Sunday, October 24, 2010

කැම්පස් අයියලා අක්කලාට ආදරයෙන්..


මම දැන් ‍ගෙවන වයසත් එක්ක බැලුවම කැම්පස් යන ළමයි අයියලා අක්කලා වෙන්න පුළුවන් ඉඩ කඩ බොහෝම සීමිත උනත් අපි වගේ උසස් පෙළෙන් පස්සේ අධ්‍යාපනය හමාර කරපු අයට සාපේක්ෂව කැම්ස් යන අය උගත් පිරිසක් හැටියටයි සැලකෙන්නේ.. ඉතිං නිසි ගෞරව ලබාදීම පිණිසයි අයියලා අක්කලා කියන නමින් ඇමතුවේ.

මම මේ දවස් වල ලිවීමෙන් ටිකක් අයින් වෙලා ඉන්නවා උනත් කාලෙකට පස්සේ අද අයි.ටී. එන් නිව්ස් වලින් කෑලි කිපයක් ඔහේ බලාගෙන ඉන්න සිද්ධ උනාම හිතුන දේවල් නොලියා ඉන්න බැහැයි කියලයි හිතුනේ. මේ දවස් වල කොහොමත් මීඩියා වල බයිට් එක කැම්පස් එකනේ..

ඇත්තටම ප්‍රවෘත්ති ගැන තියන අධි ඇල්මැරුණු මගේ චරිත ලකෂ්ණය නිසා මේ දවස් වල තියන සිසු පාළක ගැටළුවේ අග මුල මොකක්ද ඒකට විසඳුම මොකක්ද.. වගේ අති පණ්ඩිත කතා ලියන්න නම් නෙවෙයි මේ හදන්නේ.. කොහොමත් මම ඒකට නම් සුදුසු නෑ.. මම දන්නෙත් නෑ..

ඒත් අපේ වගේ රටක විශ්ව විද්‍යාලවල ඉගනුම ලබන්නේ සාමාන්‍යයෙන් සමාජයේ උගත් බුද්ධිමත් කියලා සැලකෙන කොටස.. දියෙන් හොදම කිරි ටික වෙන් වෙනවා වගේ තේරුණු පිරිසකට විතරයි තවමත් නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ.. තාමත් අපේ ගම් වල ඒ ළමයා විශ්ව විද්‍යාලෙට තේරුනා කිව්වම නිසැකයෙන්ම ගෞරවාන්විත කුලකයට ඇතුලත් කරනවා...

නමුත් හැබැවට එහෙම යන පිරිස උගත් කෙසේ වෙතත් බුද්ධිමත් ද? දැනෙන විදියට එතනයි දැන් ගැටළුව තියෙන්නේ..

කොහොමටත් තාරුණ අරගල ඇරඹෙන්නේ වි.විද්‍යාලය පරිස‍රයෙන්.. ඒක අද ඊයේ නෙවෙයි ‍මීට බොහෝ අතීතයේ පටන් ‍මුළු ලෝකය පුරහම සිද්ධ වෙච්ච දෙයක්.. ජිවිත පරිත්‍යාගයෙන් තමන්ගේ අරමුණු වෙනුවෙන් සාමුහිකව පෙළ ගැහෙන එකත් ගැටවර තාරුණ්‍යයේ ලක්ෂණයක්.. ඒත් අද සිද්ධ වෙන්නේ පොදු අරමුණු වෙනුවෙන් පෙළ ගැහෙන එකමද? එහෙමත් නැත්තං කීප දෙනෙක් ගේ අරමුණු වෙනුවෙන් බහුතරයක් අපහසුතාවයට පත් කිරීමක් ද?

මේ දේවල් වලට නිසි පිළිතුරු දන්නේ ඒ තැන් වල ඉගෙනුම ලබන ඔබ ම විය හැකියි....

නමුත් පැහැදිලිවම එකක් නම් අපි හොදටම දන්නවා.. ඔබ කොළඹ නගරයේ ‍විරෝධතාවලදී පිස්සු නටන විට රැකියා නිසා හෙම්බත් වෙලා ඉක්මනට ගෙදර යන්න ඉන්න මම ඇතුළු අපි වගේ ඕලෙවෙල් එලේවල්.. එහෙමත් නැත්තං අට පාස් නැති අයත් හුඟ දෙනෙක් ඔබ ගැන කතා කරන්නේ හරි අප්‍රසන්න හැඟීමෙන්..

පහුගිය සතියක අපේ රැකියා ස්ථානයේ ‍25 හැවිරිදි එක් දරු මවක් කිව්වේ.. "ඕකුන්ව හිරේ දාන්නමයි ඕනේ.. අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම වද දෙනවා..." ටිකක් විතර කෘර උනත් වැඩි දෙනෙකු ඒ කතාවට ඔළුව වනලා සනාථ කලා..ටිකක් විතර හිතලා බලද්දි ඇත්ත කියලත් හිතෙනවා නේද? දවස් පඩි ගන්න කුලීකරුවන්ගේ ඉදන් අපි හැමෝම අපි ගන්න වැටුප් වල ඉදන් අනිත් හැම වියදමකදිම රජයට‍‍ බදු ගෙවනවා.. ඒ බදු වලින් කොටසක් තමයි ඔබේ අධ්‍යාපනයට වෙන් කෙරෙන්නෙත්.. සමහර විට ‍ඒ පංගුව ඔබේ වැඩ වලට මදි වෙන්න පුළුවනි.. අපිටත් මදි.. අපි ගන්න වැටුප නමුත් අපි අරගල කරන්නේ නෑ.. තව ටිකක් තව වැඩියෙන් ටිකක් හොඳට වැඩ කරනවා.. ඊළග වැටුප් වර්ධකය ලැබෙන දාට ඒ ගැන සලකා බැලෙන්න..

ඔය කොයි කතා පැත්තක තිබ්බත්.. අපි මේ ගෙවන්නේ ඒ තරම් හොඳ අරගලයට සුදුසු කාල වකවානුවක් නම් නෙවෙයි.. ඒක මට තේරුනේ අද ප්‍රවෘත්ති විකාශයෙන් පසු විමසුම ඇහුවට පස්සෙයි...විමසුම ලේඛකයා කතා කරනවා.. සිසු අරගල නැවතීමක් ගැන.. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න දරුවන්ගේ දෙමාපියන්ටත් කතා කරනවා.. කොහොමටත් දැඩි මර්ධනයක් අත ලඟ එන හැඩයි.. ඔය මාධ්‍යම තමයි යුද්ධය අපේ රටේ මිනිස්සුන්ගේ ලේ වලටත් කැව්වේ.. ඔය විදියටම... ඔය විදියට වැඩ සිද්ධ උනොත් ලඟදීම කැම්පස් සිසුවත් ත්‍රස්ථවාදියෙකු හැටියට ගණන් ගන්න වැඩි කාලයක් යන එකක් නෑ..

ඒක සිදු විය යුතු නෑ..!!!

මම ප්‍රධාන අපි බහුතරයක් ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙපමණයි.. කාගෙවත් රූකඩයක් නො‍වන්න.. සුදුසු කල සුදුසු දේ ඉටු කරන්න.. නමුත් ඔබේ තාරුණ්‍යය නිකරුනේ හිර ගෙවල් වල ගෙවාදමන්න එපා.. ‍ඔබේ පකෂයට.. ඔබේ විශ්ව විද්‍යාලය‍‍ට ඔබ තවත් එක් ශිශ්‍යයෙක් හෝ ශිශ්‍යාවක පමණයි.. නමුත් ඔබේ ගෙදරට ඔබේ අම්මාට තාත්තාට ඔබම පමණයි...!

ඔබ ස්වාධීනයි..! ඔබේ පක්ෂයටවත්.. ඔබේ රටේ පාලන තන්ත්‍රයටවත් උවමනා විදියට නටන ඔළු බක්කෙකු නොවන්න.. ඔබේ වටිනාකම ඔබ සුරකගන්න.. ඔබේ.. ඔබේ සමාජයේ.. ඔබේ රටේ.. සුභ සිද්ධිය සඳහා පමණක් කැපවෙන්න.!


17 comments:

  1. මම ඔයා තරම්වත් ප්‍රවෘත්ති නොබලන නිසා සහ ප්‍රවෘත්ති ගැන කතා කරන තැන් වල නොරැ‍ඳෙන නිසාම ඔය ගැන ඒ තරම් දෙයක් කියන්න දන්නෙ නෑ... කොහොම වුණත් මෙහෙම ගියාම යම් දවසක ලංකාවෙ ත්‍රස්ථවාදියෙක් නොවෙන්නෙ ආණ්ඩුවෙ උදවිය විතරක් බවට පත් වෙලා නතර වෙන්න පුළුවන්...

    ReplyDelete
  2. මලි
    කැම්පස් ඇතුලෙත් තියන්නෙ එලියෙ තියන සමාජයම තමයි, තරුණයි, ආවෙගශිලියි. බෙදිම්, උස් මිටි කම් මෙ හැම දෙයක්ම තියනවා. මිනිස්සු තමන්ගෙ අයිතිය ගන්න පොරකනවා වගෙම තවත් කෙනෙකුගෙ ලේ හොල්ලන්න තරම් තිරිසන් වෙනවා. මෙක කැම්පස් ඇතුලෙ විතරක් නෙමෙ. මෙවා දෙමව්පියන්ගෙ, ගුරුවරුන්ගෙ වැරදි. දෙමව්පියො ලමයින්ට ඔබන්නෙ ' අරුට පුළුවන් නම් ඇයි උඹට බැරි කියලා විතරයි'. දවස් හතම විෂය දැනුම විතරයි. ලමයා යන්ත්‍රයක් වෙනවා. පුදුම හිතෙන්නෙ නැද්ද සිංහල සාහිත්‍යට ඉගෙන ගත්තු මිනිස්සු ඇණ ගහපු පොල්ලකින් තවත් කෙනෙකුට ගහනවා කියන දෙ ඇහෙද්දි, රසවින්දනයෙන්, බුද්ධියෙන් ඉහලම තැන ඉන්න මිනිස්ස එකිනෙකා කෙරෙහි තරහාව වපුරව ගත්දි..

    විෂය උගන්වලා තියනවා. පරිගණක වලට දත්ත කවනවා වගෙ. හැබැයි මනුස්සයෙක් තව කෙනෙකුට දෙවැනි නැහැ කියන දෙ උගන්වලා නැහැ. හැමතැනම තමුන් එක වෙන්න දගලන ගොඩක් අය මැද්දෙ මෙවා සාමාන්‍ය දෙවල්.

    අපෙ රටෙ කැම්පස් ඇතුලෙ සමාජ වාදය ගැන කැමොරගහන මිනිස්සු එතනින් එලියට ගියහම සල්ලි ගැන විතරයි බලන්නෙ. හැමොම හොරකම් කරද්දි හොරු නොවන අය සමාජෙන් වඳ වෙලා යනවා.

    ReplyDelete
  3. අනේ මන්ද මලියො...
    අද රුහුණු කැම්පස් එකේ කෘෂී පීඨයේ තිබ්බ මෙන්න මෙහෙම ලොකු පෝස්ටරයක්..ඒකේ තිබ්බ අදහස මෙන්න මෙහෙමයි.
    " විශ්ව විදයාල ශිෂ්‍ය ශිෂයාවන්ගේ ඇදුම් පැලදුමු ගැන පරිපාලනය ඇගිලි ගැසීම් වලින් වලකින්න කියල" මට හරියටම වචන මතක නැහැ..

    අනේ මන්ද මගෙත් විශ්ව විධයාලය තමයි.. මට නම් හිතා ගන්න බැරි වුනා..

    ඉස්සරත් වලි දැනුත් වලි. ඉස්සර වලි දාගත්ත අය තාමත් උපාධිය අවසන් කරල නැහැ. මම හොදට අදුරන යාළු මිත්‍රයෝ ඉන්නව. දැන් දුක් වෙනවා...

    එලොවටත් නැති මෙලොවටත් නැති දෙයක්..

    ReplyDelete
  4. ඔය අන්තර් විස්ස විජ්ජාලේ වහලා දැම්මනම් සේරම ඉවරයිනේ.(ඔය ඇච් ඇස් සී විබාගෙන් පස්සේ ප්‍රයිවට් විස්ස විජ්ජාලෙකට යවන්න තාත්තාට සල්ලි තියනවා නේද පුතේ.)

    ReplyDelete
  5. "සිසු අරගල" නිසා පොදු ජනතාව අපහසුතාවයට පත් වෙන්නේ සම්පූර්ණයෙන් සිසුවන්ගේ වැරැද්දක් නිසා නොවෙයී, පොලීසියේ නොහැකියාව නිසා. ඕනෑම පුද්ගලයෙකුට අරගලයේ යෙදීමට අයිතියක් තිබෙනවා වාගේම, පොදු ස්ථාන වෙනත් වෙනත් දේ සදහා යොදා ගැනීමට අවසර ගන්න ඔනේ. සිසුවෙක් නොවෙයී, සැරියුත් මහ රහතන් වනන්සේ උනත්, නිසි අවසර නැතිව පොදු ස්තාන වෙනත් වෙනත් දෑ සදහා බාවිතා කිරීම වැරදී. ඒ උදවියට දඩුවම් දීමේ වගකීම තියෙන්නේ පොලීසියටයී.

    ReplyDelete
  6. මලී,
    ඔයා මොකද හිතන්නේ වත් මේ ලියලා තියන පෝස්ටරයේ සඳහන් උනා කියන "විශ්ව විදයාල ශිෂ්‍ය ශිෂයාවන්ගේ ඇදුම් පැලදුමු ගැන පරිපාලනය ඇගිලි ගැසීම් වලින් වලකින්න" දේ ගැන.
    මේක ඇත්ත නම්..ඇත්තටම විශ්ව විද්‍යාලයක පරිපාලනය සොයා බැලිය යුතුද හා පාලනය කලයුතුද එහි ඉන්න ශිෂ්‍ය ශිෂයාවන්ගේ ඇඳුම් පැලදුම් ගැන.සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයට එන බහුතරයක් පිරිස මට තේරෙන තරමින් නම් ඉතාමත් ඉහලම ජීවන තත්වයක් හිමි දෙමාපියන්ගේ දරුවන් නෙවෙයි.එහෙම නම් ඒ දරුවන් තමන්ගේ ඇඳුම් පැලදුම් ගන්නේ ලංකාවෙන්ම මිසක් විදේශයන්ගෙන් නෙවේනේ.
    එතකොට පරිපාලනය නෙවෙයිද මේ ලමයින්ට හේතු සපයන්නේ මොනවාම හරි දේකට එරෙහිවෙන්න කියලා.[හිතලා බලන්න මේ හේතුවම කොයි තරම් නොවැදගත්ද කියලා විශ්ව විද්‍යාල පරිපාලනයකට සොයා බැලීම් කරන්න]විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ ලදරු පාසලක සිසුන් නෙවෙයි.එය පාසලත් නෙවෙයි. එතන ඉන්න සියලුම දෙනා අවුරුදු දහ අටට වැඩි වැඩිහිටියන්.[අපේ රටේ ඡන්ද අයිතිය ලැබෙන්නේ අවුරුදු දහ අටට වැඩි අය වැඩිහිටියන් ලෙස සලකලා කියන අර්ථයෙන් සිතුවොත්..]තමන් අඳින ඇඳුම ගැන තමන්ට අවැසි තීරනයක් ගන්න අයිතියක් නැති සිසුන් කොහොමද අප්පේ තමන්ව පාලනය කලයුතු අයව තනියම තේරුම් අරගෙන කතිර ගහලා පාර්ලිමේන්තුවටයි ඊට පහලින් තියන අනිත් පරිපාලන ආයතන වලටයි මහජන නියෝජිතයින් පත් කරලා අරින්නේ..?
    **එක අතකට මේ වගේ අය තෝරලා ඇරපු මහජන නියෝජිතයෝ දිහා බැලුවාම මේ මිනිස්සුන්ට තමන් අදින්න ඕනේ ඇඳුමවත් තෝර ගන්න බැරුව ඇති තමා කියලත් මට හිතෙනවා වෙලාවකට.**
    මේ කරන දේවල් පිටිපස්සේ මර්ධනයක් එනවා කියන එක තේරුම් ගතයුතුයි කියලයි මම නම් හිතන්නේ.එහෙමයි කියලා හැමදෙනාම නිහඩව ගල්වෙලා බලාගෙන හිටියොත් මර්ධනය ගලාගෙන යන්නේ ඔවුන් මතින් පමනක් නෙවේ කියලා ඇයි තේරුම් නොගන්නේ..?
    ඔයා දැන් හිතයි මමත් විශ්ව විද්‍යාල සිසුවෙක් හරි සිසුවියක් හරි කියලා. කොහෙත්ම නෑ.අඩුම තරමින් මම ඉන්නේ ලංකාවේ වත් නෙවේ.ඒත් මම කිව්වේ මට හිතෙන දේ.මට ඇත්තටම පෙනිලා තියනවා ඔයා මේ හිතන විදියට හිතන අය වැඩී කියලා.

    *මෙහෙම ගියාම යම් දවසක ලංකාවෙ ත්‍රස්ථවාදියෙක් නොවෙන්නෙ ආණ්ඩුවෙ උදවිය විතරක් බවට පත් වෙලා නතර වෙන්න පුළුවන්..**
    h මෙහෙම කිව්වේ මොන අර්ථයෙන් උනත් මට හිතෙනවා මේ යන විදියට ඇත්තටම ත්‍රස්ථවාදියෙක් නොවෙන්නෙ ආණ්ඩුවෙ උදවිය විතරක් බවට පත් වෙලා නතර වෙන්න පුළුවන් කියලා.
    ඔයා මොකද ඒ ගැන හිතන්නේ කියලා දැන ගන්නත් මම කැමතියි.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කොහොමත් විශ්වවිද්‍යාල තුල දේශපාලනය තිබිය යුතුයි. හැබැයි දේශපාලනය කියන්නේ දැන් තියෙන ජාතියේ අන්තරයට කඩේ යන ජාතියේ දේශපාලනයකුත් නෙමෙයි.. විශ්ව විද්‍යාල සඳහා තෝරාගැනීම් ඇතුළු අනික් දේවල් සැලසුම් සහගතව නොතිබීමේ අවුලක් තමයි මෙතන වෙන්නේ.. දැන් විශ්ව විද්‍යාලයකත් පාසලකත් ලොකු වෙනසක් නෑ.. ඒක පාලනයටත් ලේ.සි තත්වයක් වෙන නිසා පරිපාලනයෙනුත් ඒ තත්වයක් දිරිමත් කරනවා.. විපරම බලලා නිගමන වලට එනවාට වඩා තත්වය ගැන සලකා බලා නිගමන වලට එන එක වඩා හොඳ වෙයි...

    ReplyDelete
  9. විශ්ව විද්‍යාල සිසුන් දිහා ගොඩක් අය බලන්නේ අමුතු විදිහට. සාමාන්‍යයෙන් කියන්නෙ මුන්ට තෙල වැඩි වෙලා කියලා... මම පිලි ගන්නවා සිසුන් අතේත් වැරදි ගොඩක් තියෙනවා.. සුළුතරයකගේ උවමනාවට බහුතරය කඩේ යනවා.මම කියන්නේ මම දකින දේ. රවා කියනවා වගේ අද හැමෝම තමන්ගේ අයිතිය ගන්න පොර කනවා. ඒකෙදි අනෙක් එකාට මොනා වුනත් කමක් නෑ කියන මතය දරන බොහෝ දෙනා ඉන්නවා..
    මේ ප්‍රශ්නෙදි ඇගිල්ල දික් වෙන්නේ සරසවි සිසුන් දිහාට විතරයි. මේක ප්‍රජාතන්ත්‍රවාදි රටක්ලු. කෝ රැසවීමේ නිදහස? කෝ කතා කිරිමේ නිදහස? පොලිසිය එදා කොළඹදි හැසිරුනු විදිහ කාටවත් පෙනුනේ නෑ මොකද ඔවුන් කල දේ හරි කියන්න හැමෝම ලැස්ති වෙලා හිටි නිසා.මම කියන්නේ නෑ එදා පාරවල් හරස් කරගෙන සිසුන් කලේ හරි දෙයක් කියලා.ඒකට දඩුවම් දීම වෙනම කාරණයක්.ඒත් ඒ වෙලාවේ ඔවුන් පහර දීලා තිවුනේ ගොඩාක් අමානුෂික විදිහට.ඒවා මාධ්‍ය දුන්නේ හරි අඩුවෙන්.ගැනු ළමයින්ට බිම ඇදන් වැටෙනකන් ගහලා. අදටත් සමහර ගෑනු ළමයින්ට නැගිට ගන්නවත් බෑ. ඔවුන්තග් පිටවල් පුරා බෙල්ට් පාරවල්.. සරසවි සිසුන් කියන්නේ ත්‍රස්තවාදින් නෙමෙයි.
    ඇයි කතා කරලා මේවා විසද ගන්න බැරි.දෙපැත්තම එකිනෙකාට බැන ගන්නවා මිසක් විසදුමක් දෙන්න හදන්නේ නෑ.. අනිත් එක කැම්පස් ඉන්න හැමෝම ජේ.වී.පී කාරයෝ නෙමෙයි

    ReplyDelete
  10. මලි.

    ඔයා මෙක ලියපු එක හොදයි. මම දැක්කා කෙනෙක් ඔයාගැන දන්නෙ නැතුව දෙයක් සටහනක් දාලා තියනවා.

    මගෙ අදහස පුද්ගලික විශ්වවිද්‍යාල ලංකාවෙ ඇති වෙන්න ඔනා.දක්ෂ කෙනෙක් බිහිවෙනවා නම් කොතනින් උනත් කමක් නැහැ එකෙනා රටට එන්න ඔනා. දුප්පත් අසරණ ගොවියන්ගෙ පුත්තු නිදහස් අධ්‍යාපනයට කියලා කොළඹට ඇවිල්ලා ආපහු ගමට ගිහින් ගම සංවර්ධනය කරෙ නැහැ. උනුත් කොලඹම පදිංචි වුණා. උගත් මිනිස්සුන්ගෙ සමාජය ඇතුලට ගිහින් බලද්දි එතන තියන ගොඩාක් අඩුපාඩු පෙනවා, නියම උගත්තු, ගරු කල හැකි අය ඉන්නෙ බොහොම අතලොස්සක් විතරයි.

    ReplyDelete
  11. ලිපියට ස්තූතියි.
    ඔයා කියන දේවල් සේරම ඇත්ත. හැබැයි මම හිතනව මේ ටිකත් ලියුවොත් හොදයි කියල.

    මුලින්ම අපි මාධ්‍යවලින් දේවල් පෙරා ගන්න ඕන කොහොමද කියන එක. සිසුන් දේශපාලනයෙ අත්කොලු නම් මම කියන්නෙ ඔය මාධ්‍ය ඊට වඩා සිය ගුනයකින් දේශපාලනයෙ අත්කොලු. මොකද ලංකාවෙ ස්වාධීන මාධ්‍ය අපිට දකින්නවත් නැති නිසා. දැන් උන් දේශපාලකයොන්ටත් වඩා ලමයින්ව අත්කොලු කරගෙන. එකක් උන් තමන්ගෙ ලොක්කට පක්ෂයි කියල පෙන්නන්න. අනික උන්ට ඕන විකිනෙන news වීම. මේ දෙකම හින්ද අපි මාධ්‍යයෙන් දේවල් ගන්න කොට පරිස්සම් වෙන්න ඕන. සමාජයට අවශ්‍ය, හිතකර දේවල් කැම්පස් වලින් උනාට මාධ්‍යයෙන් ඒව එලියට එනව අඩුයි. මොකද ඒවට දේශපාලනික හෝ වෙළද වටිනාකමක් නැති හින්ද.

    අනික අපේ මිනිස්සු දැන ගන්න ඕන දේශපාලනය කියන්නෙ පෝස්ටර්, පෙළපාලි, මරා ගැනීම් විතරක් නෙමෙයි කියල. කැම්පස් වල නිහඩව, ස්වාධීනව දේශපාලනය කරන අයත් තවම ඉන්නව. කවුරු හරි කියනවනම් කැම්පස් වල දේශපාලනය තහනම් කරන්න ඕන කියල ආයෙත් අපිට හැරිල බලන්න වෙනව සමාජ දර්ශන, ප්‍රවාද බොහොමයක් නිර්මාණය විය යුතු තැනක් නේද කැම්පස් කියන්නෙ කියල. එතනදි නිදහස කියන දේ අනිවාර්යයි.

    අනික අද ඇත්තම සිද්දිය නම් ශිෂ්‍ය ගැටලු ඉහවහ ගිහිල්ල. ඒවට විසදුම් දෙන්න බැරි පරිපාලනය එක එක කතා ගොතනව.
    මේක තමයි මර්දනය කියන්නෙ. උන් දන්නව ඒ තුලින් ශිෂ්‍යයන් ආවේගශීලී වෙනව කියල. එත් ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතාවයනුත් එමගින් ඉටුවෙනව.

    මේවගෙ ඇත්ත තත්වෙ කතාකරන්න රැස්වෙන්න වත් අද කැම්පස් උන්ට බෑ. ඒක තමයි දරුනුම මර්දනය. ඔයා කියන මර්දනය අත ලග නෙවෙයි ඒක සිද්ද වෙන්න පටන් ගෙන ඉවරයි.

    මේක මුලු සමාජෙටම පිළිලයක් වෙයිද කියලත් හිතෙනව. මොකද මර්දනයේ අවසානය මොකක්ද කියල අපට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

    මම මේ comment 1 ඇතුලෙ ශිෂ්‍යයන්ගෙ පැත්තට බර වෙන්න ලියුවට මම අන්තරේ වැඩ සාධාරනීකරය කරන්න යන්නෙ නෑ.

    ReplyDelete
  12. මේ සටහන අදට වඩාත් ගැලපෙනවා කියලා හිතුණා.

    ReplyDelete
  13. සටහන කියෙව්වේ නම් ඔයා ලියපු දවසේමයි. ඒත් චමිලගේ කතාවෙදි කීවා වගේ මම මේ සිසු අරගල ගැන වැඩියමක් දන්නේ නෑ.
    ඒත් අර හරේ කියපු කතාවට නම් සහමුලින්ම එකතුයි.

    ReplyDelete
  14. මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාලගෙ බදු මුදල් වලට දේශපාලකයො කරන ඕන දෙයක් කරබාගෙන ඉන්න ඔයාලට බදු මුදල් මතක් වෙන්නෙ මේ වෙලාවට විතරක් වීම.

    සමහර විට ඔයාලා පිළිගන්න අකමැති වුනාට වි.වි ශිෂ්‍යාට එරඓහිව තියෙන ඉරිසියාව තමයි ඔතන තියෙන ලොකුම හේතුව. (අපිට බැරි වුනා නේ, හොද වැඩේ ඕකුන්ට). ඒක ඛඔහොමටත් අපේ හැම දෙනාටම තියෙන ලෙඩක් නෙ. ඒකනෙ ලව් කරන්න බැරි වුන කැත පිරිමි ගෑණු , පෙම්වතුන්ට තහංචි දාලා පොලීසි වලට කුදලගෙන යන්නෙ. හැබැයි අර 25 අම්ම ගෙ ළමයා ලොකු වෙලා කැම්පස් ගියා නම් එයාට කැම්පස් යන තමයි මේ ලොකේ පොරවල්.

    ReplyDelete
  15. @nidhahasa
    [සමහර විට ඔයාලා පිළිගන්න අකමැති වුනාට වි.වි ශිෂ්‍යාට එරඓහිව තියෙන ඉරිසියාව තමයි ඔතන තියෙන ලොකුම හේතුව. (අපිට බැරි වුනා නේ, හොද වැඩේ ඕකුන්ට).]

    මේ කතාවටනම් විරුද්ධයි යාලුවා.

    ReplyDelete
  16. this is the first time i visited this blog.Anyway if you are a school student,its good that you are having a blog and some kind of a vision.But YOU ARE WRONG..U have never tried to think beyond the metaphors created by government media.thats true people hate Universities because they couldnt attend and also they try to send their children to universities.The reason is that the only way to have a considerably good life is having a good education.Try to think of future.If students have a good education and secure future in universities,why do they protest.Actually our universities are just like kindergartens when comparing with foreign universities. At least we should try to protect that.People should be brave enough to understand political dramas.On other hand all university student should have a political back ground.Because university is the place where new ideas are produced.Anyway I know one thing..this is the last breath of free education..Anyway hope you can understand what im try to say

    ReplyDelete
  17. පොට පටලාගත් නොගත් සැමදෙනාටම ඔබේ අදහස් වෙනුවෙන් තුති.

    ReplyDelete