ReplyDelete
  11. බලන්නේ නැතුව මුකුත් නොකියා ඉන්නම් ඔත්තුව හින්දා දැන් බොරුවක් කරලා ගිහින් ආවම කමෙන්ටුවක් දාන්නම්...

    ReplyDelete
  12. වෙන වෙලාවක ආයෙ කතා කරමු

    ReplyDelete
  13. මාත් බැලුව නෙව.
    සම්මාන ලැබුනෙ ඇයි කියල හිතාගන්න බෑ.
    සම්මාන උළෙලෙ තිබුනෙ ලංකාවෙ චිත්‍රපටි විතරක් නම් සම්මානෙ ලැබීම සාධාරණයි.

    පෝස්ටර් වල තියෙන තරම් ඇති දෙයක් නැතිවුනත් "චිත්‍රපටිය" මරු.

    කසුන් කල්හාරගෙ සංගීතය නම් ඇහුනෙ නෑ. පෝස්ටරේ නම තියෙන නිසා කසුන් කල්හාරගෙ මියුසික් තමා තියෙන්නෙ කියල හිතාගත්තා.

    ReplyDelete
  14. අන්තර්ජාලයට එකතු උන දවසට තමයි මට නම් බලන්න වෙන්නෙ. ලංකාවට එන්න තව ටික කාලයක් තියෙන්නෙ.ඒ වෙනකම් ෆිල්ම් එක හෝල් වල දිව්වොත් බලත හැකි. හැබැයි ඔය කියන විදිහට ඉක්මනින්ම ෆිල්ම් එක හෝල් වලින් දුවයි වගේ.

    මමත් ආසයි භාෂා මාධ්‍ය මොකක් උනත් ලස්සන ෆිල්ම් වලට.

    ReplyDelete