Sunday, June 12, 2011

පාර දිගේ 4

අර අන්තිමට මං කිව්ව විනාඩි පහේ නින්දෙන් පස්සේ මම නැඟිටිද්දි හත් වළාමයි ඉරත් පායලා.. කට්ටිය මං නිදාගත්ත ටිකට කතාබහ අහවර කරලා නිදාගෙනත් නැඟිටලා.. මං විතරක් දොයි! හප්පා.. මං ඉතිං කවදාවත් බදුල්ලට උදේ වෙනවා දැකලා තිබ්බේ නැහැනේ.. වැඩි වෙනසක් නෑ මෙහේ වගේමයි.. හැබැයි ඉතිං ලා‍ සීතල ගතියකුයි මීදුමයි තිබිලා තියනවා.. ඒ බව දැනගත්තේ මං දොයි වෙලාවේ සංචාරේ ගිය අපේ ලොකු නෝනා කැප්චර් කරලා තිබ්බ ෆොටෝ වලින්.. නැත්තං ඉතිං කොළඹට උදේ වෙනවා වගේම තමයි..ඉතිං කට්ටිය ටක් ටක් ගාලා ලෑස්තිවෙලා බිල් එහෙම සෙට්ල් කරලා එළියට බැස්සා මොකද ලොකු දවසක් ඉස්සරහට තියෙනවානේ..!

කලින් දවසේ රෑ‍ කොත්තු වලින් ගෙවුන නිසා හැමෝටම ඕන උනේ උදේම කුසට යමක් දාගන්න.. ඒකට සෙට් වෙන තැන තීන්දු කරෙත් අපේ කූෂාන් යුවල.. අනේ ඉතිං මං ඔය කිව්වට මට කඩේ නම නම් මතක නෑ.. හැබැයි බදුල්ල ටවුන් එක මැද මයි තියෙන්නේ.. ගෑණු අය තමයි වේට්‍රස්ලා විදියට ඉන්නේ.. ඉඳිආප්ප, පිට්ටු, පාන්, කිරිබත්, ඇතුළු බොහෝමයක් කෑම වර්ග වලින් පිරුණු ලස්සනට හදලා තියන ‍පුංචි ‍පහේ හෝටලයක්. එතනින් ඉතිං කට්ටිය කැමති කැමති කෑම ජාති ‍එහෙම කාලා බීලා අපේ ගමන ආයේ පටාන් ගත්තා.. අපි තුන් දෙනෙක් කාර් එකෙත් අපිට මඟ පෙන්වන්නත් එක්ක කුෂා යුවල දඬුමොණර යා‍නාවෙනුත් පිටත් උනේ සුන්දර දුන්හිඳ ලලනාව හොයාගෙන...

ඇතුල් වෙනකොටම තියන ප්‍රධාන අලෙවි සැල් පහුකරගෙන ප්‍රවේශපත් අලෙවි සැලෙන් අවසරපතුත් අරගෙන අපි ඉතිං ගමන පිටත් උනා.. පිටත් උනා කිව්වට ඉතිං එක තැන වගේ තමයි ඇයි ඉතිං කැමරා පහක් අතේ තියාගෙන කොහොමද පස්දෙනෙක් ගමනක් ගියාම දකින දකින රිලවයි මකුළුදැලයි අරකයි මේකයි අරයවයි මෙයාවයි හැම එකාවම ෆොටෝ ගහන්නේ නිකං දැලිපිහිය අහුවුන රිලාපැටව් වගෙනේ.
(එහෙම නැතුවත් බෑ ඉතිං) ඒ උනාට ඉතිං තව එක්කෙනෙක් නම් කිව්වේ අපි ඉක්මනට ගිහිං එනකොට ඔය වැඩ කරමු කියලා.. ඒ උනාට එහෙම බැහැනේ.. එනකොට දැන් පහුක‍රගෙන යන ඒවා නොතිබුනොත්!!!! නේ?

ඔය විදියට ඉතිං විහිළුවෙන්.. තහළුවෙන්..හිනාවෙන්..ජොලියෙන්.. ආතල් එකෙන් දුන්හිඳ හොයාගෙන හොයාගෙන අපි ගියා...

මඟදි නොදැනිම වගේ ඇති වෙලා තිබුන මහන්සිය සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දාන්න දුවිලි වලා වගේ විසිරිලා යන වතුර බිංදු වලට පුළුවන් උනා.. ඒ සුන්දර දසුන් දකින්න ලැබුන එක‍ම කොයි තරම් දෙයක් ද.. ඒ සෞන්දර්යයේ මිහිරියාව.. දුන්හිඳ කොමළියගේ ගායනා.. හැමදෙයක්ම එකතු වෙලා පුදුම විදියේ ලස්සනක් සැනසීමක් මවලා තිබුනා.. අහෝ! එත් අපි ගිහින් ටිකකින් එතනට පැමිණි 30කගේ පමණ පිරිසෙන් ඒ සියල්ල නැතිවෙලා ගියා! (මොනා කරන්නද ඉතිං හැමෝම එක වගේ නැහැනේ!!)

දුම් ඇඳිලි.. ෆොටෝ ගැහිලි. බෙලි මෙරිකිලි එහෙම අහවර උනාට පස්සේ අපි ආපහු යන්න තීරණය කලා..!!!! @$$(@*%$$$$!!!!!!! ඒක තමයි එදා මම අමාරුවෙන්ම ගත්ත තීරණය.. මොකද දුන්හිදෙන් සමුගන්න කොටම තියෙන්නේ උඩට නඟින්න තියන පඩි10ක් 15ක් විතර තියන ටිකක් තියුණු නැග්මක් එක්ක පඩිපෙලක්.! පළවෙනි
පඩියට කකුළ තියද්දිම මම දැනගත්තා මට යන්න බෑ කියලා.. (බැරි උනත් ඉතිං යන්න එපැයි.. වඩාගෙන යන්නවත් ඉතිං කෙනෙක් නැහැනේ.. හිටියත් ඉතිං මාව වඩාගන්න කිංකොන් වගේ එකෙක් වත් එපැයි අඩුම ගානේ.. එහෙම උනුත් නැහැනේ ඉතිං) වැඩිය කියන්න දෙයක් නෑ ඉතිං.. යන ගමනට වඩා සිය ගුණයක් අමාරු උනා ආපහු ‍එන ගමන.. කට්ටියත් එක්ක යන්න ගියොත් ඒක අනිත් අයගේ විනෝදෙත් නැති කරන වැඩක් වෙන නිසා අනිත් අයට යන්න කියලා අපි දෙන්නා හෙමින් හෙමින් ගියා.. පඩි නඟින්න තිබුන හැම වෙලාවකදිම මට අසනීප ගතිය දැනුනා හොඳටම (ඔහොම තමයි ඇඟ හොරු උනාම ඉතිං.. මං ඒක පිළිගන්නවා.. සෝ නෝ බයිටින් ප්ලීස්!) උදේ ෆා ගෙන් ගමන පිටත් වෙද්දිම ලැබුන අඹ කෑල්ලේ ඉදං හැම දේම ආපහු කටින්ම පිට කරලා යන්තං ශේප් උනා.. ඒ එක්කම මඟ තිබුන බංකුවක විනාඩි 5ක් විතර ලැජ්ජාව පැත්තක තියලා ෆුල් සැප නින්දක් ගත්තට පස්සේ නැති වූ ජවය නැවත එකතු උනා මං හිතන්නේ.. කොහොමින් කොහොම හරි අනිත් අයට වඩා පැය භාගයක් (පැයක් ද මංදා) විතර පස්සේ ආයෙමත් අපි ගමන ආරම්භ කරපු ප්‍රවේශ දොරටුවට පැමිණියා.. ! කොහේ ගියත් වෙන පරිදි ඉතිං ලාවට ස්වනියර් ශොපින් පාරක් එහෙම දාලා අපි දිවා ආහාර වෙනුවෙන් පිටත් උනා ඒ අපේම කෙනෙක්ගේ ගෙදරට.. අන්න එතනදි තමයි මගේ සිහිනයක් ඉටු උනේ..! මඤ්ඤොක්කා කොළ මැල්ලුම කන්න ලැබුනේ.! ෂාහ්... ඒක රසයි නේනන්ම්.. ඒවා ඇතුළු තව මොන මොනාද එක්ක බංඩි පිරෙන්න බයියං කාලා.. අපි බදුල්ලෙන් පිට වෙන පැත්තට ඔළුව හරවා ගත්තා.. කුෂාන්ටයි අපේ අයිස් කුට්ටියටයි සමුගැනීම සටහන් කරලා අපි ෆා කෙලීවත් ඇන්න බණ්ඩාරවෙල බලා පිටාත් උනා..

බණ්ඩාරවෙල සතිපොලෙන් වෙජිටබල් ශොපින් ටිකකුත් කරගෙන ඊළගට අපි නතර උනේ ෆාගේ සුන්දර ගෙදර.. යනකොටම ෆා‍ ගේ ජින්ජි දොර ළග ඉදලම අපිට හායි කිව්වා.. ඊව්නින් ටී එක ෆා නිවසින් අරන් අපි ෆා ටත් ටටා කියලා බණ්ඩාරවෙලෙනුත් සමුගත්තා..
ආයෙමත් ඉතිං ගමනේ යා... වෙලා එදා රැයේ අපේ නවාතැන උන බලංගොඩ නිවසට ළඟා උනා..! ගෙදර වත්තේ තිබ්බ පලතුරු ගස් ඒ තැන් වල ඒ විදියට පලදාව තියෙනවාද කියලා මහ රෑම බලලා පහුවෙනිදාට දෙන්නං බැටේ කියලා ගස් වලට කියලා පොඩි අක්කාගේ රෑ කෑම වේලෙන් සප්පායම් වෙලා ගමන් මහන්සියටත් එක්කම මං නම් කලින්ම නින්දට ගියා..!

Monday, June 6, 2011

පාර දිගේ 3


පේරාදෙණිය පහුකරලා අපි නුවරට ආවා.. නුවර ආවට මොකෝ මඟ නම් නතර උනේ නෑ.. මොකද ඒ වෙනකොටත් අපි හිතාගෙන හිටියට වඩා ගොඩක් වෙලාව පරක්කු වෙලානේ තිබුනේ.. අපි නුවරට සැපත් වෙනකොටත් වෙලාව හවස හතරත් පහුවෙලා වගේ.. ඒ වෙනකොටත් නතරවෙන තැනක් ගැනවත් හිතලා නොතිබුණ හින්දා අපි පහුවෙනිදාට දාගන්න හිතන් හිටි විසිට් එකකුත් තිබුන නිසා නවාතැන නුවර පහුකරලා බණ්‍ඩාරවෙල පැත්තට වෙන්න වගේ හොයාගන්න හිතාගෙනයි හිටියේ.. ඒ එක්කම ඉතිං නුවර නතර උනා කියලා නුවරත් ඉතිං අපි නොඟිය නොබලපු දිහාවක් නෙවෙයිනේ කියලා ඔන්න ඔහේ බදුලුම යමු කියලා එක සැරේ යෝජනා උනා... නුවර ඉඳන් බදුලු යනවා නම් යන කෙනෙකුට යන්න පාරවල් ‍කීපයක් තියනවාලු.. එයින් එකක් තමයි අපි නොගිය, නොගිය නිසා නොදන්න නුවරින් ආපස්සට පේරාදෙණිය පැත්තට ඇවිත් එන පාර (මං හිතන්නේ නුවරඑළිය පාර වෙන්න ඇති) අනික අපි ආව රංදෙණිගල පාර..ඒත් ඉතිං බදුල්ලේ හවස් වෙලා ගිහින් උන් හිටි තැනුත් නැතිවෙයිද දන්නේ නැති හන්දා ඒ ගමන නම් යන්න කලින්ම බදුලුපුරේ අපේ ඇත්තන්ගෙන් අවසර එහෙම අරන් වැඩිදුර තොරතුරු දැනගන්න එක හොඳයි කියලා හිතුවා. ඒහෙම හිතලා එක්කෙනෙකුට කොල් කරාම අනේ නෝ රිප්ලයි. කෝක කොහොම උනත් අනිත් ඇත්තට ගත්තම නම් අඩේ මලියා කියලා ඔන්න කොල්ලා ආන්සර් කලා... "මේ අපි අද බදුල්ලේ ආවොත් ඉන්න තැනක් සෙට් කර ගන්න පුළුවන්ද බං" කියලා ඇහුවම ශුවර් කොල්ලාව නම් අඩි විස්සක් විතර උඩ යන්න ඇති.. ඒකනේ ‍"හෝව් හෝව් දැන් ඉන්නේ කොහෙද ආදී නොයෙක් මාදිලියේ තොරතුරු ඇහුවේ" හැබැයි ඉතිං තොරතුරු මොනා ඇහුවත් කොල්ලා අපිට ෆුල් සපෝට් එක දුන්නා.. ඒ වගේම එක හෙලාම කිව්වේ අලි ඉන්න නිසා රංදෙණිගල පාරේ එනවා නම් අඳුර වැටෙන්න කලින් එන්න කියලයි. (මොනවා වැටෙන්නද ඒ වෙනකොටත් පහ පැනලා ‍මයේ හිතේ)

ඔය විදියට ඉතිං අපි එදා රෑ නුවර නවතින්නේ නෑ කියලා තීරණය උනා. අපේ නුවර ගමන වැව රවුමේ එකතැනක නතර වෙලා ජායාරූප කිහිපයක් හා දුරඇමතුම් කීපයක් ගැනීමට ‍සීමා උනා. ඒ ඇමතුමුත් බදුල්ලේ ඉන්න හෙන අයිස් පප්පෙක්ට අයිස් දියවෙනකම් බැනීමකට සීමා උනා (නැත්තං ඉතිං එදා‍ රෑ ඌ අපිව බලන්න එන්නේ නැහැනේ..! ග්ර්ර්ර්ර්ර්ර්!!!)

දැන් ඔන්න අපි රන්දෙණිගල පාර දිගේ බදුලු යන්නයි ලෑස්තිය.. අපේ රථාචාර්යතුමත් ඉතිං වැඩිය පාරවල් දන්නේ නෑ.. මං නම් දන්නේම නෑ.. එතකොට අර සුද්දි නම් අපි දෙන්නටම වඩා ‍වගේ දන්නවා.. ඒත් ඉතිං කොහොම හරි ඒ පාර දිගේ අපි ගමන පිටත් උනා.. ඒ වෙනකොට හවස් වෙමින් ‍ලාවට බඩගින්නකුත් දැනෙමින් තිබ්බ නිසා ඉක්මනට යනවා වගේම ආප්ප කඩයක් සොයාගැනීමත් අත්‍යාවශ්‍යය වෙලයි තිබුනේ. ඒත් ඒ පාර වැඩිය ජනාකීර්ණ පාරක් නෙවෙයි... වාහන උනත් විනාඩි දහයකට සැරයක් විතර එක්ක පාස් උනා.. ‍කඩවල් කීපයකම නතර උනත් ඒ වෙලාව වෙනකොට ආප්ප තියා පාන් වාටිවත් තිබුනේ නැති තරම්.. ඒත් රෑ වෙන්න කලින්.. අලි පාරට එන්න කලින් යා ගන්නත් එපැයි.. ඒ වගේම ටී ජන්ශන් එකක් හොයාගන්නත් ඕන වෙලා තිබුනා.. (එතනින් තමයි අපි මහියංගනේ යනවද බදුල්ලේ යනවාද කියන එක තීරණය වෙන්න තිබ්බේ) කොහොමින් කොහොම හරි ග‍මනෙන් අඩක් විතර යනකොට හොඳටම කළුවර ඇවිත් තිබුනා.. ඒ වගේම එක තැනකදි (අනේ මට ඒ කඩේ නමවත් ඒ පැත්තේ නමවත් මතක නෑ. ශික් ම‍ට කවදාවත් නම් මතක හිටින්නේ නැති හැටි) හැබැයි ඒ කඩේ නම් ලොකු තේ කඩයක්. ආප්ප වර්ග වගේම රසම රස එවෙලේ හදපු එළවළු රොටි කොත්තු එහෙම හැමදේම තියෙනවා.. ඒ ‍කඩේ ඉස්සරහා හොඳ එළවළු කඩයකුත් තියනවා.. (දන්න කෙනෙක් සිටී නම් නම පවසන සේක්වාහ්!) මට හි‍තුන හැටියට නම් ඒ පාරේ වැඩියම ධාවනය උනු වැලි ලොරි වල රි‍යදුරු මහත්වරු වෙන්න ඕනි ඒ කඩේ පාරිභෝගිකයෝ..! හැබැයි අපි යද්දි නම් කවුරුවත්ම හිටි නැති තරම්.

දැන් අර එළවළු රොටී දැක්ක ගමන් මට ආවා තඩි බඩගින්නක්! ඉතිං මායි අපේ රථාචාරීතුමයි එතනදිම රස පරීකෂාව සිදුකලා.. ඕක දැකපු අපේ අනිත් එකාටත් ඒක අනුභව කිරීමේ දැඩි ආශාවක් ඇති උනා (කන්න හිතනම කබරගොයත් තලගොයා වෙනවා වගේ තමයි. මේ මනුස්සයා කියනවා ඒකේ සැර නෑ වගේලු) ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර්ලට උපදෙස් දෙන්න අපි මොක්කුද කියලා හිතාගෙන කාපන් කියලා එකක් දුන්නා. වන් ශොට් වගේ තමයි මෙන්න එක කෑල්ලක් කටට ගත්ත ගමන් වලිගේ කැඩිච්ච හූනා වගේ උඩපනින්න ගත්තේ නැතැයි.. කඩේ මිනිස්සු නිකං හොල්මන් දැක්කා වගේ..! (මොකද උනේ කියලා ඉතිං මං කියන්නේ නෑ.!!!! ;-) ) අපි නම් ඉතිං පැණි ආප්ප.. එළවළු රොටි වතුර ‍ප්ලේන් ටී එහෙම අරගෙන ගමනට පිටත් උනා. කඩේ අයගේ උපදෙස උනේ අලින්ගෙන් ශේප් වෙලා යන්න නම් වැලි ලොරියක් පිටිපස්සෙන් යන එක හොඳයි කියලයි.. අපි එක්කම වැලි ලොරියකුත් පිටත් උන නිසා අපිත් ෆිට් එකේ ගමන පිටත් උනා.. හැබැයි ඒ ලොරිය පිටත් වෙනවා විතරමයි අපි දැක්කේ.. වාහනයක් තියා මැස්සෙක්වත් නැති ඒ පාරේ අර ලොරිය පියාඹලා....!

අපි ඉතිං නිවීහැනහිල්ලේ ගමන යනවා..! ඒ ගමනේ සතුට වැඩි කලේ මගේ යාළුවා ‍එයාගේ ෆොන් එකෙන් ‍ප්ලේ කරපු මියුසික් නිසා.. සෑහෙන්න කාලෙකට පස්සේ සංගීතය ඇගේ නහර දිගේ ගමන් කරනවා දැනුනා.. කසුන්.. ඉන්ද්‍රචාප..ඇතුළු මම දන්නා නොදන්නා ගොඩක් සංගීත කාරයෝ ඒ හිස් පාරපුරා කළු වාළාකුළු අතරේ මාවත් අරගෙන හිතේ හැටියට රොන්දේ ගැහුවා.. ඒ වෙලාවේ නම් මැරුණත් දැනෙන එකක් නැති වෙන තරමට සැහැල්ලු වෙලා පුදුම නිස්කාන්සුවක් අත්වින්දේ..! ඇත්තටම ඒ හැඟීම විස්තර කරන්න දුප්පත් මට වචන නෑ..! ඒක විඳීමක් මිස විස්තර කිරීමක් නෙවෙයි......!

ඔය විඳියට අපි වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමි එක්ක ඩෑම් එහෙමත් පහුකලා.. අතර මැද හමුදා ආරකෂක කඳවරු වල නතර කෙරුනත් අපි දැක්ක ගමන් ඒ අය ඉක්මනින්ම යන්න කිව්වා.. මොකද රෑජාමේ බවලත් උදවිය දෙන්නෙක් ඒ වනාන්තර මැද්දේ මොනා කරන්නද? එ‍හෙම යනකොට අපි සොයා සොයා ඇවිත් අපි සෙව්ව මැණික නෙවෙයි...!! සෙව්ව ටී ජන්ශන් එක හම්බ උනා.. එතනින් වම් පැත්තට හැරුනා විතරයි මෙන්න පොලිශ් අන්කල් කෙනෙක් මහ රෑ පී.ටී කරනවා! හයියෝහ්! අපි මොකක් ටර්න් එකක් වැරදියටලු අරන් තියෙන්නේ..! ඒත් ඉතිං අපේ මැඩම් 'ඇයි' ඇහුවා විතරයි 'හා.. යන්න' කිව්වා..! හොඳ පොලිස් අයියා..!!!

එයින් පස්සේ නම් ඉතිං අපි බදුල්ලට ආවා.. ටවුන් එකේදි අයිස් පප්පවත් වා‍හනේට දාගත්තා... එතනින් අපි ගියේ රෑට සප්පායම් වෙන්න දෙයක් ගන්න.. ඒකට තෝරගත්තේ ටවුන් එක මැද්දේ තියන Capital City food court එක. උදේ 10;30 ඉදන් රෑ 10.30 වෙනකම් එතන විවෘතයිලු.. චයිනීස් සිංගප්පූර්.. එක එක ජාති කෑම එක්ක රෑට කොත්තුත් ගන්න පුළුවන්.. ආ.. ප්ලේන් ටීත් තියනවා..! එතනදි තමයි අපිට බදුලු ගමනේ අපේ සම්බන්ධීකාරක තුමා වෙච්ච කුෂාන් මහතා හා කූෂාන් ගේ වෙන්න නෝනා ‍හෙවත් අපේ සාදාදර ෆා මෙනවිය මුණගැහුනේ. . කූෂාන් තුමා ව නම් කලින් දැකලා තිබුනා නේ.. නමුත් ෆා මෙනවිය නම් එදාමයි දැක්කේ.. නමුත් කාලෙක ඉදන් කියවලා තිබ්බ නිසා කතාබහ කරන්න අමුත්තක් උනේ නෑ.. අනික අපේ කෙටි දැනුම් දීමකින් අපිට හැමදේම සූදානම් කරලා අපිව බලන්න ආව එකම මදැයි අපිට! ඉතිං අපි එතනින් ඉඳිආප්ප කොත්තු එක්ක නිකං රොටි කොත්තු අරගෙන අපේ නවාතැනට ගියා.

හදිස්සියේ හොයාගත්තට ඒ වෙලාවේ හැටියට අපි හිතුවට වඩා සෑහෙන්න හොඳ තැනක් තමයි අපිට සෙට් කරලා තිබුනේ Hotel Sanasta කියලා තාමත් හදාගෙන යන නමුත් සේවා ආරම්භ කරලා තිබුන එම හෝටලයේ එදා රෑ හිටියේ අපි විතරමද මන්දා.. ඒ නිසාමද මන්දා ඒ මොහොතේම ටක් ටික් ගාලා අපිට ඉල්ලපු විදියට අපේ ලාවට සෙට් වීමට අවශ්‍ය කරන මේස පුටු පිඟන් කෝප්ප අපිට ඕන තැන් වලට සෙට් කරලා‍ දීලා ඒ හොටෙල් එකේ මල්ලිලා අපිට ලොකු සහයෝගයක් දුන්නා..!


එතනින් එහාට ඉතිං ලියන්න දෙයක් නෑ.. කොත්තු.. චීස්.. ඒවා මෙවා අස්සේ කතන්දර ගොඩක් එක්ක හවානා ක්ල්බ් බෝතලයක් එහේ මෙහේ ගියා.. අඩුපාඩුවට කෝක් එහෙමත් හිටියා.. රෑ දොළහට විතර සමහර අයට කොල් කරලා අපි ස්වෙච්චාවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු එහෙමත් තිබ්බා..! (එහෙම නැතුව හොඳ නැහැනේ!) ඔය විදියට දොළහා උනා.. එක උනා.. එකෙක් වත් නැඟිටින පාටක් නෑ.. වෙලාවට මට වොශ්රූම් එක මතක් උනා.. මං ගිහින් එන්නම් කියලා ගියා.. ගියා ගියාම තමයි..!! මට මතක විනාඩි පහකින් ආයේ කට්ටියට සෙට් වෙනවා කියලා හිතාගෙන මං ලා නින්දකට යනවා විතරමයි! (ඉහික්! :D :D :D)

Thursday, June 2, 2011

පාර දිගේ 2

මාස එකහාමාරක් විතර සීනි පිටි නැති ප්ලේන් ටී කඩ මිරිස් ගම්මිරිස් නැති කෑම කඩ.. දූවිලි රස්නේ නැති තැන් ඒවා මේවා හොයලා ඉවර වෙලා දැන් ඉතිං ආයෙමත් බැක් ටු නෝමල් ලයිෆ් වෙලා ගෙදර ඉන්න එකේ බ්ලොග් එකෙත් දූවිලි පිහිදලා ගත්තා නම් හොඳයි කියලා හිතුනා. පාර දි‍ගේ 1 ලිව්වේ 2ක් ලියන්න හිතාගෙන උනාට 2 තියා 1.25 වත් ලියා ගන්න බැරි උනානේ.. හිනිදුම ගමන ගැන ටිකක් විතර ලිව්වට ඒක ලිව්වේ ගිය ගමන මතක තියාගන්න විතරමයි.. මොකද ආසාවට නිකං ගිහිං ආවා මිසක් ඔය ගිය කිසිම ගමනක් ගියේ ගවේෂණ කරන්න හි‍තාගෙන නෙවෙයි.. ඒ නිසා නිකමටවත් හිනිදුම බිහිවුනු කාළවකවානුවත් නම් ඔන්න මම දන්නේ නෑ.. ඒ නිසා වැඩි විස්තර ලියන්න කියලා කිව්ව අයට කියන්න වෙන්නේ සොරි කියලා තමයි.

පාරදිගේ අපි යන්න ගිය ඊළග ගමනට පිටත් වෙන්නයි මං දැන් හදන්නේ.. හැබැයි ඉතිං මීට මාසෙකට විතර කලින් ගිය ගමනක් නිසා අමතක උනු තැන් නම් ගම් නම් එපමණයි.. ඒත් ඉතිං මොකුත්ම නැතුවට වඩා මොනා හරි හොඳයි කියන නිසා මේක මේ විදියට ලියලා දානවා.. අපේ මෙවර අරමුණ උනේ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන්න.. නැතිනම් නුවර යන්න. හිතුවා ගියා වර්ගයේ ගමන් නිසා අපි ගමන පිටත් වෙද්දිම මං හිතේ උදේ 10ට විතර ඇති කොටින්ම 9 විතර වෙනකං මං ෂුවර් එකටම දැනගෙන හිටියේ නෑ අපි එදා යනවද නැද්ද කියලවත්.. ඒත් ඉතිං ඇඳුම් කෑලි දෙකතුනක් උරේක දාගෙන අපි ගමන පිටත් උනා..

මං ඉතිං කොහොමත් වැඩිය පාරවල් කාරිය මතක තියාගෙන යන එන මනුස්සයෙක් නොවන හින්දා ගමන් මඟ කියන්න නම් දන්නේ නෑ.. හැබැයි ඉතිං ගමනේ පැය 2ක් විතර ගෙවුනට පස්සේ අපේ රථාචාර්‍යයවරයා කිව්වේ වාහනේ හීට් වෙන නිසා පොඩි විවේකයක් ගත්තොත් හොඳයි කියලයි.. ඉතිං පාරේ අයිනේ ඉඩ තිබ්බ කඩයක් ඉස්සරහා නතර වෙලා වහනේට වතුර පොවනකම් මාත් එක්ක ගිය කෙනාට අඩු සීනී ප්ලේන්ටී එකයි මට ටිපි ටිප් එකයි අරන් ස්ට්‍රෙස් වෙන එක ලාවට හරි අඩුකරන්න මං හිතාගත්තා.. කොහොම හරි එතන පැය භාගයක් පමණ කූල් බ්‍රේක් එක ගත්තු අපි ආයේ හාහාපුරා කියලා ගමන පටාන් ගත්තා.. ඔය විදියට කජුගමත් පහුකරගත්තාය කියමුකෝ..! හ‍පොයි! මෙන්න ආයෙත් අපේ යානාවට උණ ගන්න පටන් අරන්.. දැන් මක්කැයි කොරන්නේ.. කාර් කොන්ත්‍රාත් සමාගමට දුර ඇමතුමක් දීලා වහාම යානාවක් රි‍ප්ලෙස් කරපාන් කියලා ඉල්ලීමක් කරලා අපි පාර අයිනේ තිබුන කෙත් යායක් එක්කම තිබ්බ බත් කඩයක් ළඟ වාඩිලා ගත්තා...

කොළොම්තොටින් රථයක් එන තුරු දැන් ඉතිං වෙන කුමක් කරන්නද...කියලා අපි තුන්දෙනා දවල් බත එතන තිබ්බ කඩෙන්ම සප්පායන් වෙන්න හිතා ගත්තා.. සුදු බතට ‍කොළ පරිප්පු ආදී ‍එකී මෙකී දේවල් සමඟ කෙස්ගසුත් මික්ස් වෙලා කෑම මෙසෙට ආවා.. අනේ ඉතිං අතට ගත් බත් ‍පතේ කෙස් දැක දිවා ඇහර සමහරු නොගත්තත් අපි නොකා ඉඳීයි..!! හුහ්! කොහොම හරි කෑවා කියමුකෝ.. කාලා ඉතිං අනිමිසලෝචනය.. මෛත්‍රීය භාවනාව ආදී සියළු ‍දේ කරමින් එතැන ටැග් ගැහීගෙන මීළඟ වාහනේ එනකම් ඉතිං හිටපන්කෝ කිව්වම අපිත් ඉතිං හිටියා.. ඒ හිටි වෙලාවේ අපි ඇවිද්දා නම් පයින්ම නුවරට ළගාවෙන්නත් තිබ්බා හැබැයි.. ඒ වගේ වෙලාවක් ඉවසලා ඉවසලා ඉවසලා අන්තිමේදී අපි හිතුවටත් වඩා හොඳ යානාවක් සැපැත් උන නිසා ආයෙම නුවරම යන්න අපි හිතාගත්තා.. (හොඳ වෙලාවට හොඳ එකක්ම ආවේ නැත්තං ඉතිං එදා හවස කාර් කඩේ කුඩු තමයි!)


ඉතිං අළුත් වාහනෙන් කූල් එකේ අපි නුවර යන්න ආයේ පිටත් උනා.. පිටත් වෙන වෙලාව ළං වෙනකොට හවස තේ බොන වෙලාවත් ළං වෙලා වගේ.. ඉතිං ආයෙමත් තේ එකක් බොන්න හොඳ ලස්සන තැනක් සෙට් වෙනකං අපි ආවා.. එතනදි ගේක හැඩේට තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක් වගේ තැනකට ගියාට මොකෝ එතන ප්ලේන් ටී නැහැ කියපි!! හයි‍යෝහ්! ආපු වේගෙන්ම යන්න හදද්දි මෙන්න කියනවා ප්ලේන් ටී නම් නෑ ඒත් ස්පයිස්ස් ටී නම් තියනවා කියලා.. (බැලිනම් අපි රෙස්ටෝරන්ට් කියලා ගිහින් තියෙන්නේ ස්පයිස් ගාර්ඩන් එකකට නේ..! මාත් එකක් මේ ගමන ගියේ හැමදේම ශෝයි උනාට හරියට ගහක් ගලක් නැති හෙන ජරා රටක ඩයල් එකක්නේ..) ඒක ඇහුවා විතරයි මෙන්න‍ මේකා ගහක් දැක්ක රිලවා වගේ පැනේනේ නැතැයි එළියට..

ටිකකින් අපි ස්පයිස් ගාර්ඩන් එකේ ඇවිදිනවා.. ඒකේ අන්කල් කෙනෙක් අපිට ගස් ගැන කියාදෙනවා.. අපේ වැට මායිමෙත් තියන පුවක් පැලත් මේ මිනිහා මට කියා දෙද්දි ලාවට හිනා ආවට මාත් එක්ක ගිය එකාගේ තත්වෙට හොඳ නැති හින්දා මාත් හෙන ෆොරීන් කෙල්ල වගේ හිටියා (හිකෑස්!) පැය භාගයක් විතර වත්ත වටේ ඇවිදලා දැකලා (ඇ/නැ)ති ගස් එහෙම බලාගෙන ඉවර උනාට ලස්සන හිනාවක් එක්ක මාමා කෙනෙක් ස්පයිස්ස් ටී කෝප්ප තුනකුත් අරගෙන ආවා..! අපරාදේ කියන්න බෑ ඒක නම් නියමම රස තේකක්! මගේ ජිවිතේ මම බිව්ව රසම තේ වලින් එකක්! එතෙක් වෙලා ද‍වසේ කාපු කටු සේරම අමතක කරන්න ඒ තේක සමත් උනා කිව්වොත් හරි...! ඉතිං තේ බීලා ඉවර‍ වෙලා එයාලගේ පහළ තිබ්බ ස්ටෝල් එකටත් අපි ආවා.. හප්පා..! අපි උඩදි බිව්ව තේ වර්ගයේ 100g පැකට් එකක් රු.2200ක් :0 !!! (නයි කයිද රෝස් පාන් කිව්වලු!) ඒ උනාට ඉතිං අර මාත් එක්ක ගිය කෙනාට අනූව නම් ඒවා අපි බොන්න ඕන අගය කරන්න ඕන අරවා කරන්න ඕන මේවා කරන්න ඕන ව‍ර්ගයේ ප්‍රඩක්ට් එකක් නිසා එයා නම් එකක් ගත්තා අපිට මොන ගුණ අගුණද ඕන දෙයක් පත්‍යයන් නිසා මං නොදැක්කා ‍වගේ හිටියා.. හැබැයි ඉතිං අපිට අර බොන්න දුන්නු ස්පයිසස් ටී එක නම් ෆ්‍රී ලු.. ඒකත් මදැයි.. ඔයාලත් නුවර පාරේ යනවා නම් ගොඩ වෙලා යන්න එකේ නම තමයි Lucky Land Spice Garden - තියෙන්නේ හිඟුල දොම්පිටියේ.. අඩුම ගානේ ෆ්‍රී ස්පයිසස් ටී එක වත් ලැබෙයිනේ.. ;-)

එතනින් පස්සේ අපි සුන්දර පේරාදෙණිය එහෙම පහුකරන් නුවරට සැපත් උනා..



!මතු සම්බන්ධය!

Monday, May 23, 2011

While Living | ජිවත් වෙ‍නකොට....!


ගෙවා මහ දුර
අතර මඟ හමුවී
වෙන් වෙවී..
යළි යළිත්
ළං වෙවී..

ඈත තරු පොකුරු
චක්‍රාවාට මැද
රස්තියාදු වී
ආයෙමත්
දූවිලි පිරුණු
දාඩිය දාන
ලස්සන කොළඹ
අවලස්සන මිනිස්සු මැද
හමු වෙවී..

පොත් අස්සේ
චිත්‍රපටි ‍මැද්දේ
හෝල්වල
වේදිකා මැද
අපිට නැති
අපේ නොවන
අපිට දැනෙන
විඳීම් හොය හොය
සංගීත තනු අස්සෙන්
ආයෙමත්
හමු වෙවී..

අරක්කු කොක්ටේල්
බයිට් සිගරට්
කෑම බීම
සබ්මැරීන් ලයිම් ජූස්
රෙසිපි අස්සේ
සුවඳ ගහන
අළුත් රස හොය හොය
රස්තියාදු වෙන
ආයෙමත් ටිකකින්
අඩු සීනී ප්ලේන් ටී එකෙන්
තොල් දෙක පුච්චගෙන
ස්ට්‍රෙස් රිමූව් කිය කිය
ආතල් එකේ
දුමක් දාගෙන
හමු වෙවී..

අත් අල්ලන්
අහක බලාගෙන
රවාගෙන ඔරෝගෙන
බදාගෙන ඉඹගෙන
ජිවිතේ උගන්නන
ඉගෙනගන්න
කතාකරන
වාද කරන
රණ්ඩු වෙන
ඈත් නොවී ඈත් වෙලා
ආයෙමත් ළං වෙලා

ජිවත් වෙනකොට
හමු උනු
මචං උඹට "සුභ උපන් දිනයක්! "
23-05-2011

Monday, May 9, 2011

පාර දිගේ 1

පහුගිය ටිකේ ඒකාකාරී වෙලා කම්මැලි වෙලා එකතැනම පල් වෙන්න පටන් අරන් එපා වෙලා ති‍බුන ජිවිතේ දැන් මේ ටිකේ නම්... හම්මෝ හරියට නිදාගන්න බැරි තරමට බිසී වෙලා. බිසී කිව්වට ඉතිං වැඩ හින්දම බිසී නෙවෙයි. මේ නිවාඩුවකට මෙහේ ආව ගෙම්බෙක් හින්දා අහිංසක මං හෙන බිසී වෙලා.. ඇයි ඉතිං කට්ටිය වැකේෂන් ආවට අපේ රස්සාවල් වලදි වැකේෂන් තියා වීක් එන්ඩ් එකක් වත් අපිට නැහැනේ.. ඒ උනාට ඉතිං අපි නැති උනාට ඔෆිස් වහන්නේ නැති නිසා රාජකාරියයි දේවකාරියයි අනිත් කාරීයි සේරම පුළු පුළුවන් හැටියෙන් හැන්ඩල් කරගන්න තමයි ට්‍රයි කරන්නේ.

හි හී... බ්ලොග් වල බයිලා ගහනවා කියලා දැන් ඉතිං මට බැනුම් අහන්න වෙයි. ඒ නිසා වැල් බයිලා නතර කරලා ටොපික් එක බේස් කරගෙන ලියන්නයි දැන් මම හදන්නේ...! හොදට හුස්මක් උඩට පහළට ගත්තා.. එක.. දෙක තුන...
..........
....

මීට අවුරුදු දෙක තුනකට වගේ ඉස්සෙල්ලා අයි ෆෝන් මාර්කට් එකට ආව අළුතම වගේ අතේ සතේ නැති උනත් අයි ෆෝන් එකක් ගන්න මටත් පොඩි හීනයක් තිබුනා.. ඉතිං හැබැහින් බැරි නම් හීනෙන්වත් නොලැබුනත් කිසි කමක් නැති උනත් ආතල් එකට වගේ ස්ටේටස් මැසේජ් එකක "අනේ මටත් අයි ෆෝන් එකක්" කියලා මම දාලා තිබුන කාලෙක එක සැරේම කවුදෝ පොප් අප් වෙලා හේයි ඔයා අයි ෆෝන් එකකට කැමති ද කියලා කතාව පටන් ගත්තා.. අපරාදේ මගේ පුරුවේ (අ)කුසල කර්මයකට වගේ මාත් ඉතිං මොනාදෝ කිව්වා.. ඒයින් පස්සේ ටික ටික කතාව ඇදි ඇදී ගියා.. තාම ඇදෙනවා... කන් පිරෙනකම් අහලා අහලා ඇති වෙලා එපා වෙලා වමනෙත් ගිහින් එතනින් එහාටත් තව ටිකක් අපේ කතාව ඇදෙන.. ඒ කතාවේ කෙලවරේ හිටි ගෙම්බි මේ ටිකේ ලංකාවට ඇවිත් හින්දයි ආයෙමත් මේ හැටි බිසී වෙලා විකාර වෙලා ඉන්නේ. අපේ ගොඩක් යාළුවන්ට මේ වෙනකොට ගොඩක් කාර්ය බහුල හින්දා මං වගේ ඉබ්බෙක් තමයි ඒ ගෙම්බිට තනියට නොතනියට ඉන්නේ. ඉතිං අපි අඹ කවි විචාර දේශණ නාට්‍ය ප්‍රසංග අරවා මේවා අස්සේ එහේ මෙහේ පොඩි පොඩි සංචාර ටිකකුත් කරගෙන දෙයියනේ කියලා ඉන්නවා ඉතිං......
.......

අපි පාර දිගේ ගිය ගමන් කතාවේ මුල්ම පිටුව වෙන් වෙන්නේ හිනිදුමට‍

මම මීට කලින් හිනිදුම ගැන අහලා තිබුනේ නෑ. අහලා තිබුනත් මතක තිබුනේ නෑ.. කොහොමත් ඉතිං වෙලාවකට මට මම ඉන්න තැනත් අමතක වෙන එකේ ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. අපේ ගමනට හිටියේ රථාචාර්ය වරයා සමඟම සියළු පිරිස හතර දෙනයි. ඉතිං මතක ඇති විදියට අපි ගමන පිටත් උනේ උදේ හතට පමණ. හිනිදුම කල්වාරි කඳු මුදුනත් පල්ලියත් වන්දනාව හා නැරඹීම තමයි අපේ අරමුණ උනේ. ගාළු පාර දිගේ අපේ ගමනේ මුල්ම නැවතුම උනේ බොහෝම කාලෙකට කලින් ඉදන් මාත් මගේ මිතුරියත් දැන හඳුනාගැනීමට පෙර සිට පොදුවේ කැමත්තෙන් සිටි සැෆ්රන් හට්! ගාළුපාරේ කොළඹ සිට ගමන් ගන්නා අයෙකුට පානදුර නගරය පසු කොට ගමන් ගන්නා විටයි තල්පිටිය ප්‍රදේශයේදියි දකුණු පසින් පිහිටි මෙම ආහාර අලෙවි සැල මුන ගැසෙන්නේ. බුෆේ ක්‍රමයට ආහාර ලබාගත හැකි මෙහි උදේ දිවා රාත්‍රී ඕනෑම අවස්ථාවක ආහාර ලබාගන්න පුළුවන්. එහිදි උදෑසන ආහාර ගත් අපි නැවත ගමන් ඇරඹුවේ හිනිදුම දක්වායි.. කළුතර බෝධියට පඬුරු පුදා අප ගාල්ල බලා පිටත් උනා..

අන්න එතනදි තමයි වැඩේ.!

හයියෝ ගාල්ල නගරයේ මෙරීන් වෝක් එක මුල සිට අග වෙන තුරු ප්ලේන් ටී සෙවූ අපට එම අදහස අතැර තැඹිලි ගෙඩියකින් තෘප්තිමත් වීමට සිදු උනා. හයියෝ ප්ලේන් ටී නැති ගාල්ල!!!

ගාල්ලේ ඉදන් අපි මඟ අසාගෙන දුර ගෙවාගෙන හති දමාගෙන හිනිඳුමට ලං උනා..

.........

ඒ යන මාර්ගයේ ඇති තේ රබර් පාම් වතු එහි ස්වභාවික සශ්‍රීකත්වය අපූරුවට නිහඬව පෙන්වා දුන්නා. අපි පල්ලියට යන දිනට පෙරදිනයි එහි මහා පුජා සතිය අවසන්ව තිබුනේ. ඉතිං තැන තැන ඉදිව තිබු කඩ ලෑලි ගැලවෙමින් පවතිද්දි අපි දිවා ආහාරයටත් ගමන් වෙහෙස නිවා ගැන්මටත් එහි තිබු එකම ස්ථානය වූ හිනිඳුම තානායමට ඇතුළු උනා. තානායමකටත් වඩා නිවසක සිරිගත් එහිදි අපි මොහොතක් ගමන් වෙහෙස නිවා ගත්තා. (සමහරු පලා පිඟන් දෙක දෙක කාපු එක වෙනම කතාවක් )

එයින් පසු අපේ ගමන් මගෙහි මුළික අරමුණ වු කල්වාරි පල්ලියට යෑමට අප පිටත් වූවා.. එහි කල්වාරි කඳුමුදුනටම ගමන් කල හැකිමුත් කාල වේලාව හා ගමන් වෙහෙස වැනි කාරණා සලකා බලා අප පල්ලියේ වටපිටාවේ ගතකිරීමෙන් සෑහීමකට පත් උනා. ඒ අසළින්ම ගලා ගිය දිය දහරත් දුෂණය අවම වූ ස්භාවිකත්වයත් නෙතු සීමාවේ පැවති කඳුමුඳුනුත් එක්ව සෑදූ චමත්කාරය හිත තුල දරාගෙන අපි නැවත කොළඹ බලා පැමිණියා..

එයින් අරැඹි අපේ සංචාරයේ තවත් දවසක් මට ෆ්‍රී උනු වෙලාවක!