Sunday, November 9, 2008

සති අන්තයේ රෝහල් ගත වීම හා පාසැල් යාම

මේ සති අන්තයේ මගේ දවස් දෙකෙන් වැ‍ඩි හරියක් ගෙවුනේ මහනුවර ශික්ෂණ රෝහලේ 51 හා 26 කියන වාට්ටු දෙකෙයි පල්ලේ කැලේ ආයුර්වේද රෝහලෙයි. අපොයි මම නෙවෙයි, පඩිපෙළකින් ඇද වැටීම නිසා අ‍බාධිත වෙන රොගියෙක් එක්කයි මම හිටියේ පොත- 51 වාට්ටුව කතෘ කන්දේගම කුලරත්තන.

1991 මැයි 26 වන දින රජයේ කාර්යාලයක උඩු මහලින් බිමට ඇදවැටී මුහුණ,අතපය,ගෙල, කොදුඇට පෙළ පමණක් නොව සුසුම්නාවද සුණුවිසුණුව ගිය රෝගියෙකු මෙරට වෛද්‍යවරුන්ගේ පමණක් හැකියාවන්ගේ බලයෙන් බිදී ගිය සියළු කොටස් පුරුද්දා ප්‍රාණය ලැබ සිරුරේ දකුණු අර්ධය පමණක් යථා තත්වයට පත් වු පසු තමන් ලබන අත්දැකීම් උපයෝගී කරගෙන ලිව්ව පොතක් තමයි 51 වාට්ටුව කියන්නේ. රෝගියෙක් ස්නායු රෝග ආශ්‍රිත ‍ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවක බොහෝ කාලයක් ප්‍රතිකාර ගන්නා අතරතුර ඔහුට ‍මුණගැසුනු වෛද්‍ය,හෙද,සාත්තු සේවක හා කම්කරු යන සියළුම අංශ වලට අයත් සේවක චරිත හා රෝගීන් පිළිබදව මැදහත් සිතින් ලියන ලද පොතක් විදියට මම මේ පොතට කැමතියි. ‍ඒ හැර ‍මුළු පොත පුරහම දිව යන ආබාධිත රෝගියෙකුගේ ගුප්ත වේදනාත්මක් අත්දැකීම වලින් මේ පොත වැසී ගිහින් තිබුනා. ජීවිතේ අද වෙනතුරු කවරදාවක් වත් ‍රෝහලක පැය ‍දෙක තුනක් වත් ගත කරලා නැති මට මෙම පොත අපේ සමාජයේ තවත් පැත්තක් පෙන්නුම් කරා කියලා මට ‍හිතෙනවා. පොත කියවද්දි ඇති වෙන අනුකම්පාව වගේම කුතුහලය පිරි අමුතුම හැගීමකුත් පොත වෙත මගේ ආසාව වැඩි කලා.

මම මේ පොත ගත්තෙත් ‍‍බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශණයෙන්. පොතේ පිටු ගණන අඩු වීමත් පොතේ නමත් ‍‍ආකර්ශනයෙන් යුත් අනිත් පොතුත් නිසා මේ පොත කියවන එක දවසින් දවස කල් ගියා. ඒත් අවංකවම කියන්න ඕනි දේ තමයි මුළු ප්‍රදර්ශණයම පීරලා හොයා ගත්තු මේ වසරේ හොදම නවකථාව ‍වුනු ලියනගේ අමරකීර්ති‍ගේ "අටවක පුත්තු" හා හොදම කෙටිකථා සංග්‍රහය වු ගුණදාස අමරසේකරගේ "විල්තෙර මරණය" කියන කෘතීන් දෙකටම වඩා මේ පොතේ ඇතුලාන්තය මාව ආකර්ශණය කරගත්තා. අටවක පුත්තු කියවලා ඉවර උනාම මට හිතුනේ මේ ව‍ගේ කථාවක් මම මීට කලින් කියවලා තියනවානේ කියන එකයි. ඒ හැර එහි එන සිදුවීම් විස්තර කිරීම් මීට වඩා ප්‍රබල විය යුතුව තිබුනා කියලා මට හිතුනා. අවංකවම මට ‍අටවක පුත්තු හිතේ ලොකු සටහනක් තිබ්බ පොතක් කියලා නම් කරන්න බැහැ. අනේ මන්දා මම පරිවර්ථන පොත් වලට වැඩියෙන් ඇලිලා ඉන්න හින්දද කියලා මට මේ සාහිත්‍ය සම්මාන ලැබූ පොත් දෙකම ‍ගත්තේ අපරාදේ කියන ලිස්ට් එකට දාන්න හිතුනා. ඒ අතරින් විල්තෙර මරණය නම් ප්‍රධානයි. හේතුව එහි කථාව පවා පදනම් වී තිබුනේ අපි කවුරුත් දන්න ලකෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පසුබිම් කරගෙනයි. එහි එන අනිත් කථා පවා මගේ හිතේ වැඩි මතකයක් ඉතිරි කලේ නෑ. එක්කෝ ගැටළුව තියෙන්නේ මගේ දැණුමේ නැත්නම් අපේ සාහිත්‍ය පවතින්නේ දුක්බර තත්වයක. අනේ මන්දන්නේ නෑ ඉතිං ඕවා. මම කියෙව්වා මට හිතුනා මම ලිව්වා .

************************************************

මේ ඉරිදා හවස් වරුවේ මම ආයේ ගිහින් වාඩි උනා ස්කොලේ උසස් පෙළ පන්තිය ඇතුලේ. සෑහෙන්න කාලෙකින් මගේ යාළුවෝ ටික ආයෙත් මුණ ගැහුණා. එක්කෙනෙක් බැදලා..කට්ටියක් රස්සා කරනවා...කට්ටියක් සරසවි යනවා... එකෙක් රට. හප්පේ එක බත්පත බෙදන් කාපු කෙල්ලෝ 8 දෙනෙකුට ‍වෙච්චි දෙයක්. ආය ඉතිං එහෙම කිව්වට මක් වෙලාද ඔය ඉන්නේ 8 දෙනාම යස අගේට අම්මේ ඔව් අංජු ලස්සන වෙලා, හෙලා‍ මහත් වෙලා , නෙරා සුදු වෙලා කට්ටියට කථාකරන්න දේවල් කෝටියයි. ඔය අස්සේ ගදයා එනකම් බලන් ඉන්න වෙලාවේ මගේ සෙරෙප්පුව වැටුනේ නැතැයි කාණුවට. ගන්නත් බෑ වතුර තියෙනවා කාණූවේ. හයියෝ!!! යැව්වා අංජුව බාටා එකට ඩොටෙක් අරන් එන්න. එයා එනකම් හෙලාව තියා ගත්තා මගේ ඉස්සරහින් ‍එතකොට යන එන අයට පෙන්නේ නැහැනේ. ඔය අස්සේ නිරා එහා පැත්තේ හිටිය සෙරෙප්පු හදන කෙනා එක්ක කථාවක්. මෙන්න බොලේ ටිකකින් අර මනුස්සයා ඇවිත් කම්බියක් දාලා සෙරෙප්පුව අරන් දුන්නා. මට හරිම සතුටුයි ඒත් ඒක දාන්න බෑ කුණූ වතුරෙනේ තිබ්බේ. අංජු ඩොටා ගෙනාවම ඒක දාගෙන හිටිය සෙරෙප්පු කුට්ටම ෂොපින් බෑග් එකේ දාලා හෙලන්ගේ බෑග් එකේ දැම්මා. ඒකී මට බැන බැන ඒක උස්සන් හිටියා. මොනවා උනත් මම කරනවා වගේ බැග් එක බිමින් තිබ්බේ නම් නෑ. ගදයා ආවට පස්සේ අපි ගියා මේනා ලගේ ගෙදර. පැය 4ක් විතර බොහාම සතුටින් එක විනාඩියක් වත් වචන නැතුව හිස් වුනේ නෑ. හිනාව නැති උනෙත් නෑ..හොද වෙලාවට ගෙදර අනිත් අය දේව මෙහෙයකට කියලා ගියා. නැත්නම් අපිව ගෙදරින් එළවනවා ෂුවර්. හැමෝටම කියන්න අළුත් තොරතුරු කප්පරයි. අළුත් කථා එක්ක බැදෙන පරණ මතකයන් අපිව ආයෙත් ස්කොලේ ගෙනිච්චා. 5.30 විතර මේනලගේ ගෙදරින් එනකොටම පටන් ගත්ත කුඩු පොද ගෙදර එද්දි මහා අකුණු ගගහ වහින වැස්සක් වුනා. හොද හැටි තෙමිලා ආදරණීය මතකයන් ටිකකුත් ‍ගොඩගහගෙන ගෙට ගොඩ වුනා. හ්ම්ම් සති අන්තයත් ඉවරයි. හෙට ඉදන් ආයෙත් පුරුදු රවුමේ කැරකෙන්න වෙනවා ඒත් ජීවිතය සුන්දරයි. මට එහෙම හිතෙනවා.!

10 comments:

  1. කට්ටිය සෙට් වෙලා මොනාද බිව්වේ? ;)

    ReplyDelete
  2. ane maliyo owa kawada hari kiyawanna araksha karala thiyapan..kawada hari mama kiyawanna asai..habai kawada weida danne naha...(???) balamuko yahapath arthikayak goda nagunama ubalata kiyalawath genna ganna...mata nam hospital wala athdakeem thiyenawa ...ape ammage heart eke stenting operation eka karanakota mama oya gana mara athdakeem labuwa...aththatama roogiyekta waidya warayek kiyanne dewiyek...a wagema thama a rogiyagge jeewitheta badunu ayatath..

    ReplyDelete
  3. ඒකනේ අපිටත් කිවුවනම් බෝතලයක් අරන් එනවනේ G8 ට සැට් වෙන්න

    ReplyDelete
  4. සෙරෙප්පු දෙක ඉල්ල ගත්තේ නෑ නේද? හෙලන්ගෙන්

    ReplyDelete
  5. Haresh - අපිද අපි ‍සෙට් වෙලා බිව්වා නියම බීමක් ශා කියලා වැඩක් නෑ ඔයාලා සෙට් වෙන වෙලාවට හිතන්නේ වත් නෑ.. pure orange juice :P

    Sampa - Aniwa aiye oka sulu deyak kemathi nam postal address eka denna. hebei den kiyawanna welawa thibeeda??

    Ma- ‍අපි බොන්නේ ක්‍රීම් ‍‍සොඩා තමයි අපරාදේ කිව්ව නම් මෙගා බෝතලයක් ගෙන්න ගන්න තිබ්බා තමයි ඔබතුමාට කියලා :P


    Amal- ඇත්තම කියනවා නම් අයියේ මට අමතක උනා හෙලා මතක් කරලම මම බස් එකෙන් බහින්න කලින් දුන්නා. නැත්නම් ඔයා කිව්ව එක තමයි වෙන්නේ හිකිස්

    ReplyDelete
  6. මේ... මොකද නම මාරු කරලා....! , මමත් ආසයී අකුරු 3 නම් වලට.... ( පුද්ගලිකයී) ...

    වේරලු ගෙඩිය හරි 8 කට කෑපෙනවානම් , බත් එක 8 කට බේදන එක කජ්ජක්ද ?
    අපේ පන්තියේනම් බත් එකක් 10 , 15 කාපු වෙලාවනුත් තියනවා....

    වහින වේලාවේ මෑයී ගහක් යටට යන්න අවස්ථාවක් හම්බ උනේ නෑද්ද ?

    පාසල් යන කාලේ පටන්ගත්තු සම්බන්දයක් නිසාද අර එක ලමයේක් පවුලක් වේලා තිබුනේ .... ?

    ආයේත් ඉස්කෝලේ යමුද ?

    ReplyDelete
  7. ප්‍රියා - අයියෝ දෙවියනේ ප්‍රශ්ණ පත්තරයක් නේ! මෙන්න උත්තර
    1 නම - මම නෙවෙයි නම මාරු කලේ කාර්යාල පරිගණකයනේ සමහර විට ඒකේ ‍‍සෙටින්ග්ස් වෙනස් වෙලා තියෙන්න ඇති මම නොදැනුවත්වම (මගේ ඔක්කොම නම් අකුරු 3 තමා :P)

    2 බත් - කජ්ජක් නෙවෙයි.බත් එකක් 8 කට උනත් බෙදනවා කියන්නේ මිනීමරාගන්න වැඩක්. මැරුනේ නැති උනාට බත් එක කන්නේ බත් එකේ තියෙන්නේ මොනවද කියලවත් නොබලා

    3 මැයි - මොන මැයි ගස් ද අනේ වහින වෙලේ මම බස් එකේ අපේ ගෙවල් පාරේ තාප්ප ඇරෙන්න ගස් නෑ

    4 විවාහය - අපෝ නෑ. අපි 8 පිස්සු නැටුවට ඒවට පිරිමි සම්බන්ධ කරගත්තේ නෑ.විවාහය සිද්ධ වුනේ පාසලෙන් සමුගත්තට පසුව දැනගත් කෙනෙක් සමග

    5 පාසැල් හා යමු හැබැයි ඉගන ගන්න බෑ!

    ReplyDelete
  8. බාටා එකක් ගත්තේ අපරාදෙනෙ මලී.... ඉස්කෝලෙ ගමන නවත්තලා වැඩි කාලයක් නොවුනත් තාම එ කාලෙ නම් අද වගේ මතකයි... එහෙම වුනොත් මට මෙතන blog post එකක් ලියන්න වෙනවා...

    ReplyDelete
  9. ඔය පොත් දෙක මමත් කියෙව්වා පරිගණක ඉංජිනෙරුවෝ සහ සාහිත්‍ය ගැලපෙන්නෙ නැති වුනාට මම තාම ඇදෙන්නෙ කලාවට තමා... ඉස්කෝලෙන් ලැබුනු හොද දෙයක් තමා... මම දැනට කියවපු හොදම පොත "ප්‍රභානි" ඒකත් කියවලා බලන්න... ඔය පොත නම් මම කියවලා බලනවාමයි... 51 වාට්ටුව... ස්තුතිය...

    ReplyDelete
  10. මට අද වෙලාවක් ලැබුනා ඒ වෙලාවේ මම ඔයාගේ පරණ ලිපි බැලුවා. ඔන්න ඔයා ඇත්තමයි කියලා තිබෙන්නේ. මටත් අටවක පුත්තු කියෙව්වාම ඔහොම තමයි හිතුනේ. නිකම්ම සිදුවීම් පෙළක් ගොඩ ගහලා වගෙයි. ඒත් මට හිතා ගන්න බැරිව හිටියේ මේ මිනිස්සු මේ පොත මෙච්චර වර්ණනා කරන්නේ ඇයි කියලා. සමහර තැන් තිබුනා එඩිවඩ් මල්ලවආරච්චි මහත්තයාගේ කථා පොතක් කියලා හිතුන තැන් නංගී.

    ReplyDelete