Friday, September 24, 2010

සැප්තැම්බර් 24


වරුසාවේම,
ගියෙමු
තෙමුනෙමු
තේරුවෙමු
ගත්තෙමු
ආවෙමු
....
විස්තර
පසුවට
ලියමි




Thursday, September 23, 2010

අනං මනං ටිකක්..

සුනේ‍ත්‍රාවෝ

මම මේ දවස් වල ගෑණියෙක්ට ආදරේ කරනවා...!!!!!
සැප්තැම්බර් මාසේ සාහිත්‍යමාසය කියලා මං මේ ලියන කීවෙනි වතාවද මන්දා ගණන් ගන්න එපා තාම ප්‍රදර්ශණේට යන්න බැරි උනා ඉතිං තාම ‍උණ හොද වෙලා නෑ.. මේ දවස් වල සහලෝලා උ‍නකින් පෙලෙන ගමන් ඉන්නේ.. ඒ උනාට ‍‍කෂණික සහනය වගේ මේ ටිකේ හිතට වදින හොද පොත් ටිකක් කියවන්න ලැබුනා...එකම ලේඛිකාවකගේ.. මම සාමාන්‍යයෙන් පරිවර්තන නොවන සිංහල පොත් ගන්න වැඩිය කැමති නැහැ.. කාලයක් ඒ පොත් කියවන්නේවත් නැතුව හිටියා ඒත් දැන් හිතෙනවා හරි අපරාදේ කියලා..ඒ අදහස ඇති උනේ මේ පාර පුස්තකාලෙන් ගෙනාව සුනේත්‍රාගේ පොත් ටිකක් නිසා.. මුලින්ම කියෙව්වේ "බත් තරංග". පොතේ පිටිපස්සේ තියනවා බොහීමියානු ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා ඒ ව‍චනේ තේරුම
දන්නේ නැති උනාට පොත නම් මට හොදට අල්ලලා ගියා.. කොළඹ පහමාරේ මිනිස්සු ගැන බත් අම්මාගේ කුරු පුතා මේසේ යටට වෙලා කරන රේඩියෝව දිගේ අපිට කතාවක් විදියට දෙන එක තමයි බත් තරංග පොතේ තියෙන්නේ.. එක හුස්මට කියව‍ගෙන යන්න පුළුවන්.. ඇත්තෙන්ම මම ගොඩක් රස වින්දා....
බත් තරංග වලින් පස්සේ අතට ගත්තේ සුනේත්‍රා‍ගෙම මතක පොත .............................................................
මේක සරළවම තීරු ලිපි පෙලක්.. සුනේත්‍රා එයාගේ ජිවිතේ දවස් ගැන ලියපු.. මතක පොත රාත්‍රීන් ගණනාවක් සුනේත්‍රාවයි මාවයි එකට තිබ්බා... බස්එකේ ඔෆිස් එකේ.. ගෙදර.. හැම තැනදිම මගේ හිතේ ඇවිද්දේ සුනේත්‍රා.. ඒ මං හිතන්නේ මගේ හීන වලට සුනේත්‍රා පණ දීලා හින්දම වෙන්න ඇති.. මේ වෙනකන් මගේ හැබෑ ජිවිතේ ඉටු කරගන්න බැරි ‍උනු දේව
ල් නිදහසේ සුනේත්‍රා ලගා කරගෙන තියෙන හැටි කියවනකොට ඇත්තටම පොඩි ඊරිසියාවක් එක්ක ලොකු සතුටක් ඇතිවෙනවා.. බෑග් එකක් විතරක් අරගෙන තනියම පාරවල් දිගේ ලෝකේ දකින්න යන එක කොයි තරම් සතුටක්ද? ඒ විතරද ඈ රස විදින සාහිත්‍යය...! ඈ ජිවිතේ විදින අ‍පූරුව.. නිදහසේ මිනිසුන් එක්ක ගණුදෙණු කිරීම... මං හිතන්නේ ඒක අපේ රටේ ගෑණුන්ගෙන් බොහොම ටික දෙනෙක්ට විතරක් විදින්න ලැබෙන ‍අඩු පිරිසක් විදින්න කැමති තත්වයක්..! ඇත්තටම ලග හිටියා නම් සුනේත්‍රාව බදාගෙන ලොකූ උම්මා එකක් දෙනවා හැමදාම උ‍දේට අම්මට දෙනවා වගේ.. ‍ඒ තරම් ලොකු ආදරයක් මේ වෙලේ ම
ගේ හිතේ එයා ගැන තියෙන්නේ...මම මෙච්චර වෙලා කිසිම ගෞරවයක් නැතුව සුනේත්‍රා සුනේත්‍රා ගෑවේ මහ ලොකු ගෑණියෙක් වගේ.. ඇත්තටම එහෙම නෑ මං ඇයට ගරු කරනවා ඒත් මං හිතනවා සුනේත්‍රා රාජකරුණා මහත්මිය ම‍ට දැනෙන විදියට වැඩි ගරු නම්බු වලට වඩා සරළ හිතවත් අමාත්‍රණයකට වඩා කැමති ඇති...!

ස්ට්‍රෝබෙරි
අපි ඉතිං හද්ද පිටිසර ඩොටේ ගොඩේ මිනිස්සුනේ.. අපිට කොයින්ද පොශ් කෑම.. ! කිව්වට විශ්වාස කරන්න මං මේතාක් කාලෙකට ස්ට්‍රෝබෙරි කාලා නෑ.. අයිස්ක්‍රීම් වල එහෙම තියන ස්ට්‍රෝබෙරි රස නම් ඈක්කා.. මට පේන්න බෑ.. මං කැමති වැනිලා ‍රසටනේ....! ඒ වුනාට මේ පලතුරු සීසන් එකනේ.. පහුගිය මාසේ එහෙම සීසනල් ‍ෆෘට්ස්.. එහෙම නැත්තං වාරෙකට විතරක් හැදෙන පලතුරු වැඩියෙන් එළියට ආවා දකින්න ඇතිනේ.. මං කටුලොවි කෑවා.. එතකොට ගල්සියඹලා.. ගඩුගුඩා.. දිවුල්.. අලිපේර.. සේරම ජාති ටික කෑවා.. හැබැයි ඉතිං රඹුටන් නම් මිස් උනා.. මොකෝ මේපාර රඹුටන් වාරේ පටන් ගන්නකොටම මට උගුරේ අමාරුවක් ආවානේ.. ඩොක්ටර් අන්කල්ට ලෙඩේ කිව්වා විතරයි එයා ගත් කටට ඇහුවේ මෙයා මේ ටිකේ රඹුටන් එහෙම වැඩිය කෑවද කියලයි.. ඇත්තයි සත්තයි එතකොට මං මේ අවුරුද්දට රඹුටන් ගෙඩියක් අතින් අල්ලලා තිබ්බේ නෑ.. ඉතිං එහෙව් එකේ අර වගේ කතාවක් ඇහුවම දුක හිතෙනවානේ.. එදා එදා ඉදන් මේ වාරෙටම තාම කෑවේ
එකම එක රඹුටන් ගෙඩියයි...! :(
එංගේ පෝරීංග ඇහුවම මල්ලේ පොල් කිව්වා ඇතිනේ..
දැන් ස්ට්‍රෝබෙරි දිහාවට හැරෙමුකෝ..මම කවදාවත් ස්ට්‍රෝබෙරි කාලා නෑ කිව්වනේ..
ඒවුනා‍ට මං එව්වට
හරි ආසයි.. ඒ ලස්සන නිසා.. පාට හා හැඩය නිසා.. ගන්නවා ගන්නවා අරන් කනවා කියලා හිත හිත හිටියට හැමදාම කලේ ඕක පස්සට දාන එකමයි.. ඉතිං අද ටවුන් ගිය වෙලේ පෙට්ටියක් අරන් කෑවා.. ඔන්න ලියලා තියා ගන්න.. වාද්දුවේ මහජන බැංකුව ඉස්සරහදි බස් එක ඇතුලෙදි මං මගේ ජිවිතේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගෙඩියේ රස බැලුවා.. හ්ම්ම්ම්..
වරදක් නෑ.. ඉතිං. හොදා...!




කුමාරොදය
අද අපේ අල්ලපු ගෙදර නංගි ගේ ‍හැපි ‍බර්ත් ඩේ එක.. අනේ පව් එයාට නම් ඉතිං වැඩිය හැපි නැතුව ඇති.. මොකෝ එයාගේ තාත්තිත් රටනේ ඉන්නේ.. ඒ මිනිහා තෑගි එවන්නේ නෑ.. එනකොට ගේනවා විතරයි.. අද උදේ තාත්තිත් එක්ක ස්කයිප් කතාකරද්දි මේ පොඩි එකී තාත්තිට කියලා මට ඉතිං කවුරුවත් තෑගි දෙන්නේ නැහැනේ කියලා..එයාගේ අම්මිට කොහේවත් යන්න විදියක් නෑ මල්ලි බබා තාම පොඩිම පොඩි හින්දා.. ඔය කතාව ‍නගාගේ අම්මා කිව්වේ අද අපි එයාට ගෙනාව තෑග්ග වැට හරහා කිරිබත් ගෙනාපු පිගාන උඩින් නගාගේ තෑග්ගත් තියලා දෙද්දියි.. පොඩි එකී නම් තෑග්ග උස්සන් ගෙට දිව්වා අම්මා අපිත් එක්ක කතාව කිව්වා.. අපිත් ඉතිං ලොකු තෑගි වලට නෙවෙයි පොත් ටිකක් තමා දුනේනේ.. කතා පොතකුයි.. ඩොට් ටු ඩොට් පොතකුයි.. ස්ටිකර් ෂීට් එකකුයි එක්ක කුමාරොදය තියනවා දැකලා එයාට ලබන අවුරුද්දට ඕන කරන පොත ගත්තා.. අර කතාව දැනගෙන හිටියා නම් තව මොන මොනා හරි දෙවනවා.. පව්නේ කෙල්ල..
කොහොම උනත් ඉතිං කාට දෙන පොතක් උනත් මගේ සමීක්ෂණයට භාජනය කරලානේ මම දෙන්නේ.. ඉතිං අර කතාපොතට‍ත් කලින් කුමාරොදයට අත ගියා.. පුරුදු පොතනේ.. ඉස්සර අම්මා මට පොත් සෙට් එකම අරන් දීලා තිබුනා.. දැන් පොත් ඉස්සර වගේ නෑ පිංතූරත් අළුත් වෙලා.. පාට පාට වෙලා.. අපේ කාලේ මට මතකයි මට මතකයි පුංචි කාලේ මං කිවියට තිබ්බේ ආතා මිදුලේ කෝට්ටකින් චිත්‍රයක් අදින පිංතූරයක් නේද? මට මතක එහෙමයි ඒ වුනාට දැන් පොතේ ඒ චිත්ත්‍රේ නෑ.. ඒ වගේ වෙනස් කම් වෙලා.. දැන් ලොකේ දියුණුවත් එක්ක දරුවන්ට ලැබෙන දේවලුත් වෙනස් වෙනවා...! ශෝක්..!

Sunday, September 19, 2010

පොත් වෙනුවෙන් ඉල්ලීමක්!


මං හිතන්නේ මේ දවස් වල කට්ටිය ගොඩක් බිසී පාටයි.. බලන බලන අත පොත් ගැන කතා වෙනවා දකිනකොටත් හිතට හරි සංතෝසයි.. ‍ඊයෙන් පටන් ගත්ත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට ඊයේම ගියපු අයත් ඉන්නවානේ.. සංතෝසයි.. අප්‍රමාණ සංතෝසයි... ගිය අවුරුදු වල නම් මේ වෙනකොට මමත් ගිහින් ඒත් ඉතිං මේ අවුරුද්දේ ටිකක් පහුවෙලා යන්න..ඒ කියන්නේ සතිමැද දවසක යන්න හිතුවා සෙනග නැති වෙලාවක නිදහසේ තොරගන්න.. මොකද වෙන අවුරුදු වල නම් ගන්න ඕන පොත් ලැයිස්තුවක් හදන් ගිහින් ඒ ටික හොයලා අරගත්ත එකනේ කලේ.. ඇත්තම කියනවා නම් ‍මුළු ලැයිස්තුවම ඉවර වෙන්න ගන්න හම්බ වෙලා නම් නෑ කවදාවත්...! හික් හික්...!

ඒත් ඉතිං ‍මේ අවුරුද්දේ එහෙම ලැයිස්තුවක් හදාගන්න බැරි උනා.. අපි දැන් හෙන බිසී මිනිස්සුනේ..ඉතිං යාළුවෙක් කිව්වේ මේ සැරේ තියන පොත් වල ලැයිස්තුවක් හදන් වරෙන් කට්ටිය ලග නැති පොත් බලලා ගමු කියලා.. ඒකත් හොදයි වගේ අදහස.. එතකොට ඉතිං සමාදානයේ බෙදා හදාගෙන කියවන්න පුළුවන්.. අඩු වියදමකින් වැඩි වැඩකොටසක්..!

ඒ වුනාට ඉතිං ඔය බෙදා හදා ගැනිල්ල එපා වෙන්නේ.. කියවලා දෙන්න අරන් යන පොත්
ආයේ ගෙනත් නොදිල්ල..! අර කියන්නේ "ස්ත්‍රී රත්නං පුස්තක රත්නං පරහස්ත ගත්තං ගතං ගතං.." කියලා.. අනේ විහිළුවට වගේ කිව්වට.. ඔය වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියන අය තමයි ඒකේ වේදනාව දන්නේ..! අපි ඉතිං ‍සල්ලි වලට කරගන්න දෙයක් නැති කමට පොත් ගන්න මිනිස්සු නෙවෙයිනේ.. උවමනාවට ආසාවට අනිත් ‍වැඩ දාහක් පස්සට දාලා ඒ සල්ලි වලින් පොත් ගන්න අය නිසා සල්ලි දීලා ගත්ත පොතක් කවුරු හරි ගෙනිහින් ගෙනත් නොදෙනවා කියන්නේ ඇගෙන් ඇටයක් යනවා වගේ වැඩක්..! ඔය වගේ දීපු පොත් වලින් ආපහු ආවේ නැති පොත් ගොඩයි.. කියවන්න අකමැති පොත් නම් නැති උනත් කමක් නෑ කියලා හිත හදාගත්තැහැකි.. ඒ උනා‍‍ට
කාන්තාරයේ කුසුම,කවදාද මං ආයේ පාසැල් යන්නේ, කෆ්කා මුහුදු වෙරළේ, අටවක පුත්තු වගේ පොත් ගැන මතක් වෙද්දි හී‍ල්ලෙනවා..!මොකද පෞද්ගලික පොත් එකතු තියාගන්න ආස අයට එකවතාවක් ගත්ත පොතක් නැවත වතාවක් ගන්න වෙනවා කියන‍්නේ හරි අපරාදයක්..! ඒත් අවශ්‍ය පොත් නොගෙනත් බෑ...!!

අනේ මේ ඉල්ලීම පොත් ගන්නේ නැතිව අනුන්ගෙන් ඉල්ලං ‍කියවන අයට.. අනේ පොත් ගෙනිච්චට කමක් නෑ.. ආයේ අයිති කාරයට හැකි ඉක්මනින් ලැබෙන්න සලස්වන්න..!පොත් ආයේ ඉල්ලන එක පෙරේත කමක් වත් ලෝබ කමක් වත් නෙවෙයි.. ඒක එක්තරා ආත්මාර්ථකාමී ආදරයක්! මොකද කවුරුවත් තමන්ගේ කසාද නෝනව වත් මහත්තයා වවත් තව කෙනෙකුට ගෙනිහින් තියාගන්න දෙන්නේ නැහැනේ.. ඒ වගේ තමයි.. පොත් වලට පණ නැති උනාට.. වෙලාවකට පණ එනවා.. මාව විශ්වාස කරන්න..! පොත් කියන්නේ හරිම ප්‍රේමණීය ආදරයක්.. ලේ සුවද දැනෙන සහෝදරකමක්..! අනේ ඒ බැදීම විනාස කරන්න එපා..! තමන් ලග තියන අනුන්ගේ පොත් අයිතිකාරයටම දෙන්න.. බලන්න ඒ වෙලාවට ඒ කෙනාගේ මූනේ කොයි තරම් ලස්සන හිනාවක් ඇදෙයිද කියලා.....!!!


Thursday, September 16, 2010

සර්ප රාත්‍රීය


පෙර එක් ඊයේ නම් දිනෙක රාත්‍රීයේ අප නිවස නම් ස්ථානයේ මිතුරෙකු වෙනුවෙන් පැවති සමුගැනීමේ සාදයෙක් අනතුරුව එක්තරා මම නම් දැරිවියක විසින් යි අස්පස් කටයුතු කෙලවර කිරීමෙන් අනතුරුව මුළුතැන් ගෙය අමදිමින් සිටින කල්හී සර්පයෙකුව දකින ලදි..!

"අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ.."යැයි කටට එන නෑදෑ කම් කියා මේ දැරිවිය උදව් ඉල්ලීමෙන් පලක් නොවූවද අවසයේ පැමිණි මිතුරු තෙමෙට දුක කියා.. අන්න අතනට මුල්ලට සර්පයෙක් ඇදු‍නා යැයි පැවසීය...!

ඒ මොහොතේ නැවත පාදුර්භූත වූ සර්පතෙම ක්ෂණයකින් පෝරණුව මතට නැගීගිය සේක...! අවසානයේ පැමිණි අම්මා කෝ කෝ යැයි සර්පයා සොයන විට.. "බය වෙන්න දෙයක් නෑ ඇන්ටි ඌ පොඩි සතෙක් යැයි තෙපලු මිතුරු තෙම.. දැන් මොකෝ කරන්නේ" යැයි.. දැරියගෙන් විමසන ලදී..

බලු පැටවු.. පුසූ පැටව්.. අලි පැටවු.. කුරුළු පැටව්.. හා සිංහ කොටි ආදී සතුන් කෙරෙහි මහා කරුණාව පහල වුවද කිසි ‍දිනෙක සර්පයින්.. මදුරුවන්.. මැක්කන් කෙරෙහි දුකක් පහළ නොවන මේ දැරිවියගේ සිතට ආවේ ‍"වෙන මොනා කරන්නද මරලා දාමු.." යන්න පමණමය...!

මේ මහා සර්ප සටන සදහා රතු කට්ට පැන නිදි ‍තුරුලට වැද සිටි පියාණෝ සහබාගී කරවා ගැනීම ඟං දියට ඉණි කැපීමක් මෙන් යැයි පෙණුනු අතර.. අපිම වැඩේ ගොඩදාමුයි පවසමින්.. මිතුරාද දැරියද සර්ප සටනට පිවිසියහ...!

මිතුරා අතර වේවැලක් මෙන් කෝටුවකි..! දැරිය අත ටෝච්චුවකි.. සටනට ගැලපෙන ආයුධයක් ගැනීමට මිතුරා පෙලබෙන පාටක් ද නැත...! දැන් සතා මරන්නේ කෝටුවෙන් ගසාලාදැයි ඇසූ කල්හී.. මිතුරා විසින්..."දැන් මං ‍මූව මරන්න ඕනෑදැයි.." ඇසුවේය.. තොට බැරි නම් පැත්තකට වෙයන් යැයි පැවසූ දැරිය විසින් පොරෝ කෙටේරියක් අතට ගන්නා ලදි...!

මේ උඹ පැත්තකට වෙයන් යැයි පැවසූ මිතුරුතෙම.. අවසානයේ පොරණුව මත වූ වළං.. ලිප් ආදිය සෙමෙන් ඉවත් කරමින් සිටින විට මෝටින් ක්ෂ්‍ණික කැරපොත්තන් නාෂකය ගෙන ආ මව් තෙම මේක ස්ප්‍රේ කරන්න ඌ මත් වේ යැයි පැවසුවද.. දැරියවද මිතුරාවද මෝල් කරමින් මෝර්ටින් සැර වැදී ආවේස වූ සර්ප තෙම පෝරණුවෙන් බිමට බැස කබඩයක් මුල්ලට රිංගා ගත්සේක...! වැඩේ මළසේක වූයේ ඉක්බිතිය...!

"‍යකෝ ඒ තිත් පොළගෙක් කෑවොත් බඩුම තමයි "පැවසූ මිතුරු තෙම සියළු ශක්තීන් එකතු‍ කොට අවසාන වශයෙන් පුරුශ ධෛර්ය උපදවා.. සරුපයා මැරීමට සූදානම් විය.. කෝකටත් කියා ප්ලාස්ටික් පුටු දෙකක් මතට නැගි මිතුරා හා දැරිවිය කබඩය පෙරලා සතා මැරීමට ප්ලෑන් A සඳහා පිඹුරු පත් සකස් කර අවසන් වූ විට.. එතකොට ප්ලෑන් B එක කුමක් දැයි මිතුරා විමසීය.. ඒක එතකොට යැයි පැවසූ දැරිය අතින් ගත් සවලකින්
යුක්තව පුටුව මත නැගී සටනට එලබීයේය..!

අහෝ..!! ලත් තැනම ලොප් කරමින් ප්ලෑන් ඒ අසර්ථක වූ අතර සර්ප තෙම තවත් මුල්ලකට ඇදී ගියේය.. මේ අතර පැමිණි පියණෝ.. කෝ කෝ යැයි කියමින් සර්පයා උන් මුල්ලට යෑමට සැරසෙන අතර සරුපයා දැක දැක සවල් පහරක් එල්ල කිරීමට අත දිග මදි යැයි කෑ ගසන දැරිවිය.. අනිත් අතින් පියාව වලකාලමින් සිටින අතර පුටුවෙන් ඇදවැටී පයක් සිඳ ගැනීමෙන් බේරුනේ අනූනවයෙන්ය..! ඔය අතර සිහි එළවා ගත් මිතුරු තෙම මෝල් ගසක් හා තවත් මොකක්දෝ පටියක් මෙන් ලීයක් ගෙන.. පොරක ‍මෙන් සර්පයා කෙලවරක් කොට දැමුයේ.. සර්ප කතා වස්තුව එයින් නිමාවට පත් කරවමිනි...!

එයින් පසු ජායාරූප කිහිපයකට ලක් වූ පරලෝකප්‍රාප්ත සර්පතෙම ආදාහණය කල අතර.. සර්ප සටනේ මහමොළ කරු වූ මිතුරු තෙම අඩු සීනි ‍ප්ලේන්ටියක් බී වැය වූ ශක්තිය නැවත ලබා ගත්තේය..!

සර්ප සටන් ජවනිකාව එයින් අවසන් වන නමුත් එදිනම රාත්‍රියේ දිට්ඨ ධර්මවේදනීය කර්මයට අනූව සර්පඝාතක මිතුරු තෙම ඇතුළු සෙසු පිරිසට විදුලිය ඇණහිටීම නිසා රාත්‍රී පුරා උණුසුමින් පීඩා විදිමින් මදුරු භක්ෂණයට ලක්වෙමින් අසීරු රැයක් පහන් කරලීමට සිදුවිය..!

---------
මොනවා උනත් සත්තු අපේ ගෙවල්තුලට පැමිණීම වැරදිය
එසේ පැමිණෙන සතුන් මැරීම හරිය
මක්නිසාද යත් "විෂඝෝර ස්ර්පයා දැක නෑර මෝඩයා"
යැයි පැරණි කවියෝද කියන හෙයිනි..

අනිත් අතින් අපිත් වැරදිය
ඒ උන්ගේ වාස්ථාන අසල අපි ගෙවල් හැදීමය
එසේ ‍කර උන් දුටු තැන මරා දමන අප ද
වැරදි කරුවන්ය..

නමුත්

කරන්නට දෙයක් නැත..
ෆිටස්ට් සවයිව් යනුවෙන් තියරියක් ඇත
එක්කෝ උන් සිටිය යුතුය
නැත්තං අප සිටිය යුතුය
අපි දෙගොල්ලෝම සිටින්නට නම්
අප එකිනෙකා ඇස නොගැටී සිටිය යුතුය..

ඇස ගැටිනි.. ඒනිසා මරා දැමුවෙමු.




මෙය කුහක ස්වයං වින්දනයක් නොව.. ‍හුදෙක් බ්ලොග් සටහනක් පමණී

Tuesday, September 14, 2010

අහස දිහාවට...

එක දවසක් අහස දිහාවට ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කන් කියන්නෙ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ දැක්කෙත් අද අහස

ලොවම ඔබේ යට මං වාගෙම හිනාවෙන්න අහස
ඔබව අපට දුර නොවන වගට තව ළං වෙන්නකෝ අහස

ලාල ලාල ලා ලාල ලාල ලා ලාල ලාල ලාල ////

එක දවසක් අහස දිහාවට ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කන් කියන්නෙ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ දැක්කෙත් අද අහස

ඔබේ වියන යට ඔබේ හෙවණ යට හැරයන්නද කාව
තරහ අවසරයි අපේ අහස යට අපි අපිමයි තාම...

ලාල ලාල ලා ලාල ලාල ලා ලාල ලාල ලාල ////

මේක මේ මං ලිව්ව එකක් නම් නෙවෙයි.. Skitzo ලාගේ මං ලඟදි අහන්න ලැබුනු සිංදුවක්.. මේක අහන හැම වෙලාවකම මං විඳින හැඟීම තව ටික දෙනෙක් අතර හරි බෙදා ගන්න හිතුන හින්දයි මේ විදියට ලියලා තියන්න හිතුවේ.. මේ සිංදුවත් එක්කම‍ මේ දවස් වල මං කියවන සුනේත්‍රා ගේ මතක පොතේ "අතීතකාමය හා ළමයා" කියන පරිච්ජේදයත් හරි ලස්සනට ගැලපෙනවා.. මේ දෙකේම තියෙන්නේ පොඩි කාලේ අපියි දැන් අපියි අතර වෙනස..

ඇත්ත පොඩි කාලේ අපියි දැන් අපියි කියන දේ අතර ඇගපත උස්මහත් වෙච්ච ගතිය ඇරෙන්න වෙන වෙනසක් නෑ කියලා අපි අපි ගැනම හිතයි.. නමුත් ඒක එහෙම නෙවෙයි.. පොඩි කාලේ අපි දේවල් දැක්ක විදියයි.. දැන් දකින විදියයි ‍හරි වෙනස්.. සමහර වෙලාවට ඉස්සර දැක්ක දේවල් අපි දැන් දකින්නේවත් දැක්කත් බලන්නෙත් නැති තත්වෙට පත්වෙලා.. හරියට අහස වගේ.. පුංචි කාලේ අපිට අහස කියන්නේ කොයි තරම් හීන ගෙනාපු තැනක්ද? වළාකුළු,ඉර,හඳ,තරු ඔය හැම දෙයක් අස්සේම අපි වෙන වෙනම හදාගත්ත කතන්දර තිබුනා නේද? ඉස්සර මං හිතුවෙම දිව්‍යලොකේ තියෙන්නේ තරු අස්සේ කියලා.. ඒත් පස්සේ කාලෙකදි ඒවා නිකම්ම නිකං ග්‍රහලෝක ග්‍රහක වෙලා ගියා.. එතනින් එහාට අර පුංචි දවස් වල දුන්නු වටිනාකම ඒ විදියට‍ම ඒවට ‍දෙන්න හිතෙන්නෙත් නැද්ද මන්දා.. ඒත් මං කොහොම හිතුවත් තරු තාමත් ඒ විදියමයි.. වෙනස තියෙන්නේ මං දැකින විදියෙයි.. ඒත් හිතලා බලනකොට හිතෙනවා දැන් දකිනවිදියට වඩා පොඩිකාලේ ඒවා දැක්ක විදිය හොදයි නේද කියලත්..!

සුනේත්‍රා ‍‍එයාගේ පොතේ කියනවා එයා‍ පොඩි කාලේ හිටි ගෙදරක තිබුන ලොකු පඩිය දැන් දැක්කම හරිම පොඩියට පේන හැටි.. එතකොට හොදම හොදයි කියලා ඒ කාලේ හිතපු මාමා කෙනෙක් දැන් සාමාන්‍ය කෙනෙක් විදියට පේන හැටි.. ඒ වගේ දේවල් කියනවා නම් කොයි තරම් නම් අපිට තියනවද? මට මතකයි අපේ ගේ හදන දවස් වල මං අපේ තාත්තට කිව්වා ගෙදර ස්විච් ‍ඔක්කොම පහලින් අල්ලන්න එතකොට මට ඒවා ඔන් කරන්න ලේසියි නැත්තං මට උස මදිනේ කියලා.. දැන් නම් ඒවා මතක් වෙද්දි හිනාත් යනවා.. ඒත් ඉස්සර එහෙමයි..

ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර..
කියනවා නම් ඉස්සර කතා කොයි තරම් තියනවාද නේද? ඔය අපේ මිස්ට කතන්දරලා එහෙම කියන්නෙම ඉස්සර කතන්දරනේ.. ඇයි ‍ඒ? දැනට වඩා ඉස්සර හොද හින්දද නැත්තං දැන් කාලේ කතන්දර ලියන්න දේවල් සිද්ද වෙන්නේ නැද්ද? එහෙම නෙවෙයි නේද? දැන් සිද්ද වෙන දේවලට වඩා ඉස්සර දේවල් වලට ඇන්ටික් වැලිව් එකක් තියනවානේ.. හික් හික්.. අනික තව අවුරුදු පහක් හයක් ගියාම දැන් දේවලුත් ‍බ්ලොග් වලට එයි ඉස්සර කතන්දරයක් කියලා.. එහෙම තමයි ජිවිතේ හැටි.. නොදකින අනාගතේට වඩා අත්විදින වර්තමානෙට වඩා අපි අත්විදිපු අතීතෙට ආසයි.. සිද්ද වුනේ මොකක්ද කියලා අපි හරියටම දන්න නිසා.. හරියට අපේ බලු පැටියට අසනීප වෙන වෙලාවට දෙන්න ගෙනා‍පු අසමෝදගම් බෝතලේ දැන් එයාට වඩා ලෙඩ නැතත් රසට ආස නිසා මං කටේ හලාගන්නවා වගේ තමයි.. ඇත්තටම ‍බඩේ අමාරුවක් නැතත් පොඩිකාලේ බිව්ව අසමෝදගම් රහට ආස නිසා ඒ රස ජිවිතේට ආස නිසා ආයෙත් බොනවා වගේ..

කොහොම උනත් අන්තිමේ කොහොම හරි ඉතිරි වෙන්නේ මේ අහස යට අපිමයි..හිතට එකගව ජිවත් වුනත් නැතත් අපි අපිමයි..! මේ හැම වගකීම්.. බැදීම් හැම දේ‍කින්ම මොහොතක් නිදහස් වෙලා මේ සිංදුවට විනාඩි 4ක් වෙන් කරලා ඇස් දෙක පියාගෙන අහලා බලන්න..මෙච්චර වෙලා හරි ගැලපිල්ලක් මුලක් මැදක් අගක් නැතුව මං මේ කිව්වේ මොනා ගැනද කියලා තේරෙයි සමහරවිට... හරියට පොඩි කාලේ කතාවක් කියනවා වගේ....



Thursday, September 9, 2010

ආදරණීය සැප්තැම්බර්.


අපි අපේ ජිවිත වල එක එක දේවල් වලට ආදරේ කලාට මං හිතන්නේ අපි අවුරුද්දේ මාස වලට ආදරේ කරන්නේ නම් අඩුවෙන්..හැබැයි ඉතිං ස්කෝලේ යන කාලේ අපි හැමෝම අප්‍රි‍යෙල්, අගෝස්තු, දෙසැම්බර් මාස වලට කැමති වෙන්න ඇති නිවාඩු ලැබෙන නිසා.. ඒත් ඉතිං දැන් ‍අපේ ජිවිත වල එහෙම මාස ගණන් නිවාඩු ‍නැහැනේ(මං කිව්වේ ගොඩ දෙනෙකුට) ඉතිං හැම මාසෙම හැම දවසක්ම එක වගේ.. එහෙම එකේ අමුතුවෙන් මාසෙකට ආදරේ කරන එක ටිකක් පිස්සුවක් වගේ උනාට මං ආදරෙයි සැප්තැම්බර් මාසේට වැඩියෙන්ම...
ඇත්ත ඉස්සර නම් වැඩියෙන්ම කැමති උනේ ජනවාරි මාසෙට හේතුව ස්කෝලේ අළුත් පන්තියකට අළුත් පොත් අරන් යන හින්දම නෙමෙයි.. මගේ උපන්දිනේ නිසා. ඒත් දැන් නම් මම වැඩියම කැමති සැප්තැම්බරේට... සිංහල ක්‍රමේට බිනර මාසෙට..

ඉස්සර මට සැප්තැම්බර් මාසෙටම වැදගත් උනේ සැප්.1 වෙනිදා විතරයි.. මොකෝ එදාට තමයි මයේ අම්මාගේ උපන්දිනේ.. පුංචි දවස් වල තෑගි දෙන්න සල්ලි නැති නිසා මං එයාට තෑග්ගට දෙන්නේ වත්තෙන් කඩා ගන්න පින්න මලක් නැත්තං වතුසුද්ද මලක්. දැන් නම් ඉතිං එහෙම නෑ.. ඒත් අම්මාට තෑගි දෙන එක නතර කරලත් නෑ.. ටික කාලෙකින් සැප්.1වෙනිදා තව ටිකක් වැදගත් උනා.. හේතුව අපේ හෙලන්ගේ උපන්දිනෙත් එදාටම යෙදීම.. හෙලන්ව මට හම්බ උනේ උ.පෙළ පංතිවලදි.. ‍කාලයක් යද්දි යාළුවන්ගේ උපන්දින අමතක වෙලා ගියත් මට මං මැරෙනකං හෙලන්ගේ උපන්දිනේ අමතක වෙන එකක් නෑ.(හැබැයි මං මේ පාර හෙලන්ට සුබ පැතුවේ නෑ.. හැබැයි හෙලන්ව අමතක කරලත් නෑ. අනේ මන්දා ඒ මගේ හැටි.) තවත් ටිකක් කල් ගියාම සැප්.1 වෙනිදා ඉපදිච්ච තව කෙනෙක් මට දැනගන්න ලැබුනා.. ඇත්තටම මට හරි සතුටුයි ඒ මගේ අක්කා කියන්න.. ටිකක් විතර සැරයි තමයි.. කාලයක් තිස්සේ ජාලෙදි කතා කරලා පහුගිය මාස දෙක තුනකට කලින් මුලින්ම මුණ ගැහුනු වෙලේ මට හිතුනේ මගේ අම්මත් පිටරටක හිටියා නම් ඒ වගේ වෙයි කියලා(මේ කතාව මං කාටවත් කියලා නෑ.. ඒත් මේ තරං වෙලා මං මේ කියපු අක්කා හිනා වෙන සමහර වෙලාවට මට මගේ අම්මව මතක් වෙනවා.. ඒකට හිනාව විතරක් නෙවෙයි.. පණ්ඩිත අම්මන්ඩියෙක් වගේ ‍එයා අපිට දෙන උපදෙස්,අවවාද,අණකිරීම් එක්කම එයාගේ ඇතුලේ තියන මනුස්සකමයි.. ඉක්මනට කෙන්ති ගිහින් ඉක්මනට කූල් වෙන ගතියත් හින්දා වෙන්න ඇති.) මං මෙච්චර වෙලා කියෙව්වේ අපේ මැරංගි හෙවත් බුරු බබී ගැන.. කවුරුවත් හිතන්න එපා මං මේ රංගිට බටර් ගානවා කියලා.. ඒත් මං කිව්වේ අවංකව මට හිතෙන දේ...!

සැප්තැම්බර් මට තවත් වැදගත් වෙන හේතුවක් එකතු උනා.. ඒ තමයි බුරූ නිසා අපි අදුනගත්තු චරී බොයි ගේ උපන්දිනේ.. දවස් තුන හතරකට වඩා මුණනොගැහුනාට.. මුණගැහුනු හැමවෙලාවෙම හරිම කූල් ‍‍එකේ කම්මුල් පුරා වලගැහෙන විදියට කට කණට යන තරම් ලොකුවට හිනා වෙන චරී බෝයි අයියාගේ උපන්දිනේ සැප්.3 ‍තියන නිසා මීට පස්සේ අපි මේ මාසෙට තව ටිකක් බිසී වෙනවා..

3‍ වෙනිදට පස්සේ 8. හපේ අප්පේ...!!!! මොනා කියන්නද? ‍අපේ ‍බ්ලොගී කෙලී ඉපදිලා තියෙන්නේ එසේ මෙසේ දවසක නෙවෙයිනේ... සැප්තැම්බර් 8වෙනිදා කියන්නේ මගේ ජිවිතේ අළුත් ආරම්භෙක ඇරඹුමක් සටහන් වෙන දවසක්... අද‍ දක්වා මේ විදියට ලියන්නත්.. මේ විදියට ජිවිතේ දිහා දකින්නත්.. මේ තරම් යාළුවෝ ගොඩක් මැද නිදහසේ ඉන්නත් මට යිය වෙන මගේ ජිවිතේ අනිත් අර්ධය පණ ලැබුවේ මීට හරියටම අවුරුදු 2කට කලින් සැප්තැම්බර් 8වෙනිදා‍වක..ජිවිතේ සිද්ද වෙන හැමදේකම හොද පැත්ත සරළ විදියට දකින්න මට පුරුදු කරන.. එහෙම කරන්න හිතහදාගන්න හයිය නැති වෙලාවට ජිවත් වෙනකොට ජිවිතේට මුණදෙන්නේ කොහොමද කියන දේ එයා දන්න සිමිත වචන ගොඩ අස්සේ අසීමාන්තිකව කියා දෙන.. සමහර අයට අනූව මට නොගැලපෙන.. තවත් අයට අනූව මට සෙට් වුනේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරි.. හැබැයි මට අනූව ම‍ටම ගැලපෙන.. මාව ඉවසන මාව දරාගන්න ඒ ආදරේ හැම සැප්තැම්බර් 8 වෙනිදාම ඇනිවසරියක් කියලා එකක් සමරනවා.. ඉතිං මට සැප්තැම්බර් වැදගත් නොවී කොහොමද?

ඔය එක්කම ජිවිතේ මොහොතවල් ගැන කාලයක් අපිට කවි වලින්... කතා වලින් කියාදීපු.. දැන් නම් ආදරේ නිසා රජකම නෙවෙයි සාහිත්‍යත් අමතක කරපු අපේ බෝමන් කොලුවා අද විවාහ උනා.. ඒ කියන්නේ සැප්තැම්බර් 9 වෙනිදා වන අද දවසේ.. (මේ ලියන්නෙත් ඒහේ ගිහින් ඇවිත්..) අදින් පස්සේ හැම සැප්.9 වෙනිදාකම උන්දෙන්නටත් ඇනිවරසරියක් තියෙයි.. ශෝක්..!!

‍ඔය උපන්දින..ප්‍රේමකතා අස්සේ තව දෙයක් තියනවා.. ඒ තමයි අපි හැමෝගෙම පොදු ආ‍දරේ සමරන්නෙත් සැප්තැම්බරේ වීම.. ඒ කිව්වේ... බිනර මහ කියන්නේ.. සාහිත්‍ය මාසය.. ‍‍‍අඩුවට පොත් ගන්න ඇඟිලි ගණින.. ජාත්‍යන්තර ‍පොත් ප්‍රදර්ශණය වගේම ගුණසේන වගේ ලොකු පොත් අලෙවිසැල් වල මාසය පුරාම වට්ටම් දෙන ‍මේ මාසය ගොඩක් පොත් ගුල්ලන්ට එක්තරා විදියක මඟුලක්නෙවැ.... සමහරු අවුරුද්ද පුරාම ඕකට ඇඟිලි ගණිනවා.. මේ මාසේ ප්‍රදර්ශනේ තියෙන්නේ සැප්18 ඉදන් 26 වෙනකම්.. ඔන්න දැන්මම දින වෙන් කරලා හරිබරි ගැහිලා සූදානම් වෙන එකයි ඇත්තේ.

ඉතිං වියදම් ටිකක් සැර මාසයක් උනත් මේ මාසේට මං ආදරේ නොකර කොහොමද... මේ තරම් ආදරණීය දේවල් සිද්ධ වෙනකොට....!


පිංතූරේ මෙතනින්