Monday, September 26, 2011

සැප්තැම්බර් මහා සාප්පු සවාරිය.

මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ. අවුරුද්දක් පුරාම බලාගෙන ඉන්න අතේ තියන සල්ලි ටික සතේටම හිඳිලා රිම් එකෙන් යන රිම් එකත් ගෙවෙන මාසයක් තමයි සැප්තැම්බර්. මාසේ පටන් ගන්නේම අම්මාගේ උපන් දිනෙන් නිසා අගෝස්තු මාසේ අන්තිමේ ලැබෙන සැලරි එකෙන් සැහෙන කොටසක් ඒකට වෙන් වෙනවා. එකෙන් පංගුවක් තමයි ඉතිං අනිත්වටත් තියා ගන්ට වෙන්නේ. මොකෝ ඉතිං සිංහල අවුරුද්ද වගේ සැප්තැම්‍බරේ අඟ‍ වෙද්දි පොත් ප්‍රදර්ශනෙත් එනවානේ. ඉතිං අතේ නැතේ කියලා ඕකට නොයා ඉන්නවැයි...! අනික ඉතිං අපි වගේ හොඳ ළමයි ‍අවුරුද්දෙ අනිත් මාස වල ඉතුරු කරනවා කියලා එකක් කරන්නේත් නැහැනේ. ඒ වගේ දේවල් ගැන හිතනවා විතරයි. වැඩ නෑ හරියට වැඳි බණ වගේ.

කොහොම හරි ඉතිං මේ මාසේ මුල නම් හිතා ගත්තා මේ සැරේ වැඩිය පොත් ගන්නේ නැහැ ‍කියලා. මොකද ප්‍රදර්ශනෙන් අරන ගන්න ටික ඇරුනම අවුරුද්දේ ඉතිරි මාස වල පොත් නොගෙන ඉන්න එකක්යෑ! ඉස්සර ‍නම් අවුරුද්ද පුරාම ලැයිස්තුවක් හදාගෙන ඉන්නවා උනාට මේ ‍සැරේ නම් පොත් 8ක් 9ක් විතර තමයි මාසේ මුලදි ගන්න හිතාගෙන හිටියේ.

ඉතිං ඔය විදියට හදපු පොත් ලැයිස්තුව යන්න කිට්ටු වෙද්දි දන්නෙම නැතුව 14-15 උනා. කොහොමත් මම ප්‍රදර්ශණේට ගිහිල්ලා නම් පොත් තෝරන එක ගැන හිතන්නේ නෑ. මොකද සෙනඟ අස්සේ පොඩ් ස්ටෝල් අස්සේ හිටගෙන පොත් තෝරන්න ගියාම වෙන්නේ මටයි අනිත් මින්ස්සුන්ටයි සේරටම කරදර වෙන එක. ඒ නිසා කලින්ම හොඳයි කියන පොත් ගැන හොයලා ලිස්ට් එකක් හදා ගන්නවා. ඊට අමතරව ගන්නේ දැක්ක ගමන් ගන්න හිතෙන (ලේඛකයා හෝ පොත ගැන කලින් අහලා තියෙන නිසා) පොත් විතරයි.

ගිය අවුරුද්දෙම හිතාගෙන හිටියේ මේ අවුරුද්දේ නම් ටිකක් නිදහසේ ඇවිදින්න සතියේ මැද දවසක ප්‍රදර්ශනේට යනවා කියලයි. ඒ වගේම වැඩිය නැතුව පුළුවන් තරම් අඩු පිරිවරක් එක්ක යන්නයි හිතුවේ. මොකද නැත්තං කට්ටිය හොයන්නයි ගියාමත් මාත් එක්ක යන අයටයි ම‍ටයි දෙගොල්ලටම කරදරයි. ඒ උනාට ඉතිං අපිට තනියම යෑමක් ගැන හිතන්න පුරුදු නැහැනේ. ඒ නිසා කලින්ම යන දිනේ එහෙම කියලා යන අය සෙට් කරගත්තා.

ඉතිං.. ඔය විදියට ‍පෙරුම් පුරලා ‍ප්ලෑන් කරලා පහුගිය 23 එහෙම නැත්තං සිකුරාදා අම්මයි මායි ගෙදරින් පිට උනා. අපි දොර වහද්දිත් රචියා මල්ලියි එයාගේ නෝනයි එතනට ගිහිල්ලත් ඉවරයි. කොහොමින් හරි 10 වෙනකොට අපිත් ටිකට් එහෙම අරගෙන ඇතුළු වෙච්ච ගමන් දකුණට හැරුනම තියන ලොකු ටෙන්ට් එකේ ඉන්න අපේ පොඩි අය හොයාගෙන ගියා. ගියාම හයියෝ තාමත් රචියා හා උගේ ගෑණි විතරයි. ඔන්න ඊට පස්සේ ආවා අපේ බොස්.ඊටත් පස්සේ මැගී කන්න දත කට මැදගෙන එහෙම ආවේ අපේ ධථ්පුතා. දැන් කට්ටිය හරි.

අපි ගමන ආරම්භ කරන්න කලින්ම උදේ ආහාරය එහෙම සප්පයාම් වෙලා ඇඟට පතට හයි හත්තිය අරගෙන සෙනඟ පීරීමේ මහා මෙහෙයුමට එන්ටර් උනා. කිව්වට මොකද සතියේ දවසක් උනාට එදත් සැලකිය යුතු සෑහෙන්න තරම් සෙනඟක් හිටියා. වැඩියෙන්ම අවුරුදු 18-22ත් අතර වගේ තරුණ අය. බොහොම හොඳයි ඒක. මිනිස්සු පොත් ගැන උනන්දු වෙන එක කොහොමත් හොඳයිනේ.! ඉතිං කොහොම හරි දවල් තුන විතර වෙනකම් ඇවිදලා කරලා සෑහෙන්න ‍තරමේ පොත් ටිකකුත් එකතු කරගත්තා. පොත් දැක්කම ඉතිං අර කොකා සිල් ගත්තා වගේ තමයිනේ. බජට් කැලේත් නෑ.. කැලේ ගසුත් නෑ කිව්වලු!

කොහොම හරි අන්තිමේ හුඟක් දවල් වෙලා අපි බයි කන්න හිතනකොට තව කෙනෙක්ට මැගී ‍දොලඳුකක් හැඳුනනේ. ඔය තරම් දුර ඉඳන් ඇවිත් ඒ ඉල්ලීම ඉටු නොකර බැරි නිසා කොල්ලට නූඩ්ල්ස් කෝප්ප තුනකුත් කවාගෙන අපි බයිත් කාලා ගෙවල් බලා සතුටු සිතින් නැවත පැමිණියා.

ඔන්න ඔය විදියට තමයි මෙදාපාර පොත් සවාරිය ඉවර උනේ. පහළ තියෙන්නේ ගත්තු පොත් ටික. නම් ටික පේන නිසා අමුතුවෙන් ආයේ ලිස්ට් එක නම් දාන්නේ නෑ. ඕකටම අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පොතයි ‍අනෝමා ජිනාදරිගේ පුනරුක්ති මගේ කතාව යි එකතු වෙන්න ඕනි. මොකද ඒ දෙක පහුවෙනිදා අපේ බෙනා මාමාගේන් තෑගි ලැබුන නිසා.



තව ටික කාලෙකින් ‍හිතුනොත් මේවායේ හොඳයි කියලා හිතෙන පොත් ගැන ලියන්නම්.

Friday, September 16, 2011

තිත්ත කෝපි සහ පැණි වචන

පෙරේදා නිවාඩුවෙන් පස්සේ ඊයේ ආයේ ම‍ට දැඩි අසනීපයක් ඇවිත් මං හොර ලෙඩ නිවා‍ඩුවක් අරගත්තානේ. ඒ නිසා අද මට පැනල්ටි ලීව් එකක් හම්බ උනානේ.! එහෙම තමයි අපේ ඔෆිස් එකේ සිස්ටම් එක හැමතැනම නෑ හැමදාම නෑ!
කොහොම වෙතත් ඊයෙයි අදයි දවස් දෙකේම උදේ වරුව ගෙවිලා ගියේ දාන කටයුතු හින්දා. අනාදිමත් කාලෙක ඉදන් නොවුනත් දැනට අවුරුදු පහළවක විස්සක විතර කාලේ ඉඳන් හැම මාසෙකම පහළොස් වෙනිදා අපෙන් පංසලට මුරදානේ දෙන දවස. වෙනදට දෙන්නේ එක පන්සලකට විතරක් උනාට ඉතිං ගිය මාසේ ඉඳන් තව පංසලක් වැඩි වෙලා. සෙල්ලන් නැහැන් අපේ ගමේම පංසල් හතක් තියනවනේ. ඉතිං කොහොම හරි පහළව විතරක් නෙවෙයි දාසයත් දානේ දවසක් විඳියට කැ‍ලැන්ඩරේ ලියවෙන්න පටන් අරන්.
ඕකට ඉතිං පැත්තක ඉඳන් කැපිලි කෙටිලි වලට දායක වෙන එක තමයි මගේ පංගුව. තව ඉතිං සලාදේ හදන එකයි පපඩම් බැඳිල්ලත් මගේ තමයි. ඉතිරි වැඩ වලට ඉතිං දායක වෙන්න සිත කය වචනයෙන් පංසලටම පේ වෙච්චි අපේ ලොකු නැන්දයි සිට්ටි නැන්දයි දෙන්නා ඉන්න නිසා මට තියෙන්නේ උදෙන් නැඟිටලා එයාලා එනකං ති‍යන වැඩ වලට සහය දෙන එක විතරයි.
ඊයේ මහ පංසලට දානේ ගෙනියන වැඩෙන් ‍ශේප් උනාට අද භාවනා මධ්‍යස්තානෙට ගෙනියන දානෙට නම් ඉතිං මං නෑ බෑ නොකියා යන්න එකතු උනා. ඒකට හේතුව අපේ ගමේ කෙලවර පුරන් වෙල්යායට මායිම් වෙලා තියන ඒ පංසලේ ගාළු පාර අයිනේ තියන මහ පංසලේ නැති විදියේ ලස්සන චාම් ගතියකුයි පුදුම නිස්කලංක කමකුයි තියන නිසා.
කොහොමින් හරි පංසල් ගිහින් ආවට පස්සේ තමයි පිං ඵල දුන්නේ.! කරන්ට් එක නොදන්වාම නිවාඩු ගිහින්! හප්පා! මේ ටිකේ රෑට රෑට වැස්සට දවල්ට තියෙන්නේ පුදුම රස්සනයක්නේ! රස්නෙත් ඉවසුවැකි දාඩිය දාන එකනේ ඉවසලා ඉන්න බැරි හයියො! දැන් ඉතිං මොනා කරන්නද කියලා කියවන්න තියෙන පොත් ගොඩ දිහාවට ඇඳිලා ගියා.ළඟදි දවසක අපේ බෝමන්ල‍ගේ ගෙදර ගිය වෙලාවක එහේ තියන බෝ නිෂු යුවලගේ පොත් ගොඩ අස්සෙන් ඉල්ලගෙන ආව සුනේත්‍රාගේ කෙටි පණිවිඩය හා දිග කතා පොත කියවලා අවසන් නිසා සුනේත්‍රා රාජකරුණානායකයි සමන් අතාවුදහෙට්ටියි එකතු‍ වෙලා ලිව්ව හර්ද සූත්‍රය පොත අතට ආවා.
ඒකත් අරගෙන ගියේ මේ වෙනකොට දවල් කාලයේ පොත් කියවන්න හොඳම තැන විඳියට මං හොයාගෙන තියෙන අපේ අම්මලාගේ කාමරේ ඇඳට. එතන ඇඳ ඉහත්තාවේම තියෙන් ජනේලයෙන් එන ස්භාවික එළියයි හුළඟටයි අමතරව වෙන මොකක්දෝ මට නොතේරන දෙයක් නිසා එතන ඉඳන් ‍කියවන්න දැන් වෙනකොට මං හරි ආසයි. සමහර විට මගේ ඇදේ තියන ඩබල් ලේයර් සිංගල් මේට්ටෙට වඩා සුවපහසු ත්‍රපල් ලේයර් ඩබල් මෙට්ට්‍රස් එක වෙන්න පුළුවන් නැත්තං මගේ පංචි කොට්ට දෙක වගේ තුන්ගුණයක් විතර ලොකු තාත්තාගේ කොට්ට නිසා වෙන්නත් පුළුවන් එහෙමත් නැත්තං අම්මගෙයි තාත්තාගෙයි රස්නේ රැදිලා තියන නිසා වෙන්නත් පුළුවන්.. කවුද දන්නේ...
භාගයක් කියවලා ටිකක් නිදාගන්නවා කියලා හිතාගෙන ‍කියවන්න පටන් ගත්තත් ඒක එහෙම උනේ නෑ. හැබදාම වගේ සූනේත්‍රාගේ මැජික් එක අදත් මාව පොතට ඇඳලා තියාගත්තා. මීට කලින් කවදාවත් සමන්ව කියවලා නැති නිසා පොත පුරාම මට දැනුනේ සුනේත්‍රාගේ සුවඳ විතරයි.සමහර තැන් වල පුන්සරා කියන්නේ සුනේත්‍රාමද කියලා හිතුනේ සුනේත්‍රාගේ මතක පොතේ ‍දෙක කියවලා එකතු වෙලා තිබ්බ මතකත් එක්කයි. ඒත් එක එහෙම නෙවෙයි කියලා මගේ හිතේ ඉන්න ලොකු බබා චූටි අක්කි එහෙමත් නැත්තං සමාධි හිත ඇතුලේ ඉඳන් ටොකු ඇන්නා. හේතුව පොතේ මුළඳිම පුන්සාරා කියන ලේඛිකාවම අහනවා චරිත පිටුපස නිර්මාණ කරුවා සිටිනවා කියලා හිතනවා නම් හොරු මංකොල්ල කාරයෝ වගේ චරිත බිහිවෙන්නේ කියලා. ඒ අනූව බලද්දි මේ සුනේත්‍රාගේ කතාව කියලා හිතන්නත් බැහැනේ.!

කොහොම උනත් මේ වෙනකොට මම හදිස්සියේ ආව කැස්සක් නිසා බීපු කොෆ් සිරප් එක නිසා ඇති වෙච්ච නිදිමතකුත් එක්ක ඉන්නේ. ඉතිං හර්ද සූත්‍රය ගැන ලියන එක පස්සට දාන එක හොඳයි වගේ. ඔය පස්ස කවදාවත් නොඑන පස්සක් වෙන්න පුළුවන්. කමක් නෑ.

කොහොම වෙතත් හර්ද සූත්‍රය කියවාගෙන යද්දි මට ගොඩක් තැන් වලදි කතාවේ ඉන්න ප්‍රධාන චරිතෙයි මායි එක්කෙනෙක් වෙනවා වගේ දැනුනා. හේතුව තනියම කතා කිරිල්ල.. පවුලේ එකම දරුවා වීම..කොන්වන්ට් වල ඉගන ගැනිල්ල පොත් වලට ඇබ්බැහි වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මට මං වගේ තව අය මතක් උනා. පොතේ අකුරු අස්සෙන් මං කතාවටයි මා වටා ඇති ‍අනිත් ‍අය සහ දේවල් අතරයි රවුම් ගැහුවා. ඔය අස්සට‍ ඊ මේල් ඉන්ටනෙට් අස්සෙන් බ්ලොග් වලටත් හිත ආවා. එතකොට තමයි මතක් උනේ කලින් පොස්ට් එකේ බිංගෝ කියලා තිබ්බ ඩිප්‍රෙස් වෙලා නම් පොතක් කියවන ගමන් කැපචිනෝ එකක් බොන්න කියන කතාව..

ඔය ඩිප්‍රෙස්.. වගේ බරසාර වචන මගේ ජිවිතේ නැහැනේ අප්පා. අපි ඉතිං හෙන සිරා විදියට සිම්ප්ලි ජිවත් වෙන මිනිස්සුනේ. ඒ නිසා ඉතිං එන එන විදියට ගහ උළුවස්සා කියලා ජිවත් වෙනවා උනාට පොතක් කියවන ගමන් කැෆේ එකක් බොන්න මටත් ආස හිතුනා. ඉතිං ගියා කුස්සියට රත් කලා වතුර එකක් දැම්මා නෙස්කැෆේ කෝප්පෙට හැඳුවා තේකක් ඔප්ස්ස් සොරි හැදුවා ප්ලෙන් කොෆි එකක් අරන් ආවා කාමරේට ආයේ හාන්සි වුනා කියෙව්වා.. සිරාවටම එකේ අමුතු ගතියක් තියනවා තමා.ජිවිතේට රස්නේ වෙලාවට උණුදේවල් නොබොන මම දාඩිය අමතක කරලා කෝපි කොප්පේ හිස් කලා.ඊට වඩා ඉක්මනට පොතේ පිටුත් පෙරළුනා. බිංගෝ වෙනුවෙන් මේ පොස්ට් එක ලියන්නත් හිතුනා..

කොහොම උනත් අද හවස හය‍ වෙනකනුත් කරන්ට් නම් ආවේ නෑ.ඒත් තාත්තා හවස ගෙදර ආවම හැදෙන කිරි තේ වලින් මගේ පංගුවත් වෙනදට ලැබෙනවා උනත් අද අවේලාවේ කෝපි බිව්ව නිසා කොළ තේ එකකට යන්න හිතුනා.ඒ එක්කම පුන්සරා ‍උදේ යෝග කරලා එනකම් මුදිතත් ජස්මින් ‍ග්‍රීන් ටී එකක් එක්ක පුන්සරාගේ කවි පොත කියවන්න පටන් ගත්තා. මම මගේ ග්‍රීන් ටී එකත් එක්ක පුන්සරාගේ කතාව එක හුස්මට වගේ පැය හයකින් විතර එක දිගට කියවලා ඉවර කලා.

Wednesday, September 14, 2011

නිවාඩු පාඩුවේ

අද නිවාඩු දවස කියලා මතක් උනෙත් නිවාඩුවෙන් භාගයක් විතර ගෙවිලා ගියාට පස්සේ. ඒකත් මතක් කරපු හින්දා. එහෙමැයි කියලා පටන් ගත්ත වැඩ මඟ නතර කරන්නයෑ.. අනික අද වැඩ කරන්න හොඳ දවසක් මොකද අව්ව එහෙම නැති හින්දා වැඩිය දාඩිය දාන්නෙත් නෑ. අනික හැමදාම අයිස් කුට්ටිය වගේ ඉදගෙන අනිත් මිනිස්සුන්ට වද කරන්න හොඳත් නැහැනේ. එහෙමයි කිව්වට ඉතිං මගේ ගෙදර වැඩ කොටස මං ඇරෙන්න වෙන කෙනෙක් කරන්නෙත් නෑ.. නිළ ව‍ශයෙන් නැති උනාට ඉතිං ටොයිලට් හොඳන එක ෆිජ් හොඳන එක වගේ වැඩ ඉතිං එදාමෙදා තුර හැමදාම කලේ මම නේ. එහෙ‍ව් එකේ නිවාඩු දවස් කියලා එව්වා නොකර ඉන්න පුළුවනෑ.

හවස් අතේ ටවුන් එකට දුවලා එන්න හිතාගෙන හිටියට ඒ වැඩේ කෙරුනෙත් නෑ වැහි කළුවර හින්දා. වැස්ස දවස් වලටත් කඩ ඇරලා උනාට අපි යන්න ඕන වැස්ස යටින් නේ. ඔය ගමන් ගිහින් හෙම්බිරිස්සාවක් සෙට් උනොත් ඉතිං සොරිම තමයි. උණ සන්නිපාතේ හැදුනත් කමක් නෑ හෙම්බා නැතිව. ‍හෆොයි. සමහර අයට නම් ඉතිං ලයිෆ්ටයිම් තියන ලෙඩක් නිසා ඒක ලෙඩක් විදියට ගනන්ගන්නේ වත් නැති උනාට අපි ‍වගේ නිරෝගී ළමයින්ට හෙම්බා කියන්නෙත් ලොකු ලෙඩක් තමා.!
ඉතිං ගෙදර දොරේ වැඩපළ ‍එහෙම සේරම අහවර කරලා නාකියාගෙන බලනකොට දවස ගෙවිලා ඉවරයි. හෙට ඉදන් ආයෙමත් සුපුරුදු චරියාව.


රස්සවල් කරන ඉගන ගන්න ඔය කොයි කාගෙත් නිවාඩු දවසක් සම්බන්ධව ප්‍රකාශය බොහෝ දුරට ඔය වගේ ඇති කියලයි මට නම් හිතෙන්නේ. වැඩ කරන අය අමතක කරලා ගෙදර ඉන්න අය ගැන බැළුවත් මං හිතන්නේ ඕක ඔහොම තමා. බැඳපු දවසේ ඉදන් රස්සාවක් කරලා නැති අපේ අම්මාගේ කතාවත් ඔය වගේ. ගෙදර දොරේ වැඩ පළ කරලා ඉවර උනාට පස්සේ තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නැතිලු.
ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද තමන්ගේ වැඩ කරගන්න තියෙන වෙලාවෙන් සෑහෙන්න ප්‍රමාණයක් මෝඩ පෙට්ටියෙනුත් ගිළගන්නවානේ. හරියට අපේ වෙලාව ජාලේ විසින් කා දමනවා වගේ.. කා දමනවා කිව්වට හරි වචනේ කාදැමුවා වගේ.. හික් හික්.. අතීතය හරි සුන්දරයි කියනවානේ.. ඒ සමහර විට ඉස්සර අපි කරපු හපන් කං මෝඩ කං බූරු කං වගේ එක එක කං මතක් වෙන හින්දා වෙන්න ඇති. පෞද්ගලිකව ගත්තම දවසට පැය 15-20ක් විතර නෙට් එකේ බයිලා ගහපු කාලයක් මට තිබුනා. කොටින්ම මේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඔය කාලෙදිම තමයි. චැට් ෆොර්ම් අරහේ මෙහේ කරක් ගහලා අන්තිමේ නතර වුනු මගේ තැන.
ඒත් දැන් වෙද්දි ඒකත් එපා වෙලාදෝ මන්දා. මේ ළඟදි කෙනෙක් ඇහුවා ඇයි දැන් ඔයා ලියන්නේ නැත්තේ කියලා.. අනේ මන්දා මම කවදාවත් වැදගත් දෙයක් නොලිව්ව හින්දා නොලියන එක මට කොහෙත්ම ප්‍රශ්ණයක් නෙවෙයි‍. ඒ නිසා මට ඕනේ නැති නිසා කියලා කිව්වම ඒ පුද්ගලයා කිව්වේ ඒ උනාට ඔයාගේ අනන්‍යතාවය රැදිලා තියෙන්නේ ලියන එකේ කියලා. මම දැනුවත්ම කවදාවත් මට එහෙම එකක් තිබ්බේ නෑ වගේම ඒ වගේ එකකින් මට ඇති වැඩකුත් නැති නිසා වගේම ටිකක් තරහාත් ගිහින් හිටි නිසාද කොහෙදත් මම කිව්වේ ඒක මගේ කැමැත්ත මට ඔය බ්ලොග් එක නැතුවට කමක් නෑ.. දැන් මට ඒක එපා වෙලා ඒක තිබ්බට වඩා‍ හොඳයි එහෙම එකක් නොතිබ්බනම් කියලා.. එතකොට අනිත් කෙනා කිව්වේ ඉස්සර ලියපු ගොඩ දෙනෙකුට එහෙම හිතෙන නිසා වෙන්න ඇති දැන් ලියවෙන්නේ නැත්තේ කියලා.

එක අතකින් කල්පනා කරගෙන යන‍කොට ‍ඒක හරි. අළුත් නම් වලින් ලියන්න පටන් අරගෙන නැත්නම් මං ලියන්න පටන් ගත්ත කාලේ හිටි බ්ලොග්ස් ලට මොනා වෙලාද දන්නේ නෑ.. ඒ ‍මිනිස්සු නෙට් නැති තැන් වලට ගිහින් වෙන්න බැහැනේ. ෂුවර් එකටම මං වගේ අනිත් අය ලියන ඒවා හිතෙන වෙලාවට කියව කියව එපා වෙනවෙලාවට ඒකවත් නොකර ඉන්නවා ඇති. හබෑවටම උවමනාව ඇති කෙනෙක් ඇරුනම එපාවීම කියන දේ කාටත් බලපාන නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා ඇති. නැත්තං ඊට ව‍ඩා රසවත් දේවල් හොයාගෙන ඇති. නැත්තං අම්බානෙකට බිසී වෙලා ඇති(ඒක නම් කොහෙත්ම එක්ස්කියුස් එකක් නොවුනත්)

ඉස්සර අළුත් බ්ලොක් එකක් පටන් ගැනුනේ සතියකට එකක් දෙකක් විතර නමුත් අද වෙද්දි මට පෙනුන විදියට දවසට දහයක් විතර උනත් පටන් ගැනෙනවා. ඔය විදියට තිබුනොත් ලංකාවේ හැමෝටම බ්ලොග් එකක් තියෙයි ජාතික හැඳුනුම් පත් වගේ. ඒ උනාට වෙලා තියෙන්නේ බ්ලොග් නිකං සිම් වගේ වෙලා. හැමෝ ගාවම හය හතක් තිබ්බට එකක් වත් හරියට වැඩ නෑ එක්කෝ මාසයක් දෙකක් අප්ඩෙට් එනවා හෝ ගාලා ඊට පස්සේ ම්හු!

ඔය කොයි හැටි වෙතත් මං කල්පනා කලා ඇයි ඇත්තටම මම ඉස්සර වගේ ලියන්නේ නැත්තේ කියලා. හේතූ කීපයක් තියනවා.
1.) මම ලියන්න පටන් ගනිද්දි කිසිම කෙනෙක් මාව දන්නේ නෑ.කොටින්ම මගේ ඇත්ත නමවත් මං ඉන්නේ කොහෙද කරන්නේ මොනාද මං කොයි වගේද බ්ලා බ්ලා.. ඒ නිසා නිදහසේ මට ඇබ්නෝමල් වෙන්න ඉඩ තිබුනා. මොකද මං මොනවා ලිව්වත් කවුරු මාව වරදවා වටහා ගත්තත් මට ප්‍රශ්ණයක් නැති නිසා.ඒත් දැන් වෙද්දි ඒක වෙනස් සැලකිය යුතු පිරිසක් මාව දන්නවා මාව දැකලා තියනවා. මං මොන වගේ පිස්සෙක්ද කියන්න දන්නවා. මගේ අදහස් දන්නවා. ඒ නිසා මොනවා හරි දෙයක් ගැන මගේ අදහස් මට වෙන අයත් එක්ක බෙදා ගන්න ඕනි නෑ. මොකද මම කිව්වත් නැතත් මං ඒ ගැන හිතන්නේ කොයි වගේද කියලා ඒ අය දන්නවා. ඉතිං අමුතුවෙන් ලියන්න මහන්සි වෙන්න ඕනි නෑ.
2.) ඔය ඉහත කාරනේ හින්දම මට දුක ‍හිතෙන හරි කේන්ති ගිහින් හරි මොනා හරි ලිව්වොත් අනිත් පැත්තට කෝල් කරලා මොකක්ද අවුල කියලා අහන්න දැන් කට්ටිය ඉන්නවා.ඇයි ඒ වගේ දෙයක් ලිව්වේ. මොකක්ද ඒකෙන් අදහස් කලේ ඒ වගේ. ඉතිං මට හිතෙන දේ විතරක් ලිව්වට පස්සේ කවදාවත් ඒකට පසුකතන දේවල් දෙන්න මම අකමැති හින්දා ලියනවට ‍වඩා හිතලා නිකං ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා.
3.)ගොඩක් වෙලාවට ඉස්සර මම තනියම හිටියෙ.වැඩ කලේ තනියම ගෙදර අම්මා අප්පා ඇරුනම හිටියේ තනියම ඒ නිසා කාට හරි කියන්න දේවල් හිතේ තිබුනා. ඒත් දැන් වැඩ කරන්නේ ගොඩක් අය එක්ක, හිතේ තියෙන දේවල් වමාරන්න කෙනෙක් ඉන්නවා මොනා හරි පොඩි දෙයක් උනත් හිතේ කැකෑරී කැකෑරි තියෙන්නේ නෑ බොග් ගාලා වන් කෝල් වලින් එළියට පනිනවා.ඒ නිසා ලියන්න දේවල් නෑ මොකද ඒවා කියලා ඉවර නිසා
4.) අනික ඉස්ස බස් එකේ ‍යන ගමන් කල්පනා කලා. දැන් බස් එකේ යන ගමන් කරන්නේ දොයි බබා වෙන එක නේ..
5.) අන්‍තිමේ වයසත් එක්ක දැන් වාද කිරිල්ල එපා වෙලා ගිහින් නිසා. හිතෙන හැමදේම එළියට දාලා එක එක අයගෙන් කතා අහනවට වඩා ඒවා හිතේම හිතලා ඉවරයක් කරලා දාලා මායි හිතයි ශේප් එකේ ඉන්න එක හොඳයි කියලා හිතෙන නිසා. මොකද අද වෙද්දි මට ගෝසාවල්.. වාද බේද.. අනම් මනං සේරම එපා වෙලා ඉන්නේ. කොටින්ම සිංදුවක් අහන්නෙත් තෝරලා බේරලා නිව්ටල්ම ඒවා. නැත්තං ඉතිං ඉහේ ඇම්ම තමා. ඇත්තටම මට අසනීපයක් ද මන්දා. මට දැන් සද්ද බද්ද ඇහෙන එක මහම වදයක් වෙලා. ඒ වගේම වාද වෙන එකයි වෙන ඒවා දකින ‍එකයි. ඒවායින් හැකි තරම් ඈත් වෙලා ශේප් එකේ ආතල් එකේ ඉන්න එක තමයි මගේ එකම පැතුම!

ඔය වගේ හේතු නිසා ඇත්තටම ලියනවට වඩා නොලියා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා. ඒත් අර මං ලියන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව කෙනාට උත්තර දුන්නා වගේ බ්ලොග් එක එපා වෙලා නම් නෑ. මොකද මං මේක හැදුවේ අම්මෙක් කුළුදුලේ දරුවෙක් හදනවා වගේ. ‍බ්ලොග් කියන්නේ මොකක්ද මොනාද ඒකෙන් කරන්නේ බ්ලොග් වල ලියන්නේ මොනාද සින්ඩි කියන්නේ මොනාද ඒ මොකුත් නොදැන. එහෙම පටන් ගත්ත බ්ලොග් එක එපා වෙන්න මට! හූහ් හීනෙන්වත් නෙවෙයි.!

දැන් ඇති මගේ නිවාඩු දවස අවසානයි.!

Thursday, September 8, 2011

අද වගේ දවසක් වෙනුවෙන්.


තත්පරෙන් තත්පරේ
විනා‍ඩියෙන් විනාඩිය
අතීතෙට ගෙවිලා යන
ජිවිතේ අස්සේ

පොඩ්ඩෙන් පොඩ්ඩ
අපිටම අමතක වෙලා යන
ඒත් ආයෙමත් ඊළඟ අවුරුද්දේ
ඒ දවස ආවම
අපිටම මතක් වෙන

ටිකෙන් ටික එපාවෙන
ජිවිතේ ගොඩක් දේවල් අස්සේ
තාමත් එපා නොවී....

එහෙම කිව්වට
වෙලාවටකට එපා වෙවී..
ඊටත් ඉක්මනින් ඕන වෙන
අපේ ජිවිත අතරේ
අල්පේච්ච බැඳීම් අතරේ
එකම එක බැඳීමක්
හදාගන්න හිතුන
ඒ හිතුනට පස්සේ
මොකුත් නොහිතුන
ඒ ගැනම පමණක්
තාමත් හිතන හිතෙන
අපේ කතාවට
අදට ...

තේරෙනවානේ ලියාගන්න බෑ කියලා.. ඒ නිසා මීට වඩා බෑ.. :D