Tuesday, February 12, 2013

කෙල්ලෝ සුද්දො හා මොණරු

සති දෙක තුනක් ගත වෙලා ඉවර උනත් තංගල්ලේ ගමනේ සිද්දවුන මුණගැහුණ මිනිස්සු ගැන තාම තියෙන්නේ හරිම අළුත් මතකයක්.. සමහර විට ඒ තංගල්ලේ ගිහින් ආවට පස්සේ තාම ගෙදරින් එළියට ගියේ නැති නිසා වෙන්න ඇති. මේ දවස් ටිකේම කලේ පහුගිය මතක ටික චුයින්ගම් වගේ හප හප හිටිය එක.  ඉතිං අදින් පටන් ගන්න වැඩ ජිවිතෙත් එක්ක ඒ අය මතකයේ අයිනකට විසිවෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි හින්දා ඒ ටිකත් ලියලා දාලාම හිටියනම් හොදයි කියලමයි හිත කියන්නේ.

මුලින්ම කියන්නේ මිනිස්සු තුන් දෙනෙක් ගැන. මැටි කෙල්ල.. ගොන් සුද්දා.. හා උගත් ගෑණු ළමයා

1. මැටි කෙල්ල

මෙයාව හම්බ උනේ මාතරට යන ගමන් කෝච්චියෙදි. අපිට යන්න උනේ සෙනග පිරිණු කෝචිචයක හිටගෙන නේ. ටිකාක් විතර සෙනග අඩු කෝච්චි පෙට්ටියක් හොයාගෙන ඒකේ දොර ළගට සෙට් වෙන්නයි අපි කල්පනා කලේ. හැබැයි හැම දොරක්ම අපිට කලින් නැගපු කට්ටිය අයිති කරගෙන හිටියා. ඉතිං අපි කලේ අපේ බෑග් දෙක රාක්ක උඩින් දාලා දොරක් ළගම කෝචිචි පෙට්ටිය ඇතුළට වෙන්න හිටගෙන යන එක. එතනම වාඩි වෙලා හිටි අන්කල් කෙනෙක් අලි කාඩ්බෝඩ් පෙට්ටියක්  එයාගේ සීට් එක ළගම මිනිස්සු යන එන පාරේ තියාගෙන. ඉතිං අපි දෙන්නත් හිට ගත්තට පස්සේ තව කෙනෙක් එහාට මෙහාට යනවා නම් මම වෙනම පොඩ්ඩක් අයින් වෙලා ඉඩ දෙන්න ඕනි මොකද මට එහාට මෙහොට වෙන්න පූළුවන් උනාට පෙට්ටියට බැහැනේ. ඉතිං පෙට්ටි දෙකක් එහාට මෙහාට වෙනකොට ළග ඉන්න අපේ එකේ ඉලක්කමටත් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න වෙනවා. දුර ගමන් කෝචිචියක් නිසා වැඩිය සෙනග එහේ මෙහේ යන්නේ නැති නිසා ඒක ඒ තරම් අමාරු උනේ නැහැ.!

ඇත්තම කියනවා නම් මැටි කෙල්ල හිටියේ නැත්තං ඒක ගාණක් නැති වෙන්නත් තිබුනා. දැන් කවුද මේ මැටි කෙල්ල. මෙයයි මෙයාගේ පවුලේ අයයි ගමනක් යනවා. මෙයා අම්මා එක්ක සීට් දෙකක වාඩි වෙලා. අවුරුදු 20-22ක් විතර ඇති මට හිතෙන්නේ. මෙයාලගේ අයියලා හරි මල්ලිලා හරි අපි හිටි තැනට කිට්ටුව දොර ළග හිටගෙන. ඉතිං මේ මැටි කෙල්ල විනාඩි පහෙන් පහට දොර ළගට එනවා.. ටිකක් ඉන්නවා.. ආයේ ගිහිං වාඩි වෙනවා.. ආයේ පස්ස කඩි කාලා වගේ දොර ළගට දුවනවා.. ආයේ අම්මා ළගට දුවනවා.. මේ හැම වතාවෙම අහිංසක මම එහාට මෙහාට වෙවී මේ කෙල්ලට ඉඩ දෙනවා.. මං කියන්නේ මනුස්සයෙක් උනාම ටිකක් අනිත් අය ගැනත් හිතන්න එපැයි. මොකෝ මම කියලා ආසාවට හිටගෙන යනවා නෙවෙයිනේ.. මෙයා එක්ක එහා මෙහා වෙන සෙල්ලම් කරන්න. ඉතිං මං එයාට ආදරේට නමක් දැම්මා.. මැටි කෙල්ල! මාතරට යනකම්ම මගේ ඇස් තිබ්බේ මැටි කෙල්ල ළග!!! ආදරේට!!! :පී
හදුනා ගත්තොත් ඔබ මා..

2. ගොන් සුද්දා

මෙයා නම් සුද්දා අන්කල් කෙනෙක්.. එයාගේ නෝනයි යාළුවෝ ටිකකුයි එක්ක ගාල්ලේ යන්නද කොහෙද නැග්ගේ අපි නැග්ගට පස්සෙයි. එයාලා නම් අපිට කරදර නොකර ශේප් එකේ දොරක් ආක්‍රමණය කරලා එතනට වෙලා හිටියා.. හරියටම කියනවා නම් කෝචිචි පෙට්ටි දෙකක් බෙදෙන තැන ටොයිලට් දෙකක් ඉස්සරහා. අනේ අපිට ඉතිං මෙයාලගෙන් කිසිම කරදරයක් උනේ නෑ.. හැබැයි  එකම දේ මේ සුද්දා මාමා කෝච්චිය නතර කරන හැම ස්ටේෂන් එකකදිම අපේ එකේ ඉලක්කමේ කර උඩින් එබි එබි කෝචිචියේ හිස් වුනු සීට් තියනවද බලනවා. පෙට්ටියේ ඇතුලේ මිනිස්සු 10-15ක් විතර හිටගෙන ඉන්නකොට ඕන ගොනෙකුට තේරෙන්න එපැයි වාඩි වෙන්න සීට් නැහැ කියලා.. මොකෝ හිස් සීට් තියාගෙන හිටගෙන යන්න ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ හොද නැති වෙන්න බැහැ කියලා මේ අහිංසක මනුස්සයට තේරුනේම නැහැනේ.

මට ඉතිං බයිට් නම් කවුරු හරි කමක් නෑ කියමුකෝ ඒ උනාට අපේ ඉලක්කමා එහෙම නැහැනේ. සීරියස් මනුස්සයානේ. ඉතිං මේ කරට උඩින් වෙන හෙව්ම් බැලුම් කීප විටක් දැක්ක මම මේ මනුස්සයා මොනා හොයනවාද මන්දා මෙච්චර හිටගෙන ඉද්දි එබි එබි බලද්දි කිව්ව ගමන් මෙන්න අපේ කෙනා කියපි මොන ගොන් සුද්දෙක්ද මන්දා මෙතන එබි එබී.... හාහා....! මම හිතන්න කලින් මෙයා හිතිං බැන බැන ද කොහෙද ඉදලා තියෙන්නේ වචනේ දුන්නා විතරයි මෙන්න ගිරවා වගේ බනිනවා.. මට ඉතිං එතන ඉදං රත්තරං හම්බ උනා වගේ තමයි.. ඇයි ඉතිං මැටි කෙල්ල මදිවට ගොන් සුද්දෙකුත් සෙට් උනානේ.!!!

3. උගත් ගෑණු දැරිවි.

අනේ ඇත්තමයි කාගෙවත් නොදන්න කම් වලට හිනා වෙන්න නරකයි. මේක මේ මම හිනා වෙන්න කියනවා නෙවෙයි. ඒ වගේම ඕන මෝඩයෙක් කතා නොකර ඉන්න තුරු බුද්ධිමතෙක් කියන කරාණාව ඇත්ත උනු මොහොතක් තමයි මේ. මේ දරුවව අපිට හම්ම උනේ තංගල්ල තානායමේ අපි වෙඩින් එකට යන්න කලින් උදේ කෑම ගන්න ගිය වෙලාවේ. එයා පවුලේ අයත් එක්ක කතරගම යන්න ආව පාසැල් යන වයසේ ගෑණු දරුවෙක් අවුරුදු 14-15 විතර ඇති. මම වාඩි උනු තැන ඉදං එයාව එක එල්ලේ පෙනුන නිසයි එයාලගේ පවුලේ අයගේ හයි වොලියුම් කතාවයි නිසා බලෙන් ඇහුවේ නැතත් එයාලා කතා වෙන දේවල් අපිට ඇහුනා. මේ ළමයාගේ තාත්තා කියලා හිතන කෙනා නැගිටලා මොනා හරි දේකට එළියට ගියා. මේ අතරේ එයාගේ අම්මයි.. නෑදෑ කෙනෙක් හරි පවුලේ යාළුවෙක් හරි වෙන ගෑණු කෙනෙකුයි කතාවක්.. එයාලා කිරින්ද යන්න වගේ කතාව. ඒ කතාව ඉතිහාසෙට ඇදිලා ගියා.. ඒ එක්කම මේ ගෑණු දැරිවි කියපි “විහාර මාහා දේවි ආවේ ඉන්දියාවේ ඉදලානේ“ !! !#(#@#$%$ හොද වෙලාවට මේ ළමයා ඉන්දියාව ගැන දැනගෙන හිටියා.. නැත්තං කියන්න තිබුනා විහාර මහා දේවී ආවේ ඇමරිකාවෙන් හරි එංගලන්තෙන් හරි කියලා නේ? අපරාදේ.. එයාගේ අම්මා ට නම් ටිකක් අප්සට් ගියා.. මේ ළමයා හරියට ගථා වත් දන්නවාද දන්නේ නෑ අනේ කියලා අම්මා ටොපික් එක මාරු කලා.. අහන් හිටිය අපිත් ඉතිං මාරු උනා..

ඇත්තටම විහාර මාහා දේවිලා ගැන අද කාලේ ළමයි දැනගෙන ඉන්නම ඕනේ නැති වෙන්න පුළුවන්.. මොකද ගූගල් කරාම හැමදේම දැන ගන්න පුළුවන් නිසා.. ඒ උනාට අපේ රටේ ඉතිහාසය මීට වඩා ටිකක් හරි ළමයිගේ ඔළු වල තිබුනනම් හොදයි නේද කියලා මට හිතුනා.. ඇති වැඩකට නෙමෙයි.. ඒත් මේක අපි ජිවත් වෙන රට නේ?

4.පියාඹණ මොණරු

මොණරු ඇති තරම් දැකලා තිබුනට එයාලා පියාඹනවා කියලා දැනගෙන හිටියට මම ඒක දැකලා නෑ කලින්. ඒ අවස්ථාව මට හිමි උනේ හුංගමදි.. අපි ගිය ගෙවල් අවට නිතරම මොණරු කෑ ගහන හඬ ඇහුනා.. ඉතිං ටිකක් ඇවිදිද්දි වෙලක හිටි මොණරෙක් දැක ගත්තා මුලින්ම හැබැයි එයා අපි යනකොටම හැංගුනා. අනිත් කෙනා නම් හිටියේ වෙන වෙලක ගහක් උඩ. එයා අත්තෙන් අත්තට පැන පැන ගහේ උඩට යනවා.. ඒත් අපිට ෆොටෝ එකක් ගන්න තරම් ක්ලීයර් තැනකට එන්නෙම නෑ.. නරක මොණරා.. ! පියාඹන්න වගේ ඉන්නවා පියාඹන්නේ නෑ!  මට ඉතිං කොහොමත් ඉවසීම කියන එක තියෙන්නේ ටිකක් අඩුවෙන් නේ...! මම ඉතිං අපේ ඉලක්කමාට කිව්වා මම මො‍ණරාව ගහෙන් බස්සන්නම් ඔයා පිංතූර ගන්න කියලා.. ඇත්තටම ඌ හිටි ගහ තිබුනේ අපිට වඩා තරමක් දුරින් ගලක් ගැහුවත් වදින දුරක නෙවෙයි.. ඉතිං ගණනය කිරීම් කරලා ඉලක්කමා තීරණය කලා ඌට වදින්න ගහන්න මට බෑ කියලා.. මම ඉතිං පුළුවන් කිව්වෙත් නැහැනේ!!! ඒ උනාට අමාරුවෙන් පොඩී ගල් කෑල්ලක් හොයාගෙන විසි කලා.. හරියට හරි.. ගල ගියේ මොණරා හිටි තැනින් භාගයක් දුරට විතරයි.. :( ඒ උනාට මගේ ප්‍රයත්නය සාර්ථක උනා.. තත්පර තුනකින් මොණරා පියාඹලා ගියා.. ඌ උගේ දිග... පිල් කළඹත් එක්ක මීටර් 50ක් විතර පියාඹලා පදුරක් අස්සේ හැංගුනා.. ගත්තද ෆොටෝ!!!! මම ඇහුවා.. ඒක ඇත්තටම ලස්සන දර්ශනයක්! ම්හ්.. ‍ෆෝකසින් හරි නැහැ අනේ.. ගත්තේ නෑ..!!! ඕකනේ ඉතිං ඕනෑවට වඩා ටෙක්නිකල් වෙන්න ගියාම වෙන දේ.. මට මොකෝ මම නම් ඇස් දෙකින් දැක ගත්තනේ! පව් මං හින්දා පියෑඹුව මොණරා.. ඒත් මට හිතුනේ මොණරු වැඩි දුර පියාඹන්නේ නැතුව ඇති කියලයි.. එයාලාගේ පිල් බර හින්දා? ඇත්තටම එහෙමද?? දන්න කෙනෙක් මා නිවැරදි කරනු මැන!
එකායි.. දෙකායි.. තුනායි!


5 comments:

  1. අපේ අල්ලපු වත්තේ තියෙන පොල් ගහේ හැමදාම රෑට මොරණෙක් නිදා ගන්නවා. උදේ පාංදරම ඒකා නැගිටලා මර ලතෝනි දෙනවා කවුරු හරි බෙල්ල මිරිකනවා වගේ.. මට නිදාගන්නත් නෑ..

    ඉස්සර නං රුපියල් දාහේ කොල වල මොරණු හිටියා ඒත්ිතිං දැං ඉන්නේ ගිරා මලිත්තෝ නොවෑ...

    ReplyDelete
  2. ane yaluwa asawen kiyewwa..
    eth oyaata thibba me tika post keepekata daanna...
    ....digatama liyanna...

    ReplyDelete
  3. ඔන්න ඔහොමලු වුණේ.... මොණරුන්ව මට එපා වුණේ ඉලුක්පැලැස්සෙදි. රෑට නිදාගන්න නෑ. එකෙක් පටන්ගත්තම මුළු ගම වටේම ඉන්න උන් කෑ ගහනවා...

    ReplyDelete
  4. අර මොණරගෙ පින්තූරෙට වටින්නෙ ටයිටල් එක නිසා. මොණරු අඬනකොට නයින්ගෙ බිත්තර පුපුරනවලු.

    ReplyDelete
  5. සොරෝ - ඉතිං හොදයිනේ අනේ..! එලාම් වලට ඔරලෝසු ගන්න ඕනිත් නෑ..හැබැයි ඔයාට වදේ වැඩි නම් උගේ බෙල්ල ඔයාම මිරිකුවා නම් හරි! එක දවසයි!!! :පි

    සයිලන්ට් - අනේ මෙගා නාට්‍ය ජාතියේ පෝස්ට් මං ලියන්න ගියොත් ඉතිං මගදි හබක් තමයි යාළුවා..

    හරේ - ඒකනේ එහෙමනේ උනේ.. උන් ඒ ආලිස් වෙල් ආලිස් වෙල් කියලා කෑ ගහන්නේ!!! :පී

    ඉන්දික - අම්මපා!!! ඇත්තෙයි.. මෙහෙ නම් බඩගාන නයිත් නෑ මොණරලා ත් නෑ..!

    ReplyDelete