Thursday, October 24, 2013

විශ්වයේ උපතක්

නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...

අපේ ගෙදර බලු ගෙදරක්! පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට!

උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද? මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...

මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..

මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද? කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..

මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ?


පිංතූරේ

5 comments:

  1. සොබා දහම විසින්, හැම සත්වයෙකුටම සමානව සලකනවා. ඒත් මිනිස් සත්තු එක ප්‍රතික්ෂේප කරලා.. මිනිස්සුන්ගෙන් අද වෙනකොට සහජ ඉව නැති වෙලා ගිහිං . හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනෙ තැනට පත්වෙලා තියෙන්නෙ ඒ හින්දා වෙන්න ඕනෙ.. කොහොම වුණත් මට හැම වෙලාවෙම දැනෙනවා. සොබාදහම හුස්ම හා ප්‍රාණියා අතර අපූරු ශ්‍රිතයක් තියනවා කියලා.. දැන් ඔයාගෙ කාමරේ ඇතුළෙ වගේම.

    ReplyDelete
  2. ආයෙත් යුද්දෙ...

    වෙනස් කරන්න පුළුවන් උපරිම සීමාව තමන් තුලම තියෙන එකක්...

    ReplyDelete
  3. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  4. විශ්වයේ උපත නිර්මාණාත්මක විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
  5. හොද ලිපියක් විශ්වය කියන්නේ අමුතුම දෙයක් එකේ කෙලවරක් කියන්න බැහැ නේද.. ආදරය කියන්නෙත් එකට හම්බෙන් හරි එකතු වෙච්ච දෙයක්
    වෙද සිතක සිත්තම

    ReplyDelete