Saturday, December 11, 2010

ආදරේ සොයා යෑම..


මාතෘකාව ලියන්න හිතලා නොලියා ‍සෑහෙන්න කාලයක් හිටියා වගේම දැන් ‍ලියන්න ගිහිල්ලත් ගොඩක් වෙලා නොලියා මාතෘකාව දිහා බලන් ඉන්න උනේ කා‍ලෙකින් මොකුත් ලිව්වේ නැති නිසාද නැත්තං ලියන්න හිතුන මාතෘකාව ගැන ලියන්න දෙයක් හිතා ගන්න බැරි හින්දද කියලා තාම හිතාගන්න බෑ වගේ.. ඒ උනාට මේ තරම් කාලයක් ලිව්වේ හිතලා ගලපලා හැම දේම හරියට තියෙද්දි නෙවෙයි හින්දා අදත් හිතට හිතෙන දේ ඇඟිලි තුඩු වලින් කීස් හරහා සිංහල යතුරුපුවරුවේ ‍ඔන්න ඔහේ කොටලා දානවා..

ආදරේ හොයා යෑම ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැද්ද මංදා එක අතකින්.. මොකද ඉපදුන දවසේ ඉදන් අපි කරන්නේ ආදරේ හොයන එක නිසා.. පුංචිම පුංචි කිරි කැටියෙක් තමන්ගේ අම්මාගේ ස්පර්ශයෙත් තාත්තාගේ උණුහුමෙත් හොයනවා ඇත්තේ ඒ වෙනකොට බරසාර වචන වලින්‍ නොතේරෙන ඒත් හිතට දැනෙන එකම සිතුවිල්ල වල ආදරේ හෝ ආරාකෂාව කියන හැඟීම වෙන්න ඇති. ආදරයයි ආරක්ෂාවයි කියන්නේ දෙකක් නෙවෙයිනේ කියලා දැනෙන්නේ ටිකක් දුරට කල්පනා කරගෙන ගියාමයි...

ගොඩක් පොඩිකාලේ අපි ආදරේ කරන අය ගැන ඇහුවොත් මුලින්ම මතක් වෙන්නේ අම්මා තාත්තා.. මං හිතන්නේ අපි හැමෝම අමාරුවේ වැටිලා ඇති පොඩි කාලේ "වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද ?" කියන ප්‍රශ්ණේ අහන හැමවෙලාවකම.. ඔය අස්සට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්න අයට තව ඔප්ශන් එකතු වෙනවා.. ඇයි ඉතිං ආදරේ බෙදිලා බෙදිලා යනවානේ.. ඔන්න ඉතිං මං වගේ තනි නරින්ට නම් ආත්මාර්ථකාමී විදියට දෙමාපිය ආදරේ විඳගෙන ඉන්න පුළුවන්...

තව ටිකක් කල් යද්දි අම්මා තාත්තාගේ එහාට ආදරේ බෙදා ගන්න යද්දි තමයි අවුල එන්නේ.. මොකද කොයි ආදරේ බෙදා හදාගෙන විඳින්න ගියත් ජිවිතේ එක අවස්ථාවකදි අපිට හැමෝටම මුණගැහෙන ආදරයක් තියනවා තව අය අතර බෙදාගන්න තියා මොන දෙයක් වත් කරගන්න හිතෙන්නේ නැති ආදරය.. ආදරය කියන වචනයට වැඩියෙන්ම ආත්මාර්ථය එකතුවෙන තැන.. ඒ වගේම ආදරේ කියන වචනයට කඳුළු ද අරවද මේවද හැමදේම එකතුවෙලා ජිවිතේට ලුණු ඇඹුල් එකතු වෙන තැන.. ඔතනදි ඉතිං පදම වැරදුනොත් සොරිම තමා.. ‍

කිව්වත් වගේ ඉතිං තරුණ වියේ ආදරේ හොයාගන්න එකත් රස කෑමක් හදනවා වගේ තමා.. හදන්න කලින් හදන්න ගන්න දේවල් හොඳම දේවල්ද කියලා බලා ගන්න වෙනවා.. මොකද නරක් වුණු ‍කුණු උනු.. හෝ නොගැලපෙන දේවල් දැම්මොත් ඉතිං හැදෙන කෑමත් ඒ වගේ තමයි.. ඒ වගේම නිසි කලට නිසි දේ.. හැමදේම තිබුනා කියලා කෑමක් පැහෙන්න කලින් ලිපෙන් බෑවොත් වෙන්න ‍අමුවෙන් කන්නනේ.. ඒක හරියන්නේ නෑනේ..

තව දෙයක් රස කෑමක් හැදුවම බෙදාගෙන කන කොට රස වැඩි උනාට ඉතිං ආදරේ කරද්දි ඔය බෙදාගැනිල්ල නම් හෙනම කේස් එකක්.. අනේ මන්දා මං මෑතක් වෙනකම් හිතුවා ආදරයක් ඇතුලට ආත්මාර්ථයයි ඊරිසියාවයි කියන හැඟීම් නැතුව ඇති කියලා.. ඒ උනාට දැන් වෙද්දි මට හිතෙනවා ඒ කියන හැම හැඟීමක් මත් ආදරය කියන වචනය ඇතුලේ හිර වෙලා තියනවා කියලා.. අනේ මන්දා මං පොඩ්ඩක්වත් ඒකට කැමති නැති උනාට සමහර තැන් වලදි කිසිම තේරුමක් නැතිවත් සමහර සිතුවිලි ඔළුවට එන එක හරි අසාමන්‍යයි.. හරියට නිකං චොක්ලට් කෙක් එකකට ගම්මිරිස් වලින් අයිසිං කරන්න හදනවා වගේ.. හරියන්නේ නෑ.. කවුරුවත් කැමතිත් නෑ..

අනේ මන්දා ආදරේ හොයා යෑම කියන මාතෘකාව ඇතුලේ මං සෑහෙන්න අතරමං වෙලා.. ඒ නිසා ලියන එක නැවැත්තුවොත් හොදයි වගේ..ඒක අළුත් රෙසපි හදනවට වඩා රහට හදන්න දන්න බතයි හොද්දයි කාලා ඉන්නවා වගේ වැඩක් වෙයි.. හැමදාම කෑවත් බත් එපා වෙන්නේ නෑ වගේ.. දන්න විදියට ආදරේ විදින එක හොදයි වගේ අළුත් මාන හොයන්නේ නැතුව..

බෑ ඒ උනාට එහෙම කරලා හරියන්නේ නැහැනේ....

ජයාරූප සඳහා සාදර අනුග්‍රහය www.nationalgeographic.com - (මෙතනට මිනිස්සු දෙන්නෙක් වෙනුවට සත්තු දැම්මේ මට තේරිලා තියන විදියට මේ‍ ලොකේ සුන්තරතම ආදරේ තියෙන්නේ සත්තු ලඟ)