Monday, November 8, 2010

කසාධ!!!!

අද වැඩ වගේකට අම්මත් එක්ක හදිස්සියේම ටවුන් එකට යන්න සිද්ද උනා.. නිවාඩු දවසට ගෙදරින් එළියට යන්න වෙන එක ඇත්තටම මට නම් හරිම වදයක් හා මම අකමැතිම දෙයක්.. ඒ කියන්නේ මම ටිකාක් විතර ගෙයි ගෙම්බෙක්.. ගෙයි කිව්වට ගෙයිම නෙවෙයි කාමරේ ගෙම්බෙක්!

කොහොම උනත් ටවුන් එකේදි මගේ ස්කෝලේ යාළුවෙක් මුණගැහුනා.. නිකං නෙවෙයි මං දකිද්දි පොඩි පුතෙකුත් වඩාගෙන.. ඒ පුතාගේ කරේ මොන්ටිසෝරි බෑග් එකකුත් එල්ලිලා තිබ්බා.. වැඩ වගේකට යනවා කියාගෙන පුතාගේ මූණත් ලාවටඅත‍ගාගෙන මං එතනින් ගියා..

අම්මට ඒ ළමයව මතක නෑ..

"යාළුවෙක් ද?" ..... අම්මා ඇහුවා..

"ඔව් මතක නැද්ද ඉස්සර හැමදාම තාත්තා කැබ් එකෙන් එක්කන් යන්න ආවේ... සුජානි.." ... මං අම්මට මතක් කලා..

"ආනේ.. ඒ ළමයා දැන් බැඳලාද?"

"ඔව්.. ඒලෙවල් කරන කාලේනේ පිරිමි ළමයෙක් එක්ක ගියේ.. "

ඒ ටික කියලා මං ‍ශේප් උනා..
අපේ වැඩ ටික ඉවර කරලා අපි සෙරෙප්පු ගන්න කඩේකට ගියා.. එතනදි සංජු කෝල් කලා.. සංජු මගේ හොදම යාළුවෙක්.. ඌත් බැඳපු එකෙක්..

"හෙලෝ... මලී.. අද ගෙදරද?"
"ඔව් බං අද ‍නිවාඩු.. මං මේ ටවුන් එකට ආවා ටිකක්.. මොකෝ?"
"අපි එහෙනම් අද ගෙදර එන්නම්... "
"හරි.. එන්න කලින් කෝල් කරහන්.. එහෙනම් තිබ්බා.. බායි.."

ටවුන් එකෙන් එන ගමන් අම්මා කියනවා..
"දැන් යාළුවන්ට ළමයිනුත් ඉන්නවා.. ඔයාලා තාම කිසිම ‍පිළිවලක් වෙන්න කල්පනාවක් නෑ.."

අනේ මන්දා

මට අනූව නම් ‍මං හොදටම පිළිවලයි.. කාමරේ අස්කරන්න කම්මැලි වෙලාවට ටිකක් හැඩි වෙලා තිබුනට.. අනිත් හැම වෙලේම පුළුවන් තරම් පිලිවලට ඉන්නයි මං කැමති.. මෙහෙම එකක් තියනවා ඉතිං මගේ පිළිවෙල අනිත් අයට අපිළිවෙල ද කියන්න නම් දන්නේ නෑ.. ඒ උනාට උවමනා බඩු අතේ දුරින් අතිත් එව්වා ටිකක් දුරින් තිබුනම ඇතිනේ..

හරි හරි..

මං දන්නවා අම්මා කතා කරන්නේ එහෙම පිළිවලක් ගැන නෙවෙයි කියලා.. එයා කතා කරන්නේ ඊට වඩා බැරෑරුම් පිළිවලක් ගැන.. එයා විතරක් නෙවෙයි ඔෆිස් වල වැඩ කරන අය.. හමුවෙලා කතා කරන ගොඩක් අය අහන්නේ.. දැන් බැදලද? බඳින්න අදහසක් නැද්ද? වෙඩින් එක කවදා විතරද.. ඔය වගේ කතා..

අම්මට නම් මං දරුවා හින්දා කැක්කුමකට අහනවා කියතැහැකි.. එතකොට අනිත් අය..

මට තේරිලා තියන විදියට නම් පිටින් ඉදන් අපි බලනවාට වඩා විවාහය කියන ජිවිතය සෑහෙන්න දුෂ්කරයි.. ඒ ඇතුලේ තියන බැඳීම්..වගකීම්..යුතුකම්.. හැසිරීම්.. වගේ ගොඩක් දේවල් නිසා විවාහය කියන්නේ අත්වා‍රුවක් නැති ඒදණ්ඩක යනවා වගේ වැඩක්..

ඒ කොහොම උනත් හැමෝම බලන් ඉන්නේ අනිත් අය කොයි වෙලේද ඔය ඒ දණ්ඩට අඩිය තියන්නේ කියලා.. තිබ්බට පස්සේ ආයේ හැරීමක් නැහැනේ.. එක්කෝ මරණින් කෙලවර වෙනකම් අවිනිශ්චිත භාවයත් එක්ක අර කලින් කිව්ව දේවල් හැකි පමණින් සමබර කරගෙන ඔය ගමන යන්න පුළුවන්.. නැත්තං සමබරතාවය නැතුව මගදි පය පැකිලිලා වැටිලා දුක් වෙන්න පුළුවන්.. එහෙමත් නැත්තං දැන් ඉතිං බැදගත්ත බෙරේ ගහනවා කිය කිය හූල්ල හූල්ල යන්න පුළුවන්..

පිටින් ඉදන් බලන නිසා ඔය වගේ ‍හුඟක් හැඟීම් විවාහය ගැන මට කියන්න පුළුවන්.. ඇත්තටම මට පුළුවන් නම් මුළු ජිවිත කාලය පුරාම නොබැද ඉන්න මං හරි කැමතියි ඒකට.. අනේ අපිට තියනවා නම් හාෆ් මැරේජ් වගේ එකක්.. ඒ කියන්නේ කැමති කාලයක් එකට ඉදලා කැමති කාලයක් වෙන් වෙලා ඉන්න.. ආයේ කැමති වෙලාවෙදි එක් වෙන්න... එහෙම ක්‍රමයක් නැහැනේ.. බැන්දොත් බැන්දා.. නොබැන්දොත් නොබැන්දා.. බැදලා කරන වැඩ නොබැද කරන්න ගියොත් ඒකත් වැරදියි.. බැදලා නොබැන්දා වගේ හිටියොත් එකත් වැරදි.. හරියට දෙකොණ ඇවිලෙන පන්දමක් වගේ.. අතර මැද ඉන්න බෑ.. කොයි කොනකින් හරි පිච්චිලා යන්න වෙනවා..

අනේ මන්දා.. මට ජිවිතය එක්කම විවාහය.. පුද්ගල සම්බන්දතා.. වගේ ගොඩක් දේවල් මේ දවල් වල එපා වීගෙන එපා වීගෙන යනවා.. අවසානය කොතැන වේවිද මන්දා..

‍ඊයේ මම සමර විජේසිංහ ගේ එක කවිය සියවරක් කවි පොත කියෙව්වා.. අවසර‍යකින් තොරව මම "අනියම් සේවිකාව" කවියෙන් කොටසක් උපුටගෙන මෙතන දාලා ලිපිය අවසානයක් නැතිවම ‍ඉවර කරනවා.. මොකද මේ කතාවට අවසානයක් නැති හින්දා..

පෙම්වතියක් යනු 'ගමනක්'
පියාඹා යන
වෙහෙස ගෙන
නිති පියාසැලිය යුතු

බිරිඳක් යනු 'තැනක්'
නැවතී සිටින
වෙහෙස ගෙන
පෙම් කරනු උවමණා නැති
(සමර විජේසිංහ)

15 comments:

  1. කසාද බැඳල ඒක දිග මදි වුනාම දික්කසාදත් බඳින අය ඉන්නෙ ඔය ඕනෙ තරම්

    ReplyDelete
  2. මෙන්න අපේ අප්පච්චිගෙ විසදුම.... http://tikakhinawenna.blogspot.com/2010/11/blog-post_05.html

    ReplyDelete
  3. අපි මේ සංස්කෘතිය වෙනස් කරල අර කලින් කිව්ව වාගෙ හාෆ් මැරේජ් ඇති කරවන්න ට්‍රයි එකක් දෙමුද?ඔයා හිතනව වැඩියි වාගෙ.එතකොට ජීවිතේ මෙලෝ රහක් නැතිව යනවා.ඒක හින්ද එපාවෙන්න කලින්.....ඉක්මනට.....

    ReplyDelete
  4. අනේ මංදා මෙහෙම හිතෙනකොට කසාදය දික් උනාම දික්කසාද වෙනවද කියලා හිතෙනවා. ඒත් එහෙම වෙන්නත් බැහැ කියලා හිතෙන්නේ අපේ අම්මලා තාත්තලා දැක්කම්..!

    ReplyDelete
  5. හිතනවාය කියන එකට කන්ට්‍රෝල් එකක් නැති වුණාට දිනේෂ් කියනව වගේ නොහිතා මුහුණ දෙන එක තමයි අන්තිමේ කරන්න තියෙන හොඳම දේ...

    කොහොම වුණත් ලංකාවෙ මිනිස්සුන්ට අනිත් මිනිස්සු ජීවත් වෙන විධිය ගැන තීරණය කරන්න පුදුම අමාරුවක් තියෙනවනේ... සමහර සාමූහික දේවල් තියෙනව එහෙම වෙන එක අවුල් නැති. උදාහරණෙකට ම‍ට කන පැලෙන්න සින්දු අහන්න ඕන කියල මට එහෙම සින්දු අහන්න බෑ... අහල පහල මිනිස්සුන්ට වදයක් වෙන නිසා... ඒ වුණත් කසාදෙ වගේ අතිශය පුද්ගලික දේවල් වලට තමන් මිස දෙමව්පියො ඇතුළු වෙන කවුරුවත් අනවශ්‍ය විධියට ඇඟිලි ගැසිය යුතු නෑ... උදව් උ‍පදෙස් ගන්න පුළුවන් වුණාට අවසාන තීරණය තමන්ගේ විය යුතුයි....

    මෑතකදි මම සහභාගි වුණ මගේ මිතුරාගේ විවාහයෙදි හැමෝම මගෙන් ඇහුවෙ කවදද බඳින්නේ කියල... කසාදෙ කියන්නෙ මිනිහෙක්ට තියෙන එක ඔප්ෂන් එකක් විතරයි සහ වෙනත් ඔප්ෂන් ඕන තරම් කියල හිතන්න බැරි තරම් තාම ලංකාව ළදරුයි ද? :P

    ReplyDelete
  6. පිස්සු හැදෙනව... මේ බ්ලොග් එක සෙට් උනේ අදනෙ... මටත් මේ දවස් වල ඔක්කොම එපා වී‍ ගෙන යන්නෙ...
    කට්ටිය බඳින්න කිව්වට කට්ට කන්න ඕන අපිනෙ :D

    ReplyDelete
  7. අනේ බන් මලියො මගෙනුත් මේ දවස් වල එක එකා අහනවා... බඳින්නෙ නැත්ද කියල ? ඇයි උන් නිකන් මාව උස්සගෙන ඉන්නවා වගෙ...

    හරිහමන් කෙනෙක් නැතුව අර වදක බාරඉයක් බැදගත්තොත් යකා බැදගත්ත වගේ නේ බන්.. ඒක නිසා " single and sexy guy " කියලා කූලා නම් ඉන්නවා තාම.

    ReplyDelete
  8. තාම බෑන්දේ නෑද්ද????

    ReplyDelete
  9. if both parties agree there is no known obstruction to live together.

    In my view marriage is no such complicated matter. It certainly do not withstand human rights for both sides. But is there any other activity that withstand human rights?

    If both understand other I still think a free and healthy marriage is possible. But understanding does not mean fight free. Just that while fighting you shud think of other, and try at your best to be fair and not taking advantage.

    My idea is that you have made it complicated. But never marry as others want, marry only if you want. As I said living together is still possible. But pls do not have kids until u r certain as kids will face a hell if parents separate.

    Isn't this the only relationship in our life. Obeying office rules is harder for me :)

    BTW I like your subject

    ReplyDelete
  10. ලංකාවේ කසාදය කියන එකට සූදානම් වෙන්නේ මොන වයස් සීමාවෙද කියන එක අවුලක්.. මම නම් ලංකාවේ අවුරුදු තිහෙන් මෙහා එකෙක්ට බඳින්න කියන එක ගැරන්ට් කරන්නේ නෑ...

    ReplyDelete
  11. ප්‍රශ්නයක් තමයි!

    ReplyDelete
  12. [[BTW I like your subject ]]

    I meant the heading. The mahaprana letter spoecificcally

    ReplyDelete
  13. මේ සටහන කිහිප පාරක්ම කියවලා ගියත් කොමන්ට් එකකට මගේ අදහස දෙන්න මම අකැමති උනා. කොටින්ම මගේ අදහස ඔයා හරියටම දන්න හින්දා මම ඒ පිළිබඳව අළුතින් යමක් කියන්න උවමනා නෑ.
    ඒත් මේ ලෝකේ අනිත් මිනිසුන් සතුටු කරන්න නම් විවාහයක් කරගන්න අයගෙන් කෙනෙක් නම් වෙන්න එපා.
    අනික තමන් තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔය කියන වචනය ඒ තරම් දරා ගන්න බැරි බරක් වෙන්නේ නෑ. එහෙම උනත් එතකොටත් (තේරුම් ගත්ත අයට) විසඳුම් තියෙනවා. මොනවා උනත් අනිත් අයගේ අදහස් හින්දා අවුල් වෙන එක නම් මහ විහිළුවක්. ඔයාගේ අම්මා තාත්තා ඇරෙන්න ඒක වෙන අයට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක උන්ගේ ප්‍රශ්නයක් මිසක් ඔයා උත්තර හොයන්න ඕන දෙයක් නෙමෙයි.

    ReplyDelete
  14. Are women that?
    To be cared only before marriage and once the purpose is done , to be neglected ?
    So sad .............

    ReplyDelete
  15. අදහස් දැක්වූ ඔබ සැම‍ දෙනාටම බොහොම ස්තූතියි.

    ReplyDelete