Saturday, February 19, 2011

බුද්ධදාසි


මේ දවස් වල ජිවිතේ හරිම ඔතෑනියි වගේ.. වෙන විදියකට කියනවා නම් කිසිම හැපනින් එකක් නෑ.. අනේ මන්දා වයසත් එක්ක එන හැඟීමක්ද නැත්තං වෙන මොකක් හරි අවුලක් ද කියලා.. අර කෙනෙක් කියනවා වගේ මම මෙ‍ලෝ රහකට නැති හෙනම කොමන් චාටර් ගෑණියෙක් බවට පත් වෙමින් යනවා දෝ මන්දා..

එහෙම තමයිනේ ඉතිං ජිවිතේ හැටි.. හැමදාම එක විදියට තියෙන්නේ නැහැනේ.. මොහොතින් මොහොත තත්පරෙන් තත්පරේ ජිවිතේ වෙනස් වෙනවා.. හැම සිද්ධියක් එක්කම මුහුකුරා යමින් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙමින් අපි අළුත් වෙවී පරණ වෙවී පැවතෙනවා..

ඔය අළුත් වෙන පරණ වෙන ජිවිතේ ඇතුලේ සමහර වෙලාවට කවදාවත් මඟහැරෙන්නේ නැති පුරුදු වීම් අපි කාට කාටත් තියනවා .. ඉතිං ඒ වගේ පුරුද්දකට වගේ පහුගිය දවස් දෙකේ අතේ රැදිලා තිබුනේ "බුද්ධදාසි". ඊටත් කලින් තාඹුගල හාමුදුරුවන්ගේ පොතක්..

සමහර විට මේ දවස් වල හිතේ පවතින තත්වයට පත්වුනේ ඔය පොත් නිසාද කියන්න තේරෙන්නේ නැහැ.. මට වචන වලට පෙරළන්න නොතේරුනාට මේ වෙලාවේ හිතේ පවතින සිතුවිලි විස්තර කරන්න මං ආසයි.. ඒක මොන වගේ මනෝ භාවයක්ද කියනවා නම් මේ වෙලාවේ ඕනම තරහා කා‍රයෙක්ට ‍කරුණාවෙන් කතාකරන්න හිතෙන ත‍රමේ බොහොම කරුණාවක් හිතේ පිරිලා කියන්න නම් මට දැනෙනවා.. ඇලීම් බැඳීම් වලින් තොර ජිවිතේකට යමු කියලා හිත ලොකු ඉල්ලීමක් කරනවා වගේත් දැනෙනවා..! හැබැයි එහෙම මට්ටමකට යන්න තරම් නිදහසක් නම් මට නෑ කියන්නත් ඒ හිතේම තව කොටසක් දන්නවා.. ඒ නිසා මේ පවතින මනෝභාවයට නිදහසේ සරන්න හැරලා මම පොත් ගැන කිව්වොත් හොඳයි වගේ.

තාඹුගල ආනන්දසිරි ස්ථවිර කියන්නේ 1954 අවුරුද්දේ කුටුම්බිගල මහා තපෝවනයට වැඩි හිමිනමක්.. 1960 අවුරුද්දෙදි යාන්තමට පැවිද්දන්ට‍ උචිත අයුරින් කුටුම්බිගල සේනාසය සකසවා ගත් උන්වහන්නේ එතැන් පටන් එහි ජිවත් වීමේදි ලද සොදුරු අත්දැකීම් උපයෝගී කරගෙනයි "විසිපස් වසරක වන දිවි ‍තොරතුරු" රචනා වී ඇත්තේ..

ධර්මය.. ස්භාවධර්මය..හා එම ද්විත්වයේ සංකල‍නයේ මිහිරියාව හා සෞන්දර්යය එම කෘතියෙන් අලංකාරව විචිත්‍රවත් වෙනවා.. සුරංගනා කතාවක්දෝ... සැබෑ විය හැකිදෝ යි හිතෙන තරමටම අලංකාර, කියවන්නාට කිට්ටුවෙන ආකාරයේ බස් වහරක් හා ශෛලයක් යොදාගෙන රචනා වී ඇති නිසා ලොකු පොඩි කාටත් කියෙව්වොත් හොද රසයක් විඳින්න හැකි වේවි.. ප්‍රකාශය දයාවංශ ජයකොඩි එකෙන්.. අවසාන වරට මුද්‍රණය කරලා තියෙන්නේ 2005 දි.

එයින් පස්සේ අතට ආවේ ‍සුනේත්‍රාගේ බුද්ධදාසි.. මීට කලින් පියනි මණ්ඩපය.. බත් තරංග.. මතක පොත හරහා මා ආදරය කල සුනේත්‍රා‍විය මෙවර මා රැගෙන ගියේ ආනන්දයේ උපරිමයෙන් එහා ඉමකට දෝ මන්දා.. අනුරාධපුර ‍යුගය පසුබිම්ව රාජ වංශයක, එකල ආගමික විධි, ජනජීවිතය හා අවාහ විවාහ සම්බන්ධතා අස්සෙන් සංසා‍ර බැඳීම්වල වද වේදනා හා එයින් මිදී මේ සරළ විදි ගැන ‍පැහැදිලිව නමුත් කෙටියෙන් ඒ ඒ අවස්ථාවට උචිත අයුරින් පෙළගැස්වී තිබුනු ආකාරය අපූරුයි.. තවම මම චූල රූපසරා එක්ක පණ්ඩිතකතා දොඩන අස්සේ අනුරාධපුර විහාර අතරේ ඇවිදිනවා බුද්ධදාසි එක්ක, ක්‍රිෂ්ණක්ෂි එක්ක සාමි පුදන්න කඳුගැටි නඟින අතරේ කුංජු මාතව එක්ක හුස්ම ගැනීම ගැනවත් නොහිතා හිත ඉහිල් කරගන්නටයි හිතෙන්නේ..

විවිධ කාලසීමා වලදි ජිවිතයේ විවිධ මට්ටම් විවිධ නාමවලින් ‍ගෙවෙන ඒත් සියළු බැදීම් වේදනා වලින් මිදුන ඒ ස්ත්‍රී ආත්මය ඇතුලේ තිබුනු නිදහස.. ගැලවීම.. මගේ හිතටත් කාන්දු වෙලා වගේ.. හරිම නිදහසක් දැනෙනවා.. ඒ හුවමාරු සිද්ධ උනේ සුනේත්‍රා රාජකරුණානායකාවියන්ගේ වදන් මායාවේ බලෙන්... ඒක හරිම සොදුරුයි.. මිහිරියි.. ප්‍රියයි.. නමුත් මම දන්නවා මේ මිහිර රැදෙන්නේ තව ටික දිනයි..

මොකද අද රෑට මම ස්පිට්ල් එක්ක අහිමි උනු දඩමං ‍ඔස්සේ සරන්නයි කල්පනා කරන් ඉන්නේ..

කමක් නෑ.. මට කුංජු මාතාවක් වත් බුද්ධදාසියක් වත් වෙන්ඩ උවමනා නෑ.. මගේ හිත තනන්නේත් බිඳින්නේත්.. නැවත තනන්නේත් මම මයි..! ඒ නිසා කො‍යි මානසිකත්වේ කොයි තරම් වෙලා කොහොම සිටිය යුතුද තීරණය කල යුතු වන්නේත් මම මයි.. මම විසින් මා උදෙසා මට හිතෙන වෙලාවක මා එය කලයුතුමයි!

11 comments:

  1. සුනේත්‍රා......, එයත් එක්ක මගෙ සම්බන්දේ බොහොම දුර ගිය එකක්, සඳුන් ගිරටත් කලින් විදර්ශී කරන කාලෙ පටන් ගත්තු ඒ සබඳකමට මම හිතන්නෙ දැනට වසර විසිපහකට වැඩි මිසක අඩු නම් නැහැ,

    ඒ චරිත එක්ක ජීවත්වෙන එක මගෙ ජීවිතෙත් ඇත්තටම කොටසක් වෙලා,

    ඔයා ඔය කියාපු විදිහට මනෝ භාවයන්ට මමත් බොහෝ විට පත් වෙලා තියනව සුනේත්‍රාගෙ පොත් කියවද්දි, ඇත්තටම සිය දහස් වාරයක්,

    ප්‍රායෝගිකව එහෙම කරන්න අපහසු උනාට ඒ මානසිකත්වයම හිතට අමුතු සිහිලසක් ගෙන දෙන බව නම් හරිම ඇත්තයි,

    ලියල තියෙනවා හරිම අපූරුයි,

    ReplyDelete
  2. අන්තිමේ හැමදේම අපි ඒ ගැන හිතන විධිය නම් අපට උවමනා නම් වෙනස් වෙන්න මහ ලොකු අමාරුවක් නෑ‍ නේද ඕන වෙලාවක...

    ReplyDelete
  3. මේ වගේ පොත් කියවන අය ඉන්නව කියල දැනගත්ත එකත් සතුටට කාරණයක්.
    නමුත් .. අපි හැමෝම ඒ පොත්වල තියෙන අදහස් ක්‍රියාත්මක කරන්න [ අඩුම වශයෙන්] උත්සාහයක් වත් ගන්නෙ නෑ නේද ..?
    මේ වගෙ පොත් කියවන අපි .. ඇත්තටම ඒ දේ කරනව නම් අපේ සිත් කොතරම් ඉහළ තලයකට පත් වේවිද ..?
    ශ්‍රී ලංකාවෙ අපි මොන තරම් දියුණු වේවිද .. අධ්‍යාත්මිකව.

    ReplyDelete
  4. ලියලා තියනවා අපුරුයි මගෙත් ඔයවගේ හිත හිස්වෙලාවගේ ......

    ReplyDelete
  5. මගෙත් හිත හිස් වෙලා ඒක නිසා මං හම්බකරන කීය හරි වියදම් කරගෙන විනෝද වෙන්න යනවා තොරක් නැතිව, ඒකටත් තිත තියන්න කාලය හරි කියලා මට හිතෙන්නේ.

    ස්පිට්ල්ගේ පොත නම් මං ගාවත් තියේ, බුද්ධදාසි පොත කියවා නැත. පොත කියවන්න දෙනවා කියලා කාලෙකට කලින් පොරොන්දු වුණා වගේ මතකයි මට නම්..??
    :D

    ReplyDelete
  6. @ravi-‍බොහෝම ස්තූතියි.. කමෙන්ටුවට.මං හිතන්නේ මං තාම ඔයා තරම් සුනේත්‍රාව කියවලා නෑ..

    @hare:-)-ඇත්ත ඇත්ත..

    @kumaraya-ඔහ්.. කුම‍රයෝ මං පොත් කියවන්නේ කියවන මොහොතේ මං ජිවත් වෙන මානසිකත්වය ටිකක් වෙනස්කරලා මගේම පෞද්ගලික මනෝ ලෝකයකට යන්න.. නැතුව මම පොත් වල කියන දේවල් ඒ විදියටම කරන්න යන කෙනෙක් නෙවෙයි.. ඒක ටිකක් ප්‍රයෝගික මදිත් නේද? හිතන්න අද මං මේ ලියලා තියන පොත් දෙකේ කියවෙන විදියට ක්‍රියාත්මක කලත් අහිමි දඩමං වල වැද්දෝ වගේ ඉළගට ජිවත් වෙන්න? එහෙම බැහැනේ..
    පොත් හරහා අධ්‍යාත්මය දියුණු කරන්න බැහැ කුමාරයෝ ඒකට අවශ්‍යය තමන්ගේ හිතෙන්ම එන උවමනාවක්! පොත් ඒකට පොඩි තල්ලුවක් දෙනවා විතරයි.

    @ ඉලංදාරියා - ‍හිත ‍හිස් වෙනවා නම් හොදයිනේ.. නැද්ද?

    @Ansh- හොදයි හොදයි බොහොම හොදයි.. ඒ වෙලාවට හිතෙන විදියට ‍ඒ වෙලාවට ජිවත් වෙන්න..

    බුද්ධදාසි දෙනවා කිව්වා.. වෙන්න බැහැනේ..‍මාත් මේක පුස්ථකාලෙන් ගත්තේ.. මට මතක විදියට අටවක පුත්තුයි දෙන්නම් කිව්වේ. ඒක නම් දෙන්න පුළුවන් මොකද පොත ආයේ මට හම්බඋනා.

    ReplyDelete
  7. අපොයි .. මලයො .. මම අදහස් කළේ ඔයා හිතපු දේ නෙවෙයි. පොත්වල තියෙන දේවල් ඒ විදිහටම කරන්න බෑ තමයි.
    මම කියන්න උත්සාහ කෙරුවෙ .. බුද්ධදාසි වගෙ පොතක් බැලුවට පස්සෙ මිනිස්සු [ මාත් ඇතුලුව ] තම තමන්ගෙ සිත් තරමක් දුරට හෝ දියුණු කරගැනීමට උනන්දු විය යුතු බවයි.
    කලකට පෙර..
    මේ පොත ගැන පොඩි විස්තරයක් හෙවත් ඉතාම කුඩා හැඳින්වීමක් මාත් ලියල තියෙනව. කැමතිනම් කියවල බලන්න.
    kumaraya-maligawa.blogspot.com

    ReplyDelete
  8. @කුමාරයා- අපෝ ඔව්.. ඒ විදියට කිව්වා ම නම් ඒක ඇත්ත.. මාත් පිළිගන්නවා.. කොහොමත් ඉතිං කුමාරයෙක් කිව්වම පිළිනොගෙනත් බැහැනේ..!

    ReplyDelete
  9. හ්ම්ම් මම පොත් කියවන එක නවත්තලා ටිකක් කල්. ඒත් මේ පෝස්ට් එක දැක්කම නම් ආයෙ කියවන්න හිතුනා.

    ReplyDelete
  10. අරගෙන් අවුරුද්දු දෙකකට විතර පස්සේ අද තමා බුද්ධදාසි කියවලා ඉවර කලේ.
    මට නම් හිතුනේ එකම එක දෙයයි මිනිස්සු බලයට කොච්චර කැදරද කියන එක විතරයි. අතීතය වර්තමානය කියලා වෙනසක් නැහැ ඒකේ.

    ReplyDelete
  11. උඹ ඔය කියපු මනෝභාවයම මමත් වින්දා බන් නංගියේ බුද්දදාසි බලපු අළුත. .

    කාලයක් යනකම් හිතේ ඒ සැහල්ලුව තියෙනවා.

    හරි නම් සැහල්ලුව අඩුවෙනකොට ආයේ පාරක් කියවන්න ඕන.

    සැහැල්ලුව කොයි තරම්ද කියනවනම් මේ තරම් ලස්සන පොතකට නොදී ස්වර්ණසංඛ සම්මානේ අර ජරා කන්දක්සේමා එකට දුන්නු උන්ටත් මෛත්‍රී කරන්න ඇහැක් උනා.

    ReplyDelete