Wednesday, December 24, 2008

මගේ නත්තල

හප්පේ... අද ගෙදර එද්දි 8.00ත් පහුයි... නත්තල හෙට නිසා අද වාහන තදබදයත් බොහෝම වැඩියි...කොහොම කොහොම හරි ඔන්න දැනුයි මම මගේ නත්තල් ගහ සරසලා අහවර වුනේ... අම්මයි තාත්තයි කතෝලික නොවන නිසා මම කතෝලික නොවුනට ආගමික උත්සව කාලවලදී මම අදාල ආගමික කෙනෙක් වෙනවා... ඒ මගේ ‍හිතේ සතුටට... ම‍ට මතක ඇති කාලේ ඉදන් අපේ ගෙදර නත්තල් දවස් ලං වෙනකොට නත්තල් ගහක් සැරසෙනවා..එහෙම කිව්වට ඉතිං මම ම තමයි හදන්නේ.. මතක විදියට මුලින්ම නත්තල් ගහක් හැදුවේ අපි පරණ ගෙදර ඉන්න දවස් වල..දියතලාවේ ඉන්න තාත්තාගේ යාළුවෙක් ඔස්කා මාමාට ලොකූ සයිප්‍රස් අත්තක් එවලා තිබ්බා නත්තලට..එක මුලින්ම ගෙනාවේ අපේ ගෙදරට.. ඒකෙන් පුංචි අත්තක් කපලා දාලා ගිහිං තිබ්බා... තාත්තා කඩෙන් ගෙනැල්ලා දුන්නු බැළුම් බෝලයි මට ලැබිලා තිබුනු නත්තල්, අවුරුදු හා වෙසක් කාඩ් සේරමයි මම ඒකේ එල්ලුවා මට මතකයි.. ඒක තමයි මට නත්තල් ගහක් සැරසීම ගැන තියෙන මුල්ම මතකය..

පස්සේ හැම අවුරුද්දෙම මට කොහෙන් කොහෙන් හරි සයිප්‍රස් අතු ලැබුනා.. සමහර අවුරුදු වල නොලැබුනාම සැරසිලි නැතුවම නත්තල ගෙවිලා ගියා.. දැනට අවුරුදු 8 කට විතර කලින් තාත්තා ගෙදර තියන්න ප්ලාස්ටික් ගහක් ගෙනාවා..ඒක නත්තල් ගහක් වගේමයි.. ඉතිං ඒක ගෙනාව දවසේ ඉදං පාවිච්චි වෙන්නේ නත්තල් ගහ විදියට.. නත්තල් නැති දවස් වලට ගහ දෙකට තුනට කැඩිලා ගෙයි මුල්ලකට යනවා.. නත්තල් එනකොට එළියට එනවා... දැන් නම් බැලුම් බෝල කාඩ් එල්ලන්නේ නැහැ.. නත්තල් සැරසිලි කිහිපයකුයි.. වෙසක් පොසොන් වලට දැල්වෙන පුංචි විදුලි බුබුළු වැලකුයි තමයි පාවිච්චියට ගැනෙන්නේ..

මම කතෝලික නොවන නිසා නත්තල් ගහේ ඉතිහාස කථාව හෝ එය සැකසෙන අරමුණ හෝ මම දන්නේ නෑ.. අනික මම ඒ දේ කරන්නේ කවුරුවත් කරන්නන් වාලේත් නෙවෙයි.. මම ‍ඒ දේ කරන්නේ මම හැමවෙලේම අගය කරන මගේම සතුට වෙනුවෙන්.. නත්තල් ගහ සරසන හැමවෙලාවකමයි..සිංහල අවුරුද්දට කැම මේසේ සකසන වෙලාවටයි.. වෙසක් පෝය දවසට වෙසක් කූඩු එල්ලනකොටයි මගේ හිතේ ඇති වෙන්නේ එකම වගේ හැගීමක්..ඒක ව‍චනෙන් විස්තර කරන්න මට තේරෙන්නේ නෑ.. නමුත් ඒ හැගීමත් එක්ක මම තෘප්තිමත් වෙනවා...

දැන් කථා ඇති.. කියන්න තියන එකම දේ තමයි..නත්තලේදී වැඩියෙනම කථා වෙන්නේ සාමය ගැන.. මම හිතන්නේ මුලු ලෝකෙම සමරණ එකම උත්සවයත් තත්තලයි නමුත් මුළු ලෝකයටම උවමනාත් සාමයයි.. ඒ සාමය හැකි සෑම දෙනා තුලම වැඩි වර්ධනය වේවා.. සතුට සැනසීම පිරි සුභ නත්තලක් වේවා...!

පසු සටහන-
බ්ලොග් ලියන කතෝලිකයන් ගැන මම වැඩිය දන්නේ නෑ.. දන්න තරමින් ඉන්නේ මගේ ආදරණීය බ්ලොග් මිතුරා නෑෂ් හා හුදෙකලා නොවු සිතුවිලි ලියන ප්‍රියංකර මල්ලි.. ඒ දෙන්නටම සතුට සපිරුණු නත්තලක්.. ඒ හැර අපි හැමෝටමත් හැමදාමත් සතුට සැනසීම හා සාමය උදා වේවා...!

8 comments:

Charith Weerakkody said...

මගෙ නෑදෑයන්ගෙන් භාගයකටම නත්තල් තියෙනව.ඒ නිසා මටත් හැම අවුරුද්දෙම නත්තල් තියෙනව...:D
ඒත් මට නම් හිතෙන්නෙ අපි නත්තල සමරන විදිහ වැරදියි කියල.අපි නත්තල සමරන්න කරන වියදමෙන් දුප්පත් මනුස්සයකුගෙ බඩ පුරවන්න පුලුවන්නම් එදාට අපි නියම විදිහට නත්තල සැමරුව කියලයි මට හිතෙන්නෙ.මොකද ජේසුස් වහන්සේ මෙලොව උපත ලැබුවෙ දුප්පතුන් විදින දුක් වේදනා වලින් ගලවා ගැනීමට නිසා.ඒත් අපේ මිනිස්සු කරන්නෙ එදාට හොදට කාල බීල, ගහ මරා ගෙන නත්තල සැමරීමයි.

අක්කට සාමය සතුට පිරි සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා!!!!!!!!

සරත් ගුණතුංග said...

මම ජීවත් වෙන්නෙ නත්තල ඉමහත් උත්සව ශ්‍රීයෙන් සමරණ සමාජයක. ඒ සමාජය නිසාම මමත් නත්තලට ඇදී යනව. ලංකාවෙ ඉන්න කොටත් නත්තල ගත් කරන්නෙ යාලුවන්ගෙ ගෙවල් වල, බොහොම වෙලාවට මීගමුවෙ. නත්තල ආගමික උත්සවයකට වැඩිය, ජාතික උත්සවයක් හැටියටයි පේන්නෙ. අපේ ගෙදරත් අපි නත්තල් ගහක් හදනව. ඒ ලමයි නිසා. නත්තල නිසා දහස් ගනන් ඌරො, කුකුල්ලු මරනව. ඒව දැක්කම මේ මොන අපරාදයක්ද කියල හිතෙනව. මට මස් කන්න එපා වුනේ ඔව නිසයි, කන නිසා නේ මරන්නෙ, කන්නෙ නැත්නම් මරන්නෙ නැහැ නේ.

කොහොම වුනත්, ඔක්කොටම සුබ නත්තලක් වේවා කියල මම පතනව.

Priyankara Perera said...

මලි අක්කේ බොහොමත්ම ස්තුතී ඔයගේ සුබපෑතුමට. ඔයාටත් ඔයාගේ පවුලේ හෑමොටමත් සුබ නත්තලක් වේවා !

ඔයාගේ කතාවනම් ඈත්ත, මම කතෝලික වුනාට මමත් වෙසක් එකට වෙසක් කුඩු හදනවා, බකට් පත්තු කරනවා . සිංහල අවුරුද්දට අවුරුදු චාරිත්‍ර කරනවා. ඈත්තටම හෑම දෙයක්ම තියෙන්නේ අපේ හිතේ . පිරිසිදු අදහසකින් යම් කිසි දෙයක් කරනවනම් එක හෑම දේටම වලංගුයී. එතකොට හෑමදාටම නත්තල් තියෙයී...
මමත් තාම දන්නේ නෑහෑ නත්තල් ගසේ ඉතිහාසය පුලුවන් තරම් ඉක්මනට හොයලා හෑමොටම කියන්නම්....

gayankt said...

ඇත්තෙන්ම අප දැනුවත්ව හරි නොදැනුවන්ව හරි මෙය තමයි ජාතීන්, ආගම් අතර සහජීවනත්වය කියන්නෙ. මේක සුභ කාරණයකි. ඔබ සැමට ශ්‍රී සුභ නත්තලක් වේවා.

A Khudori Soleh said...

salam from khudori

Kusal said...

මන් හිතන්නේ මෙක තමා මම සිංහල බ්ලොග් එකක දාන මුල්ම කමෙන්ට් එක, එකත් හැබයි මේ පොස්ට් එකට අදාල එකක් නෙමෙයි,
මම ඔයාගේ About Me එක බැලුවා, හිහ් හිහ්, පොල්ලෙන් ගහුවා වගේ කියන්න තියෙන එක කෙලින්ම කියලා තියෙනවා, එල කිරි එහෙම තමා ඉන්න ඔනේ. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ මිනිස්සු කෙලින් කතා කරන් නැති හින්දා.

ජය වේවා!!!

Chathura Sandeepa said...

සුභ නත්තලක්!!! හැමෝටම :D

said...

පරක්කු නම් වැඩි නෑ. ඒ වුණාට කල් ඉකුත් වෙලා වගේ. කමක් නෑ නත්තලේ අරුත් හරියට තේරුම් අරන් සමරනව නම් ෂෝක්.. :)