Tuesday, November 2, 2010

කඨින පිංකම -2010

මගේ ජිවිතේට අළුත් අත්දැකීම් ගොඩක් එකතු කරමින් අපේ පන්සලේ කඨින පිංකම පසුගිය 30 වෙනිදා අවසන් උනා..මීට කලින් බොහෝ කාලයක ඉදන් පංසලේ කඨින පිංකම සිද්ධ වෙලා තිබුනා උනත් මෙවර පිංකම සංවිධානය උනේ අපේ ගෙදරින් නිසා ඒ ගැන ගොඩක් දේවල් ගැන දැනගන්න පුළුවන් උනා..

ඇත්තටම කඨින පිංකමක් කරන්න අ‍පේ ගෙදර අය ආසාවෙන් හිටියාඋනත් මේ අවුරුද්දෙම කරන්න බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි හිටියේ..එත් ඉතිං හාමුදුරුවන්ගේ අදහසුත් අහකදාන්න බැරි නිසා නිවාඩු නැති අතරේ උනත් තාත්තා වැඩේට කැමති උනා.. ඒ විදියටයි පිංකම බාරගැනුනේ..

සාමාන්‍යයෙන් හැම පංසලකම වගේ කඨින පිංකම් මේ දවස් වල සිද්ධ වෙනවා.. මොකද වස් කාලේ ආරම්භයත් එක්ක වස් වසින හාමුදුරුවරුන්ට වස් කාලය අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේ කඨින පූජාවෙන් පස්සෙයි. වස් වසින්න පුළුවන් වෙන්නෙත් උපසම්පදා භික්ෂුවකට විතරයි‍ලු..

මේ පිංකමේ ඉතිහාසය ගැන කියවෙන විදියට නම් බුදුන්ගේ කාලයේ හාමුදුරු කෙනෙකුට තියාගන්න පුළුවන් එකම එක සිවුරක් විතරයිලු..ඉතිං වැහි කාලෙට පිණ්ඩපාතේ එහෙම වඩින හාමුදුරුවරු ගොඩක් අපහසුතාවයන්ට මූණ දුන්නලු.. ඉතිං ගිහියන් බුදුන්ගෙන් ඉල්ලීමක් කරාලු වස් කාලයට හාමුදුරුවරුන්ට ආවසයට වෙලා ඉන්න දෙන්න ඒ කාලය පුරාම පිණ්ඩපාතය වෙනුවට දානය ලඟට‍ම ගෙනත් දීලා හාමුදුරුවරුන්ට සිව්පසයෙන් සැලකීම ගිහියන් බාරගන්නම්ය කියලා.. ඉතිං ඒකට කැමති වුනු බුදුහාමුදුරුවෝ හාමුදුරුවරුන්ට ඒකට අවසර දුන්නලු..වස් කාලය නිවැරදිව ගත කරන හාමුදුරු කෙනෙකුට විතරයි කඨින චීවරය භාරගන්න අවසරය තියෙනවා කියන්නේ..

ඉස්සර නම් පූජ කරන කඨින චීවරය දායකයාගේ ගෙදරදිම මහලා පඩුපොවලා සූදානම් කරාලු.. හැබැයි දැන් නම් කඩෙන් ගන්නවා.. ඉතිං මේ විදියට සුදානම් වෙන කඨින චීවරය
‍පිංකම දවසට පෙරහැරකින් ‍ගමේ හතරපේරුවේම දායකයන් ඉන්න පැතිවල ගමන් කරනවා.. ඒ ඒ දායකයන්ට චීවරයට අතගසන්න.. එයින් පස්සේ තමයි පංසලේදී හාමුදුරුවන්ට පිරිකර පූජාව සිද්ධ කෙරෙන්නේ.. කියන විදියට නම් කඨින කියන්නේ තද එහෙමත් නැත්තං කඩන්න බැරි කියන තේරුම ලු.. එයින් කියවෙන්නේ මේ පිංකම බොහෝම වැදගත් පිංකමක් කියලලු.. බුදුනුත් ප්‍රධාන පිංකම් අටක් ගැන දේශණා කරලා තියනවාලු.. එයින් ප්‍රධාන පිංකම වෙන්නේ කඨින චීවර පුජාවලු.. මොකද අනිත් හැම පිංකමක්ම දායකයන්ට එයාලා කැමති ඕනම වෙලාවකට පහසු ආකාරයකට සිද්ධ කරන්න පුළුවන් වීමයි..නමුත් කඨින පිංකමක් එක පංසලකට එක අවුරුද්දකට එක් වතාවයි සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ.. ඒ නිසා පිංකම සිද්ධ කරන්න පුළුවන් ඉඩකඩ අඩුයි.. ඉතිං පිංකම සිද්ධ ‍කරද්දි හැමදෙනාවම සම්බන්ධකරගන්නවා වගේම හැම ‍කෙනාම අධාරත් කරනවා පුළුපුළුවන් විදියට..

ඉතිං ඉතිහාස කතාවලින් වර්තමානෙට ආවොත්... මේ පිංකම නිසා මට ගමේ නොදන්න ගොඩ දෙනෙක්ව දැකගන්න පුළුවන් උනා.. ඇත්තටම පිංකම දවසේ අපේ ගෙදරට ආව ගොඩ දෙනෙක් මාව වත් මං එයාලව වත් දන්නේ නෑ.. නමුත් පිංකම නිසාමයි ඒ අය ඇවිත් හිටියේ.. ඉතිං උදේ පාන්දර 2.30 වෙනකොට ඒ ආව ආව අය අපේ ගෙදර තිබුන තේ සංග්‍රහය හෙම භුක්ති විදලා පෙරහැරට එකතු උනා.. මට හිතා ගන්නවත් බැරි උනේ ස්කෝලේ හතරේ පහේ විතර පොඩි අය මහ රෑ දොළහට එකට විතර ඇවිත් ගිණිබෝල කරකවන්න ගිණිබෝල තියනවාද කියලා අහපු එක.. දොඩම් ගෙඩි දෙකක් උස නැති පොඩි උනුත් ඒ වැඩේට බොහොම සන්තෝසෙන් එකතු උනාට මම නම් හිටියේ බයෙන්.. හැබැයි පෙරහැර පුරාම එයාලා හරි සන්තෝසෙන් හිටි බව නම් පෙනුනා.. බාල මහළු වෙනසක් නැතුව හැම වයසකම වගේ අය පෙරහැරට එකතු වෙලා හිටියා.. උදේ පාන්දර 3.15 ට විතර ගෙදරින් පිටත් උනු පෙරහැර පාන්දර 5.59ට පංසලට ආවා.. පිරිකර පූජාවෙන් පස්සේ කට්ටිය විසිරිලා ගියා.. දවල් දානයත් ගමේ අයෙගේ එකතුවෙන් තිබ්බා.. හවස කඨිනානිශංස ධර්ම දේශණාවෙන් පස්සේ පිංකම සාර්ථකව අවසන් උනා..

ආනිශංස කොහොම උනත් මේ පිංකමට දායක වෙන්න ලැබුනු එක ගැන මම සතුටු වෙන්නේ නොදැන හිටි ගොඩක් දේවල් දැනගන්න ලැබුනු නිසයි.. කොහොමත් ‍ඒ ඒ දේවල් පිළිගත්තත් නොගත්තත් අපේ සංස්කෘතික අංග ඉස්සරහට ‍ගෙනියන්න මම කැමතියි.. ඉතිං ‍ඒ දේට සෘජුව සම්බන්ධ වෙලා යමක් කරන්න පුළුවන් වෙච්චි එක ගැනත් මට සතුටුයි.. තම තමන්ගේ රාජකාරී ගො‍ඩක් මැද මේ දේට සම්බන්ධ වුනු නොවුනු මගේ යාළුවන්ටත් ‍ලස්සන පිංතූර ටිකකින් මතකයන් සදාකාලික කරපු මුචා මලයටත් ගොඩක් ස්තූතියි..!!!



9 comments:

  1. කියවනකොට හැමදාමත් වගේ එන්න බැරි උනාම තියෙන දුකත් එක්කලා මේක ලියන්නේ..! මනුස්සයෙකුගේ ජීවිතයකට මේ වගේ අවස්ථාවක් එන්නේ කීයෙන් කී දොහද කියලා මම හොඳටම දන්නවා..! ඒනිසා කියලත් එන්න බැරි වුණ එකට සමාවෙයන්..! මේ වගේ පින් කරගන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් ඒනිසා ලස්සන මතකයක් එක්කලා මේ දේ සාර්ථක කරගන්න ට ලැබිච්චි එකනම් වටිනවා..!

    ReplyDelete
  2. මම නම් මේ වගේ දේවල් වලට කොහෙත්ම බරක් නොදුන්නත් මම හොඳ අත්දැකීමක් ලැබුව. මුළු සිදුවීම පුරාම මට ඒ ගැන කිසිම හැඟීමක් තිබුණෙ නැතත් මිනිස්සු එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න ගිය එකට මම සතුටු වුණා... මිනිස්සු මේ වගේ තවත් දේවල් වලදි එකතු වුනානම්....

    ReplyDelete
  3. ලිශා කියාපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ, මං නම් වැඩියත්ම ආවෙ නැත්තේ ඕක මොකද්ද කියලා මට හරි හැටි වැටහීමකුත් නොතිබුණ නිසා.. දැන් නම් අපරාදේ කියලා හිතෙනවා..
    :(

    ReplyDelete
  4. @ සබා - උඹ නං ආවෙ නැති එකම හොඳයි... නැත්තං අපට එතනත් ධර්ම සංගායනා කරන්න වෙනවා...

    ReplyDelete
  5. අට මහා කුසලයකට ඔයාට දායක වෙන්න ලැබුණු එක ගැන සතුටුයි. ඒ වගේම ගමේ මිනිස්සු ටිකත් ඔයාට අඳුනගන්න ලැබුණානේ. අපිත් එක්කත් මේක බෙදා හදාගත්තු එක ගැනත් සතුටුයි

    ReplyDelete
  6. හයියෝ... අත ලඟට ඇවිල්ලා මිස් විච්ච චෑන්ස් එක අප්පා. ඕන් ඒකටත් එක්ක අපේ පැත්තෙන්...
    "සාධු සාධු සා...."
    "සාධු සාධු සා...."
    "සාධු සාධු සා...."

    ReplyDelete
  7. මට නම් මේ ගැන අවබෝධයක් තවම හරියටම නෑ වගේ. ඒත් ඔයා ගේ ලිපිය හරහා බොහෝ දේවල් නම් කියෙව්වා.
    අනික ඉතින් ඔය වගේ දේවල් තව කොයි තරම් කාලයක් තියෙයිද දන්නේ නෑනේ. තිබුනත් ඕවා සල්ලි හොයන බිස්නස් එකක්ම වෙලා තියෙයි.
    සතුටුයි ආපහු ලියන එක ගැන.

    ReplyDelete
  8. Create your advertisement today !!
    ඔබගේ දැන්වීම දැන්ම හදාගන්න !!

    Dear Blog Writer,

    FreeAdds is a free blog/website advertising network. Try it out. Let us know how you enjoy it.

    You can visit to our webage directly and create your advertisement at http://freeadds.net46.net/ads/adds.html.
    [Sorry for not having an very popular web domain]

    Check the you tube video on how to create an account.
    http://www.youtube.com/watch?v=XxsJNKbcack

    Add your comments to Facebook page.

    මෙම ව්‍යාපෘතියට එකතුවන ඔබ සැමට ස්තුතී !!

    Best Regards,

    Admin

    FreeAdds.Org
    Web : http://freeadds.net46.net/ads/adds.html

    ReplyDelete
  9. ආනේ කවුද මේ ඇඩ් අයියා.. මේ අයියේ තරහා අවසර මේ කියලා තියෙන්නෙ කඨින පිංකමක් ගැන.. අපේ පංසලෙත් ලඟදි කඨිනයක් තියෙනවා... ඒකට ඇඩ් එකක් හදාගන්න ඕනි.. මම කියන්නම්කෝ...
    ඇට් මලී...
    සොරි බං මේ ඇඩ් කාරයෙක් ඇවිත් වැඩේ වණ කොලා නොවැ.. සිරා දවසක් අපේ ගෙදරත් ඔහොම එකක් තිබිලා මම ලස්සනට මාරු වුනා.. ඒත් ඉතින් සෙට් එක සෙට් වුන එක ඇතිනෙ..

    ReplyDelete