Sunday, September 30, 2012

සැප්තැම්බර් - පොත් සහ අපි

ඉවර වෙන්න මොහොතකට කලින් හරි සැප්තැම්බර් පොත් සවාරිය ගැන මොනා හරි ලියන එක හොදයි වගේ.. කොහොමටත් දැන් ඇනුවලි අප්ඩේට් වෙන පොස්ට් ඇරුනම වෙන දෙයක් ලියන්නෙත් නැති ගානයිනේ.. එහෙම තමයි කාලෙකදි පට්ට කැමති දේවල් තව කාලෙකදි මෙලෝ රහක් නැති වෙලා යනකොට.

ඉතිං ඉතිං කොහොම හරි මේ අවුරුද්දෙත් සැප්තැම්බර් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ තිබ්බනේ.. අර බඩගිනි නැතත් පුරුද්ද මග හරින්න බැරි හින්දා දවසට තුන් වේලක් කෑම කනවා වගේ හැම අවුරුද්දෙම ඕකට නොයා අතඅරින්න බැරි වෙලානේ.. ඉතිං ඒ හින්දම ෆුල් ෂපාන් එකේ බදුල්ලට වෙලා ඉන්න තිබ්බා දවස් ටිකෙන් කීපයක් අතඇරලා දාලා කොළඹ දුවගෙන ආවේ මෙදා පාරා සති අන්නේ නැතුව සතියේ වැඩ කරන දවසක ප්‍රදර්ශණේ බලන්න හිතන් හිටි හින්දයි.. දැන් ඉතිං ඉස්සර වගේ රෑ ගමන් වලට බාදා නැති හින්දයි දවල් වෙන වෙන වැඩ තිබුනු හින්දයි ටිකක් හවස් වෙන්න කිට්ටු වෙලයි අපි බීඒම්අයිසීඑච් එක ලගට ගියේ. ගියාට මොකද ගන්න පොත් ගැන කිසිම අදහසක් අපිට තිබුනේ නෑ,. ඉස්සර නම් මාස ගාණක ඉදන් ලිස්ට් එකක් මේන්ටේන් කරලා මුළු කඩ සේරම පීරලා හරි ඒ ටික හොයාගෙන එන තරම් ඇම්මක් තිබුනට දැන් ඒ වගේ ගන්න තරම් පොත් නෑ වගේ වෙලා..  එක්කෝ එහෙම ගන්න ආසා පොත් ගොඩක් අරන් ඉවර වෙලා..

අළුතින් අම්බානක් පොත් එළියට ආවට පරිවර්තකයෝ සූ ගාලා හිටියට ඒ පොත් වත් අළුත් පරිවර්තන වත් ඉස්සර වගේ අකුරු අස්සේ අපිව පිස්සු වට්ටන්න තරම් දක්ෂ නෑ කියලයි ගොඩක් වෙලාවට හිතෙන්නේ.. ගියාපාර විදර්ශණ එකෙන් ගත්ත ගොඩක් පොත් තාමත් බාගෙට කියවලා අතර මැද බුක්මාක් තිබ්බ තැන්වලමයි.  කොහොමටත් සම්මාන වලට නිර්දේශිත හා සම්මාන ලබන පොත් ගැන උනත් මගේ ඒ හැටි විශ්වාසයක් නෑ.. ඉතිං ඒවත් අතඇරලා දැම්මා.. ඉතිං කොහොමද පොත් ගන්නේ?

පුරුදු පොත් කඩ ඇතුලට ගිහින් රාක්ක වල තියන පොත් වලින් හොදයි කියලා හිතෙන පොත් සාකච්ඡා මාර්ගයෙන් තෝරාගන්න තමයි මේ වතාවේ සිද්ධ උනේ.. විශ්වාස කරන්න මෙදා පාර විදර්ශණ එකෙන් මම ගත්තේ එක පොතයි.. මාත් එක්ක ගිය කෙනා දීප්තිගේ හිස්ටීරියාව ගත්තෙත් එතනින් ඒත් ඒක විදර්ශණ පොතක් නෙවෙයිනේ.. වෙනදට වැඩිම පොත් ගන්නේ එතනින්.. එතකොට විජේසූරිය එකෙන් ගත්තේ එකයි.. ඒ කඩ දෙකෙන් එළියට ඇවිත් අපි දෙන්නට හිනා ගියේ මේ මොකක්ද වෙන්න යන්නේ කියලා හිතිලයි.. ආයේ ඉතිං වෙන කොහෙන් කියලා ගන්නයෑ.. ඒත් යන්තං ෆාස්ට් පබ්ලිෂස් ලගින් පොත් ටිකක් වැඩිපුර එකතු කරගත්තා.. ඒත් ඒවත් වැඩිපුර සයිමන් නවගත්තේගමගේ. ආයේ කාලෙකට ඒ පොත් ටික් රිප්‍රින්ට් වෙන එකක් නැති වෙයි කියලා බයට ඒ ටික ගත්තා.. ඒ එක්කම අහල පහල පොත් කඩ ටිකකට ගිහින් තව තව පොත් ටිකක් එහෙන් මෙහෙන් ඇහිදගෙන පැය දෙකකින් විතර වෙනදා මුළු දවසක් ගත කරන ප්‍රදර්ශණේ ඇවිදින එක අපි නතර කලා..  බජට් කරපු ගානටත් අඩුවෙන් පොත් අරගෙන.. එළියට ඇවිත් අපි හොට්ඩෝග් දෙකක් කාලා ෆැන්ටා බීලා ඇවිදගෙන ඇවිත් බස් එකේ නැගලා ගෙදර ආවා...

එතකොට අපි ආයේ පොත් ගන්නේ නැද්ද? නෑ .. එහෙම වෙන්නේ නෑ.. මීට පස්සේ ගන්නවා.. පරණම පරන පොත් අළුතින් ප්‍රින්ට් කලොත් විතරක්..  එතකොට අළුත් සාහිත්‍යය?? ආ ඒක යකාට ගියාදෙන්!


7 comments:

  1. මාත් වැඩිපුරම පොත් ගත්තේ ෆාස්ට් පබ්ලිෂින් එකෙනුයි.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමයි නම අහලා තිබුණාට ඉස්සෙල්ලාම කඩේට ගියේ එදා හින්දා.

      Delete
  2. එදා එහෙ ඉඳන් ගෙදර එද්දීත් මම කල්පනා කලේ මම පොත් ප්‍රදර්ශනේට ගිය නැති එක හොඳයි කියලා. පොත් නොගන්න ආසාවට නෙවෙයි.., ඊට හේතුවෙන මිලගණන් වලට අයිති නොම්මර ටික එක්ක මට ලාභයක් නැතිව ගියාට, ගන්න තරම් පොත් නැති එකත් නොයා ඉන්න හේතුවක් උනා කොව්වොත් ඒකේ ඇති වැරැද්දක් නෑ. ඒත් මට පොඩි දුකකට තියෙන්නේ සරත්මධුගේ චිත්‍රකතා පොත් ටික තිබිලා තියෙනවා මේ පාර. ඒක ගන්න බැරි උන එක තමා.
    උඹෙන් ඉල්ලගෙන [පැහැරගෙන?] ආපු අයාලේ ගිය හිතක සටහන් එක්ක මගේ හිත රස්තියාදුවේ යවනවා. අලුත් කතන්දර නැති උනාට මට ඒ ආගිය කතා තවමත් රහයි.

    ReplyDelete
  3. මේ පාර මමත් ඒ දේ නම් හිතා ගත්තා..පරණ පොත් සෙට් එකක් ගැන කල්පනාවෙන් ගියත්, ඒවා විදර්ශනලා රීප්‍රින්ට් කරලා නෑ.. මට ගර්ෂියා මාර්කේෂ්ගෙ හදකලාවේ සියක්වසක් පොතේ, පරිවර්තනය ගන්නම ඕන වෙලා තිබුණා.. මේ පාර මම විදර්ශන එකට තුන් පාරක් ගිහින් හිස් අතින් ආවා.. පස්සෙ හතරවෙනි පාර ඉතුරු වුණ සල්ලි වලින් පොත් ගත්තා.. කොහොම හරි වෛරයේ මිදි ඵල , නමට අරන් ආවා...ලබන පාර යනවා.. මන්දා ඉතින්!!

    ReplyDelete
  4. මම නම් ගියේ නෑ. ඒත් මම හොඳ වෙලාවට කියලා කියන්නේ නෑ. යන්න හිටපු දවස් දෙකේ වෙන වැඩ යෙදුන නිසා. කොහොම වෙතත් මරදානේ පොත් සාප්පු වලට යන්න දවසින් දවස කල්දාන මම වගේ පොරක්ට නම් ඕක ටිකක් වැදගත්. පරිවර්තන නම් අළුත්වා ගැන කියන්න වැඩිය දන්නේ නෑ. අළුත් පොත් ගැන මටත් තියෙන්නේ හරිම නියුටල් සිතුවිල්ලක්. ඒ කියන්නේ අර "අනේ මන්දා" වගේ සිතුවිල්ලක්. කොහොමත් තවමත් අපේ ලයිබ්‍රරියේ පොත් බාගයක්වත් මම කියවලා නෑ. අපිට තියෙන්නේ පොත් ගැන ආසාවටත් වඩා ලෝබකමක්ද මන්දා.

    ReplyDelete
  5. මමනම් පොත් ප්‍රදර්ශනේට ගියා. අර පෝස්ට් එකක කිව්වා වගේ පොත් බලන්නම නෙමෙයි. ඒ පරිසරය විදින්න. විවිධ රසවින්දන වැඩසටහන් අහන්න, බලන්න. යාළුවෝ හම්බ වෙන්න. අන්තිමට පොත් ගන්න. දවස් 5ක් ගියා. එක දවසක් බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනට පොත් ගන්න. තව දවසක් බ්ලොග් මිතුරන් එක්ක ගයමු වැඩසටහනට. අනිත් දවස් තුනේ පොත් 20ක් විතර ගත්තා. මම නම් වැඩිපුරම ගත්තෙ අළුතින් එලිදක්වපු පොත්. හැබැයි නවකතා නම් ගත්තෙ නෑ. පරිවර්තන සහ අධ්‍යාපනික පොත් තමයි ගත්තේ. ජය...!

    ReplyDelete
  6. පොත් කිහිපයක් ගත්තා. එයින් කිහිපයක් කියැව්වා. තව එකක් කියවමින් පවතිනවා. කියන්න තරම් වරදක් නැහැ.............. :)

    ReplyDelete