Friday, March 12, 2010

අනේ බිඟුවෝ නුඹ නාඬන්

මට මේ ලිපිය ලියන්න හිතුනේ බිඟුවා අයියාගේ මෙන්න මේ ලිපිය දැක්කට පස්සෙයි. මේ ටික එතනම කමෙන්ට් එකක් විදියට දාන්න තිබුනා උනත් වඩා හොඳයි කියලා හිතුනා වෙනම ලියන එක. මොකද එතන අදහස් සාකච්ඡා වෙලා තිබුනේ වෙනම පැත්තකට බර වෙන්නයි.

බිඟූ ගේ ලිපිය මුලින්ම ලියවිලාම තියෙන්නේ විශ්ව පිරිමි දිනයක් වෙන් වෙලා නෑ කියලයි.. ඒ වගේම පිරිමි අයටත් ගැහැණු අයට වගේම සමාජයෙන් ලැබිය යුතු තත්වයන් හා අයිතිවාසිකම් තියනවා කියන්නයි.. ඇත්ත මම ඒක පිළිගන්නවා.. ඒ වගේම ඒ ලිපියේ කමෙන්ට් අතරේම තිබුනා පිරිමි අයටත් එහෙම දිනයක් තියනවා කියලා. හැබැයි තාම මාර්කටින් කරන අයට ඒක විකුණන්න ක්‍රම හොයා ගන්න බැරි වෙලා තියනවා.. ඒ නිසයි වැඩි ප්‍රසිද්ධියක් නැත්තේ.. මම හිතන විදියට නම් පිරිමි ඒ ගැන දුක් වෙන්න නෙවෙයි සතුටු වෙන්නයි ඕන කරන්නේ.

ඒ ඇයි කියලා මම දැන් මට තේරෙන විදියට කියන්නම්.

ඇත්තටම අපේ රටේ නම් කාන්තා දින සමරනවා කියලා කරන මහලොකු කෙන්ගෙඩියක් නෑ.. ‍කරන ලොකු‍ම දේ තමයි රූපවාහිනි චැනල් ටිකේ නිවේදක නිවේදිකාවෝ ටික ගෙවල්වලට වෙලා ඉන්න ගෑණු ටිකව කොහේ හරි ඉඩ තියන තැනකට එකතු කරලා මුණු පාට කරන්නයි සාරි අඳින්නයි.. මොනා හරි මහන්නයි උගන්නන එක.. ඔය ටිකම තමයි අනිත් හැම දවසකමත් උදේට උදේට නැත්තං සති අන්තේ කාන්තා වැඩසටහන් කියලා යන එව්වයේ පෙන්නන්නෙත්... ඒවට වියදම් කරන වෙළඳ අනුග්‍රහකයෝ කියන කට්ටිය එන්නේ නම් තෑගි පෙට්ටි පොදි බැදගෙන. හැබැයි එක්කෙනෙකුට තෑග්ගක් දෙන්න අනිත් හැමෝගෙම පර්ස් එකේ සල්ලි වලට තට්ටු කරලා කියලා කවුරුවත් දැනගන්නේ නැති එකයි වැඩේ..

විශ්වාස කරනවාද ස්ත්‍රී සරීර කූඩුවේ හැම මිලිමීටරයක් සඳහාම කුමන හෝ වර්ගයක ආලේපනයක් තියනවා කියලා? ඇත්තෙන්ම ඔව්! ඔළුවේ තියෙන කෙස් ගහේ කෙල‍වරේ ඉදන් කකුලේ පොඩි ඇගිල්ලේ අන්තිම නියපොත්තේ අග තුඩ වෙනකම්ම මොනවාම හෝ දෙයක් හැම කොටස වෙනුවෙන්ම තියනවා.
ඔළුවේ ඉදන් බෙල්ල ගාවට ගත්තොත් විතරක් 100ක් වත් ඇති. කෙන්ඩෙටම ෂැම්පු,කන්ඩිෂනර්,කලර්,ඔයිල්,හෙයාර් තෙරපි,ඇන්ටිඩැන්ඩ්‍රෆ්,විග්,ඇතුලු එකී මෙකී නොකී දේවල් නම් කොයි තරම්ද?

‍කොට දේවල් දිග් කරන්න.. දිග එවා කොට කරන්න.. ලොකු ඒවා පොඩි කරන්න.. පොඩි ඒවා ලොකු කරන්න.. අරවා කරන්න මේවා කරන්න.. ඉතිං හැමදේම කලාට පස්සේ ඇස් ගිණිකණ වැටෙන වර්ගයේ ගෑණියෙක්ව හදන්න ඒ තරම් අමාරු නැහැ... ඕන කරන්නේ සල්ලි විතරයි..ඇත්තටම අයියලා, මල්ලිලා ,මාමලා , මචං ලා පාරෙදි ඔෆිස් එකේදි ලස්සනට දකින ගෑණු පරාන වල ලස්සන තියෙන්නේ පිටත විතරයි වෙන්න පුළුවන්.. ඔතාගෙන ඉන්න එවා ගැලෙව්වට පස්සේ ඇත්තටම ගෙදර දා‍ඩිය පෙරාගෙන බත් එක හදලා දෙන්න ඉන්න ගෑණු මනුස්සයා දාහෙන් සම්පතක් කියලා හිතේවී.

දරුණු විදියට අදහස් එන නිසා ලියන්න ගියපු දේ නොලියවී වෙන දේවල් ලියවෙන තැනකටයි මං වැටිලා ඉන්නේ.. කොහොම උනත් ආයේ මුලික අදහසට ආවොත්.. ලෝක කාන්තා දිනය කියන දවසෙදි අපේ ගෑණුන්ට පෙන්නන්නේ ගෙදර මිනිහා හම්බකරලා ගේන එක වියදම් කරන්න අළුත් පැති හොයලා දෙන එකයි.

උදාහරණයක් විදියට ගත්තොත් කොළඹ තියන ලොකු සාරි කඩේක අනුග්‍රහයෙන් මනාලියන් ප්‍රදර්ශණයක් තියනවා.. ඒකට ‍එන ලංකාවේ ලොකු රූපලාවණ්‍ය කට්ටිය කියලා දෙන්නේ අළුත්ම විලාසිතා වලට අළුත් විදියට මනාලියක් වෙන හැටි. එයාලා එක්කගෙනම එන්නේ ෆිගර් එක ගානට තියන ෆුල් ශේප් සුදුම සුදු බර්ගර් හරි මැලේ හරි මොඩ්ලර් කෙනෙක්ව. ඉතිං ඕක බලන අපේ සාමාන්‍ය ගෑණු ළමයින්ටත් ඕන වෙනවා ඒ විදියට ඉන්න.. ඇයි ජිවිතේ ලස්සනම දවස තමන්ගේ විවාහ දවස කියලනේ කියන්නේ.. එතනින් එහාට එන ලස්සන දවස් වලට සල්ලි ඉතුරු කරන හැටිවත්.. එදායින් පස්සේ එන අසුන්දර දවස් ලස්සන කරගන්න විදි කියා දෙන්නේ නැහැනේ. ඉතිං අර ටිවී එකේ දැක්ක කෙනා වගේ හැඩවෙන්න හැමෝම ‍ආස වෙනවා. අවාසනාවකට වගේ ලංකාවේ ටීවී චැනල් වල යන ඕවා බලන්නේ බොහෝම සාමාන්‍ය පවුල් වල ළමයි.. අර ටීවී එකට ආව රූපලාවණ්‍ය ශිල්පියෝ එක දවසක හැඩ ගැන්වීමකට රුපියල් ලකෂ 1 ක් හෝ බොහෝ විට ඊට වැඩියෙන් ගන්නවා.. ඉතිං එච්චර දෙන්න නැති උනාම එයා ගාව මාස හයක් ඉගන ගත්ත කෙනෙකුට ඒ ගානෙන් හතරෙන් එකක් විතර දීලවත් අර වගේම ලස්සන වෙන්නයි හැමෝම අදහස් කරන්නේ.. ඉතිං ඊට පස්සේ ෆේෂල් කියයි අරවා කියයි.. පස්සේ හතර අතේ ණය වෙලා මඟුල අරන් පහුවෙන්දා ඉදන් ජෝඩුව එක්ක ණය ගෙවනවා..! ඊට පස්සේ ඉතිං ෆැන්ටසි බ්ලාස්ට්... ! පවුල් අවුල්..!!

කාන්තා දිනය කියලා ඔය වගේ ලොකු ඇස්බැන්දුමක් තමයි සිද්ද වෙන්නේ.. ඒ කියන්නේ දැනටමත් අච්චුවට සෙට් කරලා තියන ගෑණු ඔළු ගෙඩි ටික.. තම තමන්ගේ මාකටින් ටාගට් වලට හරියන විදියට තව තව හදන එක තමයි හැමෝම එකතු වෙලා කරන්නේ.. ඒ කියන්නේ ගැහැණිය කියලා වෙළඳ ආයතන වලින් දැනටම හදලා තියන මොඩියුල් එක ඇතුලට රටේ ඉන්න හැම මට්ටමකම ගැහැණුන්ව ඇදලා දාලා මේතන තමයි ඔයා ඉන්න ඕනි.. මේවිදියට.. මේ ඇදුම ඇදලා.. මේ විදියට හිනා වෙලා.. එහෙම නොවුනොත් ඔයාට තැනක් නෑ.. ඔයාට ජිවත් වෙන්න බෑ.. මේ සමාජය ඇතුලේ ඔයාට කරන්න දෙයක් නෑ.. කියන මානසිකත්වයට ගැහැණියව ඇදලා දාන එකයි මේ කරන්නේ.. එහෙම නැතුව තමන් තමන් විදියට පවතින්නවත්.. ස්වාධීනව තමන්ගේ අදහස් වෙනුවෙන් පෙනී හිටින්නවත් මේ කවුරුවත් කියා දෙන්නේ නැහැ. එහෙම නැතුව ඉස්සර අපේ රටේ අපිට පුරුදු වෙලා හිටි සුන්දර අල්පේච්ඡ්ජ ගැහැණියව ආපහු‍ ගේන්න කාගෙවත් අදහසක් නෑ.. මොකද එහෙම උනොත් කොහොමද සෙල්ස් ටාගට් වලට යන්නේ?
-------

වනිතා දින වෙන් විය යුතු නැහැ.. ඒත් දැන් වෙන් වී අවසන් නිසා සිදුවිය යුත්තේ ඇයට තමන් කවුද? කුමක් සදහා ජිවත් වෙයිද.. තම වගකීම කුමක්ද.. තම ගරුත්වය ආරක්ෂා කරගන්නේ කෙසේද.. තමන්ගේ ගෙදරින් පිටත යන පිරිමියා තවත් ගැහැණියකට ගරු කරන කෙනෙකු කරන්නේ කෙසේද? යන්න ගැන ඉගැන්වීමයි.. තම ආර්ථිකය සේම පවුල තුලින් සමාජයක් නිවැරදි කිරීමේ හැකියාව ඇති එකම සත්වයා ස්ත්‍රිය පමණයි.! මේ සමාජයේ ඇගේ මෙහෙවරට දිනයක් ප්‍රමාණවත් නෑ.. ඇය උපදින්නේම දියණියක..සොයුරියක.. බිරිඳක..මවක..යෙහෙළියක..පෙම්වතියක..උපයන්නියක ලෙස තම වගකීම් දෝතින් ගෙනමයි.. අපට දැන් අවශ්‍යව ඇත්තේ පසුගිය දශක කිහිපය තුල අප කාන්තාවන් ගේ මනසට මාධ්‍ය ප්‍රධාන වෙළද සමාජය එබ්බ වූ බහුබූත එළිය‍ට විසි කර නැවත ඇයට ස්වාධීන ‍මනසක් ‍හා තමන්ට තනිව තීරණ ගත හැකිව තිබූ ශක්තිමත් මොළය නැවත ලබා දීමයි.

දයාබර සහෝදරයිනේ.. නුඹලා වෙනුවෙන් දිනයක් නොමැති වීම ගැන දුක් නොවන්න.. මේ හැම මොහොතම අපි අප වෙනුවෙන්මයි..! අපේ ජිවිත වෙනුවෙන්මයි.. ඔබ ආදරය කරන ඔබට ආදරය කරන අය වෙනුවෙන්මයි.. ඒ වෙනුවෙන්.. එක් දිනයක් මක් කොරන්නද????

-----------

මේක ලිව්ව මම මේ ලිපිය ලියන්න කොයි තරම් සුදුසුද කියන්න මම දන්නේ නැහැ.. මම දකින දැකපු දේ.. මට හිතෙන විදියටයි මම ලිව්වේ.. මේ සමාජය ඇතුලේ මමත් තව බිල්ලක් නොවී ඉන්න උපරිම උත්සහ දරනවා උනත් බහුජන හිත සුවපිනිස මේ සිස්ටම් එකේ ‍මමත් ගොදුරක් වෙන අවස්ථා අනේක තියනවා.. මේ ලියලා තියන දේවල් වැරදි වෙන්න පුළුවන්.. නිවැරදි කිරීම ඔබට බාරයි.. අවසාන තීරනය ගැනීම ඔබේ හිතට බාරයි..

ප.ලි - මෙකේ මාතෘකාව දැම්මේ බිඟු අයියාගේ ලිපිය දැකපු හින්දා මේක ලියන්න හිතුන හින්දයි.. නැතුව වෙන හේතුවක් හින්දා නෙවෙයි හොදේ.!

32 comments:

  1. Well done nangi.ඇත්තටම මට නං මෙච්චර හොඳට ඇස් ඇරිලා මේ තත්ත්වේ පෙනුනේ නැහැ. ඔයා තමයි පෙන්නුවේ.

    ඒකට හේතුවක් ඔය කාන්තා දිනයත් මට තව එක දවසක් වීම වෙන්න ඇති.

    කොහොම වුනත් ඔයා කාන්තා දිනය සහ කාන්තාව යන මාතෘකාව නියමාආකාරයෙන් බොරු සළු පිළි ගලවා පෙන්නලා තියෙනවා

    ReplyDelete
  2. ඔයා කියන දෙවල් වලිනුත්, මගෙ හිතෙ ඔයා ගැන ගෞරවය වැඩි වෙනව. ඔයා කලුතර, කොලඹ අතර නිසා සමජයෙ තියන රැල්ලට අනුව යම් තාක් දුරට ගහගෙන යනකෙනෙක් වෙන්න පුළුවන් නමුත් වැදගත්ම දෙ ඔයා යන්නෙ දැනගෙන..

    එහෙම නැතුව ඉස්සර අපේ රටේ අපිට පුරුදු වෙලා හිටි සුන්දර අල්පේච්ඡ්ජ ගැහැණියව ආපහු‍ ගේන්න කාගෙවත් අදහසක් නෑ

    මෙහෙම කියන්න එපා මගෙ හැම දෙම මම මෙ සදහා කැප කරන්නෙ...

    බොහොම ස්තුති මෙම ලිපිය ලිව්වට...

    ReplyDelete
  3. හරිම ලස්සනට කියන්න ඕන දේ ලියල තියනවා.
    මමනම් ආසම මෙන්න මේ කොටසට..

    "ඇත්තටම අයියලා, මල්ලිලා ,මාමලා , මචං ලා පාරෙදි ඔෆිස් එකේදි ලස්සනට දකින ගෑණු පරාන වල ලස්සන තියෙන්නේ පිටත විතරයි වෙන්න පුළුවන්.. ඔතාගෙන ඉන්න එවා ගැලෙව්වට පස්සේ ඇත්තටම ගෙදර දා‍ඩිය පෙරාගෙන බත් එක හදලා දෙන්න ඉන්න ගෑණු මනුස්සයා දාහෙන් සම්පතක් කියලා හිතේවී."

    ReplyDelete
  4. ඔය දේ බොහොමයක් අයට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්ණය. හොද ලිපියක්. සියලු දෙනාම කියවන්න ඕන ලිපියක්.
    ස්තුතියි ඔබට

    ReplyDelete
  5. EXCELLENT!

    මේ බ්ලොග් පෝස්ට් එක සකල ලෝක වාසි කාන්තා (සහ පිරිමි) කියවිය යුතුයැ!

    ReplyDelete
  6. හැමෝටම හිතන්න දෙයක් ලියල තියනව

    ReplyDelete
  7. රන්දිල් - මේපාර ඔය දවස තිබ්බ දවසේ මං ලෙඩ වෙලා ටීවී බල බලනේ හිටියේ.. ඉතිං හොදට තේරුනා කට්ටිගේ නරි නාටක කෙරුම් වල තරම..
    බොහොම ස්තූතියි අක්කේ අදහස් දැක්වීමට.

    රවා - රවා.. මෙතන "කාගෙවත්" කියන වචනෙන් අදහස් කලේ අපේ මොළ හෝදන මීඩියා හා මාකටින් කාරයෝ ගැන. ඒ දෙගොල්ලෝ හැර අනිත් හැමෝම ඒ ගෑහැණිය ආපහු එනකං බලන් ඉන්නවා මං හිතන්නේ.

    දසයා - ස්තූතියි අදහසට. :-)

    ජිවිතය සොබාදහම.. - ඔබටත් ස්තූතියි..:-)

    පිටස්තරයා - අලුත් පිටස්තරයෙක්.ස්තූතියි අදහස් දැක්වූවාට. :-)

    සුපුන් - හප්පා.. ස්තූතියි මල්ලියේ...

    ස්තූතියි උදිත.

    ReplyDelete
  8. ඔය තියෙන්නෙ ඇට්ටි හැලෙන්න. මලී කෙල්ල ෆෝම් වෙලා. ඇත්ත ඇති සැටියෙන් අමු අමුවේම කිව්වම ඒකෙත් අමුතු ගතියක් තියෙනව. ම.සිල්වා part 02

    ReplyDelete
  9. ඔයා නම් මරු ඈ... ;)

    මේ ලිපියෙ අහක දාන්න දෙයක් නෑ කියලයි මට මුලින්ම හිතුනෙ. වචනයක් වචනයක් ගානෙ මේකෙ ගන්න දෙයක් තියෙනවා. ගැහැණියක්ම මේව කියන එක තමයි හැම අතින්ම වැදගත්. කාටද ආඩම්බර :පී

    ගැහැණිය සතු වටිනාකම් නිර්මාණය වෙන්නෙ ඇයගෙ රූපයත් එක්කමයි. එතනින් එහාට ඇගේ හැකියාවල් වලට වටිනාකම් ලැබුණත් සමාජයෙදි මුලින්ම ලකුණු වැටෙන්නෙ ඇගේ රූපයටයි. ඒ නිසා ඒ වෙනුවෙන් ඇය වෙහෙසෙන එක ඇගේ පැත්තෙන් සාධාරණයි. මෙතන ගැටළුව තියෙන්නෙ ගැහැණියගේ එකම වටිනාකම ඒකය කියන වැරදි මතය පැතිරීමයි. ඒක අර කිව්ව වගේ හොඳට මාකට් කරන්න පුළුවන් වීම නිසයි ඒ.

    පිරිමියත් ඉදිරියෙදි ඔය අංශයෙන් මාකට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැනටත් පිරිමින්ට විතරක් මූණ සුදු කරගන්න ක්‍රීම් ජාති තියෙනවනේ. මතකනේ අර ගෑණු ළමයින්ගෙ හොස්ටල් එකට පැනල ක්‍රීම් හොරකම් කරන කළු කොල්ලගෙ ඇඩ් එක. හැබැයි ඔතන තවත් එකක් තියෙනවා. පිරිමියව පිරිමිය විධියටම මාකට් කරන්න බෑ. ඒකට පිරිමියව ගැහැණියක් කරන්න වෙනව. ඒ කියන්නෙ අනාගතේ මාකට් එක තියෙන්නෙ කඩවසම් වගේම ශුමුඩු ශමක් සහිත සියුමැලි පිරිමින්ට. මොකද පිරිමි අයත් තූති බබාල / බෝනික්කෝ වුණාම එයාලටත් බඩු විකුණගන්න ලේසියිනේ...

    ReplyDelete
  10. කෝ මගේ කාසි මල්ල මේකිගේ කටේ ඔබන්න. අම්මපා මගේ මුලු කැටේම උනත් කමක් නැ.., කටේ ඔබන්න හිතෙන තරම් වටින විදියට මචී ලියලා තියෙනවා. රවා කිව්වා වගේ මේක කියෙව්වමා ඔයා ගැන තියෙන ගෞරවේ තව තවත් වැඩිවෙනවා.
    උඹට ජයෙන් ජය පතනවා නංගියා...! එලම එලකිරි...! :D

    ReplyDelete
  11. බොහොම වටිනා අදහස් ටික. සහතික ඇත්ත ලියලා තියෙන්නේ..

    මේක කියවගෙන යද්දී, මට වෙච්ච පොඩි සිද්ධියකුත් මතක් වුනා. Comment එකක් විදිහට type කරන්න අරන් අන්තිමට දිග වැඩි හන්දා post එකක් විදිහට මෙගේ blog එකේ දාන්න හිතුවා - http://ygeneration.tumblr.com/post/443618475

    ReplyDelete
  12. අපි කොච්චර කෑ ගැහුවත් ගැහැණිය "වෙලඳ භාණ්ඩයක්" කරල විකිණීම නතර කරන්න නම් හම්බ වෙන්නෙ නෑ. ගැහැණියගේ රූපය කියන්නෙ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් ස්වභාව ධර්මය නිපදවපු ඇමක්.

    ReplyDelete
  13. ලිශ් අයියා...
    මලිට ජය පතන්න දෙයක් නැහැ... එයා කියන, ලියන දෙවල් වලින් පෙනවා ලොකු ජයක් ලබලා තියන විත්තිය.. හිතෙ පොඩි පොඩි දොමනස්සයන් කිපයක් තිබුනට.. කියා ගන්න බැරි තෘප්තියකින් ඉන්නෙ පෙන්නෙ නැද්ද...මලිගෙ මුහුනෙ තරහවට යටින් යන හිනාව මෙක කියවද්දි.....

    ReplyDelete
  14. ඉස්සර හිටපු අල්පේච්ච ගැහැණිය.. හ්ම්... මේ කතාවට නම් අනේ මන්ද කියලා හිතෙනවා.. ඒ ඇර අනිත් හැම එකක්ම ඉස්තරම්.

    ReplyDelete
  15. හැම දෙම විකිනෙන කාලයක ඔක පුදුමයක් නෙමෙය් මලී..

    ReplyDelete
  16. මගේ අප්පට සිරි! ලියලා තියෙන කතාව අමුලික ඇත්තනේ! කාන්තා දිනය කියලා සමරන Dr. කෑල්ලක් නමට ඉස්සරහින් දාලා ඉන්න අයට ඕකවත් තේරෙන්නේ නැති හැටි!

    ReplyDelete
  17. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු,තව ටිකෙන් මම "එල පෝස්ට් එක මචෝ" කියල අම්බානක නාගන්නව,මොකද මම හිතුවෙම මේක ලියල තියෙන්නෙ පිරිමි පරානයක් කියල...හෆොයි බේරුනු බේරිල්ලක් =P
    ඔයාගෙ කටේ(හ්ම් නැත්තම් අතේද?) මසුරන් ගෝනි දහයක් විතර ඔබන්න වටිනව කියල තියෙන දේවල් වලට :P keep it up sis

    ReplyDelete
  18. කාන්තාව දුර්වල කරන්නෙ කාන්තාවමයි. අනික අක්කේ උදේ නවයට පටන් ගත්තාම තියෙන හැමදේම මාකටිං ඒකෙ කියන සමහර කෑම අදාල ප්‍රොඩක්ට් එක ගත්තෙ නැත්නම් හදන්නත් බෑ. ස්වාධීන තමන්ගෙ දෙපයින් නැගිටින ගැහැණියක් හදන්න ඒ එකකටවත් ඕනිකමක් නෑ.. තමන්ගෙ ගෙදරට ඕනි කරපිංච රම්පෙ කරල තමන්ගෙ ගෙදර හිටවන ගැහැණියක්. අනේ මන්ද ඕක ඉතිං අපි අපිටම හදාගන්න පුළුවන් දෙයක්.

    ReplyDelete
  19. බිඟු අයියගෙ Post එක කියෙව්වත් comment නොකර හිටියේ මං කියන්න හිටි දේවල් හැමෝම වගේ කියල තිබුණු නිසා...
    දැන් ඔයාගේ Post එකට මොනවා කියන්න ද ?
    ඔයත් කියන්න තියෙන ඔක්කොම ටික අඩු නැතුවම කියලනෙ..
    ඇත්ත මං නම්, මේ “දින“ සංකල්පයට තදින් ම විරුද්ධ කෙනෙක්. මේක තනිකරම ව්‍යාපාරිකයන්ගෙ ඕනෑකමට සිද්ධ වෙන දෙයක්. හැම දිනයක් ම වැලන්ටයින් දිනයක් කරගෙන තමන්ගෙ Sales Targets වලට යන්න...

    උතුම් බුදු දහමින් පෝෂණය ලබපු අපිට මේ එක එක දින අවශ්‍යයද ?
    අපූරුයි !නංගියෝ.

    ReplyDelete
  20. නියමයි මලියෝ. බුදු සිරා. වදින්න ඕන තැන්වලට වදින්න රිදෙන්න ඕන අයට රිදෙන්න උඹ ලියල තියෙනවා.

    අර කිව්ව අල්පෙඡ්ඡ ගැහැනිය ගන හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා වගේ. ඇත්තෙන්ම ස්වාමියෙක් විදිහට කියන්නේ මටත් හිතෙනවා අපි කවුරුවත් ඒ තරම්ම අල්පේඡ්ඡ කාන්තාවකට කැමති නැතුව ඇති කියල.

    හම්බු කොරනෙන පිරිමියා කියමු. ඒ පිරිමියා (ඕනෑම පිරිමියෙක්) කැමතියි තමන්ගේ ගෑනි තම්න්ගේ සල්ලි ටිකක් වියදම් කරලා හරි හැඩ වැඩට ඉන්නවා දකින්න. අනික මේ තරඟකාරී සමාජයේ (අපිට සමාජයෙන් විතැන් වෙලා ඉන්න බෑනේ මලියෝ) රැඳෙන්න නම් තමන් ට ගැලපෙන විලාසිතා එහෙම තෝරගෙන පිලිවෙලකට විලාසිතා කල යුතුයි කියලයි මගේ හැඟීම නම් .. .

    ReplyDelete
  21. නියමයි.
    ඇස් ඇරෙන විදිහට ලියල තියෙනව.
    සුභ පැතුම් මචී

    ReplyDelete
  22. ගැහැනු-පිරිමි හරි විදියට ඉන්නවනම්
    කියන-කරන දේ හරි විදියට සිදු වේ නම්
    හිතේ තියෙන දුක දැන් ඔබ ගන්නවනම්
    ඔන්න මලී මම නාඩා මෙතනම ඉන්නම්

    /බිඟුවා...!

    ReplyDelete
  23. නිලන්ත - අම්මෝ.. මෙයාව දැක්ක කල්..!මොකෝ දැන් ලියන්නේ නැත්තේ ආ.. අපෝ නෑ.. මං නම් අර පාට් ටූ එක නෙවෙයි හොදේ..!

    එච් - අනේ ඔන්න මට නම් ආඩම්බර නෑ..
    ඇත්ත.. ගැහැණිය සුන්දර විය යුතුය.. ඒ හරහා ඇයට ලබාගත හැකි දේත් බොහෝයි.. නමුත් එහි සීමාව ඇය වටහා ගතයුතුයි නැද්ද? ඇගේ ලස්සන තව කෙනෙකුගේ ගොදුරක් නොවිය යුතුයි.

    ඔව් ඔව්.. දැන් දැන් පිරිමියාවත් ඒ තැනට ඇදගෙන එන බව පේනවනේ ටික ටික..ඒකයි මේක කලින්ම ලිව්වේ පොඩ්ඩක් මොලේට යන්න.

    ලිශ්- තෝ මාව මරන්න නේද යන්නේ කාසි ගිල්ලවලා.. අතේ සතේ නෑ.. පර්ස් එකට දා ගන්න කීයක් හරි දුන්නොත් නම් ඔන්න එපා කියන්නේ නෑ.. හික් හික්..

    ‍~yg- හහාහාහ! ඒ කතාව නම් මරු..!

    තරිඳු-නතර කරන්න බෑ තමයි.. හැබැයි ගෑණු ටික මේ ඇත්ත හෙමින් හෙමින් හරි තේරුම් ගත්තොත් ටිකක් වැදගත් විදියට විකිණෙන්න පුළුවන් වේවි.. පැහැදිලිවම ගැහැණිය නිර්මාණය වෙන්නේ පරපුරක පැවැත්ම වෙනුවෙන්.. ඒත් මේ යන්නේ පැවැත්ම දිහාටද නැත්තං විරුද්ධ දිහාවටද?

    රවා- :-‍/

    චමිල- ඇයි අනේ මන්දා කියලා හිතුනේ?

    පිස්සා පලාමල්ල - හ්ම්ම්....

    ReplyDelete
  24. බිංකු- ස්තූතියි බිංකු

    එම් - අපෝ මචෝ කිව්වට නම් කිසි අවුලක් නෑ.. හික් හික්.. කොහොම උනත් අදහස් දැක්වීමට ස්තූතියි.

    මන්දාකිණි - ඇත්ත ඇත්ත සහතික ඇත්ත.

    sansarasidu- ස්තූතියි අදහස් දැක්වීමට.

    දුකා- මටත් පෙන්නේ අල්පේඡ්ඡ ගැහැණිය කියන වචනෙන් මම අදහස් කරපු දේ කට්ටියටම වැටහුනේ නෑ.. මම කියන්නේ චීත්ත ගවුමක් ඇදන් කොන්ඩේ බැදලා දාඩිය දාගෙන ගෑණු ඉන්න ඕනා කියන ‍එක නෙවෙයි. අද අපි ඉන්නේ ඊට වඩා නවීකරණය වුනු අළුත් සමාජයක. ඒ නිසා අපි වටා තියෙන්නෙත් හරිම දිළිසෙන සමාජයක්.. ඒ සමාජය ඇතුලේ තියන ‍දේ වලින් තමන්ට ගැලපෙන දේ.. තම වත්කම් වලට පවුලට වයසට හා තරාතිරමට ගැලපෙන දේ තෝරගන්න ගැහැණු බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න නරකයි ස්ත්‍රිය කියන්නේ ස්භාවිකවම ලස්සන සතෙක්. ඒ රූපය අනවශ්‍ය විදියට හැඩකරන්න ගියාම එතන ඉතිරි වෙන්නේ හරිම කෘතිම විකාර රූපි සත්වයෙක්. මොකද මම අනන්තවත් දැකලා තියනවා ගැහැණු අය තමන්ට නොගැලපෙන දේවල් නිසා තියන ලස්සනත් නැති කරගත්තු අවස්ථා ගොඩක්.. ඒ නිසා වෙන්නේ සමාජය ඇතුලේ කැපී ‍පෙනෙන්න ගිහින් විහිළුවක් වෙන එකයි. අනික ‍මම කොයි වෙලාවෙදිවත් කියන්නේ නැහැ ගැහැණිය වෙනුවෙන් නිශ්පාදනය කරන සියළුම දේවල් එක ගැහැණියෙක් පාවිච්චි කරත් ඒක වැරදියි කියලා.. අපිට කාටවත් අයිතියක් නෑ එහෙම කියන්න.. නමුත් තමන්ට අවශ්‍ය හා අනවශ්‍ය දේ තෝරාගැනීමේ බුද්ධිය ගැහැණියක් සතුවිය යුතුමයි.. අද වෙනකොට අපේ අය අතරින් නැතිවෙලා යමින් තියෙන්නේත් එකමයි. අනික මිනිහා හම්බකරන දේවල් ගෙදර ගෑණිට නැතුව අල්ලපු ගෙදර ගෑනිටයෑ..! :පී

    මනුසත්- ස්තුතියි මචෝ..

    බිඟුවා - හිතේ දුක මොටෝ බං මං ගන්නේ.. ඇයි අපේ බිඟු රැජින ඉන්නේ.. හික් හික්

    ReplyDelete
  25. ස්ත්‍රිය කියන්නේ ස්භාවිකවම ලස්සන සතෙක්. ඒ රූපය අනවශ්‍ය විදියට හැඩකරන්න ගියාම එතන ඉතිරි වෙන්නේ හරිම කෘතිම විකාර රූපි සත්වයෙක්.

    මලි නංගි..පුදුම දෙයක්නෙ...මෙකම තමයි මගෙ ඔලුවෙත් දුවන්නෙ..
    දුකා අයියා ගානට ඔලුව අතගාලා කොක්ක ඇද්දා නෙද...
    හැබැයි කෙනෙකුට ඔයාට ඇගිලි දිග් කරන්න පුලුවන් හිස් තැනුත් කිපයක් ඉතුරු කරලා තියනවා වගෙ මට දැනෙනවා...

    ReplyDelete
  26. එල.....

    කාන්තා දිනයෙදි කරන්නේ කාන්තාව අපහු විකුනන එකම තමයි...

    - කවිමල්

    ReplyDelete
  27. සිරා සටහනක්. කාන්තාවක් කියන්නෙ ස්වාධීන චරිතයක් කියන එක නියමෙට පෙන්නලා තියෙනවා. ඇත්තටම ස්ත්‍රිය ස්වාධීන වෙනකොට ස්ත්‍රීවාදයත් ටික ටික අයින් වෙලා යයි..

    ReplyDelete
  28. රවා - අපි ඉතිං එක වයසේ කට්ටියනේ.. එක වගේ හිතෙනවා ඇති... දුකා ඉතිං අයියානේ.. ඒකනේ අපි අයියා කියන්නේ.. ඒ වුනාට එයාගේ කොකු වලට මං බය නෑ.. හික්.
    අනිවාර්යෙන් මගේ සටහනේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් කියලා මං අන්තිමේ ලියලා තියනවානේ.. අනික මං ලිව්වේ මං දකින හා මං හිතන කෝණයෙන්.. මට වඩා වෙනස් ‍පැත්තකින් දකින හිතන කෙනෙකුට මේ ලිපියම වැරදියි කියලා හේතු දක්වන්න පුළුවන් වෙයි ඕනි නම්.

    කවි අයියාව දැක්ක කල්....!! ස්තූතියි අයියේ කමෙන්ටුවට.

    ආගන්තුකයෝ - අනිවාර්යෙන්ම එහෙම වෙයි කියලා හිතනවා.

    ReplyDelete
  29. නියමයි අක්කේ.... ඇඬෙනව පෝස්ට් එක දැක්කම

    ReplyDelete
  30. http://www.youtube.com/watch?v=3jgxTczPFPQ&feature=player_embedded

    ReplyDelete
  31. http://www.youtube.com/watch?v=0TS6lJDVBxg&feature=player_embedded

    ReplyDelete