Wednesday, June 6, 2018

ගැලවීම

ගැලවීම කියන වචනෙට තියෙන්නේ එක තේරුමක් විතරක් උනාට යෙදෙන විදිය අනූව ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ගමනක් යනකොට සපත්තුවක අඩිය ගැලවෙන එක නරක දෙයක් උනාට නරක ඇබ්බැහියකින් කෙනෙක් ගැලවෙනවා කියන්නේ හොඳ දෙයක්.
හොඳ නරක කියන දේත් ඒ වගේ. සමහර විට කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක් වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් හොඳයි කියන දේට හොඳයි කියලා ඔළුව නමලා ඉන්න එක තමයි ජිවත් වෙන්න තියන හොඳම විදිය. ඒක එහෙම නෙවෙයි කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ.

අද මේ ලියන්නේ මැහුම් ගැලවිල්ලක් ගැන. ඒක ඉබේ ගැලවිල්ලක් නෙවෙයි සිතා මතා පතා කරන ගැලවීමක්.

අපේ ගෙදර කොයි අස්සක මුල්ලක බැළුවත් ඔය මොනා හරි පාට කිරිල්ලක් හරි මැහිල්ලක් හරි නැති වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි. මොකද කාලයක් තිබුනා ඔය වගේ වැඩක් නොකර දවසක් හරි ගත වෙනවා කියන එක මහා අපරාදයක් වගේ දැනුන. පස්සේ ඉතිං කම්මැලිකම කියන කළු වළාව ගොඩක් දේවල් වහගත්තනේ.

ගෙදර කෑම මේසේ ඉස්සරහා තියන බිත්තිය තමයි මගේ කළා නිර්මාණ වල ඒ ඒ කාල වල විශිෂ්ඨතම නිර්මාණය රැදෙන තැන. මල් පොකුරක් ගත්ත කෙල්ලක් වගේම ඉකෙබනා එකක මැහුම් රටාවකිනුත් කාලයක් ඔය බිත්තිය හැඩ උනා. පස්සේ එතනට ආවේ කඩෙන් ගත්ත චිත්‍රයක්. ඇයි ඉතිං ඒ දෙකෙන් පස්සේ මම ලොකු වැඩ වලට අත ගැහුවේ නෑනේ.

දැන් ආයෙමත් අර කළු වළාකුල අයින් වෙලා. අර චිත්‍රෙත් එතන තිබුනා ඇති කියලා මටම හිතිලා තියෙන්නේ. ඉතිං ආයෙමත් අළුත් මැහුමක් අතට ගත්තා. මේ පාර මට ඕන උනේ ඇපල් වට්ටියක් මහන්න. ඉතිං දැන් නූල් ආයිත්තම් හැමදේම ලං කරගෙන දැන් මාසෙකට දෙකකට කලින් වැඩේ පටා...න් ගත්තම කියමුකෝ. කරගෙන යනකොට තමයි දැනුනේ ඒක හරියන්නේ නැහැ කියලා. ඒකේ පාට ටික මට ඕන විදියට එන්නේ නෑ. හිතට හරි නැතිව මොන වැඩේ කරලවත් හරියන්නේ නැති හින්දා ඔතලා දැම්මා පැත්තකට.

දැන් ආයිමත් වෙන මල් පොකුරක් දැක්කා. ඒක මහන්න හිතුවා. අමුතුවෙන් රෙදි ගන්න දෙයක් නෑ. අර ඇපල් මහපු එකේ ප්‍රමානෙම ඒකටත් ඇති. දැන් තමයි ගැලවිවල්ල කියන වචනේ මේකට අදාල වෙන්නේ. ඇස් දෙක පියාගෙන සත්‍යග්‍රහයක් කරාට නූල් ටික ඉබේ ගැලවෙන්නේ නැහැනේ, මම මහපු හැම නූල් පටක්ම මම ම ගලවන්න එපැයි.ගැලවෙන ගලවන එක කොයි තරම් අමාරුයිද කියලා හිතෙන්නේ අන්න එතකොට තමයි.. ඒ වගේ වෙලාවට තමයි මේ වගේ දාර්ශණික සිතුවිලිත් ඔළුවට එන්නේ.

කාලෙකට කලින් ආසාවෙන් ගත්ත සපත්තුවක් ගැලවෙන එක. ආසාවෙන් අඳින ඇඳුමක නූල් ගැලවෙන එක. ආසාවෙන් අලවපු මොනා හරි දෙයක් ගැලවිලා වැටෙන එක.
ගොඩක් වෙලාවට ගැලවීමක් කියන්නේ හිතට දුකක්. අපි ආසයි බැඳිලා ඇලිලා එකට තියනතාක් කල්. සමහර වෙලාවට පදාසයක්ම ගැලවිලා පොඩිම පොඩි රැදවුමකින් විතරක් මුළු හැමදේම රැඳිලා.හරියට මගේ මැහුමේ නූල් පොටවල් 7ක් කැපිලා ඒත් එකම එක හීන් නූලකින් මැහුම රැඳිලා තියනවා වගේ.

ජිවිතේ කියන්නේම ඇලීම් බැඳීම් හා ගැලවීම් වලට.. අපි ඉන්න තැනට අපි වැඩ කරන තැනට අපි වටේ ඉන්න අයට අපි එක්ක හිනාවෙන කතා කරන අයට අපි බැඳෙනවා... දැන හෝ නොදැන. ඒ හැම බැඳීමක් එක්කම ගැලවීමක් වෙන් වීමක් තියනවා. ඒත් ඒකට අපි බයයි. අපි අකමැතියි. මැහුමක නූල්  ගලවනවට වඩා ඒක ගොඩක් වෙනස්.හැබැයි මැහුමක නූල් ගලවනවට වඩා ගොඩක් ලේසීයි..! සමහර විට එකම එක වචනයක්... එහෙමත් නැත්තං වචන නැතිවමත්. අපිට අපේ බැඳීම් ලිහලා ගලවලා දාන්න පුළුවන්. අතහරින එක හරිම ලේසියි. අතඅරින තරමට ජිවිතය පහසුයි. මොකද අපිට තියෙන්නේ හිතත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න විතරයි. හැබැයි සෙල්ලම් කරද්දි වැටෙනවා.. රිදෙනවා.. තුවාල වෙනවා.. ඒකත් අමතක කරන්න බැරි ඇත්තක්. ඒ අතින් බලනකොට මැහුම් ගලවන එක ලේසියි.

ඒ නිසා මම ආයේ මගේ මැහුම ගලවන්න යනවා.


Tuesday, June 5, 2018

ලියුමක්

(අ)හිතවත් මාල හොරා වෙත,

හොරෝ ඔයා දන්නවද? මම දවස ගානේ කොච්චියවල යන මනුස්සයෙක් නෙවෙයි. ඒ මම කෝච්චි වලට අකමැති හින්දා නෙවෙයි. කෝච්චියක් මඟදි කැඩුනොත් මොකද කරන්නේ..  කොච්චියට නඟිනකොට බහිනකොට දොරේ ඉඳන් වේදිකවාට තියන දුර වැඩි හින්දා මාව වැටෙයිද? එතකොට හරියටම බහින්න ඕන  ස්ටේශන් එකට ආවද වගේ කවදාවත් උත්තර හදාගන්න බැරි ප්‍රශ්ණ ගොඩක් මට තියන හින්දා. 

ඒ උනාට හොරෝ අපේ ගෙදර එක්කෙනා එක්ක  එනකොට මට ඒ දේවල් ගැන වැඩිය හිතන්න දයෙක් නැහැනේ. ඒ නිසා තමයි එදත් මම කෝච්චියේ ආවේ. අනික දන්නවද හොරෝ දැන් මට බස් එකේ එක පැත්තකට එන්න යන වියදමෙන් දවස් 2ක් කෝච්චියේ දෙපැත්තටම යන්න පුළුවන්. අනික අපේ රටේ පාරවල් වල වාහන හෙන අඩු හින්දා බස් එක හරිම හයියෙන් යනවනේ. කෝච්චිය පැයකින් යන දුර බස් එක පැය දෙකකින් යනකොට අපිත් ටිකක් හරි කලින් ගෙදර ගිහින් නිදා ගන්න කැමති හින්දා තමයි කෝච්චියට නැග්ගේ. 

එතකොට ඔයා නොදන්න තව දෙයක් තියනවනේ. ඒ මේ මාලේ ගැන විස්තරේ. ඒක ඇත්තටම මගේ නෙවෙයි අපේ අම්මාගේ.ඒක එයාට අරන්දීලා තියෙන්නේ එයාගේ තාත්තා CTB එකෙන් විශ්‍රාම යනකොට ලැබුනු සල්ලි වලින්ලු. අපේ අම්මටම කියලා එයා‍ගේ තාත්තා අරන් දීපූ දේවල් වලින් එයාට තියෙන්නේ ඔය මාලේ විතරයි. අපේ සීයා දැන් ජීවතුන් අතර නැති හින්දා ඒ වගේ දේවල් හරියට වටිනවා. මතකයන්නේ හොරෝ! 

මම සාමාන්‍යෙයන් ඔය මාල වළළු එව්වා මෙව්වට කැමති නෑ හොරෝ. ඒ වුනාට ගස් ගල් වගේ පාරේ යනවා කියලා අපේ අම්මම තමයි ඔය මාලේ මට දුන්නේ. මේක වැඩිය පොඩිත් නෑ ලොකුත් නැති නිසා මාත් ඔහේ දාගෙන ඉන්නවා. අනික හොරෝ ඔය වෙන වෙන මාල දානවට වඩා මේක එක සැරේ දිගටම දාගෙන ඉන්න පුළුවන් නිසයි මමත් ඔන්න ඔහේ දාගෙන හිටියේ. 

දැන් එදා කෝච්චි ඇතුලේ ඔයා හිටයද නැද්ද කියන්න මම දන්නේ නෑ. හිටියා නම් දකින්න ඇති මුළු වෙලාවෙම මම හිටියේ ෆෝන් එකේ. මල් කැඩුවා නෙවෙයි හොරෝ එක මරු ඇප් එකක්. චිත්‍රපාට කරන්න තියෙන්නේ.  Sandbox Art. ඔයාටත් ස්මාට් ෆෝන් එකක් තියනවා නම් දාගන්න. වැඩක් නැති වෙලාවට කම්මැලිකම යන්න කරන්න මරු වැඩේ. අංකවලට ගැලපෙන පාට වලින් පාට කරන්න තියෙන්නේ. කෝච්චි ඇතුලේ නින්ද යන්නෙත් නැත්තං ඔය වගේ වැඩක් කරනවා ඇරෙන්න වෙන මොන කරන්නද අනේ! අනික එක භාවනාවක් වගේ. හිත එකඟ කරගන්න මරු. ඒකයි මම ඒ ඇප් එකට කැමති. 

ඒත් එක පාරටම මගේ බෙල්ල පිටිපස්සට දැනුන ගොරෝසු ඇඟිලි තුනක් නිසා මගේ ඇප් එකට තිබ්බ අවදානේ බිඳුනා. හරියටම එගොඩඋයන ස්ටේශන් එකේදි කෝච්චිය යන්න පටාන් ගන්නකොටම. ඒ ඔයා.! හරිම නරකයි අනේ! මට මූණ බලාගන්නවත් ලැබුනේ නෑ..! මම දැක්කේ කැප් එකක් දාපු කෙනෙක් පණ එපා කියලා වගේ දුවනවා විතරයි. ඇයි දිව්වේ? චේන් එක මගේ ළඟනේ.. අපරාදේ අප්පා! එක කැඩිලා දැන් ඉතිං එක හදන්න මම ආයේ වියදම් කරන්න එපැයි! 

මම දන්නවා හොරෝ දැන් කාලේ ජිවත් වෙන්න අමාරුයි තමයි. කොච්චර සල්ලි හෙව්වත් එක පැයකදි ඉවරකරලා දාන්න පුළුවන්. ඒත් අපි හැමෝම ජිවත් වෙන්න එපැයි හොරෝ. ඇත්තටම ඇයි  එදා දිව්වේ?  මාලේ ගන්න හම්බුනෙත් නෑ නේද? 

ඔයා දිව්වට පස්සේ මම මාලේ පර්ස් එකට දාගොන ආයේ මගේ චිත්‍රේ සම්පූර්ණ කලා. දන්නවද? මම අම්මට කිව්වේ නෑ ඔයා මාලේ ගන්න හැඳුවා කියලා.එයා පොඩි දේටත් බය වෙනවනේ. ආයේ කෝච්චියේ යන්නම එපා කියයි. මම කිව්වේ නිකම්ම කැඩුනා කියලා. දැන් මට රත්තරං මාල දාන එක අපේ ගෙදර එක්කෙනා සම්පූර්නෙන්ම තහනම් කලා. ඒ මනුස්සයට බයයි මගේ බෙල්ල කැඩෙයි කියලා ඔයාල අදින පාරකට. ඇත්තනේ හොරෝ! ඒකත් හොඳයි දැන් මොකුත් නොදා ඉන්න පුළුවන්! එක්කෝ හෙමින් සැරේ ගොල්ඩ් ප්ලේටට් එකක් අරගන්නවා. එතකොට ඔයා අරගෙන ගියත් අනේ කමක් නෑ කියලා ඉන්නනේ තියෙන්නේ. ඒත් එතකොට ආයේ ඔයා පව් වෙනවා. 

ඔයා දන්නවද ඔයාගෙයි මගෙයි වගේම කතාවක් තියන මලයාලි ෆිල්ම් එකකුත් තියනවා. Thondimuthalum Driksakshiyum කියලා. ඒකේ හොරා නම් මාලේ අරගන්නවා. හැබැයි කතාව එතනින් නතර වෙන්නේ නෑ. හොයාගන්න පුළුවන් නම් බලන්න. මං ආසම නළුවෙක් ඉන්නෙත් Fahadh Faasil කියලා. ඔයත් කැමති වෙයි.

මේක ලියුම ඔයා දකියිද මන්දා.. ඒ උනාට ඔයාට මේක කියවන්න පුළුවන් නම් හොඳයි. මොකද පොඩි යෝජනාවක් තියෙයි කරන්න. නරකද කොච්චියටම නැගලා සිංදු කිව්වා නම්? මොකද මම කෝච්චි වල සිංදු කියන අයට හරි කැමතියි. අනිවා මම එතකොට ඔයාට සල්ලි දෙන්නම්. හැබැයි මෙන්න වැන්දා නාහෙන් අඩන සිංදු නම් කියන්න ලෑස්ති වෙන්න එපා. සිංදු කියන්න බැරි නම් මොනා හරි විකුණන්නකෝ අනේ. මම නම් ගන්න එකක් නෑ. ඒත් ගන්න අය ගනියි. ඔයාට සල්ලි ලැබෙයි. බොරුවට දුවලා මහන්සි වෙන වෙලාවේ එහෙම වැඩක් කරා නම් හොඳයි අනේ.

එහෙනම් පරිස්සමින් ඉන්න. 
දෙවි පිහිටයි
M_M

Monday, June 4, 2018

රස අමතක වෙන්න කලින් ළුණු චට්නි

හැම කෙනෙකුටම ජිවිතකාලේ පුරාම රැදෙන එක එක ආසාවන් කැමැත්තවල් තියනවනේ. ඒකට ලස්සන සිංහල වචනෙකුත් තියනවා සංසාර පුරුදු කියලා. ඒ කියන්නේ ආත්ම ගානක ඉදන් පතාගෙන ඔතාගෙන එන දේවල් වලටලුනේ. ඔය සිංදු කියන එක චිත්‍ර අඳින එක වගේ එක එක නිර්මාණශීලි එව්වා එන්නේ එහෙමලු. කවුද අනේ ඔව්වා දන්නේ! ඒ වගේ මට පිහිටලා තියන සහජ දක්ෂතා කියන එව්වා නම් මමම හරියට දන්නේ නැති උනත් "කෑම" කියන්නේ නම් මං හිතන්නේ ජිවිත කාලේ මම කැමතිම වචන වලින් එකක්. මගේ ගෙදර මගේම කුස්සියට ගිහින් කෑම හදන එකේ ඉදන් යාළුවන්ගේ බත් පාර්සල් වල ඉදන් කොහේ කොතනක උනත් කෑම කියන්නේ නිරන්තරයෙන් මගේ අපරිමිත ගෞරවය ලැබෙන දෙයක්.

ඒ රස නිසාම විතරක් නෙවෙයි අපි කන හැම කෑමක් ම අපි ලඟට ලැබෙන්න කොයි තරං නම් පිරිසක් වෙහෙස මහන්සි වෙනවද? හරි හරි කෑම විතරක් නෙවෙයි අනිත් හැම දේකටමත් එහෙම තමයි. හැබැයි ඒ කොයි දේ තිබුනත් වැඩක් නෑ අපි ඉන්නේ බඩගින්නේ නම්! ඒ හින්දාමද මන්දා මේ ලංකාව ඇතුලේ තියන කෑම ජාති වලින් මම කන්නේ නෑ කියලා පැත්තකට කරන කෑම වර්ගයක් ගැන මට හිතාගන්න බෑ. තියෙන්නේ වැඩියෙන් කන්න කැමති හා වැඩියෙන් කන්න අකමැති වර්ගදෙක විතරයි.

අපි කතාකරමු වැඩියෙන් කන්න කැමති දේවල් ගැන, මොකටද වෙන එව්වා ගැන හිතලා හිත නරක් කරගන්නේ. තෝසේ!!!! අාන්න වචනේ!! ඒ එක්කම එන්නේ උළුදු වඩේ!!! ආන්න ඊට පස්සේ පුළුවන් හැමදාම කන බත් කොස් අල බිත්තර මාළු මස් පරිප්පු ආදි එකී මෙකී ඔය කොයි එකත් පෙලගස්සන්න. ඒත් තෝසේ කියන්නේ මගේ ලොවේ රාජ්ජුරුවෝ ඔබයි මගේ තොසේ වගේ සිංදු කෑල්ලක් වෙනස් කරලා උනත් කියන්න පුළුවන් වචනයක්.

ඉස්සර නම් තෝසේ ලඟටම ආවේ සරස්වතී එක. හානේ දෙයියනේ ඒ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ... දැන් ඉස්සර වගේ ඒ පැත්තේ යැවෙන්නේ නැහැනේ. :-( . වන්වේ කරපු පාරක සරස්වතීයනවා කියන්නෙම වෙනම ප්‍රොජෙක්ට් එකක්. ඒ උනාට සරස්වතියේ උඩ තට්ටුවේ කෙළවරේ මේසේ වාඩි වෙලා කාපු තෝසේ රස කවදාවත් අමතක වෙන්නේ නෑ. සරස්වතී වෙනුවට දැන් ඉදලා හිටලවත් යැවෙන්නේ ඉන්දු සිලෝන් එකට. ඒකත් නරකම නෑ! ඒ උනත් දැන් අපි ලොකු ළමයිනේ! තොසේ කියන්නේ තව දුරටත් කඩෙන්ම කන්න ඕන කෑමක් නෙවෙයි. මොකද අපි දැන් දන්නවා කඩේ රසටම ගෙදරදි තෝසේ හදන හැටි!
ඉතිං දැන් අපි කරන්නේ......................... තෝසේ ගෙදර හදන එක!


ඇත්තටම මම දැන් මේක ලියන්න ගත්තේ තෝසේ ගැන ලියන්න නෙවෙයිනේ. මට ඕන උනේ ළුණු චට්නි ගැන ලියන්න. මේ ලඟදි යු ටියුබ් එක හරහා මට ළුණු චට්නි හදන වීඩියෝ එකක් ආවා.මම හිතුවේ කවුරු හරි මට සජෙස්ට් කරලා කියලා. බැලුවම එහෙමත් නෙවෙයි. එහෙමයි කියලා මට අළුත් කෑමක් අහක දාන්න පුළුවන්ද? සාමාන්‍ය යෙන් චට්ටි කියන්නේ මම වැඩිය කන්න කැමති කෑමක් නෙවෙයි. ඒ උනාට වැඩි මහන්සියක් වියදමක් නැතුව ගෙදර තියනම දේවල් ටිකක් එකතු කරලා හදන්න පුළුවන් මේ චට්නි එක නම් හදන්නමයි හිතුනේ. අනික වැදගත්ම දේ එක කන්න හොඳයි කියලා තිබුන කෑම වලත් තෝසේ තිබුනා. වැඩේ හරි! තෝසේ හදන්න ත් පුළුවන්!

කොහෙම හරි හැදුවා කියමුකෝ! දැන් තමයි ප්‍රස්නේ! අපේ ගෙදර කවුරුවත් මීට කලින් ළුණු චට්නි කාලා නෑ. ඉතිං හරියටම ඕකේ රස කොයි විදියද කියලා කවුරුවත් දන්නේ නෑ. අපේ ගෙදර මාස්ටර් චෙෆ් හා ළුණු චට්නි එක හදපු චෙෆ් විදියට මගේ අදහස සියඹලා රස ඉස්සර වෙනවා වැඩියි.. :-( කිරිමැටි ටිකක් තෙල් දාලා දුන්නත් මාව අප් කරන්න හොඳයි කියන අපේ අම්මගේ මතය "චට්නි වල රස ඔහොම තමයි ඕක හොඳයි". එතකොට අපේ ගෙදර එක්කෙනා ගේ මතය හැමදාම වගේ "අවුලක් නෑ".

දැන් ඔන්න හැමදේම හදලා කෑම කන වෙලාව ආවා..තෝසේ ... සම්බාරු හොද්ද එක ළුණු චට්නි. හැමදේම එකට ඇනුවට පස්සේ ඇත්තටම ඒක මරු! තෝසේ එකට නියම පන්ච් එකක් දෙනවා ළුණු චට්නි එක. මරු මරු! එතකොට පහුවදා වැඩට ගෙනියපු බත් එකටත් මම නොදැනම අම්මා චට්නි දාලා.. ඒකත් මරු කලින් දවසටත් වඩා රසයි!!

ඉතිං.. කෑම හදන්න කැමති කවුරු හරි මේක කියවනවා නම් ඔයාලත් හදන්න. ළුණු චට්නි. මෙන්න මම බලන් හදපු වීඩියෝ එක. එතකොට ඕකේ අපේ ගෙවල් වල සාමාන්‍යෙයන් තියන දේවල් හැර අර අන්තිම හරියේ දාන කුඩු පොඩ්ඩ මම දැම්මේ නෑ.




Sunday, April 1, 2018

ස්විච් - පත්තු කරලා දුන්න හැමෝම වෙනුවෙන්




පහුගිය 28 වෙනිදා ඉඳන් මේ වෙනකල්ම පුදුම කලබලේකින් දවස් ගෙවෙන්නේ.. ඉස්පිරිතාලෙක ජිවිතේ කියන එක කොහෙත්ම අමුතු දෙයක් නොවෙච්ච මට දැන් මගේ කෙනෙක් බලන්න තුන් වේල ඉස්පිරිතාලෙකට යන්න වෙනකොට ඒක හරිම අමුතුම හැඟීමක්...! ඒ උනාට හෙටින් පස්සේ එයා ආයේ ගෙදර එයි කියලා හිතෙන නිසාම අද අමුතු සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා සෑහෙන කාලෙකට පස්සේ තනියම සිගරට් එකක් පත්තු කලා.. !

එතන වැදගත්ම වචනේ සිගරට් නෙවෙයි.. තනියම කියන එක! මොකද මගේ සුරාවල් දුම් කතන්දර සේරම එන්නේ මගේ යාළුවෝ එක්කමයි. බන්ඩල් එකක් විදියට. කොයි තරම් සතුටු උනත් කොයි තරම් දුක් උනත් කවදාවත් තනියම බොන්නවත්.. තනියම සිගරට් එකක් පත්තු කරන්නවත් මම කැමති නෑ. මම අකමැති තනිකමට නෙවෙයි. මම අකමැති තතියම සෙට් වෙන එකට!

එතකොට ඇයි අද තනියම..?

අද නෙවෙයි පහුගිය දවස් ටිකම හිටියේ තනියම.. සිගරට් එකත් එහෙමම තනියම පෙට්ටියේ හිටියා. ඒක මමත් දැනගෙන හිටියා. ඒත් ඒ මොහොත ආවේ නෑ! නැතුව ඩන්හිල් ස්විච් එකක් දිහා බලබල බකං නිලං ඉන්න තරම් මම  හොඳ ලමයෙක් නෙවෙයි නේ. මම දන්නවා මේ ලෝකේ හොඳම සිගරට් පැකට් මට දුන්නත් මම එකේන් එකක් අරං එක පෆ් එකක් අරං ඉතිරි ටික කාට හරි දෙනවා.. කන්න එපා කියලා චොකලට් පෙට්ටියක් දීලා ගියොත් කෙල ගිල ගිල හරි ඒක නොකා ඉන්නවා. හැබැයි ඩන්හිල් ස්විච් එකක් ලඟ කට කොනකින් හිනාවක් එක්ක මොන මඟුලකටද මේක නිකං තියන් ඉන්නේ කියලා අහන එක අහනවා. ඒ කියන්නේ ඉතිං එකින් එක.. හෙමින් හෙමින් පැක් එකම හරි ඉවර කරනවාමයි කියන එක.

ඇත්ත "දුම් බීම සිරුරට අහිතකරයි". "රජයේ අවවාදය දුම්බීම පිළිකාඇති කරයි" ඔව්වා හිස් මුදුනින් පිළිඅරගෙන තාත්තලට බණ දේසනා කරපු ළමා කාලෙකුයි.. අපෝ සිගරට් බොන කොල්ලෝ/කෙල්ලෝ හෙනම චාටර් කියලා කියපු කාලෙකුයි අපි හැමෝටම තියනවා. ඒත් ඒවා වෙනස් වෙනවා. අපි හිතන පතන විදි මොහොතින් මොහොත වෙනස් වෙනවා වගේ. සිගරට් බොන මිනිස්සු සිරා වෙලා අනිත් උන් චාටර් වෙන එකවත්.. නොබොන උන් සිරා වෙලා බොන උන් චාටර් වෙනවා කියන එකවත් නෙවෙයි මේ කියන්නේ. හැමෝටම තේරීම් තියනවා කියන එක කියන්න. ඒ තේරීම් හරි හෝ වැරදි වෙන්නේ ඒක අපි අපේ කොණෙන් බලන නිසයි. කොයි තරම් කොහොම උනත් අපිට තව කෙනෙක් ගේ කෝනෙකින් දෙයක් බලන්න බෑ වගේ. අපිට පුළුවන් හිතන්න.. ඉමැජින් කරන්න විතරමයි.. එහෙම නැත්තං ගෙස් කරන්න. ඒ ඇරුනම හරි හෝ වැරැද්ද කියන දේ සාපේක්ෂයි.

යන්තං සන්තං අවුරුදු 31ක් ජිවත් කරගත්ත ජිවිතේ අස්සේ මම වැඩියෙන්ම සැහැල්ලු වෙන මොහතෙ තමයි  මින්ට් රහක් එක්ක සුදුපාටත් නැති අළු පාටත් නැති දුම් ටික ඇඟ ඇතුලට අරගෙන පිට කරලා දාන මොහොත! තාමත් ඒ තරම් රිලැක්ස් කරන්න පුළුවන් වෙන දෙයක් හොයා ගන්න බැරි උනා. මම අකමැතිම මගේ ස්විච් එක ඉවර වනෙ එකට. මොකද ඒකේ රස්නේ මගේ මූණට... ඇඟිලි වලට දැනෙනවා.. එතකොට මම දන්නවා මේ සැහැල්ලුව දැනෙන්නේ තව ටික මොහොතයි කියලා.. ඒක හරිම දුක හිතෙන මොහොතක්!

අදත් ඒකම තමයි උනේ..!!! අපරාදේ! ඇයි මේවා තව දිගට හදන්නේ නැත්තේ??? හරියට මයිලෝ ඩ්‍රින්ක් එක බොන්න ගත්ත ගමන් ඉවර වෙනවා  වගේමයි!! එහෙම උනාම වෙන්නේ මේ වගේ අවුල් වෙන එක! එතකොට මනෝ විකාර ඔළුවට එනවා.. ඉතිං මම හිතුවා අද මනෝ විකාර ටික මගේ ආදර ඩන්හිල් ස්විච් වෙනුවෙන් හා  හුළං එන අවුඅස්සේ මට සිගරට් පත්තුකරගන්න බැරි වෙන මොහොතවල්වල මං වෙනුවෙන් ඒවා පත්තු කරලා දුන්න අපේ ගෙදර එක්කෙනා ඇතුළු යාළුවෝ හැමෝටම ලොකූ ස්තූතියක් පලකරන්න!

මචං/මචී ලා තෑන්ස්!




Tuesday, March 20, 2018

තනි දරුවෝ



මේක ගොඩා....ක් කාලයක් මගේ හිතේ තිබුන දෙයක්. සමහර විට මම තනි දරුවෙක් කියලා දැනුන දවස් වල ඉදලම හිතේ තියෙන්න ඇති. ඒත් ලොකුවට හිතුවෙත් නැති නැත්තෙමත් නැති දෙයක්. මේ දවස් වල උදේ හවස නිතර මුණ ගැහෙන කෙනෙක් නිසා ආයෙමත් ලොකුවට හිතට බරට දැනෙන දෙයක්.

තනි දරුවෙක්! එයාව තමයි මම නිතර මුණ ගැහෙන කෙනා. මම එයාව දැන් ටික කාලයක් තිස්සේ දන්නවා. ඒ එයා එයාගේ වයසක අම්මව නිතර  රෝහලට එක්ක එන නිසා. ඒ අම්මත් හරිම ශෝක්.. නිතර හිනාවෙලා ඉන්න අහිංසක ගෑණු කෙනෙක්. ඒ අම්මයි මේ තනි දරුවයි එක්ක නිතරම එන්නේ එයාලගේ සේවිකාව විතරයි. ඉතිං මේ අම්මයි දුවයි එක්ක හායි හෙලෝ සම්බන්දයක් අපි කීප දෙනෙකුටම තියනවා.

දැන් සතියකට විතර කලින් මේ අම්මව රෝහල් ගත කරන්න උනා. එදා මගේ රාත්‍රී සේවා මුර දවසක්. ඉතිං අපිට කතා කරන්න වෙලාව ලැබුනා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මේ දරුවත් තනි දරුවෙක් කියලා.. ආ... මං වගේ! ඒක කොහොමත් තනි දරුවන්ට විතරක් දැනෙන දෙයක්! සහෝදර සහෝදරියෝ එකෙක් හරි ඉන්න කාටවත් ඒ හැඟීම තේරෙන්නේ නෑ.. ! දැන් සතියක් තිස්සේ අපි නිතර කතා කරනවා.. එයාගේ අම්මා ගැන. අම්මා ඉන්නේ දුකෙන්.. එයාගේ දුවව දාලා යන්න එයාගේ හිත හදාගන්න බැරි නිසා අන්තිම මොහොත වෙනකල් අම්මා වේදනාව නොපෙන්නා ඉන්නවා.. ඒක ඒ දුව වගේම මම දුවත් දන්නවා...! ඒ උනාට අම්මා දුක් විඳිනවා බලන්න ඒ දුවට වගේම මම දුවටත් බෑ... මම ඒ අම්මව බලන්න යන්නේ නෑ.. මොකද මට ගෙදර ඉන්න මගේ අම්මව මතක් වෙන නිසා. කවදාම හරි දවසක ඒ තනි දරුවා ඉන්න තැන මට ඉන්න වෙනවා නේද කියලා දැනෙනකොට!  ඇත්තටම මට ඒ දරුවා වෙනුවෙන් හිතට හයිය එන්න කියන්න දෙයක් නෑ..! මොනා කියන්නද මම? ඒත් එයාගෙම වචන වලින් අල්ලගත්ත" Let the God decides" කියන දේ විතරමයි මට කියන්න පුළුවනුත්!

මේක ඒ දරුවගේ විතරක් නෙවෙයි.. මේ ලංකාවේ ඉන්න හැම තනි දරුවෙක්ගෙම  මහා පොදු සාධක කථාව.! විශේෂයෙන් අම්මාලා හදන්නේ පවුලට හිතවත් දරුවෙක් නම්...! ඕන මඟුලක් කියලා හැමදේම අමතක කරලා ජිවත් වෙන තනි ලමයි නැතුව නෙවෙයි වෙන්න ඇතිනේ! ඒත් මොහොතක ඒ ළමයිනුත් මොහොතක හිතින් අඩනවා ඇති.! ඒ අපි හැදුන රටේ පරිසරයේ හැටි.

ඒක නිසා මේක කියවන කාට උනත් කියන්නේ.. හදනවා නම් දරුවෝ දෙන්නෙක් වත් හදන්න.. ඒ මේ ජාතිය රැක ගන්නවත් මොන  කෙහෙල්මලකටවත් නෙවෙයි.. තමන් මේ ලොක්නේම වැඩියම ආදරේ කරන දරුවව අනාතයෙක් කරන්න එපා.! මොකද අම්මා තාත්තා ජිවත් වෙලා ඉන්න කාලෙත්.. ඊට පස්සෙත් තනි දරුවෝ කියන්නේ උපතින් උරුමකරගත්ත පාළුවක් එක්ක ජිවත් වෙන පිරිසක් නිසා. යාළුවෝ දාහක් හිටියත්... අනන්තෙටත් ටිකක් එහාට ආදරේ කරන් පෙම්වතුන්..සැමියෙක් බිරිඳක් හිටියත් එයාලා ඉන්නේ තනියම.! ඔබට පුළුවන් ඔබේ දරුවට හොඳට උගන්නන්න.. සාගරයක් වගේ වත්කම් හදලා තියන්න.. ලොකූ ඉලක්කම් ගානක බැංකු ගිණුමක් ඉතිරි කරලා තියන්න. ඒ උනාට තමන්ගෙම එකෙක් හොඳට හෝ නරකට තියලා යන තරම් දෙයක් ඔබට කරන්න බෑ!

මම දන්නේ නෑ අද තව ටිකකින් මම වැඩට යනකොට අර අම්මට මොනා වෙලා තියෙයිද කියලා. සමහර විට හොඳ අතට හැරිලා තියෙන්නත් පුළුවන්.. සමහර විට වෙන දෙයක් වෙන්නත් පුළුවන්! හැබැයි මම එක දෙයක් දන්නවා. මම වගේම ඒ තනි දරුවත් ජිවිතේට මුණ දෙනවා මොකද එහෙමයි අපේ අම්මලා අපිව හදලා තියෙන්නේ!



Friday, March 16, 2018

සම්බන්ධතා

අනන්තයතෙක් ආදරේ


ආයේ ලියාගෙන ලියාගෙන යන්න හිතට ඕනිමයි.. ඒ උනාට හිතනෙ දේවල් ඒ විදියටම ගොටුකොළ මිටිය කපාගෙන යන විදියට ලියාගෙන ලියාගෙන යන්න බෑ..! මොන මඟුලක්ද මන්දා!

ඒ උනාට අමාරුවෙන් හරි ආයේ ලියනවා.. අද මාතෘකාව සම්බන්ධතා.! පිස්සු! මං කවද්ද මාතෘකාවට අදාලව ලිව්වේ. ඉස්සර නම් කලේ ලියලා ගැලපෙන මාතෘකාවක් දාන එක. ඉතිං ඇයි අද විතරක්!
එහෙම තමයි. දේවල් වෙනස් වෙනවනේ! ජිවිතය ගැන අපි හිතන විදි අපි දකින විදි හැම දේම කාලයත් එක්ක වෙනස් වෙනවා. අපි ඇසුරු කරන මිනිස්සු පවා. එයාලා අපි හැමෝම අපේ වපසරියන් අස්සේ වෙනස් වෙනවා.

හැබැයි කවදාවත් වෙනස් නොවෙන දේවලුත් තියනවා. අපි හිතනවා වෙනස් වෙලා කියලා. ඒ හිතෙන වෙලාවට ඔළුවට එන හැම විකාරයක්ම කියවලා විනාස කරලා දානවා. සමහර වෙලාවට මොනාද මේ කියන්නේ කියලවත් අහන් ඉන්න එකාට නොතේරෙන තරමටම.  හැබැයි ආයේ හොඳ හුස්මක් අරගෙන කල්පනා කරද්දි අපි තාම ඉන්නේ මුලමයි.

එහෙම හයියට අල්ලන් ඉන්න පුළුවන් සම්බන්ධකං තියෙන්නේ බොහොම ටිකයි. සමහර විට අපිට හිතෙන්නේ දැන් කැඩෙයි දැන් කැඩෙයි.. දාලා ගොඩක් දුර ගිහින් කියලයි.. ! ඒත්  ඒක එහෙම නෙවෙයි.! පුංචි මකළු දැළක් වගේ පෙනුනට ඇත්තටම තංගුස් වලටත් වඩා හයයියයි...දාලා යනවා/ගිහිං කියලා හිතුනත් ඇත්තටම ඉදලා තියෙන්නෙත් ඇස් දෙක පාමුලමයි. වෙනසකට තියෙන්නේ අපිට දැනිලා නැති එක විතරමයි.

අවුරුදු දහයක් කියන්නේ
සෙල්ලම් කාලයක් නෙවෙයි
අත් අල්ලගෙන හිටියත්
අත් අතඇරලා හිටියත්
අවුරුදු දහයක් කියන්නේ
සෙල්ලම් කාලයක් නෙවෙයි

ඒ මුළු කාලෙටම පස්සෙත්
ආයෙමත් මුල ඉදලම
“අ“ යන්නේ ඉදන්
පටන් ගන්න පුළුවන් නම්
අඩුම ගානේ
මතක් කරගන්නවත් පුළුවන් නම්
තේරේවී..
තවත් අවුරුදු දහයක් කියන්නෙත්
සෙල්ලමක් නෙවෙයි කියලා

අපි අළුත් පිටුවක පටන් ගමු
ආයෙමත්
තව අවුරුදු දහයක කතාවක්
ලියන්න
හා ද?

කාටවත් නොතේරනෙ
අපේ කතාවක්
චරිත නැති
වචන නැති
 තේරුමක් නැති
හැඟීමක් විතරක්
ඇති
අපේම කතාවක්?

Monday, September 8, 2014

බස් එකේ ඉදන් ෆ්ලෝටින් මාර්කට් එක වෙනකල්

හෙනම ඉස්සර
අපේ බස් නැවැත්තුවේ
කොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේ
ඒ කාලේ
අපෝ වලවල් මඩ හෙනම චාටර්
පස්සේ
ස්ටෑන්ඩ් එක හැදුවා
හැබැයි අපේ බස් ටික
බැස්ටියන් පාරට වැටුනා

බැස්ටියන් පාරේ තිබුනේ
තොග කඩ පේළියක්
කරපිංචා.. පළතුරු..

එක පාරට දවසක්
ඒ කඩ කැඩිලා..

කඩ වලට පිටිපස්සේ
ජිවිතේට දැකලා නැති
පොඩි පොකුණක් තිබිලා?

හප්පා.. මාර ගති
රේල් පාර
වතුර පාර
බස් හෝල්ට් එක
බස් එකේ ඉඳන්ම කෝච්චි පොටෝ ගත්තැහැකි

පොකුණටත් එක සැරේ
ආස්චර්‍ය වඩින්න ගත්තා
අඩු ගානේ වැස්සට ඉන්නවත්
හෝල්ට් එකට වහලක් එයි
අපි හිතුවා

පොකුණෙන් එහා වීදුරු කඩ හැදුනා
පොකුණ මැද ලී කඩ හැදුනා
අයින් දිගේ මල් වැවුනා
අද වගේ නෙවෙයි හෙට
පොකුණ වටේ දියුණු උනා
බස් එකේ ඉදන් අපි
බලං හිටියා..

ෆ්ලෝටින් මාර්කට් එක
පොකුණ මැද හැදුනා
පොඩි කික් එකකින්
අපිත් බලන් උන්නා
බස් එක යනකල්
බස් එකේ ඉදං..

දැන්

රෑට රෑට ෆ්ලෝටින් මාර්කට් එකට හරි සෙනඟ
ටේක් අ‘වේ කප් වල ඩ්‍රින්ක්ස් බිබී
ස්ලිපස් දාපු - පෑන්ට්ස් ඇඳපු නෝනලා
නගර සිරි නරඹනවා
බැස්ටියන් පාරත් දැන් මොඩ් වෙලා
ටාටා ලේලන්ඩ් රෝසා බස් නැතුව
කාර්..ජීප් නැවතිලා
බැස්ටියන් දැන් පොශ් වෙලා

බස් එකේ ඉදං බලන් හිටි අපිට
උන් හිටි තැන් නැති වෙලා
පොශ් කොළඹ කොන් වෙච්චි අපි
හෝල්ට් හොය හොය තාම
මහ මඟ.....




Thursday, February 6, 2014

මතක පොත් ගිණි තැබීම...

මේ අවුරුද්දේ පළවෙනි දවසෙම පළවෙනි තෑග්ග විදියට ලැබුනේ මතක පොතක්... එහෙම නැත්තං ඩයරි එකක්.. ඩයරි එකට සිංහලෙන් කියන්නේ දිනපොත උනාට මම කැමතියි මතක පොත කියන්න.. ඉස්සර නම් දෙසැම්බර් මාසේ අඟ වෙනකොටම ඊළඟ අවුරුද්ද වෙනුවෙන් අළුත් ලස්සන මතක පොතක් ලැබෙන කම් ඉවසිල්ලක් නෑ.. ඒත් මේ අවුරුද්දේ ලැබුන එකත් අම්මට දුන්නා එයාගේ එදිනෙදා ගණන් හිලව් අනම් මනං කැමති නම් ලියාගන්න කියලා..
දැන් මින්ස්සු ඩයරි ලියනවද ඇත්තටම?
නෑ වෙන්න ඕනි..
එහෙමත් නෑ ඊයේ පෙරේදා එයාගෙම වැඩකට අපේ ලාවාගේ බෑග් එකෙන් ඩයරි එක ගත්තම එයා ඒක ලියලා තිබුනා.. ඒ එක්කම මට මතක් උනේ මගේ පරණ මතක පොත් ටික..
අදාලා අවුරුද්ද ඉවර උනාම මතක පොතත් කුණු මුල්ලට යන එකයි වෙන්නේ.. විසිකරන්නත් දුකයි.. තියා ගන්නත් බෑ.. ඔය විදියට එකතු උන මතක පොත් ගොඩකින් අද නිදහස් වෙන්න හිතුනා..
කාලෙකදි හරීම වැදගත් දේවල් තව කාලෙකදි වැඩකට නැති දේවල් වෙනවා කියලා දැන් තේරෙන්න පටන් අරගෙන.. ගේ අස්සසේ කුණු පුරවන් ඉන්න එකත් ඒ වගේ හිතිලා තියෙන්නේ.. ඒ නිසයි අද උදේම මතක පොත් වලින් නිදහස් වෙන්න කල්පනා කරේ..
අවුරුදු දහයක විතර මතක අළුත් කරමින් පිටු පෙරලන එක හරිම ශෝක් වැඩක්..
යාළුමිත්‍රකම්.. ඉස්කොලේ හොර වැඩ.. ජොලි වැඩ.. සිරා වැඩ.. එක්ක පොඩි පොඩි සීන්.. අනම් මනං එක්ක.. අපේ ආදර කතාවේ හුඟක් දවස් ගැන වචන දෙක තුනේ පොඩි පොඩි නෝට්ස්... කොටින්ම අපි මුලින්ම බලපු ෆිල්ම් එකේ ටිකට්ස් පවා.. මුළුන් ලැබුන චොකලට් එකේ කොලෙත්.. ලැබුනු තෑගි වල පුංචි නෝට්ස්.. හැම අවුරුද්දෙම බුක් ෆෙයාර් ගිය ටිකටස්.. විශ්වාස කරන්න බැරි විදියට අවුරුදු 9ක් තිස්සේ මම පාවිච්චි කරන ෆෝන් කනෙක්ෂන් එකට මුලින්ම දාපු කාර්ඩ් එක පවා.! බලාගෙන ගියාම මම පුදුම එකතු කිරීමේ පිස්සුවක් තියෙක හෙනම මානසික රෝගියෙක්නේ..!

කල් යන්න යන්න ජංජාලෙට ලං වෙන්න ලං වෙන්න මතක පොත් පාවිච්චියත් නැතිව ගිහින් ඒ පිස්සුත් හොඳ වෙලා ගිහිං.. ෆොටෝ කෑල්ලක් අරං කොහේට හරි අප්ලොර්ඩ් කරලා දාන්න තරම් දැන් සිස්ටම් එක වෙනස් වෙලා.. කමක් නෑ.. එහෙම තමයි ඉතිං..

මතක පොත් අවශ්‍යමයි කියලා හිතුන පිටු ටිකාක් විතරක් ඉතිරි කරගෙන අනිත්වා හවස පුච්චලා දැම්මා..තව කාලයක් ගිහිං ඒ පිටු ටිකත් වැඩක් නෑ කියලා හිතුන දවසක ඒ ටිකත් පිච්චෙයි..

මතක හිත් වල විතරක් ඉතිරි වෙලා මතක පොත් අළු වෙයි....


Wednesday, February 5, 2014

නිර්වානයේ දොරකඩ හිඳිමි....


පුරහඳ අයිති රාත්‍රියටය...
තරු පිරි අහසක පුන්සඳක් යනු
නේක දැසිදස්සන් පිරිවරා
සිටිනා මහේශාක්‍ය වරයෙකු මෙනි..
අහසතලයත් පොලෝ මහී කතත්
සියල්ලන්ට හොරෙන්
සිය සදාතනක පෙම් මුණු මුණුවේ
වෙලෙමින් මුළු වටපිටාවම
එකම රසගුලාවක් කර ඇත..

දිවා දැඩි සූර්ය රැසින් පීඩිත
සිය පෙම්වතිය සනහන
අහස් ගැඹ
පිණිති විසුරුවා ඇය නළවති
සුවඳව පුෂ්පයෝ දක්වා
ඈ ඔහු පසසති...
කදෝපැණි එළිත්..
තාරුකා එළිත්..
අහසත් පොලෝ මහීත්
අතර රහස් මුකුළු පණිවිඩ
ඔබ මොබ ගෙන යති..

ඒ පුරහඳ පෑයු දිනය සුවිශේෂීය..

ඇමසන් වනයේ
හරි මධ්‍යයේ
මිනිස් ඇසකට නොදිටිය හැකි
මිනිස් පයකට ළං විය නොහැකි
ඒ ගිරිකුළ් නම් මුරකරුවන් විසින් රක්නා
අසම සම ඒ පෙදෙසේ
පුරහඳ පෑයු අහස යට..
ඔවුන් සියල්ලෝ
කලකට පසු එක්ව ඇත
සියල්ලන්ට එහි යා නොහැක
නමුත් ඔවුන් සැමට යා හැක..

මා එහි දොරකඩ සිටිමි..

ඔවුන් මහා කතාවකය..
අතරින් පතර සිනහවන්ය..
“මේ මිදි යුෂ ගන්න මත් වන තරමටම පැසී නෑ තවම“
...
“යහපත්ය.. එහෙනම් මදක් දෙන්න..“

දැක පුරුදු ඔවුන් දෙස
බලා සිටියෙමි දොරකඩ සිට
නෙත් කොණින් මා දෙස බලා
ඔවුන් ඔවුන්ගේ දෙඩුම් වල

යේසුස්..සිද්ධාර්ථ.. අල්ලාහ්
එක්ක සත්‍ය සායි.. වගේම
ක්‍රිෂ්ණාලා එක්ක තව ගොඩක් අය
එක මේසයක සුහද පිළිසඳරක

එන්න ඇතුළට..
ඇරයුමක් කලා මට අයෙක්

යන්න බෑ මට
බර වැඩීයි මගේ හිත
බැඳීමෙන් බැඳී ඇත
සිතිවිලි වලින් පිරී ඇත
නිර්වාණයේ දොරකඩින් මම
හැරී ආවෙමි එන්න
පුරහඳ මගේ පසුපසින්
මා එක්ක ආවේය..







පසුව ලියමි :- පුරහඳ පායන දවසට පිස්සන්ට පිස්සු වැඩිවේළු! 

Friday, January 17, 2014

ගම්මිරිස් මෝල





හුරේ... අද මට මේ අවුරුද්දේ පළවෙනි තෑග්ග හම්බඋනා.. ගම්මිරිස් මෝලක්! :D

සෑහෙන කාලෙක ඉඳන් මම මේක ලංකාව ඇතුලේ හෙව්වේ... ඔය රටපිට නාලිකා වල යන කෑම වැඩසටහන් ගැන කෙළ හලන මගේ හැම යාළුවෙක් ගෙන්ම අහලා අහලා උන් කිව්ව හැම තැන් වලින්ම භාගයකටත් වැඩි තැන් වලට ගිහින් මට මේක හොයාගන්න බැරි උනා..

මේ ලොකේ අස්සේ තියන හැම කුණු ගොඩක් ම තියෙන පිටකොටුවේ කඩ අස්සෙන්වත් මට හොයාගන්න බැරි උනා.. මගේ වෙලාවද නැත්තං වෙන කාගේ හරි වියදම් නැකත ඇවිල්ලා තිබ්බේ නැති නිසාද දන්නෙත් නෑ ඉතිං..

සිරාවටම මම උයන වැඩේට හෙන ආසයි... (ගොඩක් වෙලාවට) අම්මත් එක්ක තනියම ගෙදර හැඳුන එකයි ඉස්සරම ටීවී වල ශාන්තා මායාදුන්නේ ඇන්ටිලා එහෙම සෑහෙන්න ඒකට වග කියන්න ඕනි.. අර එයාලා වෙන වෙනම පීරිසි වලට මිරිස් කුඩු ටික පවා වෙන් කරලා හෙන ඇඩ් එක දාලා උයන දේවල් දිහා බලන් ටීවී එක ඉස්සරහා ඉදන් හිතිං  ඒවා හදපු කාලේ ඉදන් අම්මා එක්ක ගල් වංගෙඩියේ සම්බල් කොටලා බිත්තර තම්මබං එහෙම නැත්තං පරිප්පු හොඳියි බුස්ල් අයි කාපු දවල් වල ඉදන් කොටින්ම මට මතක අතීතෙටත් කලින් ඉදං මම උයන වැඩේට ආසයි..

“මෙයා මෙහෙට එනකොට බත් උයන්නවත් දන්නේ නෑ“ කියලා තාත්තා අම්මට දාන නක්කලේ මට කවදා හරි නොවෙන්න වෙන්නත් පුළුවන්...

ඊට පස්සේ පීයෝ ටීවී එකට පිං සිද්ධ වෙන්න ඔය ලෙඩේ හෙනම ඉහට ගැහුවා.. ඒක ඇත්තටම බෝ වෙන ලෙඩක්!

හැඳුවේ නැතත් ඒ දේවල් හදන විදිය.. පාවිච්චි වෙන ටෙක්නික්ස්.. ප්‍රසන්ට් කරන සිම්පල් විදි හැම එකක් අස්සෙම තියෙන මොකක්දේ එහෙකට මම හෙන ආසයි.. නයිජෙලා ලෝසන් එක්ක ජෙමී ඔලිවර් තමයි මගේ මෝස්ට් ෆේවරිට් ජෝඩුව.. ජෙමි අයියාගේ හිනාව විතරක් ඇති බඩ පිරෙන්න!!!!

හැබැටම ගත්තම මම කුකින් ශෝ කරන පිටරට හැම මිනිහටම ආසයි වගේ.. නම් ලැයිස්තු මෙතන පල කරලා නිකං ලෙඩ දාගන්නේ මොකටද...

ඔය මොන කයිකතන්ද කිව්වත් වැඩක් නෑ හැමදාම කන්නේ එකම මෙනු එකනම්!!!
කාන්ට් හෙල්ප් !! අපි ඉන්නේ ලංකාවෙනේ!
රයිස් කියන දේ නැතුව වැඩේ ගොඩ දා ගන්න හෙනම අමාරුයි.. (අපේ තාත්තා අය වගේ එක්ක විශේෂයෙන්.. එක්කෝ බත් නැත්ං චා පා ති!!!!! )

ආයේ මුළටම ගියොත් අර ගම්මිරිස් මොල මට හෙනම වැදගත් වෙන්නේ හැම බත් වෙලකටම සලාදයක් තියෙනවා නම් මං හෙනම ආස හින්දයි.. සලාද විතරක් නෙවෙයි ගම්මිරිස් එන කොයි කෑමටත් එවලේ කොටපු ගම්මිරිස් දාන එක තමයි මම හැමවෙලේම අනුමත කරන්නේ.. මොකද එවලේ කෙටුන ගම්මිරිස් ඇටේක අමුතුම ටේස්ට් එකක් තියෙනවා මට..

මේ තාක් කල් ඉතිං මම කරන්නේ කෑම හදන හැම වෙලේම පොඩි වංගෙඩියට ගම්මිරිස් දාලා කොටන එක.. සහයට ඩැනී ඉන්න දවස් වලට ඒක එයාගේ ජොබ් එක! ඉතිං හැමදේටම ඊසී ක්‍රම හොයන මගේ සහයට ඩැනීගෙන් මට හම්බඋන තෑග්ග තමයි ගම්මිරිස් මෝල

මමත් දැන සෙලිබ්‍රෙටී චෙෆ් කෙනෙක් වෙන්න හෙන ළඟයි වගේ..

මට කලින් වෙච්ච ලෝකේ ඉන්න අනිත් අය ගැන දැන ගන්න ඕනි නම් යන්න මෙතනට 

මං ඉස්සර හදපු කෑම වලට කෙල ගිලින්න මෙතනින්  මෙතනින් මෙතනින් මෙතනින් 


ඔලිවර් අයියා....! 

Thursday, January 16, 2014

I feel ALIVE




wwhohoooo....!!

I feel so lively after loooong time.! hell yeah I mean it! Even though still i am in medication, after having endless sleeping period I feel healthy and fit again!

So to celebrate my recovery ammi decided to have string hoppers for diner!

Bang!

Our beloved string hopper akka also not well.. So amma wanted to cook rice n curry instead of something else!

Why not some HOME MADE FRIED RICE! yipeyipiyeeei! ( its was my idea)

I know cooking can fix my all worries! I am an anytime happy time home chef!

Managed to find some basmati rice and some carrots beans and soup cubes along with Vegitable ghee and butter I made it! and my most favorite hot chicken curry.! It was fast and quick dinner preparation but still worth it! All three of us are now having problem in FULL BANDIES :P

Well.... to be honest!

during past days I had mind game! It is not an easy task to go through it!

I had a fight with my "inner mind" and my "world see your face" mind!
I had a fight with "who I really wanna be" and "who I am now" mind!
I had a fight with "a girl who lived two three years ago who lived VERY happily and thought VERY freely about everything; who cold almost adjust to everything" and "traditionally married Sri Lankan woman."

Believe me its so hard!!! Its the most difficult situation u ever face!

For the first time in our entire life I did not talk with my husband for at least six days!
(more periods will come in future too... who knows? :P)
Buhahahahaahaaaaa!!!

Sometimes i was too much rude for my fellow junior staff !! I should have think that they are just little girls who just started their carrier... It will take little time for them to feel the weight of a responsibility of a Job!

I forgot it! I forgot how I was... I missed all my friends just because of my carelessness...

Where are those small get to gathers.. gone?
Where are those all late night chatty friend gone??

What the hell am I doing???
my studies? my art works? my small collections? WHERE ARE THEY?

I know I KNOW! I am not LATE to TURN BACK !

MALEE....!!!
My beloved online NAME yeah ! SHE IS STILL ALIVE !!!

I FEEL ALIVE!


PS: Anyone around my home area....!
Welcome for left over fried rice and chicken curry!!!
Oh I miss my camera! ADO i want it back ASAP!!!

PPS: Oomg its my second post for the day and its in some other language... am I getting mad or what???? LOLlllZZZZZZZZZZZZZZZZZzzzzzzzzzzz

නින්ද ඇති දිනේ...



නින්ද කියන්නේ ජිවත් වෙන හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක් උනාට අපේ එක එක කාලවදි අපි ඒක ලබා ගන්න විදිය වෙනස්.. මම කියන්නේ කාල වෙලාවන් ගැන..

මට මතකයි ඉස්සර මම උදේ හයට නැඟිට්ටා.. රෑ එක දෙක තුන වෙනකම් ඇහරගෙන ඉදලා ආයෙත් පහුවදා උදේ හය වෙනකොට නැඟිටින කාලයක් තිබ්බා..

ඊට පස්සේ රෑ දොලහට විතර නිදාගෙන පාන්දර පහට නැඟිට්ටා..

නයිට් ඩියුටි කරපු කාල වල දවල් දවසම නිදා ගත්තා..

අම්මලා ගෙදර නැති දවස් වලටත් එමමයි..

දැන් මම ගොඩක් දවස් වලට නැඟිටින්නේ පාන්දර හතරහාමාරට.. ඒක ලේසි වැඩක් නෙවෙයි.. එලාර්ම් ම තුනක් තියන්නම ඕනි.. හතරට හතරයි කාලට.. හතරහාමාරට.. ඔය අතරමැද නින්ද අනිවර්යමයි!!! තව ට්‍රැෆික් අඩු වෙයි කියලා හිතෙන සෙනසුරාදා ඉරිදා දවස් වලට විනාඩි පහේ ඉඳන් විනාඩි 15 දක්වා එනර්ජි නින්දක් ගන්න පුළුවන්.. අනිත් දවස් වලට වොශ්රූම් නින්ද තමයි හරියන්නේ..

වොශ්රූම්!

කවුරු උනත් ඒක මුලින්ම හදපු මනුස්සයා දෙවියෙක්ම වෙන්නට ඕනි!

ගොඩක් නිදිමත දවස් වලට විනාඩි දෙක තුනක නින්දක් වොශ්රූම් එක අස්සේ ගන්න පුළුවන්.. පරක්කු නම් කොණ්ඩේ පීරන වැඩක් වොශ්රූම් එකේම කරගන්න පුළුවන්.. ඒ නිසා මගේ කාමරේට වඩා පිරිසිදුවට වොශ්රූම් එක තියාගන්න මම හැමවෙලේම උන්නදුයි.

මම කතා කලේ නින්ද ගැනනේ..

දැන් ඇත්තටම කාලෙකින් හිතේ හැටියට නිදාගන්න ලැබුනෙ නෑ.. කවුරු මොනවා කිව්වත් දවස් ගණන් නින්ද අපේ ජිවිතවලට අත්‍යවශ්‍යයයි කියලා හිතන මනුස්සයෙක් මම.. ඒක අපේ සිරුර යතා තත්වයන් වලට විදියට හදන සල්ලි නොයන බෙහෙතක්!
හැමෝටම ඒ වාසනාව නෑ..

කොටින්ම මට පහුගිය ටිකේ තිබුනෙත් නෑ..

නිවාඩු නෑ.. එක්කෝ නිවාඩු දවසටත් ගෙදර හෝවට වැඩ..

ඒකට උත්තරේ මගේ ඇඟෙන්ම හදාගෙන

හෙම්බිරිශ්ශාවක් එක්ක උණක්..

කොහොමටත් ගොඩක් වෙලාවට හැදෙන දරුණුම අශනීපේ තමයි හෙම්බිරිශ්ශාව!

13 රෑ පාන්දර 2.30ට ඇහැරුනේ උඟුරේ අමාරුවක් එක්ක උණක් දැණුන නිසා හීනෙන්ම පැනඩෝල් දෙකක් බීලා දෝ ගත්තා.. 14 උදේම නැඟිටලා වැඩට ගිහිං පැයක් ගියේ නෑ මට දැනුනා මම හොඳටම අශනීපයි කියලා අත ලඟ දොස්තර ඉන්දැද්දි ආයේ මොනා හිතන්නද බෙහෙයි ගත්තා.. පබ්ලික් හොලිඩේ නිසා දාලා එන්නත් බෑ ස්ටාෆ් නැති නිසා.. බැරි බැරි ගානේ වැඩ ටික කරලා රෑ 9ට විතර ගෙදර ඇවිත් දෝ ගත්තා.. මුළු රෑම.. ඊයේ පෝය නේ ගෙදරත් මම විතරයි හිටියේ දවල් දවසම යකා ගහලා වගේ දොයි..
රෑ අම්මාගේ ඉල්ලීම පිට බෙහෙයි ගන්න ගියත් දොස්තර අංකල් නිවාඩු.. පැනඩෝල් වෙනුවට පැනඩීන් රිපේලේස් කරලා ආයේ රෑ එළි වෙනකල් දොයි..

අද උදේ නැඟිටිද්දිම මට දැනුනා..
දැන් මට හොඳයි!!!!
ඒ උනාට හිත හිත ඉන්නේ නැතුව දැම්මා නිවාඩුවක්!
අද මම ගෙදර.. බැලිනම් අද දානේ දවසක් උදේ වරුවේ එකට උදව් පදව් කලා.. ආයේ නිදාගන්න පුළුවන් වගේ දැනිලා ඇඳට ගියාම බ්ලොග් එක එක්කහ නින්ද මතක් උනා.
මම දන්න කෙනෙක් ඉන්නවා ඉස්සර නොපේ දාගෙන සති ගණන් ශීත නින්ද්‍රාවේ උන්නු.
ඔෆිස් එකෙන් හොයන්න ආවත් වැඩට නොගියපු.. අනේ පව් දැන් එයා වීක්එන්ඩ් එකටත් වැඩ!

හිනා උනාට ඇත්තට නින්ද කියන දේ කොයි තරම් වැදගත් ද?
අපි අපේ දාහක් වැඩකට නැති එක්ස්කියුස් කරගෙන අපිට අවශ්‍යම දේවල් කොයි තරම් පැත්තකට කරලද?

පව් අප්පා අපි!



පිංතූරේ ජාලයෙන්. 

Sunday, January 12, 2014

මේ දවස් වල පොත්





එක එක දේවල් අස්සේ එහේ මෙහේ නතර වෙවී යන ජිවිතේ ආයෙමත් හුඟක් පරණ පුරුද්දක් එක්ක නතර වෙලා.. ආයෙමත් මම පොත් කියවන්න පටන් අරගෙන.. ආයෙමත් කිව්වට මම කවදාවත් කියවන එක නතර කරලා තිබේබේ නෑ මම හිතන්නේ.. කවදා බැළුවත් බාගෙට කියවපු පොතක් මම ඉන්න කිට්ටුවෙන් කාමරේ අස්සේ කොහේ හරි තිබුනා..

ඔය කියවන පොත් වලින් 95%ක් ම සිංහල පරිවර්තන.. මොන හේතුවක් හින්දද මන්දා ඒ පොත් කිවන්න පුරුදු වෙලා.. කාලයක්ම මම ලංකාවේ අය ලියන ස්වතන්ත්‍ර පොත් අරගන්න එක කොහෙත්ම කලේ නෑ.. ඒ උනාට මේ පහුගිය ටිකේ මට තෑගි ලැබුන පොතයි මම ගත්ත පොතයි දෙකම ලංකාවේ අයම ලියපු පොත්.. ඒ දෙකම කියවලා ඉවර වෙද්දි මට ආයෙමත් පොත් ගන්න එක එපා උනා.. 

මුලින්ම තෑගි ලැබුනේ සැමීගේ කතාව කිසිම හේතුවක් නැතුව ඇත්තට ම ඒක මට අරන් දුන්නේ ඇයි දන්නේ නැහැ.. හැබැයි ඒක ඇත්තට ගත්තොත් පරිවර්තනයක්.. ඒක කොයි විඳියට ෆිල්ම් එකක් කරාද නොදන්න මට හිතෙන විදියට හිතෙන් හොඳට මවන්න පුළුවන් කතාවක්.. 

ඊළඟට ලැබුනේ මේ සොඳුරු දඩබිමෙහි ඒක නම් අපි දෙන්නම එකතු වෙලා රුපියල් 500ක් ඇතුලේ පොතක් තෝරමු කියලා කොටුවේ ගුණසේන එකෙන් ගත්තේ බොහොම හදිස්සියෙන්.. මංජුල වෙඩිවර්ධන පසු සටහන ලියලා තිබ්බ හින්දා මම නම් හිතුවේ හෙනම සිරා කතාවක් වෙයි කියලා.. මගේ විඳිමේ අවුලක් ඇති කියලා මට තේරුනේ පොත කියවගෙන යද්දියි.. එක්කේ මම සිංහල පොත්.. ටෙලිනාට්‍ය බලලා වැඩියි.. මොකද කතාවේ බොහොම ටිකක් යද්දිම වෙන්නේ මේකයි කියලා හිතාගන්න පුළුවන් ඒක ලියපු කෙනා අයිසිං දාලා දෙන විදිය විතරමයි වෙනස් උනේ... 

ඊට පස්සේ මමම ගිහිං අරගත්තා බොරැල්ලේ සදීපා එකේ තට්ටු නැගලා නැගලා කීර්ති වැලිසර ගේ කාලසර්ප. මගේ හඳහන වතාවක් බලපු කෙනෙකුත් ඔය වචනේ කියනවා මටම ඇහිලා තියෙන නිසා අඩුම තරමේ ඒ ගැන වත් ඇති කියලා හිතාගෙන පොත ගත්තා.. ඇත්තටම 2013 සම්මානෙකුත් ලැබිලා තිබ්බ හින්දා බය නැතුව අරං කියෙව්වා... 

ආයෙමත් අර මගේ අවුල මගේ ඔළුවට ගැහුවා..
ආයේ මළත් සිංහල නවකතාවක් නම් ගන්නෙම නෑ කියලා හිතුවා පොතේ භාගයක් කියවද්දිම.. 
නෑ.. නෑ... 
මම කියන්නේ නෑ කතාව හෙනම චොර කියලා එහෙම නෙවෙයි.. 

ඒ උනාට ඒ කතා අස්සේ තියෙන සීඩ් හැම වෙලාවෙම එකයි.. පිටු ගාණ වැඩි කරලා එක එක ෆ්ලේවර් වල අයිසිං දාලා.. එක එක ඩෙකරේෂන්ස් දාලා දුන්නට අන්තිමටම ඉතුරු වෙන්නේ දන්න කියන දෙයක් විතරයි.. 

මම හරි ආසයි සියක් වසක හුදකලාව.. කිඳුරු අරණ.. එහෙම නැත්තං කැල්විනෝ හරි අයියන්දෙගේ හරි පොත් කියවද්දි මට වෙන්න තියෙන මහන්සියට.. නිකං වචන විතරක් නෙවෙයි.. ඉමැජිනරි ෆිල්ම් එකක්ම අපිට දෙනවා පොතත්  එක්කම.. ඒ ෆිල්ම් එක හිතෙන් හදාගත්තේ නැත්තං පොත කියවලා ඉවරයි.. ආ මෙහෙම වෙයි කියලා අපි හිතත්දිම ඊළග පිටුවෙන් අපිව කණපිට හරවනවා.. හුටස්!! 

මම බලාපොරොත්තු වෙන පොත් ඒ වගෙයි..

ඔය වගේ මෙලෝ රහක් නැති මූඩ් එකක ඉන්දැද්දි තමයි ඔෆිස් එකේ නංගි කෙනෙක් සෙන්කොට්ටන් ං ගෙනැල්ලා අතටම දුන්නේ.. එහෙන් මෙහෙන් ඒ ගැන හොඳ අහලා තිබුනට එක සැරේ ම අරගෙන කියවන්න හිතුනෙත් නෑ.. ඒ උනාට නිකං ලැබුන අස්සයාගේ දත් බලන්නේ මොකටද හිතලා අරන් කියෙව්වා.. 

සෑහෙන්න කාලෙකින් රැයක් ඇහැරගෙන නිදිමත අමතක කරලා පොතක් කියෙව්වා මම! 
පහුවෙනිදා උදේ මට මාර හැපී.. කතාවක් කියවන ගමන් තාමත් කතාව හින්දා අඬන්න මට පුළුවන් කියලා මට දැනුනා.. මම ඉල්ලන හැම දේම පොත අස්සේ නොතිබ්බත් මොකක්දෝ නොදන්න වචන වලින් විස්තර කරන්න නොදන්න හැඟීමක් හැම වෙලේම සෙන්කොට්ටං ඇතුලේ තිබුනා.. ඒ හැඟීම පොඩිනා ගැනද.. වීරප්පුලි හේනයා ගැනද.. බබාහේනයා ගැනද.. හැමදේම කරබාගෙන කඳුළින් ඉවසපු මල්මා රිදී ගැනද නැත්තං සමස්ථ ජීවීන් ගැනමද කියලා මට තේරුනේ නෑ.. 
හැබැයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආයෙමත් මොනා හරි දෙයක් ලියලා දානවට වඩා යමක් ගැන ලියා පල කිරීම ගැන මට සතුටු හිතුනා.. 

ආයෙමත් වතාවක් සිංහල නවකතාවක් සල්ලි දීලා ගන්න මම හිත හදාගත්තා.. ඒ සෙන්කොට්ටං..! 
.... කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි
මට නං හිතෙන්නේ



උඩ තියෙන පිංතූර සේරම ගුගල් අරන් දීපුවා හොදේ! 

Tuesday, December 31, 2013

2013 - (අග්ගිස්සේ ඉඳගෙන)





තව බොහොම ටික වෙලාවකින් 2013ත් ගෙවිලා යනවා.. සුපුරුදු විදියට කරන රාජකාරී හැම එකක්ම මේ අවුරුද්දට ඉවර කරලා දැන් තියෙන්නේ නාලා කරලා නිදාගන්න විතරයි. ඒත් පුරුද්දට වගේ 2013 ශෝට් නෝට් එකත් දාලාම අන්තර්ජාලයට සමුදුන්නා නම් හොඳයි කියලා හිතුනා.

අවුරුද්ද අන්තිම බ්‍රීෆ් කරන එක ඩයරි ලියන කාලේ ඉදන් මට තිබුනු පුරුද්දක්.. කඩදාසි පිටු වලින් වෙබ් පිටු වලට මාරු උනත් සමහර පුරුදු අමතක කරන්න ටිකක් අමාරුයි. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේම..

කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා යනවා වගේ දැනෙනවද කියනවා නම් දැන් මේ අවුරුද්දේ මුල දේවල් වත් මතක් කරද්දි මතක් වෙන්නේ නැහැ වගේ ශික්! කම්මැලිකම! මොනා හරි ඔළුව ඇතුලට දාගෙන මතක තියාගන්න එකත් මහම මහ කම්මැලි වැඩක් වෙලා දැන් මට...

හරි ටක් ගාලා මතාආක් කරමු දැන්!

ජනවාරි මාසේ තමයි අපි තංගල්ලේ ගියේ.. එහේ ගිහිං ආවේ ලෙඩකුත් අරගෙන ඒකට පිං සිද්ධ වෙන්න දෙයියනේ කියලා හොඳ නිවාඩුවක් අරන් ගෙදරට වෙලා හිටියා.

ඒ එක්කම මට තිබුනා රෝස වවන පිස්සුවක් පඩියෙන් භාගයක් රෝස ගස් වලටයි පෝර වලටයි බෙහෙත් වලටයි ගියා... හයියෝ සල්ලි.. මැස්සෙක් ඇවිල්ලා වැඩේ එපාම කරන කම් එක මගේ හොබී එක උනා ගොඩක් කල් යනකම්ම..

අප්‍රියෙල් මුල අපි සෙට් එකම ගියා බේකරියේ කට්ටය සෙට් කරපු ඩවුන් ටවුන් පල්ස් බලන්න. ඒක වෙනමම ෆන් එකක්. ඒ මාසෙම ඔෆිස් එකේ ප්‍රමෝශන් එකත් සෙට් වෙලා තිබුන නිසා අවුරුදු තුනක් තිස්සේ කරපු නයිට් ශිෆ්ට් එකට බායි කිව්වා.

ඔය අස්සට කිරි දාන කිරිබත් දාන වගේ එව්වත් සෙට් උනා.

ජූනි මාසේ බදුල්ලේ ගිය වෙලේ දෙයියනේ කියලා බොල්ගොඩ ලී පාලම එහෙම බලා කියාගත්තා.

අගෝස්තු මාසේ හදිස්සියෙන් කොහේ ඉදන්ද ආව හුළඟක් හින්දා අපේ ගෙදර ඉස්තෝප්පුවට ගහකුත් වැටුනානේ. ඒ වෙලාවේ මම හිටියේ ඔෆිස් යන ගමන් බස්එකේ හොඳටම නිදාගෙන.

අපේ අනවසරිය දවසේ තමයි අපේ ඔෆිස් එකේ උන්ටික පළවෙනි පාරට සේරම එක්ක ට්‍රිප් එකක් ගියේ. ඇත්තටම ඒක අන්ඔෆීෂියල් එකක්! ඒත් ඒක අපි හිතුවට වඩා හොඳට උනා.

ඔක්තෝබර් මාසේ අන්තිම මගේ බලුච්චියොන්ට බබලා හම්බුන හින්දා ඒදා ඉඳන් හොඳටම බිසී පිට තමයි ජිවත් වෙන්න උනේ. මේ වෙද්දි එයාලා සේරම එයාලගේ අළුත් ගෙවල් වලට ගිහිං.... දැන් ඉන්න දිහාක පිස්සු නටනට ඇති.

දෙසැම්බරේ මුලම අපේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට් එක තිබුනා.. හප්පා එදා නම් පට්ටම පට පට ෆන් එකක් ගත්තා.. ජිවිතේ මුල්ම වතාවට කඹත් ඇද්දා මම..

ඔය කතා ටික ඇරුනම අළුත් අළුත් කෑම බීම ට්‍රයි කරන එකයි පොත් ෆිල්ම් ගැන හොයන එකයි විතරයි මේ අවුරුද්දට වැඩක් ඇති දේකට උනේ මම හිතන්නේ.

මොන දේ උනත් දැන් 2013 ගෙවිලා යන්න ළඟයි.. අළුත් අවුරුද්දක් ගැන දැන් ඉස්සර තරම් ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ මට. අළුත් පංතියට අළුතින් පිටකවර දාගෙන අළුත් දේවල් ඉගන ගන්න යන්න වගේ හැඟීමක් නැහැනේ?

අද ඊයේ කරපු වැඩ ටික කරන්න හෙටත් නැඟිටලා පුරුදු විදියට වැඩට යනවා... එහෙම හිතන එක හෙනම ලේසි උනාට හරිම බෝරින් වගේ.

නෑ.. හෙටින් පටන් ගන්නේ අළුත් අවුරුද්දක්.. අළුත් දවසක්.. ! හැමදාම කරපු වැඩ වලට උනත් අළුත් රටාවක් දාලා පටන් ගන්න මරු දවසක්.. හෙටින් පස්සේ අනිද්දත් එහෙමයි.. හැමදාම එහෙමයි... මොකද හැම අළුත් දේකම හැම පරණ දේකම සැබෑ අර්ථය තියෙන්නේ අපේ හිතේ..
හරියට භාගයක්ම පිරිලා තියෙන වතුර විදුරුවේ කතාව වගේ.!

හෙට වගේම හැමදාකමත්
ඔබට සුභ!
ආදරෙන්
මලී
(2013 අග්ගිස්සේ ඉඳගෙන.)



පිංතූරේ 

Thursday, October 24, 2013

විශ්වයේ උපතක්

නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...

අපේ ගෙදර බලු ගෙදරක්! පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට!

උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද? මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...

මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..

මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද? කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..

මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ?


පිංතූරේ

Saturday, October 19, 2013

A+

මා වැනි බිළින්දා 
මරුවා යයිද කැන්දා 
අනේ ඒ හින්දා 
දෙන්න ලේ බිඳු මාමා නැන්දා.. 

මේ කවිය ස්කෝලේ යන කාලේ ඉදන්ම කට පාඩම් කවියක්.. පොඩි එකෙක් ලේ බිංදුවක් මැද්දේ ඉඳන් කියන මේක ලේ දන් දෙන කඳුවරු ගැන සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි වෙන පෝස්ටර් එකක්.. මමත් ඉස්සර ඉදන්ම ඒ ගැන ආසාවෙන් හිටියේ.. 
ඒ උනාට ඉතිං අනේ මන්දාවල් ගොඩක් හින්දා දවසින් දවස කල් ගියපු ඒ ආසවත් අද ඉශ්ඨ කරගන්න පුළුවන් උනා... 

අපේ ඔෆිස් එකේ මමත් හරියට නොදන්න මිස් කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ බයි පාස් සර්ජරි එකකට A+  බ්ල්ඩ් පයින්ට් 4ක් හොයනවා කියලා ආරංචියක් ආව හින්දා මුලින්ම ගෙදරත් එක්ක කන්ෆර්ම් කරගත්තා මගේ බ්ලඩ් ගෘප් එකත් A+ කියලා.. එයින් පස්සේ ඉතිං දින වෙලාවල් වෙන් කරගෙන අද දවල්ට හොඳට කාලා එහෙම මම ගියා බ්ලඩ් දෙන්න.. මුල්ම වතාව හින්දා මගෙන් ගනී ද නැද්ද.. අරවද මේවද වගේ ප්‍රශ්ණ නම් හෙන ගොඩක් ඔළුව වටේ කැරකුනා... ප්‍රස්න නම් මොනවද නේ? 

ඔන්න ඉතිං අදාලා ඉස්පිරිතාලේ බ්ලඩ් බෑන්ක් එකට ගියාම නර්ස් අක්කා කෙනෙක් පොර්ම් එකක් දුන්නා පුරවන්න... හප්පේ... ඒ ලෙවල් පේපරේ පාරාදයි...! එකත් කොහෙම හරි පුරවලා..බරත් කිරලා.. එයාගේ පොඩි බ්ලඩ් ටෙස්ට් එකකින් පස්සේ මට කිව්වා ඇදේ දොයි ගන්න කියලා.. එතනට ආවා දොස්තර අන්කල් කෙනෙකුත් නර්ස් අක්කයි.. දැන් අත ප්‍රෙශර් කරලා එහෙම දෙන්නත් එකක් හෝ ගාලා හොයනවා... මොනාද? බ්ලඩ් වෙයින්ස්.. මළ සේකර!!! දැන් කොහොමද බ්ලඩ් දෙන්නේ.. 
බලමු අනිත් අත... 
ඒ අත බලන්න ආවේ නර්ස් ආන්ටි කෙනෙක්... එයා අත දැක්ක ගමන් කිව්වේ හරි මේකෙන් පුළුවන්.. දොස්තරටත් අදාලා තැන පෙන්නුවේ එයා.. ඒ කියන්නේ පියෝ එක්ස්පීරියන්ස් නැත්තං වෙන මොකක් හරි.. අපි නම් කතා උනේ.. නර්ස් අක්කා අළුත් හින්දා දන්නේ නෑ.. දොස්තර අංකල්ට ඇස් පෙන්නේ නෑ.. ගානට මිම්මට ඉන්න නර්ස් ඇන්ටි හින්දා වැඩේ ගොඩ ගියා.. 
ආනේ.... එයා හරී හොඳයි.. මේ පළවෙනි පාරද අරකද මේකද අහලා මට හිතා ගන්නත් කලින් බ්ලඩ් සේරම අරගෙනත් ඉවරයි.. මට කිසි අවුලක් නැති උනත් විනාඩි 5ක් විතර එහෙමම ඉන්නත් කියලා.. අතේ ප්ලාස්ටර් කෑළිත් ගහලා.. විනාඩි තුනෙන් විතරම මම නැගිටලා පුටුවට ගියාම රසම රස කිරි කෝපි එකකුත් දීලා.. බීලා වාඩි වෙලා ඉන්න කියලා එයාලා කිව්වා... 
ඔය අතරේ ඩොක්ට අංකල් පොඩි පොතකුත් ලඟටම ගෙනත් දුන්නා.. කිරි කෝපි එක බීලා අපි දෙන්නා ආතල් එකේ ගෙදර ආවා.. 

අද මට හරි සතුටු දවසක්... උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද? 

Monday, September 30, 2013

අවුරුදු පහකට පස්සෙත් තාමත් මනෝ විකාරෙන්...



මනුස්ස ජීවිත ඇතුලේ අවුරුදු පහක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක් 
අළුත උපන් පොඩි දරුවෙක්ට ඉපදිලා හැදිලා වැඩිලා ඇවිදලා කතා කරලා ස්කෝලෙ යන්න පටන් ගන්නත් අවුරුදු පහක් ඇති 

හැබැයි ඊට පස්සේ අවුරුදු පහක් කියන එක ලොකු කාලයක් නොවෙන 
අද ඊයේ වගේ මතකයක් වෙන්නත් පුළුවන් මේ දැන් අපිට වගේ 

ඉන් ඩීටේල් නැතත් අපේ ජීවිත ඇතුලේ ගතවුනු අවුරුදු පහේ මොනාද උනේ කියලා 
කියලා දාන්න හෙනම ලේසීයි නේ? 

කාලය කියන දේට අපි මිණුම් දඩු දාගෙන මැන ගෙන ඒක ඇතුලට වෙලා දුක් වින්දට 
ඇත්තටම ලෝකේ කැරකෙනවා ඒකට සාපේක්ෂව එළිය අඳුර ඇවිත් යනවා විතරමයි 

හැබැයි අපි ඒ අඳුරෙන් එළියට ඇවත් කොණ්ඩේ සුදු වෙලා දත් හැලිලා මැරිලා යන්න කලින් නොමැරි මැරි මැරි ජිවත් වෙනවා 

කවුරු මොන පොර ටෝක් එක දුන්නත් කොයි තරාතිරමක අද ජිවිත් වෙන කොයි මිනිහා ගැනත් ඇත්ත ඒකමයි 

කොතැනත් තියෙන කොයි විදිහෙ හරි සිස්ටම් එකක් ඇතුලේ හිරවෙලා හිතෙන් හූල්ලනවා 
එහෙම නෑ කියන්න පුළුවන් මිනිස්සු අද නෑ නෑ නෑමයි!!! 

හැබැයි 

ඒ හීල්ලිලි කන කටු අස්සේ 
සෙට් වෙන එක පොඩි නිමේෂයක් වගේ 
මොහොතවල් ගොඩක් නිසා 
අපි පට්ට ආතල් එකේ 
ෆන් එකේ 
ජිවත් වෙනවා 

අන්තිමේ ජිවිත් වෙනවා කියන්නෙ අඬනවටවත් හූල්ලනවටවත් 
හීනා වෙනවටත් ශෝ ඕෆ් දාන එකටවත් නෙවෙයි 

එහෙනම් 
??? 

ඇත්තටම ජිවිතේ කියන්නේ මොකක්ද
??? 


මම තාම 
හොයනවා 
ඔබට 
හමු උනාද? 


Thursday, February 14, 2013

එක දවසක්


මොන ක්‍රමේකින් හරි 
අම්මා කෙනෙකුගේ 
බංඩි ගෙඩියක් ඇතුලේ 
හැදෙන්න පටන් ගන්න දවසේ ඉදන් 
දරුවෙක්ට අම්මෙක් වගේම 
අම්මෙක්ට දරුවෙකුත් 
මොන තරම් බැ‍ඳෙනවාද 
ඒ බැඳීම ආදරේ නේද? 

ඉපදිච්ච මොහොතේ 
ඇස් ඇරලා බලන මොහොතේ ඉඳන් 
සමහර විට ඊටත් කලින් ඉඳන් 
අපි හොයන්නේ ආදරේ නෙවෙයිද? 
පොඩියක් කවුරු හරි එහා මෙහා උනත් 
ඌ..ඌ.. ගගා අඬ අඬ
ඇස්වල කදුළු පුරවගෙන 
නොතේරෙන භාසා වලින් 
පොඩි උන් කියන්නෙත් 
අනේ මාව දාලා යන්න එපා 
මගේ ළඟට වෙලා ඉන්න කියලා නේද? 
ඒ ඉල්ලන්නේ ආදරේ නේද? 

යන්තං පය ගහලා 
ඇවිදින්න පු‍ළුවන් වෙච්චි ගමන් 
හතර වටේ ඇවිද ඇවිද 
අපි හොයන්නේ 
අපිත් එක්ක 
එක පාරේ 
එකට 
අත් අල්ලගෙන 
හිනා වෙවී 
යන්න පුළුවන් අයව නෙවෙයිද 
ඒ අපි හැමෝටම 
ආදරේ ඕන හින්දා නෙවෙයිද ? 

ඉපදුණු මොහොතේ ඉදං 
අන්තිම හුස්ම යනකම්ම 
හැම මොහොතකම 
අපි හොයන 
ආදරේට 
එකම එක දවසක් 
මක් කරන්නද?

Wednesday, February 13, 2013

පොල් vs රේප්

අනේ ඇත්තමයි මොන තත්වෙන් හරි කමක් නෑ අර යුද්දේ තිබ්බා නම් ඉවරයි කියලා දැන් නම් වෙලාවකට හිතෙනවා අම්මපා මට.. ආගම් බේද ජාති බේද නෑ.. රෑ හත අට වෙනකොට කොහේ හරි තියෙන ටීවී එකක් ඉස්සරහා වාඩි උනා.. දෙපැත්තේ ගාණ බැළුවා.. තමන්ගේ පැත්තෙන් අඩු නම් රෙද්දක් පෙරෝගෙන නිදා ගත්තා.. අපේ රටේ මිනිස්සුන්ට තිබ්බ එකම කරදරේ ඒක විතරනේ ඒ දවස් වල!

දැන් එහෙමද? දවසකට කීයක් කියලා දේවල්ද? එක කොමන් ටොපික් එකක් වගේ නෙවෙයිනේ.. පාරේ යන්න නෑ.. රාජකාරියක් කරගන්න නෑ.. එක එක්කෙනාට එක එක ප්‍රශ්ණ.. අනේ අර පහුගිය ටිකේ වගේ අග්‍රවිනිශ්චයකාර තුමීගේ කේස් එක තිබ්බා නම් ඒත් එකක්... ඒක යුද්දේ වගේ නෙවෙයි නේ අඩුම ගානේ කවුරුවත් මැරෙන්නේ නැහැනේ.. ඒ උනාට හැමෝම එක නිවුස් එකක් බලනවානේ.. දැන් ඉතිං මිශ්‍ර පලතුරු අච්චාරුව වගේ..

කාලයක් රාවණ රජතුමා... ඊට පස්සෙ ලෝක විනාසෙ... එලි පේන ඒවා... පාට පාට වැහි... පිටසක්වල යානා... දැන් ඔය අහසින් වැටෙන ගල් කෑලි... ඔය ගල් කෑලි කිලෝමීටර් ගාණක් උඩ ඉඳන් වැටිලත් ගාණට බබා වගේ පැල්ලමක්වත් නැතිව ලෑන්ඩ් කරල තියෙන හැටි තමයි හැටි...

ඒ මදිවට හලාල් එපා.. අත් කපන්න හොඳ නෑ.. එම් ආර් අයි හොඳ නෑ... අරයලා දික්කසාද වෙලා.. එයා මෙයා එක්ක යාළු වෙලා.. මේවා අධිරාජ්‍යා වාදී කුමණ්ත්‍රන.. මේවා සිංහල ජාතිය වඳ කරන්න යන්නේ.. අර කඩෙන් බඩු ගන්න එපා.. මේ කඩේට යන්නවත් එපා.. හප්පා ගොඩයි..

වැඩක් නෑ.. වැඩක් නෑ ඔය මොකවත් වැඩක් නෑ.. ඔය නිවුස් අතර මම නොකිව්වට වැදගත්ම නිවුස් දෙකක් තිබ්බා..

1. පොල් ගෙඩි අටක් හොරකම් කරපු පාසැල් දැරියකට රු.50,000 ක ඇප ලැබිල්ල.
2. ස්ත්‍රියක් දූෂණය කරපු මිනිහෙක්ට රු.10,000 ක ඇප ලැබිල්ල


ඇත්තටම මේ රටේ මිනිස්සු මං තරම් උගත් මංද බුද්ධිමත් ? නැති හින්දා මේ කේස් එකට සෑහෙන්න වළිගේ පාග ගත්තා කියලයි මගේ අදහස.. මිනිස්සු උනාම හැම දේටම කෑ නොගහා ඒ දේවල් විචාරාත්මකට තම මනසින් කල්පනා කරලා බලන්න ඕන කියලයි පොතේ තියෙන්නේ.. ඒ උනාට අද කාලේ කවුරුවත් එහෙම කරන්නේ නැහැ නේ.. අනේ ඉතිං... බොරුවට කෑ ගගහා ප්‍රෙශර් වැඩි කරගන්නවා දොස්තරලාව පෝසත් කරන්න..! නැද්ද ???

අර අයිසැක් මහත්තයට ඇපල් ගෙඩිය වැටුනම මොළේ පහල උනා වගේ තමයි ඊයේ රෑ හදිස්සියෙම මේ ගැන පසු කථනයක් වෙන වෙලාවේ මගේ ටිකිරි මොළෙත් පහළ උනේ.. !

හැමෝම ලොකු කරලා ගත්තට මෙතන තියෙන්නේ පොඩි බිස්නස් පොයින්ට් එකක්! පේව්මන්ට් එකේ බිස්නස් කරන මනුස්සයාගේ ඉදං ලොකු ලොකු ලෙවිස් සෙවන්ස් සොටෝස් වල වැඩ කරන ඕන මොළකාරයෙක්ට තේරෙන සීන් එකක් මෙතන තියෙන්නේ හා නෑ කියනවාද?

මොකක්ද ?

නීතිය බිස්නස් එකක් කියලා?

නෑ...?!!!

මොකෝ නැත්තේ? නැත්තේ නෑ..!! ඔය පඳුරු ගානේ ඉන්න උගත් බුද්ධිමත් නීතීඥ නෝනලා මහත්තුරුන්ගෙන් අහන්නකෝ මොකෝ නැත්තේ කියලා.. එයාලා ශුවර් නැත්තං අර පහුගිය ටිකේ ගෙදර යවපු නෝනාගෙන් අහන්න.. එයත් මේ ටිකේ ෆ්‍රී එකේ ඇත්තේ..

නැත්තං වැඩක් නැති දවසක නිකං ඉන්න එකේ උසාවියකට ගිහින් බලන්නකෝ.. ලොකු ලොකු එව්වට නෙවෙයි පොඩි එකකට හො‍ඳේ..! නඩුව පටාන් ගන්නවා නීතීඥ මහත්තයා නැගිටිනවා.. ස්වාමීණි හච පච හච පච ගාලා වචන දෙකක් කියනවා.. නඩුව කල් යනවා.. මහත්තයාගේ අතට සල්ලි යනවා.. හරියට ගොඩක් චැනල් දොස්තර මාමලා වගේ තමයි..!

හරි සරළයි.. ! නඩුව ලොකු වෙන්න ලොකු වෙන්න යන ගාණත් වැඩියි..! පියෝ බිස්නස්!! හරි සැහැල්ලුයි.. !!

අනිත් කාරණාව තමයි දැන් බලන්න ටිකක් අපේ මේ සකළ සිරින් පිරි සිරි ලංකාව කොයි තරම් වේගෙකින් දියුණු වේගෙන වේගෙන යනවද? හරි හරි එහෙන් මෙහෙන් පොඩි පොඩි ණය කෑළි හම්බ වෙනව තමයි.. ඒ උනාට මේ හැම දේම වෙන්නේ අපේ පාලක පක්සේ තියන දැඩි උනන්දුව හා ඒකායන ධෛර්යය හින්දානේ.. ඉතිං මේකට සපෝට් කරන එක අපි හැමෝගෙම යුතුකම! පුද්ගලයෝ වශයෙන් නෙවෙයි ආයතන වශයෙනුත් අපි ඇපකැප විය යුතුයි.! ඉතිං මේකට ආදුරුසයක් දෙන්න තමයි රටේ දෙවෙනියට ඉහළම තැන තියෙන අධිකරණය අර මං කලින් කිව්ව බිස්නස් මයින්ඩ් එක දාලා දඩයක් ඇපයක් අරගෙන රජයට සහය දෙන්නේ...

ඇයි තේරුනේ නැද්ද???

හරි සරළව අපි ආයෙම උක්ත ප්‍රස්තුථ දෙක දිහාට හැරෙමුකෝ‍.............................................‍......
යා යා 1, 2 දාලා ලියලා තියන ඒවා තමයි..

දැන් බලන්න ඔය පලවෙනි එක.. හැම දාම අපිට අහන්න වෙන වර්ගයේ නඩුවක් නෙවෙයිනේ.. ඒ කියන්නේ ඉස්කෝලේ යන ළමයි පොල් හොරෙන් ගන්නේ නැහැනේ.. (හරි හරි කුරුම්බා කඩන එක වෙනයි) එහෙම ගත්තත් පොල් අයිති කාරයා තමන් නඩුකාරයා වෙලා පොඩි සද්ද බද්දයක් දාලා ගොඩින් ශේප් වෙනවානේ.. ඒ කියන්නේ බ්ලැක් මාර්කට් වෙළඳාමක් වගේ දේවල් නේ නිතර වෙන්නේ..

ඒ වගේද ස්ත්‍රී දූශණ...? දැන් වෙනකොට ජස්ට් නතින්! හපෝ ඕවත් නිව්ස් ද කියලා අහන අයයි අද කාලේ වැඩි.. ඒ කියන්නේ  දවසකට ඔය වගේ කේස් කීයක් උසාවි එනවාද?

දැන් වත් තේරුනාද?

අඩුවෙන් විකිණෙන බඩු විකුණන්නේ ලොකු ගාණකට.. ලොකු ලාභයක් තියාගෙන.. වැඩියෙන් විකුණන බඩු විකුණන්නේ පොඩි ගාණකට පොඩි ලාභයක් තියාගෙන.. එතකොට මොකද වෙන්නේ පාරිභෝගිකයෝ ප්‍රීති වෙනවා..! වෙළඳාම වැඩි වෙනවා...

පොල් කේස් එන්නේ අඩුවෙන් හින්දා ඇපේ ලොකුයි... 50,000යි

ස්ත්‍රී දූෂ‍ණ හෙන වැඩි හින්දා ඇපේ අඩුයි.. 10,000 දවසට කේස් 5ක් තිබ්බත් 50,000 ආණ්ඩුවටනේ අනේ..!!!

මොළ ගෙඩි තිබුනට මෙයාලට ඒකවත් තේරෙන්නේ නෑ..!!!! බී ක්‍රියේටිව් ඇන්ඩ් ස්ටේ හැපීලී !

අවවාදයයි!
හැමදේම සාධාරණීකරනය කරන්න පුරුදු වෙන්න.. 
නැත්තං ඉස්සරහට ජිවත් වෙන්න බැරි වෙයි මේ රටේ...! 

Tuesday, February 12, 2013

කෙල්ලෝ සුද්දො හා මොණරු

සති දෙක තුනක් ගත වෙලා ඉවර උනත් තංගල්ලේ ගමනේ සිද්දවුන මුණගැහුණ මිනිස්සු ගැන තාම තියෙන්නේ හරිම අළුත් මතකයක්.. සමහර විට ඒ තංගල්ලේ ගිහින් ආවට පස්සේ තාම ගෙදරින් එළියට ගියේ නැති නිසා වෙන්න ඇති. මේ දවස් ටිකේම කලේ පහුගිය මතක ටික චුයින්ගම් වගේ හප හප හිටිය එක.  ඉතිං අදින් පටන් ගන්න වැඩ ජිවිතෙත් එක්ක ඒ අය මතකයේ අයිනකට විසිවෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි හින්දා ඒ ටිකත් ලියලා දාලාම හිටියනම් හොදයි කියලමයි හිත කියන්නේ.

මුලින්ම කියන්නේ මිනිස්සු තුන් දෙනෙක් ගැන. මැටි කෙල්ල.. ගොන් සුද්දා.. හා උගත් ගෑණු ළමයා

1. මැටි කෙල්ල

මෙයාව හම්බ උනේ මාතරට යන ගමන් කෝච්චියෙදි. අපිට යන්න උනේ සෙනග පිරිණු කෝචිචයක හිටගෙන නේ. ටිකාක් විතර සෙනග අඩු කෝච්චි පෙට්ටියක් හොයාගෙන ඒකේ දොර ළගට සෙට් වෙන්නයි අපි කල්පනා කලේ. හැබැයි හැම දොරක්ම අපිට කලින් නැගපු කට්ටිය අයිති කරගෙන හිටියා. ඉතිං අපි කලේ අපේ බෑග් දෙක රාක්ක උඩින් දාලා දොරක් ළගම කෝචිචි පෙට්ටිය ඇතුළට වෙන්න හිටගෙන යන එක. එතනම වාඩි වෙලා හිටි අන්කල් කෙනෙක් අලි කාඩ්බෝඩ් පෙට්ටියක්  එයාගේ සීට් එක ළගම මිනිස්සු යන එන පාරේ තියාගෙන. ඉතිං අපි දෙන්නත් හිට ගත්තට පස්සේ තව කෙනෙක් එහාට මෙහාට යනවා නම් මම වෙනම පොඩ්ඩක් අයින් වෙලා ඉඩ දෙන්න ඕනි මොකද මට එහාට මෙහොට වෙන්න පූළුවන් උනාට පෙට්ටියට බැහැනේ. ඉතිං පෙට්ටි දෙකක් එහාට මෙහාට වෙනකොට ළග ඉන්න අපේ එකේ ඉලක්කමටත් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න වෙනවා. දුර ගමන් කෝචිචියක් නිසා වැඩිය සෙනග එහේ මෙහේ යන්නේ නැති නිසා ඒක ඒ තරම් අමාරු උනේ නැහැ.!

ඇත්තම කියනවා නම් මැටි කෙල්ල හිටියේ නැත්තං ඒක ගාණක් නැති වෙන්නත් තිබුනා. දැන් කවුද මේ මැටි කෙල්ල. මෙයයි මෙයාගේ පවුලේ අයයි ගමනක් යනවා. මෙයා අම්මා එක්ක සීට් දෙකක වාඩි වෙලා. අවුරුදු 20-22ක් විතර ඇති මට හිතෙන්නේ. මෙයාලගේ අයියලා හරි මල්ලිලා හරි අපි හිටි තැනට කිට්ටුව දොර ළග හිටගෙන. ඉතිං මේ මැටි කෙල්ල විනාඩි පහෙන් පහට දොර ළගට එනවා.. ටිකක් ඉන්නවා.. ආයේ ගිහිං වාඩි වෙනවා.. ආයේ පස්ස කඩි කාලා වගේ දොර ළගට දුවනවා.. ආයේ අම්මා ළගට දුවනවා.. මේ හැම වතාවෙම අහිංසක මම එහාට මෙහාට වෙවී මේ කෙල්ලට ඉඩ දෙනවා.. මං කියන්නේ මනුස්සයෙක් උනාම ටිකක් අනිත් අය ගැනත් හිතන්න එපැයි. මොකෝ මම කියලා ආසාවට හිටගෙන යනවා නෙවෙයිනේ.. මෙයා එක්ක එහා මෙහා වෙන සෙල්ලම් කරන්න. ඉතිං මං එයාට ආදරේට නමක් දැම්මා.. මැටි කෙල්ල! මාතරට යනකම්ම මගේ ඇස් තිබ්බේ මැටි කෙල්ල ළග!!! ආදරේට!!! :පී
හදුනා ගත්තොත් ඔබ මා..

2. ගොන් සුද්දා

මෙයා නම් සුද්දා අන්කල් කෙනෙක්.. එයාගේ නෝනයි යාළුවෝ ටිකකුයි එක්ක ගාල්ලේ යන්නද කොහෙද නැග්ගේ අපි නැග්ගට පස්සෙයි. එයාලා නම් අපිට කරදර නොකර ශේප් එකේ දොරක් ආක්‍රමණය කරලා එතනට වෙලා හිටියා.. හරියටම කියනවා නම් කෝචිචි පෙට්ටි දෙකක් බෙදෙන තැන ටොයිලට් දෙකක් ඉස්සරහා. අනේ අපිට ඉතිං මෙයාලගෙන් කිසිම කරදරයක් උනේ නෑ.. හැබැයි  එකම දේ මේ සුද්දා මාමා කෝච්චිය නතර කරන හැම ස්ටේෂන් එකකදිම අපේ එකේ ඉලක්කමේ කර උඩින් එබි එබි කෝචිචියේ හිස් වුනු සීට් තියනවද බලනවා. පෙට්ටියේ ඇතුලේ මිනිස්සු 10-15ක් විතර හිටගෙන ඉන්නකොට ඕන ගොනෙකුට තේරෙන්න එපැයි වාඩි වෙන්න සීට් නැහැ කියලා.. මොකෝ හිස් සීට් තියාගෙන හිටගෙන යන්න ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ හොද නැති වෙන්න බැහැ කියලා මේ අහිංසක මනුස්සයට තේරුනේම නැහැනේ.

මට ඉතිං බයිට් නම් කවුරු හරි කමක් නෑ කියමුකෝ ඒ උනාට අපේ ඉලක්කමා එහෙම නැහැනේ. සීරියස් මනුස්සයානේ. ඉතිං මේ කරට උඩින් වෙන හෙව්ම් බැලුම් කීප විටක් දැක්ක මම මේ මනුස්සයා මොනා හොයනවාද මන්දා මෙච්චර හිටගෙන ඉද්දි එබි එබි බලද්දි කිව්ව ගමන් මෙන්න අපේ කෙනා කියපි මොන ගොන් සුද්දෙක්ද මන්දා මෙතන එබි එබී.... හාහා....! මම හිතන්න කලින් මෙයා හිතිං බැන බැන ද කොහෙද ඉදලා තියෙන්නේ වචනේ දුන්නා විතරයි මෙන්න ගිරවා වගේ බනිනවා.. මට ඉතිං එතන ඉදං රත්තරං හම්බ උනා වගේ තමයි.. ඇයි ඉතිං මැටි කෙල්ල මදිවට ගොන් සුද්දෙකුත් සෙට් උනානේ.!!!

3. උගත් ගෑණු දැරිවි.

අනේ ඇත්තමයි කාගෙවත් නොදන්න කම් වලට හිනා වෙන්න නරකයි. මේක මේ මම හිනා වෙන්න කියනවා නෙවෙයි. ඒ වගේම ඕන මෝඩයෙක් කතා නොකර ඉන්න තුරු බුද්ධිමතෙක් කියන කරාණාව ඇත්ත උනු මොහොතක් තමයි මේ. මේ දරුවව අපිට හම්ම උනේ තංගල්ල තානායමේ අපි වෙඩින් එකට යන්න කලින් උදේ කෑම ගන්න ගිය වෙලාවේ. එයා පවුලේ අයත් එක්ක කතරගම යන්න ආව පාසැල් යන වයසේ ගෑණු දරුවෙක් අවුරුදු 14-15 විතර ඇති. මම වාඩි උනු තැන ඉදං එයාව එක එල්ලේ පෙනුන නිසයි එයාලගේ පවුලේ අයගේ හයි වොලියුම් කතාවයි නිසා බලෙන් ඇහුවේ නැතත් එයාලා කතා වෙන දේවල් අපිට ඇහුනා. මේ ළමයාගේ තාත්තා කියලා හිතන කෙනා නැගිටලා මොනා හරි දේකට එළියට ගියා. මේ අතරේ එයාගේ අම්මයි.. නෑදෑ කෙනෙක් හරි පවුලේ යාළුවෙක් හරි වෙන ගෑණු කෙනෙකුයි කතාවක්.. එයාලා කිරින්ද යන්න වගේ කතාව. ඒ කතාව ඉතිහාසෙට ඇදිලා ගියා.. ඒ එක්කම මේ ගෑණු දැරිවි කියපි “විහාර මාහා දේවි ආවේ ඉන්දියාවේ ඉදලානේ“ !! !#(#@#$%$ හොද වෙලාවට මේ ළමයා ඉන්දියාව ගැන දැනගෙන හිටියා.. නැත්තං කියන්න තිබුනා විහාර මහා දේවී ආවේ ඇමරිකාවෙන් හරි එංගලන්තෙන් හරි කියලා නේ? අපරාදේ.. එයාගේ අම්මා ට නම් ටිකක් අප්සට් ගියා.. මේ ළමයා හරියට ගථා වත් දන්නවාද දන්නේ නෑ අනේ කියලා අම්මා ටොපික් එක මාරු කලා.. අහන් හිටිය අපිත් ඉතිං මාරු උනා..

ඇත්තටම විහාර මාහා දේවිලා ගැන අද කාලේ ළමයි දැනගෙන ඉන්නම ඕනේ නැති වෙන්න පුළුවන්.. මොකද ගූගල් කරාම හැමදේම දැන ගන්න පුළුවන් නිසා.. ඒ උනාට අපේ රටේ ඉතිහාසය මීට වඩා ටිකක් හරි ළමයිගේ ඔළු වල තිබුනනම් හොදයි නේද කියලා මට හිතුනා.. ඇති වැඩකට නෙමෙයි.. ඒත් මේක අපි ජිවත් වෙන රට නේ?

4.පියාඹණ මොණරු

මොණරු ඇති තරම් දැකලා තිබුනට එයාලා පියාඹනවා කියලා දැනගෙන හිටියට මම ඒක දැකලා නෑ කලින්. ඒ අවස්ථාව මට හිමි උනේ හුංගමදි.. අපි ගිය ගෙවල් අවට නිතරම මොණරු කෑ ගහන හඬ ඇහුනා.. ඉතිං ටිකක් ඇවිදිද්දි වෙලක හිටි මොණරෙක් දැක ගත්තා මුලින්ම හැබැයි එයා අපි යනකොටම හැංගුනා. අනිත් කෙනා නම් හිටියේ වෙන වෙලක ගහක් උඩ. එයා අත්තෙන් අත්තට පැන පැන ගහේ උඩට යනවා.. ඒත් අපිට ෆොටෝ එකක් ගන්න තරම් ක්ලීයර් තැනකට එන්නෙම නෑ.. නරක මොණරා.. ! පියාඹන්න වගේ ඉන්නවා පියාඹන්නේ නෑ!  මට ඉතිං කොහොමත් ඉවසීම කියන එක තියෙන්නේ ටිකක් අඩුවෙන් නේ...! මම ඉතිං අපේ ඉලක්කමාට කිව්වා මම මො‍ණරාව ගහෙන් බස්සන්නම් ඔයා පිංතූර ගන්න කියලා.. ඇත්තටම ඌ හිටි ගහ තිබුනේ අපිට වඩා තරමක් දුරින් ගලක් ගැහුවත් වදින දුරක නෙවෙයි.. ඉතිං ගණනය කිරීම් කරලා ඉලක්කමා තීරණය කලා ඌට වදින්න ගහන්න මට බෑ කියලා.. මම ඉතිං පුළුවන් කිව්වෙත් නැහැනේ!!! ඒ උනාට අමාරුවෙන් පොඩී ගල් කෑල්ලක් හොයාගෙන විසි කලා.. හරියට හරි.. ගල ගියේ මොණරා හිටි තැනින් භාගයක් දුරට විතරයි.. :( ඒ උනාට මගේ ප්‍රයත්නය සාර්ථක උනා.. තත්පර තුනකින් මොණරා පියාඹලා ගියා.. ඌ උගේ දිග... පිල් කළඹත් එක්ක මීටර් 50ක් විතර පියාඹලා පදුරක් අස්සේ හැංගුනා.. ගත්තද ෆොටෝ!!!! මම ඇහුවා.. ඒක ඇත්තටම ලස්සන දර්ශනයක්! ම්හ්.. ‍ෆෝකසින් හරි නැහැ අනේ.. ගත්තේ නෑ..!!! ඕකනේ ඉතිං ඕනෑවට වඩා ටෙක්නිකල් වෙන්න ගියාම වෙන දේ.. මට මොකෝ මම නම් ඇස් දෙකින් දැක ගත්තනේ! පව් මං හින්දා පියෑඹුව මොණරා.. ඒත් මට හිතුනේ මොණරු වැඩි දුර පියාඹන්නේ නැතුව ඇති කියලයි.. එයාලාගේ පිල් බර හින්දා? ඇත්තටම එහෙමද?? දන්න කෙනෙක් මා නිවැරදි කරනු මැන!
එකායි.. දෙකායි.. තුනායි!