Monday, November 22, 2010

හඳ පාන දැක

පෝදා සඳ
නිවී සැනසිල්ලේ
මිදුල පුරා රූ හැඩ මවන්නේ
හිත පුරා
රෑයම පුරා
තරු මල් කිණිති
පිණි දිය
ඉසින්නේ..

නිදි නෙතු ‍පුරා
සි‍හිනයක් මෙන්
නෙක සිතුවිලි
අවදිව සරන්නේ
රැයේ මනරම
මං විතරමද
මේ රැයේ
තනිවම විඳින්නේ..

කදෝපැණියකු..
රැහෙයියෙකු හෝ
කමක් නෑ ගොස්
සවනතට ඔබේ
මුමුණුවොත්
අනේ අවදිව
බලනු ලස්සන
සුරපුරක් මිහිමත තියෙන්නේ...

අනේ අවදිව
එන්න හිතවත
විඳිමු අපි මේ
සොඳුරු හැඟුමන්
එකම අහසක්
යටට වී..
...
..
.

22/11/2010
00:55 am

Monday, November 15, 2010

මිනිසුන් දරා ගැනීම


සමස්තයක් ව‍ශයෙන් අපි හැමෝම මිනිස්සු.. විවිධාකර අදහස්.. සිතුවිලි තිබුනත් එක කුලකයකට ලඝු වෙන්නේ ගැහැණු පිරිමි අයිති වෙන මිනිස්සු කුලකයට.. කොයි තරම් වෙනස් උනත් කළු උනත් සුදු උනත් තලෙලු උනත්.. අන්තිමේ අපි හැමෝම මිනිස්සු..

මිනිස්සු එකිනෙකාව දරාගැනීම.. ඉවසීම මත තමයි මේ ලොකේ ඇතුලේ සාමය පවතින්නේ.. අනිත් කෙනා වෙනුවෙන් කැපවීමක් ‍කිරීම හරහායි සහජීවනය බිහිවෙන්නේ.. ඔය දේවල් නැති වෙද්දි ඇතිවෙන්නේ වෛරයක්.. තරහක් නැතිනම්‍ ක්‍රෝධයක් වෙන්න පුළුවන්..

මිනිහෙක්ව ඉවසන්න දරාගන්න ඒ කෙනාව පෞද්ගලිකව දැනගැනීම අඳුන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ.. කෙනෙකුට උදව්වක් කරන්න නැත්තම් අඩුම ගානේ හතුරුකමක් කරදරයක් නොකර ඉන්න අඳුනගෙන කතාකරලා තියෙන්නම ඕනිත් නෑ..

ඒ දේවල් අවශ්‍ය නැති නිසා තමයි අපි මේ විදියට මිනිස් සමාජයක් හැටියට ජිවත් වෙන්නේ.. කොටින්ම බස් එකක මහපාරේ අතුරු ආන්තරාවක් නැතුව යන්න එන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි..හවස මහන්සි වෙලා ගෙදර යන බස් එකේ කොච්චර සෙනඟ පිරුනත් ‍පුළුවන් හැටියට පැක් වෙලා තව කෙනෙකුට නඟින්න ඉඩ දෙන්නෙත් නොදන්න මනුස්සයෙක් ගැන උනත් අපේ හිතේ ඇතිවෙන මොකක් හරි හැඟිමක් හින්දයි..

හැබැයි සමහර අපි හොදටම දන්න කියන අය ගැන උනත් අපිට ඔයිට ව‍ඩා වෙනස් සිතුවිලි ඇතිවෙන එක සාමාන්‍යයයි.. හිතලා බලන්න අපි වැඩ කරන තැන් වල අපි සමහර විට අපේ පවුල් ඇතුලේ නැතිනම් අපි පිරිසක් හැටියට එකතුවෙන තැන් වල අපිට ඔය වගේ අය මුණගැහෙන්නේ නැද්ද කියලා..

මට නම් එහෙම අය ඉන්නවා.. එහෙම වෙලා තියෙන්නේ එයාලා අතින් සිදුවෙන සිද්දවුනු දෙයක් හෝ දේවල් නිසා වෙන්න පුළුවන්..

මම වැඩ කරන තැන මාත් එක්ක වැඩ කරන මගේ ව‍යසෙම පිරිමි ළමයෙක් ඉන්නවා. හරියට ගත්තොත් එයා මට වඩා බාලයි.. අපි දෙන්නම එක දවසේ රස්සාවට ගියේ.. මුල්ම දවස් වල අපි හැමෝම අළුත්නේ.. ඉතිං කාගැනවත් වැරදි හෝ හරි සිතුවලි ඇතිවෙන්නේ නෑ.. හැබැයි කාලයක් යද්දි තමයි එක්එක්කෙනා ගැන තේරුම් යන්නේ.. ඉතිං මේ කියන පිරිමි ළමයා ගැනත් එහෙමයි.. කොටින්ම හිස් මුදුනේ ඉදන් දෙපතුල වෙනකම් මේ කොල්ලව මට පෙන්නන්න බෑ.. හේතුව සරළවම මේකා අති පණ්ඩිතයි.. (පණ්ඩිතයි කිව්වේ උගතුන්ට කියන පණ්ඩිත නෙවෙයි අනිත් එක) මට කොහොමටත් ඒ වර්ගයේ මිනිස්සුන්ව දිරවන්නේ නැහැ.. කොහොමත් මාසෙකට රාත්‍රී වැඩ මුර තුනක් වත් මට මේකා එක්ක කරන්න තියෙනවා.. ඉතිං පහුවෙන්දා උදේ වෙද්දි මං ඉන්නේ පුදුම විදියේ හෙම්බත් වීමකින් මොකෝ මෙකාගේ පණ්ඩිත කතන්දරයි වැඩයි නිසා..! අනික ‍එකම දේ දෙතුන් පාර කියවනවට මං ආසම නෑ.. කොහොමටත් පලවෙනි වතාවේ කියද්දිත් බොහොම අමාරුවෙන් හ්ම්ම් හ්ම් කිය කිය හූමිටි තියන මට ඒ කතාවම දෙතුන් පාර අහද්දි එපාම වෙනවා.. බැරිම තැන මම වතාවක් කිව්වා දැන් ඉතිං ඒ ගැන කතාකරලා වැඩක් නැහැනේ මල්ලි කියලා.!
ඔහොම කියන්න ගියොත් එපා වෙනකම් කියන්න පුළුවන් වේවි..

ගොඩක් වෙලාවට මං මිනිස්සුන්ව දරාගන්නවා.. ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට ඇජෙස්ටබල් වෙනවා.. අත්දැකලා තියන විදියට ඒක ජිවත් වෙන්න හරිම පහසු විදියක්.. ඒකට අවශ්‍ය වෙන්නේ ‍පුද්ගලයන් තේරුම් ගැනීම..

ගොඩක් වෙලාවට මට නිකං මොකක් හරි විඥානයක් වගේ ඒ හැකියාව ඇතිවෙනවා.. ඉතිං මට ගොඩක් මිනිස්සුත් එක්ක යාළුවීම කෙසේ වෙතත් ශේප් න්‍යායෙන් ජිවත් වෙන්න පුළුවන් වෙලා තියනවා.. (මං කොහොමත් හොඳ යාළුවෙක් නම් නෙවෙයි.මොකද ගොඩක් දෙනෙක් යාළුවෙක් කියන වචනයෙන් බලාපොරොත්තු වෙන දේවල් දෙන්න මං දන්නේ නැති නිසා.)

ඒත් සමහර මිනිස්සු එහෙම නැති වෙන වෙලාවල් එනවා.. අර මම උඩින් ලියලා තියන කොල්ලා වගේ..මං ආස නැති නිසාම මට ඒක හිතට වදයක් වෙන තරම්ම ඒකාව එපා වෙලා..!! ඒත් එහෙම හරියන්නේ නෑ.. ඒකයි මේ ටික මෙතනට වෑමෑ‍රුවේ අද ඉදන් උගේ හොද පැත්ත හොයා ගන්න මහන්සි වෙන්න ඕනි.. මොකද ‍මිනිස්සු එක්ක තරහා වෙලා බුම්මගෙන වැඩ කරන්න බැරි නිසා...
මොකද මං කරන්නේ.....????

Monday, November 8, 2010

කසාධ!!!!

අද වැඩ වගේකට අම්මත් එක්ක හදිස්සියේම ටවුන් එකට යන්න සිද්ද උනා.. නිවාඩු දවසට ගෙදරින් එළියට යන්න වෙන එක ඇත්තටම මට නම් හරිම වදයක් හා මම අකමැතිම දෙයක්.. ඒ කියන්නේ මම ටිකාක් විතර ගෙයි ගෙම්බෙක්.. ගෙයි කිව්වට ගෙයිම නෙවෙයි කාමරේ ගෙම්බෙක්!

කොහොම උනත් ටවුන් එකේදි මගේ ස්කෝලේ යාළුවෙක් මුණගැහුනා.. නිකං නෙවෙයි මං දකිද්දි පොඩි පුතෙකුත් වඩාගෙන.. ඒ පුතාගේ කරේ මොන්ටිසෝරි බෑග් එකකුත් එල්ලිලා තිබ්බා.. වැඩ වගේකට යනවා කියාගෙන පුතාගේ මූණත් ලාවටඅත‍ගාගෙන මං එතනින් ගියා..

අම්මට ඒ ළමයව මතක නෑ..

"යාළුවෙක් ද?" ..... අම්මා ඇහුවා..

"ඔව් මතක නැද්ද ඉස්සර හැමදාම තාත්තා කැබ් එකෙන් එක්කන් යන්න ආවේ... සුජානි.." ... මං අම්මට මතක් කලා..

"ආනේ.. ඒ ළමයා දැන් බැඳලාද?"

"ඔව්.. ඒලෙවල් කරන කාලේනේ පිරිමි ළමයෙක් එක්ක ගියේ.. "

ඒ ටික කියලා මං ‍ශේප් උනා..
අපේ වැඩ ටික ඉවර කරලා අපි සෙරෙප්පු ගන්න කඩේකට ගියා.. එතනදි සංජු කෝල් කලා.. සංජු මගේ හොදම යාළුවෙක්.. ඌත් බැඳපු එකෙක්..

"හෙලෝ... මලී.. අද ගෙදරද?"
"ඔව් බං අද ‍නිවාඩු.. මං මේ ටවුන් එකට ආවා ටිකක්.. මොකෝ?"
"අපි එහෙනම් අද ගෙදර එන්නම්... "
"හරි.. එන්න කලින් කෝල් කරහන්.. එහෙනම් තිබ්බා.. බායි.."

ටවුන් එකෙන් එන ගමන් අම්මා කියනවා..
"දැන් යාළුවන්ට ළමයිනුත් ඉන්නවා.. ඔයාලා තාම කිසිම ‍පිළිවලක් වෙන්න කල්පනාවක් නෑ.."

අනේ මන්දා

මට අනූව නම් ‍මං හොදටම පිළිවලයි.. කාමරේ අස්කරන්න කම්මැලි වෙලාවට ටිකක් හැඩි වෙලා තිබුනට.. අනිත් හැම වෙලේම පුළුවන් තරම් පිලිවලට ඉන්නයි මං කැමති.. මෙහෙම එකක් තියනවා ඉතිං මගේ පිළිවෙල අනිත් අයට අපිළිවෙල ද කියන්න නම් දන්නේ නෑ.. ඒ උනාට උවමනා බඩු අතේ දුරින් අතිත් එව්වා ටිකක් දුරින් තිබුනම ඇතිනේ..

හරි හරි..

මං දන්නවා අම්මා කතා කරන්නේ එහෙම පිළිවලක් ගැන නෙවෙයි කියලා.. එයා කතා කරන්නේ ඊට වඩා බැරෑරුම් පිළිවලක් ගැන.. එයා විතරක් නෙවෙයි ඔෆිස් වල වැඩ කරන අය.. හමුවෙලා කතා කරන ගොඩක් අය අහන්නේ.. දැන් බැදලද? බඳින්න අදහසක් නැද්ද? වෙඩින් එක කවදා විතරද.. ඔය වගේ කතා..

අම්මට නම් මං දරුවා හින්දා කැක්කුමකට අහනවා කියතැහැකි.. එතකොට අනිත් අය..

මට තේරිලා තියන විදියට නම් පිටින් ඉදන් අපි බලනවාට වඩා විවාහය කියන ජිවිතය සෑහෙන්න දුෂ්කරයි.. ඒ ඇතුලේ තියන බැඳීම්..වගකීම්..යුතුකම්.. හැසිරීම්.. වගේ ගොඩක් දේවල් නිසා විවාහය කියන්නේ අත්වා‍රුවක් නැති ඒදණ්ඩක යනවා වගේ වැඩක්..

ඒ කොහොම උනත් හැමෝම බලන් ඉන්නේ අනිත් අය කොයි වෙලේද ඔය ඒ දණ්ඩට අඩිය තියන්නේ කියලා.. තිබ්බට පස්සේ ආයේ හැරීමක් නැහැනේ.. එක්කෝ මරණින් කෙලවර වෙනකම් අවිනිශ්චිත භාවයත් එක්ක අර කලින් කිව්ව දේවල් හැකි පමණින් සමබර කරගෙන ඔය ගමන යන්න පුළුවන්.. නැත්තං සමබරතාවය නැතුව මගදි පය පැකිලිලා වැටිලා දුක් වෙන්න පුළුවන්.. එහෙමත් නැත්තං දැන් ඉතිං බැදගත්ත බෙරේ ගහනවා කිය කිය හූල්ල හූල්ල යන්න පුළුවන්..

පිටින් ඉදන් බලන නිසා ඔය වගේ ‍හුඟක් හැඟීම් විවාහය ගැන මට කියන්න පුළුවන්.. ඇත්තටම මට පුළුවන් නම් මුළු ජිවිත කාලය පුරාම නොබැද ඉන්න මං හරි කැමතියි ඒකට.. අනේ අපිට තියනවා නම් හාෆ් මැරේජ් වගේ එකක්.. ඒ කියන්නේ කැමති කාලයක් එකට ඉදලා කැමති කාලයක් වෙන් වෙලා ඉන්න.. ආයේ කැමති වෙලාවෙදි එක් වෙන්න... එහෙම ක්‍රමයක් නැහැනේ.. බැන්දොත් බැන්දා.. නොබැන්දොත් නොබැන්දා.. බැදලා කරන වැඩ නොබැද කරන්න ගියොත් ඒකත් වැරදියි.. බැදලා නොබැන්දා වගේ හිටියොත් එකත් වැරදි.. හරියට දෙකොණ ඇවිලෙන පන්දමක් වගේ.. අතර මැද ඉන්න බෑ.. කොයි කොනකින් හරි පිච්චිලා යන්න වෙනවා..

අනේ මන්දා.. මට ජිවිතය එක්කම විවාහය.. පුද්ගල සම්බන්දතා.. වගේ ගොඩක් දේවල් මේ දවල් වල එපා වීගෙන එපා වීගෙන යනවා.. අවසානය කොතැන වේවිද මන්දා..

‍ඊයේ මම සමර විජේසිංහ ගේ එක කවිය සියවරක් කවි පොත කියෙව්වා.. අවසර‍යකින් තොරව මම "අනියම් සේවිකාව" කවියෙන් කොටසක් උපුටගෙන මෙතන දාලා ලිපිය අවසානයක් නැතිවම ‍ඉවර කරනවා.. මොකද මේ කතාවට අවසානයක් නැති හින්දා..

පෙම්වතියක් යනු 'ගමනක්'
පියාඹා යන
වෙහෙස ගෙන
නිති පියාසැලිය යුතු

බිරිඳක් යනු 'තැනක්'
නැවතී සිටින
වෙහෙස ගෙන
පෙම් කරනු උවමණා නැති
(සමර විජේසිංහ)

Tuesday, November 2, 2010

කඨින පිංකම -2010

මගේ ජිවිතේට අළුත් අත්දැකීම් ගොඩක් එකතු කරමින් අපේ පන්සලේ කඨින පිංකම පසුගිය 30 වෙනිදා අවසන් උනා..මීට කලින් බොහෝ කාලයක ඉදන් පංසලේ කඨින පිංකම සිද්ධ වෙලා තිබුනා උනත් මෙවර පිංකම සංවිධානය උනේ අපේ ගෙදරින් නිසා ඒ ගැන ගොඩක් දේවල් ගැන දැනගන්න පුළුවන් උනා..

ඇත්තටම කඨින පිංකමක් කරන්න අ‍පේ ගෙදර අය ආසාවෙන් හිටියාඋනත් මේ අවුරුද්දෙම කරන්න බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි හිටියේ..එත් ඉතිං හාමුදුරුවන්ගේ අදහසුත් අහකදාන්න බැරි නිසා නිවාඩු නැති අතරේ උනත් තාත්තා වැඩේට කැමති උනා.. ඒ විදියටයි පිංකම බාරගැනුනේ..

සාමාන්‍යයෙන් හැම පංසලකම වගේ කඨින පිංකම් මේ දවස් වල සිද්ධ වෙනවා.. මොකද වස් කාලේ ආරම්භයත් එක්ක වස් වසින හාමුදුරුවරුන්ට වස් කාලය අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේ කඨින පූජාවෙන් පස්සෙයි. වස් වසින්න පුළුවන් වෙන්නෙත් උපසම්පදා භික්ෂුවකට විතරයි‍ලු..

මේ පිංකමේ ඉතිහාසය ගැන කියවෙන විදියට නම් බුදුන්ගේ කාලයේ හාමුදුරු කෙනෙකුට තියාගන්න පුළුවන් එකම එක සිවුරක් විතරයිලු..ඉතිං වැහි කාලෙට පිණ්ඩපාතේ එහෙම වඩින හාමුදුරුවරු ගොඩක් අපහසුතාවයන්ට මූණ දුන්නලු.. ඉතිං ගිහියන් බුදුන්ගෙන් ඉල්ලීමක් කරාලු වස් කාලයට හාමුදුරුවරුන්ට ආවසයට වෙලා ඉන්න දෙන්න ඒ කාලය පුරාම පිණ්ඩපාතය වෙනුවට දානය ලඟට‍ම ගෙනත් දීලා හාමුදුරුවරුන්ට සිව්පසයෙන් සැලකීම ගිහියන් බාරගන්නම්ය කියලා.. ඉතිං ඒකට කැමති වුනු බුදුහාමුදුරුවෝ හාමුදුරුවරුන්ට ඒකට අවසර දුන්නලු..වස් කාලය නිවැරදිව ගත කරන හාමුදුරු කෙනෙකුට විතරයි කඨින චීවරය භාරගන්න අවසරය තියෙනවා කියන්නේ..

ඉස්සර නම් පූජ කරන කඨින චීවරය දායකයාගේ ගෙදරදිම මහලා පඩුපොවලා සූදානම් කරාලු.. හැබැයි දැන් නම් කඩෙන් ගන්නවා.. ඉතිං මේ විදියට සුදානම් වෙන කඨින චීවරය
‍පිංකම දවසට පෙරහැරකින් ‍ගමේ හතරපේරුවේම දායකයන් ඉන්න පැතිවල ගමන් කරනවා.. ඒ ඒ දායකයන්ට චීවරයට අතගසන්න.. එයින් පස්සේ තමයි පංසලේදී හාමුදුරුවන්ට පිරිකර පූජාව සිද්ධ කෙරෙන්නේ.. කියන විදියට නම් කඨින කියන්නේ තද එහෙමත් නැත්තං කඩන්න බැරි කියන තේරුම ලු.. එයින් කියවෙන්නේ මේ පිංකම බොහෝම වැදගත් පිංකමක් කියලලු.. බුදුනුත් ප්‍රධාන පිංකම් අටක් ගැන දේශණා කරලා තියනවාලු.. එයින් ප්‍රධාන පිංකම වෙන්නේ කඨින චීවර පුජාවලු.. මොකද අනිත් හැම පිංකමක්ම දායකයන්ට එයාලා කැමති ඕනම වෙලාවකට පහසු ආකාරයකට සිද්ධ කරන්න පුළුවන් වීමයි..නමුත් කඨින පිංකමක් එක පංසලකට එක අවුරුද්දකට එක් වතාවයි සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ.. ඒ නිසා පිංකම සිද්ධ කරන්න පුළුවන් ඉඩකඩ අඩුයි.. ඉතිං පිංකම සිද්ධ ‍කරද්දි හැමදෙනාවම සම්බන්ධකරගන්නවා වගේම හැම ‍කෙනාම අධාරත් කරනවා පුළුපුළුවන් විදියට..

ඉතිං ඉතිහාස කතාවලින් වර්තමානෙට ආවොත්... මේ පිංකම නිසා මට ගමේ නොදන්න ගොඩ දෙනෙක්ව දැකගන්න පුළුවන් උනා.. ඇත්තටම පිංකම දවසේ අපේ ගෙදරට ආව ගොඩ දෙනෙක් මාව වත් මං එයාලව වත් දන්නේ නෑ.. නමුත් පිංකම නිසාමයි ඒ අය ඇවිත් හිටියේ.. ඉතිං උදේ පාන්දර 2.30 වෙනකොට ඒ ආව ආව අය අපේ ගෙදර තිබුන තේ සංග්‍රහය හෙම භුක්ති විදලා පෙරහැරට එකතු උනා.. මට හිතා ගන්නවත් බැරි උනේ ස්කෝලේ හතරේ පහේ විතර පොඩි අය මහ රෑ දොළහට එකට විතර ඇවිත් ගිණිබෝල කරකවන්න ගිණිබෝල තියනවාද කියලා අහපු එක.. දොඩම් ගෙඩි දෙකක් උස නැති පොඩි උනුත් ඒ වැඩේට බොහොම සන්තෝසෙන් එකතු උනාට මම නම් හිටියේ බයෙන්.. හැබැයි පෙරහැර පුරාම එයාලා හරි සන්තෝසෙන් හිටි බව නම් පෙනුනා.. බාල මහළු වෙනසක් නැතුව හැම වයසකම වගේ අය පෙරහැරට එකතු වෙලා හිටියා.. උදේ පාන්දර 3.15 ට විතර ගෙදරින් පිටත් උනු පෙරහැර පාන්දර 5.59ට පංසලට ආවා.. පිරිකර පූජාවෙන් පස්සේ කට්ටිය විසිරිලා ගියා.. දවල් දානයත් ගමේ අයෙගේ එකතුවෙන් තිබ්බා.. හවස කඨිනානිශංස ධර්ම දේශණාවෙන් පස්සේ පිංකම සාර්ථකව අවසන් උනා..

ආනිශංස කොහොම උනත් මේ පිංකමට දායක වෙන්න ලැබුනු එක ගැන මම සතුටු වෙන්නේ නොදැන හිටි ගොඩක් දේවල් දැනගන්න ලැබුනු නිසයි.. කොහොමත් ‍ඒ ඒ දේවල් පිළිගත්තත් නොගත්තත් අපේ සංස්කෘතික අංග ඉස්සරහට ‍ගෙනියන්න මම කැමතියි.. ඉතිං ‍ඒ දේට සෘජුව සම්බන්ධ වෙලා යමක් කරන්න පුළුවන් වෙච්චි එක ගැනත් මට සතුටුයි.. තම තමන්ගේ රාජකාරී ගො‍ඩක් මැද මේ දේට සම්බන්ධ වුනු නොවුනු මගේ යාළුවන්ටත් ‍ලස්සන පිංතූර ටිකකින් මතකයන් සදාකාලික කරපු මුචා මලයටත් ගොඩක් ස්තූතියි..!!!