Tuesday, March 20, 2018

තනි දරුවෝ



මේක ගොඩා....ක් කාලයක් මගේ හිතේ තිබුන දෙයක්. සමහර විට මම තනි දරුවෙක් කියලා දැනුන දවස් වල ඉදලම හිතේ තියෙන්න ඇති. ඒත් ලොකුවට හිතුවෙත් නැති නැත්තෙමත් නැති දෙයක්. මේ දවස් වල උදේ හවස නිතර මුණ ගැහෙන කෙනෙක් නිසා ආයෙමත් ලොකුවට හිතට බරට දැනෙන දෙයක්.

තනි දරුවෙක්! එයාව තමයි මම නිතර මුණ ගැහෙන කෙනා. මම එයාව දැන් ටික කාලයක් තිස්සේ දන්නවා. ඒ එයා එයාගේ වයසක අම්මව නිතර  රෝහලට එක්ක එන නිසා. ඒ අම්මත් හරිම ශෝක්.. නිතර හිනාවෙලා ඉන්න අහිංසක ගෑණු කෙනෙක්. ඒ අම්මයි මේ තනි දරුවයි එක්ක නිතරම එන්නේ එයාලගේ සේවිකාව විතරයි. ඉතිං මේ අම්මයි දුවයි එක්ක හායි හෙලෝ සම්බන්දයක් අපි කීප දෙනෙකුටම තියනවා.

දැන් සතියකට විතර කලින් මේ අම්මව රෝහල් ගත කරන්න උනා. එදා මගේ රාත්‍රී සේවා මුර දවසක්. ඉතිං අපිට කතා කරන්න වෙලාව ලැබුනා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මේ දරුවත් තනි දරුවෙක් කියලා.. ආ... මං වගේ! ඒක කොහොමත් තනි දරුවන්ට විතරක් දැනෙන දෙයක්! සහෝදර සහෝදරියෝ එකෙක් හරි ඉන්න කාටවත් ඒ හැඟීම තේරෙන්නේ නෑ.. ! දැන් සතියක් තිස්සේ අපි නිතර කතා කරනවා.. එයාගේ අම්මා ගැන. අම්මා ඉන්නේ දුකෙන්.. එයාගේ දුවව දාලා යන්න එයාගේ හිත හදාගන්න බැරි නිසා අන්තිම මොහොත වෙනකල් අම්මා වේදනාව නොපෙන්නා ඉන්නවා.. ඒක ඒ දුව වගේම මම දුවත් දන්නවා...! ඒ උනාට අම්මා දුක් විඳිනවා බලන්න ඒ දුවට වගේම මම දුවටත් බෑ... මම ඒ අම්මව බලන්න යන්නේ නෑ.. මොකද මට ගෙදර ඉන්න මගේ අම්මව මතක් වෙන නිසා. කවදාම හරි දවසක ඒ තනි දරුවා ඉන්න තැන මට ඉන්න වෙනවා නේද කියලා දැනෙනකොට!  ඇත්තටම මට ඒ දරුවා වෙනුවෙන් හිතට හයිය එන්න කියන්න දෙයක් නෑ..! මොනා කියන්නද මම? ඒත් එයාගෙම වචන වලින් අල්ලගත්ත" Let the God decides" කියන දේ විතරමයි මට කියන්න පුළුවනුත්!

මේක ඒ දරුවගේ විතරක් නෙවෙයි.. මේ ලංකාවේ ඉන්න හැම තනි දරුවෙක්ගෙම  මහා පොදු සාධක කථාව.! විශේෂයෙන් අම්මාලා හදන්නේ පවුලට හිතවත් දරුවෙක් නම්...! ඕන මඟුලක් කියලා හැමදේම අමතක කරලා ජිවත් වෙන තනි ලමයි නැතුව නෙවෙයි වෙන්න ඇතිනේ! ඒත් මොහොතක ඒ ළමයිනුත් මොහොතක හිතින් අඩනවා ඇති.! ඒ අපි හැදුන රටේ පරිසරයේ හැටි.

ඒක නිසා මේක කියවන කාට උනත් කියන්නේ.. හදනවා නම් දරුවෝ දෙන්නෙක් වත් හදන්න.. ඒ මේ ජාතිය රැක ගන්නවත් මොන  කෙහෙල්මලකටවත් නෙවෙයි.. තමන් මේ ලොක්නේම වැඩියම ආදරේ කරන දරුවව අනාතයෙක් කරන්න එපා.! මොකද අම්මා තාත්තා ජිවත් වෙලා ඉන්න කාලෙත්.. ඊට පස්සෙත් තනි දරුවෝ කියන්නේ උපතින් උරුමකරගත්ත පාළුවක් එක්ක ජිවත් වෙන පිරිසක් නිසා. යාළුවෝ දාහක් හිටියත්... අනන්තෙටත් ටිකක් එහාට ආදරේ කරන් පෙම්වතුන්..සැමියෙක් බිරිඳක් හිටියත් එයාලා ඉන්නේ තනියම.! ඔබට පුළුවන් ඔබේ දරුවට හොඳට උගන්නන්න.. සාගරයක් වගේ වත්කම් හදලා තියන්න.. ලොකූ ඉලක්කම් ගානක බැංකු ගිණුමක් ඉතිරි කරලා තියන්න. ඒ උනාට තමන්ගෙම එකෙක් හොඳට හෝ නරකට තියලා යන තරම් දෙයක් ඔබට කරන්න බෑ!

මම දන්නේ නෑ අද තව ටිකකින් මම වැඩට යනකොට අර අම්මට මොනා වෙලා තියෙයිද කියලා. සමහර විට හොඳ අතට හැරිලා තියෙන්නත් පුළුවන්.. සමහර විට වෙන දෙයක් වෙන්නත් පුළුවන්! හැබැයි මම එක දෙයක් දන්නවා. මම වගේම ඒ තනි දරුවත් ජිවිතේට මුණ දෙනවා මොකද එහෙමයි අපේ අම්මලා අපිව හදලා තියෙන්නේ!



Friday, March 16, 2018

සම්බන්ධතා

අනන්තයතෙක් ආදරේ


ආයේ ලියාගෙන ලියාගෙන යන්න හිතට ඕනිමයි.. ඒ උනාට හිතනෙ දේවල් ඒ විදියටම ගොටුකොළ මිටිය කපාගෙන යන විදියට ලියාගෙන ලියාගෙන යන්න බෑ..! මොන මඟුලක්ද මන්දා!

ඒ උනාට අමාරුවෙන් හරි ආයේ ලියනවා.. අද මාතෘකාව සම්බන්ධතා.! පිස්සු! මං කවද්ද මාතෘකාවට අදාලව ලිව්වේ. ඉස්සර නම් කලේ ලියලා ගැලපෙන මාතෘකාවක් දාන එක. ඉතිං ඇයි අද විතරක්!
එහෙම තමයි. දේවල් වෙනස් වෙනවනේ! ජිවිතය ගැන අපි හිතන විදි අපි දකින විදි හැම දේම කාලයත් එක්ක වෙනස් වෙනවා. අපි ඇසුරු කරන මිනිස්සු පවා. එයාලා අපි හැමෝම අපේ වපසරියන් අස්සේ වෙනස් වෙනවා.

හැබැයි කවදාවත් වෙනස් නොවෙන දේවලුත් තියනවා. අපි හිතනවා වෙනස් වෙලා කියලා. ඒ හිතෙන වෙලාවට ඔළුවට එන හැම විකාරයක්ම කියවලා විනාස කරලා දානවා. සමහර වෙලාවට මොනාද මේ කියන්නේ කියලවත් අහන් ඉන්න එකාට නොතේරෙන තරමටම.  හැබැයි ආයේ හොඳ හුස්මක් අරගෙන කල්පනා කරද්දි අපි තාම ඉන්නේ මුලමයි.

එහෙම හයියට අල්ලන් ඉන්න පුළුවන් සම්බන්ධකං තියෙන්නේ බොහොම ටිකයි. සමහර විට අපිට හිතෙන්නේ දැන් කැඩෙයි දැන් කැඩෙයි.. දාලා ගොඩක් දුර ගිහින් කියලයි.. ! ඒත්  ඒක එහෙම නෙවෙයි.! පුංචි මකළු දැළක් වගේ පෙනුනට ඇත්තටම තංගුස් වලටත් වඩා හයයියයි...දාලා යනවා/ගිහිං කියලා හිතුනත් ඇත්තටම ඉදලා තියෙන්නෙත් ඇස් දෙක පාමුලමයි. වෙනසකට තියෙන්නේ අපිට දැනිලා නැති එක විතරමයි.

අවුරුදු දහයක් කියන්නේ
සෙල්ලම් කාලයක් නෙවෙයි
අත් අල්ලගෙන හිටියත්
අත් අතඇරලා හිටියත්
අවුරුදු දහයක් කියන්නේ
සෙල්ලම් කාලයක් නෙවෙයි

ඒ මුළු කාලෙටම පස්සෙත්
ආයෙමත් මුල ඉදලම
“අ“ යන්නේ ඉදන්
පටන් ගන්න පුළුවන් නම්
අඩුම ගානේ
මතක් කරගන්නවත් පුළුවන් නම්
තේරේවී..
තවත් අවුරුදු දහයක් කියන්නෙත්
සෙල්ලමක් නෙවෙයි කියලා

අපි අළුත් පිටුවක පටන් ගමු
ආයෙමත්
තව අවුරුදු දහයක කතාවක්
ලියන්න
හා ද?

කාටවත් නොතේරනෙ
අපේ කතාවක්
චරිත නැති
වචන නැති
 තේරුමක් නැති
හැඟීමක් විතරක්
ඇති
අපේම කතාවක්?