Sunday, May 13, 2012

මේ ජිවිතේ මොනවා කරන්නද? අසංශිප්ත වාර්තාකරණයක්

වෙනදටත් වඩා පැයක් පරක්කු වෙලා ගෙදර එන්න පිටත් උනේ පමාව ගැන තරහකුත් එක්කමයි.. ඉරිදා නිසා වාහන අඩු පාරේ කවදටත් වඩා සැරට පායපු උදේ ඉර යටින් හෝල්ට් එකට ඇවිද ගත්තේ හරිම අමාරුවෙන්.. බස් කීපයක් ගියත් මට යන්න ඕන බස් එක නම් තාම නෑ.. කොහොමත් ඉරිඳට බස් අඩුයිනේ..

“අද පැය බාගෙකින්වත් බස් එකක්වත් එයිද මන්දා.. හැමදාම ඔහොමයි.. මේ කොල්ලුපිටියට යන්න ඉන්නේ.“

සාරියකුත් ඇඳගෙන කළුපාට ටියුලිප් බෑග් දෙක තුනක බඩුත් පුරවා ගත්ත අම්මා කෙනෙක් මගේ දිහාව හැරිගෙන ඈත ඉදන්ම කියවනවා.. ටිකක් වෙලා යනකම් ඒ මටද කියන්නේ කියලාවත් හිතාගන්න මට බැරි උනා.. ඉතිං මම කෝකටත් තෛලය වගේ ලාවට හිනාවක් දැම්මා.

“මේ පානදුරේට යන්න ඉන්නේ ඉස්පිරිතාලේ ඉදලා..ඒකට ඉතිං කොල්ලුපිටියට යන්න එපැයිනේ නේද?“

ටිකට් කපලා ගෙදර යන කෙනෙක් වෙන්න ඇති මම හිතින් හිතුවා.. මම බලන් ඉන්නේ බස් එක එනකම්..
ඒත් ඒ අම්මා ඇවිත් හෝල්ට් එකේ තිබ්බ යකට පුටුවක ඉදගත්තා.. මම ඊට ඈතින් හිටගෙන..
බස් එකක් ඇවිත් නැවැත්තුවා... 150ක්

“මේවා යන්නේ නැහැනේ නේ?“
“මොනවා කරන්නද ඉතිං පුරුවේ කරුමෙට හැදෙන ලෙඩ.. අත් දෙකයි කකුළ් දෙකයි පණ නැහැනේ.. අපේ දුවගේ.. පොඩි දරුවට මාස 4යි එයාව ක්ලිනික් එක්ක යන්න හදනකොට නේ කොන්දෙන් පහළ පණ නැති වෙලා තියෙන්නේ..“ ඒ පාර දුවට කියලා මල්ලිව වැටෙයි ගන්න කියලා.. දුව ලොකුනේ ඉස්කෝලේ යනවානේ.. තව පුතෙක් ඉන්නවා ලොකුයි. එයා පන්සලේ මහණ වෙන්න ඕන කිව්ව හින්දා දූ එයාව පංසලට බාරදුන්නනේ.. දූගේ වයස 29යි තාම.. කරුමේ තමයි ඉතිං..මොනා කරන්නද?


ඉතිං දැන් කවුද දරුවා බලා ගන්නේ?


මගේ ලොකු දූයි පුතයි ලේලියි තමයි.. පොඩි එකාට කිරිත් නෑ මේ ටිකේ පව්
බස් එකක් ආවා.. අපේ බස් එකද? නෑ නේද?

ම්හ්..!

මුලින් කිව්වේ ජර්ම් එකක් ගිහින් කියලානේ.. පස්සේ දැන් කියනවා ස්නායු වල ලෙඩක්ලු.. දවස් දහයක් විතර වෙනවා දැනට.. තුන් වෙනිදානේ ගෙනාවේ.. හෙට ටිකට් කපයි.. දැන් නැගිටලා යන්න එන්න පුළුවන් ටිකක්.. අත එහෙම අල්ලන්න අමාරුයිලුනේ.. හිරි වැටිලලු.. දැන් පරීකෂණ කරලා ඉවරයි. අද හවසට මහත්තයෙක් ඇවිත් බලනවා කිව්වනේ.. හෙට වෙනකොට ටිකට් කපයි කිව්වා.. අද ළග ඉන්න ඕනි නෑ,. වාට්ටුවේ ඈයෝ එක්ක ඉන්නේ නැතැ...

බස් එකක්.. යතහැකියෑ අපිට බෑනේ?

ම්හ්!

භූත දෝෂයක් කියලත්ද දන්නේ නෑ ඉතිං.. කෝකටත් පොඩි ශාන්ති කරමෙකුත් කලා.. මෙහෙ ගෙනත් ඉන්නකොටම..ඒවටම යටවෙලාම බෑනේ ඉතිං නේද?.. මගේ නම් ඉතිං වැඩි විස්වාසයක් නෑ.. ඒ උනාට අපේ මහත්තයා පිළිගන්නවානේ.. අයියෝ එයාට ඔළුවේ කැක්කුමටත් තෙල් මතුරලා ගාන්න ඕනි.. මං ඉතිං ඉතිපිසෝ ගාථාව කියන්න හරි කාව හරි හොයාගෙන බොරුවක් කරලා තෙල් ගානවා .. එතකොට ඉතිං හොඳයි කියනවානේ.. හිත තමයි ඉතිං කෝකටත් නේද?

හයියෝ මේ බස් එකේ යන්නත් බැහැනේද?

ම්හ්...


එයාවත් මෙහේ නවත්තලා හිටියානේ කොල්වින් මහත්තයාගේ වාට්ටුවේ.. නැතිවෙන්න කලින්.. අංශභාගේ හැදුනානේ.. එතකොටත් කියනවා නූලක් බැන්ද නම් හරි කියලා ඒ උනාට ඉතිං එයා අරක්කු බිව්වනේ.. ඒකනේ උනේ.. මං ඉතිං එතකොට කියනවා ඔයා ඉතිං අරක්කු බීලා නේ ඔහොම උනේ.. ඒකට ඉතිං නූල් බැඳලා හරියන්නේ නැහැ කියලා.. ඉතිං එතකොට එයා ඉන්නවා සද්ද නැතුව.. බිව්නේ ඉතිං සෑහෙන්න.. එයාගේ සල්ලි වලින් බිව්වා.. අපේ දුගේ සල්ලි වලින් බෙහෙත් කලා.. එයා ඒ කාලේ යුනිචෙලා එකේ වැඩ කලානේ.. පඩිය දහදහයි.. එකෙන් තුන්දහක් ගියා බෙහෙත් වලට.. දොස්තර ළගට එක්ක යන්න වාහනේට පන්සීයයි.. තුන්දාස් පන්සීයයි.. ඉතිරි ටිකෙන් තමයි ඉතිං ඒකාලේ අපි කෑවේ බිව්වේ සේරෝම කලේ..

කෝ මේ බස් එක? නැග්ගම අහන්න ඕනේ මොකද බස් එක පරක්කු උනේ කියලා..


එයා නම් නැති උනා.. ඒ ‍උනාට අපිට සලකන්න කෙනෙක් තමයා නැති වෙන්නේ... ඇයි ඉතිං මේ ළමයි දැනටම ලෙඩ වෙලානේ.. අනේ ඒ උනාට මම නම් කැමති ඉදගෙන ඉන්නකොට හරි නිදාගෙන ඉන්නකොට හරි එක සැරේ සොරොස් ගාලා පණ ටික යනවට.. අනිත් අයට වදයක් නොවී.. මට එහෙම තමයි වෙන්නේ.. මොකද මම කාටවත් වරදක් කරලා නෑ,. හැමෝටම පුළුවන් හැටියට උදව් කරනවා.. මං කවදා හරි එහෙම මැරෙනවා නම් හොඳයි.. වෛද්‍ය විද්‍යාලෙට දෙනකොට සල්ලිත් දෙන්න ඕනා නේද?
අනේ දන්නේ නැහැනේ..
දෙන්න ඕන මම දන්න විදියට.. ඒකනේ වැඩේ.. දැනටම මම මගේ ඇස් දෙක දෙන්න ලියලා තියෙන්නේ.. තව ටිකට් එකෙත් ලියලා තියෙන්නේ සියළුම ශරීර කොටස් දන් දෙන්ට.. ඉස්පිරිතාලේට ගෙනවම ඒවා කෙරෙයි..
කෝ මේ බස්එක නැහැනේ.. මොකටද හිටගෙන ඉන්නේ ඔය වාඩි වෙන්නකෝ

නෑ ටිකකින් එයිනේ බස් එකක්..

දහයට තමයි ඉතිං එන්නේ දැන්.. කොහොම ගියත් පැය දෙකක් විතර යනවානේ... දැන් ගිහින් මේ රෙදි ටික හෝද දාලා නා කියා ගන්න ඕන.. මම ඉන්නේ ලොකු දූලෑ දිහැනේ... මේ ටිකේ පොඩි දූලෑ දිහා.. මම බණ භාවනා ටිකක් කරනවා.. හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මෙක කවදාවත් කසාදයක් දරුමල්ලෝ එපා කියලා.. මේ ජිවිතේ මොනා කරන්නද නේද? බැඳීම් විතරනේ.. මහත්තයා හම්බඋනාම එයාට ආදරේ කරනවා.. පස්සේ ඒ ආදරේ බෙදිලා දරුවන්ට යනවා.. දරුවෝ එක්ක බැඳීම මැරෙනකම්මනේ.. මේ පෙන්නේ නැද්ද.. දුක් විඳිනවා.. ඒත් මක් කරන්නෙයි? සංසාර ගමන දික් වෙන එක විතරයි.. ඒ හින්දා මම පතන්නෙම තනිකඩ ඉන්න..

එන්න බස් එකක් එනවා..


වෙන වෙනම සීට් දෙකක වාඩි උනු අපි අපේ ගමනාන්තෙට ආවා.. ඇල්පිටිය බස් එකක් නවත්තලා.. ඇය ඒකේ නැග්ගේ නෑ,.

අනේ ඔය දුර බස් වල යන්න බෑ,. සීට් එකක වාඩි උනාම අද කාලේ මිනිස්සුන්ට පුදුම නින්නදක් නේ යන්නේ.. ගෑණුන්ට හපන් පිරිමි.. කවුද ළග ඉන්නේ කියලා වත් වගක් නැහැනේ.. පානදුරෙන් බස් එකකට නැග්ගම කෑම ඇඳුම් සේරම ‍උස්සගෙන නේ නඟින්නේ.. වයස ගැන හිතලාවත් ඉඩක් දෙන්නේ වත් බෑග් එකක් ගන්නෙවත් නැහැනේ.. අනේ මන්දා අදකාලේ හැටි..

පානදුර බස් එකක් ඇවිත් හෝල්ට් එකේ නතර උනා..


මම මේ බස් එකේ යනවා.. මිස් යන්නේ නෑ?

නැහැ මම යාළුවෙක් එනකම් ඉන්නවා.. කොහෙත්ම ඇත්ත නොවුනත් මට කියවුනේ එහෙම.. මම වගේ පොදු සමාජ සංනිවේදනය අතින් අබ්බගාත කෙනෙක් එහෙම කිව්ව එකෙන් කාටවත් නරකක් වෙන එකක් නෑ,. ඒත් ඒ ගත වෙලා ගිය විනාඩි විස්ස තිහ ඇතුලේ ඒ ගෑණු කෙනා කොයිතරම් ගොඩක් කියෙව්වද? වෙලාවක හිනා වෙවි.. වෙලාවක අමුතුම හැඟීම් පිරිලා.. දරුමුණුපුරෝගේ වැඩ හින්දා කා එක්කවත් නිදහසේ කතාකරන්න වෙලාවක් නැති තවත් ගෑණියෙක් වෙන්න ඇති.. පානදුරෙන් තව බස් එකක නැගලා ගෙදර එන්න හරි ඒ බස් එකට නැග්ග නම් තව ගොඩක් දේවල් අහගෙන එන්න තිබුනා.. ඒත් ඒ සම්බන්ධතාවයේ මගේ කොටසට වෙච්ච ශ්‍රාවක කොටස හොඳටම ඇති කියලා ආර්ත්මාර්ථකාමී සිතුවිල්ලක් මට ආවා.. ඉතිං මම ‍ඊලගට ආවා ඉන්ටසිටියේ නැගලා ගෙදර ආවා..

ඇත්තටම මේ ජිවිතේ මොනවා කරන්නද??

Thursday, May 10, 2012

ටික ටික අමතක වෙලා යන වෙසක්!




හුඟක් වෙලාවට අපි අතීතය සුන්දරයි කියලා අපි කියන්නේ ඒ අතීතය ඇතුලේ අපිට මතක් කරන්න ලස්සන දේවල් තියෙනකොට.. ඉස්සර දුක් විඳපු කෙනෙක් තාමත් දුක් විඳිනවා නම් ඒ මනුස්සයා ඉස්සර වින්ඳ දුක ලස්සනයි කියන එකක් නෑ.. ඒ වගේම ඉස්සර දුක් විඳලා දැන් සැප විඳින කෙනෙක් කියයි අද මම ඉන්න තත්වෙත් එක්ක බලද්දි මෙතනට වින්ඳ දුක් මතක් වෙද්දි හරි සතුටුයි කියලා.. ඒ විදියට බලද්දි දුක කියන දේ උනත් අපි ඉන්න.. ඉඳපු තත්වයන් එක්ක බලද්දි දුකක්මත් සැපතක් වෙන්නත් පුළුවන් අවස්ථා එමටයි.. ඒ දුක සැප අතර දෝලනය වෙමින් ගත වෙන්නේ අපේ ජිවිතයමයි ඒ දෙයින් නොසැලී ඉඳිම ජයයි කියලා කිව්ව කෙනෙක් තමයි බුද්ධා! ඔහුගේ ඉපදීමේ ඉදන් මියයාම අතර ජිවිත කතාව හරි ලස්සනයි.. ඔහුගේ ජිවත කාලය ඇතුලත ඔහු ගත කරපු ජිවිතයත් ඊට වඩා සුන්දර වෙන්න ඇති.. අද වෙනකොට හෙනම පූජණීය කරලා අපිට එපා කරලා තිබ්බට ඔහු වගේ සරළ මනුස්සයෙක්ගේ ජිවිතේ අතුලේ ඇත්තට වෙසක් කියලා සමරන්න තරම් වටින දේවල් තියෙනවා.

කවදා පටන් ගත්තත් අද වෙනකොට පරම් පරාවෙන් පරම්පරාවට වෙසක් කියන දේ උත්සවයක් විදියට අපි සමරන්නවා.. ඒ නිකම්ම නිකම් සිරිතට වෙන්නත් පුළුවන් එහෙම නැත්තං අනිත් අය කරන නිසා වෙන්න පුළුවන්.. ජනමාධ්‍ය ආයතන වලට නම් කම්පිඩිෂන් එක වෙනුවෙන් වෙන්නත් පුළුවන්.. ව්‍යාපාරික සෙට් එකට තව ටිකක් බිස්නස් වැඩි කරගන්න මාකටින් වලට වෙන්නත් පුළුවන්! කොයි හැටි කොහොම උනත් උපතින් බෞද්ධ උනු අපි හැමෝම වෙසක් වෙනුවෙන් මොනාම හරි නොකර ඉන්නේ නැහැනේ.. කොයි තරම් කම්මැලි උනත් මමත් එහෙමයි.

අද උනු පුංචි සිදුවීමක් නිසයි මට මේක ලියන්න හිතුනේ.. හැම මාසේම ගෙදරට එන බිල් සෙට් එකට අමතරව අපේ ගෙදරට තැපෑලෙන් දෙයක් ලැබුනොත් එන්නේ මම මොනා හරි නෙට් එකෙන් ගත්ත දෙයක් තමයි.. අද පියුං මහත්තයා ඇවිත් බෙල් කරද්දි හිතුනෙත් ටෙලිකොම් බිල් එක වෙන්න ඇති කියලා.. ඒත් ඇවිත් තිබුනේ මගේ නමට සුදු පාට ලියුම් කවරයක්..කාගෙන්ද.... කියලා හිත හිත දෙගිඩියාවෙන් වගේ දිග ඇරියම ඒක ඇතුලේ තිබුනේ වෙසක් සුභ පැතුමක්.. මටයි මගේ ගෙදර අයටයි සුභ පතලා අම්මා කෙනෙකුයි අයියලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි එවලා තිබුන.. කවරේ අතට ලැබුන වෙලේ ඉදන් කාඩ් එක දිග ඇලා බලනකං හිත ඇතුලේ තිබුන සිතුවිල්ල හරි මිහිරියි.. එවලා තිබ්බ කෙනා දැක්කමත් සතුටුයි තමා.. ඒත් ඒ මුලින්ම ඇති වෙන තත්පර දෙක තුනක දැනීම වචනෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.. විඳවීමක්..!

දැන් ඉස්සර වගේ කාඩ් නොලැබුනාට ඉස්සර අපි පොඩි කාලේ කොයි තරම් වෙසක් කාඩ් එහෙ මෙහේ යවනවද? ඉස්කෝලේ පන්තියේ අයට යවන්නේ අර ලියුම් කවර නැති රුපියලේ.. සත පනහේ කාඩ්.. එඩ්‍රසුත් නෑ මුද්දරත් නෑ.. තැපැල් මාධ්‍ය අත.. ඒකේ වෙතින් වෙතට කෑල්ල ඇරුනම තව තව ජොලි එව්වා ලියවෙනවා.. “ටිලිං ටිලිං අතේ තැපැල් කටේ ඇපල්“ “ලියුම් මාමා ලෙඩ වෙලා“ ‍‍‍‍‍‘මුද්දරේ නැති වෙලා“ මුද්දර අලවන්න සල්ලි නෑ“ පංති වල ඉන්න අයට හැමෝටම වගේ අගම් බේද ජාති බේද මොකුත් නෑ.. කාඩ් මාරු වෙනවා.. දුර ඉන්න නෑදෑයන්ට කාඩ් තැපැල් වෙනවා.. අනේ මන්දා දැන් නම් කාලෙකින් කාටවත් එහෙම යවලා නෑ.. ඉස්සර බර්ත් ඩේ කාඩ් යැව්වත් දැන් ඒකත් කෝල් එකකට එස් එම් එස් එකකට සීමා වෙලා.. අමතක වෙන වෙලාවට ඒකත් නෑ.. හයියෝ ජිවිතේ.. මං හිතන්නේ දැන් ඔය කාඩ් සීන් එක අපිට විතරක් නෙවෙයි දැන් කාලේ පොඩි උන්ට අල්ලන්නෙත් නැතුව ඇති මොකද ඉස්සර වගේ වෙසක් කාඩ් විකුණන කඩ පෙන්නත් නැහැනේ..

ඊට පස්සේ එන්නේ වෙසක් කූඩු.. මම කවදාවත් උණ බට වලින් වෙසක් කූඩු හදලා නෑ.. මොකද ඉස්සර ඉදන්ම අපේ ගෙදර තිබුනේ යකඩ කූඩු.. මට මතකයි ඉස්සරම ඉස්සර තිබුනේ හතරැස් ටිං කටවල් වලින් අපේ තාත්තා හදපු කූඩු.. ඒවා විස්සක් විතර තිබුනා.. වෙසක් පෙරහැර එනකම් උදේට අම්මයි තාත්තයි ඒවා අලවනවා මම පොඩි නිසා පිස්සු නට නට එතනට වෙලා ඉන්නවා.. එතකොට මට සව් කඩදාසි ඔටුන්නක් එහෙමත් තාත්තාගෙන් ලැබුලා තියනවා.. ඊට පස්සේ පෙරහැර එක්ක පන්සලට ගිහින් හවසට ඉතුරු ටික හදලා එල්ලනවා.. අපේ පරණ ගේ දිගටම.. පොඩ් වොට් පහේ ලයිට් වලින් තමයි එළිය දෙන්නේ.. ටික ටික මම ලොකු වෙනකොට කූඩු ඇලවිල්ල මට පංගාත්තු උනා.. අර ටිං කූඩු ටික දිරලා ගියාම තාත්තා වෙල්ඩින් කූරු වලින් පාස්සලා හදපු කූඩු 8ක් තමයි දැන් තියෙන්නේ.. ගිය අවුරුද්දේ කූඩු අලවන්න රියාසුත් එකතු උනා.. මම දැකපු සිරාම මුස්ලිම් ඩයල් එකක් තමයි රියාස්.. අපේ සාලේ මැද්දේ බිම ඉදගෙන රැලි කප කප කූඩු ලස්සනට රියාස් මුල්ම වතාවට වෙසක් කූඩු අලවන හැටි දැක්කම අපිට මතක් උනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන බෙග් මාස්ටර්ව.

ඔය විදියට හරි අපේ ගෙදර අපි කූඩු හැදුවට ගොඩක් තැන් වල තියෙන්නේ ඉන්ස්ටන්ට් කූඩු.! ඒ කියන්නේ ගියා ගත්තා ගෙනාවා එල්ලුවා සීන් එක... දකින්න ඇතිනේ පහුගිය ටිකේ ටවුන් වල විකුණන්න තිබ්බ කූඩු ටික.. මට තාමත් හිතාගන්න බෑ.. ඒ සේරම විකුණුනාද නැද්ද කියලවත්!
අපේ ඔෆිස් එකේ වැඩ කරන විදුෂ කිව්වේ අනේ බං ගෙදර පොඩි කොල්ලෝ දෙන්නට පේන්න වත් කූඩු ටිකක් හදන්න ආසයි ඒ උනාට වැඩකරලා ගෙදර යන වෙලාවට කූඩු හදන්න වෙලාවක් නෑ කියලයි. අද කාලේ හුඟක් තාත්තලගේ කතාව එහෙම වෙන්න ඇති..

තව අවුරුදු පහ හයක් යනකොට මේ කතාව මීටත් වෙනස් වෙයි.. සමහර විට වෙසක් අමතක වෙලාම යන්නත් පුළුවන්.. නැත්තං කතාව සෑහෙන්න වෙනස් වෙලා හැම ගෙදරම අනිවාර්යෙන් වෙසක් කූඩු 10ක් වත් එල්ලිය යුතුයි කියලා රජයේ විශේෂ නිවේදන එන්නත් පුළුවන්..

බලමු!

Monday, May 7, 2012

අවුරුදු වෙසක් හා කිරිබත් කතා..

අවුරුදු ආවා ගියා.. වෙසකුත් ආවා.. යමින් පවතිනවා.. වෙසක් වලට ගත්තු නිවාඩුවත් ඉවර වෙලා හෙට ඉදන් ආයේ සුපුරුදු ජිවිතේට යන්න සිද්ධ වෙනවා.. ආයේ ඉතිං කාලයක් යනකම් දවසක් කීපයක් එක දිගට පබ්ලික් හොලිඩේ සෙට්වෙන්නේ නැහැ මයේ හිතේ..  අතේ තියෙන නිවාඩුවක් දෙකක් ගත්තොත් තමයි...
දිග නිවාඩු සෙට් උනත් ඉස්සර වගේ එක දිගට නිවාඩු ඉන්නත් බෑ දැන්.. ඒ නිසා මේ අවුරුද්දට නිවාඩු ගත්තේ දවස් දෙකක් විතර.. වෙසක් දවසේ වැඩ කරලා යන්තං ඊයෙයි අදයි නිවාඩු දෙකක් සෙට් කරගත්තේ අපේ වාර්ෂික කිරිබත් දානෙ නිසයි..
මං හිතන්නේ මං කවදාවත් ඒක ගැන ලියලා නෑ.. ඒ නිසා ලියන්න කිසිම දෙයක් නැති මේ කාලේ ඒ ගැනවත් ලියලා මං තාම පණ පිටින් කියලා පොඩි සටහනක් තියන එක හොදයි වගේ!

බොහොම අතීතෙට ගියොත් අපේ ආච්චි ඒ කියන්නේ අපේ තාත්තගේ අම්මා නැති වෙලා තියෙන්නේ මැයි මාසේ වෙසක් පෝයක් දවසේ.. ඒක මේ උන්දැගේ පිණට අරකට මේකට නෙවෙයි.. අසනීප වෙලා ඉදලා මැරිලා ඉතිං.. ඒක සරළ කතාවක්.. ඉතිං කෙනෙක් මියගියාම ඒ කෙනා මතක් කරලා හැම අවුරුද්දකට පිංකමක් මොනා හරි කරන එක අපේ රටේ සිරිතක් නේ.. ඉතිං ඔය විදියට හැම අවුරුද්දෙම අපේ අම්මා ඒ කියන්නේ ආච්චිගේ  ලොකු ලේලි මහගෙදරින් විය යුතු යුතුකමකටත් වඩා එයාගේ වගකීමක් හැටියට සලකලා අපේ වත්කමේ හැටියට පංසලක් දන් පතක් දීලා හැම අවුරුද්දෙම ආච්චිව සිහිකලා.. මැයි මාසෙ වෙසක් ලබන දවස වෙනස් වෙනවාන් ඒ කියන්නේ පෝය හැම අවුරුද්දෙම එකම දිනේක නෙවෙයිනේ තියෙන්නේ.. ඉතිං වතාවක් ආච්චි මැරුණු දවස වෙසක් දවසට පස්සෙන්දා දවසක යෙදුනා.. සාමාන්‍යෙන් වෙසක් දවස් වලට පන්සල් වල හාමුදුරුවන්ට දන් නැති වෙන්නේ නැහැ නේ.. ඒ නිසා ඒ අවුරුද්දේ පන්සලට දානේ දෙන එක සෙට් කරගන්න බැරි උනා.. එදා අපේ තාත්තාගේ පොඩි අක්කයි එයාගේ පවුලයි අපේ දිහා ඇවිත් හිටියා.. ඉතිං එයයි අපේ අම්මයි එකතු වෙලා උදේම ඉඳිඅප්පන් ටිකක් හදාගෙන පාර්සල් කරගෙන කළුතර බෝධිය ළගට ගියේ එතන ඉන්න අයට කෑමට දෙන්න.. ගිහින් බැළුවම වෙසක් දවසේ සිල් අරගෙන සිල් පවාරණය නොකරපු ගොඩ දෙනෙකුට හීල් දානේ නෑ.. දාන දෙන අයත් වෙසක් දවසට එපා වෙනකල් දන් දුන්නට පහුවෙනිදා උදේ පාන්දරක් ගැන හිතන්නෙ නැහැනේ.. කොහොමත් වෙසක් කාලෙට කඩ වහලා නිසා ඒ මිනිස්සුන්ට කෑම ගන්න තැනුත් නෑ,. ඉතිං අපි ගෙනියපු ටිකත් කෑම ටික සුරුස් ගාලා ඉවර උනා.. ඉතිං එදා අපේ අම්මට හිතිලා තියනවා ලබන වතාවේ මීට වැඩිය ගේන්න.. ඉතිං ඊළග වතාවේ එයා කිලෝ 5ක විතර කිරිබත් තනියම හදාගෙන ගෙනිච්චා.. එදත් ඉවරයි.. ඊළග වතාවේ ගොඩක් කෑම හදන්න අමාරු හින්දා බනිස්... ඒකත් ඉවරයි.. ඊට පස්සේ කිලෝ 20 ක විතර කිරිබත් හැදුවේ අම්මයි අපේ හැමදේටම උදව්වට එන සිට්ටි නැන්දයි.. ඔය විදියට ටික ටික වැඩි කර කර හදන එක වැඩි කරනවා කරන කරන හැම වතාවෙම කෑම මදි වෙනවා..

ඉතිං ගිය වතාවේ කිලෝ 35ක කිරිබත් හැදුවා.. අම්මලට දැන් වැඩිය මහන්සි වෙන්න බැරි හින්දා අපේ ගමේ දානෙට මඟුලට හැම එකටම කෑම රසටම හදන දයාවතී කියන ගෑණු මනුස්සයාට එන්න කිව්වා.. හදනවාට වඩා අමාරු වැඩේ තමයි කිරිබත වඩලා කෑලි කපන එක.. ගිය අවුරුද්දේ කිලෝ 35ට ගේම දුන්නේ අපේ බුරු බබයි.. හරේ ඇන්ඩ් ලසිත කෝකි වරු දෙන්නයි.. අම්මලා කලේ විවිද වර්ග අනුව.. තේ.. ඉඟුරු තේ.. කහට..කෝපි ආදිය හදලා.. ලුණුමිරිස කොටා ගන්න එක.. එතකොට මම? හික් හික් මම හොඳට ආතල් එකේ නිදාගන්න එක තමයි ගිය වතාවේ නම් කලේ!

එතකොට මේ වතාවේ..

මේ වතාවේ ටාගර්ට් එක වෙලා තිබ්බේ 50 කිලෝස්.. එතකොට කිරබත වඩන වැඩේට!.. ගිය අවුරුද්දේ හිටි සපෝටර්ගා තුන් දෙනාම තුන් පැත්තක හින්දා මේ පාර ඇඳගෙන නාන්න වෙන බව මම කලින්ම දැනගෙන හිටියා.. ඉතිං ඒකට බයේමද මන්දා වෙසක් දා දවල් වෙනකොටම ඔෆිස් එකේදි පට්ට ඔළුවේ කැක්කුමක් ආවේ.. හප්පා.. ඒක අඩු උනේම නෑ.. ඉතිං ගෙදර ආ ගමන් රටළුණු කිලෝ 7ක් සුද්ද කරලා තියලා හයි පැරසිටමෝල් එකකුත් අරන් මම ටිකක් දෝ බබා වෙන්න ගියා.. ඇහැරෙන කොට වෙලාව රෑ දොළහයි.. බැණුමටයි රැවුමටයි කට්ටටයි හිත හදාගෙන මම කුස්සයි පැත්තට ගියා.. යනකොට පට පට ගාලා ළුණු කැපෙන සද්දයක් එනවා.. අපේ ගෙදර සෙට් එකේ අය නම් වෙන්නම බෑ! යනකොටම කිරිබතක් මේසෙටත් වඩලා.. දැන හෝ නොදැන අපේ තාත්තා පොල් ගාන මැෂින් එක ගේන්න කියලා තියෙන්නේ හෝටලේක වැඩ කරපු කෙනෙකුට.. එයයි එයාගේ මස්සිනයි දෙන්නම කිරිබත් එක්ස්පර්ට් ලා..  වෙනදා පාන්දර පහ හය වෙනකං නටන නැටුම කිරිබත් කිලෝ 50ක් විතර හදලත් 3 වෙනකොට පැකින් කරලත් ඉවරයි! කොහොමද ගේම!

අපේ අම්මා නම් කියන්නේ හොඳ වැඩක් කරනකොට දෙවියොත් උදව් කරනවා කියන්නේ බොරුවට නෙවෙයිලු.. ගිය අවුරුද්දේ මගේ යාළුවෝ ටික සෙට් උනෙත් මේ වතාවේ දමින්ද අයියලා සෙට් උනෙත් ඒ විදියට කියලයි එයා හිතන්නේ.. ඒවයේ ඇත්ත නැත්ත කොහොම උනත් වැඩේ කෙරුන එක ගැන නම් මට සතුටුයි..

අපේ රටේ සිල් ඇත්තෝ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. විනය ගැන එහෙම.. කොයි තරම් අපි මහන්සි වෙලා හදාගෙන ගියත් බෝධිය ළගට ගියාම තරහා එනවා මිසක් වෙන මොකුත් නම් එන්නේ නැහැ.. වාඩි වෙන්න ළගට ගෙනත් දෙන්නම් කිව්වට අහන්නේ නැහැ.. අහන අය හිටියත් නොඅහන අය හින්දා වෙන කරදරේ නම් කියලා නිම කරන්න බෑ..

එහෙම කෙනෙක් අන්තිමේ අපිට බැණ බැණත් ගිහිං.. “මේ මිනිස්සු ඊයේ රෑ අරක්කු බිබී කුකුල් මස් කකා ඉදලා අද මෙතන දානේ ගෙනත් බෙදනවා.. “ කියලා.. එහෙම කිය කිය ගිය කෙනා එහෙම කියලා තියෙන්නේ එයා බලෙන් කිරිබත් පැක් තිබුන පෙට්ටියට අත දාලා පැක් දෙක තුනක් ම ගන්න ගිය වෙලේ ඒකෙන් අනිත් අයට බෙද බෙද හිටි මට තරහා ගිහින් “මේ...හොරකම් කරන්න එපා“ කියලා කිව්ව නිසයි.. ඒ වෙලේ තරහා ගියාට මට පස්සේ දුක හිතුනා.. ඒත් කරන්න දෙයක් නෑ.. හොඳට චිකන් එක්ක ලන්ච් පැකට් එකක් ඒ මනුස්සයට ගෙනිහින් දෙන්න හිතුනත් ඒක හරියන්නෙත් නැහැනේ ඉතිං.. මොකද මම ගෙදර ඇවිත් හොදටම දෝ ගත්තනේ!

ඉතිං මේ පාරත් හදපු කිරිබත් ටික පැය කාලක් යනකොට වාෂ්ප උනා.. ඉතිං ලබන අවුරුද්දේ 75ක් විතර දෙන්න  හිතාගෙන පශ්චාත් දාන කතාබහ අපි ඉවර කලා.

හපේ අප්පේ කාලෙකින් ලිව්ව නිසා පතරංග ජාතකේ වගේ ලියවුනා.. දැන් ඇති..!