Friday, March 13, 2009

එපා වීම්


අපි හැමෝටම ජි‍විත වල උවමනා තියනවා.. එපා වීම් තියනවා.. කාලෙකදි ජිවිතයට අත්‍යවශයයි කියලා හිතෙන දේවල් තවත් කාලෙකදි එපා ‍එපා‍ වෙලා යනවා...ආසාවෙන් එකතු කර ගන්න‍ දේවල්.. ඉගන ගන්න ‍දේවල් දැනගන්න දේවල් හැමදේම කාලෙකදි එපා වෙලා යනවා.. සමහර වෙලාවට එපාම එපා‍ කියලා හිතෙන දේවල් ඕනි වෙනවා.. එපා කියලා ගව් ගාණක් ඇතට ගිහින් දාපු දේවල් ආයේ තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා...
කාලෙකදි පටන් ගත්ත දේවල්.. කාලෙකදි හිතපු දේවල්.. කාලෙකදි ඇහුව දේවල්.. ජිවිතේ හැරවුම් ලක්ෂ ඔය වගේ හැම දෙයක්ම මොහොතකට දවසකට දෙකකට සතුටක් උනාට..ටික කාලෙකට පස්සේ එපා වෙලා යනවා.. සාමාන්‍ය දේවල් වෙලා.. පරණ දේවල් බවටම පත් වෙනවා.. සමහර දේවල් දවසින් දවස අළුත් වෙනවා උනාට සමහර දේවල් එක තැන පල් වෙලා පුස් වෙලා එපාම ‍එපා වෙලා යනවා.. ‍
මේ දවස් වල මට දෙන්න තියන හොදම උදාහරණේ තමයි මගේ රස්සාව..‍
මට අද වගේ මතකයි උසස්පෙළ දෙවන වතාවට කරන්නේ නෑ කියලා මම හිතා‍‍ගත්තට පස්සේ මං හෙව්ව මුල්ම දේ රස්සාවක්.. ‍දාපු දෙවනි ඇප්ලිකේෂන් එකේන් ඉන්ටව් ගිහිල්ලා සතියකට පස්සේ දවසක් හවස දෙකට ‍විතර ගෙදරට කෝල් එකක් ඇවිත් සදුදා ඉදන් වැඩට එන්න කිව්වම මට කථා කරගන්න බැරිව කට හඩ වෙව්ලුවා.. (ඒක ජිවිතේ හැම විෂේශ මොහොතකම මට වෙන දෙයක්) ඇස් දෙකට කදුළු පිරුනා.. එහෙමයි මම අවුරුදු 19 දි රස්සාවට ආ‍වේ.. පුංචි කාලේ ඉදන් එක එක රස්සා ගැන හිත හිත ඉදලා අන්තිමේදි මේ රස්සාවට ආවේ ලොකු බලාපොරොත්තුවක් නැතත් මගේ පාඩුවේ සතුටින් ඉන්න ඕනි වුනු හින්දයි. මාත් එක්ක වැඩ කලේ අයේෂා. එයාගේ ඇසිස්ටන්‍ට් විදියට තමයි මම මෙතනට ආවේ. දින සති ගෙවිලා යද්දි.. ‍වැඩට එනවා තරම් සතුටක් තවත් නැති වුනා. ඒ දවස් වල ඔෆිස් එක ආරම්භ උනේ උදේ 9‍ ට. ඒත් අපි 8.15 වෙද්දි ඔෆිස් එකේ. 4.30 ගෙදර යන්න පුළුවන් උනාට 5.30 වෙනකම් වත් මේක අස්සට වෙලා හිටියා.. මොනා හරි වැඩක් නැත්තං කියව කියව හරි හිටියා... කාලය අපි නොදැනම ගෙවිලා ගියා.. ආයතනයේ බොහෝ දේවල් අපිටත් නොතේරිම වෙනස් වුනා.. අයේෂා ‍ගියා.. එයාගේ හිස් තැන මට පුරවන්න උනා.. දැන් අපේ ආයතනයේ අලුත් නීති අනුව වැඩ පටන් ගන්නේ 8.30ට ඒත් මම එන්නේ 9ත් පහුවෙලා.. ආව වෙලේ ඉදන් බලන් ඉන්නේ 4.30 වෙනකම්.
එක්කෝ මම එනකොට තිබ්බ ආයතනය අද නෑ.. නැත්නම් ‍මේ එකාකාරී බව මට එපා‍ වෙලා.. ලොකු වෙනසක් සිද්ධ නොවුනොත් මට මොනා වෙයිද කියන්න මම දන්නේ නැහැ.. මගේ රාජකාරී කාමරය ඇතුලට එන ඕනම කෙනෙක් අහන ප්‍රශ්නේ තමයි තනියම ඉන්න කම්මැලි නැද්ද? මට කියන්න තියෙන්නේ නැහැ ගාණක් නැහැ කියලයි. හේතුව මම තනියම ඉන්න ආසයි.. මට වද දෙන කාරණා වලින් ඇත් වෙලා කට්ට අස්සේ හැංගුන ගොළුබෙල්ලෙක් වගේ ඉන්න මම ආසයි.. ඒත් එකෙන් මට ඇති වැඩකුත් නෑ.. රටට ඇති වැඩකුත් නෑ ගෙදරට ඇති වැඩකුත් නෑ.. මට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා.. බැංකු පොතේ ශේෂය රු.59 ශත 99 පර්ස් එකෙත් සල්ලි සේරම රුපියල් දාහක් වත් නෑ මං හිතන්නේ.. ගෙවල් වලට වෙලා ඉන්න යාළුවෝ ළග ඊට වඩා සල්ලි තියනවා.. ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි නෙවෙයි. මගේ හිත. මට මේ දවස් වල වෙන්නේ මොනාද කියන්න මම ම දන්නේ නැහැ.. එක්කෝ ම‍ගේ මොලේට වෛරස් එකක් ගිහින්.. නැත්නම් මාව කාළකණ්නි කමේ අගාදේට ඇ‍ද වැටෙනවා...!
ආයෙමත් හැම දේම මුළ ඉදන් පටන් ගන්න තියේ නම්..
නැත්නම් හැ‍මදේම අතහැරලා දාලා යන්න තියේ නම්........

මා සොයන නිදහස
මගේ පාඩුවේ මට ඉන්න
මගේ ලෝකයේ තනි වෙන්න
බැදීම් ඇලීම් ගැලීම් තොර
නිදහසේ තනිවෙන්න
ජි‍විතේ කවදාක
හැකිවෙයිද මේ කටු ඉබුලෙන්
ගොඩ වෙන්න‍
ඇ‍ණී ඇණී රිදුම් දෙන
විස කටු පතොක් බාදුරා
නියගලා මරුවැල්
නසා
මොහොතකට
ජිවත් වෙන්න
පමණක්
හැකිවෙයිද
????

මලී
13032009


31 comments:

  1. අම්මෝ දැන්මම තේරුණ එකනම් ලොකු දෙයක්.. මට ඕක තේරි තේරිත් සෑහෙන්න කල් එක තැන පල් වුණා.. මං රස්සාවට ගියේ උසස් පෙළ ලියලා හත්වෙනි දවසේ.. මටත් හරියට 19 වේගෙන ආවා විතරයි.. ඉන් පස්සේ එක තැන පල් වුණා කාලයත් එක්ක.. පස්සේ ඒක දමා ගහලා ඇවිත් ආයෙ කොටුවක් ඇතුළට වෙලා හිරවුණා.. ඒවයෙ ප්‍රතිඵල හරිම භයානකයි.. එක්කෝ ඔයා ආයෙ මොනවා හරි ඉගෙන ගන්න ඔය ගමන්.නැත්නම් වැඩ කරන පිළිවෙල වෙනස් කරලා ධනාත්මකව හිතන්න. කාලයට වයසත් අරන් ඉගිලෙන්න දීලා බලා ඉන්න එපා.. මං තැවෙන වෙලාවල් ‍ගොඩක් තියෙන නිසයි කියන්නේ... කමෙන්ට් එකක් දාන්න ඕන නිසා නෙවෙයි...දැන්මම වෙනස් වෙන්න පටන් ගන්න. නැත්නම් මේ සමාජයට තවත් කලකිරුණු කෙනෙක් එකතු වෙනවා ඇරෙන්න වෙනත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

    ReplyDelete
  2. මම ඊයෙ කියෙවුවා ආරියවංශ රණවීර මහත්මයගෙ "ගසකින් අසමි" කියල කවියක්. ඒකෙ පුද්ගලයෙක් නිසරු බිමක වැඩුනු ගසක් ළගට ගිහින් "ඔබේ ජීවිතේ අරුත් කුමක්ද?" කියල අහනව. ගස දෙන්නෙ මෙහෙම පිළිතුරක්

    "උ‍දේ ඉරු දකින්නට කැමතියි මම
    රාත්‍රිය ගෙනෙන අදුරත් වෙනසක්
    වැස්සත් ඇග දිගේ ගලන විට සනීපයි
    ඉතින් තව ටිකක් කල් ඉන්න ආසයි."

    මේ විදිහට ජීවිතේ විදින්න පුලුවන්නම් කොයි තරම් සනීපද කියල මට එවෙලෙ හිතුන. නමුත් අපේ කාලකණ්නි කමටද මන්ද අපට උදේ දවල් රෑ උනත් වෙනසක් නොවෙයි. වැස්සත් පෑවුවත් සෘතු වෙනස් උනත් සමහර විට අපේ ජීවිත ඇතුළින් විදින්නෙ ඒකාකාරී සෘතුවක්.

    මට නම් එපාම වෙන්නෙ මම ගෙවන්නෙ මහ අපත ජීවිතයක්ය කියල නිතර හිතෙද්දි තමයි. නමුත් මම ආශාවෙන් වළදගෙන ඉන්න ජීවිතයත් ඒකම වෙද්දි මම මුහුණ දෙන්නෙ උභතෝකෝටිකයකට.

    ReplyDelete
  3. මටත් හැමදේම එපා වෙලා ඉන්නේ සේරම තියෙන් මම ජීවත් උනොත් නිසා ජීවිතේ තමා වැඩියම එපා වෙලා තියෙන්නේ. රස්සාවල් නම් දැන් 10ක් විතර එපා උනා එවානම් දමල ගහලා.

    අර සල්ලි කතාවනම් සහතික ඇත්ත මන් දැන් අවුරුදු 4ක් විතර වැඩ කලා ඒත් ඉතිරි කරලා තියෙන ගාන 0.00/=. ගෙදරින් අහනව කෝ හොයපු සල්ලි කියල. දෙයියෝ තමා දන්නේ

    කොච්චර මට එපාවෙලාද කියන්වනම් මේච්චර බොන්න පෙරේත මට දැන් බීමත් එපා වෙලා ඉන්නේ (තූ නොදකින් මම )

    ReplyDelete
  4. ජීවිතය විදින්න මිස විදවන්න නොවේ. දුක තමා එකම සැප මෙලොව විදිය හැකි. එය විදිමු සැපක්යැයි සිතා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මා වටේ ඉන්න මගේ මේ ක්ශේත්‍රයේ වැඩ නොකරන යාළුවෝ සියල්ලෝම ඒකාකාරී බව ගැන කථා බස් කරනවා. නමුත් වාසනාවට මට නම් හැම දාම අලුත්, හැමදාම විවිදයි, අලුත් චැලේන්ජ් එකක්, අලුත් මුහුණු, කථාබස් ප්‍රශ්ණ. හැම දාම වෙනස් ඊයෙට වඩා.ඉතින් එහෙම එකේ මේක ගැන කියන්න නම් තේරෙන්නේ නෑ.එක තැනක ඉඳන් ඉන්නවත් වෙලාවක් නෑති වෙනකොට, මම පසුගිය කාලේ ඔය වගේ ඉඳගෙන කරන ජොබ් එකක් කරන්න ගියේ නැති එක ගැනත්. සාමාන්‍ය අවුරුදු 3 ඩිග්‍රියක් නොකරපු එක ගැනත් පසු තැවුනෝ. බලාගෙන ගියහම, මොකක් කරත් ටික කලකින් වෙන දෙයක් හොඳයි කියලා හිතෙනවා නේද ?

    ReplyDelete
  7. මගේ නං රැකියාවෙ ආයුෂ සතියයි. කොලඹ විගණන ආයතනයක රැකියාවකට මාත් ආවෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. ඒත් ඊට පෙර අවුරුදු 20ක් මම ගෙවපු ජීවිතේ මොනතරම් නිදහස්ද කියල වැටහැන්න දවස් 2-3කට වඩා ගියෙ නෑ. විජේරාමෙ බෝඩිමේ මදුරුවො තලනගමන් මම හිතුවෙත් රැකියාව දාල යනවද කාගෙන ඉන්නවද කියල. එදා රැකියාව අතඇරල ආපහු ගමට ඒම ගැනනං මම අද සංතෝස වෙනව. නැත්තං මටත් මලී වගේම රැකියාව ගැන ජීවිතේ ගැන කලකිරීමක් ඇතිවෙන්න බොහෝම ඉඩ තිබුනා.

    දැන් මම මගේම කියල පොඩි business කෑල්ලක් කරගෙන නිදහසේ ඉන්නව. පොහොසතෙක් නොවුනත් මාත් එක්ක සමකාලීනව රැකියාවට ආපු තාමත් රැකියාව කරන රැකියාවෙන් මට වඩා උසස් සමාජ මට්ටමක් තියෙන මගේ බොහෝ යාලුවන්ට තරම් ආර්ථීක අමාරුකම් මට නෑ.
    ඒවගේම මට රැකියාව කරල මුල්‍යමය අතින් දියුණු වු යාලුවොත් ඉන්නව. නමුත් මගේ සිතුම් අනුව ඒ ජීවිතවල කිසිම නිදහසක් නෑ.

    ReplyDelete
  8. මටත් කාලයක් එපා වෙලා තිබුණේ... ඇත්තටම දැනටත් එක හේතුවත් නිසා එපා වෙලා. ඒත් පහුගිය මෝඩකම් අමතක කරල දවස ගානෙ ජීවිතයට අළුතින් එකතු වෙන අත්දැකීම්, ඒ වගේම අභියෝග ගැන හිතු‍වොත් ඔය එපා වීම නැති වෙයි.

    මගේ ජීවිතේ එකම සතුට දවස ගානෙ අළුතෙන් එකතු වෙන අත්දැකීම් හා අභියෝග. ඒව නැත්තම් මමත් නෑ.

    ReplyDelete
  9. මගෙ කතාවත් මේකට වැඩි වෙනසක් නෑ :( මමත් රස්සාවක් කරන්න ගත්තෙ ආයෙ උසස් පෙළ ඕන නෑ කියල හිතල. කොළඹ ඇවිත් කරන්න ගත්තු රස්සාව මම පුංචි කාලෙ ඉඳන්ම ආස කරපු එකක්. ඒ නිසා මුලදි කොහොමත් ආසාවෙන් කලාට වැඩ කරපු ආයතන වල තිබුණ සීමා ඇතුළෙ මම හිර වුණා. අනික මම උසස් වර්ගයේ කම්මැලියෙක්. ඒ නිසාම මට ලබාගන්න බැරි දේවල් ගැන නොහිත ඉන්නත් ලැබෙන ගානෙන් ජීවත් වෙන්නත් මට පුළුවන්කම තිබුණා. ඒ වුණාට අපේ ගෙදර අයට ඒක මදි වුණා. එයාලම මහන්සි වෙල රජයෙ රැකියාවක් හොයල දීල මාව ආයෙමත් ගෙදරට ගෙන්නගත්ත. දැන් මම රජයෙ ආයතනයක හොරු සමග හොරෙක් නොවී ඉන්න කරන යුද්ධයකට මැදිවෙලා ඉන්නවා.

    ජීවිතේ මම වෙනස් කරගන්නවා. මම වෙනස්වන සුළුයි. වෙනස් කල නොහැකි දේවල් කීපයක් හැරුනම අනිත් සියළු දේ මම වෙනස් කරන්න කැමතියි. එහෙම කරගන්න බැරි වෙන වෙලාවලට මමත් මේ වගේ කුණු කුණු ගානව. ඒත් මම දන්නව මේ හැමදේටම විසඳුම තියෙන්නෙ මං ගාවමයි කියල.

    ඉතිං මලී.. ඔයාගෙ සිත් තැවුලට විසඳුම ඔයා ගාවමයි. ඔයා අවට පරිසරය වෙනස් කරගන්න උත්සාහ කරන්න. :)

    ReplyDelete
  10. රැකියා කරන වැඩිදෙනෙකුගෙ කතාව ඔය වගේම තමයි. ඒත් පොඩ්ඩක් හිතල බැලුවොත් අපිම තමයි අපිට සීමා දාගෙන හිරවෙලා ඉන්නෙ. මටත් ඉස්සර ඔය වගේමයි හිතුනෙ. ඒත් දැන් මගෙ පාසැල් කාලයෙ යාලුවො ටික ඉන්නව. සතියකට දෙකකට සැරයක් කට්ටිය සෙට් වෙනවා (බොන්නම නෙවෙයි) එතකොට හි‍ත්වල තියෙන ප්රෙශ්න සේරම කතා කරනවා. අවුරුද්දකට අනිවාර්යෙන්ම දෙසැරයක් කොහෙ හරි ඇවිදින්න යනවා. පුලුවන් කමක් තිබුනොත් ඊට වැඩියත් යනවා.ඒක නිසා ජීවිතයෙ ඒකාකාරි බව ගොඩක් දුරට මගහැරිල දැන්නම්. ඒ වගේම “සූ” කිව්ව වගේ ආයෙ මොනවා හරි ඉගෙන ගන්න එකත් හොද පිලියමක් ඔය ලෙඩේට. මාත් ඒ දේ කරනව.

    ReplyDelete
  11. හපොයි ඕක විශාදයෙ මූලික රෝග ලක්ෂණයක්.
    ඉක්මනටම බෙහෙත් ගන්න.

    ReplyDelete
  12. අදහස් දක්වපු හිතවත් කමින් උපදෙස් දුන්නු හැමෝටම ස්තූතියි..බලමු නේද මොකෝ වෙන්නේ කියලා.. මගේ ජිවිතෙත් කථාවක් ඇතිනේ.. ඒ කථාව පුළුවන් තරම් සාර්ථකව ලියා ගන්න මම උත්සහ දරන්නම්.. ! :)

    ReplyDelete
  13. මාලියො...ඔක රැකියාවට විතරක් නෙවේ අධ්‍යාපනයට උනත් එක හා සමානයි...අපිට ඕන දෙයක් එකම විදියට කරගෙන යද්දි එපා වෙනව...නමුත් මලී මම හිතන්නෙ මෙතන ගොඩක් අය වෙන්න ඕනෙ දේ කියල තිබ්බ..කරල බලමු...ගොඩයාමක් තියෙයි..මට අපමනව හිතෙනව අ‍පේ හරේ කිව්ව අර ලෝකෙ වැඩිපුරම සතුටෙන් ඉන්න මිනිස්සු පිස්සො කියන එක....සැලෙන්න එපා...ජිවිත කථා වල එක එක පර්ඡ්චේද තියෙනවනෙ..ඉතින් දැහැමින් සෙමින් ඒව පසු කරමු...

    ReplyDelete
  14. ඒකාකාරී බවේ රෝග ලක්ෂණ තමයි ඔය.
    ටික කාලෙකට වෙනස් දෙයකට යොමු වෙන්න. නැත්නමි දවස් කීපයක් නිවාඩු අරන් කැමති තැනක ඇවිදින්න යන්න. එතකොට හ‍රියන්න ඉඩ තියෙනවා. (මම කිව්වෙ මට හිතෙන සහ මම ක‍රන හැටියටයි. සමහරවිට ඒක මලීගෙ ක‍්රමය නොවෙන්නත් පුලුවන්.)
    කොහොම වෙතත් වෙනස් දෙයකට යොමු වුනොත් ඔය තත්වය මග හැරෙයි කියලා හිතනවා.

    ReplyDelete
  15. මමත් ඔයත් එක්ක.

    ReplyDelete
  16. මම දන්නේ නෑනේ හැමෝටම මේ වගේ කියලා... ඒ කියන්නේ අපේ රටේ ක්‍රමේ කොහේ හරි වැරැද්දක් තියෙනවා.මමත් දෙවැනි වර උසස් පෙළ නොකර ජොබ් එකට ආවේ වයස 19දී. ස්ථිර වෙලා Appointment letter එක ගත්තේ මෝඩයගේ දවසේදී (අප්‍රේල් 01). අවුරුදු පහ හමාරක් කොරා කොරා ඉවරයක් නැතුව. හම්බ කරපු දේකුත් නෑ, මිනිස්සුයි දැනුමයි ඇරෙන්න.ටික කාලෙක ඉඳන් මටත් ඔය ඒකාකරී ගතිය දැනෙනවා. කාළෙ වැරැද්ද වෙන්න ඇති. ටිකක් එපා වෙන සුලුයි. මමත් බලන්නේ මගේ දෙයක් කරගන්න. බලමු.
    මලියෝ... සැලෙන්න එපා... අපිට පේනවට වඩා හයියක් අපිට තියෙනවා... වරදින්නේ නෑ... අපිට හරියන පාරක් කොහේ හරි තියෙනවා... ඉක්මනට ඒ පාර හොයා ගන්න...

    ReplyDelete
  17. අනේ මේක තුන්වෙනි දවසෙත් බලලා මොනවා හරි දෙයක් නොලියා යන්න බැරිකමට ලියන්නෙ..අපි දෙන උපදෙස් නම් සෙට්වෙයිද දන්නෙ නෑ...
    හොදම දේ තමයි කාටවත් ලගා විය නොහැකියි කියන විශේෂ අරමුණක් තියා ගැනීම...
    ඔයාට ඕනම නම් කොට්පතියෙක් වෙන්න
    ලංකාවේ ජනාධිපතිවෙන්න
    ලෝකෙ වටේ සවාරියක් යන්න.
    ලෝකේ හොදම කවියෙක් වෙන්න
    විලියම් කුමාරය කසාද බදින්න වගේ..
    තව ඕනම නම් නිවන් යන්න...
    ඒ වගේ ඔයාට කැමති (ඔයාට හොදම දේ තමයි ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගැනීම)අරමුණ හිතේ කොනක තියාගෙන සාමාන්‍ය විධියට එදිනෙදා වැඩකරගෙන යන්නගමන් අරමුණ වෙනුවෙනුත් පොඩි බකප් එකක් දෙන්න..
    හිටිගමන් ජිවිතය ජිවන රටාව එපා වෙනවා නේද? එතොකොටම අර ඔයාගේ අරමුණ ප්‍රධාන එක කරගන්න..ඔයාට හිත් දෙකක් තියනවා නේද?එකෙන් ඔයාට වද දෙන හිතට පොඩ්ඩක් සැරෙන් කුණුහරපයක් දෙකක් කියලා හොදටම බනින්න.අරමුණ වෙනුවෙන් වැඩ කරන්න..තව ඉන හැඩ කරන ව්‍යායාම් මැෂින් එකක් ගෙනල්ලා දහඩිය දමනකම් ව්‍යායාම්කරන්න..සමහර විට අරමුණ වෙත සියයට සියයක් ඔයාට ලන්වෙන්න බැරිවේවි.ඒකට කමක් නැහැ.ඒත් ජිවන රටාව එපා වෙන වෙලාවට ඔයාට කරන්න වැඩක් තියේවි.තව පමණට වඩා ෆිල්ම් බලන්න එපා!!අරමුණ ලගාකරගැනීමට හොදම දේ තමයි තිරෙන් එහා ලෝකය තේරැම්ගැනීම...
    තව ලෝකයේ තනිවෙන්න ඕනම නම් සිගරට් බොන්න පුරැදු වෙන්න..හුගක් වෙලා තනිවෙන්න ඕනම නම් ගංජා බොන්න පුරැදු වෙන්න...
    ඕව තමයි මට දෙන්න තියෙන උපදෙස්. සෙට්වෙයිද දන්නෙ නැහැ.අන්තිම දෙක නම් සෙට්නොවුනට කමක් නැහැ!!
    තව අළුත් සෙරෙප්පු දෙකක් ගන්න..නියගලා බාදුරාවලට මම හිතන්නෙ ග්‍රැමක්සෝන් හොදයි..
    දුක තමයි රංජනී මොනවා කරන්නද? තව අඩන ගමන් හිනා වෙන්න! පුරැදුවෙන්න..උම්බෑබෑබෑ..හික් හික්..බුහාහාහාහා..ඥවි ඥාව්..හිකිස්!!!!

    ආරි...

    ReplyDelete
  18. මට මේක කියෙව්වම ගොඩාක් දේවල් හිතෙනවා...මේකේ ලියන්න ඒවා බරසාර වැඩියි..
    ඔයාට බැරිද මම වගේ (පිස්සෙක් වගේ) හිතන්න පුරුදු වෙන්න.. එතකොට ඕක ඇරිලා යාවි.. මම ලගදිම බ්ලොග් එකක් ලියන්නම්, ඔයා වෙනුවෙන්..
    ඔයාට තේරේවි, ඔයා කොයි තරම් වාසනාවන්තද කියලා...

    ReplyDelete
  19. මටත් ඉතින් ඔය ලෙඩේම තියෙනව.එතකොට එක්කො ගම්,රට බලා ඉගිලිලා යනව.එහෙ එපා වෙන කොට ආපහු මෙහෙ එනව.ඒත් තව අවුරුදු 3ක් අකමැත්තෙන් හරි මෙහෙ ඉන්න වෙලා තියෙනව.

    තව කෙනෙක් කියල තිබ්බ සිගරට් බොන්න කියල තනි වෙන්න ඕන වුනාම.ඒකත් ටිකක් හොද දෙයක්.ඒත් මලී අක්ක කැමති නැතුව ඇතිනෙ.ඇබ්බැහි නොවී ඉදල හිටල කරන එකේ වැරැද්දක් නම් නැහැ.ඒත් මලී අක්ක ඕව කරන්නෙ නැහැනෙ.

    ReplyDelete
  20. ඇයි මල් ගහන්නත් පුලුවන්නෙ.
    මතකනෙ මමත් එක පාරක්.....

    ReplyDelete
  21. @Anonymous,
    ඇයි මචං උඹ බ්ලොග් එක ලියන එක නතර කළේ? මං ආසාවෙන් කියවපු අමුතු බ්ලොග් එකක් ඒක.

    @Charith,
    උඹට පිස්සුද බං? සිගරට් කොහොමද හොඳ වෙන්නේ? වැනිලා සුරුට්ටුවක් පාවිච්චි කරන්න කියපන්.

    @Chanaka,
    'මලී'ට මොන මල්ද?

    ReplyDelete
  22. @ ශාකුන්තල - වැනිලා සුරුට්ටු නම් බීල නැහැ.ඒත් සිගරට් නම් ඉදල හිටල ගන්න එකේ අවුලක් නැහැ.ඒත් දැන් ගාන තමා වැඩි....:(

    ReplyDelete
  23. Well... good post malee.

    But, in my case.. I really like what I am doing !

    May be it's the challenge and the difference that I have to face or take on with each and individual case!

    I of course, get to travel a LOT in my work and spends most of the year walking and learning !

    So, when it comes to work... I have absolutely no issues :) and like what I am doing.

    Yes, I too started work just 3 days after my A/L's ..and worked at many different places till-to-date.

    ReplyDelete
  24. sU-ඔව් ඔව්.. මම මේ වෙනස් වෙන්න හදන්නේ.. ස්තූතියි අක්කේ උපදේසේට.. ගොඩක් වටිනවා.

    nALEEN-මන්දා බෝ මට නම් ඔය විදිය හරියන්නේ නැහැ.. ඒක විදින්න පුළුවන් මානසිකත්වයක් එන මොහොතක් එනවා..ඒත් සුළු මොහොතකට විතරයි.. ඔයා හරි අපි එපා කියලා කිව්වට ආශාවෙන් ‍වැළ‍දගෙන ඉන්නෙත් ඒකමයි.. ඉතිං කොහෙද ගැලවීමක්? තිබ්බත් අපි ගැලවෙයිද?

    mA-මගෙන් සල්ලි ඇහුවම මම පෙන්නන්නේ පොත් ටික. ඔයත් එහෙම කරලා බලන්න..හැබැයි ‍ඔක කන්නද කියලා අහන ප්‍රශ්නෙට උත්තර ලැස්ති කරම්ම පෙන්නන්න.

    gaMpoLayA-එහෙමවත් කරලා බලන්න වෙනවා අප්පා..... හයියෝ..!

    b0-ඔයා වාසනාවන්තයි අක්කේ.. ඔය විදියේ අවස්ථා ලැබෙන්නේ ටික දෙනෙකුට විතරයි.. පේනවානේ මෙතන ලියලා තියන අයගෙනුත් තමන්ගේ වෘත්තිය ගැන ඇත්තටම තෘප්තිමත් කී දෙනාද කියලා

    nIlanTha-ඔයාගේ ජිවිතයට ඉත සිතින් සුභ පැතුම්.. මගේ හීන තවත් දැඩිව සිහින දකින්න ඔයාගේ වචන ලොකු ශක්තියක්!ස්තූතියි..!

    shAkuNtHala-අන්න එහෙම ඒවා මට ලැබෙන්නේ නැති එකයි මට තියන අවුල..ආවත් එන අභියෝග ගැන දන්නවානේ.. ඒවා මට මං යන මාවත මටම එපා කරවන වර්ගයේ ඒවා..

    ECH- මං අවට පරිසරය වෙනස් නොවෙන එකනේ දුක.. බලමු මං හැකි ඉක්මනින් ඒක කරගන්නවා..

    thAraKa-යාළුවෝ... :(( පිරිමි අයට වඩා ගැහැණු ළමයි‍ යාළුවෝ වශයෙන් ඉන්නකොට නිතර මුණගැහෙන එක ලේසි නැහැ.. අනික දැන් මං කාලය පිළිබද යුද්ධයකට මුහුණ දෙමින් ඉන්නේ..

    c.A.m- ඒ කිව්වේ.. අනේ සමාවෙන්න විශාදය ගැන දන්නේ නැහැ..

    MALEE_MSG- ආහ් මේ මම මනේ.. හා හා ලියන්න ලියන්න..

    saMpaTh-ඔව් නේද? හැබැයි සහෝ මගේ රැකියාව හා එහි වටපිටාව අනිත් අයට වඩා ගොඩක් වෙනස්.. ඒක මෙතන කියන්න මට බෑ.ඒක වෙනස් වුනු ගමන් මම මේ තත්වෙන් මිදෙයි.. බලමු බලමු ‍කොහොම හරි ගේමක් දීලා මැරෙමු නැද්ද?

    gaWesHanA-හරියට හරි.. ඒකාකාරීබව.. ඒක තමයි සේරටම මුල.. යන්න ‍විදියක් තමයි නැත්තේ..

    kUsaL-මේ පාරෙන් එන්න.

    K.S.W-ඇත්ත...අපිටත් පවතින්න විදියක් අනිවාර්යෙන්ම ඇති.. අපි වගේ හැමෝටම ඒ ක්‍රම සහ විදි හැකි ඉක්මනින් අවබෝද වේවා!

    Aari - thanx for the advices

    pIssA- අද උදේ මං ඒක දැක්කා.. ස්තූතියි..කොහොමත් මට නම් පිස්සු තමයි.. ඒ පිස්සුවේ එක එක මට්ටම් තමයි මගේ බ්ලොග් ලිපි වෙන්නේ..

    charIth -මම මුලින්ම සිගරට් එකක් කටට ගත්ත දවසේ මගේ හුස්ම හිර වෙලා මම මැරෙන්න ගියේ නැත්තං සහ ලංකාවේ ක‍ඩේකට ගෑණු ළමයෙක් ගිහින් සිගරට් ඉල්ලන එක ඒ ලමයාගේ හිසේ සිට පාදාන්තය දක්වා ගිණිගන්වන බැලුම් නොවැටෙන රටක් වුනා නම් මේක මෙලහට මම සිගරට් වලට ඇබ්බැහි වෙලා ගොඩක් කල්!

    c.A.m- මාත් ආසයි.. වැල්ලවත්තේ කෝවිල පැත්තේ ගිය වෙලාවක මල් මාලයක්ම අරන් ගහන්න ඕනි.. (කොණ්ඩේ)හික් හික්

    shAkunThalA-SH..! owa ahana eka hodaida macho?

    Venila flavor එකට මං හරී ආසයි.. හැබැයි වැනිලා සුරුට්ටු නම් දන්නේ නැහැනේ..:(

    ඇයි ඇයි මොකෑ.. මලීට නැති මල් වෙන කාටද?

    cHariTh- ඒකනේ සිගරට් අරන් දෙනවාද ඇහුවම ගෙවන ගාණට ආතල් එක මදි කියලා ඊයේ රෑ එක්කෙනෙක් බැන්නත් එක්ක. :(

    N-N - Well U must like what u do ne..otherwise what the use of engineering student becoming a law student?
    U might dont knw... but Bcuming a lawyer was in my dreams whn i ws in grade 7n8. nw Im glad @least I hav a lawyer as my budy :p
    Ok boss I got the hint behind ur last sentence. :)

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. @ malee - අනේ මගෙ කරුමෙකටද මන්දා හැමෝටම හැදෙන ඔය හුස්ම හිරවිල්ල මට හැදුනෙ නැහැ.ඒක ගැන මම දැන් දුක් වෙනව.මොනව වුනත් මේක හොද නැති පුරුද්දක්.ඕක මම නැවැත්තුවොත් දැන් මලී අක්කට හැදිල තියෙන ලෙඩේ මට හැදෙයි.කවුරු නරකයි කිව්වත් මට නම් මේක හොද දෙයක් තනිකම නැති කරගන්න.

    ReplyDelete
  27. @charith - මං හිතන්නේ මට ඒ අත්දැකීම ලැබුනේ මං 8 වසරේ විතර ඉන්නකොට.සමහර විට දැන් එහෙම වෙන එකක් නැහැ. කොහෙම වෙතත් මල්ලි.. කවුරු මොනවා කිව්වත් කවුරු වැරදියි කිව්වත් ඔයාගේ හිත කියන දේ අහන්න. ඔයාට ඒක ප්‍රශ්ණයක් නැත්තං අනිත් අය කියන දේවල් ගැන වද වෙන්න එපා

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. තමන්ගේ දෙයක් පටන් ගන්න... මම කැමති දේ පටන් ගන්න මට සම්බන්ධ අය කැමතිද... අපිට ඇත්තටම අපි වෙන්න පුලුවන්ද... හොඳ ප්‍රශ්ණ හැබැයි උත්තර තිබුනත් නැතත්... අපි මේ වැට පනින්නම ඕනි නැත්නම් තවත් පිස්සු හැදෙනවා.....

    ReplyDelete
  30. @මලී-තැන්ක්ස් කියලා විතරක් මදි.හරිනම් ඔය අදහසට මුදල් ගෙවන්නත් ඕන.
    ඕක හෙන සාර්ථක ක්‍රමයක්.ඔය ක්‍රමෙන් ප්‍රතිඵල ගත්ත අය ඉන්නවා දන්නවද.තව ප්‍රතිඵල යාන්තමින් ගනිමින් ඉන්න කෙනෙකුත් ඉන්නවා.

    @ශකුන්තල-මචං මටත් ඔය විශාදය කියන ලෙඩෙයි,හොද නොවන පිස්සුවකුයි,තව ලෙඩ කිහිපයක් තියනවනේ.අනික ඒ බ්ලොග් එක ඒතරම් මට හිතට සෙට් වුනේ නැහැ.අළුතින් එකක් පස්සෙ ලියන්න ගන්නවා.

    ආරි..

    ReplyDelete
  31. In order to play the Cabal, I already forget I spend how much money to buy the cabal alz, in my memory, every time to buy cabal alz, I always want to search sell the cheap cabal alz website, but every time I always failed, so if has someone know the cheapest cabal gold, I hope can told me.

    ReplyDelete