Tuesday, August 24, 2010

සිංහල සිනමාවට අන්තිම ඇණයක් නොවු "බඹර වළල්ල"

"‍අපි මේ වතාවේ කොහොම හරි බඹර වළල්ල බලන්න ඕනි"
"ඇයි?"
"මන්දා මට හිතුනා.. අනික මියුසික් කරලා තියෙන්නේ කසුන්...."
"එහෙමද?.. හ්ම් එහෙනම් ඉරිදාට වත් සෙට් වෙන්න බලමු."

ඔය විදියට සිද්ධ වුනු කෙටි සූදානමකින් තමයි බඹර වළල්ල චිත්‍රපටිය බලන්න යන්න මට අවස්ථාව ලැබුනේ.. තාප්ප වලට සීමා වෙලා තිබුනු පෝස්ටර් හරහා වැඩි අදහසක් ගන්න බැරි වීමත්.. මේ දිනවල තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක නිදහසේ ෆිල්ම් හෝල් එකකට ගිහින ෆිල්ම් බලන්න ප්ලෑන් නොකෙ‍රුවත් හදිසියෙන් වෙලාව හොයාගෙන බලන්න ගිය නිර්මාණය ගැනයි මේ ලියන්න හදන්නේ.

නිර්මාණයක් ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් වෙන්න ඕනි කියලා තිබුණට ඇත්තෙන්ම මට මේ චිත්‍රපටය හරහා එහෙම දෙයක් දැනුණද කියන එක නම් මට ප්‍රශ්ණයක්.. ‍කථා තේමාව ගැන මගේ පුද්ගලික මතය එතරම් ධනාත්මක නොවුනත් වර්තමානයේ අපි ජීවත් වෙන පරිසරයත් එක්ක සීනී බෝල මාතෘකා ගැන කෙරෙන නිර්මාණ වලට වඩා යාතාර්ථයට ළං වූ හා අකමැත්තෙන් උනත් අප සාකච්ඡාවට ගත යුතු තරමේ මාතෘකා කිහිපයක්ම තම නිර්මාණය හරහා රසිකයා‍ට ළං කිරීමට නිර්මාණ කරුවා උත්සාහ දරා ඇති වගයි මගේ හැගීම නම්...

දුෂ්කර ප්‍රදේශයක.. දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක මරණ දෙකකින් ‍ඇරඹෙන කථාව අතරමැද ගෙවී යන්නේ මල්ශාලා තුල.. මිනී පෙට්ටි.. මල්වඩම්.. මළ සිරුරු හරහා ‍බිහිකෙරෙන පසුතල හරහා කතාව තුල අවිනිශ්චිතභාවය නම් හැගීම තුල අපව නිහඬ කර තබා දමිළ චිත්‍රපට වල අපට නිතර මුණගැහෙන තරුණ වීරයාගේ චරිතය වැනි තවත් කථාවක් අලංකාර දවටනයක ‍ඔතා අපට තිළිණ කර ඇති බවයි පෞද්ගලිකව මගේ හැඟීම. නමුත් මෑතකදි අ‍ප රටේ සිනමාව තුල බිහිකෙරුණු බාල හෝ කොපිකැට් සෙලෝලයිට් පට වලට වඩා බඹර වළල්ල අතිශය සාර්ථක චිත්‍රපටයක් බව නම් සඳහන් කල යුතුමයි.!

සිය ප්‍රථම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂක මෙන්ම ප්‍රධාන චරිතය ලෙසිනුත් අප හමුවට එන අතුල ලියනගේ නම් තරුණ නිර්මාණ කරුවාට... නිර්මාණ හීනතාවයෙන් පෙලෙන සිංහල සිනමාව තුල මේ තරම් දෙයක් කිරීම පිළිබදව ප්‍රේක්ෂකයන් වශයෙන් අප ස්තූති කල යුතුයි.. එසේම කමල් අද්දරාරච්චිලාගේ පරම්පරාවෙන් පසු සිනමාවට අහිමි වී ගිය ජවසම්පන්න පිරිමි චරිතයට නැවත පණ පෙවීමට ඔහු ගත් උත්සහය අගය කල යුතුයි. නමුත් මාගේ පෞද්ගලික අදහස නම් ඔහුට සිය චරිතය තුල තවත් යමක් කල හැකිව තිබිණි යන්නයි.

මීට අමතරව බඹරවළල්ල පුරා අපට මුණ ගැසෙන අප ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මීට වැඩි යමක් චිත්‍රපටයට දිය හැකිව තිබුනා නොවේදැයි සිතෙන්නේ විශේෂයෙන් මනෝ හා ශ්‍රියන්තලාගේ චරිත නිරූපණය 100%ක් නොතිබුනා යැයි දැනෙන බැවිනි. එසේ වූයේ මහේන්ද්‍ර ගේ මැල් මහතාගේ චරිතය හමුවේ සෙසු චරිත ගෝල චරිත කිරීමට ගිය නිසාදෝයි නොදනිමි.

අතරින් පතර පෞද්ගලිකව මා වික්ෂිප්ත කල දර්ශණ කිහිපයක් ඇතුලත් වූවත් සමස්ථයක් ලෙස බඹර වළල්ල පුරා දර්ශණ හැසිරවීම උසස් මට්ටමක තිබිනි.

අවසන් වශයෙන් මට කීමට ඇත්තේ අන්තිම කෙලවරේ එල්ලී සිටින සිංහල සිනමාව තුල අඩුම තරමේ මෙහෙමවත් නිර්මාණයක් ‍කෙරීම වටින බවය..! එතකොට ඉදලා හිටලාවත් සිනමාශාලාවකට ගොස් සිංහල චිත්‍රපටයක් බැලීමට අපේ හිතට නැවත වතාවක ෆිට් එකක් එන බැවිනි..

අතුල ලියනගේ.. අපි ‍ඔබෙන් තවත් බලාපොරොත්තු වන්නෙමු.!

----------------------------------

ඉහත සටහනේ කොතැනකවත් චිත්‍රපට සංගීතය ගැන සටහන් නොතැබුනේ සංගීතය අජූත නිසා නොව මටත් කසුන්ගේ මියුසික් මතක් ‍උනේ ෆිල්ම් එක ඉවර වෙලා අන්තිම නම් ටික යන වෙලාවේ නිසයි. ඉරිදා හවස 2.30 දර්ශණය බලන්න රීගල් එකට ඇවිත් හිටි 75ක විතර සෙනග ටික නැගිටලා යනකම් හැමදාම චිත්‍රපටියෙ අන්තිම නමත් ගිහින් ඉවරවෙනකල් වාඩිවෙලා ෆිල්ම් එක ගැන කතාකරන පුරුද්දට... කෝ මේකේ කසුන්ගේ මියුසික් තියෙන්නේ නම් ටික යන වෙලාවට විතරද කියලා ඇහුනම.. ඇයි අතර මැද දෙතුන් වතාවක තිබුනේ... කියලා උත්තර ලැබුනම.. ආ.. එහෙමද.. කියලා කියවුණා. රූප අතරේ සංගීතය ගැන අවංකවම මට අමතකව ගිහින් තිබුණ නිසයි ඒ.. කොහොම උනත් අන්තිමට ඇහුන මියුසික් පාට් එක නම් ෆිල්ම් එකට තකට තක.

Tuesday, August 17, 2010

ආදරේ ඉගැන්වූ සොදුරු හිතැත්තී

මීට ගොඩ කාලෙකට කලින් අපේ ගෙදරට අමුත්තියක් ආවා.. ආවා කිව්වට ආවම නෙවෙයි තාත්තයි මමයි ගිහින් එක්කරගෙන ආවා.. ම‍ම මයි ඔඩොක්කුවේ තියාගෙන අරගෙන ආවේ.. බයිසිකල් වල ගිහින් ‍පුරුදු නැති කමටද මන්දා ගෙදරට එන්න කලින් ම‍ගේ ඇඳුමෙත් වමනෙ දාගෙනයි එයා ආවේ.. ‍ගෙට ගොඩ උණෙත් හවස් ජාමෙක.. ආව දවසේ තරහට වගේ නොකා නොබී ඉන්න හැදුවට ලයිට් නිවලා අපි නිදා ගන්න හදද්දි පුරුදුකාරියක් වගේ අම්මාගේ පස්සෙන් ගිහින් ඇඳ යටට රිංගලා නිදා ගත්තේ අද ඉදන් හැමදාම මගේ තැන මෙතන කියලා එයාටම තේරිලා වගේ... එදා ඉදන් අවුරුදු 9ක් පුරාවටම එයා නිදා ගත්තේ එතන..ඒ කියන්නේ අම්මයි තාත්තායි නිදා ගන්න ඇද පාමුල.

ලියාපදිංචි නම සැන්ඩ්‍රා උණාට ‍හැමෝම එයාට ආදරේට කිව්වේ පැටී කියලා.. එයා තමයි ආදරේ ගැන හොදම පාඩම් ටික මට කියලා දුන්නේ..! හැබැයි ඒ කිසිම දෙයක් වචන වලින් නෙවෙයි ඉගැන්නුවේ... බැල්මෙන්.. ඇල්මෙන්..!!!

පැටී කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපේ ගෙදර බලු මැණික.. එහෙම කතා කරන්නේ අපේ අම්මා.. හේතුව පැටී වැඩියෙන්ම ලං උණේ අම්මට හින්දා.. මොකද දවල් වරුවම පැටී එක්ක ගත කළේ අම්මා නිසයි.. අම්මා ගෙදර වැඩ කරන අතරතුර ගෙදර මුර රස්සාව කළේ පැටී..! අපි කවුරුවත් නැති වෙලාවට අම්මා කතා කළේ පැටී එක්ක.. වචන වලින් කතා නොකලට කවුරු හරි එයා එක්ක කතා කරනවා නම් ඒකට ගැලපෙන විදියට ප්‍රතිචාර දක්වන්න පැටී හොදට දන්නවා. හැබැයි දවල්ට අම්මා එක්ක උණාට තාත්තා ගෙදර ආවම තාත්තා ගැන අපිට ව‍ඩා බලන්නේ පැටී. ඒ නිසයි තාත්තා එයාට බලු දූ කිව්වේ.. තාත්තාගෙම දූ වෙච්ච මට හැම වෙලේම තාත්තා එක්ක ඉන්න වෙලාව ‍හොයා ගන්න බැරි උණාට පැටී ළග ඕනාවටත් වඩා ඒකට වෙලාව තිබුණා..

අම්මයි තාත්තාටයි පැටී කොච්චර ආදරේ කළත් පැටී ගෙන් මට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් පිළිගැනීමක්.. ඒකියන්නේ මම හිටියේ ගෙදර බල්ලාටත් වඩා අන්ත තත්වෙක.. මොකද බලූව නාවන කවන පොවන.. විටමින් බෙහෙත් වර්ග පොවන සියලුම බලු රාජකාරී පැවරිලා තිබුණේ මට හින්දා පැටී උණත් මාව සැලකුවේ එයාගේ වැඩ කාරයා හැටියට.. ඒකයි ඇගේ මැක්කෙක් දෙන්නෙක් එල්ලුනාම කාටත් කලින් මාව හොයන් ඇවිත් මගේ ඇඳට ගොඩ වෙන්නේ..!

මේ මං කිව්ව පැටී ගැන මට ‍කියන්න අනන්තවත් දේවල් තියනවා.. මේ වෙලාවේ හිතට එන හැමදේම ලියන්න ගියොත් මට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා එයා සම්බන්ධ වෙච්ච දේවල් ලියන්න...! ඒ තරම් එයා එයාගේ හුරතල් ඇට්ටර වැඩ වලින් අපේ ජිවිත පුරවලයි තියෙන්නේ..

පැටී හැමදාම හැදුණේ අපේ ගේ ඇතුළේ.. ඉතිං රෑට එයාට එළියට පහළියට යන්න ඕනි උණොත් එයා ඇහැර වන්නේ අපේ තාත්තව.. තාත්තා නැගිට්ටේ නැත්තං අම්මාව.. ඒ දෙන්නම ගෙදර නැත්තං පාන්දරට මම නැගිටිනකං කොහොම හරි ඉවසන් ඉන්න තරං පැටී මං ගැන කාරුණික උණා... ඒත් මීට ටික දවසකට කලින් රෑ 11 ට විතර අපි නිදාගන්න ගියා.. සාමාන්‍යයෙන් මං නිදාගන්නේ ගෙදරින් එළියේ තියෙන මගේ කාමරේ උණත් එදා වෙන හේතුවක් නිසා මම මගේ පරණ කාමරෙයි නිදාගත්තේ.. නිදාගන්න ගියත් මට වැඩි නිදිමතක් ආවේ නෑ.. ඒත් මම ලයිට් ‍ඕෆ් කරලයි තිබුණේ.. මට ඇහුණා අනිත් කාමරෙන් පැටී තාත්තව නැගිට්ටවන්න කරන සද්දේ.. ඒත් තාත්තට නින්ද ගිහිලයි තිබුණේ.. අම්මටත් ඇහැරුණේ නෑ.. පැටී මගේ ළගට ආවා.. මම එයා එළියට එක්ක ගියා.. එයත් ගිහින් ආවා.. මේ විදියට දෙතුන් වතාවක් පැයක් විතර ඇතුළත සිද්ධ උණා.. අම්මත් නැගිට්ටා.. පැටී මොකක් හරි අසනීපෙකින් කියන දේ මට තේරුණා.. කලින් වතාවෙදි ‍එයාට ගෙනත් තිබුණු බෙහෙත් ටිකක් මම එයාට දුන්නා.. ඒත් එක වර්ගයක් ඉවර වෙලයි තිබුණේ.. මම වතුර දුන්නා.. එයා වතුරත් බිව්වා.. බීලා එයයි මමයි අම්මයි තුන් දෙනාම පාන්දර 3 වෙනකම් සාලේ වාඩි වෙලා හිටියා.. ඒ මුළු වෙලාවම එයා අම්මාගෙයි මගෙයි මූණු වලින් ඇස් අයින් කළේ නෑ... මගේ හිතට පොඩී සැක සංකාවක් ආවේ නැතුවමත් නෙවෙයි.. ! ඒත් ඒ පාන්දර ‍පැටීට බෙහෙත් ගේන්න යන්න තැනක් ඇත්තෙත් නෑ.. පහුවදා තාත්තට වැඩ දවසක් නිසා තාත්තාත් නිදි.. ඔය විදියට ඉදලා පාන්දර 3.30ට විතර අම්මයි මමයි නිදාගන්න ගියා.. පැටී අම්මා එක්ක කාමරේට ගියා.. 4ට විතර පැටී ඇවිත් ආයේ මාව ඇහැරුවා. මං එයාට කිව්වා අපි උදේට බෙහෙත් ගන්න යමු පැටී දැන් ගිහින් නිදා ගන්න කියලා.. අනේ එයා ගියා.

----------------------------------------

පහුවදා පාන්දර 5.45ට විතර තාත්තා මාව නැගිට්ටුවා..ඒ පැටීට බෙහෙත් ගේන්න යන්න.. ඉන්න මම මූණ හොදන් එන්නම් කියලා මම වොෂ් රූම් එකට ගියා.. ගිහින් එළියට එනකොට මට ඇහුණා අම්මා පැටීට අඩගහන හඩ.. මමත් ඒ දිහාවට ගියා.. පැටී පේන්න නෑ.. බලන්න බබා පැටී එහා වත්තට ගියා ආවේ නෑ.. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා අම්මා කිව්වා.. සාමාන්‍යයෙන් පැටී යන්නේ ඒ වත්තේ පිටි පස්සට විතරයි.. ඒ යන්නේත් බල්ලෝ පූසෝ වගේ සත්තු එලවගෙන.. (එයා හිතන් හිටියේ අපේ ඉඩමයි ඒ ඉඩමයි දෙකම එයාගේ කියලා..) මමත් වැටෙන් රිංගලා අල්ලපු වත්තට ගියා.. පිටිපස්සේ... ම්හු.. කෙල්ල නෑ.. ඒ ‍වත්තේ තියන අක්කලගේ ගේ පිටිපස්සෙන් ඉස්සරහට යනකොට යාන්තමට ඉර එළිය වැටිලා තිබ්බ මිදුලට වෙලා පැටී නිදි.. ඒත් ඒ ඇස් දෙක ඇරිලා.. ආපහු හැරුණු මට පෙනුණේ අම්මා කුස්සියේ දොර ළග ඉදන් මං දිහා බලාගෙන පැටී ඉන්නවාද අහනවා විතරයි..! අනේ අම්මේ පැටී නැතිවෙලා..!!!!

එච්චරයි මට කියාගන්න පුළුවන් උණේ..

මීට හරියටම මාසෙකට කලින් ඒ කියන්නේ හරියටම ජූලී 17 වෙනිදා උදේ පාන්දර අපි හැමෝටම හොරෙන් අපේ රත්තරං පැටී අපෙන් වෙන් වෙලා ගියේ එහෙමයි... කම්මැලි වෙලාවට ‍බොරුවට රණ්ඩු වෙන්න.. සීතල වෙලාවට කකුල් දෙක අද්දර ඇදේ කෙළවරට වෙලා නිදා ගන්න.. බඩගිනි වෙලාවට එක බිස්කට එක දෙකට කඩාගෙන කන්න.. ගෙදර ඉන්න මීයෝ කැරපොත්තෝ මරන්න.. අපි ගෙදරින් යන වෙලාවට දොර ළගට ඇවිත් ඔළුව අතගාව ගන්නත් ආයේ ගෙදර එන වෙලාවට පෙරමගට ඇවිත් අපිව පිළිගන්නවත් අපේ ආඩම්බරකාර පැටී ආයේ එන්නේ නෑ..!!!

මගේ රත්තරනේ.. ආයේ ඉපදීමක් තියනවා නම් කොහේ ඉපදුණත් ආයේ මං ලගටම වරෙන්..! තව කී දාහක් බල්ලෝ අපේ ගෙදර හැදුණත් උඹේ තැන ගන්න ඒ කාටවත් බෑ..! ඇත්තමයි.!


Sunday, August 8, 2010

හුටාස් 2යි...!!!

අපේ ජිවිත ඇතුලේ අහඹු සිදුවීම් නම් කොයි තරම් නම් සිද්ද වෙනවද... ඒ වගේ සිදුවීම් වල ලස්සන තේරෙන්නේ ඇත්තටම ඒවා සිද්ද වෙලා ටික වෙලාවකට පස්සේ අපිට හප්පා ‍නොදැන කලාට මේක නේද වෙලා තියෙන්නේ කියලා සිද්ධ වෙච්ච දේ කික් එක දැනුනමයි.. මං දන්නේ නෑ අනිත් අය කොහොමද කියලා මට නම් ඒ වගේ අවස්ථා කියන්නේ මගේ ජිවිතේ සුන්දරතම අවස්ථා...

හිතන්න කා ගැන හරි හිත හිත ඉදිද්දි එයාගෙන් ටෙක්ස් මැසේජ් එකක් ලැබෙනවා කියලා.. එහෙම නැත්තං කෙනෙක් වෙනුවෙන් මැසේජ් එකක් ටයිප් කරන අතරවාරේ එයාගෙන් එකක් අපිට ලැබෙනවා කියලා ඒ වගේ වෙලාවට කොයි තරම් ආතල් ද ? නැද්ද?

එහෙම නැත්තං යාළුවෝ සෙට් එකක් ‍එකතු වෙලා තමන්ට ගොඩක් ඈතින් ඉන්න යාළුවෙක් ගැන කථා කර කර ඉන්න වෙලාවටම ඒ යාළු‍වා කෝල් කලොත්?

එහෙම වගේ පොඩි පොඩි දේවල් හැමකෙනෙක්ගේම ජිවිත වල සිද්ද වෙලා ඇති.. ඒ වගේ වෙලාවල් වලට තමයි ජිවත් වන වත්මනින් පොඩියක් උඩ පැනලා ‍පොඩි නැටුමක් නටන්න හිතෙන්නේ නේද?

ඒ වගේ වැඩක් තමයි මේ සිද්ද වෙලා තියෙන්නේ.. මගේ පීටර් ගේ පොඩි අවුල් ටිකක් නිසා මට මාස ගානක් ජාලේ නැති උනානේ... ඉදලා හිටලා හරි ලොග් වෙන්න පුළුවන් උනේ අපේ අබා ගේ සුන්දරීගෙන්.. මං හිතන්නේ පහුගිය පොස්ට් 2ක් විතර ලිව්වේ සුන්දරීට පිං සිද්ධ වෙන්න.. ඕං දෙන්නටම පින දෙකට බෙදෙනවා.

ඉතිං පහුගිය අගෝ 4 වෙනිදා පීටර් කෙනෙක් ආයේ ගෙදර ආවට ආයේ බ්ලොග් එක ලියන්න තරම් ඇම්මක් ආවේ නෑ.. ඒ වගේම ඊයේ මොහොතක ලිව්වා‍ වගේ ලියන්න තරම් අදහස් හිතට ආවේත් නෑ..

කට්ටිය නම් ඉතිං අනං මනං කියලා බැන්නට.. ඒ ලිව්ව පෝස්ට් එක මට අම්බානක් වටිනවා...

මේ දැන් ටිකකට කලින් බ්ලොග් එකේ පිටු අතරේ නිකමට ආපස්සට යද්දියි දැක්කේ ඇබ්නෝමල් මයින්ඩ්ස් පටන් අරන් තියෙන්නේ අගෝස්තු මාසේ කියලා.. අද දිනේ බලද්දි අද 8. මුලටම ගිහින් බලද්දි හා හා පුරා කියලා ලියලා තියෙන්නේ අ‍ගෝස්තු මාසේ 7 වෙනිදාවක... ඒ කියන්නේ ඊයේට හරියටම අවුරුදු 2කට කලින්. ඉතිං නිකමට හිතලා බලන්නේ.. හොදටම මොංගල් වෙලාවක ලිව්වත් මම අවුරුදු 2 ක සමරන්න නොදැන හරි දාපු ලිපිය කොයි තරම් නම් වැදගත් ද? (හරි ඉතිං අනිත් අයට නැති උනාට මට වැදගත් හරියට නිකං සාපේකෂව බල්ලෙක් උනත් මට අනූව මම පොරකි වගේ කතාවක් තමයි මේකටත් අදාල වෙන්නේ)

කාට හරි මේක මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්.. ඒත් කිසිම දෙයක් එක දිගට කාලයක් කරගෙන නොයන මං වගේ කෙනෙකුට බ්ලොග් එක අවුරුදු 2ක් ලිව්වා කියන්නේම ලොකු දෙයක්..

බලමු ඉස්සරහට ‍කොහොම වෙයිද කියලා.. පටන් ගැන්මේ ඉදන් ‍අද මේ මොහොතේ ඉදං පස්සෙන් ඉදං ලියපං ලියපං කියලා තල්ලුව ‍දුන්නු හැම දෙනාටම රොම්බ තෑන්ක්ස්..!!!!



Saturday, August 7, 2010

ගුඩ් නයිටක් වේවා..!

හ්වායි... දෝ මතයි.... ඊටත් වඩා පට්ට කම්මැලියි..

බ්ලොග් එකේ මකුළුදැලුත් බැදිලද කොහේද..

ලොග් වෙන්න පාස්වර්ඩුත් දැන් මතක් වෙන්නේ මාරු වෙලා..

ඒ තරම් කම්මැලි වෙලා.. හපෝ.... කැඳත් නෑ..

මෙහෙම ජිවිත මක්කොරන්නද... අපරාදේ තරුණ ජවය..

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වට.. පුරුදු මග ඇරුනම ආයේ පුරුදු වෙන්න පට්ට අමාරුයි කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි..

සරළව කියනවා නම් මට ලියන්න කම්මැලියි බොලව්....!!

මලී ලියන්නේ නැද්ද.. ලියපන් බං.. ඇබ්නෝමල් මයින්ඩ්ස් අප්ඩේට් කරන්නේම නෑ නේද අහන හැමෝටමයි මේ කියන්නේ..

මට ලියන්න අදහස් නෑ බොලව්.. අකුරු තිබ්බ පිලියට වචන තිබ්බ පලියට ඒ දේවල් ඔහේ ලියලා මහ ලොකු දේවල් මවන්න මං උඹලා තරම් පොරක් නෙවෙයි... හීනෙන් වත් එහෙම වෙන්න නොහිතන මට මේ කම්මැලි කමට කරදර කරලා ආයේ ලියන්න හිතෙන්නෙත් නෑ..

ඒ නිසා මා කෙරේ අනුකම්පාවෙන් ඔය වාඩි වෙලා ඉන්න ශෛලාසන ආ සොරි සොරි ‍ප්ලාස්ටික් ‍ආසන උණු වෙනවා නම් මට ලියන්න අදහස් දීපියව්...!!!!

නැත්තං මාත් අද හෙට කාගේ හරි මොනා හරි කොපි කරලා අනුන්ගේ හිත් වල ඇති වුනු මගේ හිතුවිලි කියලා මොනා හරි ටිකක් කෙහෙන් හරි දානවා..

එක්කෝ මාත් දවස් 20ක් විතර නොකා ඉන්නද? එතකොට කට්ටිය සෙට් වෙලා මාව බලන්න වරෙල්ලා.. පස්සේ අපි දාමු ලොකු පාටියක්.. මොකෝ කියන්නේ?

එහෙමත් නැත්තං මොකෝ මං කරන්නේ.. ම්ම්ම්ම්.... ???

සිරාවටම කිසිම අයිඩියාවක් හිතට එන්නේ නැති මහම මහ නස්කූණී කාලයක් මේක.. මීට වඩා හොඳයි ආයෙමත් රෙද්දක් පෙර‍වගෙන පැය 5ක් 6ක් නිදා ගන්න එක...

ගුඩ්නයිට් ‍ඕල්!!!!