Monday, March 30, 2009

මෝසම් මුහුදේ පිහිනීම - ශ්‍යාම් සෙල්වදොරේ


මේ දවස් වල යෙදෙන ඒවා මේවා වැඩ හින්දා ලියන්න දේවල් හිතට එන්නේ අඩුවෙන්. ආවත් ලියන්න ගියාම හිතෙනවා නෑ මේවා ලියන්න ඕනි නෑ කියලා. බ්ලොග් ලියන්න ගත්ත මුල් දවස් වල බ්ලොග් ලියන කාවවත් දැනන් හිටියේ නැති නිසයි කියවන අය නැති නිසයි හිතට එන හැමදේම බොහොම නිදහසේ ලිව්වත් දැන් ලියන්න ගියාම පොඩ්ඩක් දෙපාර තුන්පාරක් කල්පනා කෙරෙනවා. කොහොම උනත් ඒක මගේ හිතට වදයක් වුනත් එහෙම කෙරෙන එක හොද වෙයි...ඒක නිසා මගේ බ්ලොග් එක ලියන එක සෑහෙන්න මන්දගාමී වෙයි. කමක් නෑ. ඒත් මං දන්න හැම ‍බ්ලොග් එකකම අකුරක් නෑර පුළුවන් හැම වෙලාවෙම කියවන්න මම කැමතියි. සමහර දේවල් වලට අදහස් නොදැක්කුවත් අකුරු කොහෙද ඒවා කියවන්න මං එතන ඇති‍.
මේ හදිස්සියේ මේ සටහන ලියන්නෙත් අද කියෙව්ව දෙයක් ගැනයි.. මීට මාස ගාණකට කලින් සූ අක්කාගේ මෙන්න මේ ලිපිය කියවලා තමයි මම
ශ්‍යාම් සෙල්වදොරේ ගැන දැනගත්තේ.. එදා ඉදන් හොයලා ගිය සිකුරාදා කොළඹ නගරේ පුරා ඉබාගාතේ වගේ ඇවිදින ගමන් නුගේගොඩට ගිය වෙලාවේ සරසවි පොත් හලට ගොඩ වුනාම ‍පොත් සේරම ටික තිබ්බා. අපේ කට්ටිය ගෙදර එනකොට තෑග්ගට අරන් ආව ගිෆ්ට් වව්චර් එක ලග තිබ්බ හින්දා ‍මෝසම් මුහුදේ පිහිනීම කියන පොත ගෙදර එක්කගෙන ආවා. .
ගෙදරත් කියවන්න පෙලගැහිලා තව පොත් හතර පහක්ම ඉන්නවා. ඉතිං ඒක හින්දා අද මෙයාව ඔෆිස් එක්කං ආවා. මෙහෙත් ලාච්චුව ඇතුලේ ලියක මහිම ඉන්නව වුනාට එයාට තව පොඩ්ඩක් ඉන්න කියලා මම මුහුදට පැන්නා එකොලහට විතර. දැනුයි නාලා ඉවර වුනේ.
මොනවද ඉතිං මම කියන්නේ? මුහුද කවදාවත් අපිට(මට) එපා වෙන්නේ නැහැනේ. කොයි තරම් බලන් හිටියත් කොයි තරම් රැල්ල පෑගුවත් කී සැරයක් නෑවත්. මුහුද කියන්නේ අබිං වගේ ඇබ්බැහි වීමක්. ඉතිං මෝසම් මුහුද කොහොම වෙන්න ඕනිද?
මේ කාලේ එක තැනක ඉදගෙන එක දිගට පොතක් කියවන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්නේ. අඩුම ගානේ දවස් 2ක් වත් කියවලයි එක පොතක් ඉවර කරන්නේ.. ඒත් අද මම මේ පිටු 232 එක හුස්මට කියවලා ඉවර කලා. අපූරූයි! ජේ.පී වන්නිආරච්චිගේ පරිවර්ථන භාෂා රටාවත් කථාවේ සාරය හා ගලා යෑමත් නිසා.. කාර්යාල සියළුම වැඩ අතපසු කරලා කියවන්න මම පෙළඹුනා..එතනින් නතර නොවී මේ සටහන ලියන්නත් ඒ දැනුණු හැගීම හින්දයි........
අවුරුදු 14 ක පිරිමි ළමයෙකු මුල් ක‍රගෙන ඔහුගේ ජිවිතේ සිදුවීම් කිහිපයක් වටා මේ කථාව ගෙතී තියනවා...සමලිංගික ආකර්ශණය.. ජිවිතයේ හිමි වීම් අහිමි වීම්.. යොවුන් වියේ ආදරය‍‍... තරුණ හැසිරීම් හා සිතුවිලි රටාව අපූරුවට ලියැවී තිබෙනවා.‍..
කියවන්න කැමති අය අනිවාර්යෙන්ම කියවන්න.. වයස ප්‍රශ්ණයක් නෑ.. මොකද අන්තර්ගතය තම තමන්ගේ ඥාණපරාසය තුල ග්‍රහණය කරගෙන රසවිදිය හැකි ආකාරයට මෙම පොත ලියවිලා තියනවා. පොඩි ළමයෙක්ට පවා රසවිදිය හැකි ලෙස‍ සංයමයකින් ‍ලියවී තියනවා..
අන්තිමටම කියන්න තියෙන්නේ පොතගැන දැනගන්න සලස්වපු සූ අක්කට ස්තූතියි.

10 comments:

  1. සටහනට ස්තුතියි.
    මේ පොතේ සිංහල පරිවර්තනයක් තියනව කියල දැනගෙන හිටියෙ නැහැ.අරගෙන කියවන්න ඕනෙ.
    ශ්‍යාම්ගේ පලමු නවකතාව පෞද්ගලිකව මට ලොකු බලපෑමක් වුනා.අධ් බලැති විදුලියක් සහිතව ප්ලග් එකක් පපුව ඇතුලට කිදා බැස්සුවා වගේ.පුදුම කම්පනයක් ඇතිකලා.මම කියවල තියෙන හොදම නවකතා කිහිපයෙන් එකක්

    ReplyDelete
  2. රාජකාරි කරන වේලාවට තමන්ගේ ‍පෞද්ගලික දේවල් සදහා කාලය යෙදවිම මගේ විරුද්ධත්වය සහ තොරතුරුට ඔබට තුති

    ReplyDelete
  3. පොතක් කියවපු දවසක් මතක නැහැ. මේක වෙලාවක හරේ මගින් මට ලැබෙන්න සලස්වන්න හොදේ.

    ReplyDelete
  4. ඔය ජාතියේ පොත් නම් එච්චර කියවන්නෙ නෑ. පුලුවන් උනොත් ඕකවත් කියවල බලන්න ඕන (සමහරවිට / හිතුනොත් / වෙලවක් තිබ්බොත්).

    ReplyDelete
  5. @Ramachandra- මං හිතන්නේ ඔය කියන්නේ අමුතු ඉලංදාරියා ගැන වෙන්න ඕනි. මම තාම කියවලා නෑ..හැකි ඉක්මනින් කියවන්න ඕනි.

    @Nadeera-හික් හික්.. විරෝධය පාන එක සාදාරණයි. ඒත් මං කියවන්න ගත්තේ 11ට විතර එතකං වැඩ කලා. එයින් පස්සේ කරන්න වැඩ තිබ්බේ නැහැනේ මට. නිකං උඩ බලන් ඉන්නවට වඩා කියවන එක හොදයි නේ??

    @Boman-මේ අපේ ගෙදරත් තීන්ත නම් ගා ගන්න ඕනි......හික් හික්.

    හරි අනිවා එවන්නම්.!

    @Chutta-එතකොට කොයි ජාතියේ එව්වද කියවන්නේ?
    හපොයි ඔය කියන විදියට නම් ඔයා ජිවිතේට කියවන එකක් නෑ..

    ReplyDelete
  6. තෑන්ක්ස් මලී, අප්සට් ඔළු වලට මේක හොද පොතක් වෙයි. කියවලා විස්තර ලියන්නම්.

    ReplyDelete
  7. @malee_akki
    අන්දරේ, පුංචි අපිට කතන්දර, ෂෙර්ලොක් හොම්ස්, වනගත ළමෝ, උම්මග්ග ජාතකය, ටොම් සෝයර් වගේ කතා තමා කියවන්නෙ. ආයේ ඔයාගෙ බ්ලොග් එක කියවනවා, එදිරිගේ සාටරේ කියවනවා. අර වගේ ලොකු ලොකු කතා කියවන්නෙ නෑ. චූටි චූටි කතා තමා කියවන්නෙ. ඒ උනාට ලොකු ලොකු කතාවකුත් යථා කාලයේදී කියවන්න හිතා ගෙන ඉන්නෙ. හැබැයි ෂුවර් නෑ (පුලුවන් උනොත් ......ආදී වශයෙන් තමා)

    ReplyDelete
  8. Palitha - ම්ම්ම්..ඔව් මං හිතනවා හොද වෙයි කියලා.. හැබැයි අප්සට් එක වැඩි කරනවා කියලා මගදි නතර ‍කලොත් නම් පොඩ්ඩක් අවුල්.

    Chutta -අනා... සූටී බබා.. එන්න වඩාගන්න..අනේ අම්මපා මේ හයේ හතරේ කොල්ලෝ බබ්බු වෙන හැටි විතරක් :p

    ReplyDelete
  9. ඔයාගේ මේ ලිපිය හින්දා මටත් හිතුනා පොත් ගැන ලිපි ලියන්න. කෝ නැහැනේ මෙහේ සිංහල පොත් ඉතිං. කඩ්ඩ පොත් ලිව්වට කියවයිද අපේ ඇත්තෝ? :( දුක තමා!

    ReplyDelete
  10. funny boy නම් කියෙව්වා. ඕකත් හොයා ගෙන බලමු

    ReplyDelete