ඉතිං, ඊළඟට අපි කල්පනා කලේ ගමන් මාර්ගය, ප්‍රවාහණ ක්‍රමය, කෑම බීම හා නවාතැන් ගැන. මේ කාරණා වලදි අපේ කාලය හා මහන්සිය හා වියදම අවම වීම කියන කරණු වගේම වෙනසක් සහිත වීමත් අවශ්‍ය වුණා. හුංගම ආසන්නයේ නවාතැන් ගන්නවා නම් අවසන් ප්‍රධාන නගරය වුනේ තංගල්ල. ඒ හින්දා තංගල්ල අපේ නැවතුම් ස්ථානය විධියට වෙන් කරගන්න තීරණය වුනා. ඊට පස්සෙ අපට ඕන වුනේ සුදුසු නවාතැන් පලක්.
අන්තර්ජාලයෙන් ඒ ගැන වැඩිදුර හොයා බලන්න අපි යොදා ගත්තේ අපි දෙන්නටම විවේක වෙලාවක් වුන රාත්‍රී 9 ට විතර. අන්තර්ජාලය ඔස්සේ අප තෝරාගත් ස්ථාන වලට ඇමතුම් දුන් විට ඇතැම් ස්ථාන භාර නිළධාරීන් ඒ වන විටත් පදමට සූර් වෙලා හිටියා. අප ඇමතූ තංගල්ල තානායමේ දුරකථනයට පිළිතුරු දීමක්වත් සිදුවුනේ නෑ. කොහොම වෙතත් අප අමතන විටත් බොහෝ නවාතැන් පලවල් දීර්ඝ සති අන්තයක් හේතුවෙන් ඒ වන විටත් වෙන් කිරීම් අවසන් වෙලා තිබුනා. ඇතැම් ස්ථාන විදේශිකයන්ට පමණක් වෙන් වෙලා තිබුණා. ඒ නිසා අපට ඉතිරි වෙලා තිබුනේ මිළෙන් ඉහල නවාතැනක් වෙත යොමු වීම, නැතිනම් තංගල්ල තානායම ගැන ආයෙත් සොයා බැලීම කියන විකල්ප දෙක.
කොහොමටත් තානායම් හා ඒවයෙ සේවා හා තත්වය ගැන මගේ හිතේ ඒ තරම් පැහැදීමක් නැහැ. තානායම් ගැන මම කැමති එකම දේ වෙලා තිබුනේ සතිඅන්ත පුවත් පතක පලවන තානායම් පල්ලාගේ තිරූ ලිපිය විතරයි. ඒ නිසා තානායම අපේ අවසාන ඔප්ෂන් එක ලෙස තබා ගමුයැයි මම ඔහුට කිව්වා. කොහොම වෙතත් අන්තර්ජාලයේ පලවී තිබු මෙම ලිපි දෙක- (1, 2) තංගල්ල තානායම ගැන මගේ හිතේ යම් පැහැදීමක් ඇතිකලා.
මේ අතර ඔහු විසින් ගූගල් මැප් ඔස්සේ තානායම පිහිටි ස්ථානය ගැන මගේ අවදානය යොමු කලා. මොන තත්වයන් යටතේ හරි එහි දිනක් ගත කිරීමට මට හිතුණෙ එතකොටයි. ඒ අනුව පස්සෙ දවසෙ දහවල තානායම අමතා කාමරයක් වෙන්කරවා ගත්තා.
අපි ඊළග අවදානය යොමු කලේ ප්‍රවාහන ක්‍රමයට. අපි දෙදෙනාම තීරණය කලේ මාතර දක්වා ඇති නගරාන්තර දුම්රියේ මාතර දක්වා ගොස් එතැනින් තංගල්ල වෙත යෑමයි. කණගාටුදායක කරුණ නම් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ආසන වෙන්කර ගැනීමේ හැකියාවක් නොමැති වීමයි :( . ඒ නිසා 24 වෙනි දින උදෑසන පානදුර දුම්රිය ස්ථානයෙන් අපි අපේ ගමන ආරම්භ කලා. අප බලාපොරොත්තු වුණාටත් වඩා පිරිසකින් එදින දුම්රිය පිරී පැවතුනා. එම නිසා ගාල්ලට යන තුරුම අපිට හිටගෙන යන්න සිද්ධ වුනා. නමුත් එය බසයක හිටගෙන යන තරම් වෙහෙසකාරී නොවන නිසා වැඩි අපහසුවක් දැනුනේ නැහැ. අපේ ගමන අතර තුර මුණ ගැසුන “මැටි කෙල්ල හා ගොන් සුද්දා“ ඇත්තෙන්ම අපේ ගමන් වෙහෙස භාගෙකින් අඩු කලා :p ගාල්ල දුම්රිය ස්ථානයේ පැය භාගයක් පමණ නවතා තැබුනු දුම්රිය දහවල් 12.30 පමණ වන විට මාතරට ළඟා වුනා. වේලාව හා කුසගින්න ගැන සලකා බැලූ අපි :p මාතර අඹසෙවණ නම් ස්ථානයෙන් දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව තංගල්ල බලා ගමන ආරම්භ කලා.
මාතර සිට තංගල්ල ට ගමන් ගත හැකි බස් රථ කිහිපයක්ම තිබුනත් වඩා ඉක්මනින් එහි ළගා වීමට නම් ඒ වෙලාවෙ සුදුසු වුණේ තිස්සමහාරාමය බස් රථයයි. ඒ අනූව තිස්සමහාරාම බසයේ ගොඩවුණ අපි තවත් විනාඩි 45කට පමණ පසු තංගල්ල රෝහල අසලින් බසයෙන් බැසගත්තා.
තංගල්ල නාවික හමුදා කදවුර අසලින් වැටී තිබු මුහුදු බඩ ඉතා අලංකාර මාර්ගය ඔස්සේ අපි තනායමට පැමිණියා. එවිට වේලාව දහවල් දෙකයි තිහ පමණ වී තිබුනා. ලියාපදිංචි කටයුතු වලින් අනතුරුව අප හට අපගේ කාමරය වෙත යෑමේ අවස්ථාව ලැබුනා. අපේ මුල්ම අවදානය යොමු වුනේ නාන කාමරය හා එහි කරාම සහ වතුර ආදිය ගැනයි. ඒ සියල්ල සැබවින්ම අප සිතුවාට වඩා ඉතාමත් හොඳ මට්ටමක තිබුනා. කාමරය හා එහි පිරිසිදුභාවයත් බලාපොරොත්තු වූ මට්ටමට වඩා හොඳින් තිබීම අපව සතුටට පත් කලා. ඇස ගැටෙන මානයේ ඇති සුන්දර මුහුදු වෙරළ හා නිහඬ පරිසරය අප ප්‍රමෝදයට පත්කලා.
කෙටි විවේකයකින් පසුව තංගල්ල නගරයට ගමන් කල අපට සාපේක්ෂව කුඩා නගරයක් වුවත් සියළු බැංකු හා අනෙකුත් සේවා සපයන ආයතන තංගල්ල නගරයේ පිහිටා තිබෙන බව පෙණුනා. ඒ වගේම වීශේෂයෙන් සදහන් කලයුතු පිරිමි පාර්ෂවය සදහා හිසකෙස් කැපීමෙන් පසු ශීර්ෂ සම්භාහනයක් ද ලබාදෙන අපූරු පැරණි තාලයේ “සර්වාගමික“ ඉතා කාර්යයබහුල සැලූන් එකක් නගර මධ්‍යයේම බස් නැවතුම අසල පිහිටා තිබුණා :p
රාත්‍රී හතට පමණ තානායම ඉදිරිපිට වෙරළට ගිය අප පුදුමයට පත් වුනේ ඒ තරම් සුන්දර වෙරළක් ඒ තරම් වේලාසනින් හිස්ව තිබීම ගැනයි. ඇත්තෙන්ම ඒ මොහොතේ අප දෙදෙනා හැර වෙන කිසිවෙකු වෙරළේ සිටියේ නෑ. දෙපසකින් රළ නගින අපටම අයිති වූ පුද්ගලික වෙරළ තීරයක්!!!
ඇත්තම හේතුව නම් තානායම පිහිටා තිබෙන්නේ නාවික කදවුර අසලම නිසා ආරකෂක හේතූන් මත රාත්‍රී 8න් පසු මහජනයාට එහි රැදී සිටීමට අවසර නැති වීම බව පසුව අපි දැනගත්තා. මිනිස්සුන්ට බැරි උනාට කුඩා කක්කුට්ටන් දහස් ගණනක් ඒ රාත්‍රී වෙරළ තීරය අයිති කරගෙන තිබුනා.
පසුදින අප විවාහ උත්සවය සදහා පිටව ගොස් නැවත පැමිණෙන විට හවස 5 පමණ වී තිබුනා. මට අවශ්‍ය උනේ හැකි ඉක්මනින් මුහුදු වෙරළට යන්න නමුත් අවාසනාවක තරම! එදින නිවාඩු දිනයක් වූ බැවින් මුලු වෙරළම පිරී පැවතුනා. ඒ ප්‍රදේශයේ සෙසු මුහුදු තීරණයන් පෞද්ගලික හෝටල් වලින් වෙන් කරගෙන තිබීම නිසා මහජනයාට ගැවසීමට සුදුසු ආරක්ෂ මුහුදු වෙරළක් වූ එය එදින බොහෝ කාර්යබහුල වුනා. ඒ නිසා එදිනත් රාත්‍රීයේ වෙරළට ගිය අපි පසුදින උදෑසනම වෙරළේ ගත කිරීමටත්.. අසල ඇති ධීවර වරායට යෑමටත් රීමෝට් හෙලිකොප්ටර් බලන්න යෑමටත් තීරණය කරගෙන නින්දට ගියා.
නමුත් පසුදින හිමිදරිය වන විට මා රෝගාතුරව සිටි බැවින් අපි හැකි විගස නැවත නිවසට යා යුතු බව ඔහු තීරණය කලා. ඒ අනූව සියළු සැලසුම් පසෙක දැමූ අප තංගල්ල නගරයෙන් කොළඹ බලා පිටත් වන බසයකින් (තංගල්ලෙන් පිටත් වන වායු සමීකරණය කරන ලද බස් රථ නොමැත) කොළඹ බලා පිටත් වුනා. :((
දීර්ඝ ලිපියක් වූවත් අවසන් වශයෙන් සදහන් කලයුතු දේ එමටයි. අප සිතා සිටිනවාට වඩා ඉතා හොඳ සේවයක් සාධාරණ මිල ගණන් යටතේ තංගල්ල තානායම සපයනවා. වායු සමීකරණය කරන ලද කාමරයක් රු.3500 පමණ මිලකටත් වායු සමීකරණය නොකරන ලද කාමරයක් රු.1600 පමණ මිලකටත් දිනකට ඔබට ලබාගත හැකියි. වැදගත්ම දෙය නම් එම කාමර මදුරු වදයෙන් තොර වීමයි. මුහුදට මුහුණලා පිහිටා ඇති කාමර නිසා වායු සමීකරණ එතරම්ම අවශ්‍ය වන්නේත් නෑ. ස්වභාවික මුහුදු සුළං හා මුහුදේ මුණුමුණුව ඔබට සුව නින්දක් ගෙන දේවි. හැබැයි මතක ඇතුව පෙරවන රෙදි ගෙනියන්න. මොකද ඔවුන් එය කාමර වලට සපයා නැහැ. නමුත් ඉල්ලුවොත් දෙනවාද දන්නේත් නෑ. :p
එහි අවන්හලෙන් ඔබට අවශ්‍ය ආහාර අවශ්‍ය වේලාවට සපයා ගත හැකියි. නමුත් එහි මෙනු පත් නම් දකින්න නැහැ. නමුත් මත්පැන් තිබෙනවා :D අවන් හල පිහිටා තිබෙන්නේ ලංදේසීන් විසින් ඉදිකල පැරණි ගොඩනැගිල්ලක. එය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක්. එහි පැරණි ජයාරූප හා ලිපි ප්‍රදර්ශණයට තබා තිබෙනවා. කෙසේ වෙතත් කාමර වල ඇති නානකාමර තරම් ආපන ශාලාවේ වැසිකිලි ඉතා හොද තත්වයේ නැහැ. නමුත් සාපේක්ෂව නරකත් නැහැ. සේවය කරන්නෙත් පැරණි සේවකයන් නිසා ඔවුන් මිත්‍රශීලී හා කරුණාවන්තයි.
තවම මොඩනයිස් වෙලා නැති තංගල්ල මීට වසර 10කට පමණ පැරණි ලංකාව සිහි කරවනවා. කෙසේ වෙතත් විවේකයට යන්න ලාභදායී තැනක් හොයන ඔබට තංගල්ල තානායම සොදුරු නැවතුම්පලක් වේවී. එහි පසෙක තියෙන ධීවර වරාය නරඹන්න හැකියාවක් ලැබුණේ නැතත් එය නැරඹීමට හැකියාවක් ඇති තැනක් බව දැනගන්න ලැබුණා. මුහුදේ ඇති කොරල් පර බැම්මක් නිසා වසරේ ඕනෑම කාලයක තංගල්ල අවට මුහුද ආරාක්ෂාරී බවයි දැන ගන්න ලැබුනේ. ඒ වුණත් නාන්න අවස්ථාවක් නොලැබුණ එකත් දුකට කාරණයක්.
ඒ කොහොම වෙතත් මට තංගල්ල තානායම මිහිරි මතක අහුරක් පුරවා දුන්නා. එහි මගෙන් ගිලිහී ගිය සොඳුරු මොහොතවල් වෙනුවෙන් මේ සටහන!
තව දිනක මම ආයේ එහි යනවා අනිවාර්යෙන්ම!!!!
ප/ලි :- ගමනේ සියළු තොරතුරු සොයා දුන් ගූගල් දෙවියන්ට... සියළු වියදම් දැරූ ඔහුට හා කෙටි දැනුම් දීමකින් අපි හා එකතු වුනු සෝරෝ ට හද පිරි ස්තූතිය.!
තංගල්ලෙන්, දේශීය සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබාගන්න ටිකක් අමාරුයි, මොකද තංගල්ල විදේශීය සංචාරක නගරයක් නිසා. විශේෂයෙන්ම මේ කාලෙට විදේශිකයන් බහුල නිසා තවත් අමාරුයි.
ReplyDeleteඉස්සර නම් ඔය මුහුදු තීරය ඕන වෙලාවක විවෘතයි. පස්සේ තමයි වැටක් ගැගුවේ. සුනාමියට කලින් ඔතන තවත් ලස්සනයි. මීටර් 200ක් විතර එහායින් ගල් පරයක් තියෙනවා. ඒක නිසා රැල්ල එන්නේ නෑ පොකුණක් වගේ. ඔතනට කියන්නෙ "පරේ වැල්ල" කියලා.
ප.ලි. - මෙහෙට ඇවිත් මට නොකියා ගියානං නේහ්... :-D
සෝරො තංගල්ලෙද?
ReplyDeleteඅපෙත් නිවාඩුවෙන් අඩු ගානෙ දවස් තුනක් වත් ඔහෙ නවතිනව. ඊළඟ පාර ආවම හම්බු වෙමු. අපේ අට්ටිය ඉන්නෙ ජේ වී පී කාර්යාලෙට කිට්ටුව.
මලී, ඉතින් ආයි දවසක යමු :-D
ReplyDeleteWoow Niyamai... Proud to be a srilankan..
ReplyDeletecol3neg
තංගල්ල තානායම සහ අවට අද බොහෝම නවීන පන්නයට ගිහින්.මේ ලෝකෙ ජීවත්වන අපිට ඒක වලක්වන්න අපහසුයි. මීට දශක හයකට පෙර ඔය තානායම අවට ඈත මුහුදු තීරය බොහෝ සෙයින් වෙනස්. ඒ බව කියන්න. වුනත් ඉන්නේ බොහොම ටික දෙනයි. මම කියන්නේ 1950 දශකයේ තිබුනු සුන්හදරත්වය ගැන. මම ඉපදුනේ ත්ංගල්ලට සැතැපුම් 5 ක් ඈතින් පිහිටි කුඩා ගම්මානයක.කුඩාකල මම ඔතෙන්ට ඒ කියන්නෙ තානායම අසලට ඇවිත් වම් පසින් ඈතට දිවයන සුන්දර මුහුදු තීරය දිහා බලා ගෙන ඉන්නව. ත්ංගල්ලෙන් ඈතට ගියාට පස්සෙ එන්නෙ මහ වනය. ඔය කැලැවෙ ඉන්න මුවෝ ගෝන්නු, අලි, සහ වලසුන් හැන්දැවට වෙරලට එනව. ඒ ඈත තියෙන රන්න, වැලිපටන්විල, ගොඩවාය ආදී වනගත පෙදෙස් වලින්. කොටි එහෙම් දකින්නෙ කලාතුරකින්. අනෙක් සතුන් නම හරියට ඉන්නව. දැන් මොකෙක් වත් නැහැ. මම ඒ වගේ 2005 වසරේ ආසවට තංගල්ලෙ තානායමේ නත්‍ර වෙලා බලා ගෙන හිටිය... කාලයේ වෙනස මට හොඳටම මට දැනුන. ඒක එක අතකින් හරිම කනගාටුයි. මම දැකපු මේ ටික වත් මම ලියන්නෙ හරිම ආසාවෙන්. අතීතය අමතක කරන්න බැහැ. මේව පෙනුනෙ දුර බලන කන්නාඩි වලින්.
ReplyDeleteහොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com
ReplyDeleteආසාවෙන් කියෙව්වා යන්න ඕන නිවාඩු වෙලාවක
ReplyDeleteසොරෝ - හයියෝ පරේ වැල්ල.. ඒ නම හරි නෑ හරි නෑ වගේ අප්පා..!!!!
ReplyDeleteඉන්දික - හරි සොරෝට ඒ පැත්තේ හෝටලයක් දා ගන්න කිව්වා නම් හරි නේ?
මරේ - අනිවා මරේ අපි යං!
විඩියෝ - ආව් අප්පා මෙයාගේ ආඩම්බර හිහ් හී.. අනිවා අනිවා!!!
සරත් - කොහොමද කාලෙකින්? ඔයත් ඒ පැත්තෙද? අප්පා.. අපිත් නම් මොණරු දැක්කා හුංගමදි අනිත් සත්තු එකෙක් වත් නෑ දැන් පේන්න. මං හිතන්නේ උන් අභයභූමි වලට කොටු වෙලා ඇති.
යසිරු - ඇහුවට තරහා වෙන්න එපා ඔයා මේ සොෆ්ට් වෙයා එක එහෙම යූස් කරන්නේ නැතුව ඇති නේ? http://onezerozerowords.blogspot.com/2013/01/blog-post_30.html
නුවන් - කොහොමද නුවන් අයියා... අයියෝ ඔයාලට ළගයි නේ !! ගිහිං නැද්ද මෙච්චර කල්? පුදුමයි !
තංගල්ල තානායම ගැන වටිනා විස්තරයක් නොවැ....
ReplyDeleteස්තුතියි.
පෙදරේරු උන්නැහැ..! තැන්ක් යූ ඈ.. දෙකක් තිබ්බ හින්දා එකක් මැකුවා හොදේ!
ReplyDeleteමමත් තංගල්ලේ දිගට ගිය කාලයක් තිබුනා. දැන් නම් කොයිවගේද කියලත් කියන්න බෑ. ලඟදි ගියෙත් නෑ. අපි යමන් ඉතිං දවසක ගෙහුං එන්න. සෙට් එක පිටින්..
ReplyDeleteහොදින් හොදින් නංගී .ඒකනේ වෑඩේ ලග උනාට ගිහින් නෑනේ....
ReplyDeletematath asha hithuna yanna lagadima dawasaka yanawa thngalle
ReplyDelete