Friday, February 27, 2009

අපි සහ උන්

අපි කැමති උනත් නැතත් අපේ ‍රටේ යුද්ධයක් පවතී... අපේ රටේ ජනමාධ්‍ය වලට පිං සිද්ධ වෙන්න බලෙන් හෝ අපිට යුදධය ගැන දැන ගැනීමේ පූර්ණ අවස්ථාව හිමිව තිබේ... මම යුද්ධය නිවැරදි හෝ වැරදි යැයි නොකියමි. මක්නිසාද යත් ඒ ගැන අදහස් දැක්වීමට ‍මගේ අත්දැකීම් හා යුද්ධය සාධාරණීකරණය කරන දේශප්‍රේමීන් හා යුද්ධය වැරදියි කියන දේශද්‍රෝහීන්ගේ කෙස් පැලෙන තර්ක විතර්ක වලට පිළිතුරු දීමට මගේ දැණුම ප්‍රමාණවත් නොවන බැවිනි... එම නිසා දේශයේ එක් පුරවැසියෙක් ලෙස පමණක් මම මේ ලිපියේදී මගේ අදහස් දක්වමි. මෙය යම් කෙනෙක් කියවන්නේ නම් මුළු ලිපියම කියවා තම අදහස ප්‍රකාශකරන්නේ හෝ නොකරන්නේ නම් මැනවි... කරුණාකර කඩු කිණිසි අමෝරාගෙන මා මර්ධනය කරන්නට ‍නොපැමිණෙන්න...

හම්මි‍යෝ... ‍ලියන විදිය බර වැඩියි ‍ව‍ගේ.. කියවන එක කෙසේ වෙතත් මේ ලියන මට මේක ලියන එක එපා වෙනවා මෙහෙම ගියොත්... සරළම කාරණාව මේකයි.! යුද්ධය හරි හෝ වැරදි වේවා.. අපේ රටේ ටීවී වල හවස 6න් පටන් ගත්තාට පස්සේ රාත්‍රී 10-11 වන තුරු යුද පුවත් වරදින්නේ නැහැනේ. ඇත්තම ඇත්ත කියනවා නම් ඒවා බලන එක මට මහාම එපා කරපු වැඩක්. මොකද යුද්ධ කරන කොල්ලන්ට වඩා ගුණ ගැයෙන්නේ වෙන අය ගැන නේ.. ඒක නිසා ඒ ප්‍රශස්ති අහන් ඉන්නකෙට මට ඔළුව රිදෙන්න ගන්නවා.. හැබැයි ඉතිං මම බලන්න අකමැති උනාට අපේ ගෙදර අනිත් අය හොදට බලන්නවා. 7 ප්‍රවෘත්ති විකාශ දෙකයි 8 විකාශ තුනයි.. ඔය අතර තුර යන විවිධ සාකාච්ඡා.. ඔය හැම දේම අපේ ගෙදර සාලේ මැද්දේ ගලා ගලා යනවා... ඉතිං ගෙදර වැඩ වලට එහේ මෙහේ යද්දි මගේ ඇ‍ඟෙත් ඒවා වදිනවා... මම අහල පහළ නැත්නම් විශේෂ පුවතක් වගේ නම් අඩගහලා ගෙන්නලා හරි පෙන්නනවා.. ඔන්න ඔහොමයි අපේ යුද මානසිකත්වය. මම ඒකත් හරි හෝ වැරදි කියන්නේ නැහැ... ඔය යන පුවත් වල අළුතෙන්ම ඇහෙන දේවල් තමයි කොටි කර්මාන්තශාලා..!!!

ඔය කර්මාන්තශාලා වල හැ‍දුනේ සාමාන්‍ය ජන ජිවිතයට ඕනි කරන දේවල් නොවුනට යුද්ධ වල ඉදිරි පියවරයන් වලට අවශ්‍ය කරන දේවල් කියල තමයි පේන්න තියෙන්නේ. ජාතික හමුදාවක් හැටියට ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය සියළුම උපකරණ උණ්ඩයේ පටන් අනික් ආයුධ විදේශයන්ගෙන් ගෙන්වද්දි කොටි කැලේ ඇතුලේ ක්ලේමෝ හදනවා????

LSC -Lanka Shipping Co- operation එ‍කට‍ තියෙන්නෙම නැව් දෙකයි. - ලංකා මහපොළ, ලංකා මුදිත. ඒ දෙකත් තියෙන්නේ ජපන් රජයෙන් ත්‍යාග වශයෙන් ලැබුණ නිසයි. ඒවා විකුණන්න බැහැ. මම දන්න තරමින් ශ්‍රී ලංකා ජනරජයට සම්මැරීන් නැහැ.. නමුත් ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ප්‍රදේශ වලින් සම්මැරීන් හොයා ගන්නවා.?????

මම නිදහස් දිනය රූපවාහිනියේ නැරඹුවා.. එහි ආචාර පෙළපාලියට යුධ හමුදා වාහන රැසක් ඉදිරිපත් කරලා තිබුනා.. නිවේදක වරුන් බොහෝම අභිමානයෙන් කිව්වා අරහෙන් ගෙනාපු‍වා.. මෙහෙන් ගෙනාපුවා කියලා.. ලංකාවේ හැදුවා කියලා ගියේ එකම එක වාහනයක් විතරයි.. අපි ඒ තත්වෙන් ඉදිද්දි අපිත් එක්ක යුද්ධ කරන ත්‍රස්තයෝ සාමාන්‍යයට වඩා තුන්ගුණයක් දක්වා වැඩි වර්ධනය කරපු අන්ඩර් වෝටර් ස්කූටර් හදනවා..?

කොහොමද මේවා කරන්නේ? ජාත්‍යන්තර පිළිගැනීමත් සමග නිදහස අපේ රටේ ආණ්ඩු වලට තියෙද්දි.. වන්නියේ කැලේ අස්සේ ඉන්න කොටි කොහොමද තාක්ෂණය අතින් ඉදිරියට ගියේ?

කාට හරි කියන්න පුළුවන් උන්ට ප්‍රශ්ණ තිබුනේ නැහැ.. මිනිස්සු ගැන බැලුවේ නෑ කියලා.. ඇත්ත ... නමුත් කොහෙන්ද තාක්ෂණය?

මට මතක් වෙනවා ඉන්ද්‍රනාම සහෝ‍ ගේ චීන දුරකථන ගැන ලිපියට රයිගමයා කිව්ව දෙයක්.. ඇයි ජපන් කොලිටියට බැරි නම් චීන කොලිටියට හරි අපේ රටේදි හදන්න බැරි කියලා..

වෙළද පොලේ පුංචි සවාරියක් ගියොත් 95%කට වැඩියෙන් තියෙන්නේ විදේශීය නිෂ්පාදන. ඇල්පෙනිත්ත.. හැට්ට කට්ට.. ස්ටේප්ලර් කට්ටෙන් පටන් ගත්තම තව එහේ මෙහේ කොහේ බැලුවත් පෙන්නේ විදේශීය නිෂ්පාදන. මම දන්න තරමින් ඒ කිසිම දෙයක් අපිට නිකං ලැබෙන්නේ නැහැ.. හැමදේටම අපේ සල්ලි පිටරට යනවා.. කොතනද වැරැද්ද? එක තැනකට ඇඟිල්ල දික් කරන්න බෑ මම හිතන්නේ.. අපේ රටේ ජනාධිපති වරුන්ගෙන් පටන් අරන් පැවතුණු හැම ආණ්ඩුවක් මයි..මැති ඇමති වරුයි.. විපක්ෂයි.. පොදු ජනතාව වන අපියි.. හැමෝම මේකට වග කියන්න ඕනි... නැද්ද?

33 comments:

  1. කවුද මේවට වග කියන්න ඕනේ
    අපි නෙමෙයිද?
    මන් දන්නේ නැහැ.....

    ReplyDelete

  2. මලී නඟා කියන කතාව සම්පූර්ණ ඇත්ත.
    $ වටින කතාවක්.
    මේක ගැන හොයල බලන්න කොමිසමක් පත් කරන්න ඕනෙ.

    ReplyDelete
  3. කන්ට අදින්ටා පිට රටින් එනතුරු
    මූදට දත නියවන්නා.....

    ReplyDelete
  4. සහතික ඇත්ත. මටත් ඕකම හිතුනා.

    අපේ රට මහ පුදුම රටක්. ඔයාලා කියපු කාරනේට මම තව දෙකක් කියන්නම්.

    අපේ රටේ සල්ලි අච්චු ගහන්නෙ පිටරට කොම්පැනියක්. ගෙදර ඉදන් සල්ලි ගහන උන් අල්ලල හිරේ නොදා ආන්ඩුවේ ප්‍රෙස් එකට දැම්මනම් අපෙ සල්ලි අපිම අච්චු ගහනවා.

    අනෙක ආයුද හදන එවුන් ! උන්ටත් කර්මාන්ත ශාලාවක් දාල දුන්නනම් ඒ වැඩෙත් හරි !!

    ඇත්තට අපේ රටේ කොච්චර දක්ෂ උන් නිකන් ඉන්නවද ? උතුරේ උනත් ඉන්නෙ ඒ අපේම සහෝදරයෝ නේද ??

    ReplyDelete
  5. මලී අක්ක බලල තියෙනවද "Catch me if you can" කියල ෆිල්ම් එකක්.ඒකෙ තියෙන්නෙ හොරෙන් බැංකු චෙක් හදන කොල්ලෙක් ගැන.ඒත් අන්තිමට ඇමෙරිකාවෙ ආණ්ඩුව ඒ කොල්ලව FBI එකට බදව අරන් හොර සල්ලි ගහන අයව අල්ලන්න යොදා ගන්නව.

    අපේ රටේ ඕන තරම් දක්ෂ අය ඉන්නව.වෙලා තියෙන්නෙ එක්කො ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ තමන් මොනවටද දක්ෂ කියල.නැත්නම් මොකෙක් හරි ඒ මනුස්සයට ඉස්සරහට එන්න බැරි වෙන්න කකුලෙන් අදිනව.

    මම නම් ඔය මොකුත් යුධ ප්‍රවෘත්ති අහන්නෙ නම් නැහැ.එක එකාට කියන ප්‍රශස්ති ගායනා ඇහෙන කොට මගෙ ඔලුව රිදෙනව.ගෙදර රූපවාහිනිය කවුරුවත් දාන්නෙත් නැති නිසා මට නම් මලී අක්කට වගේ කරදරයක් නැහැ.

    ReplyDelete
  6. අම්මේ අම්මේ, බලන්නකො මේ අපේ මලී අක්ක මම හිත හිත හිටපුවා ලියලානේ කලින්ම. (විහිළුවට හොඳේ, කමක් නෑ එකට මට වඩා හොඳට ලියලානේ(ඇබ්නොමල් හිතක්නේ අක්කි නම්.) ඇත්තමයි, ඔහොම යං යං, ලියපු විදි දෙකෙම වැරද්දක් නෑ, මසුරන් වටින කතාව! තවත් මේ වගේ එව්ව ලියන්නකෝ! H,චරිත් අයියා සහ ලිව්ව එව්වත් වටිනවා. මේක හින්දා මට සවියක් දැනුනා වගේ, අපේ අතරේත් මොලේ තියෙන ඇත්තෝ ඉන්නවා නොවැ! ඔලුවේ තව කෑලි කැරකෙනවා, ඔන්න හිතලා මතලා මාත් ලියන්න ඕනෑ, අක්කේ ස්තුතියි!

    ReplyDelete
  7. අත්තැක්ටරේ හැදුවේ ලංකාවේ මනුස්සයෙක්

    අන්තිමට ලංකාවට අත්ටැක්ටර් පිටරටින් ගේනවා.

    පොටෝ කොපි යනත්‍රවලට ඩුප්ලෙක්ස් හොයාගත්තේ ලංකාවේ කෙනෙක්. එයාට අතේ ඇගිලිගානටත් එහා පෙටන්ට්‍ තියෙනවා.

    එත් ලංකාවේ හදනවද එම භාණ්ඩ?

    OLPC එකට තරඟ කරන්න ඉංදියාවෙත් ගැහුවා පොඩි ලැප්ටොක් එකක්.. අපි කරන්නේ පිටින් නයට ගෙනත් ලොකුවට පෙන්වනවා.

    ඉංදියාවේ ගුවන්තොටුපොලවල බඩු අදින්න ගන්නේ ඒ රටේම හදන මහින්ද්‍රා ටැක්ටර්.. එත් ලංකාවේ ලොකු ගානක් දීලා ඉස්තරම් වාහන ;-)
    අපි අනවශ්‍ය දේට අනවශ්‍ය විදියට වියදම් කරනවා.

    ReplyDelete
  8. ඇයි තව එකක්! අපේ මයික්‍රො කාර් කොම්පැණිය කිව්ව නේද? පහසුකම් දෙනවා නම් කොච්චි හදන්නම් කියලා? කෝ මොකද්ද වුනේ? ගෙනාවා ගැලපෙන්නේ නැති පෙට්ටි, ඊට පස්සෙ තව ඕනේ නෑ නේද අටුවා ටීකා? අනික අපි මහා ලොකුවට වහන ගන්න එකේ ලංකාවේ සම්බන්ධයක් තියෙන කාර් ගන්නවයැ? අපිට තියෙන්නෙ බුහු දේශමානිකම (අපි කිව්වේ හැමොම නෙමේ ඔන්න යාළුවනි.)

    ReplyDelete
  9. ඇත්තට මලී නගා මොකදෑ මේ වෙලා තියෙන්නෙ?
    කතාවට කටේ මසුරන් දාන්න වටිනවා

    ReplyDelete
  10. කොහොමත් අපි දැන් ලෑස්ති වෙමු 2009 වෙද්දි අසල් වැසි ඉන්දියාවේ යටත් විඡිතයක් වෙන්න!!

    ReplyDelete
  11. @ චින්තක - ඉන්දියාවේ යටත් විජිතයක් කරගැනීම උදෙසා සංස්කෘතික පසුබිම මේ වන විට සියළු රූපවාහිනී චැනල් මගින් සකසමින් පවතිනවා නේද?

    ReplyDelete
  12. මලීගෙ අදහසේ හරය ගැනනං කිසිම තර්කයක් නෑ. ලංකාවෙ මිනිස්සු(මාත් ඇතුලුව) වඩා කැමති පිටරට දේ සඳහා. වැඩිපුරම බටහිර දේවල් වලට. ඒ මං හිතන්නෙ යටත්විජිත කාලේ විශේෂයෙන්ම එංගලන්ත පාලන කාලයේ ලංකාවට ගෙන්නුවෙම එංගලන්ත නිශ්පාදන. ඒකාලෙ ඒවයෙ තිබුනු ගුණාත්මක භාවය නිසාම අදටත් අපි English බඩු කිව්වහම වැඩි මිලකට ඒව මිලට ගන්නව. ලංකාව, ඉංදියාව, එංගලන්තය යන රටවල් තුනෙන් නිපදවු එක් භාන්ඩයක් ගත්තොත් අපි පලමුව එංගලන්ත නිශ්පාදනයත්, ඒක බැරිනම් ඉන්දියන් එකත්, බැරිමනං ලංකාවෙ එකත් තේරීම තමා අනුපිලිවෙල. ලංකාවෙ බොහෝ නිශ්පාදකයො බාල භාන්ඩ නිපදවා පාරිභෝගිකයන් මුලා කිරීම සහ ඒ ගැන සැකය සෑම විටම අප තුල තිබීම තමා මම හිතන විදිහට අපි විදෙස් භාන්ඩ වලට යොමුවීමට හේතුව. ඉතින් විදේශීය භාන්ඩ වලට වැඩි ඉල්ලුමක් ඇතිවිම නිසා වෙලෙන්දො පිටරටවල් වල බඩු වැඩිපුර කඩවල් වල පුරවන්නෙ.

    ඔබගේ සටහනේ මා නොපිලිගන්නා කොටස නම් කොටි ත්‍රස්තන්ගේ (යුධ අවි)නිශ්පාදන හැකියාව ඇගයීමයි. මෙම හැකියාව ඔවුන් උපතින් ගෙනආවා විය නොහැක. එය යම් විදේශයකින් ලැබුනු සුනාමි මානුශීය ආධාරයක් හෝ සටන්-විරාම ආධාරයක් හෝ විය යුතුය. කණගාටුවට කරුණ නම් මෙසේ LTTE යට හොර රහසේ මෙකී තාක්ෂනය ලබා දෙන විදේශ රටවල් කිසිවිටකත් ලංකා රජයට එම තාක්ෂනය ලබා නොදීමයි, අඩුම ගනනේ ලංකා ආන්ඩුවට එක පතරොමක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කිරීමයි, එසේ ආධාර කරන රටවල් වලටද ලංකා ආන්ඩුවට ආධාර නොකරන ලෙස බලකිරීමයි.

    එච්චර ඕනි නෑ. මහා අමානුෂික අන්දමට මිනිසුන් ඝාතනය කරමින්, ලංකාවෙ සහ ඉංදියාවෙ රාජ්‍ය නායකයන් දෙදෙනා ඇතුලුව ලොව සුපතල බුද්ධිමතුන් සිය ගනනක් මරාදමමින් මේ රටෙන් භාගයක් අල්ලනකං බොහොම උදාසීනව බලාහිටපු මෙකී රටවල්, මේ රාජ්‍ය විරෝධී, මනුශ්‍ය ඝාතකයාව අල්ලන්න හදනකොට මොනතරම් සක්‍රීය කටයුතු කරනවද ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන්.

    වන්නියෙන් හමුවු බොහෝ අධිතාක්ෂනික නිශ්පාදන හා ඒවා නිපදවීමට යොදාගත් යන්ත්‍ර-සූත්‍රද තනිකරම විදේශයන්ගෙන් ගෙන්වා ඇතිබව මදක් සොයා බැලුවහොත් ඔබට දැනගත හැක. එකී නිශ්පාදන අයිතිය ඇති රටවල් අවසරය සහ අදාල තාක්ශණික ඥාණය දුනහොත් කොටින්ට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ටද එම නිශ්පාදන කල හැකි බවට තර්කයක් නැත. එම තාක්ෂණය කොටි ත්‍රස්තයන් යම් රටකින් හොරකම්කර ඇත්නම් එම ආකාරයෙන්ම අපටද අන්සතු තාක්ෂණයක් හොරෙන් භාවිතාකල නොහැකි ඇයිදැයි බොහෝ දැනුම් තේරුම් ඇති අපගේ බ්ලොග් කරුවන් තර්ක නොකරනු ඇතැයි මම සිතමි.
    ගුවන් යානා හෝ සබ්මැරීන් හෝ Water Scooter හෝ, එකී නිශ්පාදනයේ යාන්ත්‍රික කොටස්ද, එකලස් කිරීමේ උපදෙස් පත්‍රිකා ඇතිපදංද, අවශ්‍ය සියලු අමුද්‍රව්‍යද, එම අමුද්‍රව්‍ය අවශ්‍ය පරිදි සැකසීමට සියලුම යන්ත්‍රෝපකරනද, ඒත් මදිනම් අවශ්‍ය විශේෂඥ සහයද සියල්ලම ඇත්නම් එම නිශ්පාදනයන් කිරීම කොහෙත්ම අරුමයක් නොවේ. ඔබේ වචනවලින්ම කියතොත් "ජාත්‍යන්තර පිළිගැනීමත් සමග නිදහස අපේ රටේ ආණ්ඩු වලට තියෙද්දිත් වන්නියේ කැලේ අස්සේ ඉන්න කොටින්ට අධිතාක්ෂනය ලැබුනෙ ඔහොමයි.

    මලීගේ අදහසට බිංකු එකසිතින් එකඟවීම මට ගැටලුවක් නොවේ. බිංකුගේ දර්ශනයට එය ගැලපේ. බිංකු ගැන මගේ අදහස මෙසේ ප්‍රකාශකිරීම ගැන බිංකු උරණ නොවෙතැයි සිතමි. නමුත් ඥාණවන්ත මකර අධිරාජ්‍යයාද ලිස්සා යෑමේ න්‍යාය අනුගමනය කිරීම තමා මට හිතාගන්න බැරි. මලීගෙ අදහසට විරුද්ධව මත ප්‍රකාශකිරීම නිසා මලී මා සම්බන්ධයෙන් උරණ නොවනු ඇතැයිද බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  13. අම්මියෝ..ලිව්වා වගේ නෙවෙයි... දීපල්ලකෝ දැන් මේවට උත්තර එහෙනම් මෙන්න දෙනවා මුල ඉදන්!හික් හික්!!!

    ම - අඩු වැඩි වශයෙන් අපිම තමයි මචෝ..!

    මක.සජතුමා- මට නම් සල්ලි එපා.. කොමිසමුත් එපා..එව්වා තිබ්බට වැඩක් වෙන්නෙ නැහැනේ..

    සුසි- කොලොම් තොටින් නැව් නැංගා අපේ රටේ මනුස්ස කම
    කොළොම් තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට...!

    හ- වැරදි අරමුණක සටන් වදින ප්‍රභාකරන් ත්‍රස්තයෙක් වුනාට. නායකයෙක් වශයෙන් ඔහු අපේ රටේ සියළුම නායකයන්ට ව‍ඩා දකෂයි කියලා මම හිතනවා.. අනේ ඒ මනුස්සයට මොලේ කියලා කදුලක් තිබ්බා නම් අපේ රටට යාපනය නියෝජනය කරන කොච්චර හොද නායකයෙක් වෙන්න තිබ්බද?

    අනේ කථා කරන්න දෙයක් නෑ නෙවෙයි අප්පා.. අපි මේවා ඔළුව බිම තියන් කිව්වත් වැඩක් නෑ..රටේ පරිපාලන තීරණ ගන්න අය හරියට තීරණ ගන්නේ නැතුව

    එල්.එස් - ඇත්ත.. ඔය කොයි රටට ටත් වඩා හොද බුද්ධියක් හා ශ්‍රම ශක්තියක් තියන මිනිස්සු අපේ රටේ ඉන්නවා.. අහේතුවකට වගේ ඒ අයගෙන් ප්‍රයෝජන අරගෙන තියෙන්නේ වෙන රට වල අය.

    චරිත්- මම ඕක බලන්න සෑහෙන්න කාලෙක ඉදන් හිත හිත ඉන්නවා. තාම බැරි උනා මල්ලි.

    ඇයි තව හේතු තියනවා.. ලොකු පුටු වල අයට කුට්ටිය දෙන්න බැරි උනොත් අපේ රටේ වැඩ කරනවා බොරු.
    අළුත් දේවල් හදන්න මහන්සි වෙන අයගෙන් සමහර අයට අපේ රටේ උරුම වෙන්නේ හතර වෙනි තට්ටුව එහෙම නැත්තං මහ උළු ගෙදර.. එහේ ඉදන් කැමති දෙයක් කරතැහැකි..

    බිංකුවො - ලියපන් මල්ලියේ ලියපන්.. සමහර විට අපිට රට වෙනුවෙන් කරන්න පුළුවන් එච්චර වෙන්න පුළුවනි.! ගල් මුල් දෙකම භාරගන්න ලෑස්ති නම් හිතෙන ඕනම දෙයක් ලියන්න!

    ඩනිෂ්ක - එහෙම කථා කරද්දි තව කොයි තරම් නම් දේවල් තියනවාද කථා කරන්න.ලෝකෙට රසම තේ වවන අපේ රටටත් පිට රටින් තේ කොළ ගෙන්නද්දි තව මොන කථාද? මූද රට වටේම තියා‍‍‍ගෙන උම්බලකඩ/ මාළු/සැමන්/ ලුණු පවා අපි රටින් ගෙන්නවා.. අනේ ඉතිං.. ‍තව මොන කථාද ?

    බිංකු - නෑ නෑ.. රට ‍එච්චා හොදයි ලුනේ..ඒවා ගැන හොයා බලන්න අමාත්‍යංශ නිළධාරීන්ට පිටරට යන්න නොමිලේම ලැබෙන සංචාරය නැති වෙනවා බං ලංකාවේ එව්වා ගනිද්දි.. තේරෙන්නේ නැද්දො...!

    කූඹිටික්කා - මටත් හිතා ගන්න බෑ වගේ අප්පා..මසුරන් ‍එපා හොද චොකෝ එකක් වගේ නම් හොදා.. හික් හික්

    චින්තක - අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නැද්ද මන්දා..කොහොමත් දැනටම එහෙමයි වගේනේ..

    කසුන්- තෑන්ක්ස්

    එච් -ආ.. බොරු කියන්න එපා..! ;)

    කුසල් - හ්ම්ම්... ස්තූතියි

    මතු සබැදි....

    ReplyDelete
  14. @ නිලන්ත - හික් හික් ඔයා බින්කුට කියපු එක ඔයාටත් එලෙසින්ම අදාලයි නේද සහෝ. ‍මට මේ ගැන ‍තර්ක කරන්න ඕන නෑ. මොකද මේ ගැන තර්ක කරල ඇති පලක් නෑ. බ්ලොග් සටහනක් තුලින් පොඩ්ඩක් අවුස්සන්න විතරයි පුළුවන්. ඒ ගැන තර්ක කලා කියල ලෝකෙ වෙනස් කරන්න බෑ.

    මම නම් හිතන්නෙ නෑ වෙන රටවල් එහෙම තාක්ෂණය හංගනව කියල. යුධ තාක්ෂණය, අවි සහ ගුවන් යානා තාක්ෂණය අපේ යුධ ඇකඩමි වලත් උගන්වනවා නේද. අනික පොත්පත් කියන්නෙ ප්‍රසිද්ධියෙ පල වෙන ඒවානේ. ඕන කෙනෙක්ට අරන් කියවන්න පුළුවන්. අනික ආධාර ලබාගන්න ප්‍රභාකරන්ට තියෙන හැකියාව එයාගෙ දක්ෂකම නෙවෙයිද? බොරු කරල හරි. මෙතුවක් කල් ලංකාවෙ දකුණෙ නායකයො අපිට බොරු කර කර වෙන රටවල් එක්ක ඇත්ත ගනු දෙනුවක්ද කලේ?

    ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියන එක ගැන මට විරෝධයක් නෑ. මම කියන්නෙ ඔහු හරියට වැඩ කරන නායකයෙක් කියලයි. අහේතුවට ඔහු ගියේ වැරදි පාරක. අනික තාක්ෂණය තිබුණත් දකුණේ අය නම් කිසිම දෙයක් කරන එකක් නෑ. මහා පරිමාණයෙන් ව්‍යාපෘති පටන් අරන් පරම්පරා ගණන් ගොඩයන්න හොඳට ගසා කයි. ඔයාමත් ඔයාගෙ පිලිතුරේ මුල් කොටසේ ඒක කියල තියෙනවනේ. අපේ රටේ භාණ්ඩ වල තත්ත්වය ගැන.

    කිසිම තරහක් නම් නෑ :) කතා කරන්නයි ඕන. අනික මම පැහැදිලිව කියන්න ඕන මම මෙතනදි එක පක්ෂෙකටවත් දේශපාලනේටවත් ත්‍රස්තවාදෙටවත් පක්ෂව නෙවෙයි කතා කලේ. බොහොම නිදහස්ව මට හිතෙන දේ කිව්වේ. ඒක ත්‍රස්තවාදය අගය කිරීමක් කියලා වරදවා වටහාගන්න එපා. මොන විධියකින්වත් මම හිංසාවට කැමති නෑ. ඒක දෙමල සිංහල හැමෝටම පොදුයි.

    ReplyDelete
  15. නිලන්ත අයියේ, ඔබත් එක්ක තරහ විමට මගේ හේතුවක් නැත. මන්ද අදහස් දැරිමේ ස්වාධිනභාවය සැමට තියෙන බැවිනි. එය BF වේවා කසාපබ්බ්ත වේවා එක සමානය, එහි ඇතැම් විටෙක හෝ කියන හරවත් වැදගත් තොරතුරු ගත යුත්තේය. ඔබ කියන දේවල් වලද සැබෑ සත්‍යක් තිබෙන මුත් මම එකඟ නොවෙන කරුණුද ඇත. සෑම දෙනෙකුටම මැදිහත් සිතින් බලන්නේ නම් ඔබට තෙරුම් ගැනීමට හැකි වනු ඇත. මම සිංහලයන්ද හමුදාවද දෙමලයන්ද කොටින්ද ඇසුරු කර ඇත්තෙමි. ඔබ කියන ආකරයට විදේශිකයන් මෙන්ම ජාත්‍යත්තරය තාක්ශණය නිපදවා ඇත්තේ කොටින්ටත් ත්‍රස්තවාදින්ටත් පාවිච්චි කරන්නට විය යුතුය. එහෙනම් ඇමෙරිකාවට ගහපු ගුවන් යානය පැදවු මුස්ලිම් රියදුරාට කවුද දන්නේ නෑ කියලා දුන්නෙ? (ඔහු පුරුදු වෙලා තිබුණේත් එක්තරා ප්‍රකට පරිගණක සමාගමක ගේම් එකක්.)කොටින්ට මෙව්ව හම්බ වුනා කිඅල කියමුකො, නිකං හම්බ වෙන්නේ නැහැනේ, එකට කට්ටක් හෝ කරන්න ඔනේ නේ පිටරට උන් රවටන්න. කෝ අපේ ඇත්තොට එකට හරි හැටි ක්‍රමයක් නෑ නොවැ, එත් යුද්ධයේ නාමයෙන් ණය ගන්නත් ණය ගෙවන්නට ණය ගන්නව යැයි විකාරයන් නම් කරන්න පුළුවන්. අපේ මිනිස්සුට අනෙක් මින්ස්සුට සේම ඉගෙන ගන්නටත් හැකියවක් තියෙනවා ඔනේ තැනක, ඒ බව කියන්නේ ලංකාවේ මෙන්ම බටහිරයද දැක ඇති නිසාවෙනි. ඔවුන්ගේ හොඳ වැඩ මෙන්ම බලු වැඩත් දැක ඇති නිසාවෙනි. අපේ අතිතය ගැන මගේ මව මෙන්ම දෙමලාද මට කියා ඇති බැවිනි. අපිට මෙවැන්නක් කරන්නට බැරිකමක් නැත, නමුත් සුද්දා (සුනාමියේදි හෝ,) අපිට අතටම දෙනතුරු කට හැර බලන් සිටින නිසාවෙනි.කොටි කියන්නෙ අපි වගෙම මිනිස්සු මිසක් වෙන ජාතියක් නොවේ, අපිත් මිනිස්සු වුවත් අපිට මෙවැන්නක් කරන්නට බැරි වෙලා තියෙන්නේ මන්ද? අපි කැලෑවේ නොසිටියත් අපිට අඩුම තරමේ තියෙනවද බටහිරෙන් උදව් හා අධාර ගන්නට හරි වැඩපිලිවෙලක් බැන බැන ඉන්නවාට වඩා?. ටිකකට වර්තමානයෙත් විස්වාසයක් තැබිය නො හැකි අනාගතයේත් නොසිට අතීතයේත් දැනුත් අපිට වැරදුණු තැන් සිතා බලනු මැනැවි.අනික, අපි කල යුත්තේ අදුරට බැන බැන අතේ ගිනි පෙට්ටියේ ගිනිකුරු පත්තු කර කර අහසේ තරු දිහා බල බල ඇවිද යනවාට වඩා ගිනිමැලයක් දල්වා ගැනිමයි.

    ReplyDelete
  16. @ නිලන්‍ත
    " නමුත් ඥාණවන්ත මකර අධිරාජ්‍යයාද ලිස්සා යෑමේ න්‍යාය අනුගමනය කිරීම තමා මට හිතාගන්න බැරි."
    -------------------

    ලිස්සල යන්නෙ ආඳොනෙ.
    මකරු කවද්ද ලිස්සල ගියේ.
    මකරු පියාඹලනම් යනවා.
    --------------------

    හා ඉතින් ඥාණවන්ත කියපු හින්දා මොකුත් නොකියත් බැහැනෙ. කොටි ත්‍රස්තවාදීන්ව අමතක කරමුකො. ඒ වුනත් මේ යුද්ධෙ හින්දා බැටකාපු උතුරේ සහ නැගෙනහිර ජනතාව අවම
    යටතේ විශ්වකර්ම වැඩ කරල තියෙනවා කියල මම අහල තියෙනවා. එක උදාහරණයක් කියන්නම්කො.

    ඉන්ධන වලට සම්බාධක පනවල තිබ්බ නිසා යාපනේ පෙට්‍රල් ලීටරයල් රුපියල් දාහකට වැඩි කාලයක් තිබ්බා (ඒ කාලෙ දකුණේ පෙට්‍රල් ලීටරයල් රුපියල් 50 ක් ඇති මම හිතන්නේ ).
    පෙට්‍රල් රත්තරන් වලටත් වඩා වටින ඒ කාලෙ
    යාපනේ අය (සාමන්‍ය මිනිස්සු , ත්‍රස්තවාදියො නෙවෙයි ) හොයාගෙන තිබ්බලු එක පෙට්‍රල් බින්දුවකින් වාහනේ ස්ටාර්ට් කරලා ඊට පස්සෙ වාහනේ ඕඩිකොලොම් වලින් දුවවන ක්‍රමයක්.
    ඔය වගේ තව ගොඩාක් දේවල් පත්තර වල සහ සඟරාවල මම කියවල තියෙනවා.

    මේ දේවල් වලින් පෙනෙන්නෙ දුෂ්කර අවස්තා වලදි මිනිස්සු මොන ක්‍රමෙන් හරි තමන්ගෙ අවශ්‍යතා ඉටු කරගන්න නිර්මාණශීලී දේවල් හොයා ගන්නවා. හැම දෙයක්ම රෙඩ් මේඩ් හම්බ වෙනවනම් අලුත් දේවල් හදන්න මහන්සි වෙන්නෙ නැහැ.

    ජපන්නු රයිස් කුකර් එක හදපු කතාව හොයල කියවන්නකො.


    "අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී "

    ReplyDelete
  17. මමත් අද පොස්ට් එක බෑලුවා.හෑබෑයි නගේ යුද පුවත් වාර්තා කිරිමෙදි මට දෑනෙන විදියටනම් එකෙදි අපේ නාලිකා අබිමානයෙන් වාර්තා කරන්නේ හමුදාවේ විජයග්‍රහන.ස්වර්නවාහිනියේ අවසන් සටන, ජාතික රූපවාහිනියේ වන්නි මෙහෙයුම,දෙරන. මේ එකකදිවත් හමුදාව ගෑන නොකියා දෙශපාලකයින්ව වර්නනා කරන්නේ නෑ.ඔයා කිව්ව සමහර දෙවල් ඈත්ත.අපි කවුරුවත්ම යුද්ද කරනවට කෑමති නෑ.නමුත් ගහද්දි වදින මනුස්සයත් මොඩයෙක් කියලා ඔයා අහලා ඈති.එකො යුද්දෙ,ආයිත් සාකච්චා, ඊට පස්සේ ආයිත් යුද්දේ.මේ විදියට අවුරුදු නම් කියක් ගෙවුනාද,මේ ත්‍රස්ත වාදියො අපේ මල් වගේ කුඩා දරුවො අහින්සක මිනිස්සුන්ගෙ ජිවිත මොනතරම් විනාශ කලාද, තව ඉස්සරහදිත් මොන තරම් බිලිගන්න බලා හිටියද,

    ReplyDelete
  18. මලී අක්ක කියන එක ඇත්තක්, ත්‍රස්තවාදියෙක් වුවත් ප්‍රභාට හොඳ හැකියාවන් තියෙනවා වැරැද්දට තියෙන්නේ තොර ගත්තු මාර්ගයයි. අපිට පතරොමක්වත් නැත්තේ මොකෝ? අපි එකක් හරි පැකට් කරලා එවයි කියල ඉන්න හින්දනේ. එක්කෝ අපි උණ්ඩේ ගලවලා එක හදලා තියෙන විදිය බලාගෙන හදලා බලන්න ඔනේ, නැත්තනම් සුද්දොට තේරුම් කරලා උන්ව නම්මා ගන්න ඕනේ. කෝ අපි එහෙමද? ප්‍රශ්ති කියන්නයි බනින්නයි තමා වැඩියෙන්ම කරන්නේ!

    ReplyDelete
  19. නුවන් අයියේ, රූපවාහිනියේ යන එව්ව ගැන මම දන්නේ නැත්තේ මම බැලිමෙන් වැලකෙන නිසා. හරි නම් යුද්දේන් දිනපුවා වගේම තුවාල වුණ අයගේන් විස්තර ගන්නත් ඕනේ, ඔවුන්ටත් දිරිය දෙන්න ඕනේ. කලින් සාකච්ජා අසාර්ථක වුණේ එවායේ හරි පිලිවෙලකුත් දැක්මකුත් තිබ්බේ නැති නිසයි, මම කියන්නේ විසි අවුරුද්දක සාකච්ජා තුලිනුයි. යුද්දේ ගැනමනේ මෙ කියවන්නේ. ඇයි කියවන්නේ නැත්තේ ඇයි අපි මේ තත්වෙට ආවේ කියලා. මේක ලියලා තියෙන්නේ යුද්දේ ගැනම නෙමේනේ, අපේ තත්වය ගැනයි. ඒ ගැනවත් කතා කරමුද?

    සම වෙන්න නිලන්ත අය්යාත් නුවන් අයියාත් මගේ සහොදරයන් වගේ මල්ලෙ අක්කා වගේම මට එකයි. ඒ නිසා මා උරණ වෙලා කියලා වරද්දවා හිතන්න එපා.

    ReplyDelete
  20. ඔන්න මකරො ඔය කියන්නේ? අන්න හරි අයියා, මතක් වුණෙත් නෑ නොවැ! කො අපි? නෑ නෑ අපේත් තියෙනවා, ඉන්නවා. කෝ අත හිත? ඔක්කොම (පිට)රටට. ඊට පස්සේ අපි බණින්නේත් (පිට)රටට!

    ReplyDelete
  21. @මලී-එළ!!!!!!!!

    ReplyDelete
  22. මම හිතුව මලී මතු සම්බන්ධයි කියල නවතිනකොට කුනාටුවට පෙර නිශ්ශබ්දතාවය තමයි කියල. හික්...මං දෙබරෙකට ගල් ගහල වගේ. වැඩේ කියන්නෙ ඒ ලඟ හිටපු මකර අධිරාජ්‍යාටත් ගල් කැටයක් වැදිල.

    මලී කිව්වත් වගේ මේක තර්ක කරල ඉවර කරන්න පුලුවන් එකක් නෙමෙයි. මම එහෙම කියන්නෙ මගේ comment එකට මලී සහ බිංකු මලය ඉදිරිපත් කරල තියෙන කරුණු වලත් දුර්වල තැන් කීයපයක් හොඳටම පේන්න තියන නිසා මටත් ඒව අල්ලගෙන ඕගොල්ලො හෝදපු රෙද්ද ආයෙත් මඩේ දාන්න පුලුවන් නිසා. කොටින්ම ඔයගොල්ලො තර්ක නොකරනු ඇතැයි මා කෙලින්ම කියු කරුනු පවා මාගේ අදහසේ දුර්වලතාවයක් ලෙස දක්වා තිබීම කිව හැකියි.

    බිංකු මලයට දැක්මක් තියෙනව වගේම මටත් දැක්මක් තියෙනව. ඒක මම කිසිවිටකත් සැඟවීමට උත්සහ කර නෑ, බිංකු වගේම. වෙනස බිංකු සාමාන්‍ය ජනතාව ගැන සිතීමෙන් LTTE එකේ භීෂණය තව දුරටත් ඉවසීම සහ මගේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබීමයි

    ReplyDelete
  23. @බිංකු
    කෑල්ලක් හැලුනා. මලීගේ අදහස ගැන මගේ විරුද්ධත්වයක් නෑ. ඒක මම මුලින්ම කිව්ව. මගේ විරුද්ධත්වය උදාහරනයටයි.(about 22nd comment)

    ReplyDelete
  24. ඔව් අයියේ, අපේ මත වෙනස් වෙන්න පුළුවන්, මොකද අපි අත් දැකලා තියෙන ඇත්දැකිම් අනුව. මම කවදාවත් කියන්නේ නෑ මම හරි කියලාවත්, මම ඉගෙන ගන්න ගමන් මගේ මත කියන එකයි කරන්නේ අයියේ. එහෙම මත ඉදිරිපත් කලත් මම කාත් එක්ක අමනාපයක් නෑ, මාත් එක්ක නොවෙවි කියලා හිතනවා. මගේ දැක්ම ඉවසීමට වඩා දෙයක් තියෙන්නේ අයියේ. ආයිත් මම මේකට උත්තර දාන්නේ නෑ.

    ReplyDelete
  25. හැම දේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා. අපේ දේ ගන්න කිව්වට ඒ දේ ගණන් වැඩියි කියලා ලාබෙට තියන පිටරට බඩු ගන්න මිනිස්සු පෙළඹෙනවා. මේ තත්වය දවසින් දෙකෙන් වෙනස් කරන්න බෑ. මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න ඕනෑ. "සිය රට දේ සිරි සැපදේ" කියන දේ මිනිසුන්ගේ හිත් තුලට කාවද්දන්න ඕනෑ. ඒවගේම, අවුරුදු 25 වඩා පැවති මේ යුද්ධය ඉවරයක් කරන්න පුළුවන් වුන කා ගැන උනත් ප්‍රශස්ථි ගායනා කිරීම ගැන වරදක් මම දකින්නේ නෑ. එහෙම කරගත්තා කියලා කිසිවක් අහිමි වෙන්නේ වත් කඩා වැටෙන්නේ වත් නෑ. උපේක්ශාවෙන් ඒ දෙස බලන්න නංගී. රණ විරුවන් කෙරෙහි රටේ කොතැනක උනත් අන් හැමටම වඩා ආදරයක් භක්තියක් ගෞරවයක් තියෙනවා. මට අප්‍රබාකරන් ගැන කතා කියවද්දී මතක් වෙන්නේ මෙන්න මේකයි " පිහිය, මිනීමරුවෙක් යොදාගන්නේ ජීවිතයක් නසන්න, ඒත් වෛද්‍යවරයෙක් පිහියෙන් ශල්‍යකර්ම කරලා මිනිස්සුන්ව ජීවත් කරවනවා" වැරැද්ද ඇත්තේ තාක්ශනයේ නොව මානව චින්තනයේ, ම්ලේච්ජ ත්‍රස්ථවාදියෝ ඔවුනේ චින්තනය මිනිසුන් නසන අවිආයුධ තනන්ට යොදා ගත්තා නොවෙද ? එනිසා ඔවුන් මුග්ද තිරිසනුන් ගානට දමනවා මිසක,ලෝකේ තියෙන හොඳම අවිය නිපැයූවත් ඔවුන් ශ්‍රේෂ්ඨයින්නම් නොවන්නේමය. මන්ද ඔවුන් සියල්ල සිදුකර ඇත්තේ මිනිස් සංහාරයකටයි.සැබෑ නායකයෙක් කවදාවත් පොඩි දරුවන්ව අහිංසක මිනිසුන්ව පළිහක් ලෙස යොදා ගන්නේ නෑ.

    ReplyDelete
  26. හයියෝ!දෙවියනේ..! මම මගේ අදහස් කෙසේ ලිවිය යුතුද????!

    නුවන් - අනිවාර්යෙන්ම..වාර්ථා කරන්නේ යුද ජයග්‍රහන තමයි!ගම් වල අසරණ අට පාස් ‍කොල්ලෝ අත පය පූජ කරගෙන දාඩියෙන් මහන්සියෙන් රුධිරයෙන් ලබන යුද ජයග්‍රහන තමයි ඒ වාර්ථා කරන්නේ..!‍ඒවා දිහා බලන් ඉන්න මම ආස නෑ අයියේ! මම යුද්ධයට කැමති නැහැ!නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන් කපන්න වෙන තැනට ගෙනාවේ අපේ රටේ ආණ්ඩු!එක පිස්තෝලෙකින් පටන් ගත්ත යුද්දේ කිලෝමීටර් විසිගණන් දුර වෙඩි තැබිය හැකි කාළතුවක්කු දක්වා දුර එන්න පාර කැපුවේ අපේම ර‍ටේ ඔළු බක්කෝ! මම යුද්ධයට කැමති නෑ අයියේ..එකයි යුද පුවත් බලන්න මම කැමති නැත්තේ.යුද්ධයෙන් මරණය හැර වෙන කිසිවක් ලැබෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ..!මිනිස්සු මරන්නේ නැතුව වෙන ඕනෑම දෙයක්!සිංහල බෞද්ධයෝ වැඩියෙන් ඉන්න රටක යුද පුවත් කියන්නේ විහිළුවක්!අනික මම මේ ලිපිය ලිව්වේ යුද්ධය ගැන මගේ අදහස කියන්න නෙවෙයි!අපේ රටේ අගාදෙට ගිය සංවර්ධනය ගැන කියන්න..ඒකයි මම මුලින්ම කිව්වේ ලිපිය හරියට කියවන්න කියලා!

    නිලන්ත - අයියේ මම පැහැදිලිවම නැවතත් කියනවා! මම ලිව්වේ යුද්දේ ගැන නෙවෙයි.එහෙම ලිව්වා නම් මම ලියන්නේ මීට වඩා ගොඩක් වෙනස් විදියට.. මම ලිව්වේ අපේ රටේ සංවර්ධනයට වෙලා තියන දේ ගැන!අපේ රටේ සල්ලි පිටරට පැටවෙන එක ගැන.!මම ඔයාට දාපු කමෙන්ට් එකෙන් කලේ මම ලිව්ව දේ ස්තීර කලාට වඩා ඔයාගේ ප්‍රතිචාරයට මගේ අදහස දක්වපු එක. මෙතන මම කොටින්ව උදාහරනෙකට ගත්තේ එයාලට සුදු හුණු ගාන්නවත්‍ කොටි ‍හොදයි කියන්නවත් නෙවෙයි.!
    මගේ අදහස කාටත් ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් තැනට ගෙන්නයි.!මම ඒකයි මගේ ලිපියේ මුලින්ම කිව්වේ ලිපියේ කෙනකින් අල්ලගන්න එපා කියලා.
    අන්තිමටම උනේ අපේ රටේ හැමදාම වෙනවා වගේ ප්‍රධාන ගැටළුව පැත්තක තියෙද්දි කෙනකින් අල්ල ගත්ත දේකට වාද කරන්න පටන් ගන්න එක!
    මම නැවත කියනවා..!ලිපියේ සමස්ථ අර්ථය ගන්න! එහෙම නැතුව ඒ අදහස ගොඩනගන්න හා වඩාත් පැහැදිලි කරන්න ගත්ත සාධක අල්ලගෙන වාද කරන්න එපා. ඒක තේරුමක් නෑ.. එහෙම ඕනි නම් අපි වෙනම ඒ ගැන කථා කරමු.. බැරි කමක් නැහැ. මොකද අපි කථා කරන දේවල් ගැන අපි දන්නවානේ.!අනික අයියේ.. වෛරයෙන් වෛරය නොසන්සීදේ වගේම ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් කියනවා.. මම නම් කැමතියි සැනසීමට.

    බෝ - අනිවාර්යෙන්ම අක්කේ.. මේ තත්වයන් දවසින් දෙකෙන් වෙනස් කරන්න බෑ. කොටින්ම අද ඉදන් පටන්ගත්තත් තව අවුරුදු 2-3ක් යනකම්වත් අඩුම ගානේ මිනිස්සු‍න්ගේ හිත් වෙනස් කරන්න බෑ.!අනික පිටරට බඩු මෙහේ ගෙන්න ගෙන්න ලංකාවේ දේවල් ගනින් කියලා අඩියෙන් අඩිය පෝස්ටර් ගැහුවත් වැඩක් නෑ.ඒක බොහෝම ක්‍රමවත්ව කල යුතු වැඩක්.අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පරිපාල‍නයෙන් පටන් ගත යුතු දෙයක්.
    යුද්ධය අවසානයිද අක්කේ?මට නම් තාම එහෙම දැනිලා නැහැ.. මුළු ලංකාවම කොටින්ගෙන් මුදවගත්තත් ත්‍රස්තවාදය අවසන් වෙයි කියලා මම හිතන්නේ නැහැ අක්කේ.. ඒහෙම උනත් ‍නැවත් ඇති වෙන්න තියන ඉඩකඩ වැඩියි මේ යන විදියත් එක්කලා. අනික මම ප්‍රශස්ති ගායනා ගැන කිසිම තරහක් නෑ.. මට මොකෝ. මට අදාල දෙයක් නෙවෙයිනේ.. මම යුද පුවත් බලන්නේ නැහැ. එච්චරයි!අනිවාර්යෙන්ම ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදීයෙක්!ඒ ගැන වාදයක් නැහැ.. ඔහු ශෙෂ්ඨයි කියලා මම කියන්නෙත් නැහැ. නමුත් ‍ඔහු නායකයෙක් කියන්න මම මැළි වෙන්නේ නැහැ..ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට කරන්න බැරි වුන බොහෝ දේ ත්‍රස්තවාදියෙක් ලෙස ජාත්‍යන්තරය හා එක්ව ඔහු කලා!ඔහු කෘරයි මෘග්ධයි.. නමුත් අරමුණ වෙනුවෙන් වැඩ කරද්දි අපට ව‍ඩා ඉදිරියෙන් ඉන්නවා!අපිට ප්‍රභාකරන්ගේ ජිවිතෙන් ගන්න තියන ආදර්ශය ඒකයි..මොන තත්වයන් යටතේ හෝ තම අරමුණ කරා ලං වන්න.. ප්‍රභාකරන්නේ අරමුණයි වැරදි ඒකයි ඔහුට මේ තත්වය අත්වුනේ.. මීට අවුරුදු30කට පෙර ඔහුට ඇතිවු අරමුණ යහපත් එකක් වුවා නම්????

    සියළු දෙනාටම මම නැවතත් අවධාරණයෙන් කියා සිටිනවා.. මම ලිපිය ලිව්වේ අපේ රටේ සංවර්ධනය ගැන මිසක් ත්‍රස්තවාදයට සුදුහුණු ගෑමක් නොවන වග...ලිපියේ අවිආයුධ ගැන සදහන් වුවත් යාන වාහන අහාර පාන ඇදුම් පැළදුම් චන්ද්‍රිකා තාකෂණ ආදී විවිධ පුළුල් පරාසයන් ඔස්සේ ඒ අදහස ගලා යා යුතුයි!

    ReplyDelete
  27. රණ විරුවන් ගැන වර්තමානයේ ඇති වෙලා තියෙන අතිශය විශාල පිලිගැනීම නිකංම මිනිස්සුන්ගෙ සිත් තුල ඇති වුණ එකක් නෙවෙයි. ප්‍රභා ගැන තියෙන නොසංසිඳෙන වෛරයත් එලිපිට පේන්න ගත්තෙ අවුරුදු කීපයක ඉඳන්. ඒ යුද්ධයට යුද්ධයෙන් විසඳුම දෙන්න ඇරඹුණු දා ඉඳන්. ඊට කලින් මේ තරම් මේ ගැන කතා වුණේ නෑ. මොකද ඒ දවස් වල යුද්ධය කියන්නෙ රටේ තිබුණ එක ප්‍රශ්ණයක් වගේ සලකපු පාලකයො හිටපු නිසා.

    දැන් රටේ ඉහල ඉඳන් පහලට හැමෝම මේ දිහා බලං ඉන්නවා. ඒ ගැන කතා කරනවා. ඒක නිකංම ඇති වුණ එකක් නෙවෙයි. හරියට කිව්වොත් ඒක සියළු මාධ්‍ය ඒකතු වෙලා කරපු පුවත් වාර්තාකරණය නිසා වුණ දෙයක්. කලින් ඇල්මැරිල තිබුණ ජන මතය රණ විරුවන් කෙරේ උත්කර්ෂ කරන්නටත්, ප්‍රභා කෙරෙහි බිඳවන්නටත් මේ මාධ්‍ය වාර්තාකරණය සමත් වුණා.

    මාධ්‍ය කියන්නේ ජනමතය වෙනස් කරන්න පුළුවන් අවියක්. යුද්ධය පිළිබඳ මානසිකත්වය සකසන්න වගේම රටේ සංවර්ධනයට, යහපතට, දියුණුවට හේතුවන ජන මතයන් නංවන්න මාධ්‍යයට පුළුවන්. ඒ වුණාට ඒ දේවල් වෙන්නෙ නෑ. යුධ පුවත් අස්සෙ පෙන්නන්නේ මිනිස්සුන්ගේ ඔළුව විකාර කරන මල විකාර.

    කවුද මේකට වග කියන්නේ...

    ReplyDelete
  28. මලී අක්කා එක්ක මම එකඟයි විවාදයක් නැතිව. මේ ලිපියේ අර්ථය අල්ලා ගන්නේ නැතිව වචනනේ අල්ලාගෙන ඉන්නේ. මටත් මෙතනදි එපා වුණේ ඒ නිසයි. අයිත් ලියන්නේ නෑ කියලා මෙතනදි කිව්වේත් ඒ නිසයි. මට ත්‍රස්තවාදය එකයි, ඒ ගැන මම හිතන්නේත් මලී අක්කා වගේ තමා, ඒත් එසේ කියා එක කුණු ගොඩට දාන්නේත් නෑ, ගත යුතු ආදර්ශය ගෙන යොදා ගැනිමයි වටින්නේ. EcHකියන එකට මම එකඟයි, මේ ගැනත් මම කියන්න හිටියේ, ස්තුතියි කිව්වට.

    ReplyDelete
  29. ලාංකික මිනිසුන්ගේ ආකල්ප අල වීම මෙයට ප්‍රධාන හේතුව ලෙස ඉද්දා දකී!

    ReplyDelete
  30. මමත් මේකට යමක් එකතුකරන්න ඕනි කියලා හිතුනා.... ඇත්තටම නිලන්තගේ කතාව සමග මාත් එකඟ වෙනවා... මලී කියන හැටියට ලංකවේ දියුනු වෙන මිනිහව පාගලාම දාන්න තමා හදන්නේ උදාහරණයකට පැල්මඩුල්ලේ (නිලා අය්යත් කතාව දන්නවා ඇති) "පිස්තෝල චන්දනව" අල්ලගත්තේ නීති විරෝධීව ආයුද නිපදවීමේ වරදට ...ඊට පස්සේ ආරංචියක්වත් නෑ ඒ අපිට වැඩක් ගන්න පුලුවන් පුද්ගලයෙක්... ඉතින් හ්‍රස්තයින්ගේ ඔය වර්ධනයට හේතු වුනේ කොල්ලකෑම... එක අතකට ප්‍රභා හොඳ කලමනාකරුවෙක් තමා නමුත් අපිට හරි හමන් පාලකයෙක් හිටියනම් ඕක වෙන්නේ නෑ ඕක ඇත්තටම දේශ ප්‍රේමයද... රණවිරුවොන්ගේ නැතිකමින් අයුතු ප්‍රයෝජන ගන්න කීදෙනෙක් රූපවාහිනිය ඉස්සරහ පොරවල් වෙනවද... අපිත් නිකන් මෙතන සතන් දායි ඔය අපේ මතය වුනාට අපි රණවිරුවෝ එක්ක කිව්වට ... අපි කොච්චර රටට ආදරෙයිද... කියන එක නම් කල්පනා කරන්නම වෙනවා...

    ReplyDelete
  31. මලී නඟා මාර දියුණුයිනේ... මේ පෝස්ට් එක පස්චාත් නූතනවාදී ප්‍රපංචයක් සේ මුලදී හැඟුනත් එය ඔබගේ තාර්කික සහ විචක්ෂන බුද්ධිය මොනවට පැහැදිලි කිරීමක්. අපේ රටේ බුද්ධිමතුන්ව නැගිටින්න නැගිටින්න පාගලා දාද්දි, කොටි උන්ගේ බුද්ධිමතුන් ගෙන් කැළේ අස්සේදි වැඩ ගන්නවා... මම හිතන්නේ ඒ ආදර්ශය තමයි කොටි අපට දීපූ වටිනාම තෑග්ග...

    ReplyDelete