"ඇයි?"
"මන්දා මට හිතුනා.. අනික මියුසික් කරලා තියෙන්නේ කසුන්...."
"එහෙමද?.. හ්ම් එහෙනම් ඉරිදාට වත් සෙට් වෙන්න බලමු."
ඔය විදියට සිද්ධ වුනු කෙටි සූදානමකින් තමයි බඹර වළල්ල චිත්‍රපටිය බලන්න යන්න මට අවස්ථාව ලැබුනේ.. තාප්ප වලට සීමා වෙලා තිබුනු පෝස්ටර් හරහා වැඩි අදහසක් ගන්න බැරි වීමත්.. මේ දිනවල තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක නිදහසේ ෆිල්ම් හෝල් එකකට ගිහින ෆිල්ම් බලන්න ප්ලෑන් නොකෙරුවත් හදිසියෙන් වෙලාව හොයාගෙන බලන්න ගිය නිර්මාණය ගැනයි මේ ලියන්න හදන්නේ.
නිර්මාණයක් ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් වෙන්න ඕනි කියලා තිබුණට ඇත්තෙන්ම මට මේ චිත්‍රපටය හරහා එහෙම දෙයක් දැනුණද කියන එක නම් මට ප්‍රශ්ණයක්.. කථා තේමාව ගැන මගේ පුද්ගලික මතය එතරම් ධනාත්මක නොවුනත් වර්තමානයේ අපි ජීවත් වෙන පරිසරයත් එක්ක සීනී බෝල මාතෘකා ගැන කෙරෙන නිර්මාණ වලට වඩා යාතාර්ථයට ළං වූ හා අකමැත්තෙන් උනත් අප සාකච්ඡාවට ගත යුතු තරමේ මාතෘකා කිහිපයක්ම තම නිර්මාණය හරහා රසිකයාට ළං කිරීමට නිර්මාණ කරුවා උත්සාහ දරා ඇති වගයි මගේ හැගීම නම්...
දුෂ්කර ප්‍රදේශයක.. දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක මරණ දෙකකින් ඇරඹෙන කථාව අතරමැද ගෙවී යන්නේ මල්ශාලා තුල.. මිනී පෙට්ටි.. මල්වඩම්.. මළ සිරුරු හරහා බිහිකෙරෙන පසුතල හරහා කතාව තුල අවිනිශ්චිතභාවය නම් හැගීම තුල අපව නිහඬ කර තබා දමිළ චිත්‍රපට වල අපට නිතර මුණගැහෙන තරුණ වීරයාගේ චරිතය වැනි තවත් කථාවක් අලංකාර දවටනයක ඔතා අපට තිළිණ කර ඇති බවයි පෞද්ගලිකව මගේ හැඟීම. නමුත් මෑතකදි අප රටේ සිනමාව තුල බිහිකෙරුණු බාල හෝ කොපිකැට් සෙලෝලයිට් පට වලට වඩා බඹර වළල්ල අතිශය සාර්ථක චිත්‍රපටයක් බව නම් සඳහන් කල යුතුමයි.!
සිය ප්‍රථම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂක මෙන්ම ප්‍රධාන චරිතය ලෙසිනුත් අප හමුවට එන අතුල ලියනගේ නම් තරුණ නිර්මාණ කරුවාට... නිර්මාණ හීනතාවයෙන් පෙලෙන සිංහල සිනමාව තුල මේ තරම් දෙයක් කිරීම පිළිබදව ප්‍රේක්ෂකයන් වශයෙන් අප ස්තූති කල යුතුයි.. එසේම කමල් අද්දරාරච්චිලාගේ පරම්පරාවෙන් පසු සිනමාවට අහිමි වී ගිය ජවසම්පන්න පිරිමි චරිතයට නැවත පණ පෙවීමට ඔහු ගත් උත්සහය අගය කල යුතුයි. නමුත් මාගේ පෞද්ගලික අදහස නම් ඔහුට සිය චරිතය තුල තවත් යමක් කල හැකිව තිබිණි යන්නයි.
මීට අමතරව බඹරවළල්ල පුරා අපට මුණ ගැසෙන අප ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මීට වැඩි යමක් චිත්‍රපටයට දිය හැකිව තිබුනා නොවේදැයි සිතෙන්නේ විශේෂයෙන් මනෝ හා ශ්‍රියන්තලාගේ චරිත නිරූපණය 100%ක් නොතිබුනා යැයි දැනෙන බැවිනි. එසේ වූයේ මහේන්ද්‍ර ගේ මැල් මහතාගේ චරිතය හමුවේ සෙසු චරිත ගෝල චරිත කිරීමට ගිය නිසාදෝයි නොදනිමි.
අතරින් පතර පෞද්ගලිකව මා වික්ෂිප්ත කල දර්ශණ කිහිපයක් ඇතුලත් වූවත් සමස්ථයක් ලෙස බඹර වළල්ල පුරා දර්ශණ හැසිරවීම උසස් මට්ටමක තිබිනි.
අවසන් වශයෙන් මට කීමට ඇත්තේ අන්තිම කෙලවරේ එල්ලී සිටින සිංහල සිනමාව තුල අඩුම තරමේ මෙහෙමවත් නිර්මාණයක් කෙරීම වටින බවය..! එතකොට ඉදලා හිටලාවත් සිනමාශාලාවකට ගොස් සිංහල චිත්‍රපටයක් බැලීමට අපේ හිතට නැවත වතාවක ෆිට් එකක් එන බැවිනි..
අතුල ලියනගේ.. අපි ඔබෙන් තවත් බලාපොරොත්තු වන්නෙමු.!
----------------------------------
ඉහත සටහනේ කොතැනකවත් චිත්‍රපට සංගීතය ගැන සටහන් නොතැබුනේ සංගීතය අජූත නිසා නොව මටත් කසුන්ගේ මියුසික් මතක් උනේ ෆිල්ම් එක ඉවර වෙලා අන්තිම නම් ටික යන වෙලාවේ නිසයි. ඉරිදා හවස 2.30 දර්ශණය බලන්න රීගල් එකට ඇවිත් හිටි 75ක විතර සෙනග ටික නැගිටලා යනකම් හැමදාම චිත්‍රපටියෙ අන්තිම නමත් ගිහින් ඉවරවෙනකල් වාඩිවෙලා ෆිල්ම් එක ගැන කතාකරන පුරුද්දට... කෝ මේකේ කසුන්ගේ මියුසික් තියෙන්නේ නම් ටික යන වෙලාවට විතරද කියලා ඇහුනම.. ඇයි අතර මැද දෙතුන් වතාවක තිබුනේ... කියලා උත්තර ලැබුනම.. ආ.. එහෙමද.. කියලා කියවුණා. රූප අතරේ සංගීතය ගැන අවංකවම මට අමතකව ගිහින් තිබුණ නිසයි ඒ.. කොහොම උනත් අන්තිමට ඇහුන මියුසික් පාට් එක නම් ෆිල්ම් එකට තකට තක.